අන්තවාදීන් ගැන තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදී තිබුණා නීතිඥ ජාවෙඞ් යුසුෆ්

සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

කිසියම් පුද්ගලයකු නොමග ගියහොත් සමාජය ඊට වගකිව යුතු බව කියැවෙනවා. ඒ අනුව සහරාන් වැනි පුද්ගලයන් බිහි වී ඔහු තුළින් ජාතික තවුහිත් ජමාත් වැනි සංවිධාන බිහි වීමට යම් ආකාරයකට මුස්ලිම් සමාජයත් වගකිව යුතුයි නේද?

සහරාන් සමාජයේ පොදු මතයට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙක්. ඒ නිසා තමයි ඔහු මද්රාසා ඉගැන්වීම් වලට ගියත් ඔහුව මද්රාසාවෙන් පලවා හැරියේ. ඒ නිසා තමයි සහරාන් නමැති පුද්ගලයා මුස්ලිම් සමාජයේ විවිධ අංශ සමග ගැටුම් ඇති කරගෙන මුස්ලිම් සමාජයේ පොදු මතයට බැහැරව ක්‍රියා කළේ. ඒ නිසා තමයි, මේ පාස්කු ඉරිදා සිද්ධිවලට පසුව මුස්ලිම් සාමජය එක හෙළාම ඔහු සහ ඔහුගේ සගයන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා එක හෙලාම ප්‍රතික්ෂේප කරලා ඉතුරු වූ පුද්ගලයන් සොයා ගැනීමට ආරක්ෂක අංශ වලට සම්පූර්ණ සහය දීමට මුස්ලිම් ප්‍රජාව ඉදිරිපත් වුණේ.

මුස්ලිම් සමාජය සහරාන් වගේ පුද්ගලයෝ හරි මගට ගැනීමට නොයෙකුත් උත්සාහ දැරුවා. ඒ නිසා තමයි මේ කලින් කියන ලද සම්මත ඇති වුණේ. බැරිම අවස්ථාවේ තමයි 2014 සිට නොයෙකුත් අවස්ථා වලදි මුස්ලිම් සංවිධාන හා පුද්ගලයෝ මේ ආකාරයට හැසිරෙන සහරාන් වැනි පුද්ගලයන්ගේ ලැයිස්තුව සහ තොරතුරු බුද්ධි අංශ වලට දීලා තිබුණේ.

අලුත්ගම, දිගන සහ අනෙකුත් ප්‍රදේශවලදී මුස්ලිම් සිංහල ගැටුම්වලදී මුස්ලිම් ජනයාට යුක්තිය ඉටු නොවුණු බවත් ඒ සිදු වූ අසාධාරණයට පළිගැනීමක් වශයෙන් මුස්ලිම් තරුණයන් සිංහල ජනයාගෙන් පළිගැනීමට ගන්නා ලද උත්සාහයක් ලෙස පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විග්‍රහ කරන පිරිසද සිටිනවා. එහි කිසියම් සත්‍යතාවයක් ඔබ දකිනවාද?

ඒක මට නම් පිළිගන්න බැහැ. අලුත්ගම සහ දිගන වැනි සිද්ධිවලට මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වූ බව ඇත්ත. හැබැයි, එවැනි අසාධාරණකම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණේ මුස්ලිම් ජනතාවට විරුද්ධ කුඩා බෞද්ධ සංවිධාන කිසා අපිට කියන්න පුළුවනි. ඒ වෙනුවට ප්‍රතිප්‍රහාර හැටියට මේවා සඳහන් වෙනවා නම් කතෝලික ජනතාව හා කතෝලික දේවස්ථාන වලට ගහන්න ඔවුන් පෙළබෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි මුස්ලිම් ජනතාවට නොයෙකුත් ප්‍රශ්න තියනවා. අනිත් ජන කොටස් වලට වගේම. හැබැයි, හැම අවස්ථාවකදීම මුස්ලිම් ජනතාව තමන්ට ආවේනික වූ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කළේ ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරමින් සාමකාමිව තවදුරටත් ප්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී. ඒ වගේම මේ සහරාන්ගේ කල්ලිය ලංකාව තුළ වාසය කරන මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළේ වත් නැහැ. ඒ නිසා තමයි සහරාන්ගේ කල්ලිය ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගෙන් බැහැර වූ කොට්ඨාසයක් හැටියට මම සඳහන් කරන්නේ.
සිංහල-මුස්ලිම් ගැටුම් පිටුපස මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳ ආධිපත්‍ය සිංහල ජනතාවට අත්පත් කර ගැනීමේ කූට සැලසුම් තිබෙන බවත් ඒ සඳහා අවස්ථාවාදී වර්ගවාදී දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලැබෙන බවට චෝදනා නැගෙනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?
එවැනි සාධාරණ සැකයක් තිබෙන බව අපට පැහැදිලිව පෙනෙනවා. මොකද 2012 සිටි මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද ප්‍රහාර සහ වෛරී ප්‍රකාශන හුඟක් වෙලාවට මුස්ලිම් ව්‍යාපාර දිසාවට තමයි එල්ල වුණේ. හැබැයි මේ ක්‍රියාවලීන්වල යෙදෙන අය අමතක කරන එසේත් නොමැති නම් නොතකා හරින කාරණාවක් තමයි මේ මුස්ලිම් ව්‍යාපාරවල වැඩි හරියක් රක්ෂා කරන්නේ සිංහල පුද්ගලයෝ බව. උදාහරණයක් මිනුවන්ගොඩදී ප්‍රහාර එල්ල වූ pasta (පස්තා) සාදන කම්හල ලංකාවේ ලොකුම පස්තා කම්හල වෙනවා. ඒකේ වැඩ කරන සේවකයන් බහුතරය වන 200ට වැඩි පිරිසක් සිංහල අය. ඒ වගේම මුස්ලිම් ව්‍යාපාර වලට හානි කිරීමෙන් ජාතික ආර්ථිකයටත් හානියක් සිද්ධ වෙනවා.

පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලින් භාන්ඩ මිලදී ගැනීම වර්ජනය කිරීමේ මතවාදයක් සමාජ මාධ්‍ය යොදා ගනිමින් ගොඩ නැගී තිබෙනවා. ඉදිරියේදී මෙය මුස්ලිම් ජනතාවත් අනුගමනය කළ හැකියි. මෙම තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

මුස්ලිම් කඩ වර්ජනය කරන මතවාදය අලුත් දෙයක් නොවෙයි. 2012 සිට මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ සංවිධාන පවා මුස්ලිම් ආයතන මුස්ලිම් භෝජනාගාර වර්ජනය කරන්න කියලා ප්‍රකාශ නිකුත් කළා. ඒකත් කලින් කියන ලද ආකාරයට වගේ උඩ බලා කෙළ ගසා ගැනීමක් තමයි. එවැනි ආයතන වල සිංහල අය සෑහෙන ගණනක් වැඩ කරනවා පමණක් නොවෙයි එවැනි ආයතන වලට බඩු සපයන්නන් පවා සිංහල අය බව කවුරුත් දන්නවා.

ඒකට ප්‍රතිචාරයක් හැටියට මුස්ලිම් අය සිංහල කඩ වර්ජනය කිරීම සිද්ධ වුණානම් ඒකෙන් සිංහල බෞද්ධ ආයතන වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමහර භාණ්ඩ, ඒ වගේම භෝජන ශාලාවලට වැඩි හරියක් යනු ලබන්නේ මුස්ලිම් අය.
මෙවැනි ක්‍රියා පටිපාටිවලින් සිද්ධ වෙන්නේ, එකට ජීවත් වෙච්ච, එකට ගණුදෙනු කරපු ජනකොටස් අතර විරසකභාවයක් හා එකිනෙකාගෙන් ඈත් වීමක් සිදු වෙනවා. ඒ වගේම සහජීවනය හා සංහිදියාව යන සංකල්ප වලට ලොකු බාධාවක් වෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් නිති රීති ජනවර්ග අතර භේදභින්නකම් වැපිරවීමට දායක වන බවට චෝදනා නැගෙනවා. ඒ සඳහා පොදු නීති මාලාවක් සකස් කළ යුතු බව ඇතැමුන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

ශ්‍රී ලංකාවේ නීති රීති වල 99%ක් පොදු නීතියයි පවතින්නේ. වෙළඳ කටයුතු, අපරාධ හා සිවිල් යනාදි නීති රීති වල හා නීති පද්ධතිය පොදුයි. උඩරට නීතිය, මුස්ලිම් නීතිය සහ තේසවලාමෙයි නීති පමණයි එක ජන කොටසකට විශේෂ නීතියක් වන්නේ.

ලංකාවේ මුස්ලිම් නීතිය යනු විවාහ හා දික්කසාද නීතිය, මුස්ලිම් පුද්ගලයකුගේ මරණයෙන් පසු ඔහුගේ/ ඇයගේ දේපළ බෙදන ආකාරය සඳහන් වන නීති සහ මුස්ලිම් පල්ලි පාලන කරන නීති රීති වේ.

ඒ අනුව බැලුවොත් මේ මුස්ලිම් විවාහ සහ අනෙකුත් නිතී ජනතාව බෙදෙන බවට කිසිදු සහතිකයක් නැහැ. ලංකාව හැමදාම ආඩම්බර වුණේ රටේ විවිධත්වය ගැනයි. ඒ විවිධත්වය රටට ශක්තියක් වුණා. එම නිසා සුළු ජන කොටස් සඳහා දැනට පවතින නීති රීති පොදු නීතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ පමණක් නොව, මෙතරම් කල් ඒ අනුගාමිකයන්ට තිබූ අයිතිවාසිකම් නැති කිරීමක්ද වෙනවා.

මුස්ලිම් සමාජය ලාංකිකකරණය කරනු වෙනුවට සීඝ්‍ර ලෙස අරාබිකරණයට ලක් වෙමින් පවතින බවත් දැකිය හැකියි. එවැනි පරිසරයක් තුළ මුස්ලිම් ජනයා කෙරෙහි වෙනස් කොට සැලකීමක්ද ඇති විය හැකියි. ඒ නිසාම ජාතීන් අතර සහජීවනයට එය ප්‍රබල බාධාවක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

විශේෂයෙන් ලාංකික ශ්‍රමිකයන් මැදපෙරදිග රටවලට සේවයට ගොස් අවුරුදු කීපයක් එහි ජීවත් වෙලා එන විට අරාබි රටවල් වල පවතින සමහර සිරිත් විරිත් සහ සංස්කෘතික අංග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් මුස්ලිම් ශ්‍රමියකන් ඒ රටේ සංස්කෘතිය ඉස්ලාම් ආගම පදනම් වූ සංස්කෘතිය නිසා සමහර අය එවැනි සිරිත් විරිත් හා අඳින පළදින විලාසිතාවන් අනුගමනය කරනවා. ඒක අරාබිකරණයට වඩා පොදුවේ ආගම කියන සංස්කෘතියක් හැටියටයි ඒ අය ඒක හඳුනා ගන්නේ. ඒ වගේම ලාංකිකයෝ බටහිර රටවලට ගිහින් කාලයක් තිස්සේ එහි ජීවත්ව සිට ආපසු පැමිණි විට ඒ සංස්කෘතිය මෙරටදී අනුගමනය කරනවා. අරාබි විලාසිතා ගැන මුස්ලිම් සමාජය තුළ මතවාද තිබෙනවා. එනමුත් මූලික එකඟතාවය තිබෙන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් කාන්තාවන් තමන්ගේ මුහුණ සහ අතේ අල්ල හැර මුළු ඇගම ආවරණය කළ යුතුයි. එය බටහිර විලාසයෙන් හෝ අරාබි විලාසයෙන් ලංකාවේ විලාසයෙන් හෝ ඉෂ්ඨ වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ සමහර පළාත්වල මාර්ග පුවරු අරාබි භාෂාවෙන් සටහන් කිරීම තේරුමක් නැහැ. මක්නිසාද වැඩිදෙනා දන්නේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි.

ඉස්ලාම් රාජ්‍යය සහ ISIS අතර සම්බන්ධයක් පවතින බවට මුස්ලිම් නොවන ප්‍රජාව තුළ සැකයක් පවතිනවා. ඉස්ලාම් රාජ්‍යය සහ ෂීෂී අතර සහසම්බන්ධාවයක් පවතිනවද? ඒ දෙක අතර පවතින වෙනස හඳුනා ගන්නේ කෙසේද?

ISIS කියන සංවිධානය ඉස්ලාම් ආගම පාවිච්චි කරන එක්තරා දේශපාලන සංවිධානයක්. ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් හා බලයෙන් තමන්ගේ දේශපාලන අරමුණු වන රාජ්‍යක් පිහිටුවන්න උත්සාහ කරනවා. එවැනි ව්‍යාපෘතියක් නබිතුමාගේ මූලිකත්වයෙන් තිබුණු රාජ්‍යට කිසිසේත්ම සමාන නැහැ. ලොව පුරා ඉස්ලාමීය විද්වතුන් විසින් ISIS කියන සංවිධානය ඉස්ලාම් ආගමට පටහැනි ක්‍රියාවල යෙදෙන සංවිධානයක් හැටියටයි සලකන්නේ. 2014 වසරේදී ලංකාවේ සමස්ත ලංකා ජම්මියතුල් උලමා හෙවත් මුස්ලිම් විද්වතුන්ගේ සංගමය විසින් ISIS සංවිධාන ඉස්ලාම් ධර්මයෙන් බැහැර වූ සංවිධානයක් බවට ප්‍රකාශ කර තිබෙනවා.

ISIS සංවිධානය සහ නබිතුමාගේ කාලයේ තිබුණු ඉස්ලාමීය රාජ්‍ය අතර පැහැදිලි වෙනසක් තිබෙන බව මා කලින්ද ප්‍රකාශ කළා. ඒ වෙනස හඳුනා ගැනීමට පුළුවන් හොඳම ක්‍රමය වන්නේ මේ රාජ්‍යන් දෙක අනුගමනය ක්‍රියා පටිපාටියේ වෙනස. නබිතුමාගේ කාලයේ ඉස්ලාම් රාජ්‍යයේ ජීවත් වුණ අන් ආගමිකයන්ට හානියක් නොවුණා පමණක් නොව සම්පූර්ණ ආරක්ෂාව දී තිබුණා. තබිතුමා නිකුත් කරන ලද ලියමනක් තිබෙනවා. එවකට ජීවත් වූ ක්‍රිස්තියානි ජනතාවට ඔවුන්ගේ ජීවිතය, ඒ ආගම ඇදහීමට තිබෙන අයිතිය හා කිතුණු දේවස්ථාන ආරක්ෂා කිරීමට කරන පොරොන්දුව ඒ ලියමනේ සඳහන් වෙනවා. ඒ පොරොන්දුව ඒ අයුරින්ම ඉෂ්ට වුණා. හැබැයි ISIS සංවිධානය අනික් ආගමික කොටස්වලට හිංසා කරනවා පමණක් නොවෙයි වැඩියෙන්ම මරණ ලද පිරිස මුස්ලිම් ජනතාවයි.