අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ මගහැරීම

වික්ටර් අයිවන්

මතුපිට ගින්න නිවී ඇතත්, අලුයට තිබෙන ගින්න නිවී නැත. මතුපිට ගින්න නිවීමේ උත්සාහයක් පෙනෙන්නට තිබුණත් අලුයට තිබෙන ගින්න නිවීමේ උත්සාහයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. මුස්ලිම් විරෝධී ආවේගයන් සඳහා බීජ වැපුරූ ප්‍රධානතම චරිතයක් ලෙස සැලකිය හැකි ඥානසාර හිමි ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ කුමක්ද? එය දේශපාලන අර්ථයෙන් සිදුකරන ලද්දක් බව පැහැදිලිය. එහෙත් ඉන් අපේක්ෂා කරන දේ කුමක්ද යන්න හරියටම පැහැදිලි නැත.
මුස්ලිම්වරුන් කෙරෙහි භීතියක් හා වෛරයක් ඇති කිරීමට හේතුවන කට කතා පාලනයකින් තොරව සමාජය පුරා පතුරුවා හරිමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මුස්ලිම්වරුන් සිංහල ජාතිය වඳ කිරීම සඳහා සංවිධානාත්මක කූට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේය කියන පරණ කතාවට අලුත් වටිනාකමක් ලබාදෙන දහස් ගණනක් සිංහල අම්මලා වඳ කළ දොස්තර කෙනකු පිළිබඳ කතාවක් කරළියට ගෙන තිබෙන බව පෙනේ. අලුයට තිබෙන ගිනි පුපුරු නොනිවෙන තත්ත්වයක තබාගැනීමට කට කතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. රටේ බොහොමයක් ජනමාධ්‍යවල හැසිරීම වගකීමෙන් තොරවනවා පමණක් නොව ඒවා ඉතාමත් විනාශකාරී කාර්යභාරයක් ඉටුකරමින් තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

හදිසි නීතිය යටතේ කිසිදු පදනමක් නැතිව කෙරෙන අත්අඩංගුවට ගැනීම් ගැනද අසන්නට ලැබේ. නැවක සුක්කානමක් මුද්‍රණය කෙරුණු ගවුමක් ඇඳගෙන සිටි දුප්පත් මවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර තිබේ. එහිදී බලධාරීන් (ගවුමේ) තිබී ඇති සුක්කානම ධර්ම චක්‍රය ලෙස හඳුනාගෙන තිබෙන බව පෙනේ.
වෙසක් සැරසිලිවල ඡායාරූප ගනිමින් සිටින පාසල් යන වයසේ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කිරීමේ සිද්ධියක් රත්නපුරෙන් අසන්නට ලැබේ. මේ තිදෙනාගෙන් එක් අයකු සිංහලද, අනෙක් දෙදෙනා මුස්ලිම් ද වේ. තිදෙනා එක ප්‍රදේශයක ජීවත් වන මිත්‍රයෝය. තමන් ළඟ තිබෙන දුරකතනවලින් වෙසක් සැරසිලිවල ඡායාරූප ගනිමින් සිටි මේ තිදෙනා අල්ලා පොලිසියට භාරදී ඇත්තේ බෞද්ධ හිමිනමකි. තිදෙනාම අහිංසකයන් බව තේරුම් ගැනීමට පොලිසිය සමත් වී ඇතත්, ඒ තිදෙනා නිදහස් කළහොත් තමන් වහන්සේ පොලිසිය ඉදිරිපිට ගිනි තබා ගන්නා බවට එම හිමි නම පොලිසියට තර්ජනාත්මකව ප්‍රකාශ කිරීම නිසා පොලිසිය එම අහිංසක තරුණයන් තිදෙනා රිමාන්ඞ් භාරයට පත්කර තිබේ.

සිංහල තරුණයාගේ පියා – වෘත්තියෙන් මිනුම්දෝරුවෙකි. භික්ෂූන් වහන්සේගේ මගපෙන්වීම අනුව අත්අඩංගුවට ගත් සිංහල තරුණයාගේ පියා සමග භික්ෂූන් වහන්සේ ඇති කරගත් මිනුම්දෝරු ප්‍රශ්නයක් තිබී ඇති අතර. තරුණයන් පොලිසියට භාරදීමේ සිද්ධිය කෙරෙහි තරුණයාගේ පියා සමග ඇතිකර ගත් මතභේදයද බලපා තිබෙන බව කියනු ලැබේ.
වැඩියෙන්ම මානසික පීඩාවකට ලක්ව සිටින පිරිස බවට පත්ව සිටින්නේ සිංහල පාසල්වල අධ්‍යාපනය ලබන මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝය. ඔවුන් සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව සමහර ගුරුවරුන්ගේද උසුලු විසුලු වලට ලක්වන තත්ත්වයක් හැම තැනකම පාහේ ක්‍රියාත්මක වන බව අසන්නට ලැබේ. මේ හා සමාන තත්ත්වයක් වැඩපොළවල්වල හා කාර්යාලවලද ක්‍රියාත්මක වේ.

අඳුරේ අතපත ගෑම

පෙනෙන්ට තිබෙන ඉතාමත්ම භයානක දේ ලෙස සැලකිය හැක්කේ ඇතිවූ සිද්ධීන් සමාජය තුළ ඇති කර තිබෙන ආවේගයන් ජන සමාජයේ යහපැවැත්මට හා ආර්ථිකයට ඇති කර තිබෙන අතිවිශාල හානිය දේශපාලන බලධාරීන් මුළුමනින් නොසලකා ක්‍රියාකරන තත්ත්වයක් පෙනෙන්නට තිබීමය.
සමාජයේ කාලයක් තිස්සේ පැවති කැකෑරෙන ප්‍රශ්නයක් පුපුරනසුලු තත්ත්යකට වර්ධනය වූ විට ඒ නිසා පැන නගින ප්‍රචණ්ඩ ගැටුම් පාලනය කිරීම පමණක් ප්‍රමාණවත්ද? ඒ නිසා ඇතිවී තිබෙන විරසකයන්ට හා ආතතීන්ට පවතින්නට ඉඩ හැර බලා සිටින ප්‍රතිපත්තියක් රටේ පොදු යහපතට හේතුවේද?

මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර එකිනෙකා කෙරෙහි ලොකු අවිශ්වාසයක් සේ ම එම දෙපක්ෂය අතර ලොකු පරතරයක්ද ඇති කිරීමට හේතුවී තිබේ. සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් ජනයා සේ ම, මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශවල ජීවත් වන සිංහල ජනයාද ජීවත් වන බව පෙනෙන්නේ බියෙන් හා සැකයෙනි. 13 වැනිදා රාත්‍රියේ ආනමඩුව ප්‍රදේශයේ තිබෙන මුස්ලිම් ගම් තුනක මිනිසුන් ජීවත් වී ඇත්තේ සිය නිවෙස්වල නොව වනාන්තරයේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේද මුස්ලම් ගම් කිහිපයකට මැදිවී තිබෙන සිංහල ගමක මිනිසුන් 13 වැනිදා රාත්‍රියේ ජීවත් වී ඇත්තේ නිදි වර්ජිතවය. මේ තත්ත්වය අභ්‍යන්තර යුද්ධයක් පැවති කාලයේ මායිම් ගම්මානවල ජීවත් වූ ජනතාවගේ තත්ත්වයට සමානය.

පාස්කු පහරදීම්වලට පෙරත්, රට තිබුණේ අර්බුදයකය. පාස්කු පහරදීම්වලින් පසුව දැන් රට තිබෙන්නේ ඊටත් වඩා තියුණු සංකීර්ණ අර්බුදයකය. ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම වැළකීම අත්‍යවශ්‍ය වුවත්, එයින් පමණක් මෙම අර්බුදය විසඳිය නොහැකිය. මිනිසුන්ගේ සිත් සතන් තුළ ඇතිවී තිබෙන තුවාලද නැති කළ යුතුය. ඕනෑම ප්‍රශ්නයක් ඇතිවූ විට මතුපිටින් අතපත ගාන ප්‍රවේශයක් මිස, ප්‍රශ්නය දුරදිග යන්නට ඉඩ නොදී ප්‍රශ්නයට බලපාතිබෙන හේතු සොයා බලා ඊට විසඳුම් ලබාදෙන ප්‍රවේශයක් ලංකාවේ පාලකයන් දන්නේ නැත.

දෙමළ ත්‍රස්තවාදය

දෙමළ ප්‍රශ්නයක් ඇතිවීම වළකාගන්නට ඉඩ තිබුණා සේම ප්‍රශ්නයක් ඇතිවූ පසු එය දුරදිග යෑම වළකා ගැනීමේ හැකියාවක්ද තිබුණි. එහෙත් ඒ සඳහා වන දැක්මක් රටේ පාලකයන්ට නොතිබුණි. සිංහල පමණක් භාෂා ප්‍රතිපත්තිය වෙනුවට දෙමළ ජනතාවටද, දෙමළ භාෂාවෙන් කටයුතු කරන්නට ඉඩදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් දෙමළ ප්‍රශ්නයක් ඇතිවීම වළකා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. සිංහල පමණක් ප්‍රතිපත්තියක් ඇති කිරීමෙන් පසු ඒ නිසා ලොකු ජාතිවාදී කෝලාහලයක් ඇතිවීමෙන් පසුව හෝ දෙමළ ජනයාට සිදුකර තිබුණ එම අසාධාරණය නිවැරදි කළේ නම් දෙමළ ත්‍රස්තවාදයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. 1958 වර්ගවාදී කෝලාහලයෙන් පසුව හෝ ඒ වරද නිවැරදි නොකළා පමණක් නොව, 60 දශකයේ අගභාගයේදී එජාප ආණ්ඩුව එය නිවැරදි කරන්නට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් එකතුව ඊට ඉඩ දුන්නේ නැත. ඉන්පසු 72 ව්‍යවස්ථා සම්පාදනයේදී එය නිවැරදි කළ යුතුව තිබුණද, සමගි පෙරමුණු ආණ්ඩුව එසේ කිරීමෙන් වැළකී සිටියා පමණක් නොව, දෙමළ ජනතාවගේ ආත්ම ගෞරවය නැතිභංග කිරීමට හේතුවී තිබුණු එම භාෂා ප්‍රතිපත්තිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කරමින් එය පහසුවෙන් වෙනස් කළ නොහැකි ගල්ගැසුණු දෙයක් බවට පත් කළේය. එම ආණ්ඩුව දෙමළ ජනයාට හිංසා කිරීම ඉන් නතර කළේ නැත. විශ්වවිදයාල අධ්‍යාපනයට එකතු වන දෙමළ ශිෂ්‍යයන්ගේ අනුපාතිකයේ ශීඝ්‍ර අඩු කිරීම ඇති කිරීමට හේතුවන ලෙස ප්‍රමිතිකරණ නීතියක්ද ඇති කළේය. ඒ සිය්ලලෙහි අවසාන ප්‍රතිඵලය වූයේ වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගන්නවා හැර තමන්ට තෝරා ගැනීමට අන් විකල්පයක් නැතැයි සිතන අන්තවාදී තැනකට දෙමළ ජනතාව තල්ලුවීමය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බොහෝ ප්‍රමාද වී මේ වරද නිවැරදි කළද ඒ වනවිට දෙමළ ජනතාව ආපසු හැරී ඒමක් කිරීමට බැරි තරමට දුර දිග ගොස් තිබුණි. සන්සුන්ව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමට අවශ්‍ය සංයමය දෙමළ ජනතාව ඒ වන විට අහිමි කරගෙන සිටියේය. ඒ තත්ත්වය නිවැරදි කිරීමට අවශ්‍ය කරන දේශපාලන ප්‍රඥාව ජනාධිපති ජයවර්ධනටද නොතිබුණේය. රට දිග් ගැසුණු අභ්‍යන්තර යුද්ධයකට තල්ලුවීම එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලය විය.

ඉන් තවත් දීර්ඝ කාලයකට පසුව වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගැනීමේ අරමුණ කරා කිසියම් විශාල දුරක් ගොස් සිටි එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්නට ලංකා ආණ්ඩුව සමත් විය. එහෙත් ජයග්‍රාහී රාජපක්ෂ ආණ්ඩුව හිමිකරගත් එම ජයග්‍රහණයේ ප්‍රීතිය උපරිම ලෙස භුක්ති විඳින්නට උත්සාහ කළා විනා ප්‍රචණ්ඩ අරගල පැවති දීර්ඝ කාලය තුළ හා අවසාන යුද්ධය තුළ දෙමළ ජනතාවට බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් ඔවුන්ට ඇතිවී තිබුණු බරපතළ තුවාල සුව කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීම මුළුමනින් නොසලකා හරින ලදි. ඉන්පසු බලයට පත්වන යහපාලන ආණ්ඩුවද ඒ වැරදි නිවැරදි නොකළේය.

මුස්ලිම් ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන පිළිවෙතද ඊට වෙනස් නැත. මෙවැනි සංකීර්ණ අර්බුදයකදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කිරීම පමණක් ප්‍රමාණවත්ද? මුස්ලිම් සමාජය කෙරෙහි මුස්ලිම් නොවන සමාජයේ පවත්නා පසමිතුරු ආකල්පය සේ ම මුස්ලිම් කඩසාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තිය මුස්ලිම් සමාජය මානසික වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන්ද දරුණු පීඩාකාරී තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබෙනු නොවැළැක්විය හැකිය. එම තත්ත්වය ඇති කළ හැකි අනාගත ප්‍රතිඵල තේරුම් ගැනීමට ආණ්ඩුව සමත් වී නැත.

ජාතිය ගොඩනැගීම – ගාන්ධිගේ මාවත

ඕනෑම රටක දියුණුව පිණිස අභ්‍යන්තර සමගිය අත්‍යවශ්‍ය කොන්දේසියකි. වැඩවසම් ක්‍රමයක් තිබූ ලංකාව බි්‍රතාන්‍ය පාලන කාලයේදී ධනේශ්වර ක්‍රමයකට මාරුවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පරණ රාජාණ්ඩු ක්‍රමය අහෝසි වී නූතන ජාතික රාජ්‍ය බිහිවිය. රටට නිශ්චිත දේශ සීමා සහිත මධ්‍යගත රාජ්‍යය පාලන ක්‍රමයක් ඇතිවූයේ ඉන්පසුවය. නූතන ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නූතන ජාතිය ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වන අතර යටත්විජිත තත්ත්වයක තිබූ රටවල නූතන ජාතිය ඉබේ ඇතිවන්නක් නොව ගොඩනගා ගත යුතුව තිබෙන්නකි.

බොහෝ යටත්විජිත රටවලට නිදහස දිනාගැනීම සඳහා යටත්විජිත ආධිපත්‍යයට එරෙහිව සටන් කරන තැනකට යන්නට සිදුවූ අතර යටත්විජිත ආධිපත්‍යය පරාජය කිරීම සඳහා දේශීය ජනතාවගේ පූර්ණ ශක්තිය යොදා ගැනීම සඳහා ස්වදේශීය සමාජයේ පැවති අභ්‍යන්තර බෙදීම් තුනී කොට එම සමාජය රට මුල් කරගත් පොදු හැඟීමකින් එකට බැඳ තබන ඒකාග්‍ර සමාජයක් බවට පත්කිරීමට සිදුවිය. එම ජාතික ඒකාග්‍රතාව විවිධ රටවල් විවිධ ආකාරයකින් ඇතිකර ගන්නා ලද අතර ආසියානු යටත්විජිත රටවල් අතරින් ඒ සඳහා ප්‍රශස්ත හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් යොදාගත් රට ලෙස සැලකිය හැක්කේ ඉන්දියාවය.

ඉන්දියාවේ තිබුණු සමාජ බෙදීම් කෙරෙහි වඩාත්ම බලපෑවේ කුලභේදය, වර්ග හා ආගම් භේදයන්ය. ගාන්ධිගේ ඉන්දියානු කොංග්‍රසය මේ බෙදීම් ඉබේ නැතිවන්නට ඉඩ හැරිය යුතු දෙයක් ලෙස සැලකුවේ නැත. එහෙත් ඒවාට තිබෙන සමාජ පිළිගැනීම අහිමි කරන මතවාදී ව්‍යාපාරයක් ඔස්සේ නැති කළ යුතුව තිබෙන දෙයක් ලෙස සලකා ක්‍රියා කළේය.
ඉන්දියානු නිදහස් ව්‍යාපාරය කුල ක්‍රමය සලකන ලද්දේ නූතනයට අවශ්‍ය නොවන මුලින් උපුටා දැමිය යුතු දෙයක් ලෙසය. කුලභේදයෙන් වැඩියෙන්ම බැටකන ජනතාව බවට පත්ව සිටියේ හින්දු කුල ක්‍රමයේ පතුළේම සිටි අස්පර්ශනීය කුලවලට අයත් ජනයාය.

ඉන්දියානු කොංග්‍රසයේ ප්‍රමුඛ නායකයන් මහජනයාට පෙනෙන ලෙස හරිජන නිවාසවලින් ආහාර ගත්තේය. මහත්මා ගාන්ධි තමන්ගේ සංක්‍රමණීය ආශ්‍රමයන් බොහෝ විට හදා ගත්තේද හරිජනයාගේ පැල්පත් නිවාස පරිශ්‍රමවලය. ඒ නිසා ගාන්ධි හමුවන්නට එන කුලවතුන්ට තහංචි නීති කඩාගෙන එම නිවාස පරිශ්‍රමවලට එන්නට සිදුවිය. වර්තමානයට කුල ක්‍රමයේ තිබෙන නොගැළපිම හා එය මිනිසුන්ගේ ආත්ම ගෞරවය කෙරෙහි ඇති කරන දුෂ්ට බලපෑම කොංග්‍රස් නායකයන් මහජනයාට කියා දුන්නේය. සියලු පීඩිත කුලවල ජනයාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදීමේ වැදගත්කම මහජනයාට කියා දුන්නේය. පීඩිත කුලවල ජනයාට කෝවිල්වලට ඇතුළුවීම වළකන තහංචි නීතිවලට එරෙහිව කෝවිල් වටලා අහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක කළේය. දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන කුල ක්‍රමයේ බලපෑම වහාම නැති කළ නොහැකි බව ගාන්ධි සේ ම කොංග්‍රස් නායකයන්ද දැන සිටියේය. එහෙත් ඔවුන් සටන් කළේ පළමු වටයේදී ඊට නිල පිළිගැනීම අහෝසි කිරීම සඳහාය.

ඉන්දියාවේ ලොකු බෙදීමක් ඇති කිරීමට බලපෑ ඊළඟ සාධකය වූයේ වර්ගභේදය හා ආගම් භේදයයි. ඉන්ද ප්‍රධාන වූයේ හින්දුන් හා මුස්ලිම්වරුන් අතර තිබුණ බෙදීමයි. වර්ග හා ආගම් නැති කළ හැකි දෙයක් නොවන බව කොංග්‍රසයේ නායකයන් දැන සිටියේය. ඒ නිසා වර්ග හා ආගම්වල වර්තමානයට නොගැළපෙන යල් පැනගිය භාවිතයන් ඉවත් කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ සමග වර්ග හා ආගම් අතර ශක්තිමත් සහජීවනයකට අවශ්‍ය අත්තිවාරමක් ගොඩනගා ගැනීම සඳහා කොංග්‍රසය දුෂ්කර මතවාදී අරගලයක යෙදුණේය. කොංග්‍රසය හින්දු ආගමේ එන කුල ක්‍රමයට හා සති පූජා ක්‍රමයට එරෙහිවද, හින්දු මුස්ලිම් ආගම් දෙකේම එන ළමා විවාහ ක්‍රමයට එරෙහිව හා ස්ත්‍රීන්ට පුරුෂයන්ට සමාන ගෞරවයක් ලබා නොදීමේ පිළිවෙතට එරෙහිවද පෙනී සිටියේය.

ඉන්දියානු කොංග්‍රසයට ඉන්දියාවේ බෙදීමක් ඇතිවීම වළකාගත හැකිවූයේ නැතත්, පාකිස්තානයට එකතු වූ මුස්ලිම් ජනගහනයට වැඩි මුස්ලිම්වරුන් පිරිසක් ඉන්දියාවේ නතර කරගැනීමට හැකිවූයේ ගාන්ධිගේ කොංග්‍රසය පවත්වාගෙන ගිය බහුත්වවාදී ප්‍රතිපත්තිය නිසාය. අවසානයේ මහත්මා ගාන්ධි ඝාතනය ලක්වූයේද හින්දු අන්තවාදී තරුණයකු අතිනි. ගාන්ධි ඝාතනයට ලක්වන අවස්ථාව වනවිට ඉන්දියාවේ ඇතිව තිබුණ ජාතිවාදී ගින්න මුළුමනින් නිවී තිබුණේ නැත. ගාන්ධිගේ මරණය එම ගින්න මුළුමනින් නිවා ගාන්ධිගේ චිතකයෙන් නැගෙන ගින්න ඉන්දියාවේ ඉතිරි වූ එකම ගින්න බවට පත් කළේය. ගාන්ධි මැරෙන අවස්ථාව වනවිට ඉන්දියානු ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනැගී තිබුණු අතර ඉන්පසුව ඇති කරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භේදයකින් තොරව සියලුදෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ එසේ ගොඩනගා ගන්නා ලද ඉන්දියානු ජාතියට ශක්තිමත් නෛතික පදනමක් ලබාදෙන ලදි.

ලංකාවේ මාවත

ලංකාව නිදහස ලබාගත්තේ බලවත් ජාතික උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් නොවීය. එය තෑගි ලැබුණු නිදහසක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා නිදහස දිනා ගැනීම සඳහා ජාතිය ගොඩනගා ගැනීමක් අවශ්‍ය නොවීය. ජාතිය ගොඩනගා ගැනීමේ සංකල්පය පිළිබඳව ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන්ට කිසිදු න්‍යායික අවබෝධයක් නොතිබුණි. එම නායකයන් සියලුදෙනාද වර්ගවාදී, කුලවාදී හා ආගම්වාදී නායකයන් වූවා මිස දියුණු බහුත්වාදී ආකල්ප සහිත නායකයන් නොවීය.

නිදහස ලැබීමෙන් පසුද ලංකාව වැඩවසම් ඉඩම් බුක්ති ක්‍රම අහෝසි කළේ නැත. වැඩවසම් නිල පංගුකාරයන් ලෙස විහාර දේවාල ගම්වල වැඩවසම් සේවාවන් කළ කිසියම් විශාල ජනතාවක් රටේ සිටියේය. ඔවුන් එම වැඩවසම් බැඳීම්වලින් නිදහස් කිරීමක් සිදු නොවීය. පීඩිත කුලවල ජනයාගේ මනුෂ්‍ය ගෞරවය අහිමි කරන කුල ක්‍රමයට තිබෙන නිල පිළිගැනීම අහෝසි කිරීමක්ද සිදු නොවීය. වර්ග හා ආගම්වල භාවිතයන් නවීන කොට වර්ග හා ආගම් අතර ශක්තිමත් සහජීවනයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණද සිදු නොකළේය. කොටින්ම කුල භේදයෙන්ද, වර්ග හා ආගම් භේදයන්ගෙන්ද කිළිටි වී තිබුණ පරණ සමාජය නූතන සමාජයක් බවට පත්කිරීමට හේතුවන ලෙස ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය.

58 ඇතිවූ සිංහල දෙමළ කෝලාහල කෙරෙහි වර්ග සාධකය බලපෑවේය. 1971 හා 1986-89 ඇතිවූ ජේවීපී කැරලි දෙක කෙරෙහි කුල සාධකයද ඊට වඩා අඩු ප්‍රමාණයකට වර්ග සාධකයද බලපෑවේය. දෙමළ විරෝධය, ජේවීපී තරුණ පරපුර කුල්මක් කිරීම සඳහා යොදා ගැනුණු සාධකයක් විය.

71 කැරැල්ලේදී අත්අඩංගුවේ සිටි තරුණ තරුණියන්ගෙන් කුල පසුබිම සොයා බලන තැනකට යන්නට ආණ්ඩුව යොමුවූයේ එම කැරැල්ල කෙරෙහි කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව ආණ්ඩුවට පෙනුණු නිසාය. දිග්ගැස්සුණු කැරැල්ලක් බවට පත්වූ එල්ටීටීඊ කැරැල්ල කෙරෙහිද වර්ගය පමණක් නොව, කුලයද බලපෑවේය. ජේවීපී තරුණ කැරලිකාරීත්වය ගැන සේ ම එල්ටීටීඊ තරුණ කැරලිකාරීත්වය කෙරෙහිද කුලය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පත් කළ තරුණ අසහන කොමිසමේද මතය විය. සිංහල හා දෙමළ ත්‍රස්තවාදයන්ගෙන් පසුව පාස්කු ඉරිදා සිදුවූ පහරදීම්වලට වගකිවයුතු මුස්ලිම් ත්‍රස්තවාදය කෙරෙහි ආගම වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පෙනේ.

විසඳුම කුමක්ද?

නිදහසින් පසු ලංකාවේ ඇතිවූ ලේ වැගිරීම් හා ත්‍රස්තවාදයන් කෙරෙහි වර්ගය, කුලය හා ආගම යන සාධක එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලපා තිබෙන බව පෙනේ. ලංකාව නිදහසේදී හෝ ඉන් පසුව ජාතිය ගොඩනගා ගැනීමට සමත් වී නම් ඇතිවූ එම ප්‍රචණ්ඩ ගැටුම් වළකාගතහැකිවන්නට ඉඩ තිබුණි. වර්ගය, කුලය හා ආගම නිසා ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් අවුල් කිරීමට හේතුවී තිබෙන්නේ ලංකාවේ සමාජ ක්‍රමය පමණක් නොවේ. දේශපාලන ක්‍රමයද අවුල් කිරීමට හේතුවී තිබේ. දැන් ලංකාවට විධිමත් සමාජ ක්‍රමයක් නැතිවා සේ ම විධිමත් දේශපාලන ක්‍රමයක්ද නැත. දැන් ඒ දෙකම තිබෙන්නේ මහා අවුලකය. රාජ්‍යය හා එහි සමස්ත ආයතන ක්‍රමය තිබෙන්නේ මුළුමනින් කුණුවී ජරපත්වූ තත්ත්වයකය.

අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යායුතුව තිබුණි. එය එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා තිබුණු හොඳම අවස්ථාව විය. එහෙත් ජයග්‍රාහකයා ලැබූ ජයග්‍රහණයේ ප්‍රීතිය උපරිම ලෙස රසවින්දා මිස සමාජ – දේශපාලන ක්‍රමයට සිදුවී තිබුණ විනාශය තේරුම් ගැනීමට සමත් වූයේ නැත. ඉන්පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතුවන බොරු ප්‍රතිසංස්කරණවලට ගියා මිස ඇත්ත ප්‍රශ්නයට අත ගැසුවේ නැත.

පාස්කු ඉරිදා ඇතිවූ පහරදීම් ලංකාවේ එම නොසැලකිලිමත් කමට ඉතිහාසය විසින් පනවන ලද දඬුවමක් ලෙස සැලකිය හැකිය. දැන් සමාජ-දේශපාලන ක්‍රමය තිබෙන්නේ පරණ තිබූ නරක තත්ත්වයේ නොව ඉතාමත් නරක තත්ත්වයකය. ඒ මහා විනාශයෙන් පසුත් තාමත් අපේ රටේ නායකයන්ට ඇස් පෑදී නැත. අත්‍යවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ නොසලකා ඔවුහු අඳුරේ අතපත ගාමින් සිටිති. ඒ සියලුදෙනාට ඇස් පෑදෙනු ඇත්තේ හොඳටම දිරාපත් තත්ත්වයකට පත්ව තිබෙන ගොඩනැගිල්ල ඔවුන්ගේ හිස් මත කඩා වැටීමෙන් පසුද?