ප්‍රතිඵල රහිත විශ්වාසභංග යෝජනා

මේ මොහොතේ වඩා වැදගත් වන්නේ බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයද, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයද? බදියුදීන්ට වඩා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට හේතු සාධක ඕනෑ තරම් තිබේ. බදියුදීන් යනු තනි පුද්ගලයකු නිසා එහිදී පුද්ගල සාධකය ආණ්ඩුවක සමස්ත ක්‍රියාකාරීත්වයට වඩා ප්‍රමුඛ විය නොහැක. එහෙත් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයටද සාධාරණ හේතු රැසක් තිබේ. හෙතෙම විශ්වාසභංගයකට හේතු සපුරා ඇති අයුරින්ම එම විශ්වාසභංගය නිශේධනය නොකිරීමට තරම් හේතු තහවුරු කර ඇති බවද බඬේ බිජු තබාගෙන ප්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයෝ දත යුත්තෝය.

කිංස්බරි හෝටලයේදී බෝම්බය පුපුරුවාගත් ඉන්සාෆ් නමැත්තා සමග රිෂාඞ් බදියුදීන් සමීප සබඳතා පවත්වා ඇති බවට වැල්ලම්පිටියේ පිහිටි ඉන්සාෆ්ගේ තඹ කර්මාන්තශාලාවට ආසාමාන්‍ය ලෙස අමුද්‍රව්‍ය ලබා දීමට ඔහු මැදිහත් වී ඇති ආකාරයෙන් පෙනී යයි. ඊට අතිරේකව යුදහමුදාපතිවරයා කීවේ අත්අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කර ගැනීමට බදියුදීන් ඇමතිවරයා තමාට වක්‍රාකාරයෙන් බලපෑම් කළ බවය. බෝම්බ පුපුරවා මහා මිනිස් ඝාතනයක් කිරීමට බදියුදීන් කෙළින්ම සම්බන්ධ යැයි චෝදනා කළ නොහැකි මුත් කැබිනට් ඇමතිවරයකු ලෙස ඔහුගේ ක්‍රියාකලාපය මුළු රටටම සැක සහිත බව කිව යුතුය. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මාධ්‍ය හමුවකදී කියා තිබුණේ ඇමති රිෂාඞ් බදියුදීන් තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු තනතුරේ සිටියදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශන පැවැත්වීම සාධාරණ නොවන බවත්ය. ඇමතිවරයා ඉල්ලා අස් නොවුනහොත් තමා ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනා ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂය ඡන්දය දෙන බවද රාජ්‍ය ඇමතිවරයා කියා තිබුණි. ඒසේ කියා හැරෙන තැපෑලෙන් නවීන් දිසානායක, රාජ්‍ය ඇමතිවරයා බහ තෝරන වියේ කිරිසප්පයකු බවට පත් කරමින් කීවේ එය වැරදීමකින් කියවූවක් බවත් එජාපය රිෂාඞ් ඇමතිවරයාට පක්ෂව ක්‍රියා කරන බවත්ය. නවීන් එවැනි ප්‍රකාශයක් කරන්නේ රනිල්ගේ වුවමනාවට මිස අන්හේතුවක් නිසා නොවේ. ඉදින් මේ දේශපාලකයන් සිතන්නේ රටෙහි සිටින්නේ මීමුන් කියා විය හැකිය. අන්තවාදීන්ට පාර කපා දීම පිළිබඳ බදියුදීන්ට කවර චෝදනා එල්ල වුවත් විශ්වාසභංගයෙන් ඔහු බේරා ගැනීමට එජාපයට වුවමනාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් හා ඇතැම් මුස්ලිම් ආගම් ප්‍රධානීන් දැන සිටි බවට සැක කළ හැකිය. ඒ පිළිබඳ චෝදනා ගණනාවක් එල්ල වී තිබෙන බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම අසාධාරණ යැයි කිව නොහැක. ඒ සමඟම අනෙක් අතට කිව යුතු වැදගත් කාරණය වන්නේ මෙම පුද්ගලයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගක් උද්ගත වූ තත්ත්වයට විසඳුමක් නොවේ යන්නය. රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගය වැදගත් වන්නේ සිදුවීම විෂයෙහි පමණි. සිදුවීම මෙන්ම ඉන් ඔබ්බට රටක් ලෙස මේ ප්‍රශ්නය ගැන සිතනවා නම් ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙන ආ විශ්වාසභංගයෙහි බර වැඩිය. රිෂාඞ් බෝම්බ ප්‍රහාරය ගැන දැනසිටි බවට අප සැක කරනවා නම් ආණ්ඩුවේ ප්‍රධානීන් ඒ ගැන දැනසිටි බවට අපට නිසැකව කිව හැකිය. බුද්ධි අංශ වාර්තා තුට්ටුවකට මායිම් නොකර ආණ්ඩුව වැඩ කර ඇති බව දැන් මුළු ලෝකයම දනී. බෝම්බ ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් කරන බවට දිවුරා කියන ජනාධිපති මෙහි දඩුවම් විදිය යුතු පළමු තැනැත්තා නොවේ යැයි කිව හැකිද? සිදුවීමෙන් පසු එය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම, ප්‍රහාරය පිළිබඳ වගකීම භාර නොගෙන එය වෙනත් පාර්ශ්වයන් වෙතට පැටවීමට යත්න දැරීම, මේ පිළිබඳ පරීක්ෂණ වලට ඇතැම් ඇමතිවරු බාධා කිරීම, අන්තවාදී පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා වලට ඉඩ තැබීම ඇතුළු කරුණු හයක් ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයට අන්තර්ගත වන අතර ඒ සියලු කරුණු වලට ආණ්ඩුව හා එහි ප්‍රධානීන් වගකිව යුතුව තිබේ. මේ තත්ත්වය තුළ දේශපාලනඥයින් අවංක නම් රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට සේම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයටත් ප්‍රමුඛතාව දිය යුතුය.

ප්‍රශ්නය වන්නේ මේ දෙකම එකවිට කිරීමට තරම් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අවංක නොවීමය. ආණ්ඩුවේ ප්‍රගතිශීලි යැයි කියන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් හෝ රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට සහය පළකළහොත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට රිෂාඞ්ගේ සහ ඔහුගේ අනුගාමික මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන්නේ නැත. නිරෝෂන් පෙරේරා ඇතුළු කිහිප දෙනකුගෙන් රිෂාඞ්ට එරෙහිව මතුවන විරෝධය මොන්ටිසෝරි විරෝධයක් යැයි කියූ මොන්ටිසෝරි ප්‍රකාශය මතු වන්නේ මේ තත්ත්වය තුළය. අගමැති පත්ව සිටින්නේ ගෙදර ගියොත් තෝ නසී, මග සිටියොත් අඹු නසී වැනි තත්ත්වයකටය.

අවසානයේ සිදුවිය හැක්කේ වෙනදා සිදුවන දේමය. එනම් විශ්වාසභංග එකක් වෙනුවට දෙකක් ගෙනආවත් දෙකම අසාර්ථක වීම මේ තත්ත්වය තුළ සිදුවනු නියතය. එවිට යළි පවතිනු ඇත්තේ ජරාජීර්ණ තත්ත්වයමය. අප රටක් හැටියට විසදුමක් සෙවිය යුත්තේ මේ එක තැන පල්වන ගඳ ගහන තත්ත්වය වෙනස් කර ගැනීම සඳහාය.