රට කුණුවෙලා දේශපාලන නායකත්වය ජාතියෙන් සමාව ගත යුතුයි

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් – ඩිව් ගුණසේකර

නිමල් අබේසිංහ

අප්‍රේල් 21 රටේ ඇතිවූ සිද්ධියෙන් පසුව රටේ තත්ත්වය කළමනාකරණය කරගැනීමේ නොහැකියාවක් තිබෙන බවයි දැන් පෙනෙන්නේ. මේ කළමනාකරණය කුමන අයුරින් සිදුවිය යුතුයැයි ඔබ සිතනවාද?

මේක පිළිබඳව පාර්ලිමේන්තුවේ දවස් තුනක විවාදයක් තිබුණා. මට කනගාටුයි කියන්න, මේ ප්‍රශ්නෙ වෙච්ච සිද්ධිය පිළිබඳව තාමත් ආණ්ඩුව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. 62 ඉඳල සිද්ධි වුණු අවස්ථාවෙ ආණ්ඩු එහෙම කළා. මෙතනදි ආණ්ඩුවෙනුත් නෑ. විපක්ෂයෙනුත් නෑ. මේ පිළිබඳව ගැඹුරින් හා විධිමත් ලෙස ජනතාව දැනුවත් කිරීමක් ආණ්ඩුවෙන් හෝ පාර්ලිමේන්තුවෙන් සිදුවුණෙත් නෑ. 25 වැනිදා සියලු පක්ෂ රැස් කළා. ජනාධිපති කරුණු ඉදිරිපත් කළාට පස්සෙ කවුරුත් කතා කළේ නෑ. මම විතරයි කතා කළේ. මම කීවේ පළමුවැනි එක දේශපාලන නායකත්වය මේකට වගකියන්න ඕනේ. අර නිලධාරියා මේකට වගකියන්න ඕනෙ කියල අපට කියන්න එපා. ඒක ඔබතුමාගෙ අභ්‍යන්තර ප්‍රශ්නයක්. මෙහෙ ඇවිල්ල ඒවා කියන්න බෑ. අපි ඡන්දය දුන්නෙ ජනාධිපතිටයි පාර්ලිමේන්තුවටයි. ජනතාවට වගකියන්න ඕනේ දේශපාලන නායකත්වය. දෙවැනි එකට මම කීවේ ඔබතුමා නැතිවෙලාවෙ කාදිනල් මැල්කම් රංජිත් නොහිටියා නම් සිදුවිය හැකි තත්ත්වය. ඊළඟට මම කීවේ මල්වත්තේ අස්ගිරිය මහා නායක හිමිවරුන් බෞද්ධයො වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්විය යුතුයි කියල. ඊට පස්සෙ ඒක කරලත් තිබුණ. ඉතින් මෙතනදි ජනතාව දැනුවත් කිරීමත් රජය හරියට කරල නෑ. ඒකයි සැකය මත ජනයා කටයුතු කරන්නේ. ඕපදූප සෝෂල් මීඩියා කියන ඒව මිනිස්සු විශ්වාස කරනව. මේකට දේශපාලන විග්‍රහයක් දෙන්න ඕනේ. මේක ඇතිවුණු හේතු ගැන. පිටස්තර බලවේග මෙතනදි ක්‍රියාත්මක වෙනව. වහාබ්වාදය කියන්නෙ මොකක්ද කියල. කවුරුත් දන්නවද?

ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මෙතන තිබෙනව දෘෂ්ටිමය ප්‍රශ්නයක්. ඒක කරන්න ඕනෙ මුස්ලිම් ප්‍රජාව. මුස්ලිම් දේශපාලන නායකත්වයයි මුස්ලිම් ආගමික නායකයොයි. අවාසනාවට අපේ රටේ මුස්ලිම් බුද්ධිමත් ස්ථරය තාම දුර්වලයි. වර්ධනය වෙනව. ඒත් ඔවුන් කියන එකත් අහන්නෙ නෑ. මුස්ලිම් ජනතාව අහන්නෙ සල්ලිකාරයෝ කියන එකයි. ආගමික නායකයො කියන එකයි. බුද්ධිමතුන් උගත් අය කියන එකත් අහන්නෙ නෑ. එවැනි තත්ත්වයක් තියන කොට දේශපාලන නායකත්වය, පාර්ලිමේන්තුව තුළින් ප්‍රමාණවත් දැනුවත් කිරීමක් අද දක්වාම කරලා නෑ. එහෙම වුණා නම් මේ සැක ඇතිවෙන්නෙ නෑ. අපේ රටේ මිනිස්සුන්ට දේශපාලන වශයෙන් කරුණු ඉදිරිපත් කළාම තේරුම් ගන්නවා. කිසිම දේශපාලන පක්ෂයක් තම සාමාජිකයන්ට මේක හේතුව මොකක්ද කියල දැනුවත් කරල තිබෙනවද? මාසයක් ගතවෙලත් තාමත් විග්‍රහයක් නැති තත්ත්වයක් තිබෙන්නෙ.

ඔබ කියන විදියට ආණ්ඩුවවත් විපක්ෂයවත් මේ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම තුළ පෙනෙන්නට තිබෙන්නේ මේ දෙගොල්ලොම හොරගල් අහුලන බවක් නොවේද?

හොරගල් අහුලන්නේ මේ මැතිවරණයක් එන හන්දයි කියලයි මම හිතන්නෙ. වෙන හේතුවක් මට පේන්නෙ නෑ. සමහරවිට මැතිවරණයක් මාස අටකින් දහයකින් එන්නෙ නැත්නම් සමහරවිට මේ විදියට හැසිරෙන එකත් නැතිවෙයි. අනෙක් එක දේශපාලන නායකත්වයේ කවුරුහරි වැරදි කරල තිබෙනව නම් ඒ අයට දඬුවම් දෙන්න ඕනනෙ.

අනෙක් අතට බුද්ධිමත් මුසල්මානුවන් කියන අදහස් බිම් මට්ටමේ මුස්ලිම් ප්‍රජාව පිළිගන්නේ නැහැයි කියන එකත් බරපතළ කාරණාවක් නේද?

ඒ කියන්නෙ සිංහල දෙමළ ප්‍රජාවෙ බුද්ධිමතුන් ප්‍රමාණය වැඩිවෙලා. සාපේක්ෂව මුස්ලිම් බුද්ධිමතුන් අඩුයි. අද මම අහගෙන හිටිය පළමුවැනි වතාවට මුස්ලිම් බි්‍රගේඩියර් කෙනෙක් කතා කරනවා. අපි දන්නෙත් නෑ මෙහෙම මුස්ලිම් හමුදා ප්‍රධානීන් ඉන්නව කියල.
දැන් බලන්නකො ප්‍රයිවෙට් ටියුෂන්වලට ළමයි යනව. මම හිතන්නෙ ළමයි කැමතියි ඉස්කෝලෙට වැඩිය ටියුෂන්වලට යන්න. එතන අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටීමක් තමයි පෙනෙන්නෙ. ඒ බිඳ වැටීම්වල තත්ත්වයත් තමයි මේ වගෙ සිද්ධීන්වලින් පිළිබිඹු වන්නේ. ඉතින් මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සරු බිමක් නිර්මාණය කරල තිබෙනව අපේම දේශපාලනඥයො, හැම පැත්තකින්ම.

බෝම්බ පිපිරවීමක් වගේ දෙයක් ඉදිරියේදී සිදුවිය නොහැකිමුත් වෙනත් ආකාරයක ව්‍යසනයක් සිදුකිරීමට ඉඩ නැතිද? එවැන්නක් වළක්වා ගැනීමට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් තිබේද?

සාපේක්ෂව අපේ ආරක්ෂක අංශ හොඳයි. බුද්ධි අංශයත් හොඳයි. මේ ඔක්කොම තිබුණත් මදි දේශපාලන නායකත්වයක් තිබෙන්න ඕනනෙ. දේශපාලන නායකත්වයක් තිබුණ නම් මේක වෙන්නෙ නෑ. එහෙනම් එදා පල්ලි ගාව අපේ සීඅයිඩී එක ඉන්නව. එතනදිම අල්ල ගන්නව. මිනිස්සු මැරෙන්නෙත් නෑ. අපේ මිත්‍ර රටක් දීපු තොරතුරක්නෙ. මෙහෙම තොරතුරක් කවදාකවත් හම්බ වුණේ නැහැනෙ.

ඉදිරියේදී මෙවැනි දේවල් වළක්වාගන්න ආරක්ෂක පැත්ත පමණක් හරියන්නෙ නැහැ. දෘෂ්ටිමය හා අන්තවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනව. ඒකට මුස්ලිම් ප්‍රජාව ඉදිරිපත් වෙන්නෙ නැත්නම් මේක විසඳන්න බෑ. මේකට මුස්ලිම් ආගමික හා දේශපාලන නායකත්වය වරද පිළිගන්න ඕනේ. ඒ අය මේක වෙනතුරු බලා හිටියා.

බේරුවල සිද්ධියේදී රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය, මහසෝන් බලකාය වගේ සංවිධාන ආරම්භවීමට ඉඩදීම වගේ දේවල් සම්බන්ධයෙන් ඔබ වැනි වමේ නායකයිනුත් නිහඬව සිටියා. මේක ඓතිහාසික වරදක් නෙවෙයිද?

ආ ඔව් ඔව්. මෙතන කාරණා දෙකක් තිබෙනව. ජාතික සමගියයි, ආගමික සංහිඳියාවයි. මේ දෙක නිදහසෙන් පස්සෙ යහපත් පැත්තට හැරුණෙ නෑ. බිඳවැටීමක් තිබෙන්නේ. ඒකට හේතුව අපේ නායකයො ශ්‍රී ලාංකිකයො ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය ඉෂ්ට කළේ නෑ. ඒකෙ ප්‍රතිඵල තමයි මේ අත්විඳින්නේ. ඊට පස්සේ විවෘත ආර්ථිකය එක්ක තවත් කාරණා ඇතිවුණා. ඊට පස්සෙ තමයි ඔබ කියන කාරණාව ඇතිවෙන්නේ. රටවල් 52ක මුස්ලිම් ජනතාව ජීවත්වෙනව. මේක දේශපාලනඥයො තේරුම් ගන්න ඕනෙ. මේකෙ මිලියන දෙකක් මැදපෙරදිග ඉන්නව. මේ අය අපේ රටට ආවොත් මොකද වෙන්නේ. මේකවත් අපේ දේශපාලනඥයො කියන්න එපායැ.

මේක දෙවියන් වහන්සේගෙ කැමැත්ත නොවේ. මෙය හසුරුවන අයගේ පව්කාරකමින් සිදුවූවක්. ඒ අය තනතුරුවලින් නෙරපන්න ඕනේ. ඒ අය දඬුවම් විඳිය යුතුයි යනුවෙන් කාදිනල්තුමා පැවසුවා. ඔබට ඒ ගැන තිබෙන විග්‍රහය කෙබඳුද?

කාදිනල්තුමා ඉතාම ප්‍රබුද්ධයි. ආකල්ප අතින් විශිෂ්ටයි. එතුමා දුන්න පණිවුඩය බලන්නකො සාමාන්‍ය මිනිස්සුන්ට වැටහෙන භාෂාවෙන් සියලුම දෙනා ශ්‍රී ලාංකික පවුලක්ය කියලා කීවනෙ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් පල්ලිය අතුගාන්න ගිහින් හරි සංහිඳියාව ගැන සංඥාවක් දුන්නා. සංහිඳියාව ගැන කතා කරන නායකයො කිසිවෙක් ඒ ආස්ථානයේ දකින්න නැහැ ඒ ගැන හිතෙන්නෙ මොනවද?

ඇත්ත වශයෙන්ම. දේශපාලන නායකත්වය ජාතියෙන් සමාව ගන්න ඕනේ. දේශපාලන නායකත්වය කාදිනල්තුමාට කෘතවේදී වෙන්න ඕනේ. දේශපාලන නායකත්වයේ පිරිහීම තමයි මේ අපි අත්විඳින්නේ. මේක ලොකු ප්‍රශ්නයක්.

රට ජරාජීර්ණවෙලා අවුලෙන් අවුලට ගිහින්. තිබෙන අර්බුදය විසඳගන්න බැහැ. යනුවෙන් ඉදිරිපත් වෙන බරපතළ චෝදනාව සත්‍යයක් බවට මෙයින් පෙනෙනවා. ඔබ එකඟද?

මමත් ඕක තමා දැන් කල්පනා කරමින් ඉන්නෙ. එකත් මේ සිද්ධිය ඇතිවෙලා තිබෙන්නෙ නරකම වකවානුවක. මැතිවරණයක් එන්න තිබෙන අවස්ථාවක. මැතිවරණයෙන් කවුරු බලයට ආවත් රට පාලනය කරන්න බැරි තත්ත්වයට ඇවිත් තිබෙන්නෙ. හැබැයි එන්න ඉන්න කට්ටිය තේරුම් ගන්න ඕනෙ මේ තත්ත්වය. ඒ නිසා පාලනය කරන්න ඕනෙ කොන්දේසි දැම්ම හිටන්ම, නිර්මාණය කරගන්න ඕනෙ. එහෙම බලන තත්ත්වයක් නෑ. ඉතින් රට කුණුවෙලා කියන එක ඇත්ත. ප්‍රතිපත්ති ගැටුම් තිබුණට මෙතනදි ඒවා නොසලකා ප්‍රශ්නය සමනය කරන්න සියලුදෙනා මැදිහත්වෙන්න ඕනේ.