නාසිවාදයට අභියෝග කළ ධාවකයා ජෙසී ඔවෙන්ස්

ප්‍රභාස්වර

ඇමරිකාවේ ඔක්විල් නුවර පදිංචිව සිටි, ළමයින් නව දෙනකුගෙන් සමන්විත කළු ඇමරිකානු පවුලක 10 වැනි පිරිමි දරුවා ලෙස ජෙසී ඔවෙන්ස්, 1913 සැප්තැම්බර් 12 දින උපත ලැබීය. ධනවත් ඉඩම් හිමියකු යටතේ අඳ ගොවියකු ලෙස කටයුතු කළ ජෙසීගේ පියා (හෙන්රි ඔවෙන්ස්) එම ජීවනෝපායෙන් ලැබූ සොච්චම් ආදායම, පිරිමි දරුවන් 07ක් හා දැරිවියන් 03ක් නඩත්තු කිරීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ජෙසීට වයස අවුරුදු 09 ලබද්දී, හෙන්රි සිය පවුලද කැටුව ක්ලිව්ලන්ඞ් නම් කාර්මික නගරය බලා සංක්‍රමණය කළේය. එහිදි තම පියා සහ ලොකු අයියා වානේ කම්හලක කම්කරුවන් ලෙස දිවා රෑ නොබලා වැඩ කළද, ඔවුන් ඉපැයූ වැටුප් ‘දවස තලා ගැනීම’ පිණිස ප්‍රමාණවත් නොවන වග ජෙසීට වැටහිණි. පාසැල නිමා වුණු පසුව, එළවළු වෙළඳසැලක සේවකයකු ලෙසද, ලොරි වලට බඩු පටවන්නෙකු හා සපත්තු අලුත්වැඩියා කරන සාප්පුවක කම්කරුවකු ලෙසද තාවකාලික රැකියා ත්‍රිත්වයක ජෙසී නියැලුණේ මේ නිසාය.

ක්‍රීඩා දිවියේ ඇරඹුම

ජවන හා පිටිය ක්‍රීඩා කෙරෙහි තමන් තුළ ඇති ඇල්ම ජෙසී ඔවෙන්ස් පළමුවෙන් ප්‍රකාශ කර සිටියේ ෆෙයාමෙන්ට් පාසලේ මලල ක්‍රීඩා පුහුණුකරු වූ චාර්ල්ස් රයිලි සමගය. ධාවකයකු ලෙස හොඳින් පුහුණු වීමට අවශ්‍ය නම් පාසල ආරම්භ කිරීමට පෙර, හිමිදිරියේ ක්‍රීඩා පිටිය වෙත එන්නැයි චාර්ල්ස්, ජෙසී හට දන්වා සිටියේය. චාර්ල්ස්ගේ මග පෙන්වීම ඔස්සේ හොඳින් ධාවනය ප්‍රගුණ කළ ජෙසී, ෆෙයාමොන්හි නිවාසාන්තර තරග වලදී හැමවිටම ප්‍රථමයා වීම නොවැළැක්විය හැකි විය. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ පසුව, ක්ලිවිලන්ඞ්හි නැගෙනහිර තාක්ෂණික විදුහලට ජෙසී ඇතුල් වූයේ උසස් පෙළ හැදෑරීම සඳහාය. 1933දී චිකාගෝ නුවර පැවැත්වුණු අන්තර් පාසල් ජාතික ක්‍රීඩා උළෙලේදී මීටර් 91 දිවීමේ තරගය තප්පර 9.4කින් අවසන් කළ ජෙසී, ඒ හා අදාළව එතෙක් පැවති ලෝක වර්තාව සම කළේය. එහිදී දුර පැනීමේ ලෝක වාර්තාව සම කිරීමටද ඔහු සමත් විය. එතැනින් නොනැවතුණු ඔහු, ජාතික පාසල් මලල ක්‍රීඩා ශූරතාවය පිට පිට අට වතාවක් දිනා ගත්තේය. 1936 පටන් පැවති ජෙසීගේ මෙම වාර්තාව සෝවියට් කාටර් විසින් සම කරනු ලැබුවේ 2006 වර්ෂයේදීය. උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් වූ ජෙසී, 1934දී ඔහියෝ රාජ්‍ය විශ්වවිiාලයට ඇතුල් විය. ඇමරිකාව තුළ වර්ණභේදවාදය ඔඩු දුවා තිබුණු එම වකවානුවේ, සරසවි නේවාසිකාගාර පහසුකම් පිරිනැමුනේ හම සුදු ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට පමණි. එහෙයින්, විශ්වවිiාලය අසල බෝඩිමක නැවතී සිටීමට ජෙසීට සිදු විය. සරසවි මලල ක්‍රීඩා කණ්ඩායම සමග විවිධ තරගාවලි නියෝජනය කිරීම පිණිස රට පුරා ගමන් කරන අවස්ථාවන්හිදී, කළු අයට පමණක් වෙන් වූ හෝටල් වලින් ආහාර පාන හා නවාතැන් ගැනීම හැර වෙනත් විකල්පයක් කල්ලන් හට නොතිබුණි. විශිෂ්ඨතම මලල ක්‍රීඩකයන් හට නොමිලේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ඔහියෝ රාජ්‍ය සරසවිය විසින් පිරිනමනු ලැබුවද, හම කළු නිසා ජෙසී ඕවෙන්ස් වෙත එවැනි පහසුකම් ලබාදිය නොහැකි වග එහි පාලනාධිකාරිය ඔහුට දන්වා සිටියේය. සිය උසස් අධ්‍යාපනික වියදම් පියවා ගැනීම සඳහා පාසල් වියේදී මෙන්ම තාවකාලික රැකියා ගණනාවක නියැලෙන්නට ජෙසීට සිදු වූයේ එබැවිනි.

ජය කෙහෙළි නැංවීම

1935 මැයි 25 වැනි දින ඇමරිකාවේ මිචිගන්හි පැවති ජාතික ක්‍රීඩා උළෙලේදී, ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් වලින් නව ලෝක වාර්තා 03ක් තබා එකක් සම කිරීමටද ජෙසී ඔවෙන්ස් ක්‍රියා කළේය. ඔහු මෙම වික්‍රමය සිදු කළේ මිනිත්තු 45ක් වැනි කෙටි කාලයක් තුළදීය. ෆ්ලොරීඩා මධ්‍යම සරසවියේ ක්‍රීඩා ඉතිහාසය පිළිබඳ මාහාචාර්ය රිචඞ් ක්‍රෙපියු, 2005දී ජෙසී එදා දැක්වූ දස්කම් ගැන සිය අදහස් පළ කළේ මේ අයුරිනි. ‘එක් දිනක් තුළදී ජෙසී ඔවෙන්ස් අත්පත් කරගත් මළල ක්‍රීඩා ජයග්‍රහන සමුදාය, 1850 සිට මේ දක්වාම ලොව වෙන කොතැනකින්වත් දැක ගැනීඹට අපට හැකි වුණේ නැහැ. ශතවර්ෂයේ සිට ලොව හොඳම ක්‍රීඩකයින් හයදෙනා අතරට බි්‍රතාන්‍ය ගුවන් විදුලි සේවය ජෙසීගේ නම 1999 දී එක් කළේ මේ නිසයි.’ ඇමරිකාව තුළ වාර්ෂිකව පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා උළෙලේ විශිෂ්ඨතම ක්‍රීඩයාට හිමි වන ත්‍යාගය ‘ජෙසී ඔවෙන්ස්’ පදක්කම ලෙස අදත් හඳුන්වනු ලබන්නේ ඔහුගේ නාමය අමරණීය ලෙස ලෝක ක්‍රීඩා ඉතිහාස පොතේ ලියවුණු හෙයිනි. 20 වන සියවසේ, 06 වැනි ශ්‍රේෂ්ඨතම උතුරු ඇමරිකානු මලල ක්‍රීඩකයා ලෙස ESPN නාලිකාව ජෙසීව නම් කළේය.

1936 බර්ලින් ඔලිම්පික් උළෙල

1936 අගෝස්තුවේදී, ජෙසී ඔවෙන්ස් සිය පුහුණු සැසිවලට සහභාගී වීම පිණිස බර්ලින්හි ක්‍රීඩා පිටියට පිවිසි මොහොතේ ඔහුව දුටු ජර්මන් තරුණියන් ඔහුගේ නම හඬනගා කියමින් ප්‍රීති ඝෝෂා පවත්වන්නට විය. හිට්ලර්ගේ නාසි ජර්මනියේ සුදු හමඇති අය ඔහුව එසේ උත්කර්ෂයට නැංවුවද, වර්ණභේදවාදී ඇමරිකන් සුද්දන් බහුතරය ජෙසී දෙස බැලුවේ අවඥාවෙනි. හිට්ලර්, ජර්මානුවන්ව සැලකුවේ හොඳ ලේ ඇති සුපිරි ආර්යයන් ලෙසය. මිලිටරි බලය හරහා ලොව සියලු දේශයන් ජර්මනිය වෙත ඇදා ගැනීමට ඔහු තැත් කළේ, ආර්යය ජර්මානුවන් විසින් අනෙක් ජාතීන් පාලනය කළ යුතුය යන දර්ශනය හෙතෙම දැඩිය ඇදහු හෙයිනි. බර්ලින් ඔලිමපික් උළෙලේ සියලු පදක්කම්, සුපිරි ලේ ඇති ජර්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගනු ඇතැයි උත්සවයට දින කිහිපයකට පෙර හිට්ලර් ප්‍රසිද්ධියේ කියා සිටියේය. එම වියරු හා මානව විරෝධී අදහස පරදවා කෙසේ හෝ රන් පදක්කම් කිහිපයක් අත්පත් කරගත යුතු බවට ජෙසී ඔවෙන්ස් අදිටන් කර ගත්තේය. එහෙත් හිට්ලර්ගේ නාසි පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු වූ අඩිඩාස් ක්‍රීඩා බාණ්ඩ නිපැයුම් සමාගමේ හිමකරු ඇඩී ඇඩී ඩැස්ලර්, ජෙසීව බැහැ දකිනු පිණිස බර්ලින්හි ඔලිම්පික් ගම්මානය වෙත පැමිණ ඔහුට ඇඩිඩාස් සපත්තු යුගල කිහිපයක් තෑගී කළේය. අප්‍රිකානු- ඇමරිකානු පිරිමි මලල ක්‍රීඩකයකු හට ලැබුණු මුල්ම ජාත්‍යන්තර අනුග්‍රාහකත්වය සේ, ඇඩී ඩැස්ලර්ගේ මෙම පරිත්‍යාගය ඉතිහාස ගතවිය. 1936 අගොස්තු 03 වැනිදා පිරිමි මීටර් 100 ඔලිම්පික් ධාවන තරඟයේ රන් පදක්කම ජෙසී දිනා ගත්තේය. අගෝස්තු 04 දින දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කමද, අගෝස්තු 05 දින මීටර් 200 ධාවන ඉසව්වේ රන් පදක්කමද හෙතෙම අත්පත් කර ගත්තේය. අගෝස්තු 09 දා පැවැත්වුණු මීටර් 400 රිලේ තරගයේ රන් පදක්කම, ජෙසී ඇතුළු ඇමරිකානු මලල ක්‍රීඩා කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි. මෙම රිලේ තරඟය තත්පර 39.8කින් නිමා කරමින් ඔවුහු නව ලෝක වාර්තාවක් තැබූහ.

නිසි තැන නොදීම

1936 අගෝස්තු 03 දින සවස 5.45ට පැවැත්වුණු මීටර් 100 ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දිනූ ජෙසී ඔවෙන්ස්, මාධ්‍ය වෙත සාකච්ඡාවක් දීම සඳහා ක්‍රීඩාංගනයේ නැරඹුම් මැදිරි අසලින් ඇවිද ගිය මොහොතේ ප්‍රධාන මැදිරිය තුළ සිටි ඇඩොල්ෆ් හිට්ලර්, ඔහු දෙසට අත වනා සිනහමුසු මුහුණින් ජෙසීට සුබ පැතීය. ජෙසී ද පෙරළා ඔහුට අත වැනීය. ජෙසී ඔලිම්පික් රන් පදක්කම් ලද අවස්ථාවේ, ක්‍රීඩාංගනයේ සිටි 90,000ක් පමණ වූ නරඹන්නෝ අසුන් වලින් නැගී සිටිමින් ඔහුට උපහාර දැක්වූහ. එහෙත් ආපසු ඇමරිකාව බලා පැමිණි ඔහුට නිල පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කළේ නිව්යොක් නගරාධිපතිවරයා වූ ෆියොරෙල්ලෝ ලගාඩියා විසින් පමණි. මේ ගැන විස්සෝපයට පත් හෙතෙම, 1936 ඔක්තෝබර් 15 දින මාධ්‍යවේදීන් සමග මෙසේ සිය අදහස් පළ කර සිටියේය. ‘ජර්මනියේදී මා ඔබ මොබ සංචාරය කළේත්, හෝටල්වල නැවතී සිටියේත් සුදු ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟයි. මගේ කළු හම එරට කිසිවකුත් පිළිකුල් කළේ නැහැ. නරක මිනිසකු යැයි මා සිතූ හිට්ලර් පවා මට අත වනා සුබ පැතුවා. එහෙත් ඇමරිකානු ජනාධිපති රුස්වෙල්ට් මහතා අඩුම ගණනේ මට සුබ පැතුම් පණිවිඩයක්වත් එච්චේ නැහැ. මා සුදු හම සහිත ඇමරිකානු ක්‍රීඩකයකු වූවා නම්, ඔහු ධවල මන්දිරය වෙත මාව කැඳවනු නියතයි.’ ජෙසීගේ මේ විවේචනය කෙරෙහි කුපිත වූ ඇමඑිකානු පාලනාධිකාරිය හා සුදු ව්‍යාපාරික ප්‍රජාව, ඔහුව මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් පිටමං කිරීමට වක්‍රව ක්‍රියා කළා පමණක් නොව, ජීවනෝපායක නියැලීමේ ඉඩකඩද අහුරා දැමී්‍ය. ඔලිම්පික් රන් පදක්කම් හතරක් අතැතිව, පෙට්‍රල් ෂෙඞ් එකක පොම්පකරුවකු ලෙස රාත්‍රියේද, ලොන්ඩරි කළමනාකරුවකු ලෙස දහවලේද වැඩ කිරීමට ජෙසීට සිදු වුණේ මේ නිසාය. මෙය බලා සිටීමට නොහැකි වූ, ජෙසී සමග එකට ක්‍රීඩා කළ ධනවත් කළු ඇමරිකානුවකු වන විලිස් වෝඞ්, 1942දී ජෙසීව ෆෝඞ් මොටර් රථ නිපැයුම් සමාගමේ සහකාර අධ්‍යක්ෂ ධූරයට පත් කළේය.

ලුස් ලෝන්ග් (1913-1943)

1936 ඔලිම්පික් දුර පැනීමේ ඉසව්ව සඳහා ජෙසී සමග තරග කළ ජර්මන් ප්‍රතිවාදියා වූයේ 21 හැවිරිදි ලුස් ලෝන්ග්ය. අවසාන තරගයට සුදුසුකම් ලැබීඹ සඳහා ක්‍රීඩකයකු හට දුර පැනීමේ අවස්ථා තුනක් පිරිනැමෙන අතර ලුස් තම ප්‍රථම උත්සාහයෙන්ම එම අභියෝගය ජය ගත්තේය. හිට්ලර් සමග කේන්තියෙන් පිටියට පැමිණි ජෙසී, දුර පැනීමේ පළමු හා දෙවන අවස්ථා දෙකෙහිම සිය ඉලක්කය කරා යාමට අසමත් විය. ඉතිරිව තිබුණේ එකම අවස්ථාවක් පමණි. එකෙනෙහි ලුස්, ජෙසී වෙත පැමිණ මෙසේ කීවේය. ‘ජෙසී, ඔයා සෑහෙන්න කලබල වෙලා ඉන්නවා වගෙයි මට පෙන්නේ. අනෙක් දේ තමයි ඔයා දුවගෙන එන්න ලකුණු කරපු දුර ප්‍රමාණවත් නැති එක. එන්න අපි ඔයා ආරම්භය ගත්ත තැනට සෙන්ටි මීටර් 30කට එහායින් රේඛාවක් අදිමු. මම නාසි තරුණ ලීගයේ සමාජිකයෙක් වුණාට හිට්ලර් අපේ ජාතිය උතුම් ආර්ය ජාතිය බව කියනවාට එකඟ නැහැ. ඔයා කේන්තියෙන් ඉන්නේ ඒ නිසා නේද? දැන් හොඳ හුස්මක් අරගෙන සන්සුන්ව ක්‍රීඩා කරන්න.’ ලුස්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ ජෙසී තෙවැනි වටයේදී පහසුවෙන් සිය ඉලක්කය හඹා ගියේය. අවසාන තරගයේදී ජෙසී රන් පදක්කම දිනාගත් අතර ලුස්ට හිමි වුණේ රිදී පදක්කමයි. ජෙසී වරෙක මෙසේ කීය. ‘නාසි දුෂ්ඨයින් සොයා මා 1936 දී ජර්මනියට ගියත්, එහිදී මට හමුවුණේ ලුස් ලෝන්ග් වැනි මානව දයාවෙන් පිරි මිනිසුන්ය. විශිෂ්ටයින් යැයි මා සිතූ ඇමරිකානුවන් මට සැලකුවේ දුෂ්ට ලෙසය.’