ක්‍රිකට් උමතුවේ ගිලෙමු

සමීර රාජපක්ෂ

ක්‍රිකට් ක්‍රීඩාව පරාජයන් සමග කෙතරම් දුරස්ථ වුවත් නැවත තරගයක් අතරතුර හිතට ළංවන්නේ හයේ පහක් වන් වේගයෙන්ය. හයේ පහර යනු අපූරු දෙයකි. ක්‍රිකට් ක්‍රීඩාව පිටියෙන් ප්‍රේක්ෂකයාට ඍජුවම ළංවන තැන එයය. ප්‍රේක්ෂකයා සහ ක්‍රීඩකයා අතර ඍජු සබඳතාව දළුලා වැඩෙන තැන එයය. ඒ නිසාම කුමන කණ්ඩායමක ක්‍රීඩකයකු වුව හයේ පහරක් ගැසූ කල දැනෙනුයේ නිරාමිස ප්‍රීතියකි. ක්‍රිස් ගේල් ක්‍රිකට් පුරාවෘත්තයක් බවට පත්ව ඇත්තේ හයේ පහරවල් ගැසීමේ උපන් හපනෙකු නිසාමය.

ආයෙත් ක්‍රිකට් ගැන කතාබහ ආරම්භ වී ඇත. ක්‍රිකට් වසන්තය උදාවී ඇත. අද ක්‍රිකට් සැණකෙළිය එංගලන්තයේදී ආරම්භ වේ. (මේ සටහන ලියනුයේ තිස්වැනිදාය.)
කුසලානය තමන් සතුකර ගැනීම සඳහා කණ්ඩාම් 10ක් තරග 48ක් සඳහා හැකි උපරිම ශක්තිය යොදා තරග වදිනු නියතය. වැඩි බලාපොරොත්තු තබා ඇති සත්කාරක එංගලන්තය ආරම්භය සනිටුහන් කරමින්ම තරගයට පිවිසෙනුයේ දකුණු අප්‍රිකාව සමගය. ආරම්භක තරගයට සුවිශේෂී අත්දැකීමක් සපයනු නොඅනුමානයි. ශ්‍රී ලංකා පිල තරගකාරී ආරම්භය ගනු ලබන්නේ ජූනි 01 වැනිදාය. ඒ නවසීලන්තය සමගය.

ජයග්‍රහණ ගැන දැනටමත් විවිධ අය නොයෙක් අනාවැකි පළ කරති. ඒ අතර මුදුනෙහි තබා ඇත්තේ එංගලන්ත පිලය. ඔවුන් සත්කාරකයන් වීමත් එයට හේතුවක් විය යුතුය. සත්කාරක වාසිය මෙන්ම දක්ෂතා අතරින්ද එංගලන්තය දක්වන දක්ෂතාත් ඔවුන් කෙරෙහි වැඩි බලාපොරොත්තු රඳවන්නට හේතු සැපයූවා විය යුතුය. ඉන්පසු වැඩි කතාබහ ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව පිළිබඳවය.

කෙසේ වුවත් මෙවර ලෝක කුසලාන තරගාවලිය අන් කවරදාටත් වඩා තරගකාරීත්වයෙන් ඉහළ බව සහතිකය. පසුගිය කාලය දෙස බලන කල කවුරු හෝ තනි බල අධිකාරියක් පවත්වාගෙන නොගිය අතර මහා යෝධ පිළවල් ලිලිපුට්ටන් හමුවේ පරාජය වූ අවස්ථා එමට තිබුණි. එසේ නම් මෙවර ඉදිරිපත් වී ඇති කවර කණ්ඩායමක් වුවත් සරල කළ නොහැකිය. හැම තරගයක්ම සංකීර්ණ තරගකාරී මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැකිය. සැවොම ජයපැන් පිපාසාවෙන් පෙළෙන්නෝ බව සහතිකය. කවුරු කාට වුව සරල කරන තැන ලොකු අවැඩැක් වීමට ඇති ඉඩ බොහෝය. එබැවින් මෙවර තරගාවලිය අන් කවරදාටත් වඩා තරගකාරී වනු ඇත. බලාපොරොත්තු ඇත්තෝ වෙනුවට බලාපොරොත්තු රහිත පිල් ඉදිරියට එනු ඇත. ඒ එදා එදා දක්වන දක්ෂතා මත තීරණය වන්නකි.

ආර්ථිකය, දැනුම මෙන්ම ක්‍රීඩාවද විවෘතය. හැම රටකටම මේ මොහොතේ උපදින දැනුම වේගයෙන් බෙදී විසිරී යයි. එබැවින් ඕස්ටේ්‍රලියාව ගෙනා ක්‍රිකට් දැනුම හතර අත බෙදුණේ බලා ඉද්දීමය. ඉන්දියාව නැවත ක්‍රිකට් ග්ලැඩියේටර් යුගයට රැගෙන ගිය අතර සෙසු රටවල් ඒ මට්ටමටද පත්විය. එබැවින් අද ක්‍රිකට් වනාහි රහස් නැති විවෘත බන්දේසියකි. කිසිදු කණ්ඩායමක් අනෙක් අයට හොරා රකින රහස් නැත. හැම තරගයක්ම ඒ මොහොතේ රහස් යතුරකින් විවෘත වන අතර එදින උපරිමය පෙන්වන වැරදි අවමව කරන පිල ජයගනු ඇත. එය කාට වුව පොදුය. ශ්‍රී ලංකා පිල වුව එංගලන්තයට ගියේ ප්‍රේක්ෂක විශ්වාසයේ උපරිමය දිනාගෙන නොවූවත් තරගයක් දෙකක් දිනූ සැණින් සියල්ල වෙනස් විය හැකිය.

මේ නිසාම මෙවර ක්‍රිකට් ලෝක කුසලානය කාටත් විවෘතය. හැම කණ්ඩායමක්ම හැමෝම මුණ ගැසිය යුතුය. මෙයම අපූරුය. කාට වුව කාවවත් මග නොහැරේ. හැම හමුවන මොහොතකම ගමන ඉදිරියට ඇදෙනු ඇත. තව කෙනෙක් මග නවතිනු ඇත. එකක් මග හැරුණොත් තව ඉඩක් සැමට ඇත. මේ නිසා සැවොම ලද අවස්ථාව පැහැර නොහරින්නට උපරිමය කරනු නියතය.

ක්‍රිකට් පමණක් නොව ඕනෑම ක්‍රීඩාවක් නැරඹීමෙන් ලැබිය හැකි ප්‍රීතිය අපමණය. මේ නිසා එය උපරිමයෙන් භුක්ති විඳිය යුතුය. ලංකාව තුළ අති බහුතරයක් ක්‍රිකට් පිස්සෝය. සෙසු ක්‍රීඩාවලට නැති ආදරයක්, ඇල්මක්, බැල්මක් ක්‍රිකට් සතුය. එයට පුරුෂ පක්ෂය මෙන්ම ස්ත්‍රීන්ද ලොල්ය. එයට හේතුව එය සරලව වැටහීමය. ලොකු ලකුණු ලබා ගත්තද බලන්නාට එය සරලය. එය අමුතු ගැටලු නැත. බලා වුන් සැණින් අවබෝධ වේ. මේ සියලු වාසි නිසාම ක්‍රිකට් අපූරුම ක්‍රීඩාවක් විය.

ක්‍රිකට් උපන් එංගලන්තය අදටත් ලෝක කුසලානය තමන් සතු කරගෙන නැත. ඒ අතින් ශ්‍රී ලංකාවද ඉදිරියෙනි. ලෝක කුසලානයක් නොදින්නට ක්‍රිකට් උරුමක්කාරයෝ ක්‍රිකට් අත් නොහරිති. මෙවර ඔවුන් වඩා උත්කර්ෂවත් අයුරින් මෙය සමරනුයේද මෙතෙක් මගහැරි කුසලානය තම රටේදීම හිමිකරගනු ඇතැයි බලාපොරොත්තුවෙනි.
පළමු තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්ය. ඒ උත්කර්ෂවත් සමාරම්භක උළෙල නැරඹීමත් අපූරු වැඩක් ව බැවිනි. සමාරම්භක උළෙලෙහි එක් ප්‍රවේශ පත්‍රයක මිල පවුම් 235කි. එය ශ්‍රී ලංකා මුදලින් රු. 50,000/- ඉක්මවයි. ඒ අතර අවුරුදු දහසයට අඩු ප්‍රේක්ෂකයන් විශාල ලෙස කැඳවා ගෙන ඒමට එංගලන්ත ක්‍රිකට් බලධාරීහු සැලසුම් සකස් කොට ඇත. ඒ අනුව ඔවුන්ගේ අනාගත සැලසුම් පැහැදිලිය. මේ අනුව බලන කල මෙවර ක්‍රිකට් කිරුළට උරුම ගැටුමට සහභාගි වනුයේ රටවල් දහයක් වුවත් එය ලෝකයේම අවධානයට නතුවනු නියතය.

පාස්කු ප්‍රහාරයත් සමග හෙම්බත් වූ ශ්‍රී ලංකා වැසියන්ට ක්‍රිකට් හරහා අස්වැසිල්ලක් ලැබෙනු නියතය. ලෝක කුසලාන තරග ශ්‍රී ලාංකිකයන්ටද අපූරු ආශිර්වාදයක් ගෙන එනු ඇත. ඒ අතර ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකා පිලෙහිම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනු නියතය. ඒ කුමක් වුවත් කවුරු තරග කළද තරගකාරීත්වය විඳින්නද විශාල පිරිසක් අමතක නොකරනු නියතය. ක්‍රිකට් යනු ආගමක්ය. එය ආගමක් වූයේම අපි වැනි රටවලටමය. ඉන්දියාව ඉන් ප්‍රමුඛය.

එසේ නම් මෙතැන් සිට බලා සිටින්නට කාලය ය. බල අතෝරක් නැතිව කියවන්නට කාලයය. සැවොම විචාරකයන් වන ආරම්භයය. ප්‍රීතිය වැඩෙන ලේ කෝපවන සතුට මෙන්ම දුකද එක ලෙස කළම්බන කාලයකි. ක්‍රීඩාව හැමවිටම අධි රුධිර පීඩනය වඩවනවා නම් නියතය. ක්‍රීඩාව උමතුවක්ය. එහි නියැලෙන්නෝට වඩා නරඹන්නෝ පිස්සෝය. ඒ ක්‍රිකට් පිස්සුවට ඉඩ දෙමු. ■