පරම්පරා ගණනක් ගියත් ඔවුන් රහසිගත උයනක – ප්‍රවීණ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන

එන්. ලංකා මාගම්මන

ගුවන්විදුලිය හරහා මාධ්‍ය ක්ෂේත්‍රයට එන ස්වර්ණ ගුණවර්ධන ප්‍රාන්සස් හොග්සන් බර්නට් රචනා කළ ‘The Secret Garden’ කෘතිය ‘රහසිගත උයනක’ ලෙස සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.

 

ප්‍රාන්සස් හොග්සන් බර්නට්ගේ The Secret Garden  නව යොවුන් නවකතාව වැනි කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට හේතුවූ කාරණාව මොකක්ද?

මේ කෘතිය සුන්දර නවකතාවක්. මෙය විශේෂයෙන්ම වැඩිහිටියන්ට ළමයින්ගේ ලෝකය දිහා බලන්න ඉඩකඩ ලබාදෙන කෘතියක්. මෙය සිංහලට පරිවර්තනය වෙන්නෙම මා කුඩා කාලයේ මෙම කෘතියේ සංක්ෂිප්ත පරිවර්තන ප්‍රකාශනය ලිහිණි පොතක් හැටියට කියවලා තිබීම නිසයි. එහිදී තිබුණු කාරණාත් සමග හොග්සන්ගේ කතාවල තිබුණු ළමයි ධෛර්යයත් කිරීම කියන පණිවුඩය අද කාලයේ ළමයින්ටත් වලංගුයි. එසේම කතුවරිය භාවිත කරන වචන හරිම ළබැදියි. අද කාලයේ අප කියනවා නම් ළමයි පොත්පත් කියවනවා අඩුයි කියලා එයට හොඳ උත්තරයක් හොග්සන් බර්නට්ගේ The Secret Gaarden කෘතිය. ලොව පුරා මිලියන පහළොවකට වැඩි ගණනක් දරුවන් ආසාවෙන් කියවූ කෘතියක්. ඒ විතරක් නොවේ නව යොවුන් දැරි දැරියන් ලෝකය මොනතරම් සුන්දරදැයි වැඩිහිටියන්ට කියාදෙන රසවත් කතාන්තරයක්. මේ කෘතිය පාදක කරගනිමින් අතිශයින් ජනප්‍රිය චිත්‍රපට දෙකක් නිර්මාණය වුණා. මිලියන පහළොවක පාඨක සමාජයක් ලොව පුරා සිටින කෘතිය සම්පූර්ණ සිංහල භාෂාවට පරිවර්තනය කරලා ලබාදීමේ වැදගත්කම මට වැටහුණා.

මෙම කෘතියේ සඳහන් නිසි වියට පත්වෙන (Comeing of Age) මේරි, කොලින්, ඩිකන්ගේ ජීවන විලාසිතාව ගැන ඔබේ අදහස මොකක්ද?

මේ දරුවන් සෑම දෙනාම විවිධාකාරයේ ජීවන අභියෝගවලට මුහුණ දෙන අය. මේරිගේ අම්මයි, තාත්තයි එකවරම නැතිවෙලා. කොලින් කියන ළමයා පවුලේ අයගේ හුදෙකලා කිරීම මත තමන් යම් අසනීපයකට ගොදුරු වූවකු බව සිතනවා. ඩිකන් පරිසරයට, සතුන්ට ආදරය කරන, පරිසරය හා සතුන් වෙනුවෙන් ක්‍රියාකරන්නෙක්. මේ තුන්දෙනා තුන් පැත්තක හිටියත් මේ අයගේ තියෙන විශේෂත්වය තමයි කිසියම් මගපෙන්වීමක් ලැබුණු විට මේ අය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන අයවීම. ඒ වගේම ඔරොත්තු දෙන ශක්තියෙන් යුක්තයි. මේ ටික තමයි අද කාලේ දරුවන්ට වුවමනා වන්නේ. ඒ නිසාම අද කාලේ දරුවන්ට වැදගත්වනවා මගපෙන්වීමක්. මේ පොත ලියවිලා අද වෙනකොට සියවසකට ආසන්න කාලයක් වෙනවා. හැබැයි ඒ දරුවෝම තමයි පරම්පරා ගණනකට පස්සෙත් මේ ඉපදිලා ඉන්නේ. මේ කතාව පිහිටුවා ඇති කලාපය එංගලන්තය වුණාට එය මෙම පොත කවර කලාපයක සිට හෝ රසවිඳින්න බලපෑමක් සිදුකරන්නේ නැහැ. කිසිදු සීමාවක්, බැඳීමක් නොමැතිව මෙම කෘතිය ළමා මනස තුළ රසවින්දනයක්, ප්‍රබෝධයක් ඇතිකරවන බවයි මගේ අදහස. පරිවර්තන සාහිත්‍ය කෘතියක් කියවන්න පෙළැඹෙන දරුවෙක් හෝ පාඨකයෙක් පැහැදිලිවම ඒ පොත කියවන විට ඒ පරිසරයට යනවා. තමන් විඳින ගමේ පරිසරය නැත්නම් ලංකාවේ පරිසරයම විතරයි නොවේ. ඊට එහා තියෙන ලෝකයේ පරිසරයක් සමග කෘතිය කියවා ඉවර වන තෙක් රැඳිලා බැඳිලා ඉන්නවා. මෙම පොත කියන පාඨකයා එංගලන්තයේ පරිසරයේම කොටසක් බවට නිරායාසයෙන්ම පත්වෙනවා. මෙය දේශසීමා තරණය කරලා සාහිත්‍ය කෘතියකට මිනිසකුගේ හදවතට ළංවෙන්න තියෙන ලොකු අවස්ථාවක්. ඒ නිසා තමයි එම කෘතීන් පරිවර්තනය වෙන්නේ. The Secret Garden මේ වනවිට විවිධ භාෂා ගණනාවකටම පරිවර්තනය වූ කෘතියක්. මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවෙන්. ඉන් අනතුරුව එංගලන්තයට එනවා. සියවසක් ගතවී තිබෙන මොහොතක එදා තිබුණු පරිසර තත්ත්වයන් මේ රටවල්වල අද ඇත්තේ නැහැ. ඒ අතීතයට පාඨකයා අරගෙන යන්න පුළුවන් හැකියාවක් ලේඛකයාට තියෙනවා. මේ කතාව තුළ අපට හමුවෙන චරිත සහ ප්‍රදේශයන් උදාහරණයක් ලෙස එංගලන්තයේ යෝක්ෂයර් පළාත එදාට වඩා දේශපාලනික, ආර්ථික, සමාජීය වශයෙන් මොනතරම් දුරට වෙනස් වෙලා තියෙනවාද? එහෙත් මෙම කෘතිය කියවන විට පාඨකයා ඒ කාලවකවානුව සමග හිරවෙලා එය රසවිඳීමට උත්සුක වෙන ආකාරය දැකගත හැකිවෙනවා.

‘රහසිගත උයනක’ පරිවර්තනය කියවන විට චමත්කාර රූපමය සිත්තමක් පාඨකයා වෙත ජනිත කරවන්න ඔබ සමත් වී තිබෙනවා. මේ ගැන යමක් කියන්න පුළුවන්ද?

මෙහිදී මට විශේෂ වාසියක් අත්වුණා. ගුවන්විදුලි මාධ්‍ය පරිහරණයේ තිබුණු අත්දැකීම් නිසා. ගුවන්විදුලිය කියන්නේ අප කියන දේ හරහා චිත්ත රූප මැවීමට යොදාගත් මාධ්‍යයක්. අපගේ කාලයේ සිටිය සන්නිවේදකයන් භාෂා වාදකයන් ලෙසයි මා හඳුන්වන්නේ. ඔවුන් තම භාෂාව මනාව භාවිත කර අසන්නාගේ සිත තුළ චිත්තරූප මැවීම ඉටු කළා. කථන භාෂාව කියන උප භාෂාව තුළ ඔවුනට පුළුවන් වුණා අසන්තාව ගුවන් විදුලිය ළඟ නතර කරගන්න. ඒ පරිචය මා ලේඛනයෙදිත් භාවිත කරනු ලැබුවා. ඒ වාසිය මට මෙම කෘතිය පරිවර්තනය කරද්දී ලැබුණා. සිනමාකරුවෙක් දෘශ්‍ය ප්‍රයෝග යොදමින් සංස්කරණය කරමින් එකින් එක සමීප රූප ගළපමින් කරන වැඩක් වැනි දෙයක්. මෙම කෘතිය තුළ ඉතාම කෙටි වැකි, ඉතාම සරල භාෂා රටාවකින් ලේඛනය කර තියෙනවා. එය මගේ ලේඛන කලාවේ දෘශ්‍ය ප්‍රයෝගයක්. මෙය හරියට සිතුවමක් තුළට මිනිසුන් ඇද ගත්තා වගේ දෙයක්. ඒ දක්ෂතාව මගේ නොවෙයි. ප්‍රාන්සස් හොග්සන් බර්නට්ගේ තිබූ දක්ෂතාවක් ලෙසයි මා දකින්නේ. එම හැකියාව පරිවර්තනයේදීත් ආකර්ෂණීය ලෙස රඳවා ගැනීමට මට හැකිවුණා කියා සිතනවා.

ප්‍රාන්සස් හොග්සන් බර්නට්ගේ ලේඛන කලාව පිළිබඳ ඔබ යම් හැදෑරීමක් සිදු කළාද?

බර්නට්ගේ ලේඛන කලාවට ලෝකයේ ඉහළ අගයක් හිමිවෙනවා. ඇය විශිෂ්ට කෘති කීපයක්ම ලෝකයට දායාදය කළා. ඇයගේ කෘතිවල තිබුණු විශේෂත්වයක් වන්නේ ඒවා සියල්ලම පාහේ ළමයි පාදක කරගෙන ලියැවුණු කෘති වීමයි. ඒ කෘති ඇතුළේ ළමයි විශිෂ්ට වික්‍රමාන්විත වැඩ කරන පිරිසක් වීමත් ඇයගේ කෘතිවල තියෙන තවත් විශේෂත්වයක් ලෙසයි මා දකින්නේ. ඇයගේ කෘතිවල ඉන්න ළමා චරිත නොසැලෙන, ධෛර්යයසම්පන්න, චරිත වෙනවා. ඇයගේ ලේඛන දිවිය ඇරඹෙන්නේ අතිශයින්ම ජනප්‍රිය කෘතියක් වන ‘ලිට්ල් ලෝඞ් ෆවුන්ට්ලෝරි’ නවකතාවත් සමගයි. එම කෘතිය ඇයට අසීමිත ජනප්‍රියත්වයක් ගෙන දෙන්න සමත් වෙනවා. ඉන් අනතුරුව ‘ද ලිට්ල් ප්‍රින්සස්’ කෘතිය ඇය විසින් ලියවුණා. මෙම කෘති මිලියන ගණනාවක් දරු දැරියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ගෞරවයට පාත්‍රවුණා. බාධාවන් බිඳ වැටීම් හමුවේ සිය ආත්ම ශක්තිය බිඳකින් හෝ අඩුකර නොගන්නා දරුවන් ඇයගේ නවකතා පරිශීලනයේදී අපට නොඅඩුවම හමුවෙනවා. මට හිතාගන්න බැරි දේ තමයි අවුරුදු 13 වයසේදී මේ කතාව ඉවර වෙනවානේ. ඊට පස්සේ මේ ළමයි වැඩිහිටියෝ හැටියට මොනවද කළේ කියන එක අපට මවාගන්න, පරිකල්පනය කරන්න අමාරු දෙයක් වෙනවා. ඒ නිසාම ප්‍රාන්සස් හොග්සන් බර්නට් පාඨකයාට තවමත් වලංගු ලේඛිකාවක් බවට පත්වෙනවා.

මේ කාර්යබහුල පාරිභෝගික ධනේශ්වර අර්ථක්‍රමය ඇතුළේ වැඩිහිටියන්ට දරුවන්ගේ ලෝකය මගහැරෙන බවක්, දරුවන්ට වැඩිහිටියන් මගහැරෙන බවක් ඔබ දකින්නේ නැද්ද?

වැඩිහිටියන්ට ළමයින්ගේ ලෝකය මගහැරෙනවාට වඩා ළමයින්ටත් ළමයින්ගේ ලෝකය අමතක කරවන සමාජ බලපෑමක් තියෙන බවයි මගේ අදහස. මීට දශකයකට දෙකකට පෙර සමාජයට වඩා අද සමාජය මොනතරම් වෙනස්වෙලාද? ළමයින්ට ඔවුන්ගේම ළමාවිය අද අමතක වෙලා. ඔවුන් අතේ තියෙන තාක්ෂණය සමග ඔවුන්ට හොඳ මෙන්ම නරක ප්‍රතිඵල ලැබෙන බවක්ද දැකිය හැකිවෙනවා. ඔවුන්ට ඕන දේ දැකගන්න අද ඒතරම් මහන්සිවෙන්න ඕනේ නැහැ. තාක්ෂණ ලෝකයක ජීවත් වන ළමා පරපුරක් සමගයි අප අද සබඳතා පවත්වන්නේ. අද කාලේ ළමයි අපගේ කාලයේ ළමයිට වඩා හරි වෙනස්. එය කාලයේ පරිවර්තනයත් සමග වෙලා තියෙන්නේ. ඒ කාලේ අප ශ්‍රවණය කළේ ගුවන්විදුලියෙන් අපට දෙන ගීත අද දරුවන් ශ්‍රවණය කරන්නේ ඒ අයට කැමති ගීත. අප හැදුණේ වැඩුණේ අකුරු ප්‍රධාන කොටගත් සියවසකයි. අද සමාජය අකුරු, රූප, කොටගත් සියවසකයි. අද සමාජය අකුරු, රූප, තියෙන පරිසරයකයි ළමයි හැදෙන්නේ. ළමයින්ට එදාට වඩා අද ලොකු වාසියක් තියෙනවා. ඒ වාසිය සමාජයක් හැටියට කළමනාකරණය කර ගන්න අපට බැරිවෙලා තියෙන බවයි මගේ අදහස. ළමා සමාජය දියුණු වුණාට පතපොත කියවන ප්‍රමාණය නම් ඉතා අඩු අගයක් ගන්නේ. ඒ වගේම සාහිත්‍ය වගේ විෂයකට මේ දියුණු සමාජයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පවා ඉතා අඩු වටිනාකමක් තමයි හිමිවෙන්නේ. අද ළමයිට කවුරුහරි පිටුපසින් ඉඳලා සෑම මොහොතකදීම මගපෙන්වීම කරන්න ඕනේ. අපේ කාලේ ඒ මගපෙන්වීම කරන්න දෙමාපියන් අපගේ පසුපස නිතරම හිටියේ නැහැ. කෙසේ හෝ මේ කාලවකවානුවේ මෙය තමයි ළමයිගේ පෞරුෂයේ හැඩය. අද සමාජයේ ළමයිට විවිධ දේ තමන්ගේ රුචි අරුචිය මත තෝරා බේරා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරතුරම ළමයින්ගේ ළමා ලෝකය එක අතකින් පටු කරන්නත් දෙමාපියන්ට සිදුවෙලා තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ළමයි ඊතල වගෙයි. දෙමාපියන්ගේ වගකීමවන්නේ ළමයා හැකිතරම් ඈතම ඉලක්ක වෙත තල්ලු කිරීමයි. දරුවා කියන්නේම දෙමාපියන්ට ඉතා කෙටි කාලයකට ඔවුන්ගේ ගේ දොර සුන්දර කරන්න අපේක්ෂා හදා ගන්න ලැබුණු තෑග්ගක් හැටියටයි මා නම් දකින්නේ. මෙය දාමයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. දෙමාපියන් ඉන්නේ ආදරය ලබන්නට වඩා ආදරය ලබාදෙන්නටයි. දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සමග වැඩිහිටියන්ගේ සිත නොරිද්දාගන්න පුළුවන් තැනකට අප යායුතු වෙනවා. අප දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න ඕනේ. ඔවුන් මත අප යැපෙන්න බලාපොරොත්තු තබාගන්න ඕනේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ලෝකය හදා ගන්න අප ඉඩදිය යුතු බවයි මගේ නම් අදහස.

 

පරිවර්තන කාර්යයේදී ඔබේ භූමිකාව අර්ථකථනය කැරෙන්නේ කොහොමද?

මා තනිකරම The Secret Garden  කෘතිය පරිවර්තනය කරන විට ප්‍රාන්සස් හොග්සන් බර්නට්ගේ යටත් වැසියෙක්. හොග්සන් කියන දෙයට එහා, හොග්සන් කියන්න උත්සාහ කරන දෙයට එහා මට වචනයකින්වත් වෙනසක් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ පොත පරිවර්තනය කරන කාලයේ මා හොග්සන්ගේ සිරකරුවෙක් කිව්වොත් එය නිවැරදියි. මෙය මා ඒ තරම් බැඳීම් සමග පරිවර්තන කරන්නේම මෙය හොඳ කෘතියක් නිසා. මට පුළුවන් ද හොග්සන් මහත්මිය ඇවිදගෙන ගියා කියලා කියන දෙයක් දුවගෙන ගියා කියලා කියන්න. ඇය ලියලා තියෙන වාක්‍යයෙන්, වාක්‍යයට, අදහසින්, අදහසට මා ඇයගේ යටත් වැසියකු පමණයි. ඕනෑම පරිවර්තකයෙක් එසේ විය යුතු බවයි මගේ අදහස. මට කිසිම අයිතියක් නැහැ පරිවර්තකයා ලෙස එහි මුල් කෘතියේ කිසිදු වෙනසක් කරන්න. ඕනෑම පරිවර්තකයෙක් මුල් කෘතිය ලියන ලද කර්තෘගේ යටත්වැසියෙක් බවයි මගේ නම් අදහස. සමහර කෙනකු හිතන්න පුළුවන් මට මේ මනුස්සයාට මේ තරමටම යටත්වෙන්න පුළුවන්ද කියලා. හැබැයි ඔබ පරිවර්තකයෙක් නම් හොඳට මතක තබාගත යුතුයි මුල් කෘතියේ අදහසට මොනයම් ලෙසකින් හෝ බලපෑමක් නොකරන්න.