සංචාරක ව්‍යාපාරයට
වින කැටූ
පාස්කු ප්‍රහාරය
දිනී ජයසේකර

පාස්කු ඉරුදින සිදු වූ ඛේදවාචකයෙන් සංචාරකයන් තිස් දෙකක් මරණයට පත්වීම නිසාත්, රටේ ආරක්ෂාව පිළිබඳ ගැටලු පවතින නිසාත් සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවීමක් දක්නට ඇත. මේ හේතුකොට ගෙන දැන් දැන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් පවතී. එය කර්මාන්තයක් ලෙස සිදු කරමින් සිටි පිරිස් ද එම කර්මාන්තයෙන් යැපුණු පිරිස් ද මේ වනවිට විශාල අර්බුදකාරී තත්ත්වයකට පැටලී සිටිති. මේ ඒ සම්බන්ධව වූ සටහනයි.
තිස්වසරක යුදමය වාතාවරණය පහව යාමත් සමග විදේශීය සංචාරකයින් ලංකාවට පැමිණීමේ සම්භාවිතාවේ විශාල දියුණුවක් ඇතිවෙමින් පැවති බව කිව යුතුය. 2019 මුල් කාලය තුළ සංචාරකයන් ලංකාවට පැමිණීමේ වර්ධනයක් ඇති විය. එහිදී සීගිරිය මූලික ස්ථානයක් ගත්තේ එහි ඇති සෞන්දර්යය මෙන්ම ප්‍රෞඪත්වය නිසාය. සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආර්ථික වාසි මෙම වසර තුළ අනෙක් වර්ෂවලට වඩා බලාපොරොත්තු සහගත විය. එහෙත් සිදුවූවේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. අප්‍රේල් 21 ඛේදවාචකය සිදුවීමට පෙර සීගිරිය නැරඹීම සදහා විදේශිකයන් 1500-2000ත් අතර සංඛ්‍යාවක් ද දේශිකයන් 1000ත් අතර පිරිසක් පැමිණියද ව්‍යසනයෙන් පසුව සීගිරිය නැරඹීම සඳහා දවසකට විදේශිකයින් 100-150ත් අතර පිරිසක් පැමිණෙන බව එහි නිලධාරීහු පවසති. එහිදී විදේශිකයන්ගේ පැමිණීම ශීඝ්‍ර අඩුවීමක් දක්නට ඇති බව කිව යුතුය. සාමාන්‍ය එක් විදේශිකයකු සඳහා රුපියල් 5300ක මුදලක් අය කරන අතර ගැටුම් ඇති නොවුණු කාලපරිච්ඡේදයේ රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් සීගිරි ලෝක උරුම ව්‍යාපෘතියෙන් දෛනිකව උපයා ඇතත් මේ වන විට එය රුපියල් ලක්ෂ 4 දක්වා පහතට වැටී ඇත. එයින් පැහැදිලි වන්නේ විදේශිකයන්ගේ පැමිණීම බොහෝ සේ සීමාසහිත වී ඇති බවයි. මේ සම්බන්ධව අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් බර්නාඞ් වසන්ත පැවසුවේ,
“ඇත්ත වශයෙන්ම 2019 අප්‍රේල් 21 සිද්ධිය සහ මේ සිදුවුණු ගැටුම් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීමේ යම් අඩුවක් ඇතිවුණා. එහෙත් පසුගිය මැයි 11 වැනිදා ඉඳලා විදේශිකයන් මෙරට සංචාරයට පැමිණීම වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තියෙනවා. අපි හිතනවා තව සති කිහිපයකින් මේ තත්ත්වය මගහැරිලා නැවත පෙර පැවති තත්ත්වයට පත්වීමේ හැකියාවක් ඇතැයි කියලා.”
එහෙත් මෙවර වෙසක් උත්සවය නිමිති කොට මැයි මස 18, 19, 20 තෙදින පුරා සීගිරි නැරඹීම නොමිලයේ සිදුවිය. එහිදී දේශිකයන්ගේ පැමිණීම සහ විදේශිකයන්ගේ පැමිණීම සංසන්දනය කළ විට විදේශිකයන්ගේ පැමිණීම 2%කට ආසන්න ප්‍රතිශතයක් විය. දේශිකයන් 19 දෙනෙකුට විදේශිකයන් එකකි.
ජපානය – ඉන්දියාව
ඉදිරි කාලසීමාව තුළ ශ්‍රී ලංකාව සංචාරය සඳහා නුසුදුසු රටක් ලෙස ජපාන රජය විසින් එහි ජනතාවට දැනුම් දී ඇත. ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට නොවැළැක්විය හේතුවක් මත හැර වෙන කිසිදු අවස්ථාවක සංචාරය සඳහා නුසුදුසු බව නිවේදන කර ඇත. වසර තිහක යුදමය වාතාවරණයක් පැවති වකවානුවේදී පවා මුළු රටම ආවරණය වන පරිදි මෙවැනි තත්ත්වයක් ජපන් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ නැත. එහෙත් මෙවර එය මුළු ලංකාවටම බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කර ඇත. මේ හේතුවෙන් ජපනුන්ගේ ලංකාවේ සංචාර සම්පූර්ණ වශයෙන්ම බිඳ වැටීමකට ලක්ව ඇත. මෙහිදී ජපන් සංචාරකයන් පමණක් නොව අනෙකුත් සියලු රටවල රජයන් ද ඔවුන්ගේ ජාතිකයන්ට ශ්‍රී ලංකාව මේ කාල පරාසය තුළ සංචාරය සඳහා නුසුදුසු බව නිවේදනය කර ඇති බව නියතය. මේ සම්බන්ධව සීගිරි විලේජ් හෝටලයේ සාමාන්‍යාධිකාරී ඇන්තනී පෙරේරා කීවේ මෙසේය.
“ලෝක සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම රට ලංකාව විදියටයි නම් කරල තියෙන්නේ. සමහරවිට මේකම හේතු වුණාද දන් නෑ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ඇති කරන්න. මොකද මෙම ප්‍රහාර එල්ල වෙන්න කලින් එක රටක් කියල නැහැ හැම රටකම විදේශිකයන් ලංකාවෙ සංචාරයට එකතු වුණා.”
මීට ඉහත මාස තුළදී එනම් 2019 මාර්තු මස අග්නිදිග රටවල්වලට අයත් ජපන් ජාතිකයන් 13042 මෙරටට පැමිණ ඇත. චීන ජාතිකයන් 78212ක්ද, දකුණු කොරියානු ජාතිකයන් 4960ක්ද, තායි ජාතිකයන් 3270ක්ද, වෙනත් ජාතිකයන් 91 දෙනෙක් ද පැමිණ ඇත. එහිදී 2019 මාර්තු මස අග්නිදිග රටවල සංචාරකයන් 99575ක් මෙරටට පැමිණ ඇත. එහෙත් 2019 අප්‍රේල් මස ඔවුන්ගේ පැමිණීම යම්තාක් දුරකට අඩුවීමක් දක්නට ලැබේ. එයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැක්කේ අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවයි. අප්‍රේල් පළමු දින සිට අප්‍රේල් 21 දක්වා සංචාරකයන්ගේ පැමිණීම මාර්තු මාසයට සාපේක්ෂව වර්ධනය වීගෙන පැමිණියද අප්‍රේල් 21 දින සිට ඔවුන්ගේ පැමිණීම නැවතී ඇත. අප්‍රේල් මස අග්නිදිග රටවල් වල ජාතිකයන් 117327 දෙනෙකු ලංකාවට පැමිණ ඇත. එයින් පැහැදිලි වන්නේ මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මස යම්කිසි වැඩිවීමක් ඇති වූ බවයි. එහෙත් එය අප්‍රේල් 21 සිට තත්ත්වය වෙනස්ය.
2019 අප්‍රේල් මස මෙරටට සංචාරය සඳහා පැමිණි රටවල්වලින් ඉන්දියාව දෙවන ශ්‍රේණියේ ස්ථානගතව ඇත. එහිදී ඉන්දියානු ජාතිකයන් 23431ක පිරිසක් එම මස ශ්‍රී ලංකා සංචාරයට පැමිණ ඇත. එහෙත් ඉදිරි වකවානුව තුළ ඔවුන්ගේ පැමිණීමද නිශ්චිත නැත.
රැකියා අවහිරතා
විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුකුළක් වූ සංචාරක කර්මාන්තය මේ අයුරින් කඩාවැටීම නිසා ඉදිරි වකවානුව තුළදී ශ්‍රී ලංකාව තවත් බරපතළ ආර්ථික අර්බුදයක ගිලෙනවා නියතය. එලෙසම රැකියා අර්බුදයකටද මුහුණපෑමට සිදුවන්නේය. ශ්‍රී ලංකාවේ තුන්වෙනියට ඉහළම ආදායමක් උපයන්නේ සංචාරක කර්මාන්තයෙනි. එයින් යැපෙන පිරිස ලක්ෂ 05කටත් අධිකය. මේ සම්බන්ධව ඇන්තනී පෙරේරාට අදහසක් ඇත.
“අපේ හෝටල් හතරක් තියෙනවා. සීගිරි විලේජ් හෝටලය තරු හතරෙ හෝටලයක්. ලංකාවට එන සංචාරකයින් වැඩි පිරිසක්, 80%ක පමණ ප්‍රතිශතයක් සීගිරි විලේජ් හෝටලයට පැමිණෙනවා. එහෙත් සති කිහිපයකට ඉහතදී අපි කෝටි නවයක විතර පාඩුවක් ලැබුවා. මේ පාඩුව අවම කරගන්න නම් අපිට හෝටල් වහන්න වෙනවා. ඒත් අපිට ඒක කරන්න විදියක් නැහැ. මොකද අපි ළඟ සේවකයො 190 දෙනෙක් සේවයේ යෙදෙනවා. හෝටලය වැහැව්වොත් ඔවුන්ගේ රැකියා ඔවුන්ට අහිමි වෙනවා. ඒත් දැනට පුහුණුවීම්වල නිරතවෙන පිරිසයි එදිනදා පඩි ගන්න සුළු සංඛ්‍යාවයි දැනුවත් කරලා ඔවුන්ව දැනට නතර කළා. අවුරුද්දට අඩු කොන්ත්‍රාත් පදනමේ සේවකයන්වත් තාවකාලිකව නවත්වලා තියෙන්නේ. කොන්ත්‍රාත් පදනම මත අවුරුද්දට වැඩි අයයි ස්ථීර සේවකයන්ගෙයි ඉතිරි නිවාඩු සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. දිගින් දිගටම මේ ගැටලුකාරී තත්ත්වය තිබුණොත් පඩි ඇතුව නිවාඩුවක් දෙන්න වෙනවා. මොකද සේවකයො තමයි අපේ ප්‍රධාන වස්තුව. ඒත් මාස තුන හතරකට ඇදිල ගියොත් අපිට මේ සම්බන්ධ තීරණයක් ගන්න වෙනවා.”
ඔහු පවසන ආකාරයට ලක්ෂ පහකගේ රැකියා අනතුරේය. ඔවුන්ට මේ වන විට විකල්පයක් අවශ්‍යව ඇති බව පැහැදිලිය. දෙසිය පනහකට අධික ජීවිත බිලිගෙන හමාරය. එහෙත් ඉතිරි සියල්ලන් ආර්ථිකයෙන් මිරිකී මැරි මැරී ජීවත් වන බව පාලකයන්ට කිව යුතුය.
ආරක්ෂාව තහවුරුයි – රජය
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවත්, අවශ්‍ය පහසුකම් සලසන බවත් සඳහන් කර ඇත. එහෙත් අප පසුවන්නේ පාස්කු ප්‍රහාරයේදී විදේශිකයන් තිස් ගණනකටත් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ පසුබිමකය.
“ඇත්තටම මේ ඇටෑක් එක වෙන්න කලින් අඩුම පැය දෙකකට කලින්වත් කීව නම් මෙහෙම ඇටෑක් එකක අනතුරු ඇඟවීමක් කරල තියෙනව කියලා, අපි සේරම බෑග් චෙක් කරල කට්ටියව හෝටල් ඇතුළට ගන්නේ. එහෙනම් මෙහෙම පිපිරීම් මාලාවක් වෙන්නෙ නැහැ හෝටල් ඇතුලේ.” එසේ පවසා සිටියේ ශ්‍රී ලංකා හෝටල් සංගමේ සභාපති සරත් උක්වත්තය.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසනාකාරයට උක්ත නිවේදනයේ පරිදි විදේශිකයන් ගුවන් තොටුපළට පැමිණි මොහොතේ සිට ඔවුන්ගේ ආරක්ෂාව SLTPB යුධ හමුදාව සහ ගුවන් හමුදාව සතුව ඇත. තවද  SLT හදිසි ප්‍රතිචාර නීති ක්‍රියාත්මක කර තිබීමත් හදිසි ඇමතුම් සේවා විවෘතව තැබීමටත් රජය කටයුතු සිද්ධ කරමින් සිටින බව එහි සඳහන්ය. එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමට තිබුණේ පාස්කු ඉරුදිනට කලින් නොවේද?
අප්‍රේල් 21 අඳුරු පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට යම් සමානකම් දැක්වූ ප්‍රහාර මාලාවන් කිහිපයක් පසුගිය වසර කිහිපය තුළ බොහෝ විදේශ රටවල ඇතිවිය. එහෙත් එයින් එම රටවල සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකාවට තරම් බරපතළ හානියක් සිදු නොවුණු බව කිව යුතුය. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඒ ඒ රටවල දේශපාලන නායකයින් අනුගමනය කළා වූ දූරදර්ශී නායකත්ව වැඩපිළිවෙලය. ලංකාවට එවැන්නක් නැති බව නම් පැහැදිලිය.

රජයෙන් දිරිගැන්වීමක් අවශ්‍යයි

ශ්‍රී ලංකා හෝටල් සංගමේ සභාපති
සරත් උක්වත්ත

ඇත්ත වශයෙන්ම දැන් සංචාරක ව්‍යාපාරය කලින් තිබ්බට වඩා කඩාවැටීමට ලක්වෙලා ඉවරයි. අපි මේ ව්‍යාපාරය හොඳට කරගෙන ආවා. අපිට අනෙකුත් වර්ෂවලට වඩා ලොකු බලාපොරොත්තුවක් 2019 වසර ගැන තිබුණා. එහෙත් පාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි මේ වගේ දෙයක් ඇත්තටම සිද්ධ වුණේ. ඒ නිසා දැන් අපිට මේකට ආණ්ඩුවෙන් යම්කිසි දිරිගැන්වීමක් අවශ්‍යයි. මොකද ඕනම හෝටලයක් බැංකුවලට ණයවෙලා තමයි බිස්නස් කරන්න පටන් ගන්නේ. හෝටලයක් හදන්න විශාල මුදලක් යොදවන්න වෙනවා. පවතින තත්ත්වය උඩ මේ ව්‍යාපාරය කඩාවැටිල තියෙන නිසා අපි ආණ්ඩුවට ඉල්ලීම් පහක් ඉදිරිපත් කළා. ඒවායින් කරුණු කීපයකට රජය අනුමැතිය ලබාදීල තියෙනවා. ඒත් අනෙකුත් යෝජනා උඩින් අතගාල ආපහු එවලා තිබුණා. රජය හොඳාකාරවම දන්නවා රටේ ආර්ථිකයට විශාල පන්නරයක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණා කියලා.

හෝටල්වලට වෙලා ඉන්න නෙවේනෙ සංචාරකයෝ ලංකාවට එන්නේ. නිතර නිතර ඇඳිරි නීතිය පනවන නිසා විදේශිකයන් එන්න අදිමදි කරනවා. එහෙම අවස්ථාවක විදේශිකයන් ලංකාවට නොපැමිණීම සාධාරණයි. මොකද ඔවුන් කැමති නිදහසේ ඇවිදල සංචාරයේ යෙදෙන්න. එසේනම් රජය විසින් ආරක්ෂාව තර කරලා ගැටුම් ඇතිවීම වැළැක්වීම සිදුකළොත් ඔවුන් නැවත පැමිණීමේ සම්භාවිතාව වැඩිවේවි.