අගමැති රනිල් වගකිව යුතුයි – නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පාස්කු ඉරුදින ප්‍රහාරය 83දී ඇතිවූවා වැනි ජාතිවාදී කෝලාහලයක ප්‍රතිඵලයක් නොවෙයි. මෙම සිදුවීම ඔබ දකින්නේ කොහොමද?

මෙය ජාතිවාදී කෝලාහලයක් බවට පත් කිරීමේ උත්සාහයක නිරත වන බව පෙනෙනවා. කුලියාපිටිය, මිනුවන්ගොඩ ප්‍රදේශවල සිදුකළ පහරදීම එහි ආසන්නතම සිදුවීම්. එක පැත්තකින් සිංහලයන්ට ප්‍රකෝපකාරී වෙන්න හේතු තිබෙනවා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාව හෝ දමිළ ජනතාවගේ ප්‍රදේශවල බලය සම්පූර්ණයෙන් පැහැරගෙන තියනවා. අඩු තරමේ පළාත් සභා තිබුණා නම් පළාත් සභාවල දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු ඉන්නවා. ඒ ප්‍රදේශවල බලය තිබෙන්නේ ආණ්ඩුකාරවරයාට. සිංහලයෙකු නොවන ආණ්ඩුකාරවරයෙකුට බලය තියෙන්නේ එකම තැනක විතරයි. කොළඹට අසාද් සාලිගේ බලය අවශ්‍ය නැහැ. ඒ බලය වයඹට තිබුණා නම් මුස්ලිම් ජනතාවට යමක් කරන්න තිබුණා. මෙවැනි අටපට්ටම් තත්ත්වයක් තුළ තමයි ක්‍රමයෙන් හොරකම් කරන තක්කඩියන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. මොකද මිනිස්සුන්ට හව්හරණක් නැහැ. සිංහල මිනිස්සුත් ඉන්නේ කළකිරිලා. කතෝලිකයෝත් අසරණවෙලා. ඒ අතරේ තවම කඩු හොයනවා, ගන්නවා වගේ දේවල්. අන්න ඒ අවස්ථාවේදී මේක රැල්ලක් ගොඩනගන්න හොඳ තත්ත්වයක් ලෙස සලකලා සිංහල ජාතිවාදයත් බැහැලා වැඩ කරන්න පටන් අරගෙන තියනවා. ඒවාට ලබාදීලා තියන ඉඩෙන් ඔවුන් ප්‍රයෝජනය ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඒ ප්‍රදේශවලට නිසියාකාරව පොලීසිය, හමුදාව යොමු කර තිබුණේත් නැහැ. මුලින්ම කඩ කඩද්දී හමුදාවේ ඇතැම් අය තමයි ඒවාට දොරටු විවර කර දී තිබුණේ. ඒ අය ඒ ස්ථානවල රාජකාරියට යවලා තියෙන්නේ නියම විදියට උපදෙස් දීලා නෙමෙයි. ඒ නිසා ඔවුන් දන්නා මර්දනය ක්‍රියාත්මක කරනවා. ඒවා ඉතාම අශෝභන තත්ත්වයන්. පසුව තමයි හමුදා නායකයන් මාරු කර, ආරක්ෂක අංශවල බලතල මාරු කර යම්කිසි මැඩීමක් කර තිබුණා. මේවාට අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වගකිව යුතුයි. මොකද අපි කවුරුත් සහාය දුන්නේ එම දේශපාලන නායකයාටයි. ඔහු කරන්නේ මොනවාද කියලා අපිට පැහැදිලි නැහැ. ඔහුගේ ක්‍රමයකට කරනවා කියලා ඔහු කියනවා. මෙවැනි අවස්ථාවක ශක්තිමත් නායකයෙක් ඉන්නා බව මිනිසුන්ට දැනිය යුතුයි. එහෙත් එවැන්නක් පෙනෙන්නේ නැහැ. කෙසේ වෙතත් යම් යම් දේ මේ වන විට සිදුවෙමින් තිබෙනවා, ඒවා ක්‍රියාත්මක කිරීමට අපි සහයෝගය දෙනවා.

ප්‍රහාරයෙන් පසුව හෙළිදරව් වුණේ මෙවැනි ප්‍රහාරයකට සූදානමක් තිබූ බව ආණ්ඩුවේ බලධාරීන් ඊට පෙර දැනුවත්ව සිටි බවයි. ඒ වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශය තිබුණේත් ජනාධිපතිවරයා යටතේයි.

මේ රජය මෙවැනි සිදුවීමක් සිදුවිය හැකි බව දැනගෙන හිටියා කියන කාරණය රජයෙන්ම ප්‍රකාශ කළා. දැනගෙන හිටියා නමුත් ඒ ගැන ක්‍රියා කරන්න බැරි වුණා කියලා ප්‍රකාශ වුණා. රටේ ආරක්ෂාව තියාගෙන හිටියේත් ජනාධිපති යටතේමයි. ඒ නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිට එලෙස පවරා ගැනීමට අයිතියක් නැහැ. නමුත් ඔහු එය පවරාගෙන හිටියා. ඒ නිසා පැහැදිලිවම ඔහුගේ අක්‍රියභාවයෙන් මෙවැනි දෙයක් සිදුව තිබෙනවා. ඔහු පැහැදිලිව කිව්වා නම් කතෝලිකයන්ට මෙවැනි දෙයක් සිදුවීමට ඉඩ තිබෙන බව එදා කිසිවෙකු එම ස්ථානවලට යන්නේ නැහැ. සමහර මන්ත්‍රීවරු තමන්ගේ පියා කියූ නිසා එදින දේවස්ථානයට නොගිය බවටත් ප්‍රකාශ කර තිබුණා. අනෙක් අතට මෙවැනි විශාල ප්‍රශ්නයක් ඇති විය හැකි බව අගමැතිට හෝ ආරක්ෂක ලේකම්ට දැනුම් දී නැහැ. ඒ නිසා මෙහි ගුප්තභාවයක් තියනවා. ඒ වගේම මේ හේතු නිසා මිනිස්සු තුළ විශාල කලකිරීමක් ඇතිවී තිබෙනවා. ඒ අතර අගමැති ප්‍රකාශ කළා කිසිවෙකු මේවා පිළිබඳ තමාට දන්වා නැහැ, ආරක්ෂක ලේකම් කිසිවෙකු කැඳෙව්වේත් නැහැ, තමන් කැඳවීමට උත්සාහ කරද්දී ආවේත් නැහැ කියලා. ඒ නිසා රජයේ බලධරයා ලෙස සිටිය යුතු පුද්ගලයාට ඉහළින් වැඩ කර තිබෙනවා වගේම මෙහිදී ව්‍යවස්ථාවත් කඩ කරලා තියනවා. එවැනි පරිසරයක් ගොඩනැගුණේ විශේෂයෙන්ම ජනාධිපතිගේ ක්‍රියාකලාපය තුළිනුයි.

ඊළඟට මේ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත් කළ කමිටුව මගින් ලිපි දෙකක් ඉදිරිපත් කර තිබුණා. එහිදී පැහැදිලිව සඳහන් වුණා මෙය කුමන්ත්‍රණයක් ලෙස සංවිධානය කර තිබෙනවා, එහිදී අයිඑස්අයිඑස් එකට මෙහාට එන්න කියන්නත් ජනාධිපති කාර්යාලයෙන් යම් හෝඩුවාවක් දුන්නා කියලා. ඒ වගේම අයිඑස්අයිඑස් අය වැඩකරන්න පටන් ගෙන තිබෙන්නේ මාස දෙකකට තුනකට පෙරයි. ඒ අයට මුදල් ලබාදෙන මාර්ගයෙන්ම තමයි බොදුබල සේනාවට වගේම ගෝඨාභය රාජපක්ෂගේ සංවිධානයකටත් මුදල් ලබාදීලා තිබෙන්නේ යන කරුණු ඇතුළත් ලිපි දෙකක් ලබා දී තිබුණා. එම ලිපි ඉංග්‍රීසියෙන් පුවත්පත්, වෙබ්අඩවිවල පළවුණා. එය සිංහලට පරිවර්තනය කර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා බෙදන විට ඒ අය පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා. රටේ නායකයන් ජනතාව දැනුවත් කිරීමට සිංහලෙන් කොළයක් බෙදන විට අත්අඩංගුවට ගන්නවා. මේවා විහිළු. මේවා සිංහල ජනතාව ප්‍රකෝපකාරී කිරීමක්. ඒක වුණේ කොහොමද කියලාත් පැහැදිලි නැහැ. 13 වන දා කතානායකවරයා අපව කැඳවූ අවස්ථාවේ මම මේ කාරණයත් ඉදිරිපත් කළා. ඒ වගේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙවැනි බලතල නොමැති වුවත් ජනාධිපතිවරයා මෙසේ ක්‍රියාකිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් සම්පූර්ණ කරන්න කියලා. එයට අනුව පොලිස් බලතල පළාත් සභාවට ලබා දිය යුතුයි. ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. මේවා නිසා තමයි මෙවැනි තත්ත්වයක් රටේ ඇති වුණේ.

මුස්ලිම් ජාතිකයන් වන අමාත්‍යවරු කීපදෙනෙකු වෙතත් මේ අවස්ථාවේ බොහෝ දෙනාගේ ඇඟිලි දිගු වුණා. ඔවුන් අත්අඩංගුවට නොගැනීම පිළිබද චෝදනා මතු වුණා.

පළමුවෙන්ම මෙය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි. ස්වර්ගයට යන්න ඕනෑ කියන, අමුතු අභිධර්මය පිළිගන්නා අයයි මෙය සිදුකළේ. ඒ නම් සඳහන් වන අමාත්‍යවරු එවැනි ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන ඒවා පිළිගන්නා අය කියලා මම හිතන්නේ නැහැ. ඒ අය කුරාණයේ සියලු පිටු කියවා ඇතැයි කියලාවත් හිතන්න අමාරුයි. මුස්ලිම් අයගේ ආගමේ කියලා නැහැ මේ විධියට මිනිස්සු මරන්න කියලා. කුරාණයේ තිබෙන්නේ ජීවත් විය යුත්තේ කෙසේද යන්න ගැන ඉතා කුඩා කරුණු පවා කියා දෙන ධර්මයක්. එහි අභිධර්මයක් නැහැ. දෙවියන් වහන්සේ ඉන්නා බව විශ්වාසය තියෙනවා. එහි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඕනෑම මන්ත්‍රීවරයෙක් තමන්ගේ ඡන්ද දායකයන්ට යම් යම් දේ ලබාදීමට උත්සාහ කරනවා. ඒ අයත් තමන්ගේ ඡන්දදායකයන්ට යම් යම් පහසුකම් ලබා දීමට උත්සාහ කරනවා. ඉඩකඩම් දීමට උත්සාහ කරනවා. ඒ අය තමන්ගේ ජනතාවගේ පීඩනයන් වෙනුවෙන් කටයුතු කරනවා. නමුත් ඒ අය මෙවැනි දේට සම්බන්ධයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම මුස්ලිම් අය සංවිධානය වී යම් යම් ස්ථාන අල්ලා ගැනීමේ කටයුතු කරමින් ඉන්නවා කියලා හිතන්න අමාරුයි. එල්ටීටීඊ වැනි සංවිධාන ඔවුන්ට ඉතිහාසයේත් තිබුණේ නැහැ.

මෙවන් අර්බුද රාශියක් තිබෙන අවස්ථාවක ගත හැකිව තිබෙන යහපත්ම විසඳුම මොකක්ද?

දැන් තිබෙන්නේ රටේ පවතින නීතිය අනුව තිබිය යුතු තත්ත්වයක් නෙමෙයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට තිබෙන්නේ අත්සන් කිරීම පමණයි. අනෙකුත් කිසිදු බලයක් ලැබෙන්නේ නැහැ. බලයක් නැති කෙනෙක් ගම් පළාත්වල වැඩ කර ගත් අත්දැකීම් තුළින් කටයුතු කරමින් ඉන්නවා. එය හිසරදයක් මිස වෙන දෙයක් නෙමෙයි. එයින් ලොකු දොරවල් හොරුන්ට ඇරලා පිටිපස්සේ ජනේලේ වහනවා වැනි වැඩ සිදුකරනවා. ඒ නිසා ඒ බලය අගමැතිවරයා ගත යුතුයි. ආරක්ෂක අමාත්‍ය ධුරයත් ජනාධිපතිට අයිති බවයි ජනාධිපතිවරයා කීවේ. කෙසේ හෝ අවසානයේ රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට එය ලබාදීමට සිදුවුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමන්ට තිබෙන බලය ලබා ගැනීමටත් උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා තමයි දෙබිඩි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ. දැන් ටිකෙන් ටික වැඩ කිරීමක් තියනවා නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ශක්තිමත් නායකයෙකු සිටින බව පෙන්විය යුතුයි. ඒවා සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. අතීතයේ විවිධ අවස්ථාවලදී විජය කුමාරතුංග වැනි අය පැමිණ නායකත්වය ගත්තා. වෙඩි ප්‍රහාරයකට ලක් නොවුණා නම් ඔහු සෑහෙන වැඩ ප්‍රමාණයක් කිරීමටත් ඉඩ තිබුණා. ජනතාවට මේ අවස්ථාවේ ධනාත්මක ආකල්ප ඇති කිරීම වෙනුවෙන් වැඩ කරන බවක් පෙනෙන්නේ නැහැ. මේක දේශපාලන නායකත්වයකින් මෙහෙයවිය යුතුයි. එහෙම කරනවා නම් මෙය ඉතාම ඉක්මනින් අවසන් කළ හැකියි. නායකත්වයේ දුර්වලකම සහ තමන්ගේ යුතුකම මොකක්ද කියලා වටහාගෙන වැඩ නොකිරීම තමයි මේවාට හේතුව තිබෙන්නේ. ජාතිවාදය, ආගම්වාදයට විරුද්ධව නැගිට ශක්තිමත්ව ඉන්න පුළුවන් අය ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජාතිවාදී පුද්ගලයෙක් නොවෙයි, ලිබරල් අදහස් තිබෙන අයෙක්, උගත් අයෙක්. අනෙක් බොහෝ අය මොනවා කරාවිද කියලා අපිට විශ්වාස කළ හැකි අය නෙමෙයි. ඒ නිසා මේ ඉන්නා අය මෙහෙයවා ගැනීමට අපි බලපෑම් කළ යුතුයි.

මේ අවස්ථාවේ සිදුවිය යුතු මතවාදී මැදිහත්වීමක් හෝ සිදුවන බවක් පෙනෙන්නේ නැහැ. එවැනි මැදිහත්වීමක් සිදුවිය යුතු වන්නේ කොහොමද?

ඔව්, මේ වෙලාවේ මතවාදීව මැදිහත්වීම සාර්ථකව කළ යුතුයි. මේ තත්ත්වය කුමක්ද කියන දේ පැහැදිලිකර දීම විය යුතුයි. මේ අයිඑස්අයිඑස් කියන්නේ කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් බවත් එය මුස්ලිම් ආගමටත් සම්බන්ධ නොවන වෙනම අභිධර්මයක් බව පැහැදිලි කළ යුතුයි. විශාල ප්‍රමාණයක් මරුමුවට පත් කරමින් මිය යාම හරහා සුරපුරයකට යාමට හැකිය කියන මිථ්‍යා දෘෂ්ටියක් ඒ අය තුළ තිබෙනවා. එය පැහැදිලි කරලා දීලා කටයුතු කර දිය හැකියි. එහි සිටියේ විශාල දානපතියෝයි. නමුත් ඒ අය අන්තයකට ගිහින් තිබෙනවා. ඒ අය සියල්ල තිබුණත් වෙනත් ආධ්‍යාත්මික අන්තයක් සොයා යාමට පෙළඹී තිබෙනවා.

බුදුදහමේත් පණිවිඩ තිබුණත් ඒ පණිවිඩ කවුරුවත් කාටවත් කියා දෙන්නේත් නැහැ. ඊට වඩා වෙනත් පණිවිඩ තමයි දෙන්නේ. පණිවිඩය නැති තැනට මෙවැනි දේත් පණිවිඩයක් බවට පත්ව තිබෙනවා. ඒ අය එය විශ්වාස කරනවා. ඒ නිසා ඒ අය ඒ ගමන යන්නේ තරහෙන් නෙමෙයි. අනෙක් අයත් ඇදගෙන ඒ අය යනවා. ශරීරයේ කෑලිත් එකතු කරගෙන යනවා කියලා සමහර අය විශ්වාස කරනවා. හොඳට ගෙනියන්න ඕනෑ කොටස්වලට සමහර අය යකඩ ආවරණත් දාගෙන යනවා. ඒ විධියට යන්න ඕනෑ කියලා ඒ අය විශ්වාස කරනවා. ඒ ඉතිහාසයේ අවසානය කියන සිද්ධාන්තයේ බංකොළොත් කමයි. ඒ කියන්නේ මනුෂ්‍යයාට යන්න මාර්ගයක් නැති වුණාම මෙවැනි අද්භූත අදහසක් ඇවිත් තියනවා. ඒවා විහිළුවට ගෙන අපි හිනාවෙලා වැඩක් වෙන්නේ නැහැ, හුඟාක් වැඩකර දියුණු වී, හුඟාක් හොඳින් ඉන්න කෙනෙකුට එන අදහසක්. මට සියල්ලම තියනවා, මම කොහේද යන්නේ කියලා ප්‍රශ්න කරන තැනකට එනවා. මේ ඒ ප්‍රශ්නයට උත්තරයක් නැතිකමයි. ඒ නිසා එම දෘෂ්ටියට විරුද්ධව සටන් කරන්න නම් සැබෑ දෘෂ්ටියක් සොයා ගත යුතුයි. ඒ වගේම එය පවත්වාගෙන යන අතරම ප්‍රායෝගිකව මේ අයගේ මෙම ක්‍රියාවන් නතර කළ යුතුයි. එය අනිවාර්යෙන්ම කළ හැකියි. ඒ අය අල්ලා ගත්තාමත් පිළිගන්නවා ඔවුන් කරන්නේ එය කියලා, නැහැ කියන්නේ නැහැ.