වයඹ බිය වැද්දූ දේශපාලන උමතුව

නිමල් අබේසිංහ

‘බස් එකකින් මුස්ලිම් මිනිස්සු 50ක් විකර මිල්ලගොඩ ගාමන්ට් එක ළඟින් බැස්සුවා. ඒ අය අතේ කඩු තිබුණා.’ කුඩා දරුවකු පැවසී යයි කියන මේ කතාව නිකවැරටිය නගරය පුරාත්, මිල්ලගොඩ ගම පුරාත් පැතිර ගියේ විදුලි වේගයෙනි. කතාව මුවෙන් මුව පැතිර යන්නේ පස්වරු 5ට පමණය.

රාත්‍රී 7.30 වෙද්දී කඩුපොලු රැගත් මැරයෝ නිකවැරටියටත්, මිල්ලගොඩටත් පැමිණියහ. ඒත් ඔවුහු මුසල්මානුවන් නම් නොවූහ. මිල්ලගොඩ ගමේදී සිද්ධිය ඇසින් දුටු නම හෙළි කිරිමට අකමැති කාන්තාවක පැවසුවේ මෙලෙසය.
‘එක පාරටම බයිසිකල් වලින් කට්ටියක් ආවා. එක බයිසිකලේ තුන් හතරදෙනා හිටියා. ඒ අය අතේ කඩු පොලුත් තිබුණා. හෙල්මට් දාගෙන හිටියේ. මර්ලියාගේ ගෙදරට ගැහැව්වා.’

අපේ ගෙදර ඒ වෙලාවේ අයියාගේ පුතයි, මගේ පුතයි හිටියා. අපි දුවගෙන ගියා මර්ලියාගේ ගෙදරට. එතාකොටත් අර අය ගෙදරට ගහලා අනිත් මුස්ලිම් ගෙවල් පැත්තට ගියා. අපේ පුතාලා ගිහින් මර්ලියයි එයාගේ දරුවෝ තුන්දෙනයි ඇඳන් යට හැංගිලා ඉන්නකොට අපේ ගෙදරට අරගෙන ආවා. මර්ලියා යනු වැන්දඹු කාන්තාවක්. ඇගේ දරුවන් තිදෙනා රැක බලා ගන්නේ කුකුල් මස් විකුණලා. එහෙව් මිනිසුන්ට තමයි මුන් ගැහැව්වේ.’

ම්ර්ලියාගේ නිවසෙන් ඇරඹුණු ම්ලේච්ඡ ප්‍රහාරය මිල්ලගොඩ ගමේ මුස්ලිම් නිවාස 13කට එල්ල කර ඇති අතර ත්‍රීවිල් සහ යතුරුපැදි කීපයකටද පහර දී විනාශ කර ඇත.

රේස් මල්ලිකා

මේ සමග නිකවැරටිය නගරයේද මුස්ලිම් වෙළෙඳසැල් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල වී ඇති අතර ඒ සඳහා 500කට වැඩි පිරිසක් සහභාගී වූ බවට තොරතුරු පවතී.

මැයි 13 දා සිදු වූ ප්‍රහාරයන් වලට කාන්තාවන් සම්බන්ධ වූ බවක් ප්‍රහාර සිදු වූ ප්‍රදේශවලින් අසන්නට නොලැබුණු මුත් නිකවැරටිය නගරයේ සිදුකළ ප්‍රහාරයන්ට රේස් මල්ලිකා නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන කාන්තාව සහභාගී වී ඇත්තේ මුගුරක්ද රැගෙනය. ඇය මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවේ.

අප නිකවැරටියට ගියේ සිද්ධිය ඇති වී දින 4කට පසුවය. එනම් මැයි 17 වැනිදාය. එදින සවස 4ට නිකවැරටිය මිල්ලගොඩ ප්‍රජා ශාලාවේ ආරක්ෂක කමිටු රැස්වීමක් පැවැත්වුණු අතර එය කැඳවා තිබුණේ මිල්ලගොඩ ග්‍රාම නිලධාරිණිය විසින්ය.

මෙම රැස්වීමේදී විශේෂ කරුණු කීපයක් නිරීක්ෂණය වූ අතර එයට සහභාගී වූවන්ගේ කතා බහෙන් එකී නිරීක්සණයන් තහවුරු කර ගැනීමටද අපට හැකි විය. මෙම ප්‍රහාරයට සහභාගී වූවන් සියලුදෙනාම පාහේ වයස අවුරුදු 18-25 අතර වූවන්ය. අනෙක් කාරණය නම් ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් ප්‍රජාව හැර කැඳවා තිබුණු අනෙක් පිරිස එකම දේශපාලන පක්ෂයකට අයත් වූවන් බවය. වෙනත් දේශපාලන පක්ෂයක අයකු දැනුවත් කර තිබුණේ රැස්වීම පැවැත්වීමට නියමිතව වෙලාව ආසන්නයේදීමය. එසේම මෙම රැස්වීමට පොලිසිය කැඳවා නොතිබීමද ගැටලුවකි.

ග්‍රාම නිලධාරිණිය පොලිස් ස්ථානාධිපතිවරයා කැඳවූයේ රැස්වීමේදී එක් පුද්ගලයකු විසින් පොලිසිය නැතුව ආරක්ෂක කමිටු රැස් කිරීම පිළිබඳ ප්‍රශ්න නැගූ විටය. ඇය දුරකතනය ඔස්සේ කතාකර පොලිස් ස්ථානාධිපති කැඳවා ගත්තාය. මුස්ලිම් කාන්තාවන් මුලදී සිනාසී කතාකළත් දැන් අහක බලාගෙන යන බව එහි පැමිණ සිටි සිංහල කාන්තාවක පැවසු විට මුස්ලිම් කාන්තාවක් පැවසුවේ ‘කතා කරන්නේ කොහොමද නම කියලා අඬගහලනේ අපිට ගැහැව්වේ’ යනුවෙනි.

තවත් මුස්ලිම් තරුණයකු පවැසුවේ අපි දවස් දෙකක්ම රෑට හිටියේ කැලෑවක යනුවෙනි.

ගෙවල් තෝරාගෙන ගහලා

මිල්ලගොඩ ජේ.එම්. එස්. ජයසුන්දර පැවසුවේ මෙම ප්‍රහාරයට පැමිණියවුන් මුස්ලිම් ගෙවල් වුවද ඒවායින් තෝරාගත් නිවෙස්වලට පමණක් පහර දී ඇති බවය. ‘සාමාන්‍යයෙන් මුස්ලිම් අයගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට හිතවත් අය. වෙනත් පක්ෂවල ඉන්න පිරිස් අඩුයි. මෙහෙත් එහෙමයි. මිල්ලගොඩ ගැහැව්වේ යූඑන්පී මුස්ලිම් අයට විතරයි. අනෙක් අයට ගැහැව්වේ නෑ.’

නිකවැරටිය නගරයේදී පොලිස් ජීප් රථයට පවා පහරදී එහි පිටුපස දොර කඩා ඇති බව දක්නට තිබුණේය. එයින් පෙනෙන්නේ පොලිසියට පවා පාලනය කරගත නොහැකි පිරිසක් මේ ප්‍රහාරයන්ට සහභාගී වී ඇති බව නොවේද? එලෙසම මොවුන් කල්වේලා ඇතිව සංවිධානය වී ඇති බව නොවේද?

මැයි 18 වැනිදා හිරු උදා වන්නේ සිරිලක වෙසක් පොහෝදින සමරණ බව මොනවට ප්‍රදර්ශනය කරමිනි. නිකවැරටියේ සිට හෙට්ටිපොළ දක්වා මගදිග බෞද්ධ කොඩි පතාක වලින් බැබලි බැබලි තිබුණේය.

මහින්ද පල්ලිය

හෙට්ටිපොළ මඩිගේ, අනුක්කන, සුනන්දගම මස්ජිදුල් අබිරාර් දේවස්ථානය ප්‍රදේශය හඳුන්වන්නේ මහින්ද පල්ලිය ලෙසිනි. එයට හේතුව වන්නේ ප්‍රදේශයේ මුස්ලිම් වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයේ හිතවතුන් වීමය. තවත් පිරිසක් බිංගිරිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ හිතවතුන්ය.

අපට ගහන්න ආවේ තරුණ අය. වැඩිහිටියෝ නොවෙයි. මේ අතරේ අපට ගහන්න ආව තවත් පිරිසක් දොළොස්වල පන්සලේ හාමුදුරුවෝ ආපසු හරවලා යවලා තිබුණා. එදා උදේ මිනිස්සු හෙට්ටිපොළ පොලිසියත් හරස් කරගෙන රැස්වෙලා හිටියා.

හවස තමයි අපට ගැහැව්වේ. දයාසිරි ජයසේකර මහත්තයා ඡන්දේ ඉල්ලනකොට අපේ කට්ටිය මුදලින් පවා ගොඩක් උදව් කළා. අවට මිනිස්සු අපේ පල්ලියට කියන්නේ මහින්ද පල්ලිය කියලයි. පුදුමේ කියන්නේ මේ පහරදීමෙන් පස්සේ දයාසිරි මහත්තයාවත් බුලත් කොලේ අයවත් තවම මෙහෙට ආවේ නැති එක ගැනයි අපට දුක. එසේ පැවසුවේ රිස්වි මව්ලවිවරයාය.

කඳුළු නොවැහුණද විනාශ වූ පල්ලිය තුළ සිට වම්ලව්වරයා අප හා කතා කරද්දී දෑත හිස බැඳගත් කුඩා දරුවෙකු අප දෙස දුක්මුසුව බලා සිටින අයුරු දැකගත හැකි විය. දරුවාගේ මුහුණේ තවමත් තැවරී ඇත්තේ කම්පාවයි. එවන් දරුවෝ රැසක් මෙහි සිටිති. ඒ තැවුල අපට පිසදාලිය හැකිද?

පහරදීමට පෙර දවස්හි හෙට්ටිපොළ පොලිසියට පැමිණිලි රැසක් කර ඇත්තේ බිංගිරිය වැවෙහි කඩු දහසක් සඟවා ඇති බවය. ප්‍රහාරයේ සංවිධායකයින් පහර දීමට අවශ්‍ය පසුබිම සකසා ගන්නේ එලෙසය. ඒ අනුව පොලිසිය නාවික හමුදාව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා වැව තෙවතාවක්ම පරීක්ෂා කර තිබේ. මේ තෙවතාවේදීම හමුවන්නේ හිස් සැමන් ටින්, බියර් ටින් සහ අරක්කු බෝතල්ය. එහෙත් පැමිණිලිකරුවෝ නිතර නිතර වැවේ කඩු ඇති බවට පැමිණිලි කළහ. කඩුවක් තබා පිහි කොටයක්වත් තවමත් මේ වැවෙන් හමු වී නම් නැත්තේය.

සුනන්දගම ආසන්නව රබැවේ ශ්‍රී විවේකාරාමයේ පිහිටා ඇත්තේය. මේ අසල්වැසි විහාරස්ථානයට යන්නැයි අපට යෝජනා කළේ සුනන්දගම මුස්ලිම් ප්‍රජාවය. ප්‍රවාහන පහසුකම් හිඟ මේ ප්‍රදේශයට අපට යන්නට සිදුවූයේ මුස්ලිම් අයකුගේ වාහනයෙනි. විහාරස්ථානය අසලින් වාහනයෙන් බැසගත් විට පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට සිට තරුණ පිරිසට බරපතළම ගැටලුව වූයේ අප මුස්ලිම් අයකුගේ වාහනයේ පැමිණිමය.

ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ අධිපති හිමියන් සිද්ධියෙන් පසුව සුනන්දගම පල්ලියට ගොස් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී විවේකාරාම විහාරස්ථානයට ගොස් එහි විහාරාධිපති හිමියන් බැහැදැක උන්වහන්සේගේ අදහස දැනගැනීමට උත්සාහ කළත් එය අසාර්ථ විය. විහාරවාසි භික්ෂූන් වහන්සේ නමක් පැමිණ කතා කළද උන්වහන්සේ නම ප්‍රකාශ කිරීම හෝ ඡායාරූප ගැනීම ප්‍රතික්ෂේප කරන ලද්දෙන් නමක් ගමක් කීමට අකමැති භික්ෂුවගේ ප්‍රකාශය තුළද හරවත් යමක් නොවීය. ‘අපේ එකෙක් ගලක් ගැහුවොත් අල්ලගෙන යනවා. බෝම්බ ගහපු එවුන්ට තමයි කවුරුත් උදව් කරන්නේ.’ විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේ අවේගාත්මකවය.

සිංහල තම්බියා

හෙට්ටිපොළ පොලිස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා කෙරෙහි ඇතැම් සිංහල ජන කොටස් එතරම කැමැත්තක් නොදක්වන බව පෙනේ. එයට ප්‍රධාන හේතුවක් වනුයේ ඔහු ප්‍රදේශයේ ගංජා, කුඩු, සූදු පොළවල් වටලා තිබීමත් එවැනි ව්‍යාපාර සියල්ල නවතා දැමීමට කටයුතු කිරීම නිසාත් බව පැහැදිලි වූයේ අතරමගදී අප නැගගත් ත්‍රීරෝද රථයේ රියදුරුගේ කතාවෙන්ය. අප කවුරුන් දැයි නොදත් ඔහු පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳ තතු හෙළිදරව් කළේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සැකකරුවන් කීපදෙනෙකු රැගෙන ගියේ හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ සිටියදීය. දැනගත් තොරතුරු අනුව ඒ සැකකරුවන් බිංගිරිය පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගත් අයය. කුමන හෝ හේතුවක් නිසා ඔවුන් හෙට්ටිපොළ පොලිස් ස්ථානයට රැගෙක ගොස් ඇත. සමහර විටෙක එය ආරක්ෂක හේතුවක් බවද සිතිය හැකිය. බිංගිරියේදි අත්අඩගුවයට ගත් සැකකරුවන් ඉල්ලා ප්‍රදේශවාසීන් බිංගිරිය පොලිසිය වටකරද්දී සැකකරුවන් හෙට්ටිපොළට ගෙනගොස් තිබේ. මේ බව දැනගත් පිරිස හෙට්ටිපොළට පැමිණ ඇති අතර හෙට්ටිපොළ ප්‍රදේශයේ මැරයෝද මේ ප්‍රවාහයට එකතු වී පොලිසියට අවලාද නගමින් ස්ථානාධිපතිවරයාටද බැන වදින්නට පටන්ගෙන ඇත. මේ පිරිසෙහි පෙරමුණ ගෙන ඇත්තේ දූෂිත ක්‍රියාවන්ට හවුල් වී දඬුවම් ලද්දවුන්ය.

තිබෙන තොරතුරු අනුව නම් පොලිස් ජීප් රථයෙන් මේ සැකකරුවන් එළියට රැගෙන ගියේ නම් පොලිස් ජීප් රථයට ප්‍රහාරයක් එල්ල වීම නිසැකය. එනිසා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ජීප් රථයකින් සැකකරුවන් මාංචු දමා නැවත බිංගිරිය පොලිස් ස්ථානයට ගෙනගොස් තිබේ. මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ භූමිකාව රඟ දැක්වුණේ කුමන අරමුණකින්ද යන්න වෙනමම සංසිද්ධියකි.
හෙට්ටිපොළින් බැහැරවන මැර පිරිස සිය ගම් බිම් බලා යනුයේ අවට ඇති මුස්ලිම් නිවාස කඩ හා පල්ලිවලට ප්‍රහාර එල්ල කරමින්ය. හෙල්මට් හමුදාව මෙහිදී පෙරමුණ ගෙන ඇත. ඇතැම් ස්ථානවල රන්බඩු හා මුදල් කොල්ල කෑම් සිද්ධින්ද වාර්තා වෙයි.

පල්ලියෙන් කැද බී පල්ලියට ගල් ගැසීම

තෝරකොටුව මුස්ලිම් ගම්මානයේ එක් කොටසක් කටුපොත පොලිස් බල ප්‍රදේශයටද තවත් කොටසක් කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයටද අයත්ය. ගම නගරයෙන් බැහැරව පිහිටි එකකි. තෝරකොටුවේ ව්‍යාපාරිකයකු වන එච් ඉසදීන් අපූරු කතාවක් කීවේය. කලබල ආරංචි වීමත් සමඟම සිංහලයින් පිරිසක් තෝරකොටුව තාජ් නමැති ව්‍යාපාරිකයාගේ නිවෙසට පැමිණියහ. ‘මුදලාලිට කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.’යි පවසමිනි. රෝල්ස් සමග පල්ලියෙන් සකසා දෙන කැඳ (නොම්බි සමයේ බැවින්) බිව් ඔවුන්ගෙන් කීප දෙනකු පල්ලියට ගල් ගසන්නටද සහභාගී වීම එකී අපූරු සිද්ධියයි.

තෝරකොටුව ගමෙහි මුස්ලිම් වෙළඳසැල් සහ නිවෙස් 13කට පමණ අලාභ හානි සිදුකර ඇති අතර ඒවායේ අලාභය ලක්ෂ ගණනක්ද වේ.
කුලියාපිටියේ නගරයේ ව්‍යාපාරික ස්ථාන මැර ප්‍රහාර වලින් එතරම් හානි නොවුණද මුස්ලිම් ප්‍රජාවගේ සිතෙහි ඇති වූ වේදනාව නම් නිම කළ නොහැකි තරම්ය.

‘අපේ කඬේ සිංහල 6 දෙනෙක් වැඩ කරනවා. අපි හාල්, පොල්, පාන් පිටි ඔක්කෝම ගන්නේ සිංහල අයගෙන්. අපේ නිෂ්පාදන වැඩි හරියක් විකුණන්නෙත් සිංහල අයට තමයි. බිස්නස් කියන්නේ චේන් එකක්. ඒක මේ අය තේරුම් අරගෙන නෑ.’
මෙසේ පැවසුවේ රිස්නා බේක් හවුස්හි එම්. එස්. එම් සප්රාන්ය.

ඔවුන්ගේ වෙළඳසැලට පහරදීමට පැමිණියෝ දහදොළොස් දෙනෙකි. ගල් වලින් පහරදීමෙන් අනතුරුව ඔවුහු හෙට්ටිපොළ පාරේ ඉදිරියට ගොස් නගරයෙන් පිටත මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදී තිබේ. රිස්නා බේකරියට පිරිස පහර දෙනවාත් සමගම ඒ අසල තිබූ රේන්ජ් රොවර් වර්ගයේ ජීප් රථයක්ද වේගයෙන් හෙට්ටිපොළ දිසාවට ගමන කර තිබේ.

මේ සිද්ධිය වන විටත් කුලියාපිටිය පොලිස් ස්ථානය ඉදිරිපසද විශාල පිරිසක් රංචු ගැසෙමින් සිට ඇති අතර ඔවුන්ද හෙල්මට් පැළඳ ගත් තරුණ වියේ මැරයන් වීම විශේෂිතය.

සමස්ථයක් ලෙස ගතහොත් මේ ප්‍රහාර පිටුපස සංවිධානාත්මක ව්‍යාපාර තිබී ඇති බවට මේ වන විට නොරහසකි. ඒ අතරේ ජාතිය ආගම මුල්කර ගනිමින් අටවාගත් සංවිධානවල සහචරයන්ද සිට ඇත. දේශපාලන බළල් අත්ද ක්‍රියාත්මක වී ඇත. පොලිසිය හා හමුදාව මැර ප්‍රහාර හමුවේ නිෂ්ශබ්දව සිටි බවටද චෝදනා ඉදිරිපත් වේ.

මෙයද සැලකිය යුතු ගැටලුවකි. ඒ අතරේ ඇතැම් තන්හි බෞද්ධ භික්ෂූන්ද ප්‍රහාරකයන්ට අනුබල දුන් බවටත් තොරතුරු තිබේ.