අර්බුදය  අවස්ථාවක් කර නොගැනීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ආගම, දර්ශනය, නීතිය, සංස්කෘතිය මෙන්ම ශ්‍රී ලාංකේය ජාතිය පිළිබඳවද කෙරෙන කතාබහේ අඩුවක් ඇත්තේ නැත. මීට බොහෝ කලකට පෙර දරුවකු ඉපදෙන විට උප්පැන්න සහතිකයේ ජාතිය ලෙස සටහන් කරන ලද්දේ සිංහල, දෙමළ, හෝ මුස්ලිම් ලෙසය. එහෙත් පසු කලෙක ශ්‍රී ලංකාවේ උපදින මෙරට පුරවැසියන් වන සියලුම දරුවන්ගේ උප්පැන් සහතිකයේ ජාතිය ලෙස ශ්‍රී ලාංකේය කියා යොදන්නට පටන් ගත්තේය. එහිදි අනුගමනය කරන්නට වූයේ රට ශ්‍රී ලංකාව වන නිසා ජාතිය ශ්‍රී ලාංකේය විය යුතුය යන ප්‍රතිපත්තියයි. නිත්‍යානුකූලව උප්පැන්න සහතිකයේ එවැන්නක් සටහන් කිරීම වැදගත් පියවරක් වුවද සිංහල, දෙමළ, මුස්ලිම්, ඇතුළු ශ්‍රී ලාංකේය ජනතාව තුළ එවැනි මානසික තත්ත්වයක් නිර්මාණය කරන්නට සමත් වූයේ යැයි සිතිය නොහැකිය.

අනෙක් පැත්තෙන් පාලකයන් එවැන්නක් උප්පැන්න සහතිකයට ඇතුළත් කළද එය පුරවැසියන්ගේ මනස් තුළට ඇතුළත් කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේ ද නැත. නැතහොත් රට පාලනයේදී එවැනි මානසික තත්ත්වයක්  උද්ගත වන පරිදි ප්‍රායෝගිකව ක්‍රියා කළේ නැත. මේ නිසා සිදුවූයේ ශ්‍රී ලාංකේය ජාතිය ලෙස නොසිතා ජනවර්ගය සහ ආගම අනුව සිතන පතන පරම්පරාව අවසන් නොවීමය. එහෙත් බලය ලබා ගැනීමේදී මෙන්ම බලය පවත්වා ගැනීමේදී සහ මහජන දේපොළ කොල්ලකෑමේදී නම් දේශපාලකයන් මෙන්ම රාජ්‍ය සේවකයන්ද ජන වර්ග සහ ආගම් භේද නොසලකා ක්‍රියා කළා පමණක් නොව, නීතියේ ආධිපත්‍ය පවා නොසලකා හැරියේය. ශක්තිමත් රාජ්‍යක් උදෙසා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩ නැගීම අත්‍යවශ්‍ය කාරණයක් බව නොසලකා හැරියා පමණක් නොව, පාලකයන් දේශපාලන අන්තවාදය උදෙසා ජන වර්ග සහ ආගමික අන්තවාදය අඛණ්ඩව යොදා ගත්හ. මහජන දේපොළ කොල්ල කෑමේදී සියලු භේද අමතක කර එකතු වූවා සේම දූෂණයට එරෙහි වන්නන්ට විරුද්ධව එකතු වුණේද සියලු භේද අමකත කරමිනි.

ජන වර්ග, ආගම් සහ ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22.5කට ආසන්නය. පළාත් අනුව වැඩිම ජනගහනය සිටින්නේ බස්නාහිර වන අතර එහි ජනගහනය 61,81 000ක් වන්නේය. අඩු ම ජනගහනයක් වාර්තා වන උතුර පළාතේ සිටින්නේ 11,19 000ක ජන සංඛ්‍යාවකි. ජන වර්ග අනුව මුළු ජනගහනයෙන් 74.9%ක් සිංහල වන අතර 11.2%ක් ශ්‍රී ලංකා දෙමළ වන්නේය. මෙරට සිටින ඉන්දියානු දෙමළ ජනගහනය 4%කි. ශ්‍රී ලංකා මුස්ලිම් ජනගහනය 9.3%කි. ඉතිරි 0.5% අනෙකතු් ජනවර්ග ලෙස සැලකිය හැකිය. ආගම් අනුව 70.1%ක් බෞද්ධයන්ය. 12.6%ක් හින්දුන් වන අතර 9.7%ක් ඉස්ලාමිකයන්ය. ක්‍රිස්තියානියන් හා රෝමානු කතෝලිකයන් සිටින්නේ 7.6%ක ප්‍රතිශතයකි.

කුමන ජන වර්ගයකට, කුමන ආගමකට අයත් වුවද ශ්‍රී ලාංකිකයන්ගෙන් 77.4%ක් තවමත් සැලකිය හැක්කේ ග්‍රාමීය ජනතාවක් ලෙසය. 4.4%ක් ජීවත් වන්නේ වතුකරයේය. නාගරික ජනගහනය ලෙස සැලකිය හැකි කොටස 18.2%ක් පමණකි. ආහාර පිසීම උදෙසා ජනගහනයෙන් 68.6%ක්ම තවම භාවිතයට ගන්නේ දරය. රටේ සමස්ත ආදායමෙන් බාගයකට වැඩී ප්‍රමාණයක් (50.8%ක්) රටේ සිටින පොහොසත්ම 20%, හිමකර ගන්නා අතර දිළිඳුම 20%ට හිමි වන්නේ ජාතික ආදායමෙන් 4.8%ක් තරම් පහළ අගයකි.
මෙයින් පෙනෙන්නේ කුමක්ද? වැදගත් වන්නේ, සමස්ත ශ්‍රී ලාංකේය ජනතවා මුහුණ දෙමින් සිටින්නේ එකම දේශපාලන, ආර්ථික, සමාජ සහ ව්‍යවස්ථාමය (නීතිමය) අර්බුදයන්ට බව තේරුම් ගැනීමය.

ආර්ථිකය, තවදුරටත්

ඇතැම් සමාජ හා ආර්ථික දර්ශක අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළ මට්ටමකය. උපරිම 1, සහ අවමය 0 වූ මානව සංවර්ධන දර්ශකය (ජීවිත අපේක්ෂාව, අධ්‍යාපනය සහ ආදායම් මට්ටම ඇතුළත්) අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 0.766ක් තරම් ඉහළ අගයකි. පුද්ගලයන් 1000කට ජංගම දුරකතන 1436ක් තිබේ. එහෙත් පුද්ගලයන් 10 000කට වෛද්‍යවරුන් සිටින්නේ 9.5ක් වන්නා සේම පුද්ගලයන් 10 000කට රෝහල් ඇඳන් ඇත්තේ 36ක් තරම් අවම අගයකය.

ජනගහනයෙන් 44%ක්ම 10 ශ්‍රේණියෙන් සිය අධ්‍යාපනය අවසන් කර ඇතුවාක් මෙන්ම උසස් පෙළ හා ඉන් ඉහළ විභාග සමත් වන්නේ 13.8ක ප්‍රතිශතයකි. අනෙක් පැත්තෙන් උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති ජනතාව අතර වැඩිම රැකියා වියුක්තියක් (8.1%ක්) දක්නට ලැබෙන්නේය. සාමාන්‍ය පෙළ සමත් 5.9%ක් සේවා වියුක්තියෙන් පෙළෙන අතර 5 ශ්‍රේණිය සහ ඊට පහළ අධ්‍යාපනය ලැබුවන්ගේ රැකියා වියුක්තිය (2.8%) ඊට අඩුය. 2017 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සේවා වියුක්තිය 4.2%කි. මෙරට පුරුෂයන්ගෙන් 2.9%ක් සහ ස්ත්‍රීන්ගෙන් 6.5%ක් රැකියා වියුක්තියෙන් පෙළේ. වැඩිම සේවා වියුක්තියක් දක්නට ලැබෙන්නේ (21%ක්) අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයෙන්ය. අවුරුදු 20-29 අතර තරුණ ජනගහනයේ සේවා වියුක්තිය 13.5%කි.

අනික් පැත්තේන් උද්දමනය ඉහළ යනවා පමණක් නොව, වැටුපේ අගය අඛණ්ඩව පහත වැටෙමින් පවතින්නේය. 2016ට සාපෙක්ෂව 2017 දී අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපේ අගය 9.5%කින්ද, කෘෂිකර්මාන්තයේ නියුක්ත වන්නන්ගේ වැටුප් 10.3%කින්ද කර්මාන්ත අංශයේ සේවකයන්ගේ වැටුප 10.2%කින්ද පහත වැටී තිබේ. 2017දී උද්ධමනයේ අගයද 6.6%කින් ඉහළ ගොස් ඇත්තේය.

අනෙක් පැත්තෙන් 2018 වසරේ භාණ්ඩාගාරයෙන් පුනරාවර්තන වියදම් සඳහා මුදල් නිදහස් කිරීම 3.8%කින් ඉහළ ගොස් ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් නිදහස් කිරීම 1.9%කින් පහත වැටීමද නොසලකා හැරිය නොහැක. භාණ්ඩාගාරයෙන් කළ සමස්ත මුදල් නිදහස් කිරීමෙන් 59.2%ක්ම රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි දීමනා. වකුගඩු රෝගීන්ට ආධාර ආදී සුබසාධන කටයුතු උදෙසා වැය කර ඇත්තේය. සිදු කළ යුතුව ඇත්තේ නිෂ්පාදනයට එකතුවත් නොවන සහනාධාර වෙනුවට නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වුවද ආණ්ඩුව මේ මොහොතේද ක්‍රියා කරමින් සිටින්නේ ජනගහනයෙන් තවත් හය ලක්ෂයක් සමෘද්ධි සහනාධාර ලබන ගොඩට එක් කිරීමේ ප්‍රතිපත්තියකි. මහ බැංකුව දැනටමත් ගණන් බලා ඇති පරිදි ලබන වසර වන විට අතිරේක විශ්‍රාමිකයන් 84084ක් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමටද ආණ්ඩුවට සිදු වන්නේය.

2018 දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය සේවාකරණ වියදම ඇමරිකාන් ඩොලර් මිලියන 2920ක් වන අතර එයින් 1805.7ක් ණය වාරික වන විට ඉතිරි 1114.3 පොලී ගෙවීම්ය. මේ වසරේදී ණය සේවාකරණ ගෙවීම් උදෙසා අවශ්‍ය මුදල ඩොලර් මිලියන 4500ක් පමණ වන බව අනුමාන කළ හැකිය. 2025දී එම අගය ඩොලර් මිලියන 4700ක් තරම් ඉහළ අගයක් වන්නේය.විදේශ ණය වලින් 22%ක් අවුරුදු 5කට අඩුවෙන් කල් පිරීමට නියමිත වන්නා සේම 32%ක් අවුරුදු 5-10 අතර කල් පිරීමට නියමිතය. 46%ක් කල් පිරෙනු ඇත්තේ අවුරුදු 10 ඉක්මවා ගොස්ය. රජයේ අදායම ඉක්මවා යමින් ණය වාරික සහ පොළිය ගෙවීමට සිදුව ඇති රටක ආර්ථිකය පිළිබඳ සිතාගත හැකිය.

Fobic Acid නිදර්ශනය 

මේ ඉලක්කම් අපට පෙන්වන්නේ සමස්ත චිත්‍රයම නොවුණත් රට වැටී ඇති ආර්ථික ආගාධයේ තරම අනුමාන කළ හැකිය. රටේ පාලකයන්, රාජ්‍ය නිලධාරීන් සිදු කරන දූෂණය සහ නාස්තියද ගණන බැලුවහොත් ගොඩ ගත නොහැකි තරමේ ආගාධයක් කරා රට වේගයෙන් ඇදී යාම නොවැළැක්විය හැකිය. එවැනි දූෂණයක් පිළිබඳ භායානය මෙන්ම හාස්‍යජනක නිදර්ශනයක් ඉදිරිපත් කළ හැකිය.

ඉපදීමට සිටින දරුවා ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානම අවම කිරීම උදෙසා ගර්භණී මවුවරුන්ට ලබාදෙන Fobic Acid Jablets BP 1mg යන ඖෂධය පෙති මිලියන 552ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා 2013, 2014 හා 2015 දී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ලබාගෙන තිබුණේය. එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 196කි. එහෙත් මෙම ඖෂධය තත්ත්වයෙන් අසමත් බව පසුව අනාවරණය වූ අතර 2016 අගෝස්තු 9 වනදා භාවිතයෙන් ඉවත් කෙරුණේය. එහෙත් ඒ වන විට ඖෂධ පෙති මිලියන 539.2ක් (රු.මි. 184.4ක් වටිනා), නැතහොත් රෝහල්වලට නිකුත් කර තිබූ පෙති ප්‍රමාණයෙන් 98%ක්ම මෙරට ගර්භණී මව්වරුන්ට ලබා දී තිබුණේය. එක් පැත්තකින් මෙමගින් මෙරට සෞඛ්‍ය සේවය පිළිබඳව ජනතා විශ්වාසය පළුදු වීම වැළැක්විය නොහැක. අනෙක් පැත්තෙන් මෙය නොසලකා හරින ලද බරපතළ නාස්තියක් ලෙස සැලකිය හැකිය.

නායකයන්ගේ අර්බුදය

ආර්ථික, දේශපාලන පමණක් නොව ව්‍යවස්ථා (නීතියේ) අර්බුදයට ද, සමාජ අර්බුදයටද වර්තමාන නායකයන්ට විසඳුම් නොමැති බව අපැහැදිලි නැත. අඩුම ගණනේ පවතින නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමටවත් ඔවුන් සමත් වී ඇතැයි සිතිය නොහැක. ශක්තිමත් ආර්ථිකයන්, ශක්තිමත් සමාජයක් සහිත ශක්තිමත් රාජ්‍යයක් උදෙසා රට තුළ එක් නීතියක් ක්‍රියාත්මක විය යුතුවාක් මෙන්ම එම නීතියේ ආධිපත්‍ය පවතින බව සියලු ජනතාවට තහවුරු විය යුතු වන්නේය. අනෙක් පැත්තෙන් ආගමික හෝ ජනවාර්ගික හෝ ප්‍රාදේශීය හෝ වෙනත් කුමන හෝ බෙදීම් මත අධ්‍යාපනයක්, සෞඛ්‍යක්, නීතියක් පමණක් නොව දේශපාලනයක් හෝ පවතින්නේ නම් එවැන්නක් හේතු විය හැක්කේ රට ශක්තිමත් කිරීමට නොව දුර්වල කිරීමටය. ජන වර්ග, ප්‍රදේශ පදනම් කරගත් දේශපාලන පක්ෂ පවා නොපැවතීම, පැවතීමට වඩා හොඳය.

2015 න් පසුව දෙමළ ජාතික සන්ධානයට ජාතික මට්ටමේ ක්‍රියාකාරීත්වයක් උදෙසා අනගි අවස්ථාවක් උදා වුවත් ඔවුන් එම අවස්ථාව පැහැර හැරියේය. විපක්ෂ නායක ධුරය, සම්බන්ධන් මහතාට ලැබුණු පසු සමස්ත රටේම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ලැබුණු මහඟු අවස්ථාව ඔහුට හිමි විය. 30 වසරක යුද්ධයෙන් පසුව හෝ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩ නැගීම උදෙසා දෙමළ ජාතික සන්ධානය එය ප්‍රයෝජනයට ගත යුතුව තිබුණි. එහෙත් ඔවුන් ඒ වෙනුවට අනුගමනය කළේ උතුරු- නැගෙනහිර දෙමළ ජන වර්ගයේ ගැටළු පිළිබඳව පමණක් පෙනී සිටීමේ ප්‍රතිපත්තියයි. එයින්, උදා වූ අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට නොගත්තා පමණක් නොව, විපක්ෂ නායක ධුරය පවා හෑල්ලුවට ලක් කළේය.
රටකට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නා සේම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එය එක් කේන්ද්‍රයකින් මෙහෙය විය යුතු වන්නේය. නීතිය, සෞඛ්‍ය මෙන්ම දේශපාලනය ආදී ජාතික මට්ටමේ විෂයයන් සියල්ල එක් එක් විෂයයකට වෙන වෙනම ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට අසමත් වුවහොත් සහ ඒ එක් එක් විෂයයන් වෙන වෙනම එක් කේන්ද්‍රයක් හරහා ක්‍රියාත්මක කිරීමට අසමත් වුවහොත්, ශක්තිමත් රාජ්‍යක් බිහිකර ගත හැකි යැයි විශ්වාස කළ නොහැකිය. වර්තාමනයේ රටේ උද්ගතව ඇත්තේ නිරවුල් තත්ත්වයක් නොවුවද ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම උදෙසා, ජාතික මට්ටමේ විෂයයන්ට ජාතික ප්‍රතිපත්තීන් සකසා නීතිගත කිරීමට, එම තත්ත්වය වුවද හොඳ අවස්ථාවක් සේ ප්‍රයෝජනයට ගත හැකිය.

රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව, විශාල දේශපාලන අර්බුදයක, ආර්ථික අර්බුදයක පමණක්ම නොව ව්‍යවස්ථාමය (නීතිමය) සහ සමාජ අර්බුදයකද ගිලී ඇත්තේය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර සහ ඉන්පසුව රට තුළ උද්ගත වූ සහ දිනෙන් දින මතු වෙමින් පවත්නා ප්‍රශ්නවලට පැහැදිලි විසඳුමක් තබා විසඳුම්වලට යා හැකි මාවතක් පවා විවර කරගත නොහැක්කේ ඒ නිසා බව අපැහැදිලි නැත. මේ අර්බදය අවස්ථාවක් කර ගෙන හෝ සියලු ශ්‍රී ලාංකේය ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් සමග ශක්තිමක් රාජ්‍යක් උරුම කර දීම මගහරින්නේ නම් එවැනි නායකයන් සැලකිය හැක්කේ සමත්භාවය අහිමි කරගත් නායකයන් පිරිසක් ලෙසය. එසේ වන්නේ නම් ශකිත්මත්, අවංක නායකයන්ගේ අර්බුදයද ශ්‍රී ලංකාව මුහුණ දෙන අප්‍රසන්නම අත්දැකීම විය හැකිය.