මම, මාව විතරයි අරගෙන යන්නේ

කලණ ගුණසේකර

සංවාදය සහ ඡායා – දිනී ජයසේකර

වේදිකාව සහ සිනමාව අතර ඔබේ කල්පනාව දෝලනය වෙන්නේ කොහොමද?

සිනමාව සහ වේදිකාව කියන්නේ දෙකක්. සමහරුන්ට වේදිකාව කියන්නේ හරි පහසු තැනක් වුණාට බහුතරයකට වේදිකාව කියන්නේ පහසු තැනක් නෙවෙයි. සිනමාවත් ඒ වගේ. මම අහල තියෙනවා ගොඩක් අය කියනවා සිනමාවට වඩා වේදිකාව හරි අමාරුයි කියලා. එහෙත් මට නම් සිනමාවට වඩා වේදිකාව මත රඟදැක්වීම ඉතාමත් පහසුයි, සහ වේදිකාවේ තිරේ අරිනකොට මට මාර ශක්තියක් එනවා. “නිකන් දෙන්නම්කො ඇටි හැලෙන්න” වගේ හැගීමක් ඒක. සමහර විට මට ඒ හැඟීම එන්නේ, වේදිකාව මට නුහුරු තැනක් නොවන නිසා විය හැකියි.

වේදිකාවක් උඩ රගදක්වනවා කියන කාරණයේදී මම දකින දෙයක් තමා ඒක එවලෙට සීමා වෙන දෙයක්. ඒත් සිනමාව තුලදි අපි එක චරිතයක් දවස් ගාණක් එක දිගටම පවත්වාගෙන යායුතුයි. යම්කිසි වෙනසක් ශාරීරිකව හෝ මානසිකව සිදු වූවහොත් ඒක අපේ චරිතෙට ලොකු බලපෑමක් ඇති කරවනවා. මම රඟදක්වපු ෆිල්ම් එකක් පළවෙනි පාර බලද්දි මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගන්නවා. ඇත්තටම එතනදි මට අනුව සිනමාව වේදිකාවට වඩා බරපතලයි. එහෙත් කනගාටුදායකම හේතුවක් වන්නේ වේදිකාවෙන් කලාව හඳුනාගන්න අය ඉහළටම ගමන් කරද්දි සිනමාවෙන් කලාවට පිවිසෙන බොහොමයක් (හැමෝම නෙවේ) දෙනා වේදිකාව ඇසුරු නොකිරීම. එතන ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි අපිට බලපෑම් කරන්න බැහැ ඒක ඔවුන්ගේ රුචිය නිසා.

කලාව සංකීර්ණ විෂයක් වෙමින් පැවතීම ඔබ අත්විඳින්නේ කොහොමද?

උදාහරණයක් වශයෙන් ඉතිහාසයක් විදියට ලංකාවේ 1956 කියන්නේ ඉතාම සංකීර්ණ අවදියක්. ‘රේඛාව’ බිහි වෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ එනවා. සරත්චද්‍ර මහත්මයගේ ‘මනමේ’ එනවා. මේ තුන තුන් දෙනෙක්ගේ. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගේ සිනමාවක් නැහැ ඔහු රචකයෙක්. එතුමා ෆිල්ම් කරන්න ගියේ නැහැ. සරත්චද්‍ර මහත්මයත් ෆිල්ම් කරන්න ගියේ නැහැ. ඔවුන් ඔවුන්ගේ විෂය පථයන් මාරු කරගන්නේ නැතිව ඔවුන් එහි අන්තයටම ගියා. එහෙත් අද වන විට එහෙම ගැටලුවක් නැහැ. තාක්ෂණයේ දියුණුවත් සමග කලාකරුවන් ඔවුන්ගේ අළු ගසාදාල නැගිටිමින් ඉන්නවා. සමහරු වේදිකාවෙන් ඇවිත් සිනමාවට යනවා. සිනමා අධ්‍යක්ෂණය කරන අය ටෙලිනාට්‍ය කරනවා. පිටපත් ලියන අය රංගනයේ යෙදෙනවා. එකතැනක හිරවීමක් නැහැ. විෂයන් වලට මාරු ගැනීමට තරම් වර්තමාන විෂයන් සරල වෙලා තියෙනවා. කලාව කියන විෂය මහ සංකීර්ණ විෂයක්. එහෙත් ඒ විෂය වර්තමානයේදී සරල තත්ත්වයකට පත් කරගෙන තියෙනවා. ඒකත් එක්ක සියලු විෂයන් හා ක්‍රියාවේ යෙදීමට නව පිරිස් බිහි වෙලා ඉන්නවා. හැබැයි අපි කිසිවෙක් ඉගෙනගෙන ඉවර වෙලා වෘත්තියේ යෙදෙන්නෙ නැහැ. ඉගෙනගනිමින් ඉදිරියට ගමන් කිරීමක් තියෙන්නේ.

කලාවෙන් දේශපාලනයට විවේචනයක් ගෙන ආ හැකිද?

කලාව දේශපාලනය සමග පමණක් ඝට්ටවන දෙයක් නෙවේ. කලාව අනෙක් හැමදෙයක් සමගම ඝට්ටනය වීමකට ලක් වෙනවා. කලාව සමබර වෙන්නේ දේශපාලනය කියන අධිකාරිය යටතේ. එහෙත් ලෝකයේ දේශපාලනය කියන දේ කලාවට ගොඩාක් පහළින් තියෙන්නේ. මොකද මෑත ඉතිහාසයේ දේශපාලඥයන්ට වඩා කලාකෘති සහ කලාකරුවන් හොඳ ඉදිරි දැක්මක ඉන්නවා. එහෙත් ආසියාතික රටවල දේශපාලඥයන් කලාව ඔවුන් ගාව රදවා තබාගැනීම සඳහා උත්සහ කරනවා. මොකද ඔවුන්ගේ දේශපාලන මතවාද ටික ලෙහෙසියෙන්ම මිනිස්සුන්ගේ ඔළුවලට බස්සන්න පුළුවන් හොදම ක්‍රමයක් තමා කලාව කියන්නේ. එතනදි ඔවුන් කලාව පාවිච්චි කරනවා. ලෝකයේ කලාව තුළින් දේශපාලනය විවේචනයකට සහ ඝට්ටනයකට ලක් කළාට ආසියාතික රටවල් තුළ කලාවෙන් දේශපාලනයට මහා විවේචන එල්ල කිරීමට හැකියාවක් නැහැ. එහිදී ලංකාවේ බොහෝ කලා වුවමනාවන් පිරිමහන තැනක් බවට පත් වීම නිසා ඉදිරිය කුමක් සිදුවේද යන්න හිතන්න අමාරුයි.

වර්තමාන නිර්මාණකරුවන් කලාවෙන් දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය විවේචනය කරන්න උත්සාහ දරනවා. මෙය ප්‍රේක්ෂකයාට බලපාන්නේ කෙසේද?

ප්‍රධාන වශයෙන් රජය දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය කියන කාරනා තුන ඔවුන්ගේ නඩත්තුව සඳහා උපයෝගී කරගන්නවා. වර්තමාන නිර්මාණකරුවාට අවශ්‍යයයි. පවතින සමාජ ක්‍රමයේ ඇත්ත ස්වභාවය එළියට දෙන්න. මේ සිස්ටම් එක දේශපාලනිකව අපිව අන්දලා තියෙන්නේ. අපිට පේන්නේ න්‍යෂටිය නොවේ පිටකවරෙ විතරයි. එහිදී තරුණ නිර්මාණකරුවෝ පිටකවරෙ කඩල න්‍යෂ්ටිය පෙන්නන්න උත්සහ කරනවා. ඒ නිර්මාණකරුවන් හැම මොහොතකම හැදෙන්නේ යුගයේ පවතින දේශපාලනයට ප්‍රතිවිරුද්ධව. මේ සිද්ධිය අද ඊයෙක ඉදන් නොවේ දන්න ඉතිහාසයේ ඉදන් සිද්ද වෙන දෙයක්.

ප්‍රේක්ෂකයා සිංහල බෞද්ධ හෝ වෙන යම් ආගමක විය හැකියි. හේතුව ආගමික ලක්ෂණත් එක්ක තමයි ප්‍රේක්ෂකයා හැදිලා වැඩිලා ඉන්නේ. ඒක රජයත් දන්නවා. නිර්මාණකරුවත් දන්නවා. රජයට ඒක ආගමික අවස්ථාවෙන් කැඩීමට වුවමනා නැහැ. මොකද ඒක රජයට පාඩුයි. ඔවුන්ට ඒ අන්තවාදී කෑල්ල අවශ්‍යයි. ඒක මැද රජයක් නඩත්තු වෙද්දි එළියේ සිටින විකල්ප කලාකරුවා ඒකට විරුද්ධව සටන් වදිනවා. ඒ සටනෙදි විකල්ප කලාකරුවා ග්‍රාමීය මට්ටමින් පරදිනවා.

ඔබේ රංග අභ්‍යාසයේ පරාමිතීන් ගොඩනැගෙන්නේ කොහොමද?

මම වැඩකට යද්දි මම මාව විතරයි අරගෙන යන්නේ. පසුව පිටපතකින් චරිතයක් කොච්චර දුරකට ගොඩ නැගිය හැකිද සහ අධ්‍යක්ෂක මට කියන දේවල් හොඳින් අවබෝධ කරගෙන හරි තැනින් චරිතය තියන්න උත්සාහ ගන්නවා. එහිදී හරියන අවස්ථාත් තියෙනවා වරිදින්න පුළුවන් අවස්ථාත් ඕනතරම් තියෙනවා. ඒක සාමාන්‍යයි. එහෙම නැතිව “මේක තමයි මචං හොඳම එක කියලා” අදහසක් තියාගන්නවානම් ඒක දරුණු ලෙඩක්. මගෙ අදහස අනුව රංගන ශිල්පියකුට ඔහුගේ චරිතයට වැදගත් වෙන්නේ හොඳ අධ්‍යක්ෂක වරයෙක් සහ හොද පිටපතක්.

අපි යම්කිසි නිර්මාණයකට මුහුවෙද්දි අධ්‍යක්ෂකවරයාට ඒ චරිතයෙන් වුවමනා දෙයක් තියෙනවා. අපි ඒ දේ දෙනකන් අධ්‍යක්ෂකවරයා අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට හොඳම දේ අපිට එය අවබෝධ වනතෙක් අධ්‍යක්ෂකවරයා එක්ක එම පිටපත ගැනම කතා කිරීමයි. පසුව ඒ චරිතය සම්බන්දව මගේ ඇත්දැකීම් ටික මම ගන්නවා. එහිදී අධ්‍යක්ෂකගේ අත්දැකිම් ටිකත් එයා එළියට දානවා. පස්සේ අපි දෙන්නම ඒ අත්දැකීම් බෙදාගන්නවා. ශරීරයක හැගීම් ටික වෙනස් වෙන්නේ කොහොමද, ඇයි ඒ ඩයලොග් එක තප්පරයක් ඇතුළත පරක්කු කරලා කීවේ, හැඟීම් කොහොමද වෙන පැත්තකට යොමු කලේ වගේ දේවල් අධ්‍යක්ෂකට කියන්න බැහැ. ඒක රංගන ශිල්පියාගේ අත්දැකීම අනුවම තමා සිද්ද වෙන්නේ. කලාව ඉවත් එක්ක යන දෙයක්. හොද රංගන ශිල්පියකුට බල්ලෙකු හා සමාන හොඳ ඉවක් තිබිය යුතුයි.

චරිතයක අභ්‍යන්තරය විවරණය කිරීම ගැන ඔබේ අභ්‍යාසය මොකක්ද?

චරිතයකට අත්දැකීමක් අවශ්‍ය නැති වුණාට අත්දැකීම් මත තමයි ඔහු රගපාන චරිතය තීරණය වෙලා තියෙන්නේ. මොකද මොහොතකදී සියල්ල අපේ අත්දැකීම් බවට පත් වෙනවා. උදාහරණයක් විදියට “මට වතුර තිබහා ඇවිත් දුවගෙන එනවා” කොහොමද මම ඒ මොහොතේ එයට අනුගත වන්නේ කියන දේ මගේ ඇඟ ඇතුලෙන්නේ එන්නේ. සහ කොහොමද මට එන වතුර තිබහා ක්‍රියාවෙන් ප්‍රේක්ෂකයාට දෙන්නේ. සවිඥානිකව හෝ අවිඥානිකව මාගාව ඒ සම්බන්ධව අදහසක් තිබිය යුතුයි. ඒත් මම ඒ අත්දැකීම විඳලා නැතිව වෙන කෙනකු ඒ අත්දැකීම විඳිනවා දැකලා තියෙනවා. ඒකත් මගේ අත්දැකිමක්. අපිට දැකපු හෝ විදපු අත්දැකීමක් මත පදනම් විය යුතුයි.

ඔබ රඟපෑ ‘බහුචිතවාදියා’ චිත්‍රපටය ඇසුරින් මේ ගැන තවදුරටත් පැහැදිලි කළ හැකිද?

මම ‘බහුචිතවාදියා’ එකේ කරන්න හිටියේ සෙකන්ඞ් රෝල් එක. ඒත් මට අන්තිම කරන්න සිද්ද වුණේ මේන් රෝල් එක. අපි මේන් රෝල් එක සඳහා දන්න කියන අය 22ක් විතර ගෙන්නුවා. ඒත් කිසිකෙනෙක් හරිගියේ නැහැ. ඒ වෙනකොට මම පිටපත සෑහෙන වාරයක් කියවලා තිබුණා. පසුව මාලක යෝජනා කළා මේකට වෙන කවුරුවත් ඕනේ නැහැ උඹම කරපන් කියලා. මම එතකොට කීවේ මම දන්නේ නැහැ කරන්න පුළුවන් වෙයිද කියලා ඒත් උත්සාහයක් දරන්නම් කියලා කීවා. කොහොමහරි සීන් එකක් දෙකක් කරල බැලුවා. එහෙම තමයි මට ඒ චරිතය කරන්න වුණේ. ඇත්තටම මම ඒ චරිතයේ මතුපිට ඉඳලයි අභ්‍යන්තරය සොයා ගියේ.

ලංකාවේ සිනමාව තුළින් ලිංගිකත්වය ප්‍රේෂණය කැරෙන විදිය ගැන ඔබ මොකද හිතන්නේ?

ලංකාව තුළ ක්ලැසික් ෆිල්ම් එකක ලිංගිකත්වය දර්ශනය වනවා කියන එක ජනතාවට මාර ප්‍රශ්නයක්. කාන්තා ශරීරය සහ පුරුෂ ශරීරය එයින් පෙන්වනවා කියන එක විශාල වරදක් විදියටයි ඔවුන් දකින්නේ. ඒක අර සංස්කෘතික සභ්‍යත්වය කියන රෙද්දෙන් වහලා තියන්න උත්සාහ කරනවා. එහිදී මනස වැඩ කරන්නේ රංගනය සහ ශරීරය දෙකක් කියලා. උදාහරණයකට අපි ටයිටැනික් වගේ ෆිල්ම් එකක් ගත්තාම එහි රංගන ශිල්පිනියට සහ ශිල්පියාට එහෙම මානසික පිඩනයක් ඇති වෙලා නැහැ. මොකද ඒ රටවල මිනිස්සු රසවින්දනය මොකක්ද කියන එක අවබෝධයේ තියාගෙන ඉන්න නිසා.

ඔය කියන ක්ලැසික් ෆිල්ම් එකක තියෙන ලිංගිකත්වය ඊටත් වඩා දරුණු විදියකින් රජකතාවලත් පෙන්වනවා. සමහර විට මිනිස්සුන්ට ඒක අහුවෙන් නැතිවෙන්න පුළුවන්. අපේ සිනමාව තුළ මේ ලිංගිකත්වය මාර විදියට විකුණනවා. ෆිල්ම් හෝල් එකක රජකතාව මුළු පවුලමත් එක්ක ඇවිත් බලද්දි ක්ලැසික් ෆිල්ම් එක ෆිල්ම්හෝල් පැත්ත පලාතකවත් නොගිහින් බලන්න පුළුවන් විදියට සිනමාව තුළ ලිංගිකත්වය ප්‍රේෂණය වෙලා තියෙනවා කීවොත් නිවැරදියි.

නළුවා කියන්නේ ඔබ ප්‍රේක්ෂකයා අතරට එන්න කැමති විදියද?

ඕනම රංගන ශිල්පියෙක්ව ප්‍රේක්ෂකයා අදුරගන්නවා කියන දේ මාරයි. කාටවත් කියන්න බැහැ අපි රඟපාන්නේ සමාජය ගොඩදාන්න, සංස්කෘතිය සභ්‍යත්වය හදන්න කියලා. කෙනකුට සාපේක්ෂව ඒක ඇත්ත වෙන්න පුළුවන්. එහෙත් මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මම රඟපාන්නේ මගේ විෂය රංගනය නිසා. රංගන ශිල්පියෙක් තමන්ගේ වැඬේ ඇතුලේ වැඩ කරන්නේ එකක් මේක එයාගේ ආර්ථිකය සහ වෘත්තිය නිසා. එතකොට ඒක ඇතුලේ මම යම්කිසි රසයක් නිශ්පාදනය කරන්නේ ප්‍රේක්ෂකායා සඳහායි. ප්‍රේක්ෂකයා ඒක ප්‍රතික්ෂේප කළොත් ඒ චරිතය සතපහකට වැඩක් නැහැ. එහිදී අපි එළියට බැහැල වැඩ කරද්දි ප්‍රේක්ෂකයා මාව චරිතයක් ඔස්සේ අඳුන ගන්නවා නම් මම ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මොකද ඒක මගෙ විෂය නිසා.

රංග ක්‍රියාවලිය තුළ තරු සංකල්පය ක්‍රමයෙන් පරාජය වූවාද?

ශිල්පියාගේ දක්ෂතාවය තමයි වැදගත්. පසුව සුන්දරත්වය නිර්මාණය කරගත හැකි වෙනවා. ඉතිහාසය දිහා බැලුවාම ගීතා කුමාරසිංහ, මාලනී ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ එකවගේ සුන්දරයි. එකිනෙකාට සාපේක්ෂව සුන්දරත්වයක් තිබුණා. එහි කිසිම අවලස්සනක් නැහැ. අපි මුලින්ම දක්ෂතාවය මතයි පදනම් විය යුත්තේ. පසුව සුන්දරත්වය ඉබේම වගේ අපිව වැළදගන්නවා. ඒකට ඒ හැටි මහන්සියක් විය යුතු නැහැ.

දකුණු ඉන්දීය සිනමාව, උතුරු ඉන්දීය සිනමාව, මලයාලම් සහ තෙලිගු කියන සිනමාවෙන් සුන්දරත්වය කියන දේ තලලා දැම්මා. දැන් නළුවෙක් හෝ නිළියක් කියන පුද්ගලයා චරිතයක් තුළ කොච්චරක් දුරකට ජීවත් වෙලා මිනිසුන්ව ආකර්ශනය කරගත හැකිද යන්න පමණයි අදාළ. වෙනකිසි දෙයක් අදාළ නැහැ. එතනදි දක්ෂතාවය තමයි ඕනම දේකට වැදගත් වන්නේ.