අත්විය හැකි ඉරණම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ශ්‍රී ලංකාව දැන් මුහුණදෙමින් සිටින ප්‍රශ්නය තනිකරම දේශපාලන ව්‍යසනයකින් කෙළවර වන්නේ යැයි අනුමාන කළ හැකිය. එය වඩාත් බරපතළ විය හැකිවන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සහ ඉන්පසු ප්‍රදේශ කිහිපයක උද්ගතවූ අන්තවාදී ප්‍රහාර හේතුවෙන් පමණක්ම නොවන්නේය. එක් පැත්තකින් මෙම තත්ත්වය රටේ පාලන බලය පිළිබඳ තීරණාත්මක ඡන්ද විමසීමක් වන ජනාධිපතිවරණයට මාස 6ක පමණ කාලයක් තිබියදී, මෙරට දේශපාලන බලව්‍යුහයට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය. අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ මීළඟ පාලක කණ්ඩායම තීරණය කිරීම උදෙසා වන අන්තර්ජාතික අත පෙවීම ඉක්මන් කරවූ කාරණයක් ලෙස සැලකිය හැකිය. ආර්ථිකයට එල්ල වී ඇති සහ එල්ලවෙමින් පවතින ගණනය කරගත නොහැකි බලපෑම ශ්‍රී ලංකාව රටක් ලෙස තවත් අසරණ අඩියකට තල්ලු කර දමා තිබෙනවා පමණක් නොව කලාපීය සහ ලෝක බලවතුන්ට අත පෙවීමේ ඉඩකඩද වැඩිපුර විවර කරදී ඇත්තේය.

ඇමරිකාව, චීනය සහ ඉන්දියාව

ලෝක දේශපාලනයද ආර්ථික යුද්ධයක් බවට යළිත් පරිවර්තනය වෙමින් තිබෙනවා යැයි සිතිය හැකිය. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර එදිරිවාදිකම් උණුසුම් මුහුණුවරක් ගෙන ඇතුවාක් මෙන්ම එළිපිට වෙළෙඳ යුද්ධයක් බවට පත්වීමේ සම්භාවිතාවද වැඩිය. ඉන්දියාවේ මහ මැතිවරණයද කෙළවර වනු ඇතැයි සිතිය හැක්කේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ (නරේන්ද්‍ර මෝදිගේ) පාලනය තවදුරටත් ශක්තිමත් කරමිනි. මෙම තත්ත්වය මත ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් සහ චීනය මෙන්ම ඉන්දියාවද ශ්‍රී ලංකාව පිළිබඳ පරණ උනන්දුව අලුත් කරගෙන නැතැයි විශ්වාස කළ නොහැකිය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා, වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට දුරකතනයෙන් ඇමතීම මෙන්ම සිරිසේන ජනාධිපතිවරයාව චීනයට ගෙන්වා ගැනීමද අහඹු සිදුවීම් ලෙස සැලකිය නොහැකිය. මේ නිසා පාලකයන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පවා වියවුලකට ඇද දමා ඇතැයි සිතිය හැකිය. රට අභ්‍යන්තරයේ පවතින දේශපාලන අවුල එය වඩාත් උග්‍ර කරනවා මිස සමනය කරන්නක් යැයි හඳුන්වා දිය නොහැක. අවසානයේ, ප්‍රතිපත්තියක් නොමැති විදේශ ප්‍රතිපත්තිය රට තව තවත් දේශපාලන මෙන්ම ආර්ථික අගාධය කරා ඇදගෙන යෑම නොවැළැක්විය හැකිය.

ශ්‍රී ලංකාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් රටවල තමන් කැමති පාලකයකු, ආණ්ඩුවක් පවතිනවා දැකීම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවත් රාජ්‍යයක් මෙන්ම රුසියාව සහ චීනය වැනි බලවතුන්ද කලාපීය බලවතා ලෙස සැලකෙන ඉන්දියාවද කැමතිවීම අමුතු තත්ත්වයක් වන්නේ නැත. එවැන්නක් උදෙසා බලහත්කාරකම් කිරීමේ ඉම, තීරණය විය හැක්කේ ගොදුරුවීමට නියමිත රාජ්‍යයේ ශක්තිය මතය. එසේ ගොදුරුවීම අවම කරගැනීමට නම් ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද එම ශක්තිය අවශ්‍යයෙන්ම තිබිය යුතුවීම එහි හරය වන්නේය.

එහෙත් යහපාලන ආණ්ඩුව එහි ආරම්භය වූ 2015 සිටම ඒකමතික ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය. 2018 ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන පෙරළිය සමගින් මෙය, දෙපැත්තට ඇදීම කිහිප ගුණයකින් වර්ධනය වූ, ගින්දර දිය යටින් නොව එළිපිටම ගෙනයමින් සිටින ආණ්ඩුවක් වූ බව අපැහැදිලි නැත. අන්තර්ජාතික තලයේදීද ඔවුන් අනුගමනය කරමින් සිටින්නේ නොසැලෙන ප්‍රතිපත්තියක් නොව සැලෙන ප්‍රතිපත්තියකි.

ACSA සහ SOFA

ඔවුන් ඇමරිකාව සමග ACSA (Acquisition and Cross-Servicing Agreement අත්පත් කරගැනීමේ සහ දෙපාර්ශ්වය අතර සේවා සපයා ගැනීමේ ගිවිසුම) යළි සක්‍රීය කළේ 2017 ජූනි මාසයේදීය. ඊට ඇමරිකාව වෙනුවෙන් එවකට මෙරට ඇමරිකා තානාපති අතුල් කෙෂාප් (Athul Keshap) සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් එවකට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අත්සන් තැබුවේය. මෙසේ යාවත්කාලීන කෙරුණේ 2007දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා එවකට මෙරට ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් (Robert O Blake) සමග අත්සන් කළ ගිවිසුමම වුවත් පැරණි ගිවිසුමේ පිටු 8, මෙවර පිටු 80ද ඉක්මවා ගොස් තිබිණි. කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක ලේකම්වරයා සිටියේ ජනාධිපතිවරයා යටතේ වුවත් සිරිසේන මහතා මෙම ගිවිසුම කියවා ඇතැයි විශ්වාස කළ නොහැකිය. මෙය, කැබිනට් මණ්ඩලයේ සියලු ඇමතිවරුද කියවා ඇතැයි සිතිය නොහැකි වුවද, ඔහු ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත්තා පමණක් නොව පාර්ලිමේන්තුවටත් නොදන්වා අත්සන් කළේය. ගෝඨාභය රාජපක්ෂ කළේද එම වරදමය. මෙය සැලකිය හැක්කේ සිරිසේන ජනාධිපතිවරයා, වික්‍රමසිංහ අග්‍රාමාතවරයාගේ කැමැත්තට දෑස පියාගෙන ඉඩදීමක් ලෙසය. වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කළ විට ඊට පිළිතුරු දුන්නේද වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සමීපතමයකු ලෙස සැලකිය හැකි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය. ගෝඨාභය එය රහසේ අත්සන් කළද සිය ආණ්ඩුව එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ යැයි කියන්නට ඔහුට හැකියාව නොතිබුණා මෙන්ම අවශ්‍ය නම් ඉදිරිපත් කළ හැකි බව ප්‍රකාශ කරන්නටද හැකියාව තිබුණේ නැත.
එහෙත් සිරිසේන ජනාධිපතිවරයා, මීළඟට ඇති  SOFA (Status of  Forces Agreeement භට කණ්ඩායම් පිළිබඳ වන තත්ත්වය ගැන ගිවිසුම) සඳහා පෙර ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැක. ඇමරිකාව සමග යෝජිත මෙම ගිවිසුම සාකච්ඡා මට්ටමේ පවතින බවත්, තවම අත්සන් තබා නොමැති බවත් කිරිඇල්ල අමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ වනවිට සිරිසේන ජනාධිපතිවරයා කරමින් සිටින්නේ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්තට එරෙහිව යන දේශපාලනයක් වන අතර, ඒ නිසාම වික්‍රමසිංහ මහතාගේ සමීප මිතුරන් ඔහුගේ සමීප මිතුරන් නොවනවා සේ ම වික්‍රමසිංහ මහතාගේ දුරස්ථ මිතුරන් ඔහුගේ දුරස්ථ මිතුරන් නොවන්නේය. ආණ්ඩුවේ දේශපාලන අර්බුදය, මේ ආණ්ඩුව යටතේ ීධත්‍් ගිවිසුම අත්සන් නොකිරීමට බොහෝ දුරට හේතුවනු හැකි වනවා පමණක් නොව, ලෝක බලවතුන් ඉදිරියේ ශ්‍රී ලංකාවට හිස එසවිය හැකිවනු ඇතැයිද සිතිය නොහැක.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චීනයේ සමීප මිතුරකු යැයි විශ්වාස කළ හැකි වුවද ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂක ප්‍රවේශයත් සමග ඔහු පුරවැසියකු වූ ඇමරිකාව සමගද තමන්ට සතුරු ආකල්පයක් නොමැති බව අඟවමින් සිටින්නේ යැයි අනුමාන කළ හැකිය. රොබට් ඕ බ්ලේක් පසුගිය දිනක ගෝඨාභයගේ ආරක්ෂක වැඩපිළිවෙළ අගය කිරීමද එල්ටීටීඊයට එරෙහිව යුද්ධයේදී ඇමරිකාව ලබා දුන් සහයෝගය පිළිබඳ පසුගිය 19 වැනිදා මහින්ද කළ අගය කිරීමද අහඹු සිදුවීම් විය නොහැකිය. ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විසඳී ඇත්නම්, එහිදී ඇමරිකානු රාජ්‍යය ඊට බාධා වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේද නැත.

මෛත්‍රීගේ දාම් ඇදීම

සිරිසේන ජනාධිපතිවරයා තවමත් පැරණි අර්බුදයේම පැටලී, ඔහු විවර කර ගැනීමට උත්සාහ කරමින් සිටි මාවත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වැසීයමින් පවතින්නේ යැයි සිතිය හැක. ත්‍රස්ත ප්‍රහාර සහ ඔහුගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් එකිනෙකට සම්බන්ධ කිරීමට දරන උත්සාහයද එහි ප්‍රතිඵලයක් ලෙස අනුමාන කළ හැකිය. අනෙක් පැත්තෙන් ප්‍රහාරයන්හි වගකීම, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු මත පැටවී තිබීම සහ එජාපය ඔහුගේ කර මතම එය පැටවීමට දරනා ප්‍රයත්නයද අවසන් වී නැත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ස්ථිරවම ප්‍රකාශ කර සිටීමද ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය විසඳී ඇතැයි ප්‍රකාශ වීමද සිරිසේන මහතාගේ අරමුණට අයහපතක් මිස යහපතක් උදා නොකරන්නේය. ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව එජාපෙ සන්ධානයට එරෙහි ජනාධිපති අපේක්ෂකයා වීම උදෙසා, ඔහු දාම් අත අදිමින් සිටියේ නම් දාම් යාමට පෙර ඔහුගේ ඉත්තන් එකින් එක කැපී යන ආකාරය දැකගත හැකිය. මේ නිසා ජනාධිපතිවරණය කල්දමා ගැනීමට මාවතක් ඇත්නම් මේ අවස්ථාවේදී ඔහු එය භාවිත නොකරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. සිය ජනාධිපති ධුරයේ වසර 5, අවසන් වන්නේ තමන් දිවුරුම් දුන් දිනයේ සිටද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන් තැබූ දිනයේ සිටද යන ප්‍රශ්නය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ඉඩකඩ තිබේ. ඔහු දිවුරුම් දුන් දිනයේ සිට අවුරුදු 5 ගණන් බැලිය යුතු බව 19 වැනි සංශෝධනය අනුව බැලූ බැල්මට කිව හැකි වුවද එවැනි උත්සාහයක් දැරීමට සිරිසේන මහතා උනන්දු නොවනු ඇතැයි අනුමාන කළ නොහැක. එය සාර්ථක විය නොහැකි වුවත් යම් ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම කඩුල්ල ජයගත හැකි නම් පළමුව ජනාධිපතිවරණය වෙනුවට මහ මැතිවරණයක් කැඳවීමේ අවස්ථාව ඔහුට උදාවේ. මක්නිසාද, පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සම්පූර්ණවීමත් සමගින් එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවීමය.

රනිල් සහ අපේක්ෂකයා

එවැනි තත්ත්වයක් එජාපයට දෙයාකාරයකින් බලපෑමේ හැකියාවක් තිබේ. එක් අතකින් ඔවුන්ට එය බරපතළ අවාසියක් වන්නේය සමස්ත රටම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙස ගන්නා ජනාධිපතිවරණයකදී එජාපය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට, රාජපක්ෂ හා මෛත්‍රී විරෝධී ඡන්ද එකතුවීමේ සම්භාවිතාව, මහ මැතිවරණයකදී විවිධ අපේක්ෂකයන් වෙන් වෙන්ව ඡන්දය ඉල්ලීමේදී ඡන්ද එකතුවීමේ සම්භාවිතාවට වඩා වැඩිය. අනෙක් පැත්තෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එජාපයට සිදුව ඇතැයි අනුමාන කළ හැක්කේ ඉදිරියට තබන්නට සිටි අඩියද පසුපසට ගැනීමට සිදුවීමය. මෙම ප්‍රහාර සහ දිගන සිදුවීමද සැලකූ කල එජාපයේ මුස්ලිම් සහ කතෝලික ඡන්දවලට බරපතළ බලපෑමක් එල්ල කර නැතැයි කිව නොහැකිය. එය ආණ්ඩුවක් ලෙස පෙන්වා ඇති සහ පෙන්වමින් සිටින අසමත්භාවයට අමතරව වන බලපෑමක් ලෙසද සැලකිය හැකිය.

තවත් පැත්තකින් එජාපය සහ එජාපෙ ආණ්ඩුව තුළ හටගෙන ඇති අභ්‍යන්තර අර්බුදය තවත් වර්ධනයවෙමින් පවතිනවා මිස එය සමනය වන්නේ යැයි සිතිය නොහැක. කරු ජයසූරිය කතානායකවරයාව පොදු අපේක්ෂකයා බවට පත්කිරීමට වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි 2015 යහපාලන බලවේගයන් තුළ සිටින එජාපෙ හිතවාදී සිවිල් සංවිධාන ගණන් බලා ඇති බව අපැහැදිලි නැත. එහෙත් තමන් හැර වෙනත් එජාප නායකයකුට පොදු අපේක්ෂකයා වීමට වික්‍රමසිංහ මහතා ඉඩ ලබාදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. චම්පික රණවක අමාත්‍යවරයා තම දේශපාලන ගමනේ තවත් සන්ධිස්ථානයක් සොයා යාමට දරන උත්සාහයක් පෙනෙන්නට තිබෙනවා සේ ම සරත් ෆොන්සේකාද ඉල්ලුම තමා වෙත පැමිණේ යැයි විශ්වාස කරන හැසිරීමක් පෙන්නුම් කරමින් සිටින්නේය. සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායකයාගේ දේශපාලන දර්ශනය පැහැදිලි නොවූවත් ඔහු මෙවර ජනාධිපති අපේක්ෂකයා වීමට කැමති වේ යැයි අනුමාන කළ නොහැක. මේ නිසා වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා නොවන්නේ නම් මේ කිසිවෙක් නොවන අපේක්ෂකයකු එජාපය සොයමින් සිටින්නේ යැයි විශ්වාස කළ හැකිය.

මෙවැනි තත්ත්වයක් මත ඉක්මන් ඡන්දයක් වෙනුවට ඡන්ද කල්දමා ගතහැකි නම් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වුවද ඊට අකමැති වේ යැයි සිතිය නොහැක. එහෙත් එවැන්නකට සාමාන්‍ය තත්ත්වයකදී රටේ නීතියේ ඉඩක් නොමැතිවා පමණක් නොව එය රටේ දේශපාලන අර්බුදය තවත් උග්‍ර කනරවා මිස ඊට විසඳුමක් වන්නේද නැත. එසේ වුවද ශ්‍රී ලංකාවේ නායකයන් සොයමින් සිටින්නේ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීමේ මාවතක් වෙනුවට තමන්ට ශක්තිමත් විය හැකි දේශපාලන වාතාවරණයක් ගොඩ නගා ගත හැකි මාවතක් විවර කරගැනීමටය.

රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සත්‍ය වශයෙන්ම එම ඇමතිවරයා ඉවත් කිරීමට වඩා තම කඳවුරට දේශපාලන වාසියක් ලබාගෙන එජාපෙ ආණ්ඩුව අර්බුදයට යැවීමේ අරමුණින් ගෙන ආවක් ලෙස සිතිය හැක. එහෙත් එජාපයේ කතෝලික මන්ත්‍රීවරුන් පිරිසක් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට පක්ෂවීමට තීරණය කිරීමත් සමග තත්ත්වය වෙනස් වූයේය. දැන් එජාපය අනුගමනය කරමින් සිටින්නේ එම විශ්වාසභංගයට ඉඩදෙන ප්‍රතිපත්තියක් නොව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පෙන්වා එයට ඉඩ නොදෙන ප්‍රතිපත්තියකි. ජවිපෙ, ආණ්ඩුවට ගෙන ආ විශ්වාසභංගයට එජාපයේ මන්ත්‍රීවරුන් සහයදීමේ ඉඩකඩක් නැතත්, ඊටද එම ඉරණමම අත්වීමට ඇති සම්භාවිතාව වැඩිය. එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග හේතුවිය හැක්කේ එජාපයේ සහ එජාප ආණ්ඩුවේ යහපතට නොව අයහපතටය.

ශ්‍රී ලාංකේය ජාතිය සහ නීතියේ ආධිපත්‍යය

වැදගත් වන්නේ ප්‍රාදේශීය, වාර්ගික, ආගමික මෙන්ම දේශපාලන අන්තවාදයන්ට තුඩුදෙන කාරණා යම්තාක් දුරට හෝ ඉවත් කරවා ගැනීමට, උදාවී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමය. වාර්ගික හෝ ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීමේ සිට ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ප්‍රමුඛ කාර්යයන්වලදීද එවැනි බෙදීම් ඉවත් කරගත හැකි නම් එය ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමේ පියවරක් වනවා පමණක් නොව, නීතියේ ආධිපත්‍යයද තහවුරු කිරීමටද තල්ලුවක් වීම වැළැක්විය නොහැක. නීතියේ ආධිපත්‍යය නිවැරදිව පිහිටුවීම තුළ නැතහොත් වැරදිකරුවන්ට නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් භේදයකින් තොරව සියලු ජනතාවගේ විශ්වාසය ගොඩනැගීමටද එය ඉහළ පිටිවහලක් වනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් සිය දේශපාලන අන්තවාදය වෙනුවෙන් මෙවැනි අනගි අවස්ථා පවා අත්හරිනු ලබන්නේ නම් ශ්‍රී ලංකාවට අත්වනු ඇත්තේ ප්‍රසන්න ඉරණමක් නොව අප්‍රසන්න ඉරණමකි. අර්බුදයෙන් ගොඩයෑමේ ඉරණමක් නොව, අර්බුදය ව්‍යසනයක් බවට පත්කර ගත්තා වූ ඉරණමකි. මීළඟ ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයෙන් හෝ ඡන්ද කල්දමා ගැනීමෙන් එම ඉරණම වෙනස් කළ නොහැකි වනවා පමණක් නොව, පවතින දේශපාලන අර්බුදය, රාජ්‍යයේ ශක්තිය තවත් දුර්වලවීමේ ව්‍යසනයක් දක්වා වර්ධනය වීම වළක්වාගත හැකි වන්නේද නැත.