අන්තවාදය; තවදුරටත්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

දේශපාලන අන්තවාදය, පවතින්නේ දේශපාලන නායකයන් අතර පමණක් නොවන අතර එය සමාජයද වෙලාගත් පිළිකාවක් ලෙස සැලකිය හැකිය. ඉන් අදහස්වන්නේ දේශපාලන වශයෙන් ඔවුන් බෙදී සිටීමෙන් නොනැවතී ඒ මත සියලු තීන්දු ගැනීමටද පෙළඹී සිටීමය. පාස්කු ඉරිදා එල්ල කළ මුස්ලිම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව එක් පැත්තකින් සමාජය සංවාද මණ්ඩපයන් බවට පත් කර තිබේ. එය නරක දෙයක් නොවූවද අනෙක් පැත්තෙන් මෙම සංවාදය තුළ දේශපාලන අන්තවාදයද ප්‍රබලව නැගී සිටිනු දැකිය හැකිය.
දේශපාලන පමණක් නොව ආගමික හෝ ජනවර්ග හෝ කුමන අන්තවාදයකටවත්, ප්‍රශ්නයට ශක්තිමත් පිළිතුරක් සොයාගත නොහැකි වනවා පමණක් නොව, ප්‍රශ්නය තව තවත් වියවුලක් බවට පත්කරන්නේය. ඇතැමුන් යම් දේශපාලන කණ්ඩායමකට හෝ ජන කොටසකට හෝ ආගමකට පක්ෂවීමෙන් සිය මධ්‍යස්ථ සිතිවිලි ඉක්මවා අන්තවාදී ලෙස හැසිරීම සේ ම ඇතැමුන් එම දේශපාලන කණ්ඩායමට හෝ ආගමට හෝ ජන කොටසට එරෙහිව යමින් අන්තවාදී ලෙස හැසිරීමද අනුමත කළ නොහැක. ආගම්වාදී හෝ ජාතිවාදී හෝ අන්තවාදී නොවිය හැක්කේ වචනවලින් පමණක් නොවන අතර තම පෞද්ගලික හා පොදු ජීවිතයේදීද එය ඔප්පු කර පෙන්වීමට සමත් විය යුතුය. ඇතැමුන් ආගම් අදහන්නන් නොවුණද ඔවුන් යම්කිසි ආගමක් කෙරෙහි වෛරී ලෙස හැසිරෙන්නේ නම් එය සැලකිය හැක්කේද දරුණු අන්තවාදයක් ලෙසය.

කාදිනල්තුමා සහ පාසල්

මැල්කම් රංජිත් කාදිනල්තුමා, ආණ්ඩුවේ ආරක්ෂක වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් සිටින්නෙකු ලෙස සැලකිය හැකිය. දැන් සිදුව ඇත්තේ, මහින්ද රාජපක්ෂ කඳවුරේ දේශපාලනයට සහය දෙන්නකු ලෙස ඇතැමුන් ඔහුට චෝදනා එල්ල කිරීමට තරම් ඉක්මන් වී සිටීමය. එජාපෙ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන සහ ප්‍රබලම දේශපාලන විරුද්ධවාදීන් වන්නේ රාජපක්ෂ කඳවුරය. එම නිසාම ආණ්ඩුව හෝ එහි යම් ක්‍රියාකාරීකමක් දැඩි විවේචනයට ලක් කරන්නත් රාජපක්ෂ කඳවුරේ යැයි ලේබල් කිරීමට ඉක්මන්වීම යහපත් දේශපාලන සංස්කෘතියක් ලෙස හෝ මධ්‍යස්ථ දැකීමක් ලෙස සැලකිය හැකිද?

පවතින ආණ්ඩුව ශක්තිමත් එකක් නොවනවා මෙන්ම කිසිදු ප්‍රතිපත්තිමය එකඟතාවක් පවතින්නක් ලෙසද විශ්වාස කළ නොහැක. ඉතා සංවේදී කරුණක් වූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් විවෘත කිරීම පිළිබඳව පවා ආණ්ඩුව තුළ එකඟතාවක් ඇත්තේ නැත. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදිය යුතු බව එජාප ආණ්ඩුව අවධාරණය කරමින් සිටින්නේය. තමන් අධ්‍යාපන ඇමති නම් මෙම අවස්ථාවේ පාසල් විවෘත නොකරන බව ඒ අතරතුර ෆොන්සේකා ප්‍රකාශ කළේය. මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රශ්නය බොහෝදුරට අවසන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරද්දී මෙවැනි ත්‍රස්තවාදයක් එසේ ක්ෂණිකව අවසන් කළ නොහැකි බවද ෆොන්සේකා කියා සිටියේය. ජනතාවට පමණක් නොව හමුදා සාමාජිකයන්ගේ පවා ඇඟට දැනෙන ආරක්ෂාවක් තවම නොපෙනෙන බවද ඔහු සඳහන් කර තිබුණේය.

මේ කරුණුවලින් වුවද සනාථවෙමින් පවතින්නේ ආණ්ඩුවේ පවතින ශක්තිමත්භාවයේ තරම නොවේද? මේ නිසා දෙමාපියන් දරුවන් පාසල් නොයැවීම, ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති අවිශ්වාසයේ තරම පෙන්වන්නක් ලෙස අනුමාන කළ හැකි.

ආණ්ඩුව විවේචනය කිරීම

ඒ අනුව ආණ්ඩුවේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ විවේචන එල්ලවන්නේ කාදිනල්තුමාගෙන් පමණක් නොව ආණ්ඩුව තුළ සිටින ඇතැම් පිරිස්ද ඇතුළුව බහුතර ජනතාවගෙන් බව තේරුම් ගත යුතුය. වගකීම් භාර නොගැනීමේ සහ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටින, පැහැදිලි ප්‍රතිපත්තියක් මත ක්‍රියා නොකරන අසමගි ආණ්ඩුවක් විවේචනයට ලක්වීම නොවැළැක්විය හැකිය. මෙවැනි බැරෑරුම් අවස්ථාවක එවැනි අසමගියක් වඩාත් හොඳින් ප්‍රදර්ශනය වනවා පමණක් නොව විවේචනය බරපතළ වීම අපේක්ෂා කළ යුත්තකි. එයින්, ආණ්ඩුවට දේශපාලනිකව ප්‍රතිවිරුද්ධ කඳවුරට වාසියක් අත්වීමද වැළැක්විය නොහැක. එහෙත් එසේ වූ පමණින් එම විවේචකයන් සියල්ල ලේබල් අලවා එම කඳවුරට තල්ලු කිරීමද, අන්තවාදයක් ලෙස මිස මධ්‍යස්ථභාවයක් යැයි සිතිය හැකිද?

මුස්ලිම් අන්තවාදය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේදී වාර ගණනාවක් කර තිබූ අනාවරණයක් ගැන මහේෂ් සේනානායක යුද හමුදාපතිවරයාද මාධ්‍ය සාකච්ඡාවලදී යම් යම් ප්‍රශ්නාර්ථයන් නගා තිබිණි. එසේ වූ පමණින්, විවේචනය කිරීමට හෝ අදහස් දැක්වීමට ඔවුන්ට ඇති අයිතිය නොසලකා, ලේබල් ඇලවීමට ඉක්මන් වන්නේ නම් එය රටේ අභාග්‍යයට මිස භාග්‍යයට හේතුවිය නොහැකිය.

මධ්‍යස්ථභාවය

ජයදේව උයන්ගොඩ මහාචාර්යවරයා පසුගිය රාවයට ලියා තිබූ ලිපියේ අවසාන වැකි දෙකෙහි අර්ථය ඉතා වැදගත් යැයි මම සිතමි. එම වාක්‍යයත් මෙසේය.

“එය නම්, ලංකාවේ අනාගතය යළි ගොඩනැගිය යුතු බව සහ ඒ සඳහා අන්තර්-වාර්ගික සහ අන්තර් සාමයික සංහිඳියාව ප්‍රයෝජනවත් පූර්ව කොන්දේසියක් වනු ඇත යන්නයි. මෙවැනි අනාගතයක් පරිකල්පනය කිරීමට සමත්වන්නේ නම් රටේ සියලු වාර්ගික සහ සාමයික ප්‍රජා කණ්ඩායම් අතර සිටින මධ්‍යස්ථවාදී ආගමික සහ ලෞකික කණ්ඩායම් බවද සඳහන් කළ මනාය.”

මෙයින් මම තේරුම් ගත් එක් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාව යළි ගොඩනගන්නේ නම් නැතහොත් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්නේ නම් එය දේශපාලකයන්ට පමණක් කළ හැක්කක් නොවන බවය. දෙවැන්න ඒ උදෙසා මධ්‍යස්ථභාවය අත්‍යවශ්‍ය සාධයක් බවය. විද්‍යාත්මක ප්‍රවේශයකදී මූලික කොන්දේසියක් වන්නේද වෙනස්වීමය. එක්තරා කාලයක පෘථිවි කේන්ද්‍රවාදය පිළිගත්තද පසු කාලයක එය ප්‍රතික්ෂේප කර සූර්ය කේන්ද්‍රවාදය නිවැරදි යැයි තාරකා විද්‍යාඥයෝ පිළිගත්හ. අනාගතයේදී එම පිළිගැනීම පවා වෙසනස්වීමට ඇති ඉඩකඩ වැඩිය. විද්‍යාව යනු වෙනස්වීම පිළිගැනීම, මූලික කොන්දේසියක් වන විෂයයන් වන නිසා ප්‍රශ්න, විසඳීමට යන්නේ විද්‍යාත්මක ප්‍රවේශයකින් නම්, වෙනස්වීමට අකමැති නොවිය යුතුවාක් මෙන්ම බිය නොවිය යුතුය. අන්තවාදයෙන් මධ්‍යස්ථභාවය පැමිණීමද හොඳ වෙනස්වීමක් ලෙස සැලකිය හැකිය. මුස්ලිම් අන්තවාදය යැයි අප කියමින් සිටින්නේ ඉස්ලාම් දහම අදහන්නන් එය ශ්‍රේෂ්ඨ කොට සැලකීම නොව, එය හැර වෙනත් කිසිවක් ශ්‍රේෂ්ඨ නොවන බව කීමටය. එම වෙනත් සියල්ල, විනාශ කිරීමට උත්සාහ කිරීමය. මෙය බුද්ධ ධර්මයට මෙන්ම ක්‍රිස්තු ධර්මයටද හින්දු දහමටද පමණක් නොව ඕනෑම විෂයකට අදාළ වන්නේය. එහි අනෙක් පැත්ත වන්නේ කිසියම් ආගමක්, දහමක් හෝ ජන කොටසක් නැතහොත් විෂයයක් පිළිබඳ මතයක්, කිසිදු හොඳක් නොදැක බැහැර කිරීම මෙන්ම ඒවා පිළිග්නනා අයව ප්‍රතික්ෂේප කිරීමය. එයද අන්තවාදයක් මිස මධ්‍යස්ථභාවයක් වන්නේ කෙසේද?

දැන් රටේ සිදුවෙමින් පවතින්නේ නොවිය යුතු දෙයක් යැයි විශ්වාස කළ හැකිය. වාචිකව හෝ ලිඛිතව හෝ කායික ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ නම් හා දේපොළ හානි සිදුකරන්නේ නම් එය අනුමත කළ හැකි තත්ත්වයක් නොවන්නේය. එහෙත් යමක් සිදුවන තුරු සිට ප්‍රතිඵලවලට පිළියම් යෙදීමට වඩා වැදගත්වන්නේ එම ප්‍රතිඵල උද්ගතවීමට බලපාන හේතූන් සොයා විනාශ කිරීමට ක්‍රියා කිරීමය. මුස්ලිම් අන්තවාදය හඳුනාගෙන පිළියම් නොයෙදීම මරාගෙන මැරෙන ප්‍රහාර ප්‍රතිඵල ජනිත කළේ නම් ඉන්පසුව පවතින තත්ත්වය හඳුනාගෙන එයින් ජනිත විය හැකි ප්‍රතිඵල අනුමාන කර ඊට බලපාන හේතූන් ඉවත් කළ නොහැකි වුවහොත් එය අවසන් විය හැක්කේ ස්වයං විනාශයෙනි.