ඉනික්බිති සුකුන්දා ඉකුත් වූවාය

ළමා සොල්දාදු දිවියේ වර්තමාන කතා කිහිපයක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

දකුණේ දරුවන් රූපවාහිනිය ඉදිරියේ ක්‍රිකට් තරගාවලියක් නරඹන්නා මෙන් යුධ ජයග්‍රහණ නරඹමින් අනාගත රණබිමක විරුවන් වීමට සිහින දකිද්දී උතුරේ බොහෝ දරුවන්ට තම සියුමැලි දෑත්වලට ගිනිඅවි ගැනීමට සිදුවූ කාලයක් තිබුණි. තිස්වසරක් මෙරට මිනිසුන්ගේ ජීවිත සහ ජීවන රටාව සුණු විසුණු කළ යුද්ධය අවසන්ව දස වසරකි. ළමා සොල්දාදුවන් ලෙස කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් යුද්ධයට එක්වීමට සිදුවූ ඇතැම් දරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔවුන් පිළිබඳ ඉතිරිව ඇත්තේ මතකයක් පමණි. බොහෝ දේ අහිමි වෙද්දී කෙසේ හෝ ජීවිත පමණක් රැකුණු අය තමන් විඳි අත්දැකීම් පිළිබද මතකයන් අවධි කරති.

මයුරන්ලාගේ ළමා විය

“මම පුංචි කාලේ යුද්ධය නිසා මැදිවුණු ප්‍රශ්නවලට මගේ දරුවාටත් මැදිවෙන්න සිද්ධ වුණා” කිලිනොච්චියේ තොණ්ඩමාන් නගර්හි දී හමුවූ 39 හැවිරිදි ගනේෂ්වරන් මයුරන් අතීත මතකයන්ට ප්‍රවිෂ්ට වූයේ ඡායාරූපයක් අප වෙත දක්වමිනි. එහි වූයේ ඔහුගේ පළමු දරුවා තවත් දරුවන් කීපදෙනෙකු සහ ගුරුවරියක් සමග කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ බංකරයක් තුළ 2008දී සැඟවී සිටි අයුරුය. හැංගිලා හිටිය පිංතූරය. දැන් ඇයට වයස 19කි.

මයුරන් සිය කැමැත්තෙන් එල්ටීටීඊ සංවිධානයට බැඳී තිබුණේ ඔහුට වයස 15ක් තරම් වූ ළමා වියේදීය. ඒ 1995 වසරයි. සෙවමඩු ශන්මුගනාදන් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ඔහු පන්තියේ පළමු දෙවැනි ස්ථානවලම රැඳුණු දක්ෂයෙකු වුවත් අධ්‍යාපනය අතහැර සංවිධානයට එක්වීමට හේතු තිබූ බව ඔහු පවසන්නේය. අහසින් ෂෙල් කැබලි වැටෙද්දී පාලම්, බෝක්කු යටට දිවගොස් හැංගෙමින් පාසල් ගිය අතීතයක් ඔවුන්ට තිබුණි. තම අසල්වාසීන් කැලේ තුළදී මියගොස් සිටියදී ගමේ තවත් අය එම සිරුරු රැගෙන ආ බව ඔහුට මතකය. මැටියෙන් තැනුණු කුඩා නිවසේ ඔහුත් මවත් ගත කළ ජීවිතයේ කිසිදින අමතක නොවන සිදුවීමක් ඔහු අප හමුවේ තැබුවේය. “ඒ කාලේ අපිට කෑම ප්‍රශ්න තිබුණු නිසා වැඩිපුර කෑවේ කැඳ. එතකොට අපිට තිබුණේ මැටි ගෙයක්. අම්මා කැඳ හැදුවේ එළියේ. දවසක් අම්මා කැඳ හදමින් ඉන්න වෙලාවේ පරීක්ෂා කිරීම්වලට ආව හමුදාවේ කෙනෙක් ළිපේ තිබුණු කැඳ හට්ටියට පයින් ගැහුවා. ඒ සිදුවීම තවම මගේ මතකයේ තියනවා. එතකොට මගේ වයස අවුරුදු හයක් හතක් වගේ වුණා. ඊට පස්සේ අපි ඒ අය එද්දී කැලේට ගිහින් හැංගෙනවා. අපි දවස් තුනකට දවසක්වත් එහෙම කැලේ හිටියා. ඒ ප්‍රශ්න දැකල දැකලා, ඒවාට මැදිවෙලා වින්ද දුක නිසා සංවිධානයට බැඳෙන්න ඕනෑ කියලා හිතුවා.”

ඔහු දිනක් පාසල් නොගොස් තවත් මිතුරෙකු සමග ගොස් එල්ටීටීඊයට බදවා ගන්නා ලෙස සංවිධානයෙන් ඉල්ලා තිබුණි. එහිදී ඉගෙන ගැනීමට කැමතිදැයි සංවිධානයෙන් ඔවුන්ගෙන් විමසූ බවත් ඔවුන් ඊට අකමැති බව පැවසූ බවත් මයුරන් පවසන්නේය. ඔහුගේ මවටත් නොදන්වා ඔහු ළමා සොල්දාදුවෙකු ලෙස සංවිධානයට එක්ව තිබුණේ එලෙසය. ඔහු සංවිධානය තුළ කටයුතු කර තිබුණේ විශේෂ බුද්ධි අංශ සේවාවකය. පහරදීමට බලාපොරොත්තු වන ස්ථානවලට ඊට පෙර යන මොවුන් තොරතුරු දැනගෙන සංවිධානයට දැනුම්දෙන ආකාරය ඔහු විස්තර කළේය. යාපනයේ සිට යුද හමුදාව අලිමංකඩ වෙත පැමිණේද්දී හමුදාව සමගම මෙන් ඔහුද පැමිණි බව ඔහු පවසන්නේය. විශේෂ බුද්ධි අංශ සේවාවක නියැලුණු නිසා කීප වරක්ම එල්ටීටීඊ සංවිධානයේ නායකයා මුණගැසීමට ලැබුණු බව ද මයුරන් පවසන්නේය. පසුව අලිමංකඩ සටනකදී ෂෙල් කැබැල්ලක් වැදී ඔහු තුවාල ලබා තිබුණි, ඒ 1997දී ය. ඔහුට ඒ වන විට වයස 17කි. “ඒ ගැටුම වුණේ දවල් වෙලාවක. ඒ අවස්ථාවේ යුද හමුදාව විසින් එල්ටීටීඊ සංවිධානයේ සැපයුම් අවහිර කළා. අපේ කණ්ඩායම පසුබැස්සා. මට තුවාලවෙලා වැටිලා හිටියත් කාටවත් උස්සගෙන යන්නත් බැහැ, වෙඩි ප්‍රහාර එල්ලවෙන නිසා. යාළුවෙක් මාව කිලෝමීටරයක් විතර දුරට බිම දිගේ ඇදගෙන ගියා. පස්සේ කට්ටිය ඇවිත් උස්සගෙන ගියා. සංවිධානයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුරසුමොටෙයිවල තිබුණා. එතැනට ගෙනෙද්දී ලේ ගිහින් නිසා මට සිහිය නැතිවුණා. මාව බිම දිගේ ඇදගෙන ආ යාළුවාත් මගේ වයසේම කෙනෙක්. ඔහු පසුව යුද්ධයේදී මියගියා.” මයුරන් පවසයි.

කකුළේ වූ ආබාධ තත්ත්වය හේතුවෙන් පසු කලෙක ඔහු සංවිධානයෙන් ඉවත්ව විවාහ වී තිබුණි. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධවූවකු බැවින් යුද්ධය අවසානයේදී පුනරුත්ථාපනය සඳහා යන ඔහු ඒ වෙනුවෙන් වසර හතරහමාරක් ගෙවා තිබුණි. “අවුරුදු 3ක් පුනරුත්ථාපනය වුණා. අවුරුදු එකහමාරක් බූස්සේ හිටියා. අවුරුදු හතරහමාරක් යුද්ධයෙන් පස්සේ එහෙම ගෙවුණා. 2013දී එළියට ආවා. එළියට ආවාම රැකියා නෑ. සල්ලි නෑ. දැන් හිඟා නොකා යාන්තමින් ජීවත්වෙනවා. වෙන කෙනෙකුගේ ත්‍රීවීල් එකක් කුලියට අරගෙන හයර් යනවා. අපි හොඳින් ඉන්නවා කියලා කියන්නේ කොහොමද. ආයේ කවදාවත් අපිට යුද්ධයක් ඕනෑ නෑ. ඒත් අපිට තවම සාධාරණයක් වෙලාත් නෑ.” මයුරන් පවසන්නේය.

අහිමි දෑතින් ජීවිතය සෙවීම

නම සඳහන් කළ නොහැකි නිසා අපි ඔහු කාර්තික් ලෙස හඳුන්වමු. දැන් ඔහු 42 වන වියේය. ඔහුගෙන් යුද්ධය අහිමි කර තිබුණේ ළමා විය පමණක්ම නොවේ, ඔහුගේ දෑත් දෙකෙහිම ඉතිරිව පැවතුණේ කොටස් දෙකක් පමණි. ඔහු එල්ටීටීඊ සංවිධානයට බැඳෙන්නේ පාසලේ නව වන වසරේ ඉගෙන ගනිමින් සිටියදීය. ඒ 1990 වසරයි. ඔහුගේ වයස ඒ වන විට 14කි. “ඉස්කෝලේ යනවා කියලා ගෙදරට කියලා ගිහින් ඒත් තව යාළුවෙක් එක්ක ගිහින් සංවිධානයට බැඳුණා. ඒ අවස්ථාවේ හිතුණේ යන්න ඕනෑ කියලායි. එල්ටීටීඊ සංවිධානය ගැන කැමැත්තක් තිබුණා. ඒ වෙලාවේදී හමුදාව මොන වගේ අයද කියලා අපි දැනගෙන හිටියේ. ඒ ගැන තේරුමක් තිබුණේ නැහැ. ඒත් ඒ අය තමයි අපිට ලොකුම ප්‍රශ්නය කියලා දැනගෙන හිටියා. ඒ කාලයේ දී එල්ටීටීඊ සංවිධානයේ ලොකු කණ්ඩායමක් හිටියේ නැහැ. ඒත් හමුදාව ගහනවා කියලා දැනගෙන හිටියා.” ඔහු පවසන්නේය.
තිරුවයියාරුවල අංක 4 නම් කඳවුරකට ගිය අයුරුත් එහිදී ඔවුන් ළමයි වූ බැවින් නැවත යන ලෙස පැවසූ බවත් ඔවුන් ඊට එකඟ නොවී සංවිධානයට බැඳෙන්න ඕනෑ යැයි කී බවත් කාර්තික් විස්තරය කරයි. දින හයක් එලෙස කඳවුරේ රැඳුණු පසු ඔවුන් වෙනත් කඳවුරක් වෙත යවා ඇත. කැලේ මැදින් ඒ වෙත ගිය අපහසු ගමන ඔහු විස්තර කළේය. ඔහුගේ වියේම පසුවූ තවත් පස්දෙනෙකු එම කණ්ඩායමේ සිටි බව කාර්තික් පවසන්නේය. එහි මාස තුනක පුහුණුවක් ලැබූ අතර තුවක්කු ගලවා නැවත හයිකරන ආකාරය ආදියත් වෙඩි තැබීම පිළිබඳත් පුහුණු වූ අයුරු ඔහු මතකයට නැගුවේය. ව්‍යායමවලදී අත්පා තුවාල වී ලේ ගැලූ අයුරුත් තමන් ආශාවෙන් සංවිධානයට බැඳුණෙන් සියල්ල දරාගත් බවත් කාර්තික් පවසයි. බිම් බෝම්බ පිළිබඳව පුහුණු කිරීමට ආ පුහුණුකරුගේ අත්වැරදීමකින් බිම් බෝම්බයක් පුපුරා එම පුහුණුකරුගේ පාදයක් අහිමි වූයෙන් බිම් බෝම්බ පුහුණුව අතරමග නතරවී තිබුණි. පුහුණුවීම්වලින් පසු ඔවුන් අලිමංකඩ වෙත යවා තිබුණත් එහි සිටි සාමාජිකයන් මොවුන් ළමාවියේ බැවින් නැවත පළමු කඳවුරටම එවූ බව කාර්තික් සිහි කරයි.
“අලිමංකඩ ඉඳලා ගෙනාව බිම් බෝම්බ පහක් කඳවුරේ වෙනත් ස්ථානයකට ගෙන යද්දී වැරදීමකින් ඒ ස්විච් එකක් ප්‍රෙස් වෙලා ඒවා මගේ අතේදී පිපිරුවා. ඒ වෙද්දී මට වයස 16යි. දවස් හයක් යනතුරු මොකද වුණේ කියලා මම දැනගෙන හිටියේ නෑ. මාව යාපනය රෝහලට ඇතුළත් කරලා තිබුණා. දවස් හයකින් මට සිහිය ඇවිත් බලද්දී ලොකුවට අත්දෙක බැන්ඬේජ්වලින් ඔතලා තිබුණා. ඒ නිසා අත්දෙක නෑ කියලා ඒ වෙලාවේදීත් දන්නේ නැහැ. ඊට දවසකට පස්සේ බැන්ඬේජ් ඉවත් කරද්දී තමයි දන්නේ අත්දෙක නැහැ කියලා. බඬේත් ලොකු තුවාලයක් තිබුණා. සිරුරේ තවත් තුවාල තිබුණා.” ඒ සියලු තුවාල කැළැල් තවමත් ඔහුගේ සිරුර පුරා වෙයි. “යාළුවෙක් මේ සිදුවීම තාත්තාට කියලා තාත්තා යාපනය රෝහලට ඇවිත් තිබුණා. ඒ වෙලාවේ මට සිහිය තිබුණේ නැහැ. තාත්තා නැවත දවසක් ආවා. ඒ එද්දී අත්දෙක නැහැ කියලා තාත්තා දන්නවා, ඒත් තාත්තා බඬේ තිබුණු තුවාලය දැක්කේ එවෙලේයි. තාත්තා කලන්තේ දාලා වැටුණා. වටේ මොකද වෙන්නේ කියලා මට ඒ වෙලාවේ ලොකු හැඟීමක් තිබුණේ නෑ. ඒ තුවාලය හොඳ වෙනකම් මාස හයක් රෝහලේ ඉන්න සිදුවුණා.” ළමා සොල්දාදුවෙකු ලෙස එල්ටීටීඊ සංවිධානය සමග එක්වුණු කාර්තික් දෙවසරක් ගතවද්දීම දෑතම අහිමිවූවකු බවට පත්ව තිබුණි. සංවිධානය තමන් ගැන හොඳින් සොයා බැලූ බැවින් සංවිධානයෙන් ඉවත්වීමට නොසිතූ බව ඔහු පවසන්නේය.

දෑත් අහිමිවීම සමග ඔහුට තවත් අංශයක් පිළිබඳ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිව තිබුණි. “යාපනයේ මනිපායි වලදී කකුල්, අත් නැති, ඇස් නැති අයට සංවිධානයෙන් වෙනමම ඉගැන්වීම් කටයුතු කළා. එතැනදී රේඩාර්, ජීපීඑස් වගේ සන්නිවේදන ක්‍රම පිළිබඳව ඉගෙන ගත්තා. පස්සේ ඒක ධර්මපුරම්වලට ගෙන ගියා. මාස හයක විතර පුහුණුවක් ලැබුවා. අත් දෙකත් නෑ, ගෙදර යන්නත් බෑ, යුද්ධයට යන්නත් බෑ ඒ නිසා මේකවත් ඉගෙන ගන්න ඕනෑ කියලා හිතුවා. පස්සේ සංවිධානයෙන් පුනරීන්වල වෙරළ ආසන්නයේ රේඩාර් මධ්‍යස්ථානයක් මට භාරදුන්නා. මම එහි ප්‍රධානියා ලෙස සේවය කරද්දී ඒකේ තව හයදෙනෙක් සේවය කළා. ඒ 1997දීයි, මට වයස 21ක් වුණා. 2000 වෙනතුරු මම එතැන වැඩ කළා. මුහුද හරහා සංවිධානයට ආයුධ සැපයුම් ආවා, ඒවාට ආරක්ෂාව සපයන්න මේ මධ්‍යස්ථානය පිහිටුවා තිබුණා. නාවික හමුදා බෝට්ටු එනවා නම් ඒවාට පහර දෙන්නේ ඒ මධ්‍යස්ථානයෙන් ලැබෙන තොරතුරු අනුවයි. ඒක සන්නිවේදන වැඩක් නිසා ගෙදර යන්න ඉඩ ලැබුණේ නැහැ. ගෙදර මුදල් ප්‍රශ්නයක් හෝ මොනවාහරි නම් සංවිධානයෙන් ඒක කරලා දෙන්නම් කියලා කිව්වා.” කාර්තික් තමන් එල්ටීටීඊ සංවිධානය සමග කටයුතු කළ කාලය පිළිබඳ මතකයට නැගුවේ එලෙසිනි.

පසුව සාම ගිවිසුම් කාලයේ ඔහු සංවිධානයෙන් ඉවත්ව තිබුණි. අවසන් සටන් කාලය වන විට ඔහු එක් දරු පියෙකි. තමන් සංවිධානයේ සිටි නිසා හමුදාව සිටි දෙසට යෑම අනතුරුදායක විය හැකි යැයි සිතුවත් අවසානයේ තම පවුලේ අයත් තවත් පවුල් පනහක් පමණ සමග හමුදාව සිටි දෙසට ගොස් ඇත. “යන්න හැදුව පළමු දවසේ මග එල්ටීටීඊ සාමාජිකයෝ හිටිය නිසා අපි ආපහු ආවා. පහුවදා ආපහු ගියා. ඒ යන අතරේත් මිනිස්සු ෂෙල් වැදිලා මැරුණා. කළපුවේ වතුරේ බැහැලා යද්දී මියගිය අයගේ සිරුරු පාවුණා. හමුදාව අපට කෑම දෙද්දී මගේ අත් නැති නිසා ඒ අය මට පෝලිමේ ඉන්න දුන්නේ නෑ, කෑම ළඟට ගෙනත් දුන්නා. මම බයෙන් ගියත් ඒ අය මට නරක ලෙස සැලකුවේ නැහැ. පස්සේ අපිව වවුනියාවේ රාමනාදන් කඳවුරට ගෙනිච්චා. එතැනින් ඉවත් වෙද්දී කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයෙන් මාව බූස්ස කඳවුරට ගෙනගියා. එතැන මාස තුනක් විතර ඉන්න වුණා.” දැන් ඔහු වෙළෙඳසැලක් පවත්වාගෙන යන්නේය. කුකුල් ගොවිපොළක් හා එළවළු වගාවද සිදුකරන ඔහු දෑත් නොමැති වුවද බයිසිකලයේ තබාගෙන තම දරු දෙදෙන පාසල්ද රැගෙන යන්නේය. යුද්ධය පිළිබඳ තම දරුවන් සමග නැවත මතක් කිරීමට අකැමති බව පවසන කාර්තික් තම දරුවන්ද ඒ පිළිබඳ නොවිමසන්නේ දෑත් නොමැතිව වුවද තමන් නිවසට කිසිදු අඩුපාඩුවක් නොකරන නිසා බව පවසන්නේය.

මතකය තබා සැඟව ගිය සුකුන්දා

30 හැවිරිදි සෙල්වරත්නා සුබීදාට තම නැගණිය වූ මරිසලින් සුකුන්දා පිළිබඳ ඉතිරිව තිබුණේ මතකයන් පමණි. යුද්ධය අවසන් අධියරකට එද්දී ඔවුන්ට ජීවිත පමණක් බේරා ගැනීමට සියල්ල අතහැර යාමට සිදුව තිබුණි. “අපි 2019 ජනවාරිවල කේපාපිලව් නිවසින් පිටත් වුණා. ඒ යද්දී මම ගැබිණියක්. ඒ අතරමගදී මගේ මහත්තයා එල්ටීටීඊ එකට බලෙන් එක්කගෙන ගියා. යුද මුක්ත කලාපයේ යද්දීත් ෂෙල් වැටුණා, කට්ටිය මැරුණා. එකට ආව අපේ හිතවත් අයට තුවාල වුණා, සමහරු මැරුණා. කෆීර් ශබ්ද නිසා තාත්තාත් හෘදයාබාධයක් හැදිලා මියගියා.” සුබීදා ඒ අඳුරු අතීතය යළි සිහි කරන්නීය.

ඇය තම පළමු දරුවා ප්‍රසුත කරන්නේ ද මේ සියලු කලබල කරදර මධ්‍යයේය. පාසලක ආරම්භ කර තිබූ රෝහලක තම දරුවා වැදූ අයුරු ඇය සිහිපත් කළාය. “නිතරම ෂෙල් වැටෙනවා. තුවාලකරුවෝ රෝහලේත් ගොඩක් හිටියා. මැරුණු අයගේ සිරුරු තිබුණා. රෑ මට දරුවා ලැබුණා. ඒ වෙද්දී මහත්තයත් සංවිධානයෙන් පැනලා ඇවිත් හිටියා. බලෙන් එක්ක ගිය නිසා ඔහු මාසයක් විතර ඉඳලා පැනලා ආවා. ෂෙල් වැටෙන නිසා රෝහලෙන් කිව්වා පහුවදාම ගෙදර යන්න කියලා. ඒ නිසා අපි පහුවදාම ටෙන්ට් එකට ආවා.”
තාවකාලික ටෙන්ට් තුළ ඔවුහු රැඳී සිටියදී ඒ බොහෝ ඒවා තුළ බිම හාරා සෑදූ බංකර තිබූ බව ඇය කියන්නීය. යුද්ධය අවසාන කාලයේ බලෙන් එල්ටීටීඊ එකට ඇදගෙන යන නිසා ළමයි, තරුණ අය ඒවා ඇතුළේ සඟවා තැබූ අයුරු ඇය විස්තර කළාය. “රෑවෙලා එල්ටීටීඊ එකෙන් එනවා කියලා ආරංචි වුණාම අපි නංගී බංකරය ඇතුළට දාලා වහනවා. ඒක ඇතුළට දාලා ලෑලිවලින්, කාපට් වලින් වහනවා. ඒත් දවසක් දවල් ඇවිත් නංගී බලෙන් සංවිධානයට ගෙනිච්චා. ඒ 2009 මාර්තු හෝ අප්‍රේල්. ඒ වෙලාවේ ටෙන්ට් එකේ හිටියේ අම්මාත් නංගීත් විතරයි. මම ඒ ළඟ වෙන ටෙන්ට් එකකට ගිහින් හිටියා. එහෙම අරගෙන යාවි කියලා එයාවත් අපිවත් හිතුවේ නැහැ. මොකද එන වෙලාවට බංකරය ඇතුළට දාලා එයාව ආරක්ෂා කළා. මම එද්දී අම්මා කෑ ගහමින් අඬමින් හිටියා. අපි පස්සෙන් ගියත්, ඒ අය අපිව පන්නා ගත්තා. පිරිමි අය ඇවිත් ටෙන්ට් වට කරලා, එල්ටීටීඊ කාන්තා සෙබළියන් නංගීව අරන් ගිහින් තිබුණා. ඒ වගේ තවත් අය ගෙනිච්චා. යුද්ධයේ අන්තිම කාලයේ හරක් එළුවෝ බලෙන් ඇදගෙන යනවා වගේ බලෙන් ළමයි අරගෙන ගියා. ඊට පස්සේ කවදාවත් අපි එයාව දැක්කේ නැහැ, එයාව දැකපු කෙනෙකුත් නැහැ, කිසිම ආරංචියක්වත් නැහැ.” සුබීදා සිය නැගෙණිය අවසන් වරට දුටු ඒ මොහොත යළි සිහි කළාය. “එයාට ඒ වෙද්දී වයස 16ක් නිසා ගම කොහේද, ගෙදර කොහේද කියන දේවල් හොඳට දන්නවා. ඒ නිසා එයා ඉන්නවා නම් එන්න ඕනෑ. එයි කියලා බලාපොරොත්තුව තාම තියනවා.” ඇය කියන්නීය. ඔවුන්ගේ මව තවමත් නැගණිය සිහිකර කදුළු සලන’යුරු සුබීදා සිහි කළාය. සිය නැගණියට විශ්වවිද්‍යාලයට ගොස් ඉගෙන හොඳ රැකියාවක් කර පවුල ගැන සොයා බැලීම බලාපොරොත්තු තිබූ බව ද සුබීදා කියන්නීය. මේ කිසිවෙකු තවත් යුද්ධයක් මේ බලාපොරොත්තු නොවෙති. ඒ යුද්ධය විසින් අහිමි කළ දෑ නැවත කිසිදිනක යළි ගොඩනැගිය හැකි බැවිනි, එහි විපාක තවත් කාලයකට යළි පිළිසකර කළ නොහැකි බැවිනි.

යුද්ධය අතරතුර භාරවූ සහ අවතැන් කඳවුරුවල සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 11995ක් පුනරුත්ථාපනය සඳහා ශ්‍රී ලංකා රජය වෙත භාරවී ඇති අතර ඉන් 10874ක් පමණ පුනරුත්ථාපනයෙන් පසු සමාජගත කර තිබේ. ඉන් 212ක් පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනයටද යොමුවී ඇති බව වාර්තා වේ. ඒ අතර ළමා සොල්දාදුවන් ලෙස සිටි 512ක් ද මව්පිය භාරයට පත් කිරීමෙන් පසු ඉන් බොහෝ දෙනෙකු අධ්‍යාපනය සඳහා යොමුව ඇති බව වාර්තාවේ.