ඇල්ලුවට ඉවර නොවෙන තව්හිද්ලා

නිමල් අබේසිංහ

තව්හිද් ජමාද් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගෙවී හමාර වන මේ මොහොතේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ ප්‍රධාන කාරණා වන්නේ කාත්තන්කුඩිය කුරුණෑගල ආදී ප්‍රදේශ කීපයක ත්‍රස්ත පුහුණු කඳවුරු සොයාගෙන ඇති බවය. නවතම පුවත වනුයේ මේවායින් පුහුණුව ලැබූවන් හාර දහස ඉක්මවන බවය.
කලෙක සිටම වහාබ්වාදීන් පිළිබඳ රට පුරා කතාබහක් තිබුණද ඒ පිළිබඳ හෙළිදරව් වන්නේ මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියත් සමගය. බුදුපිළිමවලට හානි කිරීම සිදුවන්නේ 2018.12.22 හා 26 දිනවලදීය. මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනුයේ 2019.01.16 දිනදීය.

මෙම සිදුවීමෙන් පසුව සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන 2019.01.14 දින පොලිස්පතිවරයා අමතමින් යවා ඇති වැදගත් ලිපියක් වේ. එම ලිපියට අනුව බුදුපිළිම විනාශ කිරීමට අනුබලදීම හා මෙහෙයවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, මෙම පුද්ගලයන් පිටුපස සිටින සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන මොනවාද යන්න ගැන ජනතාව විමසිල්ලෙන් සිටින බවද දන්වා යවා ඇත. එනිසාම මේ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ විශේෂ පුහුණුවලත් නිලධාරීන් නොසිටින බැවින් එම පරීක්ෂණය විශේෂිත දෙපාර්තමේන්තුවකට පවරන ලෙසටය.

මේ අනුව පොලිස්පතිවරයා විසින් බුදුපිළිමවලට අලාභ හානි සිදුකිරීම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. 2019.01.26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාතවිල්ලුවේ කරඬිපුවල් 8 කණුව ලැක්ටෝස්වත්ත පරීක්ෂා කරනු ලදුව එහි සිටි සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අබෝ හනිෆා මොහොඞ් මුෂීස්, අමීර් හම්සා මොහොමඞ් හමාස්, මොහොමඞ් නෆීස් මොහොමඞ් නප්‍රිඞ්. මොහොමඞ් නෆීස් මොහොමඞ් නවීත් යන සැකකරුවන් සිව්දෙනාය. මෙම සැකකරුවන් අතුරින් අබෝ හනීෆා මොහොමඞ් මුෆිස් ලබා දුන් තොරතුරු අනුව එම වත්තේ සඟවා තිබූ නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත. ඒවා මෙසේය. නයිටි්‍රක් ඇසිඞ් බවට සැක සිතිය හැකි කිලෝග්‍රෑම් 36 අඩංගු කෑන් 6කි. මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 210කි. පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කළ සුදු පැහැති කුඩු අඩංගු බැරල් 3කි. කිලෝග්‍රෑම් ප්‍රමාණය 100කි. ඉන්දියාවේ නිෂ්පාදිත ඩෙටනේටර් 99ක් සහිත පෙට්ටි එකකි. මෙයට අමතරව එම වත්තේ පිහිටි නිවාස පරීක්ෂා කිරීමේදී තවත් භාණ්ඩ 40ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම භාණ්ඩ අතර බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ 07ක්ද, මිලිමීටර් 3.8 වර්ගයට සමාන ජීව උණ්ඩ 05ක්ද, රසදිය ග්‍රෑම් 50ක බෝතල් 01ක්ද විශේෂිතය. මෙම පුපුරණ ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ පිළිබඳ සලකද්දී පැහැදිලි වනුයේ බෝම්බ නිෂ්පාදනය කිරීම හා හමුදා පුහුණුව වැනි පුහුණුවක් ලබා දුන් ස්ථානයක් ලෙසට මෙම ස්ථානය සැක කළ හැකි බවය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂිත ද්‍රව්‍ය රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ. ඒ අතරම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත කිසියම් බැංකු ගිණුම් ප්‍රමාණයක් පරීක්ෂාව සඳහා අධිකරණ නියෝගද ලබාගෙන තිබේ. වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍යයන්හි නියැදි රස පරීක්ෂක වෙත යවා ඇත්තේ 2019 අප්‍රේල් 08 වැනි දිනදීය. ඒ අනුව මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019-01-26 දිනදීය. වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාවනැල්ලේදී අමාත්‍ය කබීර් හෂීම්ගේ ලේකම්වරයකුගේ හිසට වෙඩි තබන්නේ ලේකම්වරයාගේ මාවනැල්ල නිවසේදීමය. මේ සම්බන්ධයෙන් එවකට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණද අප්‍රේල් 21 සිද්ධියෙන් පසුව වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සේ ම වෙඩි තැබූ පිස්තෝලයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියත් සමගම මෙම සිදුවීම පිටුපස දේශීය හෝ විදේශීය සංවිධාන සිටීද? ඒවායේ සහයෝගය ලබන ශ්‍රී ලාංකික සංවිධාන තිබේද යන සැකය ප්‍රදේශවාසීන් තුළ මෙන්ම සබරගමුව ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයා තුළද සැක මතුවී තිබුණු බව ඔහු පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියෙන් තහවුරුය. අනතුරුව එම පරීක්ෂණ කටයුතු භාර දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු විනාශකාරී භාණ්ඩ සොයා ගැනීමෙන් තවදුරටත් තහවුරු වේ.

මෙය තවදුරටත් තහවුරු කරනුයේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙන බවට කළ දැනුම්දීමයි. එම දැනුම්දීමේ ලිපියේ සඳහන් වන්නේ සහරාන් හස්මි නම් පුද්ගලයා හා ඔහුගේ ජාතික තව්හිද් ජමාද් සංවිධානය විසින් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවය. මෙම ප්‍රහාරය ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ඉතා වැදගත් පල්ලි කීපයක් ඉලක්ක කර සිදුවිය හැකි බවය. ඉන්දියාව එවන ලද ලිපියේ සිදුවිය හැකි මෙම ප්‍රහාරයන්ගේ ස්වභාවයද දක්වා ඇත. ඒ අනුව මරාගෙන මැරෙන ප්‍රහාරයත්, වෙඩි තැබීම්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ අනතුරක් විය හැකි බවද එහි සඳහන්ය. වෙනකක් තබා මෙම ප්‍රහාර සඳහා සහාභාගි වන පුද්ගලයන් ලෙස සහරාන් හස්මි, ජල් අල් ක්විත්හාල්, රිල්වාන්, සාදිඞ් මව්ලවි, සාහිඞ්, මිල්හාන් සහ තවත් අය ලෙස දන්වා තිබේ. මෙහි සාහිඞ් ලෙසින් දක්වා ඇත්තේ මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදුකිරීමේ මහමොළකරු ලෙස සැලකෙන අප්‍රේල් 21 සිද්ධියට පසුව ගම්පොළ සපත්තු කඩයක සැඟවී සිට අත්අඩංගුවට ගත් මාවනැල්ලේ පුද්ගලයාය. උක්ත ලිපිය පොලිස්පතිවරයා විසින්, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ඔහු සිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගින් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්ටත් යවනු ලදුව පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇත්තේ 2019 අප්‍රේල් 15 දිනදීය. එදින සඳුදාවකි. සිරිත් ලෙස කතෝලික දේවස්ථානයන්හි පාස්කු ප්‍රජාව පවත්වනුයේ 20 සෙනසුරාදා රාත්‍රියේ හා පසුදින (ඉරිදා) 21දා උදයේය.

මෙම ඉන්දීය බුද්ධි වාර්තාව පිළිබඳ නිසි අවධානයක් යොමුකර තිබුණේ නම් ආරක්ෂක විධිවිධාන යොදන්නට වුවමනාවටත් වඩා කාලය තිබූ බව පැහැදිලිය. මෙවැනි බරපතළ සිද්ධියක් නොවන අවස්ථාවලදී පවා කිසියම් පුද්ගලයකු පොලිසියකට දෙනු ලබන තොරතුරකට පවා පොලිසිය මෙයට වඩා ක්‍රියාත්මක වන අවස්ථා තිබේ. එහෙත් මෙහිදී පොලිසිය හුරතල්වීම පුදුමසහගතය. අනෙක් කාරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම බුද්ධි පණිවුඩය ලබා නොදුන්නේ ඇයිද යන්නය.

කෙසේ වුවත් අප්‍රේල් 21න් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූයේය. එහෙත් වනාතවිල්ලුවේ පුපුණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් පසුව තරමක් මන්දගාමී ලෙස ක්‍රියාකර තිබේ. එකී සිද්ධියත් සමග ඔවුන්ද රහස්‍ය වාර්තාවක් පොලිස්පතිවරයා වෙත ලබා දුන් බව කියවුණද ඉන් එපිටට එයට සිදුවූ දෙයක් ගැන දැනගන්නට නැතිවීමද පුදුමසහගතය.

වෙනකක් තබා මැයි 13 වයඹ පළාතේ ස්ථාන කීපයකත් මිනුවන්ගොඩත් සිදුවූ ඛේදවාචකයන්ද වළක්වා ගන්නට ඕනෑතරම් අවස්ථාව තිබූ බව පෙනෙනමුත් එයද වළක්වා ගන්නට ආණ්ඩුව අසමත් විය. සමස්ත සිද්ධි දාමයම දෙස නෙත් හැර බලන විට පෙනෙන්නේ ආණ්ඩුවේ ඉහළම තැනේ සිට පහළම තැන දක්වා සාමාජිකයන්ගේ පැවති සහ තවමත් පවතින ඇල්මැරුණු උදාසීන වගකීම් විරහිත ස්වභාවය නොවේද?