දේශපාලනය යළි ගොඩනැගීමේ දේශපාලන සිතීම්ද අවශ්‍යයි

ජයදේව උයන්ගොඩ

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේත්, ඉදිරියට එන්නට තිබෙන ජනාධිපතිවරණයේත් පසුබිම තුළ ලංකාවේ දේශපාලන සාකච්ඡාව බෙහෙවින් තියුණු මෙන්ම පරිනාමයට පත්ව තිබේ. මේ අතර අප රටේ දේශපාලනයේ බරපතළ පසුබෑම් කිහිපයක්ම සිදු වෙමින් පවතින අතර, ඒවායින් සමන්විත වන පුළුල් දේශපාලන ප්‍රවණතාවය නම් දේශපාලන විරෝධී දේශපාලනයක් (anti Political Pllitics) යළි මතුවීමයි. දේශපාලනය යන්න යළි ගොඩනැගීමේ මැදිහත් වීම් මේ මොහොතේ අප සමාජයට අවශ්‍ය වන්නේ එබැවිනි.
මේ සකච්ඡාව ඉදිරියට ගෙන යන්නට පෙර ‘දේශපාලන නොවන දේශපාලනය’ යන ප්‍රකාශයේ අර්ථය පැහැදිලි කර ගනිමු. දේශපාලන න්‍යායේ මෙම සංකල්පයේ මූලික අර්ථ දෙකක් තිබේ. පළමුවැන්න, ඒකාධිපතිවාදී රාජ්‍යන්හි දේශපාලනය රාජ්‍යය විසින් සම්පූර්ණයෙන්ම ග්‍රහණයට පාත්‍ර කරගෙන, දේශපාලන පරිකල්පන භාෂාවද සාකච්ඡාව, රාජ්‍ය බලයේ සිටින බලවේග විසින් තීරණය කර ලැබ තිබෙන විට, පුරවැසියන් දේශපාලනය නොකිරීමම ‘සාමාන්‍ය දේශපාලනය’ බවට පත්කොට ඇති පසුබිමක, එම ආධිපත්‍යවාදී දේශපාලනයට ප්‍රතිරෝධය දක්වමින් සිදුවන විරෝධතාවාදී දේශපාලන පරිකල්පනයයි, භාවිතයයි, සාකච්ඡාවයි. මෙම අර්ථයෙන් ‘දේශපාලන විරෝධි දේශපාලනය’ යන සංකල්පය තම දේශපාලන ලියවිලිවල භාවිතා කළේ චෙකොස්ලාවැකියාවේ කොමියුනිස්ට් පක්ෂ ඒකාධිපති පාලනයට විරුද්ධ අරගලයේ නායකයා වූ නාට්‍යකරුවකු සහ කලාකරුවකු වූ වක්ලාව් හැවෙල්ය. දේශපාලනය යන්න පිළිබඳ ඇති පරමබලවාදී අර්ථ නිර්ණය ප්‍රතික්ෂේප කරමින්, දේශපාලන අරගලය සහ රාජ්‍යවාදී දේශපාලනයට ගෙන ඒම එම දේශපාලනයේ අරමුණ විය.

නිශේධනීය දේශපාලනය

එහි දෙවැනි අර්ථය ඇමරිකාව, ඉන්දියාව, ලංකාව වැනි ලෝකයේ බොහෝ රටවල වර්තමානයේ සිදුවන දේශපාලන පරිවර්තනයක් තුළ විකල්ප වශයෙන් අවශ්‍ය වී තිබෙන නව දේශපාන පරිවර්තනය තුළ විකල්ප වශයෙන් අවශ්‍ය වී තිබෙන නව දේශපාලන පරිවර්තනයක් සහ භාවිතයක් හැඳින්වීමටය. වාර්ගික ජාතිකවාදය, ආගම්වාදය, වාර්ගික-ආගම්වාදී ජනකාන්තවාදය, නිර්-ලිබරල් සහ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්ප වන්දනය කිරීම, රාජ්‍යය සහ දේශපාලනය අධිකාරීවාදී මාවතකට යළි දිසාගත කිරීම සහ සමාජයේ විවිධ වාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර අනෙf්‍යා්නය අවිශ්වාසය, සැකය සහ අවසානයේදි වෛරය පුරවැසි සම්බන්ධතාවය හැඩගස්වන දේශපාලන විඥානය බවට පත් කිරීම මෙම ‘දේශපාලන විරෝධී දේශපාලනයේ’ ඇති ප්‍රකාශ වීම් සහ ලක්ෂණයි. එය ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහයෝගීතාවාදී අන්තර්- වර්ගික සම්බන්ධතා, සමාජ ගැටුම් සාමාන්‍ය නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය වලින් නිරාකරණය කිරීම, පුරවැසියන් අතර සමානත්වය සහ සහයෝගීතාව යන ‘සාමාන්‍ය දේශපාලනය’ (Normal Politics) බැහැර කරයි. එබැවින් එය නිශේධනීය දේශපාලනයකි. (Negative Politics) එකකි. එහි සුජාතභාවය ප්‍රශ්න කරමින් එයට පහර දෙයි. සාමාන්‍ය දේශපාලනයට දැන් තැනක් නැතැයි යන ජනකාන්තවාදී සටන් පාඨය ඉදිරියට දමමින් (ජනකාන්තවාදය යන සිංහල පදය මා ඉගෙන ගත්තේ, දේශපාලන චින්තනය අතින් මා සමග මූලික වෙනස්කම් තිබුණත්, චම්පික රණවක ඇමතිතුමාගෙනි. එය “Populism” යන ඉංග්‍රීසි සංකල්පයට මා මෙතෙක් දැක ඇති හොඳම සිංහල වචනයයි.) අසාමාන්‍ය විකෘති දේශපාලනයක්, සාමාන්‍ය දේශපාලනය බවට පත් කරයි. විකෘතිය නව සාමාන්‍ය දෙය (New Normal) බවට පත් කරයි.

අද රටේ පසුගිය කාලයේ පැතිරුණු, දැනුත් පැතිරුණු, අප්‍රේල් 21 දා ඛේදවාචකයෙන් පසුව උත්සන්න වූ මෙම දේශපාලන විරෝධී නිශේධනීය දේශපාලනය, අවිඥානික ලෙස දාර්ශනික අනුප්‍රාණය ලබා ඇත්තේ, 1920 ගණන් වල සහ 1930 ගණන් වල ජර්මනියේ බලසම්පන්න දේශපාලන න්‍යායවේදියකු වූ කාල් ෂ්ම්ඞ්ට් (Karl Schmidt) නම් ෆැසිස්ට්වාදී චින්තකයාගෙනි. උග්‍ර ලිබරල් විරෝධි දේශපාලන න්‍යායවේදියකු වූත්, ෆැසිස්ට්වාදය ඉදිරිපත් කළ උග්‍ර රණවාදී සහ පරමබලවාදී දේශපාලන චින්තනයෙන් ඉහළම න්‍යායාචාර්යවරයා වුත් කාර්ල් ෂ්මිට්ගේ අදහස් වන්දනය කරන ‘දේශපාලන විරෝධි දේශපාලන’ විකල්ප ඉදිරිපත් කරන දෙතුන් දෙනකු ලංකාවේද සිටිති. ෂ්මිට්ගේ කේන්ද්‍රීය න්‍යායික තර්කය නම් ‘දේශපාලනය’ යන්නේ හරයේම ඇත්තේ ඉතාම සරල කාරණයක් බවත්, එය නම් ‘මිතුරා සහ සතුරා’ අතර ඇති වෙනස තීරණාත්මක ලෙස පැහැදිලි කර ගැනීම බවත්ය. දේශපාලන සටනේ අර්ථය තිබෙන්නේ, සතුරා නිවැරදිව හදුනාගෙන පරම සතුරා විනාශ කිරීමේ අරමුණෙන් නිරත වන දයා විරහිත බල අරගලයේය. හිට්ලර්ගේ නායකත්වයෙන් ෆැසිස්ට්වාදී ව්‍යාපාරය කළේ මෙම ‘නියම දේශපාලනය’ යන්න ෂ්මිඞ්ගේ අවසාන දේශපාලන නිගමනයයි. එය වනාහි දේශපාලන විරෝධී දේශපාලන දැක්මකි.

මුස්ලිම් ‘පරම සතුරා’

දේශපාලනය පිළිබඳ මෙම කාල් ෂ්මිට්වාදී පරිකල්පනය, වාර්ගික වශයෙන් බෙදී ගිය සමාජවල දේශපාලනඥයින්, දේශපාලන ක්‍රියාකාරකයින්, බුද්ධිමතුන් සහ ජනමාධ්‍යවේදීන් ක්‍රියාවට නංවන්නේ, ෂ්මිට්ගේ පොත් කියවා තබා ඔහුගේ නමවත් නොදැනය.අප රටේ සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු සහ කතෝලික ප්‍රජාවන්ගේ සෑම සමාජ ස්ථරයක් අතරම මේ දිනවල වේගයෙන් පැතිරී යන උග්‍ර ඉස්ලාම් විරෝධී වර්ගවාදී සහ රණවාදී දේශපාලන විඥානය, ඉහත කී ආකාරයෙන්, මුළු මුස්ලිම් ප්‍රජාවම ‘පරම සතුරකු’බවට යථාරෝපණය කිරීමේ දේශපාලන ප්‍රවණතාවකි. මෙය පසුගිය අවුරුදු කිහිපය තුළ අගමැති මෝඩිගේ බී.ජේ. පී. ආණ්ඩුව යටතේ ඉතා සියුම් ලෙසත්, විවෘතවත් දියත් කරන ලද නව දේශපාලන ව්‍යපෘතියක්ද විය. ඉන්දියානු රාජ්‍යය තුළ හින්දු ආධිපත්‍යය ස්ථාපිත කිරීමේත්, මුස්ලිම් ප්‍රජාව භීතියට, සන්ත්‍රාසයට සහ නිරන්තර අනාරක්ෂාවට භාජනය කිරීම මගින් එම මුළු ප්‍රජාවම ‘ත්‍රස්තිත පුරවැසි ප්‍රජාවක්’ (A Terrorized Citizenry) බවට මෝදී රජය විසින් පත් කරන ලද්දේ මුස්ලිම් ත්‍රස්තවාදයම ඒ ක්‍රියාවලිය සාධාරණය කිරීමට යොදා ගැනීමෙනි. වර්තමාන ඉන්දියාවේ ඇති මෙම ‘දේශපාලන විරෝධී දේශපාලනය’ ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්පයක් ඉදිරිපත් කිරීමට ගාන්ධි පවුලේ නායකත්වය යටතේ ඇති කොන්ග්‍රස් පක්ෂය මෙන්ම සියලු විපක්ෂ බලවේග අසමත් වීමෙන්, ඉන්දියාවේ ගිය සතියේ සිදු වූයේ තම දේශපාලන විරෝධී දේශපලනයම ඉන්දියාවේ ‘සාමාන්‍ය දේශපාලනය’ ලෙස ජයග්‍රහණය කිරීමයි. ලංකාවේ දේශපාලනයද දැන් ඇත්තේ මෙම අනතුර ඉදිරියේය.

අභියෝග කිරීම

මෙයට විකල්ප තිබෙන්නේ, මෙම ‘දේශපාලන විරෝධී දේශපාලනය’ට අභියෝග කිරීම තුළය. ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍ය, අන්තර් වාර්ගික වෛරය නොව සහෝදරත්වය සහ සහයෝගීතාව, සමාජ ප්‍රචණ්ඩත්වය නොව සහජීවනය, වාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර පරසතුරුතාව නොව සංවාදාත්මක ප්‍රතිවාදීත්වයට ඉඩ සලසන ‘දේශපාලනය’ යන සංකල්පය පිළිබඳව සිදු කරන අලුත් දේශපාලන පරිකල්පනය නැතහොත් දේශපාලනය යනු කුමක්දැයි යන්න අලුතෙන් ගොඩ නැගීමකය. දේශපාලනය සිතීම සහ භාවිතය අලුත් කිරීමකය. ‘දේශපාලනය’ යන්න ප්‍රජාතන්ත්‍රවාදී සහ දේශපාලන විමුක්තිවාදී නිෂ්ඨාවන් සඳහා කරන යළි අත්පත්කර ගැනීමකය. යුරෝපීය මෙන්ම ඉන්දියානු මානුෂිකවාදී දේශපාලන චින්තනය සහ න්‍යාය තුළද මේ සඳහා බුද්ධිමය අනුප්‍රාණය ලබාගත හැකි හරවත් මූලාශ්‍ර තිබේ.

අද පවතින අර්බුදය හමුවේ, දේශපාලනය යළි ගොඩ නැගීමේ ව්‍යායාම සඳහා හොඳම අවකාශයක්, මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ මතුවන ජනාධිපතිවරණ උණුසුම තුළ විවෘත වනු ඇත. එයින් ප්‍රයෝජන ගැනීමට නම් අපට අවශ්‍ය වන්නේ තම දේශපාලන විඥානය නව්‍යකරගත්, ජනාධිපති අපේක්ෂකයකු හෝ කිහිප දෙනෙකි. දැනට තිබෙන තත්ත්වය තුළ ‘දේශපාලන විරෝධි දේශපාලනය’ අප රටේ අධිපති දේශපාලන විඥානය බවට පත් වී තිබේ. එම ආධිපත්‍යයේ රැල්ල තුළ ජනාධිපති අපේක්ෂකයන් වීමට, රාජපක්ෂ පවුලේ සාමජිකයන්ද, එ .ජා පෙරමුණු ආණ්ඩුවේ කැබිනට්ටුවේ දෙතුන් දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද මහත් විජිගීෂාවෙන් ඉදිරිපත් වී සිටිති. තමන් පමණක් ලංකාවේ අර්බුදයේ එකම ‘ගැලවුම්කාරයාය විමුක්තිදායකයාය’ යන සටන් පාඨය ඉදිරියට දමමින් මතු වී සිටින මෙම ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ සතු පොදු ලක්ෂණය නම් දේශපාලනය ගැන ඔවුන් සිතන්නේ ප්‍රති- දේශපාලනික (anti- Political)

අපේක්ෂා රාමුවක සිටවීමයි. එනම් දේශපාලනය නැති කිරීම තුළින් දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂාව සහ වාර්ගික බහුතරවාදී රාජ්‍යක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති තුළින් වීමයි. ඔවුන් වනාහි දේශපාලන විරෝධී දේශපාලනයේම විවිධ මුද්‍රණයන් බව පෙනේ.

අලුත් සිතීමක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිතීමේදී දැනට හිස් තාප්පයක් ඉදිරිපිට සිටගෙන සිටින තත්ත්වයට පත් වි ඇති, 2015 ජනවාරි දේශපාලන පරිවර්තනයට දායකත්වය වූ බලවේග වලට, දේශපාලන වශයෙන් අලුතෙන් සිතන්නට, ඉහත අප කළ සාකච්ඡාව ආධාර වේ යැයි මට සිතේ. අලුත් දේශපාලන පරිකල්පනයක් සඳහා, දේශපාලන මැදිහත් වීම අලුතින් දේශපාලනීකරණය කිරීම සඳහා, බුද්ධිමය අවකාශයක් අප රටේ දේශපාලනයේ පසුගිය සති කීපය තුළ සිදු වු මහා පසුබෑම්දාමය මැද්දේ පවා, විවෘත වී තිබේ. එම අවකාශය ප්‍රයෝජනයට ගන්නට නම්, කළ යුත්තේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීම නොව, සමාජයේ දේශපාලන පරිකල්පනය විඥානය, සහ ගමන් මග සම්පූර්ණයෙන් නව්‍යකරණයට පාත්‍ර කරන සහ නව දිසාවකට යොමු කරන, පුළුල් ප්‍රජාතන්ත්‍රීය සන්ධානයක් අලුතින් ගොඩ නැගීමයි. එහි නියෝජිතයා වන පොදු, ස්වාධීන හෝ ඒකාබද්ධ හෝ යන කවර විශේෂණයෙන් හෝ හඳුන්වන අපේක්ෂකයාගේත්, ඔහු හෝ ඇය වටා කඳුවුරු බැඳ ගන්නා බලවේග වලත්, මූලික ඉලක්කය විය යුත්තේ, ජනාධිපතිවරණය ජය ගැනීම නොවේ. ජය ගැනීම අතුරු ප්‍රතිඵලයක් විය හැකිය. අති මූලික ඉලක්කය විය යුත්තේ අප රටේ දේශපාලන විඥානය, දේශපාලන සාකච්ඡාව සහ දේශපලාන ගමන් මග, දැනට අධිපති ධාරාව වී තිබෙන දේශපාලන විරෝධී දේශපාලනයෙන් කඩා වෙන්කර දැමීමට අවශ්‍ය දැවැන්ත දේශපාලන මතවාදී සහ බුද්ධිමය ව්‍යාපාර ගණනාවක්ම දියත් කිරීමයි. ඒ තුළින් මිෂෙල් පූකෝ නම් ප්‍රංශ චින්තකයා කියූ පරිදි දැනට පවතින අධිපති දේශපාලන කතිකාව නිරායුධ කිරීමයි. විලක්ප දේශපාලන කතිකාවක් හෝ කතිකා කීපයක්ද පරිකල්පන ආඛ්‍යානයද ගොඩ නැගීමයි.

විශ්වාසභංග ඉදිරිපත් කරමින්, පැරණි සාමාන්‍ය දේශපාලන මාවතේම නව අරමුණක් නැතිව ගමන් කරන ජවිපෙ නායකත්වයත්, කරු ජයසූරිය මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යළි මතු කිරීමට උත්සාහ ගන්නා සිවිල් සමාජ ක්‍රියාකාරිකයනුත්, වමේ අපේක්ෂකයකු සහ වමේ න්‍යාය පත්‍රයක් සොයා යන වාමාංශික ශ්‍රේණිනුත්, මා යෝජනා කරන විකල්පය ගැනද නැවතී සිතා බලන්නේ නම් මැනවැයි මට සිතේ. ඒ සියලු දෙනාගේම බුද්ධිමය සටන් පාඨය විය යුත්තේ ‘දේශපාලනය අලුත් කරමින් සඑ දේශපාලනය අලුතින් ගොඩ නගමින් ජනාධිපතිවරණයට මැදිහත් වෙමු.’ යන්නයි. මෙය වනාහි ඡන්දයෙන් නොදිනුවත්, දේශපාලන වශයෙන් දිනීමේ විකල්පියකි.