මම අධිකරණයට යනවා

සන්ධ්‍යා එක්නැලිගොඩ

සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබා දෙමින් සිරදඬුවම් ලැබීමෙන් ඔහු නිදහස් කිරීම ඔබ තේරුම් ගන්නේ කෙසේද?

පළමුවන කාරණය, සරලව කීව්වොත් ජනාධිපතිවරයා එයාගේ විධායක බලතල අනිසි ආකාරයට පාවිච්චි කරපු අවස්ථාවක් විදිහට තමයි මම ඒක දකින්නේ. ඒකෙන් එයා ප්‍රධානම විනාශය කරන්නේ නීතියේ අධිපත්‍යටය. මොකද? අපි නීතියේ ආධිපත්‍ය ඇති කරන්න තමයි මේ ජනාධිපතිවරයා ගෙනාවේ මේ රටේ නීතිය වල් වැදිච්ච යුගයක. ඒ වගේම විධායකය ආරක්ෂා කළ යුතු අධිකරණය තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වලට පාවිච්චි කළ අවස්ථාවක්. මම තවම දකින්නේ නැහැ ව්‍යවස්ථාදායකයත් අධිකරණය ආරක්ෂා කළ යුතුයි කියන තැන ඉන්නවා කියලා. මොකද TNA (දෙමළ සංධානය) හැර වෙන කිසිම පක්ෂයක් මේ සිද්ධියේදී කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. දෙවැනි කාරණය, හාමුදුරුවෝ සිර දඬුවමක් විඳින්නේ උසාවියට කළ අපහාසයට වුණත් ඒකත් එක්කම මා එක්ක බැඳිච්ච තව නඩුවකුත් තියනවා. ඒක තුළින් මගේ ජීවිතයට, මගේ ළමයින්ගේ ජීවිතවලට තර්ජන තත්ත්වයක් ඇති කරලා තියනවා. ඒක මේ ජනාධිපතිවරයාම දරදිය ඇදලා පත් කළ අපිට එයා විසින් එල්ල කරපු අතුල් පහරක් විදිහය තමයි දකින්නේ. අනෙක් කාරණය, එයා කියනවා මගේ විධායක බලය මට ඕනේ ආකාරයකින් මට පාවිච්චි කරන්න පුළුවන් කියලා පුරවැසියන්ට.

ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව සම්බන්ධයෙන් ඔබ විසින් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද?

ඒකේ පළමු පියවර විදිහට විවිධ අයට ලිපි ලිවීමට තීරණය කර තිබෙනවා. ලිපි මගින් ඒ අයගේ ඉල්ලීම් කරන්න විශේෂයෙන් ජනාධිපතිතුමාට අධිකරණ ඇමතිනියට සහ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරයට. ඒ අයට මීට ඉස්සෙල්ලම මම ඒක දැනුම් දීලා තියනවා. ඒකේ 3/1 වගන්තිය යටතේ මට මේ දේවල් ලබා ගැනීමේ හැකියාව තියනවා. එයාට (හාමුදුරුවන්ට) සමාව දෙනවා නම් ඊට පෙර මා දැනුවත් විය යුතුයි කියනවා. ඒත් ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මම නැවතත් අධිකාරියට දැනුම් දෙන්න යනවා ඒ ලියුමට අනුව කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ නීතිමය කටයුතු කරන්න කියලා. ඒ එක්කම මම අධිකරණයට යන්න ඉන්නවා ජනාධිපතිවරයා කරපු ක්‍රියා මාර්ගයට විරුද්ධව. ඒ කියන්නේ ජනාධිපතිවරයා දීපු සමාවට විරුද්ධව. මම මේ වන විට පොලිසියට ගිහිල්ලා තියනවා. මගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඉල්ලා සිටියා.

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස් කිරීමේ ඔහුට හිමි සුවිශේෂි බලය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

මම හිතන්නේ අපි 2015 දී, සහ 2015ට පෙර කාලයේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සහ රජය වෙනස් කිරීමේ කාලයේදී තමයි ජනාධිපතිවරයාගේ අසීමිත බලය වෙනස් විය යුතුයි කියන එක ගැන කතා බහ කරන්න පටන් ගත්තේ. ඒත් අපිට පුළුවන් වුණේ ආණ්ඩුව වෙනස් කරලා 19 වැනි ව්‍යවස්ථාවෙන් බොහොම පොඩි කොටසක් විතරයි කරන්න. ඒ අවස්ථාවේදී මේ බලයට පත් වෙච්ච අයගේ අරමුණ වුණේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න, සහ මෙම විධායක බලය අයින් කරන්න කියන කාරනා. ඒත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. පැහැදිලිවම ජනාධිපතිවරයා සතු මේ බලය වෙනස් විය යුතු වෙනවා. මොකද එයා හිතනවා ඒ අයට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මම හිතන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අපිට තියනවා මේ තත්ත්වය ප්‍රශ්න කිරීමට හැකි බලයක්. ජනාධිපතිවරයා මේ දෙන සමාව ප්‍රශ්න කරන්න හැකියාවක් තියනවා. මේ බලය යහපතට වඩා අහයපතට තමයි පාවිච්චි කරලා තියෙන්නේ.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔබ ගෙන ගිය අරගලයට බලහත්කාරයෙන් මෙන් ඥානසාර හිමි කඩා වැදීම තුළ ඔබ සහ ඔහු අතර විශාල ගැටුමක් නිර්මාණය වුණා. ඒ තුළින් ඥානසාර හාමුදුරුවෝ ඔබේ ස්වාමියා පැහැර ගැනීමේ මහා අපරාධකරු බවට මතවාදයක් රට තුළ ගොඩ නැඟුණා. ඒ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද?
පළමුවෙන්ම මම කියන්න ඕනේ මම මේ ඥානසාර හාමුදුරුවන් කළ ක්‍රියාවට විරුද්ධව ප්‍රතික්‍රියාවක් කරන්න, ඒ කියන්නේ පොලිසියේ පැමිණිලි කරලා අධිකරණයට එක්ක ගියේ, මට මේක අධිකරණ ක්‍රියාමාර්ගයකින් විසඳිය යුතුයි කියන තැනට මේ රටේ අධිකරණයේ පොත්වල තියෙන නීති සක්‍රීය කරන්න සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමේ වගකීම පුරවැසියාටත් තියෙනවා. ඒ පුරවැසි වගකීම තමයි මම කළේ. මොකද? මම අද මේ ක්‍රියා මාර්ගය අරගෙන තිබීම අනාගතයේ අද මට කුණුහරුප කියන අයටත් ප්‍රයෝජනවත් වේයි. මොකද? ඒ නීතියේ එන තීන්දු අදට පමණක් නොවෙයි අනාගතයටත් ඒවා පූර්වාදර්ශ වෙනවා. ඒවා ප්‍රයෝජනවත් වෙනවා.

ප්‍රගීත්ට කුමක්ද සිද්ධ වුණේ කියා සෙවීමේ ඔබේ අරගලය කෛරාටික ලෙස භාවිතා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජපක්ෂ රෙජිමය පරාජය කොට යහපාලන ආණ්ඩුවක් සහිත මෛත්‍රී යුගයක් මෙරට තුළ උදා කිරීම සඳහා ජන මතයක් ගොඩ නැගීමට උත්සාහ කළා. ඔවුන් දෙපළ කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන් බලයට ගෙන ඒම සඳහා ඔබද මැදිහත් වුණා. ඔවුන් දෙපළ විසින් ඔබට යුත්කිය ඉටු කිරීමට අද දක්වන උනන්දුව ගැන ඔබ දකින්නේ කෙසේද?

එකක් අද රට තුළ තිබෙන තත්ත්වය තේරුම් ගත යුතු වෙනවා. මොකද මේක දේශපාලන සූදුවක්. මේ කාලයේ කවුරු ඉවර වෙයිද කියන්න බැහැ. මොකද දොගොල්ලෝ දෙපැත්තෙන් ඉඳන් දෙපැත්තෙන් කාගෙන යනවා. මෛත්‍රීපාල තමන්ගේ බලය රැක ගන්න තමන්ට ලැබිච්ච, එයා හිතන්නේ එයාට ජිම්කානා එකක් ලැබුණා කියලානේ. ඒ ජිම්කානා එක රැක ගන්න ඕනෑම වැරදි වැඩක් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. රනිල් ඇතුළු යූඇන්පී රජය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිද්‍රාශීලිභාවයට පත් වෙලා තියනවා. ඒ අයට කිසියම් හෝ දෙයක් කළ නොහැකි තත්ත්වයට පත්වෙලා තියනවා. එක්කෝ කරන්නේ නැහැ. එක්කෝ කරන්න බැහැ. ඔය දෙකෙන් එකක්. ඊට හොඳම උදාහරණය ජනාධිපති තීන්දුව යැව්වාට පස්සේ අධිකරණ ඇමතිනියට බැහැ ඒක ප්‍රතික්ෂේප කරන්න, ඥානසාර නිදහස් කරන්න ඔහු නියෝගය එව්වාට පස්සේ. ඊට පස්සේ ඒ අයට අපිට මූණ දෙන්න බැරි වෙනවා. මොකද ඒ අය ආණ්ඩුව රැක ගන්න ඕනේ නිසා. මේ අය රාජ්‍ය පාලනයක් කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ ගේම් එක ඇතුළේ මහින්ද රාජපක්ෂ සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අවුල් කිරීමේ රෝල් (Role) එක කරනවා හොඳට. ඒකෙදි මෛත්‍රීපාල අවසන් වෙයිද? රනිල් අවසන් වෙයිද? එහෙම නැත්නම් මහින්ද අවසන් වෙයිද? කියලා තවම කියන්න බැහැ.

ඒ වගේම ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන, සුළු ජාතීන්ගේ ඡන්දයෙන් පත්වෙන සහ සුළු ජාතීන් නිසා මන්ත්‍රීවරුන් බවට පත් වෙච්ච අසාද් සාලි වැනි අය කියනවා ඥානසාර හාමුදුරුවෝ සංහිඳියාවන් වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් කරලා තියනවා කියලා. මං හිතන්නේ ගිනිබත් කිරීම, කඩ කැඩීම වැනි දේවල් වෙන්න ඇති අසාද් සාලි කියන සංහිඳියාව.

නීතියේ ආධිපත්‍ය සුරකිනවා, අධිකරණයේ නිදහස සුරකිනවා කියලා කියපු මනෝ ගනේෂන් කියනවා මේ ඥානසාර හාමුදුරුවන්ට නිදහස දෙන්න ඕනේ කියලා. එතකොට එයා පෙනී සිටිය වින්දිතයන්ගේ තත්ත්වය මොකක්ද? ඒ අය ව්‍යවස්ථාව මොකක්ද කියලා දන්නේ නැද්ද? හිස්බුල්ලා, අසාද් සාලි සහ මනෝ ගනේෂන්ලා තමන්ගේ තත්ත්වය සහ තමන්ගේ ධුරයන් රැක ගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ රිලා මොටෙයියන්ගේ තත්ත්වයට පත්වෙලා කියලයි මට හිතෙන්නේ. හා පුතා ගහපන් බඩ පිනුමක් කිව්වාම ඒ අය ඕනෑම බඩ පිනුමක් ගහනවා.