ඩොලර් මිලියන හතරකට එකොළහක් විදී

රජිඳු කාශ්‍යප

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ප්‍රශස්තම ස්ථානය වන්නේ 1996 වසරේදී ලැබූ ජයග්‍රහණයයි. ඊට පසුව ඔවුන් 2007 සහ 2011 වසරවල දී දිනූ අනුශූරතාවන් කණ්ඩායමක් ලෙස අත්පත් කර ගත් ජයග්‍රහණයන් ය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන්නේ හැල හැප්පීම් රාශියකින් පසුව ය.

“ශ්‍රී ලංකාව පෙරළිකාර කණ්ඩායමක්. ඔවුන් එකමුතු විය යුතුයි. විශේෂයෙන්ම ක්‍රීඩකයෝ. ඔවුන්ට එංගලන්තයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන්ට කණ්ඩායම් හැඟීම තිබේ නම්, එකමුතුකමක් තිබේ නම් මම හිතනවා ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කරයි කියලා. කෙටි මාර්ග සොයන්න එපා. ඊළඟ තරගයට කිසි දෙයක් ඉතිරි කරන්න එපා. ලැබෙන තරගයේ දී සියල්ල ඉවර කරන්න. ඔබේ රට වෙනුවෙන් ඒ දෙය කරන්න.”

ශ්‍රී ලංකාව 1996 ජයග්‍රාහී ලෝක කුසලාන කණ්ඩායමේත් අනුශූරයන් වූ 2007 සහ 2011 වසරවල කණ්ඩායම්වලත් සාමාජිකත්වය දැරූ චමින්ද වාස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට පසුගියදා ප්‍රකාශ කර තිබුණි. වාස්ගේ මේ කරුණු දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින හැලහැප්පීම් සම්බන්ධයෙන් ද කදිම සාක්ෂියකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගි වූ අවසාන ජාත්‍යන්තර එක්දින තරගයේදී ස්කොට්ලන්තය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 35ක ජයග්‍රහණයක් ලැබුවේය. එය තරමක සහනයකි. එහෙත් එම ජයග්‍රහණය මතින් ලෝක කුසලාන තරගාවලියේ කේන්දරය සැකසීමට තරම් අප ඉක්මන් විය යුතු නැත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් කරනු ලැබූ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව මේ වන විට රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේ ය. අපට පහළින් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ඝනිස්ථානය පමණි. එබැවින් මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන නායකයන් අතුරින් කෝඩුකාර නායකයා වන දිමුත් කරුණාරත්නට පැවැරී ඇති වගකීම සුළුපටු නැත. එහෙත් ඔහුගේ කණ්ඩායමේ පළපුරුදු නායකයෝ සිවුදෙනෙක්ම සිටීම නිසා ඔහු, ඔවුන්ගේ ද සහයෝගය ලබාගන්නේ නම් මේ ගමන අපහසුවකින් තොරව යා හැකි යැයි අපි විශ්වාස කරමු.

කෙසේ වූවත් නිමාවූ ස්කොට්ලන්ත තරගයේදී ඉදිරි පෙළ පිතිකරුවෝ දැක්වූ දක්ෂතාත් වේග පන්දු යවන්නෝ දැක් වූ දක්ෂතාත් අප එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ද බලාපොරොත්තු වෙමු. එවිට යා යුතු ගමන කුමක්දැයි ඔවුන්ටම වැටහෙනු ඇත.

වැඩිම විනිසුරුවන් අපෙන්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරා ගෙන ඇති නිලධාරීන් ප්‍රමාණය 22ක් අතුරින් තිදෙනෙක් ම ශ්‍රී ලාංකිකයෝ ය.

තරග තීරකවරුන් 6 දෙනෙක් සහ ක්‍රිකට් විනිසුරුවන් 16 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් වන අතර රංජන් මඩුගල්ලේ තරග තීරකවරයෙකු ලෙස ද, කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ ක්‍රිකට් විනිසුරුවරුන් ලෙස ද මෙවර ලෝක කුසලානයේ දී කටයුතු කිරීමට නියමිත ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන ප්‍රදානෝත්සවයේ ආසන්නත ම, වසරේ විනිසුරු සම්මානයෙන් පිදුම් ලද කුමාර් ධර්මසේන මෙවර තරගාවලියේ මංගල තරගයේ දී පිටියේ විනිසුරුවෙක් ලෙසින් කටයුතු කිරීමට නියමිත ය.
ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ දක්ෂතම ක්‍රිකට් විනිසුරු ලෙසින් සම්මාන ලැබූ රුචිර පල්ලියගුරුගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය ය.

තරගාවලියට සහභාගි වන තරග තීරකවරුන් අතර ප්‍රවීණතම තරග තීරකයා වන්නේ රංජන් මඩුගල්ලේ ය. ඔහු තරග තීරකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන හයවැනි ලෝක කුසලාන තරගාවලිය වශයෙන් මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතිහාසයට එක්වෙන්නේ එතෙක් මෙතෙක් වැඩිම ලෝක කුසලාන තරගාවලි ප්‍රමාණයකට සහභාගි වූ තරග තීරකවරයා ලෙසිනි.

එංගලන්තය අංක එකට

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතුරින් මේ වනවිට ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙසින් එංගලන්තය සැක හැර නම් කළ හැකිය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව විශ්වාස කළ නොහැකි ය. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයේ පසුවීමත් ආසන්නතමයේ පැවති පාකිස්තානය සමග තරගාවලිය 4-0ක් සේ ජයග්‍රහණය කිරීමත් මේ විශ්වාසයට හේතු වී තිබේ. අනෙක් අතට තම මව්බිමේ තණතීරුවල වාසියත්, ප්‍රේක්ෂකයන්ගේ වාසියත් එංගලන්ත කණ්ඩායමට හිමිවීම ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට තවත් හේතු වී තිබේ.

ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය ඉදිරියේ මේ දක්වා සටහන්ව ඇත්තේ ඉතා අවාසනාවන්ත කණ්ඩායමක් ලෙසිනි. අවස්ථා තුනකදී ඔවුන් ලෝක කුසලාන අවසාන මහා තරගයට පැමිණියද එහිදී ඔවුන්ට සෑහීමකට පත්වෙන්නට සිදුවූයේ අනුශූර කුසලානයෙනි. ඒ 1979, 1987 සහ 1992 වසරවලදීය. මෙවර එංගලන්තය ලෝක කුසලානය දිනාගනු ලැබුවහෝත් ලෝකයට ක්‍රිකට් දායාද කළ හිරු නොබසින අධිරාජ්‍යය ඉතිහාසයේ ඔවුන් ලැබූ සුවිශේෂී ම ජයග්‍රහණය වනු ඇත.

ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එතෙක් මෙතෙක් කාලයේ එංගලන්තයෙන් බිහිවූ දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම ලෙසින් බොහෝ ක්‍රිකට් විචාරකයෝ මේ වනවිට ද පවසා ඇත. එමෙන් ම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත ක්‍රීඩකයෝ ක්‍රිකට් පිටියේ මේ වනවිට ආක්‍රමණය කර ඇති ආකාරය බලන විට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුව ඔවුන් වෙත නතුවීම සම්බන්ධයෙන් අමුතුවෙන් පැවැසිය යුතු නැත.

ඉන්දියාව ගැනත් විශ්වාසය

එංගලන්තය එක් පැත්තකින් කතා කරද්දී ඉන්දියාව ගැනද කතා කිරීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් ව සිටී. ඒ අතුරින් වැඩි දෙනෙක් ම ඉන්දීය ජාතිකයෝ ය. තම මව්බිම කෙරෙහි විශ්වාසය තබන්නන් අතුරින් සුවිශේෂී හෙළිරදරව්වක් කරන්නේ 1983 වසරේ ලෝක කුසලානය තම මව්බිමට දිනාදීමට නායකත්වය දුන් කපිල් දේව් ය.

“ඉන්දියාව නවක හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි. ඒ වගේම ඔවුන් අනෙක් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට වඩා අත්දැකීම් වැඩියි. අපේ කණ්ඩායම නිවැරදි සංයුතියකින් යුක්තයි. වේගපන්දු යවන්නන් 4 දෙනෙක්, දඟපන්දු යවන්නන් තුන්දෙනෙක් අපට ඉන්නවා. අනික් එක විරාත් කෝලි හා දෝනි ඉන්නවා. දෝනි හා කෝලි ඉන්දියාව වෙනුවෙන් ගොඩක් ලොකු වගකීමක් ඉටු කරනවා. ඔවුන්ට සම කළ හැකි කවුරුත් නෑ.”

මේ අතර නායක විරාත් කෝලි ද එරටින් පිටවීමට ප්‍රථම මාධ්‍ය හමුවේ තමන්ගේ කණ්ඩායම ගැන විශාල විශ්වාසයකින් කතා කර තිබුණි. කෙසේ වෙතත් ඉන්දියාවට පළමු තරග හතරේදී හමුවෙන්නේ පිළිවෙළින් දකුණු අප්‍රිකාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය සහ පාකිස්තානය යන ප්‍රබල කණ්ඩායම් ය.

“ඇෆ්ඝනිස්තානය වුණත් මෑත කාලයේ ලොකු දියුණුවක් ලබල තියෙනවා. ඒ නිසා හැම තරගයක දී ම අපේ උපරිමය කරන්න වෙනවා. තරගාවලියේ මුල් තරග 4 ප්‍රබල කණ්ඩායම් සමග තියෙන්නේ. අපේ ගමන ඒ තරගවලින් තීරණය කරන්න පුළුවන් වේවි. අස්ථාවර වෙන්න කිසිම ඉඩක් නෑ. තරගයට එනකොට හොඳින් සූදානම් වෙලා එන්න වෙනවා. ඒක තමයි අභියෝගය.” කෝලි පවසා තිබුණි.
සංගක්කාර සමගින් රටවල් 200ක් පුරා සජීව විකාශයන්

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන්ට විවිධ මාධ්‍ය ආවරණ මගින් සමීප කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වේ. ඒ අනුව ලොව පුරා විසිරී සිටින විවිධ මාධ්‍ය ආයතන මඟින් රටවල් 200ක පමණ මෙම තරග සජීවී ව විකාශය කිරීමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ අනුමත තරග විකාශන අයිතිය උසුලන Star Sports නාලිකාව විසින් මෙම විකාශයන්හී මූලිකත්වය ගනු ඇත. ඔවුන් භාෂා 7කින් ලෝක කුසලාන අත්දැකීම ප්‍රේක්ෂකයන්ට බෙදා හැරීමට නියමිත අතර ඉන්දියාවේ පමණක් ප්‍රාන්ත භාෂා 7කින් විකාශය කිරීමට ද නියමිතය. එහි දී හින්දි, දෙමළ, තෙලිඟු, කන්නඩා, බංග්ලා සහ මරාති භාෂා ඇතුළත් වන අතර තෝරාගත් තරග 12ක් පමණක් මලයාලම් භාෂාවෙන් විකාශය කෙරේ.

එමෙන් ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිනමාශාලාවල ක්‍රිකට් තරග විකාශය කිරීමට ද තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ මෙලෙස තරග විකාශය කරනු ඇත.
ශ්‍රී ලංකාවේ තරග විකාශය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු වන අතර ඔවුන් චැනල් අයි නාලිකාවේ තරග විකාශය කරනු ලබනු අතර ගුවන් විදුලි මාධ්‍ය ආවරණය සිත FM වෙත හිමිව ඇත.

මේ අතර බිලියනයක් පමණ වෙතැයි අපේක්ෂිත රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විස්තර කථනයේ යෙදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරාධනා ලැබ ඇත්තේ කුමාර් සංගක්කාර පමණක් වීම සුවිශේෂී වේ.

දූෂණ මර්දන නිලධාරීන් වැඩි අවධානයෙන්

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දූෂිත ක්‍රියාවලින් තොර තරගාවලියක් බවට පත්කිරීම අරමුණු කර ගනිමින් තරගාවලියට සහභාගි වන සෑම කණ්ඩායමකට ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු බැගින් අනුයුක්ත කිරීමට එම කමිටුව තීරණය කර තිබේ. තරගාවලියේ පුහුණු තරග මේ සිකුරාදා සිට ආරම්භ වන අතර එතැන් සිට දූෂණ මර්දන ඒකකයේ නිලධාරියා කණ්ඩායම සමඟ තරගාවලියේ අවසානය දක්වා ම කණ්ඩායම සමග රැඳී සිටී.

එම දූෂණ මර්දන නිලධාරියා කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් ම කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයේ නවාතැන් ගන්නා අතර කණ්ඩායම සමඟ තරගවලට සහභාගි වෙන ක්‍රීඩාංගණවලට මෙන් ම පුහුණු සැසිවලට ද සහභාගි වීමට නියමිත ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ ඇති වූ තරග පාවාදීම් සිද්ධීන් හා අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකය කටයුතු යොදා ඇති බවක් ද පැවැසේ.
එමෙන් ම පසුගිය පාස්කු ඉරිදා මෙරට ඇතිවූ සිද්ධිය හේතුකර ගෙන විශේෂ ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලාපොරොත්තුවයි. ඒ අනුව ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයට සහ ඒ අවටත්, තරග වදින ක්‍රීඩාංගණවලටත් යෙදවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විධි විධාන යොදා ඇති බැව් පැවැසේ.