ඒ අය කොච්චි නම් මේ අය මිරිස්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි

ප්‍රචණ්ඩ සහ ව්‍යසනකාරී සමාජ – දේශපාලන වාසුළි විසින් නැවත සමාජය ගිලගන්නට පටන් ගෙන ඇති සැටිය. ධනපති රටවලට යුද්ධ වනාහී ව්‍යාපාර වන අතර යුද්ධ පවතින තාක් ඒ අයගේ ආයුධ වෙළෙඳාම ලාභ උපයන්නා සේ ම අප වැනි රටවලට බලය රැකගැනීමට – ලබා ගැනීමට අවැසිම ඖෂධයක් වනුයේ ජාතිවාදය, ආගම්වාදය වැනි දෑය. ඒ නිසාම මේ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සක්‍රීය දේශපාලන දායකත්වයක් ඇති බව නොරහසකි. එහි වගකීම එක පක්ෂයකට නොව ප්‍රධාන පක්ෂ දෙකටම වලංගුය. පොහොට්ටු පක්ෂයටත් අදාළය. ජවිපෙට වුව ඉන් මිදිය නොහැකිය. එසේ නම් දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්ෂ ඒ තුළ නැතැයි කියනුයේ කෙසේද? ඒ සියල්ලත් මේ ජාතිවාදී කැඳ හැළියේම අඩුම කුඩුමය.

හේත්තු වීම

83 ජූලි කලබලයත් සමග දෙමළ ජනයා ප්‍රභාකරන්ට එකතු වනුයේ සහය වනුයේ ප්‍රභාකරන් කෙනකු බිහිවී සිටි නිසාය. කොටින්ම එල්ලෙන්නට වැලක් තිබූ නිසාය. සහරාන් කෙනකු එන තෙක් මුස්ලිම් ජනයාට එල්ලෙන්නට වැලක් හෝ ගාල් වෙන්නට තැනක් නොවීය. එසේ වී නම් අලුත්ගම-බේරුවල ප්‍රහාරත් සමග ඔවුන් ඒ පැත්ත තෝරා ගන්නවා නියතය. එහෙත් එය සිදු නොවුණේ ඔවුන්ට දෙමළ ජනතාවට මෙන් ප්‍රභාකරන් කෙනකු නොසිටි නිසාය. තෙල්දෙණිය ප්‍රහාරයත් මුස්ලිම් ජනයා අනාථ කළමුත් ඔවුන්ට විකල්පයක් නොවීය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. ඔවුන්ටද වීරයකු මුණගැසී ඇත. ඒ සහරාන් නාමයෙන් වසන් වී සිටින වෙන අයකු විය හැකිය. සහරාන් තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා නම් ඔහුත් සමග එම සංවිධානයද මියැදිය යුතුය. එහෙත් තත්ත්වය පෙනෙනවාට වඩා වෙනස් විය හැකිය. තවුහිද් ජාලය රට පුරා පුළුල්ව පැතිරී – විසිරී ඇති බව පැහැදිලිය. එසේ නම් එය තනිකරම මුස්ලිම් තේරීමක් විය හැක්කේ තැනින් තැන මෙලෙස මතුවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසාය. ඉදිරියේදී අලුත්ගම, තෙල්දෙණිය, කුලියාපිටිය, නිකවැරටිය මෙන් හැම තන්හිම සාමාන්‍ය වෙතැයි සිතිය නොහැකිය. මේ වීරකම් හමුදාව සහ එස්ටීඑෆ් සෙබළුන් නිසාය. අලුත්ගමදී පමණක් නොව තෙල්දෙණියේදීද සාදර අනුග්‍රහය ඒ පිරිස් ගෙනි. රණවිරුවන් හැමවිටම සිංහලයන් වී ඇත. සිංහල පමණක්ම වී ඇත.

දෙමළ හිත්

මේ ප්‍රශ්නයත් සමග එක් දෙයක් විය. එනම් දෙමළ – සිංහල භේදය යටවී ගියේය. ප්‍රභාකරන් අහවර කර කිරිබත් කෑවද හැම දෙමළා දිහාම සැකෙන් බැලීම ඉවර නොවීය. ලංකාවේ දේශපාලනය පැවතියේම උතුර-දකුණ භේදය මතය. මේ නිසාම දෙමළ ජාතික සන්ධානය එජාපයට සහය දීම එජාපය සමග එකට ලැගීම දකුණේ සිංහල මතය දරන්නන්ට වහකදුරු විය. පසුගිය කාලය පුරාම රාජපක්ෂ කඳවුරේ සටන් පාඨය වූයේ එජාපය දෙමළ ජාතික සන්ධානයට ඕනෑ ලෙස හැසිරෙන බවය. එයින්ම ගම්‍යවන්නේ මහ ජාතිය සුළු ජාතියකට යටවීම පිළිබඳ සරදමකි. මෙරට ආණ්ඩුවක් පිහිටුවන්නට නම් සුළු ජාතික ඡන්ද අවශ්‍යය. ඉන් ප්‍රධානතම වූයේ දෙමළ ඡන්දය. එයට එරෙහිව තනි බෞද්ධ ඡන්ද මත යැපෙන්නට රාජපක්ෂලා මහත් වෙහෙසක් ගත්තේ ගම්පහ, කළුතර, කුරුණෑගල වැනි ප්‍රදේශ අනෙක් පක්ෂවලින් යොදා ජය ගැනීම හරහාය. එහෙත් ඒ සියල්ල සහරාන් හරහා කුඩු පට්ටම් විය. සිංහලයන්ට තවත් හතුරෙක් නිර්මාණය විය. ඒ අනුව පරණ හතුරා මිතුරෙකු වී ඇත. එදා දෙමළ ජාතියට පහර දෙන විට මුස්ලිම් ජාතිය සිටියේ සිංහලුන් පැත්තේය. අද මුස්ලිම් අයට පහර දෙනවිට දෙමළ ජනයා සිංහලුන් පැත්ත ගනු නියතය. ඒ යටින් උදව් කරන අයට වඩා ඍජුව පහර දුන් අය හොඳ බැවිනි. තවත් අතකින් සහරාන්ලා දෙමළ ජනයාට වුව සහනයක් නොදෙන බැවිනි. දැන් දෙමළ හිත් සිංහල හිත් එකට පෑහෙන්නට පටන් ගෙනය. හතුරා අනුව නිතර මිතුරා තීන්දු වන තැනට සමාජය තල්ලු වී ඇත. සිංහල ජාතියෙන් දෙමළ ජාතියට වූ සියලු අඩුපාඩු මඳකට දැන් ඒ අය වුව අමතක කරනු නියතය. ඊට වඩා ප්‍රශ්නයක් දැන් මේ දෙපිරිසටම පැමිණ ඇත.

එහි අනෙක් පැත්ත නම් මුස්ලිම් සියල්ලෝම දැන් හතුරන්වීමය. සැවොම මොහොමඞ්ලාට අමතරව සහරාන්ලා වීමය. මේ බෙදුම පාස්කුදා සිට ඇඳ හමාරය. එහි ජයග්‍රහණ සමරන්නට නම් කෙළවර කොතැනක විය යුතුද? මුස්ලිම් දේශපාලකයන් කුදලාගෙන දංගෙඩියට ගෙනයෑම එහි අරමුණය.

රිෂාඞ් බදියුදීන්

මේ මොහොතේ මෙරට දේශපාලන ග්‍රහයන් සියල්ල කරකැවෙනුයේ බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය වටාය. සැවොම යටි හිතින් ප්‍රාර්ථනා කරනුයේ බදියුදීන් අහවර කිරීම තව්හිද් ජමාත් සුන් කිරීමක් ලෙසය. එස්.බී. දිසානායක බදියුදීන්ට බිම දමාගෙන පහරදීමේ නියමුවා වී ඇත. එස්.බී. ගැන අමතක කළද සහරාන්ලා සහ බදියුදීන් අතර සබඳකම් තිබුණැයි ප්‍රසිද්ධ රහසක්ය. එය හිස්බුල්ලාටද පොදුය. මුජිබර් රහුමාන්ටද අදාළය. එහෙත් ප්‍රශ්නය මොවුන් පවතින ආණ්ඩුවේ ප්‍රබලයන් වීමය. ලොකු ඡන්ද පදනමක් ඇති බදියුදීන් කුමක් කළද පසුගිය කාලයේ ආණ්ඩුව සිටියේ නෑසූ කන්වය. මේ මොහොතේ වුව බදියුදීන් අරබයා ආණ්ඩුවේ ස්ථාවරය වනු ඇත්තේ එයය. තරාතිරම නොබලා අවංකව ක්‍රියා කළේ නම් දැනට අත්අඩංගුවට ගත් සියලුදෙනා සහරාන් සමග සබඳතා පවත්වන ලදැයි යන සැකය මත අත්අඩංගුවට ගත්තේ නම් ඉහත මුස්ලිම් නායකයන්ද එසේම ගත හැකිව තිබුණි. එහෙත් එය නොවුණි. මේ රටවල එලෙස වීම සාමාන්‍යයය. එමෙන්ම එස්.බී.ලාගේ විරෝධයන්ද ව්‍යාජය. හෙට බදියුදීන්ගේ සහය මහින්දට කිවහොත් තත්ත්වය වෙනස්ය. මේ සැම කරනුයේ මහජනයා රවටන රඟපෑම්ය. බදියුදීන්ට පක්ෂව ඡන්දය දෙන අය ද්‍රෝහීන් කර ඇතත්, වැඩිපුරම ඔහුට පක්ෂව ඡන්ද වැටෙනු නියතය. මේ ප්‍රශ්නයේදී කිසිවක් නොවනු සහතිකය. පොහොට්ටුව පෙරමුණ ගෙන රිෂාඞ් ගැන කතා කළත් ඔහුට එරෙහි විශ්වාසභංගයට මහින්ද රාජපක්ෂ අත්සන් තබන්නේ නැත. එයට අපූරු මහදැනමුත්තා පන්නයේ උත්තර බඳින ගම්මන්පිල මහින්ද වගේ උත්තමයෙක් අත්සන් තබනුයේ ඒ පන්නයේම අයකුට පමණක් බවත්, අගමැති, ජනපති වගේ වූයේ නම් එය වනු ඇති බවත් කීවේය. එහෙත් අගමැතිට එරෙහි විශ්වාසභංගයේදීත් මහින්ද කර ඇරියා මතකය. එය ගම්මන්පිලට අමතක ගාණය. මේ බොරු සේ ම බදියුදීන් කතාවද හෙට අනිද්දා වන විට අමතකය. බදියුදීන්ට කිසිවක් සිදු නොවනු නියතය.

හමුදාපති

පසුගිය සති කිහිපයේ ජනප්‍රියතම චරිතය කාදිනල්ය. දැන් දැන් ඒ තැන හමුදාපති අතට ගෙන ඇති ගාණය. ඔහුද මාධ්‍ය තරුවක් වී ඇත. ඇතැම් විට ඔහු කියන කතා අපූරුය. හරි රහස හෙට දිනයේදී අයිඑස්අයිඑස් ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රධානියා සිරිසේන වන විට එහි හමුදාපති ෆොන්සේකා ගණයේ වීරයකු වනු ඇත. තමා ඒ නිසා කෙරුමකු බව පවසා ඡන්දයට වුව ආ හැකිය. හමුදාවට බලය පැවරීමත් සමග හමුදාපති ජනප්‍රිය තරුව වී ඇත. ලංකාවේ තරු බිහිවීමට අවැසි කැමරා කිහිපයක් සහ මාධ්‍ය දෙක තුනක් පමණි. එය ඕනෑවටත් වඩා තහවුරුය. පොලිස්පතිත් පත්වූ අලුත නැටූ නැටිල්ල කෙළවර වූ තැන හමුදාපතිත් වටහා ගනිත්වායි කිව යුතුය.

සහරාන් හේතුවෙන් මෙරට කතෝලික ජනයාටද වෙනම අනන්‍යතාවක් ගොඩ නැගුණි. ඒ මේ ප්‍රහාර කතෝලික ජනතාව ඉලක්ක කොට එල්ල කළ බැවිනි. පල්ලිවලට ගැසූ විට කතෝලික, පන්සල්වලට ගැසූ විට බෞද්ධ මේ බෙදිලි තවමත් කෙළවරක් නැත. මේ ප්‍රහාර වූ කලී සමස්ත ලාංකිකයන්ට එල්ල වූ ප්‍රහාරය. එසේ නොමැතිව කතෝලික පමණක් ඉලක්ක කොට කතෝලික ජනයා නැති කිරීමට ගත් උත්සාහයක් නොව මෙය ලංකාවට එල්ල කළ ප්‍රහාරයකි. අමතක නොකළ යුත්තේ එයය. මෙය බෞද්ධ වන්නේ පන්සලට ගැසූවිටද? ප්‍රහාරයත් සමග හෝන්දු මාන්දව සිටි ජනයා හමුදාව කඩු පිහි තොග පිටින් අත්අඩංගුවට ගත් පසු වීරයන් වී ඇත. දැන් වීරයෝ වූහ. ඕනෑතරම් ඇත. නැත්තේ සැබෑ මිනිසුන්ය.

සිරිසේනගේ කතා

ජනපති සිරිසේන මෙම ප්‍රහාරවල වගකීම පොලිස්පති සහ ආරක්ෂක ලේකම් කරපිට දමා අත පිහිදා ගත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය. සහරාන්ලා ප්‍රහාර එල්ල කොට දැන් මසකටත් වැඩිය. සති දෙකෙන් දෙනවා යැයි කී වාර්තා වගේ වගක් නැතිය. ඒවාට පත් කළ උනුන් මෙන්ම පත් වූ අයත් හොයා ගන්නටත් නැතිය. දැන් වැඬේ සියයට අනූවක්ම අහවර යැයි කියමින් ජනපති සිරිසේන වෙන වෙන කතා කියමින් සිටී.

මහින්දාගමනය

මෙවර වෙසක් සැමරුවේ බුදුන් වෙනුවෙන් නොව මහින්ද වෙනුවෙන්ය. මහින්ද කීවේ වෙනදාටත් වඩා ජයට වෙසක් සැමරිය යුතු බවය. ඒ අනුව දන්සල් තොරන් අඩු වුවද පාරක් පාරක් ගාණේ බෞද්ධ කොඩිය. මේ උමතුවක් විනා වෙන කිසිවක් නොවේය. සහරාන්ලාට රිද්දවීමක්ය. දැන් සහරාන්ලා බයවූ ගාණය. බෞද්ධයන් නැගී සිට ඇත. බුදුන් පවා මෙවර මහින්දට යටත්ය. මෙරට බොහෝ දේ තවමත් වන්නේ මහින්දට වුවමනා පරිදිය. දැන් ළමෝ පාසල් යති. ඒ මහින්ද මහත්තයා කිව් නිසාය. රටේ නායකයා සිරිසේනද? රනිල්ද? මහින්දද? යන්න ප්‍රශ්නයකි. ටෙලිවිෂන්වලට අනුව නම් රටේ නායකයා මහින්දය. ඔහු පැරදුණත් දින්න ගාණය. අද ඔහුට නායකයාට ඇති තැනම ඇත. පොහොට්ටු අය තවමත් කියනුයේ ‘ජනපති මහින්ද රාජපක්ෂ’ කියාය. මේ මන්ත්‍රීවරයා ඊට හරිම කැමතිය. මේ කාලය තරම් විකාරරූපී විකෘති දේශපාලනයක් මීට පෙර නොවූ තරම්ය. යහපාලනය තරම් විහිළුවක් තවත් නැති තරම්ය. මෙය ගෙනා අය අද අග්ගලා කෑ ගොළුවන්ට හපන්ය. එහෙව් කලෙක සහරාන් කළේ නැවතත් සැමට ජීවිතයක් සහ ජීවිතය වටිනා බව ඒත්තු ගැන්වීමය. අපි නැවත යමක් වන තෙක් අපායේ ඉන්ටවල් එකට ආශා කරමු.