හැප්පෙන්න ආවොත් ඉරානය කුඩු කරනවා

එස්. නන්දලාල්

පසුගිය ඉරිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම උපයෝගී කැර ගනිමින් ලොවට මෙසේ දැන්වී ය. ‘ඉරාණයට සටන් කරන්නට අවශය නම් එය ඉරානයේ නිල අවසානය වනු ඇත. නැවත අමෙරිකා එක්සත් ජනපදයට තර්ජනය කිරීමෙන් වළකිනු’ ජනාධිපති ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩවල බස කොහොමටත් තරමක් අමුතුය. එහෙත් මේ සටහනේ එසේ නොවේ. එහි ඉතා සරල ලෙස ගැඹුරු අදහසක් අන්තර්ගතය. අපේ බසට පරිවර්තනය කරන ලද හොත් එහි කියැවෙන්නේ ‘අපිත් එක්ක හැප්පෙන්න එපා, ආවොත් තොපි කම්බස් කරනවා’ වැන්නකි. එහෙත් ඉරානය තමන්ට තර්ජනය කළේ කෙසේද’යි ජනාධිපතිවරයා කියන්නේ නැත. ඉරානයේ අවසානය එළැඹෙන්නේ කෙසේද කියා කියන්නේ ද නැත. රුසියාවේ rt වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි මෙය ජනාධිපති ට්‍රම්ප්ගේ ගෝලීය උද්ධච්චකමයි. අධිමාන්නය ප්‍රකාශයට පත් කිරීමයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මේ මහන්තත්තකම ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරයේ දී ‘අමෙරිකාව 1’ යන ස්ලෝගනය ඉදිරිපත් කිරීමෙන්ම පෙනී යයි. ඊට වසර අටකට නමයකට පෙර බරක් ඔබාමා කී ‘වෙනසක්’ යන්න සමග සැසඳීමෙන් එය වටහා ගත හැකි ය.
ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ඔහු විසින් කරන ලද සහ කරගෙන යමින් සිටින නොයෙකුත් දෑ මෙනෙහි කරන විට පැහැදිලි වන්නේ අමෙරිකාව 1වන ස්ථානයට ගෙන ඒමේ ඔහුගේ ව්‍යාපාරයේ දී ලොව අනෙක් රටවලට කුමක් වුණත් කමක් නැත’යි ඔහු සිතන බවයි. දේශගුණය පිලිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත් වීම සහ ඔබාමා පාලන සමයේ ඉරානය සමග අත්සන් තැබූ ‘ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක අවබෝධතා සැලැස්ම JCOPA නම් ගිවිසුමෙන් ඉවත්වීම ඔහුගේ එම ලක්ෂණය පෙන්නුම් කරන ප්‍රමුඛ විෂය දෙකයි.

ඉරානය න්‍යෂ්ඨික අවි නිශ්පාදනය කරමින් සිටින්නේ ය යන චෝදනාව කලක පටන් එල්ල වෙමින් පැවැතියකි. එහෙත් තමන් නිරතව සිටින්නේ යුරේනියම් සුපෝෂණය (Uranium Enrichment) සහ න්‍යෂ්ඨික ප්‍රාගුණ්‍යය (Nuclear Proliferation ) මගින් බලශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක බව එරට කියා සිටියේ ය. මේ කාරණා විභාග කරන්නට එක්සත් ජාතින්ගේ පරමාණු බලශක්ති ඒජන්සියට පැවරුණු අතර එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2013 වසරේ ගිවිසුමක් සකස් කරන ලදී. පාර්ශ්ව කරුවන් වශයෙන් පංච මහා බලවතුන් ද ජර්මනිය ද (P5+1)  එක් පාර්ශ්වයකට සහ ඉරානය අනෙක් පාර්ශ්වයට ඇතුළත් ව 2015 ජුලි 14 අත්සන් තබන ලද ගිවිසුම JCOPA  නමි. මෙයට යුරෝපා සංගමය ද පාර්ශ්වකරුවකු වශයෙන් අත්සන් තබන ලද බව ඇතැම් තැනෙක දැක්වේ. මේ අනුව එකඟතාවට පැමිණි කරුණු නොඉක්මවා කටයුතු කිරීමට ඉරානය බැඳී සිටින අතර අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියට ඒ ගැන පරීක්‍ෂා කරන්නට බලය පැවරෙන අතර එම පරීක්‍ෂණවල දී එම ආයතනයට සහාය දෙන්නට ඉරානය බැඳී සිටියි. ඒ අනුව කටයුතු සාමකාමී අයුරින් ගෙවී ගියේය.

මේ හේතුව නිසා අමෙරිකා එක්සත් ජනපදය සහ සහචර රාජ්‍ය ඉරානයට සම්බාධක පනවා තිබූ අතර පරමාණු බල ශක්ති ආයතනයේ වාර්තා පදනම් කැර ගනිමින් එම සම්බාධක කෙමෙන් ලිහිල් කරන ලදී.

සම්බාධක ලිහිල් කිරීම නිසා ඉරානයේ ආර්ථික ශක්තිය කෙමෙන් වැඩි විය. මේ අතර සිරියාවේ අරගලය කෙමෙන් යුද්ධයක් බවට පත්විය. ඉසිස් සංවිධානය සිය කැලිෆේටය ප්‍රකාශ කොට සිරියාව එහි මූුලස්ථානය කැර ගැනීමේ අභිලාෂයෙන් සිරියානු රජයට එරෙහිව සටන් කළේය. අමෙරිකා එක්සත් ජනපදය දෙආකාරයකින් මෙයට සම්බන්ධ විය. ඉසිස් පරාජය කිරීම සඳහා එලිපිට ම කුර්දිශ් සටන්කාමීන්ට ආධාර කිරීම එක් ක්‍රමයකි. අනෙක් අතට සිරියාවේ ජනාධිපති බෂිර් අල්-අසාද් පළවා හැර තමන්ගේ රූකඩ පාලනයක් සිරියාවේ ස්ථාපිත කිරීම යටින් ගිය පිළිවෙතයි. සටනට එළැඹ සිටින අනෙක් පාර්ශ්වය වනුයේ සිරියානු විපක්ෂයයි.

මෙහි දී ඉරානය බෂිර් අල්-අසාද්ට සහාය පළ කළේය. ඊට මූලික හේතුව සුන්නි -ෂියා භේදයයි. ඉරානය ෂියා පාර්ශ්වයේ මූලස්ථානය සේ සැලකෙන අතර එරට ෂියා පාර්ශ්වයේ අලවිට්ස් ශාඛාවේ ලබ්ධික බෂිර්ට සහාය පළ කළේය. රුසියාව ද ඊට සහාය පළ කළ අතර ඒ නිසා අවසානයේ ඉසිස් ත්‍රස්තයන්ගේ කැලිෆේට් සිහිනය සුණු විසුණු කැර දමන්නට හැකිවිය.

මෙහිදී සුන්නි ඉස්ලාමයේ මූලස්ථානය ලෙස සැලකෙන සෞදි අරාබිය පාර්ශ්වයක් නොගත් නමුත් ඉසිස් සංවිධානයට ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහ ආධාර සැපයීම අනවරත ව සිදුවිය. යේමනයේ පවතින සිවිල් යුද්ධයේ දී සෞදි අරාබිය මානව හිමිකම් දැඩිව උල්ලංඝනය වන අයුරින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ඔවුන්ට එරෙහිව සටන් වැද සිටින සෞදි කණ්ඩායමට ඉරානය සහාය පළ කරන බවට සෞදි අරාබිය සහ අමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. ජනාධිපති ට්‍රම්ප් කියන්නේ සම්බාධක ලිහිල් කිරීම නිසා ඉතිරවන මුදල් ඉරානය ත්‍රස්ත සංවිධානවලට ආධාර කිරීම සඳහා යොදවන බවයි.

මේ අතර ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම අත්හැර නැති බවත් 2015ට පෙර ඔවුන්ගේ බලාගාර යනාදිය ඒක්සත් ජාතීන්ගේ ඒජන්සියට විවෘත නොකරන බවත් අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය අලුත් අදහසක් ඉදිරිපත් කළේය. ඒජන්සිය එම චෝදනාවද පරීක්‍ෂා කර බලන ලද නමුත් ඒවා සාවද්‍ය බව හඳුනා ගන්නා ලදුව ඉරානය JCOPA ගිවිසුම කිසිම ආකාරයකින් උල්ලංඝනය නොකරන බව වාර්තා කළේ ය. එහෙත් අමෙරිකාව සහ ඊශ්‍රායෙලය ඉන් සෑහීමකට පත් වූයේ නැත.

1979 ඉරාන විප්ලවයෙන් පසු ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර හොඳ හිතක් පැවැතියේ නැත. මේ නිසා සැම විටම අමෙරිකාවෙන් ඉරානයට කෙණෙහිලිකම් සිදුවිය. ෂා පාලන සමයේ ඉරානය විසින් අමෙරිකානු බැංකුවල තැන්පත් කරන ලද ඇ.ඩො. බිලියන ගණනක විශාල මුදල් කන්දරාවක් රජයේ නියෝගය පරිදි ගල් කරනු ලැබ තිබේ.

ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ ආරම්භ කරන ලද්දේ අමෙරිකා එක්සත් ජනපදයේ ආශීර්වාදය ඇතිව ෂා පාලන සමයේය. 1979 විප්ලවයෙන් අයතොල්ලාවරුන් පාලනය අත්පත් කැර ගත් මුල දී ඔවුන් විසින් එය ප්‍රතික්‍ෂෙප කරන ලදී. එහෙත් බල ශක්ති අවශ්‍යතාව මත එම පර්යේෂණ දිගටම පවත්වාගෙන යායුතු බව අනූවේ දශකයේ දී තීරණය කරන ලදුව න්‍යෂ්ටික පර්යෙෂණ ආරම්භ කරන ලදී. පසු කලෙක ඊට අදාළව එක්සත් ජාතින් වෙත පැමිණිලි ඉදිරිපත් වූ අතර ජාතීන් විසින් සම්බාධක පනවන ලදී. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට ඉරානයට අවශ්‍ය වු අතර JCOPA ගිවිසුම අත්සන් තබන ලද්දේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා පැමිණි එකඟතා අනුවය.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යුද්ධ කිරීමට වඩා අවියක් ලෙස සම්බාධක උපයෝගී කැර ගන්නෙකි. එමගින් රටවල් අසරණ බවට පත් කිරීම අතීතයේ සිටම අමෙරිකාව විසින් කර ගෙන යන ලදී. ට්‍රම්ප් එය ක්‍රියාත්මක කිරීමේ දී ක්‍රමයේ දිගුවක් භාවිත කරයි. ඔහු කියන්නේ තමන් සම්බාධක පනවන රට සමග ගනුදෙනු කරන්නේ නම් ඒ රටවලට ද සම්බාධක පනවනු ඇති බවය. බොහෝ රටවල් ඊට බියය.
2018 මැයි 18 දින අමෙරිකා එක්සත් ජනපදය JCOPA වෙතින් තමන් ඉවත් වන බව නිවේදනය කරන ලදී. ඒ අනුව ඔහු විසින් ඉරානයට සම්බාධක පනවන ලද අතර අනෙක් රටවලට ද ඉරානය සමග ගනුදෙනු නවත්වන ලෙස නියම කරන ලදී.

ගිවිසුම අත්සන් කළ අනෙක් රාජ්‍ය එනම් චීනය, රුසියාව, ෆ්‍රංසය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ද යුරෝපා සංගමය ද ගිවිසුමෙන් ඉවත් නොවන බවත් තමන් දිගටම ඉරානය සමග ගනුදෙනු පවත්වන බවත් ප්‍රකාශයට පත් කළ ද අමෙරිකානු තර්ජන හමුවේ මුනිවත රකිනු පෙනේ.

අමෙරිකාවට අවශ්‍ය වන්නේ ඉරානයේ පාලනය පෙරළා දමන්නටය. එහෙත් ඉරාකයේ හෝ ලිබියාවේ හෝ මෙන් එය පහසු කටයුත්තක් නොවේ. අමෙරිකාව එය දනී. යුද්ධ කිරීමේ ආදිනව ද ජනාධිපති ට්‍රම්ප් දනී. ට්විටර් සටහන තැබූ ඉරිදා විකාශය වූ සීඑන්එන් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු පවසන්නේ එය මුදල් නාස්තිවන මෙන්ම මිනිස් ජීවිත විනාශ කරන භයානක දෙයක් බවයි.
මේ වනවිට පර්සියානු බොක්කේ අමෙරිකානු යුද නැව් බලකායක් නැගුරම්ලා තිබෙනු දැකිය හැකිය. ගහනවාක් නොකීවත් එයින් ගහනවාය යන ඇඟවීම කෙරෙයි. එහෙත් ඉරානය දිගින් දිගටම ප්‍රකාශ කළේ යුද්ධයකට යන්නට තමන්ට ඇවැසි නොවන බවයි. එසේ නම් ජනාධිපති ට්‍රම්ප් අර වැනි ට්විටර් සටහනක් තැබුවේ ඇයි?

විශ්ලේශකයන්ගේ මතය වන්නේ එය පසුපස සිටින්නේ යුද උන්මාදයෙන් පෙළෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන් බවයි.

එදා උදේ ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලයයද පිහිටා ඇති අධි ආරක්‍ෂක කලාපයේ එම කාර්යාලයට තරමක් ඈතින් කත්සුයා වර්ගයේ රොකට් වෙඩිල්ලක් පතිත වී පුපුරා ගොස් ඇත. එයින් කිසිම ජීවිතයකට හෝ දේපලකට හානි සිදු වී නැත. බෝල්ටන් එය ඉරානයෙන් එල්ල වු එකකි’යි එක් වරම නිගමනය කළේය. එය නිකුත් වූයේ බැග්ඩෑඞ් නගරෝපාන්තයේ අල්-හිදීර් නම් ස්ථානයේ සිට බව පසුව අනාවරණය කැර ගෙන ඇත. ඒ වනවිට බෝල්ටන් විසින් උසි ගන්වනු ලැබූ ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩය නිකුත් කොට අවසන්ය.

ඩොනල්ඞ් ට්‍රම්ප් තුන්වන ලෝක යුද්ධය ට්වීටර් මගින් නිවේදනය කළේ ය’යි ජෝජ් ගැලෝවේ නම් බි්‍රතාන්‍ය දේශපාලනඥයා මෙන්ම කතුවරයා පවසන බව rt වෙබ් අඩවියේ දැක්වේ. ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ට්‍රම්ප්ගේ ට්වීටර් සටහනත් සමග ගල්ෆ් කලාපයේ යුද ආතතිය ඉහළ ගොසිනි.

මේ සම්බාධක පැනවීමෙන් වැඩිම හානිය සිදුවන්නේ ගැබිනියන්ට, දරුවන්ට සහ රෝගීන්ටය. යේමනයේ මිය ගිය දරුවන් සංඛ්‍යාව 400,000 ඉක්මවන බව සඳහන්ය. ඉරාකයේ ද තත්ත්වය යහපත් නොවේ. උතුරු කොරියාවේ සංඛ්‍යා ගැන කිසිවකු දන්නේ නැත. කෙසේ වෙතත් මෙමගින් විදහා දැක්වෙන්නේ සම්බාධක පනවන අයගේ හිතක් පපුවක් නැති කම බව අමුතුවෙන් කිවයුතු නැත.