ඉක්මන් ශල්‍යකර්මයක් අවශ්‍ය වී තිබේ.

වික්ටර් අයිවන්

පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධීන්ට පෙරත් ලංකාව තිබුණේ මහා බිඳ වැටීමක් කරා යන අර්බුදයකය. පාස්කු ඉරිදා ඇතිවූ බිහිසුණු සිද්ධීන් හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ ප්‍රතික්‍රියා නිසා දැන් ලංකාවේ අර්බුදය තිබෙන්නේ තිබුණු තත්ත්වය මෙන් කිහිප ගුණයකින් ඉහළ ගිය රාජ්‍යයේ පමණක් නොව සමාජයේද, ආර්ථිකයේ හා දේශපාලනයේද පූර්ණ කඩා බිඳ වැටීමකට ආසන්න තත්ත්වයකය.

ආර්ථිකයේ ඇතිවී තිබෙන බිඳ වැටීම පූර්ණ බංකොළොත්භාවයක් දක්වාම ගමන් ගත හැකිය. රටේ බැංකු ක්‍රමය මුළුමනින් කඩා බිඳ වැටෙන තත්ත්වයකට පවා පත්විය හැකිය. එම තත්ත්වය ඉදිරියේ සමස්ත ආර්ථිකයේ පූර්ණ බිඳ වැටීමක් ඇතිවිය හැකි අතර සමස්ත ජන ජීවිතය අවුල් ජාලාවක් බවට පත් කිරීමට හේතුවිය හැකිය. සමාජ ක්‍රමය තිබුණේද ඒකාග්‍ර තත්ත්වයක නොවූවද දැන් සමාජ ක්‍රමය තිබෙන්නේද මුළුමනින් බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකය. රාජ්‍යයේ ඇතිවී තිබුණු බිඳ වැටීමද උපරිම තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබේ. රටේ දේශපාලන තලය තිබෙන්නේද වේගයෙන් පූර්ණ බිඳ වැටීමක් කරා ගමන් කරන තත්ත්වයකය. දැන් දේශපාලන තලයේ මහජන පිළිගැනීමක් ඇති නායකයන් ලෙස කිසිවෙක් ඉතිරි වී නැත. සියලුම සාම්ප්‍රදායික නායකයෝ හාස්‍යජනක විහිලුකාරයන් බවට පත්ව සිටිති. පරණ වීරයන් දේශපාලන වශයෙන් අභාවයට යමින් සිටින්නේ අලුත් වීරයන් ඇති කිරීමකින්ද තොරවය.

පුනරුද ව්‍යාපාරය ලංකාවට දේශපාලන සුනාමියන් එන්නට නියමිතව තිබෙන බව කීවේ මීට වසරකට පමණ ඉහතදීය. දැන් එම සුනාමි තත්ත්වය උදාවී තිබෙන්නේ යැයි කිව හැකිය.

රටේ ගමන් මගේ යහපත් වෙනසක් සඳහා වහාම ජාතිකමය වශයෙන් කළ යුතුව තිබෙන්නේ කුමක්ද යන ප්‍රශ්නය රටේ රාජ්‍ය නායකයන් හා විරුද්ධ පක්ෂ නායකයන් පමණක් නොව රටේ බුද්ධිමතුන්ද තේරුම් ගැනීමට අසමත්ව තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය.

තෝරාගත යුතු මග

දැන් රටේ ඇතිවී තිබෙන තත්ත්වය බිහිසුණු වයස්ගත රෝග තත්ත්වයකට සමාන කළහැකිය. නැතහොත් විදේශ ආක්‍රමණ තත්ත්වයකට හෝ ලොකු ස්වාභාවික ආපදා තත්ත්වයකට සමාන කළ හැකිය. හදිසි විදේශ ආක්‍රමණ තත්ත්වයන් ඇති වුවහොත් රටක් රටේ පෙර පැවති කාලසටහනට අනුව ක්‍රියාකරන්නේ නැත. යුද්ධ තත්ත්වයට ගැළපෙන නව කාලසටහනක් ඇතිකර ගනිමින් ඊට අනුකූලව ක්‍රියා කරන්නේය. වසංගත රෝග තත්ත්වයකදී හෝ ලොකු ස්වාභාවික ආපදා තත්ත්වයකදී ක්‍රියා කරන්නේ ද ඊට සමාන ආකාරයකටය. එනම් පරණ පුරුදු කාලසටහනින් ඉවත් වී එල්ල වී තිබෙන අභියෝගයට මුහුණදීමට හැකි කාලසටහනක් ඇතිකර ගනිමින් ඊට අනුකූලව ක්‍රියා කිරීමය.

ජීවිත අවදානමක් ඇති කිරීමට හේතුවිය හැකි පිළිකා තත්ත්වයක් හඳුනාගත් පසු එම තත්ත්වයකට වහා ප්‍රතිකාර කරන තැනකට යනවා විනා රෝගියාගේ පරණ පුරුදු ජීවිතය පවත්වාගෙන යෑමට ඉඩදීම සඳහා පිළිකාවට ලැබිය යුතු ප්‍රමුඛ තත්ත්වය නොසලකා හරින තැනකට යන්නේ නැත.

දැන් ලංකාව සිටින්නේද ඒ සමාන තත්ත්වයකය. ලංකාව දැන් තිබෙන්නේ තමන්ගේ පළපුරුදු සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යායුතු තත්ත්වයක නොව රාජ්‍ය, සමාජය හා ආර්ථිකය මුහුණ දී තිබෙන අතිවිශාල විනාශකාරී අර්බුදයේ තරම තේරුම් ගනිමින් මහා විනාශයකට යන්නට පෙර එම ප්‍රධාන අංශවල ඇතිවී තිබෙන පිළිකාකාරී තත්ත්වයට ඉක්මන් ප්‍රතිකාර කරන තැනකට යාමටය. පරණ පුරුදු ජීවිතයෙන් රට ඉවත් කළ යුතුය. රට ඉක්මන් ශල්‍යකර්මයකට යොමු කළ යුතුය. එම හදිසි ජාතික අවශ්‍යතාව කෙරෙහි සියලු ජාතික දේශපාලන නායකයන්ගේද, ආගමික නායකයන්ගේද, බුද්ධිමතුන්ගේ හා සමාජයේද පූර්ණ අවධානය යොමුවිය යුතුය.

ඉක්මන් හදිසි ශල්‍යකර්මයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
1. රෝගියා හැකි ඉක්මනින් රෝහල් ගත කොට පූර්ණ පරීක්ෂණයකට යොමු කළ යුතුය. පිළිකාවේ ව්‍යාප්තියේ තරම ගැන පමණක් නොව, ඒ කෙරෙහි බලපා තිබෙන හේතු හඳුනාගත යුතුය. රෝගියාගේ රෝගය සුව කොට නැවත යහපත් ජීවිත පැවැත්මක් ලබාදීම සඳහා කළයුතු ප්‍රතිකාරය නැතහොත් කළ යුතුව තිබෙන්නේ කවර ආකාරයක සැත්කමක්ද යන්න නිවැරදි ලෙස හඳුනාගත යුතුය. ඉන්පසු ඒ සඳහා අවශ්‍ය සැත්කමට යා යුතුය.

සැත්කමට පෙර කරුණු සොයා බැලීම

එහි දේශපාලන තේරුම මෙසේය.
ලංකාවේ පාලන පක්ෂ හා විරුද්ධ පක්ෂය, ආගමික නායකයන් හා බුද්ධිමතුන්ද, සමාජයද, ලංකාවේ දේශපාලන හා සමාජ ක්‍රමයේ ක්‍රියාකාරීත්වය මුළුමනින් ක්‍රියාවිරහිත කිරීමට හේතුවන තරමේ අභ්‍යන්තර කුණුවීමක් ඇතිවී තිබෙන බව තේරුම් ගනිමින් හා පිළිගනිමින් සමස්ත ක්‍රමය වෙනස් කිරීමට හේතුවන ව්‍යවස්ථා සම්පාදනයක අවශ්‍යතාව පිළිගත යුතුය. ඒ සඳහා සුදුසු මහජනයාටද ක්‍රියාකාරී ලෙස දායක විය හැකි ව්‍යවස්ථා සම්පාදන මාදිලියක් තෝරා ගනිමින් ඒ අරමුණ සපුරා ගන්නා තෙක් ඊට අවශ්‍ය බලතල ලබාදෙන අන්තර්කාලීන ව්‍යවස්ථාවක් ඇති කරගත යුතුය.

ව්‍යවස්ථා සම්පාදනයකට යන්නට පෙර හැම වැදගත් අංශයකම මෙතෙක් කටයුතු සිදුවී තිබෙන ආකාරය හා සිදුවී තිබෙන වැරදි ගැන පූර්ණ ලෙස කරුණු සොයා බලන තැනකට යායුතුය. ඒ සමග ඒ හැම අංශයකටම සිදුවිය යුතු වෙනස්කම් හා ඒවා සඳහා පවත්වාගෙන යායුතු ජාතික ප්‍රතිපත්ති හඳුනා ගන්නා තැනකට යායුතුය.

සුදුසු ආණ්ඩු ක්‍රමයක් හඳුනා ගනිමින් එම ආණ්ඩු ක්‍රමයේ තිබිය යුතු මූලික ලක්ෂණ හඳුනා ගනිමින් එම මූලික ලක්ෂණ සම්පාදනය කරන ව්‍යවස්ථාවේ මූලධර්ම බවට පත්කර ගනිමින් එම මූලධර්මවලට අනුකූලව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන තැනකට යායුතුය. සමස්ත ක්‍රියාවලියට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට මහජනයාට ඉඩදිය යුතු අතර සමස්ත ක්‍රියාදාමයට අදාළ සියලු ක්‍රියා මහජනයාට හොඳින් පෙනෙන ලෙස සිදු කළ යුතුය.

පූර්ණ ව්‍යුහමය විපර්යාසයක් ඇති කිරීම සඳහා තෝරාගත හැකි එකම හා සුදුසුම ව්‍යවස්ථා

සම්පාදන ක්‍රමවේදය ලෙස සැලකිය හැක්කේ සහභාගි ව්‍යවස්ථා සම්පාදන මාදිලියයි. එය සමස්ත ක්‍රියාදාමයට එහි ආරම්භයේ සිට අවසානය දක්වා මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වයට ඉඩදෙන මාදිලියකි. අනෙක් අතට එය ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ක්‍රියාදාමයකට සීමා නොවී පූර්ණ සොයා බැලීමකට ඉඩ ලබාදෙන හා සමස්ත සමාජ-දේශපාලන ක්‍රමය විපර්යාසයක් කරා යන්නට ඉඩදෙන ව්‍යවස්ථා සම්පාදන මාදිලියකි.

දකුණු අප්‍රිකාවේ සුදු වර්ණ භේදවාදී පාලකයන්, කල්ලන්ට ප්‍රමුඛ තත්ත්වයක් ලැබෙන ආකාරයට අඩිය පස්සට ගත්තේද ඊට සමාන ආකාරයකටය. දකුණු අප්‍රිකාවේ පරිවර්තනයට පෙර දකුණු අප්‍රිකානු වර්ග භේදවාදී රාජ්‍යය තිබුණේද එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි හිරවූ තත්ත්වයකය. කල්ලන්ගේ නිදහස් අරගලය පරාජය කළ නොහැකි දෙයක් බවට පත්ව තිබූ අතර කල්ලන්ට කොතරම් විශාල මහජන බලයක් තිබුණද කල්ලන් සිටියේද වර්ග භේදවාදී සුදු ආධිපත්‍යය සටන් කොට පරාජය කළ නොහැකි තත්ත්වයකය. එම විශේෂ තත්ත්වය තුළ වර්ග භේදවාදී සුද්දන් තෝරාගත් ගැලවීමේ මාර්ගය වූයේ තමන්ට අඩු හානියක් ඇති කිරීමට හේතුවන ලෙස කල්ලන්ට රටේ පාලන බලය ලබාගැනීමට හේතුවන දේශපාලන ක්‍රියාදාමයකට ක්‍රියාකාරී ලෙස දායකවීමය.

ඉන්දියාවේදී බි්‍රතාන්‍ය පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්තියද ඊට සමානය. ඉන්දියානු නිදහස් අරගලය පොඩි පට්ටම් කොට පරාජය කළ නොහැකි බව තේරුම් ගත් බි්‍රතාන්‍යයෝ ඉන්දියාවට නිදහස ලබාදී ඉන්දියාව අතහැර ගියෝය. ඒ මගින් ඔවුහු බි්‍රතාන්‍ය ප්‍රතිරූපය ආරක්ෂා කර ගත්හ.

දැන් අපේ රටේ සාම්ප්‍රදායික දේශපාලන නායකයන් සිටින්නේද ඉන්දියාවේදී බි්‍රතාන්‍ය පාලකයන් සිටි හෝ දකුණු අප්‍රිකාවේ වර්ග භේදවාදී පාලකයන් පත්ව සිටි තත්ත්වයට සමාන තත්ත්වයකය. ඔවුන්ට මහජන පිළිගැනීමක් තිබූ කාලයේදී පවා ඔවුන් ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වූයේ නැත. ඔවුන් විසින් හොඳ දේවල්ද කර තිබෙනවා විය හැකි වුවත් ඔවුන් සියලුදෙනා අතින් රටට සිදුවී තිබෙන විනාශය අතිවිශාලය. ඔවුන්ට තිබුණු මහජන පිළිගැනීම මුළුමනින් බිඳ වැටී තිබෙන තත්ත්වය ඉදිරියේ දැන් ඔවුන්ට කළ හැකි හොඳම දේ රටේ පොදු යහපතට හේතුවන පරිවර්තනයකට මාරුවීමට අවශ්‍ය රාමුව සකස් කරදී දේශපාලනයෙන් සමුගැනීමය. ඔවුන්ට එවැනි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අවශ්‍ය හික්මීම ඇතොත් ඔවුන් අතින් කොතරම් බරපතළ වැරදි සිදුවී ඇතත්, අවසානයේ ඉන්දියාවේ බි්‍රතාන්‍ය පාලකයන් හෝ දකුණු අප්‍රිකාවේ සුදු පාලකයන් කෙරෙහි ඒ රටවල ජනතාව අතර ඇතිවූ ප්‍රසාදයට සමාන ප්‍රසාදයක් ඔවුන් කෙරෙහිද රටේ ජනතාව තුළ ඇති කිරීමට හේතුවනු ඇත.

මැතිවරණ මාවත

රටේ උග්‍රවී තිබෙන අර්බුදයට අවශ්‍ය ප්‍රතිකාර කරන තැනකට නොගොස් පළමුව මැතිවරණවලට ගොස් ඉන්පසු වෙන දෙයක් වේවායි කියන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළහොත් ඒ නිසා රටට ඇතිවන ප්‍රතිඵලය ඉතා විනාශකාරී විය හැකිය. එහෙත් ලංකාවට හුරු පුරුදු ක්‍රමය ලෙස සැලකිය හැක්කේද එයයි. ලංකාව සැලකිය හැක්කේ බරපතළ වැරදි සිදුවූ විට ඒවා හැකි ඉක්මනින් නිවැරදි කරගැනීමකින් තොරව වැරදි ගල් ගැසෙන්නට ඉඩ දෙන මෝඩ ප්‍රතිපත්තියක් තුළ කාලකණ්ණිභාවයට පත් රටක් ලෙසය. රාජ්‍යයේද එහි ආයතන ක්‍රමයේද, සමාජ දේශපාලන ක්‍රමයේද ඇතිවී තිබෙන කුණුවීම හා ඊට ප්‍රතිකාර කිරීමේ හදිසි අවශ්‍යතාව නොසලකා ලංකාව සුපුරුදු ලෙස අන් කටයුතු කරගෙන යන තැනකට ගියහොත් සමස්ත ක්‍රමය පූර්ණ බිඳ වැටීමකට ලක්වී ඉන්පසු ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයද ඉතාමත් දුෂ්කර දෙයක් බවට පත්විය හැකිය.

කොහොමටත් මැතිවරණ ලංකාව මුහුණ දී තිබෙන සුවිශාල අර්බුදයට විසඳුමක් වන්නේ නැත. මැතිවරණ කාලය එළැඹෙන තෙක් මේ තියෙන තත්ත්වය මේ ආකාරයේම තිබෙනු ඇතැයි සිතිය නොහැකිය. පාස්කු සිදුවීම්වලට පෙරත් ලංකාව තිබුණේ අර්බුදයකය. පාස්කු සිදුවීම් ඒ තිබුණු අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ පරණ අර්බුදයේම තවත් අලුත් පරිච්ඡේදයක් පමණය. එයින් අර්බුදයේ කතාව අවසන්වන්නේ නැත. තව තව අලුත් අර්බුද ඇතිවිය හැකිය. ඒ හැම අර්බුදයක්ම ලංකාවට දරාගෙන සිටීමේ හැකියාව දුර්වල කිරීමට හේතුවනු ඇත. දිගහැරෙන්නට තවත් අලුත් පරිච්ඡේද ගණනාවක්ම ඇතත්, ආර්ථික සුනාමිය ඊළඟට දිග හැරෙන්නට යන අර්බුදයේ අලුත් පරිච්ඡේද විය හැකිය.

බැංකු ක්‍රමයේ බිඳ වැටීමක් ඇතිවිය හැකිය. ජනතාවගේ ඉතිරි කිරීම් වාෂ්ප කිරීමට හේතුවිය හැකිය. රැකියා විරහිතභාවය හා ඉසිලිය නොහැකි ජීවන බර පුපුරනසුලු තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. ඊළඟ මාස හයක් තරම් කාලය තුළ විය හැකි දේ බොහෝය. ඒ සියල්ල මැතිවරණ සිතියම අවුල් කිරීමට හේතුවිය හැකිය.

මැතිවරණ කාලසටහන අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයකි. ජනාධිපතිවරණයක් පැවැත්වීමට පුළුවන්කම ලැබුණද ජනාධිපතිවරණයක් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය උග්‍ර කිරීමට හේතුවනවා මිස එම අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ඉදිරි ජනාධිපතිවරණය හේතුවක් කරගනිමින් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටින තත්ත්වයක් රෝගියාගේ රෝග තත්ත්වය උග්‍ර කිරීමට මිස, යහපත් කිරීමට හේතුවිය නොහැකිය. ජනාධිපතිවරණය මහජන උද්යෝගයට හේතු නොවිය හැකි අතර, ජයග්‍රාහකයා පාවිච්චි කරන ලද ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ලබාගැනීමට අසමත් වෙතොත් හෝ ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50කට වඩා අඩු වෙතොත් ලොකු ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිය හැකිය.
ඒ කිසිවක් සිදු නොවී ජයග්‍රාහී අපේක්ෂකයා සියයට 50කට වැඩි ඡන්ද අනුපාතිකයක් ලබාගන්නට සමත් වුවද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිට තිබෙන බලතලවල ඇති කර තිබෙන වෙනස්කම් නිසා ජයග්‍රාහී ජනාධිපතිවරයකුට කළ හැකි කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් නැත. ඒ අනුව ජයග්‍රාහී ජනාධිපතිවරයා මහජනයාගේ උසුලු විසුලු කිරීම්වලට ලක්වන කවටයකුගේ හෝ මහජනයාගේ කෝපයට හේතුවන පාලකයකුගේ තත්ත්වය ඉක්මනින් පත්වනු නොවැළැක්විය හැකිය.

ඊළඟ ජනාධිපතිගේ යථාර්ථය

19 වැනි සංශෝධනයට පෙර ජනාධිපතිගේ තත්ත්වය හා ඊට පසු ජනාධිපතිගේ තත්ත්වය එක සමාන නැත. එම සංශෝධනයට පෙර ජනාධිපතිට රාජ්‍යයේ සකලවිධ බලය හිමිව තිබුණේය. ඔහු රටේ රාජ්‍ය නායකයාද රජයේ ප්‍රධාන විධායකයාද ආණ්ඩුවේ ප්‍රධානියාද තමා විසින් පත්කර ගන්නා කැබිනට් මණ්ඩලයේ (ජනාධිපතිට තමන් කැමති තරම් ඇමති ධුර සංඛ්‍යාවක් තමන් වෙත පවරා ගැනීමේ බලයද තිබුණි.) නායකයාද, ත්‍රිවිධ හමුදාවට අණදෙන ප්‍රධාන නිලධාරියාද විය. ජනාධිපතිවරයාට අගමැති ධුරයට හා ඇමති මණ්ඩලයට පුද්ගලයන් පත්කිරීමේ හා ඔවුන් ඉවත් කිරීමේ බලය තිබුණි. පාර්ලිමේන්තුව තේරී පත්වූ වර්ෂයක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබුණි.

කැබිනට් මණ්ඩලයට කැඳවීමේ බලය තිබුණේ ජනාධිපතිවරයාටය. කැබිනට් මණ්ඩලයේ සලකා බැලීම සඳහා යම් කරුණක් ඉදිරිපත් කිරීමට යම් ඇමතිවරයකු අදහස් කරන්නේ නම්, ඒ සඳහා ලියන ලද සංදේශයක් (Memorandum) ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු අතර, කැබිනට් න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු කරුණු මොනවාද යන්න තීරණය කිරීමේ බලය තිබුණේද ජනාධිපතිවරයාටය. 35 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා නිල තත්ත්වයෙහිලා හෝ පුද්ගලික තත්ත්වයෙන් කරන ලද හෝ නොකර පැහැර හරින ලද කවර වරදකට වුවත් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකිය. 19 වැනි සංශෝධනයට පෙර ලංකාවේ ජනාධිපතිවරයා ඇමරිකන් ජනාධිපති භුක්ති විඳින බලයටත් වැඩි බලයක් භුක්ති විඳි අතර, ජනාධිපති ජයවර්ධන කියන ලද ආකාරයටම ඔහුට පුළුවන්කම නොතිබුණේ ගැහැනියක් මිනිහෙක් කිරීමට හෝ මිනිහෙක් ගැහැනියක් කිරීමට පමණය.

එහෙත් 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිගේ තත්ත්වය ඊට මුළුමනින් වෙනස්ය. දැන් ජනාධිපතිවරයා විධායක බලය නැති බොහෝ දුරකට නාමමාත්‍රික ජනාධිපතිවරයකුට සමානය. ඔහු නාමික වශයෙන් රජයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වනමුත් ඔහුගේ තත්ත්වය නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට සමානය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව අනුව දැන් ජනාධිපතිවරයාට හිමි බලතල මෙසේය.

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට හා ආරක්ෂා කරන බවට වග බලා ගැනීම.
2. ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හා VII අ ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසු කරලීම.
4. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් හා ජනමත විචරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණය නිර්මාණය කිරීම හා තහවුරු කිරීම.

ඉහත සඳහන් දේවලට අතිරේකව ජනාධිපතිවරයාට ලබාදී තිබෙන අන් සියලු බලතලද නාමමාත්‍රික වේ යැයි කිව හැකිය. මීළඟට එන ජනාධිපතිවරුන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙන් තමන් වෙත මහවැලි අමාත්‍යාංශයක්වත් තබා ගැනීමේ බලය නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩු බලය වෙනස් කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දරන ලද උත්සාහය නීති විරෝධී බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව ආශ්‍රයෙන් වුවත් 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ තටු කපා තිබෙන ප්‍රමාණය තේරුම් ගත හැකිය.

ඊළඟට පත්වන ජනාධිපතිවරයාට කිසිදු විධායක බලයක් නැත. අගමැති හෝ කැබිනට් මණ්ඩලය තීන්දු කළ නොහැකිය. අගමැති හෝ අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස් කළ නොහැකිය. 19 වැනි සංශෝධනයෙන් පසු සියලු විධායක බලතල තිබෙන්නේ අගමැතිටය. රාජ්‍යයේ සකලවිධ බලය හිමිකරගෙන සිටි ජනාධිපතිවරයා දැන් ඒ බලය අහිමි කරනු ලැබූ බොහෝ දුරකට නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්කර තිබේ. ජනාධිපතිවරයා තේරී පත්වන්නේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා මහජන ඡන්දයෙන් වුවත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ තත්ත්වය සිරිමා බණ්ඩාරනායක ආණ්ඩු කාලයේදී ජනාධිපති ධුරය ඉසිලූ විලියම් ගොපල්ලවගේ තත්ත්වයට බොහෝ දුරට සමානය.

ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්නට බලාපොරොත්තු වන අපේක්ෂකයන් මේ තිත්ත ඇත්ත මහජනයාට නොකියන්නේ ඇයි? බලතල විෂයෙහි ඇතිකර තිබෙන වෙනස්කම් ගැන ඔවුන් නොදන්නේද? එසේ නැතිනම් සංකේත වැදගත්කමක් පමණක් ඇති මේ තනතුරට පත්වීම සඳහා ලොකු ගාම්භීරත්වයක් ආරෝපණය කොට තරගය ජයගැනීම සඳහා මහජනයා මුලා කිරීම වැදගත් යැයි ඔවුහු කල්පනා කරන නිසාද?
නාගානන්ද කොඩිතුවක්කු පමණක් තමන්ගේ තරගයට ලොකු වැදගත්කමක් ආරෝපණය කිරීම සඳහා ලොකු කතාවක් හදාගෙන තිබෙන බව පෙනේ. ඔහුට අනුව දැනටමත් ඔහු හදාගෙන තිබෙන ව්‍යවස්ථාව ජනාධිපතිවරණයේදී මහජනයාට ඉදිරිපත් කරන අතර ඔහු ජනාධිපතිවරණයෙන් ජයගතහොත් එය ඔහුගේ ව්‍යවස්ථාවට ලැබුණු මහජන අනුමැතියක් ලෙස සලකා එය ලංකාවේ නීතිගත වූ ව්‍යවස්ථාව ලෙස සලකා ඒ මොහොතේ සිට එය ක්‍රියාත්මක කරන බවද අවධාරණයෙන් කියා සිටී. ව්‍යවස්ථා සම්පාදන විෂයට පිළිගත් සම්ප්‍රදායන් සේ ම දේශීය නීතියක්ද, ජාත්‍යන්තර නීතියක්ද තිබේ. නාගානන්ද අදහස් කරන දේ ඒ සියල්ලට පටහැනිය. ඔහුගේ ව්‍යවස්ථා ක්‍රමවේදය සඳහා ලෝක ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයෙන් ඉදිරිපත් කළ හැකි එකදු නිදර්ශනයක්වත් නැත.

මූලික නීතිය හදාගන්නා ව්‍යවස්ථා සම්පාදනයන්ට පමණක් නොව සාමාන්‍ය නීති සම්පාදනයකදී පවා එය කළ යුතු ආකාරය නීතියෙන් නියම කළ ක්‍රමවේදයක් පවතී. සාමාන්‍ය නීති කෙටුම්පතක් පවා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට සතියකට පෙර ජනතාවගේ දැනගැනීම සඳහා රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. ස්ථාවර නියෝග අනුව එම නීති කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 07ක් ගතවන තෙක් විවාදයට ගත නොහැකිය. ඒ දින 14 කාලය තුළ මහජනයාට අදහස් පළ කළ හැකි අතර අවශ්‍ය නම් ඊට එරෙහිව අධිකරණය ඉදිරියට යා හැකිය. ඉන්පසු පාර්ලිමේන්තුවේ මහ සභා මට්ටමින් හා කාරක සභා මට්ටමින් කෙටුම්පත සාකච්ඡාවට ලක් කළ යුතුය. සම්මත කළ නීතියක් බවට පත්වන්නේ පසුවය.

සරල නීති සම්පාදනයට පවා නීතියෙන් නියම කළ එවැනි ක්‍රමවේදයක් තිබෙන විට රටේ මූලික නීතිය සම්පාදනය සඳහා නීතියෙන් නියම කළ වඩා විධිමත් ක්‍රමවේදයක් තියෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මහජන ඡන්දයෙන් තේරීපත් වීම නිසා පමණක් ජනාධිපතිවරයකුට හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාවක් සම්පාදනය කොට නීතිගත කිරීමේ බලයක් ඇත්නම් ඒ බලය කොඩිතුවක්කුට පමණක් නොව, ජනපති මෛත්‍රීපාල සිරිසේනට ද තිබිය යුතුය. ව්‍යවස්ථාව පිළිබඳ කොඩිතුවක්කු පළකර තිබෙන අදහස් දේශීය නීතියට පමණක් නොව ජාත්‍යන්තර නීතියට ද පටහැනි වනවා පමණක් නොව ඔහුගේ එම අදහස් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලටද පටහැනිය.