ප්‍රඥාව බැහැර කොට අඥානයෙන් විනාශය කරා යන වේගවත් ගමනක්

මහින්ද හත්තක

ඉතිහාසය නැවත වරක් සිදුවන්නේ ඛේදවාචකයක් ලෙසිනැයි කියමනක් පවතී. ශ්‍රී ලංකාවේ අප මුහුණදෙමින් සිටින්නේ එවැනි ඛේදවාචකයකටයැයි සිතේ. ‘83 කළු ජූලිය අපේ මෑත ඉතිහාසයේ සිදුවූ මහා ඛේදවාචකයකි. ඒ සංවිධානාත්මක සිංහල ජන කොටසක් මේ රට උපන් භූමිය කර ගත් දෙමළ ජන කොටසකට එරෙහිව මුදා හළ ම්ලේච්ඡ ප්‍රහාරයකි. එය වැළැක්වීමට රජයේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට හැකියාවක් තිබුණේ නැත. නැතිනම් පටු විනාශකාරී දේශපාලන වුවමනාවක් පෙරදැරි කර ගත් පිරිසක් නීතිය ක්‍රියාත්මකවීමට ඉඩ දුන්නේ නැත. කෙසේ වුවත් එය අපගේ රටේ ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමකි. සාමකාමී බෞද්ධ රටක් වශයෙන් හැඳින ගෙන සිටි ශ්‍රී ලංකාව මිනී කන්නන්ගේ දේශයක් බවට පත් කළ අපකීර්තිමත් අවස්ථාවකි. බුද්ධිමත් ජනතාවක් වශයෙන් අපට ඉන් පාඩම් ඉගෙන එවැනි අශීලාචාර සිද්ධීන් නැවත ඇතිවීම වැළැක්වීමට නීතිමය රාමු සකස් කිරීමට අමතරව දේශපාලන කැපවීමක් සහ එකඟතාවක් ඇතිකර ගැනීමට අවස්ථාවක් කර ගැනීමට තිබිණ.

එහෙත් පසුගිය මැයි 13 වැනි දා මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන මුදාහළ ප්‍රචණ්ඩත්වය ‘83 කළු ජූලියට වෙනස් වන්නේ නැත. එම ප්‍රචණ්ඩත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර හා ගම් කීපයකට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකට පමණක් සීමා වුවද විපතට පත්වූවන්ගේ දුක් අඳෝනාව මේ කුඩා දිවයිනේ මායිම් ඉක්මවා යයි. රටේ සියලු ජන කොටස්වල ජීවිත ආරක්ෂාව සහ දේපොළ සුරක්ෂිතභාවය තහවුරු කළ නොහැකි අසමත් දේශයක් බව පෙන්නුම් කරයි. එය රටේ බුද්ධිමත් ජනතාව කම්පනයටත්, භීතියටත් පත් කරවන්නේ ‘83 උගත් පාඩම් කිසිවක් නීතිය හා සාමය රකින ආයතන හෝ දේශපාලකයන් සැලකිල්ලට නොගත් නිසාය.

පසුගිය වසර කීපය තුළ ගිංතොට, දර්ගා නගරය, අම්පාර, මහනුවර ආදී වශයෙන් ප්‍රදේශ කීපයක මුස්ලිම් ප්‍රජාවගේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩත්වය මුදාහැරි බව අපගේ මතකයේ පවතී. එහෙත් පසුගිය මැයි 13 වැනිදා සිදුවූ ප්‍රහාරය ඒ සියල්ලට වඩා කම්පාවට පත් කිරීමට හේතුවක් වන්නේ එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට අපමණ සාක්ෂි තිබියදීත් පාලකයන් ඒ ගැන නොසැලකිලිමත්වීමේ සාපරාධී තත්ත්වය යටතේ ය. අප්‍රේල් 21 වැනි දා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අනුබද්ධ දේශීය මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ක්‍රිස්තියානි පල්ලි සහ තරුපහේ හෝටල් ඉලක්ක කරගත් නින්දිත ප්‍රහාරයෙන් පසුව අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීමේ උත්සාහයන් පවතින බව බුද්ධි අංශ නොදැන සිටියත් රටේ සාමාන්‍ය ජනතාව ඉවෙන් මෙන් දැන සිටියහ. ඊට අමතරව මැයි 13 රටේ කිසියම් ව්‍යසනයක් විය හැකි බවට විවිධ දූෂමාන ආරංචි පැතිර තිබිණ. එම නිසා සාමාන්‍ය ජනතාව එදින තම ගමන් බිමන් ද සීමා කර ගත්හ. මැයි 13 ප්‍රහාරය අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය මෙන් නොදැනුවත්ව සිදුවූවක් නොවේ.

අනිත් අතට ‘83 කළු ජූලියේදී මෙන් ආරක්ෂක අංශ නිදි කිරමින් සිටි අවස්ථාවක් ද නොවේ. අප්‍රේල් 21 බෝම්බ පිරවීමෙන් පසුව ප්‍රමාද වී හෝ ආපසු සිය රට පැමිණි ජනාධිපතිවරයා මුළු දිවයිනටම බලපාන ආකාරයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙළේය. ඒ සමගම ත්‍රිවිධ හමුදාවම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට දිවයින පුරාම ප්‍රධාන ස්ථානවල යොදා තිබිණ. එම නිසා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීමට අවශ්‍ය විධි විධාන යොදා තිබිණැයි අනුමාන කළ හැකිය. කළු ජූලියක් ඇතිවීම වැළැක්වීමට පාලකයන්ට අවශ්‍යතාවත් තිබුණේ නම් ඊට අවශ්‍ය සියලු බලය ඒකරාශි කරගැනීමේ අපහසුවක් තිබුණේ නැත. එහෙත් එහෙත් ඒ සියල්ල තිබියදීත් මුස්ලිම් ජනතාවගේ නිවාස සහ දේපොළවලට පහරදීම වැළැක්වීමට හැකියාවක් හෝ ඕනෑකමක් තිබුණේ නැත.

වඩාත්ම අවාසනාවන්ත තත්ත්වය වන්නේ ‘83 කළු ජූලියේ දී සහ ඉන් පසුව දෙමළ ජනතාව ඉලක්ක කර ගත් ප්‍රචණ්ඩත්ව පිළිබඳ සිද්ධීන්වලදී මෙන් ආරක්ෂක අංශ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමට ඉඩ හැර ඉවත බලා සිටියේය යන බරපතළ චෝදනාව නැවත වරක් ඉදිරිපත් වීමය. එවැනි අවස්ථා පිළිබඳව කළු ජූලියේ මෙන් නොව වීඩියෝ වාර්තා තිබීමෙන් අපගේ ආරක්ෂක අංශවල නොසැලකිල්ල ලොව පුරා පැතිර යෑමට ද හේතුවිය. එවැනි වීඩියෝ පටියක් ගැන සඳහන් කිරීම වටී. මෙම වීඩියෝ පටිය හමුදාපතිගේ පවා අවධානයට ලක්වූයේ එහි දැක්වෙන හමුදා භටයා කලහකාරී පිරිසට ප්‍රහාරයක් දියත් කිරීමට සංඥාවක් දුන්නේ ද යන්න විමසා බැලීමට ය. ඔහුගේ නිගමනය වූයේ එම දර්ශනවලින් එවැන්නක් පෙන්නුම් කරන්නේ නැත යන්නය. එය සත්‍යයක්යැයි අපට ද පිළිගත හැකිය. එහෙත් හමුදා භටයා එම කැමරාවේ දර්ශනයෙන් ඉවත්ව ගිය පසු කලහකාරීන් ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව පැහැදිලිවම දැකිය හැකිය. ප්‍රහාරය අවසන් වූයේයැයි පෙනෙන විට පොලිස් නිලධාරියෙකුගේ පැමිණීම ද එහි දැකිය හැකිය. ඉන් කියවෙන්නේ කුමක් ද? ආරක්ෂාවට යොදා සිටි හමුදා භටයින් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේම මුස්ලිම් ප්‍රජාවට අයත් දේපොළවලට හානි සිදුකර ඇති බව ය. ඔවුන් අත තුවක්කු තිබුණත් ඒවා කලහකාරීන් බිය ගැන්වීමට හෝ ඔවුන්ට තර්ජනයක් කිරීමට යොදා ගත්තේ නැත. (ජේ.ආර් සමයේ නම් තුවක්කු තියෙන්නේ මාළු බෑමට නොවේයැයි කතාවක් තිබිණ.) අපරාධයක් සිදුවීම නොවැළැක්වීම ද වරදකි. රිය අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත්වීම යටතේ නඩු පැවරීම රථවාහන පොලිස් නිලධාරීන්ට පවා සුපුරුදු කාර්යයකි.

කලහකාරී තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට හෝ එවැනි පිරිස් පලවා හැරීමට (වෝඞ් පෙදෙසේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නිතර එල්ල වන ආකාරයට) කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් හෝ නොතිබිණ. ගිංතොට, අම්පාර සහ මහනුවර වැනි ස්ථානවලදී චෝදනා එල්ල වූ ආකාරයටම පොලිසිය සහ ආරක්ෂක හමුදා උදාසීනව සිටි බවට පැමිණිලි ඉදිරිපත්ව ඇත. තුවාල වූ මුස්ලිම් ජාතිකයකු පොලිස් නිලධාරියකු ඇතුළත් සිව් දෙනකු හතර ගාතෙන් ඇදගෙන යෑමේ දර්ශනය උතුම් වූ තෙමඟුල සැමරීමට අපේක්ෂාවෙන් සිටි බෞද්ධයන්ට නම් කිසිසේත් දරාගත හැක්කක් නොවේ.

මැයි 13 වැනි දා කළ ප්‍රහාරයන්ට හේතුවූයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පවතින විරෝධයැයි සිතීම අර්ධ සත්‍යයකි. ඊටත් වඩා ඒ තුළ ගැබ්ව ඇති වඩාත් හානිකර අන්තවාදයක් නොසලකා හැරීමකි. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වූයේ සිංහල බෞද්ධයන් පමණක් නොවේ. මුස්ලිම් ජන ප්‍රජාවේ සැලකිය කිය යුතු කොටසක් එම අනතුරු ගැන ආරක්ෂක අංශ සහ රටේ පාලකයන් දැනුවත් කළ බව දින වකවානු සහිතව දක්වා ඇත. එහෙත් ඔවුන් ඒ ගැන ප්‍රමාණවත් හෝ කිසිම අවධානයක් යොමුකර නැත. එමෙන්ම ප්‍රහාරයෙන් පසුව එය පිළිකුළෙන් හෙළා දැකීමට මුස්ලිම් නායකයෝ ඉදිරිපත් වූහ.

එසේ තිබියදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ප්‍රජාවගේ ගේ දොරවල් පරීක්ෂා කොට කඩු, කිනිසි සහ මන්නා වැනි ආයුධ සොයා පරීක්ෂණ කිරීමේ තේරුම කුමක් ද? සමහර පරීක්ෂාවන්ගෙන් සැක කටයුතු පුද්ගලයන් සහ නොයෙකුත් දේ අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් ඒවා මාධ්‍ය සංදර්ශනවලට සීමා විය යුතු නැත. දැනට තහනමට ලක්ව ඇති ජාතික තවුහීද් ජමාද් සංවිධානය සහ වෙනත් එවැනි සංවිධාන පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීමට ඉවහල් වන ආකාරයට එම මෙහෙයුම් සිදුවිය යුතුය. නැතිනම් සිදුවන්නේ අඳුරේ අතපත ගෑමක් පමණි.

මාධ්‍ය සංදර්ශනාත්මක විමර්ශන කටයුතු නිසා සිදුවන්නේ ජනතාව තුළ අනියත බියක් ඇති කිරීම හා පොදුවේ මුස්ලිම් ප්‍රජාව ගැන සැකයක් ඇති කිරීම පමණි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටම අකර්මණ්‍ය තත්ත්වයකට පත් වූයේ එම බිය සහ සැකය නිසාය. සෑම මුස්ලිම් ගම්මානයකින්ම අත්අඩංගුවට ගැනීම් සහ අවි ආයුධ සොයා ගැනීම් සිදුවූ බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සෑම දිනකම රූපවාහිනී නාලිකා ඔස්සේ ජනතාව දැනුවත් කෙළේය. මුස්ලිම් ගම් රට පුරාම විසිර ඇති නිසා තොරතුරු දැනගැනීම සඳහා මෙම ප්‍රවෘත්ති මත යැපෙන කෙනෙකුට මුළු රටම මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි සිතෙනු ඇත. මෙම මුස්ලිම් අන්තවාදීන් නැතිනම් ත්‍රස්තවාදීන් පිළිබඳ ප්‍රවෘත්ති ජනමාධ්‍ය ආයතනවලට කෙතරම් ආකර්ෂණයක් වූයේ ද යත් මුස්ලිම් අන්තවාදීන්ට විදෙස් රටකදී නියම වන දඬුවමක් පවා හොඳ ප්‍රවෘත්තියකි. පසුගිය දා ඉරාකයේ උසාවියකින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ වී සිටි ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට ලබා දුන් මරණ දඬුවම අපේ රටේ රූපවාහිනී නාලිකාවලින් ප්‍රචාරය කෙරිණ. අප්‍රේල් 21ට පෙර බොහෝ රටවල මෙවැනි දඬුවම් නියම වුවද අපට ඒවා වැදගත් ප්‍රවෘත්ති වූයේ නැත.

බෙහෙවින් ඉස්මතු කෙරෙන මෙවැනි ප්‍රවෘත්ති සහ සංදර්ශනාත්මක විමර්ශනවලින් ජව්හිද් ජමාද් හෝ වෙනත් ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවට වඩා සැඟවුණු වෙනත් අරමුණු පවතීදැයි සැකයක් මතු වේ. අන්තවාදී මතවාදය දරන සහ අන්තවාදී ක්‍රියාවලට කුමන ආකාරයකින් හෝ සම්බන්ධව ඇතැයි සැකකරන විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කළ ද තවමත් එකදු පුද්ගලයෙකුට හෝ විරුද්ධව නඩුවක් ගොනු කිරීමට හැකියාවක් ලැබී නැත. සමහරවිට මෙම සැකකරුවන් ජනාධිපති සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මෙන් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි උසාවියකින් තීරණය කොට නිදහස් කළ හැකිය.

මෙවැනි සිද්ධීන්ගෙන් පැහැදිලිවන්නේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන්නේය යන්නයි. සාමාන්‍ය පුද්ගලයෙකු නොව ත්‍රස්තවාදී කටයුතු විමර්ශනය කිරීමේ වගකීම පැවරුණ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පවා ප්‍රමාණවත් සාක්ෂි නැතිව අත්අඩංගුවට ගන්නා රටක දේශපාලන අන්තවාදීන් සම්බන්ධයෙන් ඊට වඩා කාර්යක්ෂමව සහ සුපරික්ෂාකාරීව කටයුතු කරනු ඇතැයි සිතීම දවල් සිහිනයක් විය හැකිය.

අනිත් අතට සාමාන්‍ය අධිකරණ ක්‍රියා පටිපාටියක් යටතේ දඬුවම් නියමවූවන් පවා දේශපාලකයන්ට ගැළපෙන ස්ථාවරයක සිටින්නේ නම් නිදහස ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. ඊට හොඳම නිදසුන මුස්ලිම් භීතියක් මවා සිංහල බෞද්ධයන් ප්‍රකෝප කිරීමේ කර්තව්‍යයේ යෙදුන බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දුන් ආකාරයයි. දර්ගා නගරය සහ අලුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන 2014 පොසොන් දින ආසන්නයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මෙම හිමිට විරුද්ධව අපමණ සාක්ෂි තිබිණ. එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට හෝ ඊට නායකත්වය දුන් වෙනත් කිසිම පුද්ගලයෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන ඇති බවක් වාර්තාවන්නේ නැත. ඔහු බන්ධනාගාර ගතවූයේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනි. එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ද මහේස්ත්‍රාත්වරයෙකි. උසාවියට අපහාස කිරීම පුද්ගලයෙකුට අපහාස කිරීමට වඩා බරපතළ කරුණක් වන්නේ එය රටක නීතියට කරන අභියෝගයක් ද වන නිසාය. ඥානසාර හිමිට වසර 19ක සිරදඬුවමක් නියම වූයේද සිද්ධියේ ඇති බරපතළකම නිසා ය. එවැනි පුද්ගලයෙකුට මාස හතක් වැනි කෙටි කාලයක දී ජනාධිපති සමාව ලැබීමෙන් කියවෙන්නේ කුමක් ද? නීතිය යනු පාලකයාගේ අභිමතය යන්නද?

ඒ සමගම මැයි 13 ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සමහර පුද්ගලයන් බුරුතු පිටින් ඇප පිට නිදහස් කරන බව ද වාර්තාවේ. කලින් සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන් ප්‍රමාණවත් සාක්ෂි නැතිව අත්අඩංගුවට ගත් අය අනිවාර්යෙන් නිදහස් කළ යුතුය. එහෙත් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකීම පැවරෙන අයත් එසේ නිදහස් කරන්නේ නම් රටක නීතියක් ක්‍රියාත්මක වන බවට සහතිකයක් නොවේ. නිවැරදිව විමර්ශනය කොට සිද්ධීන් පිළිබඳව වගකිව යුතු අය අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කිරීම පොලීිසියේ වගකීමකි. එසේ නැතිව ඉවක් බවක් නැතිව අත්අඩංගුවට ගෙන පසුව ඇප පිට නිදහස් කිරීම වෘත්තීයමය පියවරක් නොවේ. එහෙත් සිදුව ඇත්තේ එයයි. මේ නිසා මෑත කාලයේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණව නීතිය ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. එසේ ක්‍රියාත්මක වූ අවස්ථා තිබුණද ඒවා මාධ්‍ය සංදර්ශන බවට පත්වූයේ නැත.

‘83 කළු ජූලියේද සිදුවූයේ එයයි. එම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ සහ ඒවා මෙහෙය වූ අය නීතිය හමුවට ඉදිරිපත් කිරීමක් නොවීය. සිදු වූ එකම දෙය ඒ පිළිබඳ දේශපාලන වගකීම පැවරුණු සිරිල් මැතිව් මහතාට ඇමති තනතුරත් අහිමි වී දේශපාලන කුණු බක්කියට විසිවීම පමණි. ඉන් යුක්තිය හා සාධාරණය ඉටුවූයේ නැත. දේශපාලන අරමුණු ඇතිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවන්නේ අහම්බයක් සේය යන පණිවුඩය ලබාදීමට ය. එය යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවතිය යුතු ලක්ෂණයක් නොවේ. රටක සමූහයක් වශයෙන් ප්‍රජාවටත් පුද්ගලයන්ටත් ආරක්ෂාවක් පවතින බවට ඇති එකම සහතිකය සාධාරණ නීති පැවතීමත් ඒවා සාධාරණව සහ යුක්තිසහගතව ක්‍රියාත්මකවීමත්ය. දඬුවම් පැනවීමත් සමාවදීමත් සිදුවිය යුත්තේ දේශපාලන අපේක්ෂා නිසා නොව නීතියේ උත්තරීතරභාවයත් සමාජ සාධාරණත්වයත් තහවුරු වන ආකාරයට ය.

‘83 කළු ජූලියෙන් ඉගෙන ගතයුතු වූයේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම තකතිරු ක්‍රියාවකි යන්නයි. එම තකතිරු ක්‍රියාවල ප්‍රතිඵල වසර තිහක් භුක්ති වින්දෙමු. තව්හිද් ජමාද් ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම සිංහල බෞද්ධකම රැක ගැනීමට හෝ පාලකයන්ට තම බලය තහවුරු කර ගැනීමට හේතු නොවේ. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමෙන් සිදුවන්නේ මද්දහනේ පතුළක් නැති අගාධයකට නැවත වැටීම ය. ඉන් ගොඩ ඒම තිස් අවුරුදු යුද්ධය හමාර කළ ආකාරයට නොහැකි වනු ඇත.