ප්‍රතිපත්ති ධර්මය වැළඳ ගනිමු

හමුදා ආරක්ෂාව යොදාගෙන වෙසක් උත්සවය පැවැත්වූ ආකාරය ගැන මහා සංඝරත්නය ඇතුළු තමන් වහන්සේට කිසිම සතුටක් නැති බවත් සියලු කලබලකාරී තත්ත්වයන්ට සංහිඳියාව හේතු වූ බවත් අස්ගිරි නාහිමියෝ ඉකුත් 27දා බුද්ධ ශාසන ඇමතිවරයාට කියා තිබිණි.

බෞද්ධයන් නොබියව වෙසක් උත්සවය සැමරිය යුතු බව කලබලය මැද්දේ මුලින්ම කීවේ විපක්ෂ නායකවරයාය. ආණ්ඩුවට එය නොකළ යුතුය කියා දෙවැනි වන්නට බැරි නිසා රනිල් වහාම එම අදහසම පුනරුච්චාරණය කළේය. සැබැවින්ම මෙවර බෞද්ධ ජනයා ආමිස පූජාවලට වැඩි වැඩියෙන් සහභාගි වූයේ ප්‍රතිපත්ති පූජාව ධර්ම විචාරක්ෂියෙහි තබාගෙන නොවේ. විශේෂයෙන්ම වෙසක් සැරසිලි කිරීමේදී බෞද්ධ ජනයා තුළ වෙනදා නැති උමතුවක් දිස්විය. තවුහිත් ජමාත්ලාට පාඩමක් උගන්වන්නට මෙන් ඔවුහු හතර අතේ පාලම් කොඩි දැමූහ. සැරසිලි කැරුණේ අඩුව පිරිමසා ගැනීමට බව බැලූ බැල්මට පසක් කැරිණි. අස්ගිරි නාහිමියන් චෝදනාව එල්ල කොට තිබුණේ ආණ්ඩුවටය. ආණ්ඩුවේ ආරක්ෂක වැඩසටහන්වල දුබලතාව නිසා පෙහෙවස් සමාදම පවා හමුදා ආරක්ෂාව දාගෙන සිදුකරන්නට වී තිබීම උන්වහන්සේගේ විවේචනයේ හරය වී තිබිණි. ආණ්ඩුව එම විවේචනය පිළිගත යුතුය. ඒ සමගම අස්ගිරි නාහිමියනුත් මෙහි ප්‍රතිපක්ෂය ගැන අවධානය යොමු කළ යුතුය. එනම් ආණ්ඩුවේ තිබුණු සංහිඳියා දර්ශනය මේ කලබලවලට හේතුව යැයි කීමේදී උන්වහන්සේ එම තත්ත්වය දෙස ඊට වඩා විචක්ෂණශීලීව බැලිය යුතුව තිබුණි. තවුහිත් ජමාත් සංවිධානය පල්ලිවලට මිනිස් බෝම්බ එව්වේ සංහිඳියා වැඩපිළිවෙළ නිසා නොවේ. එසේ වූයේ ඇත්ත සංහිඳියා වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක නොවුණු නිසා යැයි සිතිය හැකිය. එනම් යහපාලන ආණ්ඩුව සංහිඳියාව යන්නට මතුපිට අර්ථයෙන් එහා ගිය ගැඹුරු අරුතක් නොදුන් නිසාය.

2014දී බේරුවල හා දර්ගා නගරයේ ඇති කළ මුස්ලිම් සංහාරය හා දේපළ විනාශය ගැන අස්ගිරි නාහිමියන් කියන්නේ කුමක්ද? සතුරකු නැතිව පැවැත්මක් නැති සිංහලෝත්තමවාදී දේශපාලන සමාජය දෙමළ සතුරා වෙනුවට මුස්ලිම් සතුරකු නිර්මාණය කරගැනීමට දිගුකාලීන වැඩපිළිවෙළක් දියත් කර තිබීම ගැන නායක හිමියන් කියන්නේ කුමක්ද? හිමිවරුන් සිරගත කළ බවට වත්මන් ආණ්ඩුවට චෝදනා කරන නායක හිමියන් බුදුසරණ වෙනුවට අබසරණ ගිය චීවරධාරීන් ලංකාවේ දිගටම තිබුණු බව නායක හිමියන් කියන සංහිඳියාව විනාශ කිරීම ගැන කියන්නේ කුමක්ද? තවදුරටත් ඔවුන් ජාතීන් අතර වෛරයේ බිජු වැපිරීම ගැන කියන්නේ කුමක්ද?

සුළු ජාතීන්ගේ ජීවිත දෙසට විසිහතර පැයේම එබී බලාගෙන අපට අනතුරක් කළ හැකිය යන සැකයෙන් සිටිනවාට වඩා හැම ලාංකිකයකුටම නිදහසේ ඇත්ත සංහිඳියාව සමග සමාරෝප වන්නට ඉඩදීම වැදගත්ය. වත්මන් ආණ්ඩුව එම නිදහස කාටත් දුන් බව කිව යුතුය. ආණ්ඩුව සුළඟ එනු පිණිස දොර කවුළු හැර තැබුවත් ඔවුහු ඒ අත්‍යවශ්‍ය පිළිසඳර මගහැර ගියහ. පරාජිතයන්ව සිටි දෙමළ සමාජය එහිදී ප්‍රශ්න යටපත් කරගෙන සිටි නමුත් කිසියම් ආතතියකට පත්ව සිටි මුස්ලිම් සමාජය බරපතළ කෙළවරකට තල්ලු වූයේය. එම තල්ලු වූ ඉම දෙමළ සමාජය තල්ලු වූ තැනටත් වඩා බෙහෙවින්ම විනාශකාරීය.

අනෙක් කරුණ වන්නේ මේ ව්‍යසනය රටේ හුදු අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවීමය. රට අභ්‍යන්තරයේ කල්ලි කණ්ඩායම් බිහිකිරීමට සිංහල අන්තවාදීන්ගේ ක්‍රියාකලාපය හේතු වුවත් අන්තර්ජාතිකව මුස්ලිම් රාජ්‍යය යන අදහස වෙනුවෙන් කැපවුණු වහාබ්වාදී ප්‍රවණතාවක් ලංකාවේ ගොඩ නැංවුණි. ලංකාවේ සිංහල අන්තවාදයෙන් බැට කෑ පිරිස උත්සාහයෙන් හෝ නිරුත්සාහයෙන් මුස්ලිම් අන්තවාදයේ දැඩි ආගමික කෙළවරකට ගැට ගැසීම යනු අනවරත අර්බුදයක ආරම්භයකි. මෙම සංකීර්ණ තත්ත්වය කවර ආණ්ඩුවකටවත් වෙනස් කළ හැකි නොවේ. එහෙත් අවධානයෙන් කටයුතු කිරීමෙන් හා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමෙන් පාලනය කරගත හැකි තත්ත්වයකි. ලංකාවේ පාලකයන් ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියාකර තිබියදීත් ඉන්දීය බුද්ධි අංශ වෙතින් පාස්කුදා ප්‍රහාරය ගැන තොරතුරු ලැබිණි. ඒ ගැන අවම හෝ අවධානයක් නොතිබීම ගැන ආණ්ඩුව වරද පිළිගත යුතුය.

වෙසක් පොහොය යෙදී තිබුණේ බිහිසුණු තත්ත්වය පහව නොගිය වකවානුවක බැවින් වඩා වැදගත් වන්නේ මහජනයාගේ ආරක්ෂාව යන්න පිළිගත යුතු තත්ත්වයකි. පාසල් දරුවෝ මාසයක්ම පාසල් නොගියහ. රටේ තවත් බොහෝ කටයුතු කල් දැමිණි. එම පසුගමන් යාමේ අරමුණ ආරක්ෂාව තහවුරු කර ගැනීමය. කෝච්චියේ, බස්රියේ ගියත් රෝහලට ගියත් තවමත් ආරක්ෂක පියවරයන්ට අනුගතවීමට කාටත් සිදුවෙයි. පොසොන් පොහොය එළැඹෙන්නේත් වෙසක් පොහොයට වඩා ලොකු වෙනසක් රහිතවය. මෙවැනි මොහොතක වඩා වැදගත් වන්නේ උමතුවෙන් මෙන් වෙසක් හෝ පොසොන් සැමරීම නොව උමතුව අප තුළම පරදා බෞද්ධ ප්‍රතිපත්ති වඩවාගෙන එය අභ්‍යාසයක් කරගැනීමය. ලංකාව දැන්වත් ප්‍රදර්ශනකාමී බුද්ධාගමෙන් විතැන්ව ප්‍රතිපත්ති ධර්මය වැළඳ ගත යුතුය. මහනායක හිමිවරු රටට අවධාරණය කළ යුතුව තිබෙන්නේ එම ආදර්ශය මිස ආමි එක යටතේ වෙසක් සැමරීම පාරාජිකා තත්ත්වයක්ය යන නොවැදගත් සංශය නොවේ.