හෘදය සාක්ෂ්‍යය කෝ ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර

රසික ගුණවර්ධන

නදී කම්මැල්ලවීර පරිවර්තිකාවක්, සමාජ ක්‍රියාකාරිණියක් සේ ම සම්මානනීය රංගන ශිල්පිනියක්. රංගනය පිළිබඳව එතෙර මෙතෙර අත්දැකීම් ඇති ඇය සමඟ කැරුණු මෙම කතිකාවත රංගනය, වත්මන් එතෙර මෙතෙර කලාව සේම ප්‍රේමය පිළිබඳවද විෂය කරගනී.

ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර

ඔබේ පියා සාහිත්‍යකරුවෙක්. ඔබ ඒ වටපිටාවත් සමඟ ලිවීමට වඩා රංගනයට යොමුවෙන්නේ කොහොමද?

ඒක අහම්බයක්. මම පාසල් කාලයේදිවත් රංගනයට යොමුවීමක් තිබුණේ නෑ. විශ්වවිද්‍යාලෙට තේරිලා කැම්පස් පටන් ගන්නකල් ගෙදර ඉන්න කාලේ තාත්තා මාව සෝමලතා සුබසිංහ මිස්ගේ වැඩමුළුවකට යොමු කළා. මට ඒ පිළිබඳව ඇතිවෙච්ච කැමැත්තත් එක්ක මම නොකඩවා එයට සහභාගි වුණා. මම පස්සේ දන්නේ ඒ වැඩමුළුව තිබ්බේ මිස්ගේ හිමකුමරිය නාට්‍යයට චරිත තෝරගන්න. මට ඒ නාට්‍යයේ සුළු චරිතයක් හිමිවෙනවා. ඊට මාස හත අටකට පස්සේ මිස් මට කීවා “උඹ පොඞ්ඩක් හිම කුමරිය චරිතය ස්ටඩි කරපං” කියලා. සසන්ති ජයසේකර සහ කුමුදු ඒ වෙනකොටත් ඒ චරිතය නිරූපණය කරමින් හිටියේ. එතකොට මම කළුයි, හිම කුමරියට ගැළපෙන පෙනුමක් මට තිබ්බේ නෑ කියලා මට හිතුණේ. මිස් මට කීවා “උඹ ඒවා හිතන්න ඕනේ නෑ. සුදු වෙන්නේ පාටින් නෙවෙයි. මම ඒ චරිතය ලියලා තියෙන්නේ එහෙම නෙවේ, කියලා.” අන්තිමට මම ඒ චරිතය අනික් නිළියෝ දෙන්නත් එක්ක කළා. ඒ දෙන්න අයින් වුණාට පස්සේ මම ඒ චරිතය අවුරුදු ගාණක් කළා. පස්සේ මිස් මාව විකෘති නාට්‍යයේ ප්‍රියංගනී කියන ප්‍රධාන චරිතයට ගත්තා. ඒ දවස්වල අශෝක හඳගම හිටියේ සෝමලාතා මිස්ගේ ගෙදරක කුලියට. අපි පුහුණුවෙන තැනට උඩ ගෙදර. ඔහුගේ මේ මගේ සඳයි චිත්‍රපටයට තරුණ ගෑනු ළමයෙක් අවශ්‍යවෙලා කෞෂි අක්කා මාව යෝජනා කරලා මාව ඒකට තෝර ගත්තා.

අදටත් මම කැමතියි ලේඛිකාවක් වෙන්න. රංගනය අකමැතියි නෙවෙයි, රංගනයට මම අතිශයින් කැමතියි. හැබැයි මම හිතනවා ලියන අය විශේෂයි.

රංගනයට යොමුවීමෙන් පසු ඔබට නිළියක් වීම දැනෙන්නේ කොහොමද?

රංගනයට යොමුවීම භාග්‍යයක්. මෙය ප්‍රගුණ කළ යුතු, අභ්‍යාසයේ නිරත වී විවිධ මානයක් සොයාගත යුතු ගැඹුරු විෂයක් සහ ශිල්පයක්. රංගන ශිල්පියෙකුට සමාජයේ විවිධ මනුෂ්‍ය චරිත ප්‍රතිනිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් අනිත් මනුෂ්‍ය ජීවිත පිළිබඳ සහානුකම්පාව අත්දකින්න පුළුවන්. ඒක රංගන ශිල්පියකුට පමණක් හිමිවෙන අවස්ථාවක්. ඒක මනුෂ්‍ය ලෝකය අවබෝධ කරගන්න, ලෝකය අවබෝධ කරගන්න, අපිවම අවබෝධ කරගන්න ලැබෙන විශේෂ අවස්ථාවක්.

ඔබ විවිධ වූ චරිත නිරූපණයේදී ඒ චරිතවලට අනන්‍ය වූ ආත්මයන් අවබෝධ කරගන්නේ කෙසේද?

ඕනෙම කෙනෙකුට චරිතයක බාහිර දේ අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි චරිතයක ආත්මය නිරූපණය නළුවාගේ හෝ නිළියගේ ගොඩනැන්වීමක්. මගේ ඇස් දෙකෙන් කියැවෙන්නෙ මොකක්ද? දෙබස් හැසිරවීම කුමනාකාරද, එය නළුවා හෝ නිළිය චරිතය අවබෝධ කරගත්ත ආකාරය මත වෙනස් වෙනවා.

සාමානයෙන් පිළිගන්නා ක්‍රමය තුළ නිර්මාණයක කර්තෘ හිමිකම අධ්‍යක්ෂවරයාට හිමිවෙනවා. එවිට නළුවාට හෝ නිළියට තමගේ චරිතය හෝ නිර්මාණය සඳහා ඇති කර්තෘ හිමිකම කුමක්ද?

පිටපත, අධ්‍යක්ෂණය සහ රංගනය යන ත්‍රිත්ත්වය හරහා නිර්මාණයක් බිහිවෙනවා. එහිදී නිර්මාණයේ අයිතිය අධ්‍යක්ෂවරයාට හිමිවෙනවා. චරිතයක අයිතිය එය නියෝජනය කරන නළුවාට හෝ නිළියට හිමිවෙනවා. වේදිකාව තමා මේක තේරුම් ගන්න හොඳම තැන. චරිතයක් මම කරනවා. ටික කාලයකින් මම කරන ඒ චරිතය මම නැතුව වෙන කෙනෙක් රඟපානවා. ඒ දෙබස්මයි, මම වේදිකාවේ හැසුරුණු ආකාරයටම ඒ නිළියත් හැසිරෙන්නේ. ඔක්කොම එකම විදිහට කරත් දෙන්නගෙ ලොකු වෙනසක් නැද්ද?
අන්න ඒ නිසා මම රඟ දක්වපු චරිතයේ හිමිකම මට ලැබෙනවා. එය වෙන කෙනකුට සිදුකිරීමට නොහැකි දෙයක්. ඒ නිරූපණය තුළ මම ඉන්නවා, ජීවිතාවබෝධයෙන් මම මිනිස්සු ගැන තියන ආදරය වේවා සැකය වේවා ඕනෑම ආකාරයක දැක්මක් හරහා ගොඩ නැගුණු චරිතයක් මට අයිතියි කියලා මම හිතනවා. නළුවාට හෝ නිළියට චරිතයේ කර්තෘත්වය හිමිවෙන්නේ ඇයට හෝ ඔහුට තියන අනන්‍යතාවත් සමග.

ඔබ නිළියක් වශයෙන් මෑතකදී ලංකාවේ නිර්මාණවලට සේ ම ලංකාවෙන් පිටත නිර්මාණ කීපයක් සඳහාද සහභාගි වී තිබෙනවා. ලංකාවේ නිළියක් වීම සහ ලංකාවෙන් පිටත නිළියක් වීම කුමනාකාරද?

ජූඞ් ලෝ, ජෝන් මැල්කොවිච්, ඩියෑන් කීටන්, සිසිල් ඩි ෆ්‍රාන්ස්, සිල්වියෝ ඕලැන්ඩෝ වගේ ලෝකයේ විශිෂ්ට නළු නිළියන් මට Young Pope කතාමාලාවේ රංගනයේදී මුණ ගැහෙනවා. ඒ වගේම ඕස්ටේ්‍රලියාවේ කරපු  Counting and Cracking  කියන වේදිකා නාට්‍යයේ රංගනයෙදිත් විවිධ රටවල නළු නිළියොත් සමඟ වැඩ කරන්න අවස්ථාව හිමිවෙනවා. ඒ අත්දැකීම බොහොම අපූරුයි.

රංගන හැකියාව හෝ නිර්මාණශීලීත්වය පැත්තෙන් බැලුවාම අපේ රටේ ශිල්පීනුත් ලෝකේ අනිත් කලාකරුවොත් එක්ක හරි හරියට ඉන්නවා. එහෙත් මෙහේ සහ එහේ සංසන්දනය කරද්දි මම දැකපු දෙයක් තමයි ඒ ශිල්පීන් බොහොම වගකීම් සහගතව ක්‍රියාකිරීම. ඔවුන්ට තරග කරන්න වෙන්නේ ලෝකයත් එක්ක. ඒ තරගයත් එක්ක තමයි අර වගකීම ඇති වෙන්නේ. මම දැකුපු ලොකුම දේ ශික්ෂණය. ඕස්ටේ්‍රලියාවේ නාට්‍යය පුහුණු වෙන කාලේ හැමදාම පෙර පුහුණුවීම් සඳහා දහය වෙනකොට ඉන්න ඕනේ. එක දවසක් මම පුහුණුවීම්වලට යන ගමන් පාරේ ඇවිදගෙන යනවා. වෙලාව දහයයි එකයි. ස්ටේජ් මැනේජර්ගෙන් මට කෝල් එකක් ආවා. මගෙන් ඇහුව “නදී ඔයා කොහෙද?” මම කීවා “මම එන ගමන්” එතකොට එයා කීවා “ඔබ දහය වෙනකොට ඉන්න ඕනේ.” ලංකාවේ අපට විනාඩියක් නෙවේ විනාඩි දහයත් වුණත් ගාණක් නෑ. එහෙදි එහෙම බෑ. එදා මම ගොඩක් ලැජ්ජාවට පත්වුණා. මේක සෙල්ලමක් නොවන වග මට තේරුණා.

මෙහෙදි මම මේ ගැන කියද්දි මෙහෙ රංගන ශිල්පීන්ට ඒ දේ ප්‍රායෝගිකව කරන්න බෑ. ගෙවීම, ප්‍රවාහනය, වගේ බාධක මෙහෙ තියනවා. සම්පත් බාධක තිබුණත් කාවද්දලා තියන විනය සහ හික්මීම අප පුහුණු කළ ගත යුතු දෙයක්.

එහෙදි මම දැකපු තව දෙයක් තමයි චරිතයක් ලැබුණහම ප්‍රධාන සහ සහාය චරිත කරන සෑම නළු නිළියෙක්ම ඒ චරිතය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීම. පිටපත හරහා සිදුකරන විශ්ලේෂණය, තමන්ගේ චරිතය පිළිබඳව අනෙක් අය තුළ පවතින ආකල්පය, චරිතයේ ඉතිහාසය වගේ හැම දෙයක්ම ඔවුන් සොයනවා. ඒවා ඔවුන්ගේ චරිත ගොඩනැංවීම සඳහා උපකාරී වෙනවා. එය තමන්ගේ චරිතය පිළිබඳව දක්වන අසීමිත වගවීමක්. ලංකාවෙත් එය සිදු නොවෙනවා නොවේ. ඒත් ලංකාවේ එය සිදුවන්නේ බොහොම සැහැල්ලුවෙන්. ලංකාවෙන් පිටත තියන විශේෂත්වය තමා ඒ වගවීම ක්ෂේත්‍රයේ රැඳී සිටීම උදෙසා ක්ෂේත්‍රය විසින් ඉල්ලා සිටීම.

ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රය හැඩ ගැහිලා තියෙන්නේ කුමක් හෝ වුවමනා නිසා නිර්මාණයක් බිහිකිරීම අවශ්‍යතාවටද?

එය ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේත් තියනවා. මම Young Pope එකේ ෂූටිං වලට ඉතාලියට ගිහින් ඉන්න කාලේ ඒ අයට කීවා ලංකාවේ ටෙලි නාට්‍ය කලාව බොහොම නරක තැනක තියෙන්නේ ලාභ ඉපැයීමට පමණක් උත්සාහ කරනවා කියලා. එවිට ඔවුන් මට කීවා ඔවුන්ගේ රටෙත් ඒ දේ සිදුවෙමින් තිබෙන බව. ලෝක මට්ටමෙන්ම හුදෙක් විකුණා ලාභ ඉපයීම සඳහාම පමණක් කලාව නිර්මාණය කිරීමක් සිදු වෙනවා. හැබැයි ඒ අතරම ගුණාත්මක බවින් ඉහළ නිර්මාණත් බිහිවෙනවා. අපේ ඒ දේ සාපේක්ෂව අඩුයි. කෙසේ වුවත් මෑතක සිට සුළු මට්ටමින් වුණත් හොඳ ටෙලි නාට්‍ය ලංකාව තුළ බිහිවෙමින් පවතින බවක් පේනවා.

කලාත්මක හෝ වාණිජමය යනුවෙන් ශානරයන්හි වටිනාකම්වල වෙනසක් පවතින්නේ නෑ. ශානරයට වඩා වැදගත් වන්නේ ඒ ශානරය තුළ වඩා ගුණාත්මක නිර්මාණයක් සිදුකිරීම. ඕනෑම ශානරයක් තුළ වගකීම් සහගතව, ප්‍රේක්ෂකාගාරයට අවංකව නිර්මාණ බිහිකිරීමේ හැකියාවක් තියනවා. බොලිවුඞ් සහ හොලිවුඞ්වල නිර්මාණය වන වාණිජමය චිත්‍රපට පවා මහා ජීවන පරිඥානයක් නොමැති වුවත් නළු නිළියන් තමන්ගේ ප්‍රේක්ෂකාගාරයට අවංකයි. එය අධ්‍යක්ෂවරයාගේ සිට සියලුදෙනාටම පැවතිය යුතුයි.
ලංකාවෙත් මේ වෙද්දි බොහෝ දුරට එවැනි සංස්කෘතියක් සුළුවෙන් වුවත් නිර්මාණය වෙමින් පවතිනවා. තරුණ අධ්‍යක්ෂවරුන් ඒ සඳහා අවතීරණය වීමට පටන් අරන්. ප්‍රේක්ෂකාගාරයත් දිනාගෙන ගුණාත්මක බවත් රැකගෙන නිර්මාණයක් සිදුකිරීම විශාල අභියෝගයක්. කූඹියෝ ප්‍රේක්ෂකාගාරයත් දිනාගෙන, ගුණාත්මක බවත් රැකගෙන, දේශපාලනිකව අභියෝගත් කරපු මෑතදී බිහිවූ හොඳ නිර්මාණයක්. එහි රංගනය, අධ්‍යක්ෂණය, පිටපත යන සියලුම දේ ඉහළ කැපවීමක් සහිතව ඉහළ මට්ටමක පැවතියා. දේශපාලන මඩ ගොහොරුවේ, අධ්‍යාපනය, ආගම විසින් විනාශ වූ ප්‍රේක්ෂකාගාරයක් අපට තියෙන්නේ. එවිට කලාකරුවා සූක්ෂම විය යුතුයි මේ ප්‍රේක්ෂකාගාරය පසාරු කරගෙන යන ප්‍රතික්ෂේප නොකරන නිර්මාණයක් බිහිකිරීම උදෙසා.

සිවිල් ක්‍රියාකාරීන් පවා මෙය අවබෝධ කරගත යුතුයි. විඥානය ඉතාම පහළ මට්ටමක පවතින පිරිසට පවා ආමන්ත්‍රණය කිරීමට ක්‍රමයක් සෙවිය යුතුයි. මේ සියලු දෙනා සමඟ ගමන යා යුතුයි. ඔවුන් පැත්තකට දාලා හැදීමට සමාජයක් නෑ.

ලෝකයේ කලාව බොහෝ සමාජ පෙරළිවලට සම්බන්ධ වී පවතිනවා. එහෙත් ලංකාවෙදි කලාව එවැනි සමාජ පෙරළි සඳහා නිර්මාණමය වශයෙන් දායක වී නැති බවත් පේනවා.
ලංකාවේ ප්‍රධාන පෙළේ නිර්මාණකරුවන් එවැනි ගැටලු සාකච්ඡාවට බඳුන් කරලා තියෙන්නේ ඉතාම අවම වශයෙන්. එයට එක හේතුවක් අපි සංස්කෘතිකව පටුවීම. කලාව ලංකාවේ ලොකු දෙයක් නොවේ. එය අධ්‍යාපනය, ජනමාධ්‍ය සෑම තැනකම පොදු දෙයක්.

මෙය සිදුවන්නේ විවෘත ආර්ථිකයත් සමග. ජේ. ආර්. කියනවා කලාව වැඩක් නෑ. ඔහු ඉතිහාසය සහ සාහිත්‍යය විෂය නිර්දේශයේ අනිවාර්ය විෂයයන්වලින් ඉවත් කරනවා. ඒ හරහා සාහිත්‍ය පිළිබඳව මිනිස්සුන්ට තිබ්බ හැදෑරීම ඉවත් වූවා. සාහිත්‍ය හරහායි මනුස්සයන් සංවේදීවීම, විවෘතවීම ආරම්භ කරන්නේ. හැත්තෑ හතෙන් පස්සේ ලංකාවේ ආණ්ඩුව සංස්කෘතික ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කෙලෙසල දැම්මා.

ඒ වගේම තමා රාජ්‍යය විසින් එය ඉවත්කරන විට එය ගොඩගැනීමට අනෙක් පස ශක්තිමත් ප්‍රවාහයක් පැවතියේ නෑ. අදටත් එය නෑ. අද කලාව ගොඩගන්න අමාරු තැනට පැවතියත් එය ගොඩ ගැනීමට හැකියාවක් ඇති බව මම විශ්වාස කරනවා.

කසුන් කල්හාර ඇසුර දැන් ඔබට දැනෙන්නේ කොහොමද?

කසුන්ට තමයි මම ජීවිතේ වැඩිපුරම ආදරය කරලා තියෙන්නේ. ඒ නිසාම තමා මම ඔහු සමඟ විවාහ වෙන්නේ. එයා ගැන මගේ හිතේ තියෙන හෘදයංගම සෙනෙහස හැමදාම පවතින්නක්.

ඔහු මුලින්ම මගේ ප්‍රේමවන්තයා. ඉන්පසුව ස්වාමිපුරුෂයා. එහෙත් අපේ සම්බන්ධයේ ස්වභාවය එදා තිබුණට වඩා අද වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස්වීමත් එක්ක මම ජීවිතේ මාවම දැනගන්න, මාවම හොයාගන්න, ලෝකය දිහා වෙන විදිහකට බලන්න උත්සහ කළා. ආදරය අහිමිවීමත් එක්ක එන විශාල වේදනාවෙදි මනුස්සයකුට හොයන්න වෙනවා තිත්ත නොවී ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ප්‍රේමය අවසන් වෙනවනම් ලේසියි. ප්‍රේමයේ විවිධ මුහුණුවර තියනවා. කසුන් එක කාලෙකදි මගේ රොමෑන්තිය ප්‍රේමවන්තයා. තව කාලෙකදි මගේ ජීවන සහකරුවා. ඉන්පසු මගේ සමීපතම මිත්‍රයෙක් බවට පත්වෙනවා.

මට කසුන්ගේ ජීවන භාවිතාව පිළිබඳ මේ වෙද්දි යම්කිසි මට්ටමකට විවේචනයක් තිබුණත්, කසුන් කියන්නේ විශාල හදවතක් තියෙන කෙනෙක්. මම ඔහුව දැනගන්න කොට ඔහු ලෝකයට ගොඩක් විවෘත කෙනෙක්. ඔහු කලාකරුවෙක් විදිහට පටන්ගන්නේ නිර්භීත වැඩ ගොඩක් එක්ක. තිබිච්ච ඒව කඩනවා, අලුත්ම එකක් ගේනවා. ඔහු නිර්මාණකරුවෙක් විදිහටත් ආත්ම විශ්වාසය උපරිමයට තියෙන කෙනෙක්. සමහර තැන්වලදි ඔහු උද්දච්චයි. එහෙත් ඒක දක්ෂ නිර්මාණකරුවකුට තිබුණට කමක් නැති ලක්ෂණයක්. ඔහුට සීමාවන් තිබුණේ නෑ. අතීතකාමී බැඳීම්, සංස්කෘතිය, සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න ඕනේ වුණේ නෑ. නිර්මාණකරණයේදී ඔහු ඕන තැනකින් හුළං වදින්න ජනෙල් ඇරපු ගෙයක් වගේ.
ඉස්සර කසුන් සහ එයා එක්ක එකට හිටපු නිර්මාණ සගයෝ ආදරවන්තයො වගේ. එක්කෙනෙක් මොනවහරි කරහම අනිත් කෙනාට ඉන්න බෑ. ඒ කාලේ ඔවුන් ශිල්පයත් එක්ක අනුරාගයෙන් උතුරා යනවා. නිර්මාණකරණයේදී එකිනෙකාට අවංකයි. අවුල් නං බොරු නැතුව කර ඇරලා අවුල් කියනවා. මාරයි නං කට පුරා පසසනවා. වැළඳ ගන්නවා. එක දිගටම එකිනෙකාට අභියෝග කරගන්නවා. අලුත් අලුත් පර්යේෂණ කරනවා. මම ඔවුන්ගේ සමාජයෙන් ඒක දැක්කා. නදීක ගුරුගේ, ඉන්ද්‍රචාප, චමින්ද රත්නසූරිය, චරිත් සේනාධීර, නදීක ජයවර්ධන, ඔවුන් නිතරම එකට හිටියේ. ඔවුන් එකිනෙකාගේ ශිල්පයට බොහොම අවංක වුණා. කලාකරුවෝ හැටියට මම ඒක ඔවුන්ගේ දැක්ක හරිම අපූරු සම්බන්ධයක්. වෘත්තියමය තරගකාරීත්වය හරි, ඊර්සියාව හරි, කුහකකම හරි නැතුව ඔවුන් නිර්මාණ වෙනුවෙන් මැරෙන්න හැදුවා.

නිළියක් සමඟ සමාජ ක්‍රියාකාරිණියක් වීම ඔබට දැනෙන්නේ කොහොමද?

නිළියක් විතරක් නෙවෙයි සෑම පුරවැසියෙක්ම සමාජ ක්‍රියාකාරිණියක් විය යුතුයි. අධ්‍යාපනය, දේශපාලනය, ජනමාධ්‍ය මේ හැම දෙයක්ම අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. රටේ පරිසරය විනාශ කරනවා නම්, මහජන මුදල් විනාශ කරනවා නම්, අතිශය මර්දනකාරී නීති පනත් ගේනවා නම්, ජනමාධ්‍ය ජාතිවාදය පතුරවනවා නම්, අධ්‍යාපනය සීමාසහිත මිනිසුන් බිහිකරනවා නම්, නාට්‍ය ශාලා වහනවා නම් මේ හැම එකටම විරුද්ධව හඬක් නගන්න හැම පුරවැසියෙකුටම අයිතියක් තියන්වා. හොඳ රටක් බිහිකරගන්න නම් එය අප හැම කෙනෙකුගේම වගකීමක්. එහෙම නැති එක තමයි අපේ රටේ ගැටලුව.

මිනිස්සු දේශපාලනය කියලා මොකක්ද එකක් හදලා, අපෝ අපට දේශපාලනය වැඩක් නෑ, ඒක කැතයි වගේ අදහසක ඉන්නේ. හැබැයි මිනිස්සුන්ට අමතක වෙලා තියනවා දේශපාලනය තමයි මේ හැම දෙයක්ම තීරණය කරන්නේ කියලා. නිදාගත්ත, අපට ඕව ඕනේ නෑ කියලා හිතපු පුරවැසි සමාජයක් අවුරුදු ගාණක් තිබීම තමයි රටේ සාපය.
රටේ මොකහරි ප්‍රශ්නයකට මැදිහත් වෙන්න ඕනේ කියලා දැනුණහම මට මම නිළියක් කියලා දැනෙන්නේ නෑ. ඒ වුණත් මට පුළුවන් මාව මිනිස්සු දන්න ගැනීමට පාවිච්චි කරන්න. මම විශ්වාස කරනව මනුස්සයකුට කුමන හෝ සිවිල් බලයක් පවතිනවානම් එය යහපත් සමාජයක් බිහිකර ගැනීමට භාවිත කළ යුතුයි.

ලෝකයේ පවා කලාකරුවන් පාරට බැස්සා. ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව ඇතුළු ඕනෑම රටක සමාජ දේශපාලන සංස්කෘතික අර්බුදවලදී කලාකරුවන් ක්‍රියාකාරිකයන් විදියට මැදිහත්වෙනවා. අදහස් දක්වනවා. ඔවුන්ගේ සිටියේ ජනප්‍රිය කලාකරුවන්. මෑතකදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ ගුවන් පාලමක් ඉදිකිරීමේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ගස් තුන්දහසක් කැපිය යුතුව තිබුණා. කෙසේ වුණත් විද්වතුන්ගේ අදහස වූයේ එම ව්‍යාපෘතිය හරහා ඉලක්ක ගත අරමුණු ඉටු නොවන බව. මේ හේතුවෙන් මේ ව්‍යාපෘතිය නැවැත්වීම සඳහා විශාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. ඒ ව්‍යාපාරය කලාකරුවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කළා. එම ව්‍යාපෘතිය ආරම්භ වෙලා නොතිබුණත් ඒ වෙනකොට කර්ණාටක මහ ඇමතිවරයා ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම සිදුකර තිබුණා. කෙසේ හෝ මහ ඇමතිවරයාට අවසානයේ එම ටෙන්ඩර් කැඳවීම අවලංගු කිරීමට සිදුවුණා. සමස්ත සමාජයේ පරිවර්තනයක් උදෙසා කලාකරුවන් මැදිහත් වීම ලොකු භූමිකාවක් නියෝජනය කිරීමක්.

ලංකාවේ මේ මොහොත ඔබට දැනෙන්නේ කොහොමද?

මට ලංකාව ගැන ඇතිවෙන්නේ කනගාටුවක්. ඒක කැකෑරෙන වේදනාවක්. ඉවරයක් නැති විනාශයන්, ඉවරයක් නැති මරා ගැනීම්, කෑලි කැඩෙනවා, විනාශ වෙනවා, ගස් කපනවා මගෙ රට කියලා මට දැනෙන්නේ එය සුවදායක තැනක් නොවන වගක්. එළියට ගිහිල්ලා මම මගේ මව්බිම ගැන හිතුවොත් මට මැවෙන රූපයේ ගිනි පේනවා, දුම් පේනවා, මිනී පේනවා, කඳුළු පේනවා, තිරිසන්නු වගේ දත් විළිස්ස ගත්තු දේශපාලකයෝ රැළක් ඉන්නවා. බඩ ගෙඩි තියන කැත දේශපාලකයෝ ඉස්සරහ බලයක් නැති කොඳු පාත්කරගත්තු මොළයක් නැති මිනිස්සු ගොඩක් ඉන්නවා.

හැබැයි මම ආසයි මගේ රට ගැන හිතනකොට කොළපාට පේනවා නම්, සාමයක් මට දැනෙනවා නම්, මට දුවගෙන එන්න හිතෙනවා නම්, මව්බිම කියන සුවය දැනෙනවා නම්.
අපි ඉස්සරහට යන්නෑ. අපි වැහිච්ච රටක්. මොකක් හරි ප්‍රගතශීලී අදහසක් ආවහම හාමුදුරුවෝ මැදට පනිනවා. ඒක එතනින්ම ඉවරයි. තිරශ්චීන දේශපාලකයෝ රකින්න හාමුදුරුවෝ ඉන්නවා. රටේ කරුමයට ඒ පිරිසට බලයක් තියනවා.

අපේ රටේ හැටදාහක් විතර අතුරුදහන් වෙලා තියනවා. තාමත් අම්මලා තමන්ගේ දරුවෝ හොයාගෙන උසාවි ගානේ යනවා. කෝ මේවට කතා කරලා තියන හාමුදුරු කෙනෙක්. ප්‍රාණඝාතයට විරුද්ධව කතා කරන හාමුදුරුවරු ළමයින්ව අරගෙන ගිහිල්ල මරලා දාපු ඒවට විරුද්ධව කතා කළාද?

මෙච්චර විනාශයක් රටට වෙලා තියෙද්දි ජනාධිපති සහ අගමැති ඒ වෙනුවෙන් කරන දෙයක් නෑ. ඒ දෙන්න එකට වාඩිවෙලා මේ ගැන කතා කළේ නෑ. එයාලගේ විරසකය නිසා ආගාධයේ තිබ්බ රට තවත් ආගාධයටම ගියා. ඔවුන්ට හෘදය සාක්ෂියක් නෑ. ලංකාව ගැන හිතනකොට මට දැනෙන්නේ නොනැවතී බුරා බුරා ගිනිගන්න දේශයක්. හැබැයි ඒක නිවන්න බෑ. මේක නිවන්න නම් පාලකයන්ට සහ දේශපාලකයන්ටත්, ඔවුන්ට ආවඩන ජනමාධ්‍ය අයිතිකරුවන්ටත්, පූජ්‍ය කාරකාදීන්ටත් රටේ ජනතාවගේ ජීවිත ගැන අබ ඇටයක තරම්වත් හෘදය සාක්ෂියක් පහළ විය යුතුයි.