ලේඛකයා තවමත් සිරගතයි! ලිවීමේ නිදහස හා වාරණය ගැන විමසුමක්

රසික ගුණවර්ධන

රටේ ඇති වූ අස්ථාවර තත්ත්වයත් සමඟ සහ එයින් පසුව තවමත් ක්‍රියාත්මකවෙමින් පවතින පශ්චාත් දේශපාලනික ක්‍රියාවලීන් හමුවේ රටේ එතෙක් කතාබහට ලක්වූ මාතෘකාවන් ජනතාවගෙන් සහ මාධ්‍යවල අවධානයෙන් ගිලිහී යන ආකාරයක් දකින්නට ඇත. එසේ සමාජය තුළින් මතුවූ ගැටලු සමාජමය සිදුවීම් හරහාම වැළලී යාම යහපත් කාරණයක් වන්නේ නැත. ශක්තික සත්කුමාර නම් ලේඛකයා ලියූ කෙටිකතාවක් හේතුවෙන් ඔහුට නීතියෙන් දඬුවම් විඳින්නට සිදුවීම එසේ යටපත්වී ගිය එහෙත් අප විසඳුමක් ලැබෙන තෙක් කතා කළ යුතු සිදුවීමකි. මෙවර ශක්තිකට එසේ වූවද අනාගතයේ මෙවැනිම සිදුවීමක් සිදුවන විට ශක්තිකට හිමිවූ ප්‍රතිඵලයම නැවත වතාවක් ලැබුණහොත් එය අප සමාජයක් ලෙස ලබන අසමාර්ථයකි.

වාරණය අවශ්‍යද? යමක් වාරණය කළ යුතුනම් ඒ කිනම් නිර්දේශ මතද? වාරණය හරහා ප්‍රකාශනයේ අයිතියට සහ පාඨකයාගේ අයිතියට බලපෑමක් සිදුවන්නේ නැතිද? මේ ආකාරයට සේම මීට වෙනස් බොහෝ ආකාරවලට වාරණය පිළිබඳව කතාබහක් ඇති වී, වාරණය යනු විවාදාසම්පන්න මාතෘකාවක් බවට පත්වී ඇත.
කෙසේ වෙතත් නිර්මාණයක් ඕනෑම ආකාරයකින් වාරණය කිරීමක් යනු නිර්මාණකරුගේ ප්‍රකාශනය විකෘති කිරීමක් සහ ඔහුගේ අයිතිය අහිමි කිරීමක් ලෙස හැඳින්විය හැකිය. එනම් වාරණයේදී සිදුවන්නේ කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් නිර්මාණකරුගේ ප්‍රකාශනයේ එක් කොටසකට හෝ සම්පූර්ණ කොටසටම එරෙහිවී එහි අන්තර්ගතය සහ හැඩය තීරණය කිරීමට හේතුවන කලා කෘතියේ අංගයක් ඉවත් කිරීම හෝ කලා කෘතිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. එහෙත් කලාව යනු කිසිවෙකුගේ හෝ කිසියම් සමාජ කණ්ඩායමක පමණක් අවශ්‍යතාවන් සහ උවමනාවන් තෘප්තිමත් කිරීමම පමණක් අරමුණු කර නොගන්නා දෙයක් වන අතර, එය නිර්මාණකරුගේ කිසියම් ආකාරයක විවේචනාත්මක සහ විචාරාත්මක දෘෂ්ටියක් විය හැකිය.

ලෝකය වඩා විවෘතවෙමින් ඉදිරියට පැමිණීමේදී වාරණය බොහෝ විට ලිහිල් ස්වරූපයක් ගනු දැකගත හැකිවිය. ලිංගිකත්වය, ආගම යන කාරණා සාහිත්‍ය කෘතියක් වාරණයේදී විශාල ලෙස සැලකිල්ලට භාජනය නොකරන තත්ත්වයක් ලෝකය තුළ බිහිවී නැතත් ලංකාව තුළ තත්ත්වය තවමත් වෙනස්ය. ඒ අතුරිනුත් ආගමික කාරණා මත කලා කෘතීන් බොහෝ විට වාරණය වනු දැකගත හැකිය. මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ සහ ටෙනිසන් පෙරේරාගේ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ යන කෘතීන් ද්විත්වය වාරණය වීම වාරණය ආගමික සංස්ථාවන්හි වෙනසකින් තොරව සෑම ආගමික අධිකාරියක් හරහාම සිදුවන බවට නිදර්ශකයකි. ශක්තික සත්කුමාර සිරගත කරන්නේ ඔහු විසින් මුහුණු පොතේ ලියා පළකරන ලද කෙටි කතාවක් මගින් බුදු දහමට අපහාසයක් සිදු කළේ යැයි යන චෝදනාව යටතේය. මේ ක්‍රියාවලියේ පසුපසින් ක්‍රියාත්මක වන්නේ භික්ෂූන් වහන්සේලා පිරිසකි. එනම් නිරූපිත ආගමික සංස්ථාවකි. ආගමික සංස්ථාවක් විසින් කලාව විග්‍රහ කිරීම හෝ එය නිර්වචනය කිරීම හරහා මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් බොහෝ විට ඉස්මතුවේ. මක්නිසාදයත් කලාකරුවා යනු බොහෝ විට සංස්ථාවෙන් පරිබාහිරව ක්‍රියා කරන එය විවේචනය කරන ප්‍රකාශකයෙකු වන බැවින් සහ කලාකරුවාගේ භූමිකාව හරහා කලාකරුවා නිරීක්ෂකයෙකුගේ කාර්යයේද නිරත වන බැවිනි.

කෙසේ වෙතත් ශක්තිකට දඬුවම් හිමිවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ජාත්‍යන්තර ගිවිසුමක් මත වූ නීතියක් හරහාය. එමගින් කලාකරුවෙකු සිරගත කිරීම හරහා ප්‍රකාශකයකු ලෙස ඔහුට ඇති අයිතීන් අහිමිකර දමන බව අපගේ හැඟීමයි. අවම වශයෙන් කලා කෘතියක ගුණදොස් යම් ආකාරයකට විෂයානුබද්ධව පත් කළ කමිටුවක් හෝ පිරිසක් හරහා විමර්ශනය කර වාරණය ක්‍රියාත්මක විය යුතු බව අපගේ හැඟීමයි.

අප ශක්තිකගේ සිදුවීම හරහා මේ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු මේ ඔවුන් ඉදිරිපත් කළ අදහස්ය.

යුක්තිය බිඳ වැටීමක්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම

2007 දී හඳුන්වා දෙන ලද අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත (ICCPR,  Act ) මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සීමිත ප්‍රතිපාදන, ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරනු ලැබුණා. මෙම පනත යටතේ ‘වෙනස් ලෙස සැලකීම, එදිරිවාදීත්වය හෝ ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නා වූ ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම’ නීති විරෝධී ලෙස සැලකෙනවා. ආගම විෂයයෙහි, මෙම පනත ක්‍රියාකරන්නේ, තමන් විශ්වාස කරන ආගමක් නිදහසේ ඇදහීමට ඇති අයිතිය තහවුරු කිරීමට මිස, කෙනෙකුගේ කලාත්මක ප්‍රකාශන නිදහස කප්පාදු කිරීමට නෙවෙයි. ICCPR යටතේ අරුත් ගැන්වෙන නීතිය ඉතාමත් දරුණු විදියට අපහරණය වෙමින් තියෙනවා කියන එක තමයි මගේ අදහස.
ශක්තික සත්කුමාර කියන්නේ, නව පරපුරේ කෙටිකතාකරුවෙක්. තම නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය සම්මාන පවා දිනා ඉන්න කෙනෙක්. සමාජ ජාල ප්‍රකාශනයක් ලෙස පළවුණු ඔහුගේ කෙටි කතාවක්, ඉලක්ක කරගන එක්තරා අන්තවාදී භික්ෂු කණ්ඩායමක් අයි.සී. සී. පී.ආර් පනත යටතේ පොලීසියට කළ පැමිණිල්ලක් මුල්කරගන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය ලේඛකයා රිමාන්ඞ් කළා. කෙටිකතාවක් ලියූ වරදටයි, ඔහු රිමාන්ඞ් භාරයේ ඉන්නේ.

ශක්තික රිමාන්ඞ් කෙරෙන්නේ 04/21 බෝම්බ ප්‍රහාරයන්ට පෙර. බෝම්බ ප්‍රහාරයෙන් පසු ICCPR අපහරණය තවත් දරුණු වුණා. හසලක පැත්තේ ධර්මචක්‍රයක් මුද්‍රණය කළ ඇඳුමක් ඇඳගන ඉන්නවා යැයි අත්අඩංගුවට ගත කාන්තාවක් රිමාන්ඞ් බාරයේ තබාගන ඉන්නේ ICCPR යටතේ බවයි වාර්තා වෙන්නේ. ඇගේ ඇඳුමේ තිබෙන්නේ නැවූ සුක්කානමක රූපයක් බවයි පැහැදිලිව පෙනෙන්නේ. කෙටිකතාවක් ලියුවාට, ඇඳුමක අවිනිශ්චිත රූපයක් තිබුණාට අත්අඩංගුවට ගත් අයට ICCPR

යටතේ චෝදනා කෙරෙද්දී පසුගිය දවස්වල ඇතිවූ මුස්ලිම් විරෝධී පහරදීම් වලට අත්අඩංගුවට ගත් පිරිස් සඳහා චෝදනා ගොනුකර තිබුණේ අඩුම තරමින් හදිසි නීති රෙගුලාසි යටතේවත් නෙවෙයි. ඔවුන් පොලිස් හෝ අධිකරණ ඇප මත නිදහස් කෙරුණු බව වාර්තා වෙනවා.
මෙය භයානක තත්ත්වයක්. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු තත්ත්වයක්. නීතිය හැසිරෙන්නේ බහුතරයට හෝ මාධ්‍යයට වුවමනා විදියට නම්, යුක්තිය පිළිබඳ ජනතාව බලාපොරොත්තු තබා ගන්නේ කොහොමද?

 

මේක සංස්කෘතික තර්ජනයක්

ප්‍රවීණ ලේඛක සමන් වික්‍රමආරච්චි

ශක්තිකගේ කෙටි කතාව සාර්ථක කෙටි කතාවක් ලෙස මා දකින්නේ නැහැ. නමුත්, එහි සාර්ථක අසාර්ථක බව කුමක් වුවත් නිර්මාණකරුවන්ගේ නිදහසට තර්ජනයක් වීම අප හෙළා දැකිය යුතුයි. එම නිර්මාණයේ අඩංගු කරුණු සලකා බැලුවත් එය ලේඛකයෙකු රිමාන්ඞ් භාරයට පත්විය යුතු තරමේ කරුණු නොවේ.

හික්ෂුවක් විසින් මෛත්‍රී කළ යුතුයි පැවසුවත් වර්තමානයේ එය සිදුවෙනවද? හාමුදුරුවරු එකතුවෙලා ශක්තිකව හිර කළාට බුදුහාමුදුරුවො හිටියනම් එහෙම කරයිද? මෙහි නෛතික කාරණාවටත් වඩා අප සැලකිලිමත් විය යුතුව ඇත්තේ සංස්කෘතික තර්ජනය පිළිබඳව.

මෙහිදී අප නිර්මාණ කෘති වාරණයට එරෙහි වනවා සේම නිර්මාණකරුවන්ටත් යම් වගකීමක් තියනව ආගමට අපහාස නොවී නිර්මාණකරණයේ යෙදෙන්ඩ. නිරර්ථක ලෙස ආගමට අපහාස කිරීමෙන් නිර්මාණකරුවා බැහැරවිය යුතුයි. සමාජය දැන් ශිෂ්ටයි. මිනිස්සු පාරෙ හෙලුවැල්ලෙන් ඇවිදගෙන යන්නෙ නෑ. එවිට ලිවීම්වලත් එක්තරා ආකාරයකට ඒ ශිෂ්ට බව තිබිය යුතුයි. අප අතරත් ඒ ශිෂ්ටත්වයට ගරු කිරීම තිබිය යුතුයි. වාරණය නොවිය යුතුයි වගේම තමනුත් යම්කිසි ආකාරයට තහනම් පනවා ගත යුතුයි. කුණුහරුප අවශ්‍යතැන්වලදි කුණුහරුප ලිවිය යුතුයි. ඩී. එච්. ලෝරන්ස්ගෙ ලේඩි චැටර්ලීස් ලව(ර්) අවුරුදු හැටක් විතර තහනම් වී පැවතියා. ඒ තහනමට හේතුවූයේ අකුරු හතරෙ වචන දෙකක්. නමුත් ඒ තහනමට එරෙහි නඩු විභාගයේදී ලෝකය පුරා සිටි විද්වතුන් විශාල ප්‍රමාණයක් පැමිණ ලෝරන්ස්ගෙ නවකතාව විසින් ඒ අකුරු හතරෙන් යුතු වචන නවකතාව විසින් ඉල්ලා සිටි බව පැවසුවා. නමුත් අද පවා ලංකාවෙ බිහිවෙන නිර්මාණ ගත්තම ඒ ආකාරයට නිර්මාණය විසින් ඉල්ලා සිටින නිසාමද එවැනි අසභ්‍ය දෑ යෙදෙන්නෙ යන්න ගැටලුවක්. ඒ අසභ්‍ය දෑ ලිවීම ඇතුළෙ නිර්මාණයට කුමන හෝ වටිනාකමක් එකතු කරනවාද යන කාරණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ ආකාරයට නිර්මාණයක් ගුණාත්මක වීම හරහා තමයි අපට නිර්මාණයක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ඇති වෙන්නෙ.
මේ අවස්ථාවේ ශක්තික රිමාන්ඞ් භාරයට පත්කිරීමට අපි එරෙහි වෙනව. ඒ වගේම සංස්කෘතික පීලි පැනීම හරහා මතුවන මේ ආගමික අන්තවාදයටත් අප එරෙහි වනවා.

කෙටි කතාවක් යනු කසිප්පු නොවේ

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

ශක්තිකගෙ කෙටි කතාව ප්‍රචාරකවාදී කතාවක්. මේ ප්‍රචාරකවාදී ස්වරූපය හේතුවෙන් තමයි ආගමට නිගාවක් යන තර්කය මතු වෙන්නෙ. කෙසේ වුවත් මෙවැනි සිදුවීම් මේ තරම් දුරදිග යන එක එතරම් හොඳ දෙයක් නෙවේ. ඕනෑම කලා කෘතියක් කලා සන්දර්භය තුළ තිබේ නම් අපට ඒ සඳහා සිදුවන මැදිහත්වීම් වලට නොබියව අභියෝග කරන්න පුළුවන්. එවිට අපට ප්‍රකාශ කරන්න පුළුවන් අප මෙය නිර්මාණය කළේ මේ පදනම උඩ කියල. එවිට ඒවාට එරෙහිවීම පහසු නෑ. එහෙත් මෙවැනි දේකදි එරෙහිවීම පහසු කාරණයක්.
අපේ පොත්වලත් මෙවැනි දේ සඳහන් වෙනවා. එහෙත් ඒවා සඳහන් වන්නේ මේ ආකාරයට නොවේ ඒවා පවතින්නේ ප්‍රතිනිර්මාණාත්මක ස්වරූපයෙන්. චරිත සහ සාහිත්‍ය උපක්‍රම හරහා එහි හැඩරුව වෙනස් වෙලා පවතින්නෙ. බැලූබැල්මට එහි අර්ථය වටහා ගැනීමට නොහැකියි.
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකතාව වුවත් උසාවියේදී පිළිගැනීමට සිදුවූයේ එහි ලේඛකයාගේ තිබූ කාව්‍යමය ලිවීම හේතුවෙන්. ඒ හේතුවෙන් ජූරියට එයට අභියෝග කිරීමට හැකියාවක් පැවතුණේ නෑ.

ඒ වගේම තමා කෙනෙකුට හිතුවක්කාරෙට අධිකරණයට පොතක් ගෙනිහිල්ල ලේඛකයට ශාරීරිකව පීඩාවක් කරන්න පුළුවන් නමුත් කෘතිය පරද්දන්න බැහැ. මේ සිදුවීමේදී ලේඛකයට කරුණු කියන්ඩ කිසිම අවස්ථාවක් නැතිවයි ඔහුට බන්ධනාගාර ගතවෙන්න වුණේ. මේ ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම තුළ ලේඛකයන්ට සාධාරණත්වයක් උදා වෙන්නෙ නෑ. මේ විදිහට බිහිවෙන ඕනෑම ගැඹුරු සාහිත්‍ය නිර්මාණයකට එරෙහිව පවා ඕනෙම කෙනෙකුට කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න අවස්ථාව හිමිවෙනව. මේ වගේ දේකට උසාවියකට ගියහම ලේඛකයා ගොඩක් පීඩාවට පත්වෙනවා. මොකද මේ වගේ දේකට උසාවියකින් විසඳුමක් ලැබෙන්නෙ බොහොම කාලයකට පස්සෙ. අනාගතයේදි ලේඛකයන්ට බොහොම සීරුවට ලිවීමට සිදුවන තත්ත්වයක් උදාවේවි. ඒ හරහා ලේඛන කලාව බාල වීමක් සිදුවේවි.
අපි ලේඛකයන් විදිහට මේ ගැන රජය සමඟ කතාබහ කරල මේව විසඳන විදිහ ගැන සාකච්ඡාවක් පැවැත්විය යුතුයි. හැබැයි අපේ ලේඛකයන්ට එහෙම දෙයක් කරන්න ශක්තියක් නෑ. අපේ ලේඛකයො විසිරිල ඉන්නෙ. අපේ ගොඩක් දෙනා අපි ඔහොම ලියන්නෑ කියල නිකන් ඉන්නව. කලා කෘතියක් සර්වව්‍යාපී දෙයක්. එය සෑම ලේඛකයෙකුටම පොදුයි.
සියුම් විමර්ශනයකින් තොරව කලා කෘති අධිකරණයට ගෙනයෑමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිනවා. පොලිසීයට කසිප්පු මුදලාලි කෙනෙක් අල්ලල කසිප්පුවලට නඩු දාන්න පුළුවන් හැබැයි පොතක් කියන්නෙ කසිප්පු නෙවේ, පොතකට කසිප්පුවලට වගේ නඩු දාන්න බෑ. මෙතන තියන වෙනස, සංස්කෘතික කාරණාව ලේඛකයන් විදිහට අපි පෙන්නල දෙන්න ඕනෙ. අපි ලංකා ලේඛක සංගමය විදිහට රජයත් සමඟ මේ පිළිබඳව කතා කරන්න අවස්ථාව ඉල්ලුව නමුත් අපට ලැබුණෙ නෑ.

අප තුළම ප්‍රතිවිරෝධයක් තියනවා

සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල

රටක් ජන සමාජය ගොඩනැගෙන ස්ථර හතරක් තියෙනව. අධ්‍යාපනය, ආගම, සාහිත්‍යය හා කලාව. කලා කෘතියක් හරහා මිනිසුන්ගේ චින්තනය පුළුල් කළ යුතුයි. යම්කිසි නිර්මාණයක් සිදුකිරීමේදී ඒ රටේ තියන හර පද්ධතීන් විශ්වාසයන්, සිරිත් විරිත්, සමාජ වටිනාකම් වැනි දේවල්වලට පෞද්ගලිකව ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළකිය යුතුයි. නමුත් කාලයක් තිබූ දේවල් විද්‍යානුකූලව, තාර්කිකව දැකල කලා කෘතියක් හරහා විද්‍යානුකූල ප්‍රවේශයක් තුළ ඒ පිළිබඳව සමාජයක් ලෙස අප විධිමත් ක්‍රමවේදයක් තුළ ඇගයීමට ලක් කළ යුතුයි.

මේ කෙටි කතාව මම කියවා නොමැති නිසා මට ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ නොහැකියි. නමුත් කලා කෘතියක් හේතුවෙන් එහි නිර්මාණකරුට දඬුවම් කිරීමේ දේකට යොමුවෙනව නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් පැවතිය යුතුයි. ඒ පිළිබඳව විද්වත් කමිටුවක් හරහා අදහසක් ලබාගත යුතුයි. කලා නිර්මාණයක් මතුපිටින් බැලීමේදී එය ආගමට, සංස්කෘතියට අපහාසයක් ලෙස පෙනුණත් එහි ගැඹුරට ගිහින් බැලීමේදී එහි බලපෑම ධනාත්මක විය හැකියි.
අපි වගේ සමාජයක ගොඩක් වෙලාවට වෙන්නෙ යමක් දිහා මතුපිටින් බලන එක. උදාහරණයක් විදිහට මීට අවුරුදු තුනකට කලින් රාජ්‍ය ළමා නාට්‍ය නිර්මාණ උළෙලට ඉදිරිපත් වෙනව හොරණ ප්‍රදේශයෙන් ළමා නාට්‍යයක්. ඒ ළමා නාට්‍යයේ පන්සල තුළ තිබෙන අපේ යම් යම් අඩුපාඩු සහ සාමනේර නමක් අත්විඳින ඒ ළමාකම නිරූපණය කරනව. එහිදී ඒ නාට්‍ය ලොකු සාකච්ඡාවකට බඳුන් වුණා. මේ නාට්‍ය හරහා බුද්ධ දර්ශනයට, බුද්ධාගමට හානියක්ද කියල. ඒත් විනිශ්චය මණ්ඩලය ඉතාම හොඳ තීරණයක් ගත්ත, නිර්මාණකරුවා විසින් ඒ ඔහුගේ නිර්මාණය තුළ තියන දේ නිර්මාණකරුවා ලස්සනට ඉදිරිපත් කරල තියනව. ඒ හරහා කිසිවිටක බෞද්ධ දර්ශනයට හානියක් වෙන්නෙ නෑ. එය වසරේ හොඳම නාට්‍ය බවට පත් වුණා.

මම සංස්කෘතික අධ්‍යක්ෂ ලෙසත් බෞද්ධයෙකු ලෙසත් සඳහන් කළ යුතුයි අපි ගොඩක් දේවල් දිහා බලන්නෙ පෞද්ගලික සහ අපේ තියන දෘෂ්ටිවාදයක් ඇතුළෙ. ඒත් බෞද්ධ දර්ශනය ඇතුලෙ තියෙන්නෙම දාර්ශනික ප්‍රවේශයක් හරහා මේවා වටහා ගැනීම. දාර්ශනික සමාජයක් තුළ මිනිසුන් සබුද්ධික නම් ඔවුන් ගන්නා තීරණ යහපත් වනවා සේම එයින් හානියක් වන්නේ නැහැ. අපි ඔළුවෙ ගොඩාක් ලොකු කුණු ගොඩක් තියාගෙන මේ දේවල් දිහා බලන්නෙ. ඒ තුළ බොහෝ වෙලාවට නිර්මාණකරුවා පැවසීමට යනදේද සමාජගත වෙන්නෙ කියන එක ප්‍රශ්නගත වෙනව. මම මේ සිද්ධිය පිළිබඳවම නෙවේ මේ ප්‍රකාශ කරන්නෙ, පොදුවේ. මම දකිනව ඉතිහාසයේ ඉඳන් ගත්තහම අපි මතුපිටින් දේවල් දකිනවා. ඒ නිසා මිනිසුන් සෑම ප්‍රශ්නයක්ම දකින්නෙ මතුපිටින්. බුද්ධ දර්ශනය කියන්නෙ ගැඹුරු දෙයක්. ඒ ගැඹුරට මිනිස්සුන්ව ගෙනියන්න තමා කලාව සාහිත්‍යය තියෙන්නෙ. කලාකරුවා සාහිත්‍යධරයා එතරම් දුරකට ගෙනියනවාද යන්න ප්‍රශ්නයක්. එතරම් දුරකට ගෙනියෑම අවබෝධ කරගන්න පාඨකයාට පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. බුද්ධ දර්ශනයට අනුව පන්සල කියන්නෙ අතහැරීම පිළිබිඹු කෙරෙන තැනක්. ඒත් අද අපේ බොහෝ පන්සල්වල අත්හැරීම දකින්න නෑ. එතකොට මේ වෙනස කලාකරුවෙක් අතින් ලියවුණොත් ඒක වරදක් වීම සුදුසුද කියන එක දියුණු සමාජය තුළ නම් ප්‍රශ්නගත වෙනව.
අපි මතුපිට දකින ජාතියක් බවට පත්වෙලා තිබෙන නිසා නිර්මාණකරුවන්ට තමගෙ නිර්මාණ එළිදක්වන්න කලින් දෙපාරක් හිතන්න වෙලා තියනව.