ඉතින් ඊට පස්සේ? ලක්වැසියන් තොරතුරු සමාජයට පිවිසෙන හැටි

නාලක ගුණවර්ධන ravaya@nalaka.org

ශ්‍රී ලංකාවට ජංගම දුරකථන මුල් වරට හඳුන්වා දුන්නේ 1989 ජූනි මාසයේදී. මුලින් සෙල්ටෙල් යන වෙළඳ නාමයෙන් ක්‍රියාත්මක වූ එම පුරෝගාමී ජාලය, පසුව හිමිකාරීත්වය කිහිප වරක් වෙනස් වී අද වන විට එටිසලාට් ලෙස අප දන්නවා.

දකුණු ආසියාවේ ජංගම දුරකථන සේවාවක් මුලින්ම පටන් ගත් රටත් ශ්‍රී ලංකාවයි. එයින් තිස් වසරක් පිරෙන මේ මොහොතේ දුරකථන සහ සබැඳි සන්නිවේදන සේවා ලාංකිකයන් භාවිත කරන සැටි සහ ඔවුන්ගේ ආකල්ප පිළිබඳ වැදගත් සමීක්ෂණයක සොයා ගැනීම් බෙදා ගන්නට මා සූදානම්.
සන්නිවේදන තාක්ෂණයන් හා සේවාවන් සමාජයක ප්‍රචලිත වීම ගැන නිල ආයතනවල දත්ත හරහා යම් අවබෝධයක් ලද හැකියි. මෙය හැඳින්වෙන්නේ සන්නිවේදනයේ සැපයුම් පැත්ත (supply side of communications) හැටියටයි.

විදුලි සංදේශ නියාමන කොමිසම  (TRCSL) සියලුම දුරකථන සමාගම්වලින් ලබා ගන්නා දත්ත කාර්තුවක් පාසා සම්පිණ්ඩනය කොට නිල වෙබ් අඩවියේ සම්මුච්චිත දත්ත මුදා හරිනවා. http://www.trc.gov.lk/2014-05-13-03-56-46/statistics.html

TRC දත්තවලට අනුව, 2018 දෙසැම්බර් වන විට මෙරට සක්‍රීය ජංගම දුරකථන ගිණුම් (SIM) 32,528,104ක් තිබුණා. එනම් ජනගහනයේ හැම 100 දෙනකුටම SIM 150ක් පමණ. මෙයට හේතුව අප සමහරු ජංගම දුරකථන SIM කිහිපයක් හිමි කර ගෙන සිටීමයි.
2018 දෙසැම්බර් වන විට මෙරට ස්ථාවර දුරකථන සබඳතා 2,484,616ක් ද තිබුණා. මෙහි වැදගත් ප්‍රවණතාවක් පසුගිය වසර කිහිපයේ නිල සංඛ්‍යා ලේඛන දෙස බලන විට පෙනී යනවා. 2011දී මෙරට ස්ථාවර දුරකථන සබඳතා සංඛ්‍යාව 3,608,392ක් වූවා. එතැන් සිට ගත වූ වසර කිහිපය තුළ එම සංඛ්‍යාව ටිකෙන් ටික අඩු වී තිබෙනවා. හය වසරක් තුළ මිලියනයකට වැඩි ස්ථාවර දුරකථන සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් වෙලා. මේ ඇයි? හේතුව වැඩි වැඩියෙන් දෙනා ස්ථාවර දුරකථනයකින් තොරව තනිකරම ජංගම දුරකථනයකින් පමණක් තම සන්නිවේදන අවශ්‍යතා ඉටු කර ගැනීම.

ජංගම දුරකථනවල උපකරණ මිළ හා ඇමතුම් ගාස්තු මුල් කාලයේ තිබුණාට සාපේක්ෂව බොහෝ සෙයින් අඩු වීමද, ඒවායේ අමතර පහසුකම් රැසක් තිබීමද මෙයට දායක වන සාධකයි. ස්ථාවර දුරකථන භාවිතයෙන් කෙමෙන් අත්මිදී ජංගම දුරකථන පමණක් භාවිතයට යොමු වීමේ ප්‍රවණතාව වෙනත් රටවලද දැකිය හැකියි.
ජන සමාජයේ විවිධ පුද්ගලයන් කෙලෙස මෙම සන්නිවේදන සේවා භාවිත කරනවාද යන්න හෙවත් මෙහි ඉල්ලුම් පැත්ත (demand side) විමර්ශනය කිරීම වඩාත් අසීරුයි. එවන් ගවේෂණවලදී කිසිදු සන්නිවේදන මාධ්‍යයක් ගැන පූර්ව මතයක් හෝ නිගමනයක් හෝ තබා නොගෙන, විවෘත මනසකින් තොරතුරු එක් රැස් කිරීම අත්‍යවශයයි.
සන්නිවේදන තාක්ෂණය සමාජගත වීම ගැන ඉල්ලුම පැත්තෙන් තොරතුරු එක්රැස් කිරීම සහ භාවිත කරන්නන්ගේ දෘෂ්ටිකෝණයෙන් ඒවා ගැන මත විමසුම අපේ රටේ හොඳින්ම කරන්නේ ලර්න්ඒෂියා (LIRNEasia) නම් ස්වාධීන පර්යේෂණායතනයයි. https://lirneasia.net

තොරතුරු තාක්ෂණයන් හරහා තොරතුරු සමාජය ආසියාවේ නැගී එන රටවල ස්ථාපිත වන සැටි විධිමත්ව අධ්‍යනය කරන ලර්න්ඒෂියා පර්යේෂණායතනය, ජනතාව දුරකථන භාවිත කරන රටා 2006 සිට සොයා බලනවා. ගම් හා නගරවල දහස් ගණන් ගැහැනු පිරිමි දුරකථන යොදා ගන්නේ කුමකට ද? ඔවුන් ඒ සඳහා කරන වියදම කෙබඳුද? රුචි අරුචිකම් මොනවා ද? මේ ආදිය ගැන රැස් කර ගත් වටිනා දත්ත සමුදායක් ලර්න්ඒෂියා සතුයි.
ඔවුන්ගේ සමීක්ෂණ ගැන මා මීට පෙර ලියා තිබෙනවා (2014 මාර්තු 30). 2017 වසරේ පටන් ඔවුන් සන්නිවේදනයේ ඉල්ලුම පැත්තෙහි තවත් පැතිකඩ ගවේෂණය කරන අලුත් ගෝලීය පර්යේෂණයක නිරත වී සිටිනවා.

ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ දියුණු වෙමින් තිබෙන රටවල් 23ක් මේ දක්වා පාදක කර ගෙන සිදු කැරෙන සමීක්ෂණ මාලාවක් මෙයට අයත්. එකම ක්‍රමවේදය යොදා ගෙන, එහෙත් ඒ ඒ රටට ගැළපෙන පරිදි ප්‍රශ්නාවලිය සකස් කරමින් කර තිබෙන මේ දැවැන්ත පර්යේෂණයේදී, ජංගම දුරකථනයක් හිමි කර ගෙන ඒ හරහා තොරතුරු සමාජයට පිවිසෙන ගැහැනුන් සහ මිනිසුන් ඉනික්බිති කරන්නේ කුමක්ද යන්න විස්තරාත්මකව සොයා බලනවා.
ඉංග්‍රීසියෙන් AfterAccess ලෙසින් හඳුන්වන මේ පර්යේෂණ මාලාව, සරල සිංහලෙන් ‘ඉතින් ඊට පස්සේ’ කියා කිව හැකියි. (පණ්ඩිත වෙන්න ඕන නම් ‘ඉනික්බිති කුමක් සිදුවේද’ යයි සිතා ගන්න.) https://afteraccess.net

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් නියෝජනය වන පරිදි තෝරා ගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස සියයකින් 2,017 දෙනා මෙරට සමීක්ෂණයට සම්බන්ධ කර ගනු ලැබුවා. සමීක්ෂණයට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ වයස් පරාසය 15 සිට 65 දක්වායි. ඔවුන් තෝරා ගනු ලැබුවේ අලෙවිකරණ සමීක්ෂණ (market research)

කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අහඹු ලෙසයි. ග්‍රාමීය සහ නාගරික සංකලනයක් මෙන්ම ගැහැනු පිරිමි නිසි නියෝජනයද නියැදියේ හමු වනවා.

මෙවැනි අධ්‍යනවලදී දීප ව්‍යාප්තව විශාල නියැදියක් භාවිත කිරීම වැදගත්. එවිට සමීක්ෂණයෙන් ලැබෙන සොයා ගැනීම් ජන සමාජය නියෝජනය කිරීමේ නැඹුරුව වැඩි වනවා. (බොහෝ සරසවි සිසුන් සහ ඇඳුරන් කරන සමීක්ෂණවල නියැදිය කුඩා වීම සහ දීපව්‍යාප්ත නොවීම අප නිතර දකින දුර්වලතාවක්.)

සමීක්ෂණයට ලක් වූ අයගෙන් 78% දෙනා තමන්ගේම ජංගම දුරකථනයක් හිමි අය බව ඔවුන්ගේ පිළිතුරුවලින් තහවුරු වුණා. එනම් ඔවුන් සතුව තමන්ගේම දුරකථන මෙවලමක් මෙන්ම සක්‍රීය ගිණුමක් (SIM කාඞ් එකක්) තිබෙනවා.

ජංගම දුරකථනයක් තමන් සතුව නොමැති යැයි කී සෙසු අයගෙන් හතරෙන් එකකටද තමන්ගේම SIM කාඞ් එකක් තිබුණා. එසේම දුරකථන හිමියන්ගෙන් 32% සතුව තනි SIM කාඞ් එකකට වැඩි සංඛ්‍යාවක් පවතින බවත් හෙළි වුණා.

සමහර සමාජ ක්‍රියාකාරිකයන් කලෙක සිට මැසිවිලි නගන්නේ ජංගම දුරකථන වැනි තාක්ෂණයක් තවමත් නැති තරම් ගමට ළඟා වීමට කියායි. එහෙත් මෙම සමීක්ෂණයෙන් හෙළි වන්නේ අපේ රටේ ගම සහ නගරය අතර ඩිජිටල් පරතරය (digital divide) සමහරුන් හිතන තරම් පුළුල් නැති බවයි.
නාගරික ජනයා 84%දෙනා ජංගම දුරකථන හිමිව සිටින, අතර ග්‍රාමීය වැසියන්ගෙන් 77% දෙනාටද තමන්ගේම ජංගම දුරකථන තිබෙනවා. බංග්ලාදේශයේ සහ පාකිස්ථානයේ ද මෙලෙසින්ම ගම හා නගරය අතර තාක්ෂණ පරතරය බෙහෙවින් අඩුවී ඇතැයි එම රටවල ලර්න්ඒෂියා සමීක්ෂණ සොයා ගත්තා.

එසේ වුවත් සන්නිවේදන තාක්ෂණ ප්‍රවේශයට ඊට වැඩි තීරණාත්මක සාධකයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවය (gender) ක්‍රියා කරනවා. මෙරට සමීක්ෂණයට සහභාගි පිරිමින් අතරින් 86% දෙනා ජංගම දුරකථනයක් හිමි කර ගනිද්දී, එවන් හිමිකාරීත්වයක් තිබූ කාන්තාවන් සිටියේ 72%යි. (ජංගම දුරකථන පොදු මෙවලම් නොව තනි පුද්ගලයන් භාවිත කරන උපකරණ නිසා තමන්ගේම හිමිකාරීත්වය තිබීම එය භාවිතයට වැදගත් සාධකයක්.)

කාන්තාවන් සහ පිරිමින් අතර ජංගම දුරකථන හිමිකාරීත්වය පිළිබඳ පරතරය ආසියාවේ සෙසු රටවල අපටත් වඩා වැඩියි. ස්ත්‍රී පුරුෂ පරතරය ඉහළම අගයක් ගන්නේ ඉන්දියාවේ (46%).
එහෙත් අපට සෑහීමකට පත්වීමට බැහැ. දකුණු ඇමරිකාවේ රටවල් ගණනාවක මෙන්ම දකුණු අප්‍රිකාවෙත් ජංගම දුරකථන හිමිකාරීත්වය ගැන ස්ත්‍රී පුරුෂ පරතරයක් ඇත්තේම නැහැ. නැතහොත් ජංගම දුරකථන හිමි කාන්තා ප්‍රතිශතය පිරිමි ප්‍රතිශතයට වඩා වැඩියි.
ජංගම දුරකථන කාණ්ඩ තුනකට බෙදිය හැකියි. කතා කිරීමට සහ කෙටි පණිවුඩ (SIM) යැවීමට පමණක් යොදා ගත හැකි මූලික මට්ටමේ දුරකථන (basic phones) භාවිත කරන පිරිස මෙරට ජංගම දුරකථන හිමියන්ගෙන් 46%ක්.

ඒවාට වඩා තාක්ෂණික වශයෙන් දියුණු feature phone  නම් දුරකථනවල, කතා කිරීමට සහ කෙටි පණිවුඩ (SMS) යැවීමට අමතරව ඡායාරූප සහ සංගීත හඬ ආදිය ගබඩා කළ හැකියි. අපේ රටේ ජංගම දුරකථන හිමියන්ගෙන් 7% සතුව ඇත්තේ මේවායි.

ජංගම දුරකථනයක සාමාන්‍ය සේවා සියල්ලට අමතරව ඉන්ටර්නෙට් පිවිසීමට හැකි, විවිධ ඇප් (්චචි) බාගත කොට භාවිත කළ හැකි උපකරණවලට සුහුරු දුරකථන හෙවත් ස්මාට්ෆෝන් යයි කියනවා. මෙරට ජංගම දුරකථන හිමියන්ගෙන් 47% ස්මාට්ෆෝන් භාවිත කරනවා.

ස්මාට්ෆෝන් අද වන විට තාක්ෂණ අභිසරණය (technology convergence) පිළිබඳ හොඳම උදාහරණයයි. කටහඬ ඇමතුම් ගන්නවාට අමතරව කෙටි පණිවිඩ යැවීම, ඉන්ටනෙට් සැරිසැරීම, චැට් කිරීම, ඇප් භාවිතය, ඡායාරූප සහ වීඩියෝ හසුකර ගැනීම, සිතියම් හරහා මග සොයා ගැනීම, සංගීතය ගබඩා කර ගැනීම ආදී බොහෝ කටයුතු සඳහා එකම උපකරණය යොදා ගත හැකි වී තිබෙනවා. මේ හරහා ජන ජීවිතය පහසු වන අතර ජන චර්යා ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා.
දුරකථන භාවිත කරන සමස්ත සාම්පලය සැලකිල්ලට ගෙන මාසයකට ජංගම දුරකථන හිමියකු එම සේවාව සඳහා කරන වියදමේ මධ්‍යයන්ය අගය රුපියල් 935 බව හෙළි වුණා. (දුරකථන සේවාවලට බලපාන බදු මුදල් ද ඇතුළුව).

මෙම සමීක්ෂණයට පාත්‍ර වූ බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ කාම්බෝජය යන සෙසු ආසියාතික රටවල ජංගම දුරකථන හිමියකු මාසිකව දරන සේවා වියදම මීට ටිකක් අඩු වුවත්, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු රටවල නම් මාසික වියදම අපට වඩා වැඩියි. (රටවල් අතර මේ සඳහා කැරෙන වියදම සෘජුව සැසඳිය නොහැක්කේ දුරකථන සේවා ගාස්තු සහ අදාළ රාජ්‍ය බදු රටින් රටට වෙනස් වන නිසා.)

කිසිදු ආකාරයක ජංගම දුරකථනයක් හිමි නැති 408 දෙනකු ශ්‍රී ලංකාවේ මෙම සමීක්ෂණ නියැදියේ හමු වුණා. (සමස්ත නියැදියෙන් 22%). එයට හේතු විමසන ලදුව, උත්තර එකක් හෝ කිහිපයක් තෝරා ගැනීමට ඉඩ දෙනු ලැබුවා.

දුරකථන නොමැති වැඩිම දෙනකු (58%) දුන් උත්තරය වූයේ තමන්ට එබන්දක් අවශ්‍ය නැති බවයි. ඉන්පසුව වැඩිපුරම ලැබුණු ප්‍රතිචාර වූයේ ජංගම දුරකථනයක් හිමි කර ගැනීමට ආර්ථික හැකියාව නැති බව (28%) සහ ඒ සඳහා අවසරයක් නොමැති වීම (16%). සමීක්ෂණයට වයස 15 සිට ඉහළට විහිදෙන විවිධ වයස් මට්ටම්වල අය සහභාගි වූ නිසා, අඩු වයස්වල අයට එයට දෙමව්පිය අවසරය නොලැබෙනවා විය හැකියි.

මූලික මට්ටමේ ජංගම දුරකථන පාවිච්චි කරන අයගෙන් බහුතරයක් (60%) කීවේ තම සන්නිවේදන අවශ්‍යතා සඳහා ස්මාට්ෆෝන් එකක් අවශ්‍ය නැති බවයි. තවත් 23% දෙනා කිව්වේ එයට කැමති වුවත් ස්මාට්ෆෝනයක් මිලට ගැනීමේ වියදම දරා ගත නොහැකි බවයි.

අද වන විට විවිධාකාරයේ ස්මාට්ෆෝන් වෙළදපොලේ හමු වනවා. රුපියල් 6,000 පමණ සිට ඉහළට මිල කර තිබෙන මේවා, තව දුරටත් සුඛෝපභෝගී උපකරණ නොවෙයි. ලර්න්ඒෂියා සමීක්ෂණවලට අනුව, අපේ රටට වඩා බෙහෙවින් අඩු ඒක පුද්ගල ආදායම් තිබෙන නේපාලයේ (52%) සහ කාම්බෝජයේ (48%) ස්මාට්ෆෝන් හිමි ප්‍රතිශතය අපේ රටට වඩා වැඩියි.

මෙරට ඉන්ටනෙට් භාවිත කරන්නන් බහුතරයක් දෙනා එහි පිවිසෙන්නේ ස්මාට්ෆෝන් හරහායි. ඉන්ටනෙට් භාවිතයේ ප්‍රවණතා ගැන මේ සමීක්ෂණය සොයා ගැනීම් ඊළඟට කතා කරමු.