ආණ්ඩුව අන්තවාදයට අනුග්‍රහය දක්වනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත

සාකච්ඡාව ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

දැන් රටේ ඇතිව තිබෙන ව්‍යාකූල තත්ත්වය කළමනාකරණය කරගැනීමට ශක්තිමත් නායකයෙකු මැදිහත්වන බවක් මහජනතාවට පෙනෙන්නේ නැහැ.

අවුරුදු දහයකට ආසන්න කාලයක් බොහොම හොඳට රට ඔහේ ගියා. රටක නායකත්වය කියන්නේ රටක් බොහොම සාමකාමී ලෙස තිබෙන අවස්ථාවක ඒ රට පාලනය කිරීම නෙමෙයි. නායකත්වයක් කියන්නේ අර්බුදකාරී අවස්ථාවක් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එකයි. අර්බුදකාරී අවස්ථාව ඇතිවුණේ පාස්කු ප්‍රහාරයේ සිටයි. ඒ අවස්ථාව කළමනාකරණය නොකිරීම නිසා අගමැති සහ ජනාධිපති දෙදෙනාම අසමත්. අගමැතිට කියන්න බැහැ තමන්ට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නැහැ කියලා. එන්න කීවේ නැත්නම් බලෙන් හරි යන්න ඕනෑ. ඒ වෙද්දී ජනාධිපති ලංකාවේ හිටියේ නැහැ, අගමැතිත් හිටියේ බෙන්තර. එක්කෝ ඒ අය මේ ගැන බොහොම සැහැල්ලුවෙන් හිතුවා, නැත්නම් සන්නිවේදනය වුණේ නැහැ. ජනාධිපති සහ අගමැති කියනවා ඔවුන්ට දැන්වුවේ නැහැ කියලා. ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කියන්නේ මොකක්ද කියලා දැන් අපි බලාගෙන ඉන්නවා. මානව හිමිකම් පැමිණිලි තියනවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒවාට ඒ දෙන්නා පිළිතුරු බැඳිය යුතුයි. වගකීම් පැහැරහැරීම, වගවීම සම්බන්ධයෙන් මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට වගකීම එනවා. හැබැයි වගවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට පැන යන්න බැහැ. අවාසනාවට මේ ආණ්ඩුවේ ඉන්න නායකයෝ උත්සාහ කරන්නේ වගවීමෙනුත් පැනලා යන්නයි. පසුව දැනගත් තොරතුරුවලට අනුව විදේශ බුද්ධි අංශ විසින් පවා මෙරට බුද්ධි අංශවලට මෙම ප්‍රහාරවලට ඉලක්ක කරගත හැකි ස්ථාන, දින, කරන අය කවුද කියන දේවල් වාර්තා කර තිබුණා. ඒ නම් සඳහන් හතරදෙනෙක්ම මරාගෙන මැරුණු බෝම්බකරුවන්. මේ සියලු තොරතුරු තිබුණා. ඒ නිසා මේ සිද්ධිය වුණාට පස්සේ මොන්ටිසෝරි කතා කියලා වැඩක් නෑ. මේකට වගකිව යුතු අයට නායකත්වයක් දරන්න කිසිම සුදුසුකමක් නැහැ කියන දේ මෙතැනදී පැහැදිලියි. ඇත්තටම මේ රටට නායකත්වයක් අද දවසේත් නෑ.

මෙවැනි ප්‍රහාරයක සූදානමක් ගැන රටේ ආරක්ෂක අංශ නොදැන සිටියේ යැයි සිතිය නොහැකියි.

යුද්ධය අවසන් වන අවස්ථාවේ රටේ බුද්ධි අංශ තුනක් තිබුණා. 2015 වන විට ඒවා හතක් දක්වා වැඩි කර තිබුණා. ඒ හතම අහෝසි කළා. ඒ හතේම සිටිය අය විවිධ චෝදනාවලට දඬුවම් ලබාදීම්, හිරගත කිරීම්, රිමාන්ඞ් කිරීම් සිදුකළා. තවම ඒවාගේ පරීක්ෂණ යනවා. රටක යුද්ධය දිනුවේ නිකම්ම නෙමෙයි. ඒකට තොරතුරු එන්න ඕනෑ. උතුරු නැගෙනහිර විශාල යුද්ධයක් යද්දී කොළඹට එවැනි අනතුරු තිබුණේ නෑ. ඒ බුද්ධි අංශවල ශක්තිමත්භාවයයි. සමහර තරුපහේ හෝටල්වලත් බුද්ධි අංශවල විස්ස විසිපහ වැඩ කළා, හෝටල් කළමනාකාරීත්වය දන්නේ නැහැ. විවිධ සංවිධාන තුළටත් ඒ අය රිංගුවා. එහෙම තිබූ බුද්ධි අංශ ජාලය බිඳ වැට්ටුවා. මානව හිමිකම් මුවාවෙන් රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැට්ටුවා. ඒ නිසා 2015න් පසු අපේ රටේ භූමිය තුළ විවිධ ත්‍රස්තවාදී සහ අන්තවාදී කණ්ඩායම්වලට ගොඩනැගිය හැකි පරිසරය නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සියලු අංශ දුර්වල වුණා. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අය ඒක වරින් වර පෙන්නුවා. හැබැයි ඒ අය පෙන්නුවේ ඊට වඩා වෙනස් චිත්‍රයක්. මානව හිමිකම් රකින්න ඕනෑ, විදේශ නඩුකාරයෝ ගේන්න ඕනෑ, නඩු අහන්න ඕනෑ වැනි දේ එක්කයි. නඩු අහ අහා ත්‍රස්තවාදීන් පාලනය කරන්න බෑ. ත්‍රස්තවාදයට වැඩෙන්න අවශ්‍ය පරිසරය 2015 ජනවාරි 8 ඉඳලා පාස්කු ඉරිදා සිද්ධිය වෙනකම් මේ ආණ්ඩුව සකස් කළා. මේ සිදුවීම වන විට ඒ ආකාරයෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිලා තිබුණු නිසා තොරතුරු ආවේ නෑ. මේවා සම්බන්ධව කර තිබූ පැමිණිලි ගණන් ගත්තේ නෑ. ගණන් ගන්න තරම් මේ අයට බුද්ධියක් තිබුණේ නෑ. 2009ට පෙර යුද්ධය සමච්චලයට ලක් කළ පිරිස් තමයි අද බලයේ ඉන්නේ.

දැන් ප්‍රහාරයට මාසයකට වැඩියි. ප්‍රහාරය පිළිබද විමර්ශනය සඳහා පත් කළ කොමිසමේ වාර්තාවේ තත්ත්වය මොකක්ද?

ඒ වාර්තා තවම අපිට හෙළිදරව් වෙලා නැහැ. මන්ත්‍රීවරු කිව්වා කතානායකවරයාට ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ගන්න කියලා. දැන් මාසයක් ගතවුණා, අද වන තුරු වාර්තාව නෑ. මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා තේරීම් කාරක සභාවක් දානවා, ඒක ඇදගෙන යනවා. ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ. හොඳම උදාහරණය තමයි බැඳුම්කරය. ආණ්ඩුව ආවේ ජනවාරි 8, පෙබරවාරි 25 බැඳුම්කර සිද්ධිය වුණා, නීතීඥයෝ තුන්දෙනෙක් දැම්මා, බොරු වාර්තාවක් ගත්තා, ඒකට තේරීම් කමිටුවක් පත් කළා. ඩිව් ගුණසේකර මහත්මයාගේ සභාපතිත්වයෙන් යුතු ඒ කමිටුවේ මමත් ඒකේ හිටියා. මාස තුනක් තිස්සේ අපි ඒ කටයුතු කරමින් හිටියා. වාර්තාව සභාගත කරන දවසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අලුත් පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්තිගේ ප්‍රධනත්වයෙන් කමිටුවක් දාලා ඒ වාර්තාව ලොකු ජරමරයක් කරලා ජනාධිපති කොමිසමක් දාලා ඒකෙත් වාර්තාවක් දැම්මා. අවසානයේ පළමු වගඋත්තරකරු සිංගප්පූරුවේ. ඔහුව ගෙන්වූ, ඔහුට තනතුරු දුන් අය ඔහුව ගෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. මෙතැනදී වෙන්නේත් ඕකම තමයි. අගමැතිතුමා ළගදී කිව්වා මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අටදෙනාම මැරිලා කියලා. දැන් මේ කියන්න හදන්නේ දෙසිය පනස් ගණනක් මියගියා, හාරසීයක් තුවාල වුණා, ඒක කරපු අටදෙනාත් මැරිලා. අගමැතිතුමා රටට කියන්නේ මේකේ නඩුවක් නෑ කියලායි. ඕකම තමයි බැඳුම්කරයේදීත් කිව්වේ. මේ නායකයන් විසින් ඉතාම අවාසනාවන්ත රටක් බවට මේ රට පරිවර්තනය කරලා තියනවා. මට තියන ප්‍රශ්නය මෙවැනි සංවිධානයක නායකයා ගිහින් බෝම්බ පුපුරවාගෙන මැරේවිද? එතකොට සංවිධානයත් ඉවරයි, වැඩෙත් ඉවරයි. ඒක ප්‍රශ්නයක්.

අමාත්‍ය රිෂාද් බදියුදීන් සම්බන්ධව විමර්ශනයත් පසුගිය දිනවල ඒ විමර්ශනයටම යා කළා නේද?

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දාන්න අපිත් එකඟ වුණා. ඒ තේරීම් කාරක සභාව දාන්න කීවේ 21 ප්‍රහාරය සිදුවුණේ කොහොමද කියන එක හොයන්නයි, කාවවත් සුද්ධ කරන්න නෙමෙයි. හැබැයි කතානායකතුමාත් හවුල් වෙලා වැරදි විධියට පසුගිය බ්‍රහස්පතින්දා කලබලයකින් ඒක සංශෝධනය කරලා රිෂාද් බදියුදීන්ගේ කතාවත් ඒකට දාලා තේරීම් කමිටුවක් පත් කරලා දැන් ඒ අයගේ ඒකපාර්ශ්විකව නඩුවක් අහගෙන යනවා. ඒකට විපක්ෂය නෑ. ඒකේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු, සුමන්දිරන්. දැන් ජේවීපී එකත් දාගත්තා. ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා සහ මේ සියලු දේ කිරීමට ආණ්ඩුවට සහාය දෙන පාර්ශ්වවල සහභාගීත්වයෙන් තේරීම් කමිටුවක් දාගෙන තියනවා. ඕක රටේ ජනතාව පිළිගන්නේ නැහැ. අපි කියන්නේ ඕක පැත්තකින් තියලා විශ්වාසභංග යෝජනාව ගන්න. එතැනදී කරුණු ඉදිරිපත් වෙයි, ඒවාට උත්තර දෙන්න පුළුවන්, ඕනෑ නම් එයාව ආරක්ෂා කරන්න. ඒකට අපිට ප්‍රශ්නයක් නෑ. අගමැතිවරයා ආරක්ෂා කිරීමට එදා ඉදිරිපත් වුණු රිෂාද් බදියුදීන් ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීවරු, දමිළ සන්ධානය අදත් එතැනමයි ඉන්නේ. විශ්වාසභංගය හරයා රිෂාද් බදියුදීන් පැරදුණොත් ඒ අයට අර්බුදයක් එනවා. ඒ නිසා රට ආරක්ෂා කිරීම නෙමෙයි ඒ අයට වැදගත් වෙන්නේ ආණ්ඩුව ආරක්ෂා කිරීමයි.
ප්‍රදේශ කීපයක කලහකාරී තත්ත්වයන් ඇතිවුණේ ප්‍රහාරයෙන් සති දෙකකට පසුවයි. ඒ පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වූ බවටත් සඳහන් වෙනවා නේද?
යුද්ධය තියන කාලේත් සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු ප්‍රශ්නයක් නැතිව එකට ජීවත් වුණා. දළදා මාලිගාවට, අනුරාධපුරයට ගැහුවා කියලා බෞද්ධයෝ කෝවිල්වලට ගහන්න ගියේ නෑ. 83 ජූලි විතරයි එවැන්නක් වුණේ, ඒක ඇති කළේ රනිල් වික්‍රමසිංහගේ මාමා වූ ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩුව. දවස් තුනක් යනකම් ඇඳිරි නීතිය දැම්මේ නැහැ. නිල වශයෙන් තුන්සිය අසූවක් කොළඹදී ගහලා මැරුවා. ලක්ෂ ගණනක් රටෙන් පිටව ගියා. දෙමළ ඩයස්පෝරාවක් හැදුණේ කොහොමද, ඒවාට වගකියන්න ඕනෑ යූඑන්පී ආණ්ඩුවයි. බටලන්ද වාර්තාවෙන් කීවේ රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලායි. අද වනතුරු අහෝසි කළේ නැහැ. චන්ද්‍රිකාගේ කාලේ කළේත් නෑ, අනෙක් අය කළෙත් නෑ. සමහර ළමයි මැරුවේ ගහලා ගහලා මැරෙන්න වැටුණාම වොට් තුන්සීයක යකඩ තහඩුව උඩට දාලා ස්විච් එක දාලා. බේරුණු අය නඩුවලදී අපට ඒවා කීවා. මොවුන් එහෙම අතීතයක් තියන නායකයෝ.

පාස්කු ඉරිදා සිදුවීමෙන් පස්සේ කතෝලිකයන්ට බයක් සැකක් නැතිව පල්ලියට යන්න බෑ. වෙසක් දවසේ මිනිස්සු පන්සල් ගියේ නැතිව ගෙවල්වල බෞද්ධ කොඩි, කූඩු දැම්මා. එක තොරණක් තිබුණේ නෑ. අන්තවාදීන්ට ඕනෑ වෙනත් කිසිම ආගමක් බැහැ, ඒ අය විතරයි ඉන්න ඕනෑ නම් මේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන්ම ඒ දේ වුණා. ලබන අවුරුද්දේත් මේකම වුණොත් අවුරුදු පහක් යද්දී වැඬේ ඉවරයි. දැන් එතැනටනේ ගිහින් තියෙන්නේ.

හදිසි නීතිය තිබූ අවස්ථාවේ සමහර අත්අඩංගුවට ගැනීම් මෙන්ම ඇතැම් අමාත්‍යවරු හැසිරුණු ආකාරය පිළිබඳ ගැටලු තිබෙනවා.

හදිසි නීතිය මසකින් දීර්ඝ කළා. ආණ්ඩුවට යුතුකමක් තිබුණා පසුගිය මාසය තුළ අල්ලාගත් සංඛ්‍යාව, කී දෙනෙක් රිමාන්ඞ් කළාද, කී දෙනෙක් නිදහස් කළාද, සිද්ධීන් සංඛ්‍යාව, ආයුධ ප්‍රමාණය ඉදිරිපත් කරන්න. එහෙම වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. නිකං විවාදයක් තියලා ගියා. එදා හවස් වෙන කොට ආණ්ඩු පක්ෂයේ එකම ඇමතිවරයෙක්වත් පාර්ලිමේන්තුවේ නෑ. මේකයි තත්ත්වය. තුන් වතාවක් හමුදාපතිට කතා කරන්න රිෂාද් බදියුදීන්ට තියන ඕනෑකම මොකක්ද. ඒකටත් දැන් සුදුහුණු ගානවා. හමුදාපති පැහැදිලිව කිව්වා මට තුන් වතාවක් කතා කළා, තුන්වන වතාවේ කිවුවා මාස 18කට පස්සේ කතා කරන්න කියලා. මගේ මතයේ හැටියට නම් දයාසිරි ජයසේකරට තිබුණේ ඒ වෙලාවේ පොලිස්පතිට කතා කරන්න. නීතීඥයෙකුට බැහැ පොලීසියට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන ඉන්න මිනිස්සු ජීප් එකක දාගෙන ගිහිල්ලා තව පොලීසියකට දෙන්න. ඒකට හරි නම් එයාට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් පොලීසියේ රාජකාරිවලට බාධා කළා කියලා. ඒක ඔහු කරන්න ඇත්තේ විනාශයක් වළක්වා ගැනීමේ සත්භාවයෙන් වෙන්න පුළුවන් නමුත් ක්‍රමවේදය ඕක නෙමෙයි.

පසුගිය වසර අවසානයේ වූ ආණ්ඩු පෙරළිය අවස්ථාවේ රටේ ආර්ථිකය පහළ මට්ටමකට ඇද වැටුණා. මෙම සිදුවීම් රටේ ආර්ථිකයට බලපෑම් සිදුකර තිබෙන්නේ කොහොමද?
මේකත් එක්ක ඇතිවෙලා තියන ඊළග ප්‍රශ්නය තමයි ආර්ථික ප්‍රශ්නය. මිනිස්සුන්ට රැකියාවක් කරන්න බෑ. කළුගල් කර්මාන්තයේ පන්සියයකට වැඩි ප්‍රමාණයක් අද වෙඩි බෙහෙත් නිකුත් කරන්නේ නෑ. මේ පන්සිය ගණන නිසා අද කළුගල් නෑ, ඒ නිසා ඉදිකිරීම් නෑ, ඒ නිසා මේසන් බාස්ලාට වැඩ නෑ, අත්උදවුකරුවන්ට වැඩ නෑ, ඉංජිනේරුවන්ට වැඩ නෑ ආදී ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු අංශ නැවතිලා. ඒවාට සැපයුම් කරන අනෙක් කර්මාන්තත් නැවතිලා. පහළම යාචකයාගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා දක්වා කිසිවෙකු හොඳින් නැහැ. රජයේ රැකියා කරන අයටත් අප්‍රේල් 10න් පස්සේ තාම පඩි නෑ. පෞද්ගලික අංශ වහලා දාලා. හෝටල් කර්මාන්තය ඉවරයි.

මේ ආණ්ඩුව උත්සාහ කළේ අවසාන අවුරුද්දේදී ගමට සංවර්ධන වැඩසටහන් ටිකක් කරලා බේරගන්නයි. රටක ආර්ථික සැලැස්මක් ඊට වඩා වෙනස්. ආණ්ඩුවක් සැලසුම් කළ යුතුයි රටේ ආර්ථිකය යන්නේ කොහොමද කියන කාරණය. ඒක සැලසුම් කරගන්නේ නැතිව වෙන මොනවා කළත් වැඩක් නෑ. පාස්කු ඉරිදා සිද්ධිය වන අවස්ථාව වන විට රටේ ආර්ථිකය 3.2කට බැහැලා. මේ සිදුවීම් එක්ක තව මාස කීපයකින් ඒක සෘණ වෙන්න පුළුවන්. නියඟය තිබුණා. විදුලිය අධික මිලට මිලදී ගන්නවා, ජාවාරම් වෙනවා. කිසිම සැලැස්මක් නැතිව රට පාලනය කරන්නේ කොහොමද. ආණ්ඩුවේම දේශපාලනඥයෝ පරස්පර විරෝධී මත ප්‍රකාශ කරනවා. තවදුරටත් මෙහෙම යන්න බෑ. මේ රට කිසිම කෙනකුට හදාගන්න බැරි අපායක් කරන්නේ නැතිව ජනතාවට තීන්දු කරන්න මැතිවරණයක් දෙන්න. ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට සූදානමක් තිබුණා. එයින් සිදුවන්නේ තිබෙන පනත අහෝසිවීමකට වඩා බරපතළ තත්ත්වයක් බව පෙනෙනවා.

2015 සැප්තැම්බර් 29 යූඑන් එකත් එක්ක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළා. ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ඉහළ නැංවීම නමින් ඒක පටන් ගන්නේ. එහි කරුණු ගණනාවකට පස්සේ 12 වන කරුණ ලෙස තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත රැගෙන ඒම පිළිබඳවයි. තත්කාලයේ ජාත්‍යන්තරව තිබෙන්නාවූ යහපත් පරිචයන්ට අදාළව අලුත් පනතක් ගෙන ඒම පිළිබඳ එහි සඳහන් වෙනවා. මෙය 2015 සැප්. 29 මංගල සමරවීර විදේශ ඇමතිවරයා ලෙස සම්මත කරනවා. ප්‍රතිත්‍රස්ත පනත එන්නේ ඒක නිසායි. යූඑන් එකට පොරොන්දු වූ කරුණු ගණනාවක් තිබුණා. ඒවා සාක්ෂාත් කරගන්න ගෙනා පනත් තමයි ප්‍රතිත්‍රස්ත පනත. ඒ පනතේ මූලික ලක්ෂණය තමයි ත්‍රස්තවාදියාගේ මානව හිමිකම් රකිනවා, වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නෑ. හැබැයි අද රටට ඕනෑ එහි අනෙක් පැත්තයි. මේ ආණ්ඩුව ප්‍රමුඛතාවය දුන්නේ මෙවැනි දේවල් වලටයි.
පසුගිය දිනවල ජනාධිපතිවරයා චීනයට ගොස් ගිවිසුම් කීපයකට අත්සන් තබනවා. මේ අවස්ථාවේ එවැන්නක් කිරීම නිසා ආරක්ෂාව පිළිබද තොරතුරු ලබාදෙමින් සහයෝගය දුන් ඉන්දියාව වගේම ඇමරිකාවත් අසතුටට පත් කරන බව බොහෝ දෙනාගේ අදහසයි.

සාමාන්‍යයෙන් එහෙම ගිවිසුම් අත්සන් කළාම ඒවා කැබිනට් එකට වාර්තා කරන්න ඕනෑ. අද ලෝකයේ තිබෙන ත්‍රස්තවාදය වැනි දේ පාලනය කිරීමට දියුණු රටවල් තාක්ෂණය භාවිත කරනවා. තාක්ෂණ සහාය කවුරු බලයට ආවත් ලබාගන්න වෙනවා. හැබැයි එහි අන්තර්ගතය දන්නේ නැති නිසා ඒ ගැන කියන්න බැහැ. අයිස් බර්ග් තියරි එකත් එක්ක බලද්දී මතුපිටින් පෙනෙන දේට වඩා යටින් තියන දේ වැඩියි. ඒ නිසා ජනාධිපතිතුමා බලන්න ඇති චීනයට ගිහින් චීනයෙන් ආරක්ෂාවට ආධාර ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආධාර ගන්නවා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වලින්. මේ සියලු සිදුවීම්වල මුල විධියට මම දකින්නේ චීනයට හම්බන්තොට වරාය අවුරුදු සීයකට දීමයි. ඒ දුන්න දවසේ ඉඳලා බටහිර රටවලට සහ ඉන්දියාවට ප්‍රශ්නයක් තියනවා. අපි ඒකට විරුද්ධ වුණා. අවුරුදු සීයකට දෙනවා කියන්නේ අවුරුද්දකට ඩො. මිලියන 12යි. ගෙයක්වත් එහෙම කුලියට දෙන්නේ නෑ. ඒ අය ඇවිත් හමුදා කඳවුරු දාවිද නැද්ද කියලා අපි දන්නේ නෑ. චීනයට සේද මාවත මේක හරහා යනවා. ඒක නවත්වන්න නම් මෙතැන තමයි වෙලාව. ඒක බටහිර රටවල් සියලුදෙනාම රනිල් වික්‍රමසිංහට කිව්වා. අවසානයේ වුණේ ජාත්‍යන්තරයට රට තුළට එන්න අවශ්‍ය අවකාශය අපි හදලා දුන්නා. දැන් සටන තියෙන්නේ අපේ රටේ සිංහල, දෙමළ මිනිස්සු අතර නෙමෙයි. මේ ජාත්‍යන්තරව තිබෙන ආර්ථික බලවතුන්, යුද බලවතුන් බටහිරත් සමග තිබෙන්නාවූ විසංවාදය අපේ රට තුළට කැඳවා ගත්තා. ඒකට එන ප්‍රතිවිරෝධතාව පාලනය කරගන්න නම් කියන්න ඕනෑ මේ රට පාලනය කරගන්න බෑ මොකක් හරි හමුදා කඳවුරක් ගෙනල්ලා මේකට දාගෙන සදාකාලිකවම මේක ඉවර කරන්න තමයි මේ හදන්නේ. ලිබියාව, සිරියාව, ඇෆ්ගනිස්තානය ඉවරයි. මේ සියලු රටවලට ජාත්‍යන්තර මැදිහත්වීම වුණු ගමන් ඒ අය එතැන පොරපිටියක් බවට පත්කර ගන්නවා.

2007 වසරේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේ ඇමරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුමත් ඇමරිකාවට ලංකාවේ කටයුතු වලට මැදිහත්වීමට දොරටු විවර කර දුන්නා නේද?

ඒ පහසුකම් සැපයීමටයි. ඒ කාලයේ ගිවිසුමක් අත්සන් කිරීමෙන් අපිටත් ප්‍රයෝජනයක් එනවා. එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව කටයුතු කරන්න ඒ අයගේ තාක්ෂණ සහයෝගය ලබා ගත්තා. ඉන්දුනීසියාවේ මායිමට ගිහින් එල්ටීටීඊ ආයුධ නැව් තුනකට ප්‍රහාර එල්ල කළේ ඒ අයගේ තාක්ෂණ සහයෝගයන් ලැබුණු නිසායි. ඒකට අනෙක් පැත්තට ඒ අය අපේ වරායවල් හරහා යනවා නම් ඒ අයට වතුර, කෑම වගේ පහසුකම් දෙන්න එකඟතාවන් තිබුණා. ඒකෙන් අදහස් වුණේ නෑ ඇමරිකානු හමුදාව ලංකාවට බස්සවා ගන්නවා කියන දේ. තාක්ෂණ සහයෝගයන් ගැනීමේදී අපි ඒ අය මේ කලාපය හරහා යනවා නම් අපේ වරායක පහසුකම් සපයන්න සහයෝගය දෙන්න එකඟ වී තිබුණා. ඒක අවුරුදු දහයකට වලංගුවී තිබුණා.

දැන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන්නේ මහජන මතය ද කියන ප්‍රශ්නය තිබෙනවා. පොදුවේ ජනතාව තුළ දැන් තිබෙන්නේ කලකිරීමක්.

අද සමස්තයක් ලෙස ජනතාව පාර්ලිමේන්තුවේ ඉන්න සියලුදෙනාට චෝදනා කරන්නේ මේ කීපදෙනෙක් කරන්නාවූ අමනෝඥ වැඩ නිසායි. ඒ නිසා ජනතාවටත් යුතුකමක් තියනවා නිසි අධ්‍යාපන පසුබිමක් සහිත මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත් කිරීමට. ඡන්දය දුන්න නොදුන්න ඕනෑම කෙනෙක් තමන්ගේ හදවතින් අහන්න 2015 ජනවාරි 8ට වඩා අද රටේ තත්ත්වය හොඳද? ආරක්ෂාව, ආර්ථිකය, රැකියා, අධ්‍යාපන, නීතිය සියල්ල අද හොඳද

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ බලතල සීමා වී තිබෙනවා. ඉදිරි ජනාධිපති මැතිවරණය පිළිබද තැබිය හැකි බලාපොරොත්තුව මොන වගේද?

මම හිතනවා ජනාධිපති මැතිවරණයටත් වඩා හොඳයි පාර්ලිමේන්තු මැතිවරණය තියනවා නම්. මොකද මෙතැන කඩාවැටීම තියෙන්නේ ආණ්ඩුවේයි. විවිධ කණ්ඩායම්වලට බලපෑම් කරලා ප්‍රධාන දේශපාලන පක්ෂයත් දඬුකදේ ගහලා තමන්ට ඕනෑ දේවල් කරන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒක ජනතාව දැන් තේරුම් අරගෙන තියනවා.
මේ 19වන සංශෝධනයත් එක්ක ජනාධිපතිවරයෙකුට තියන බලතල සීමා වෙනවා. එතකොට රටේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තමයි රටේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ. එහෙම නම් ප්‍රශ්නය දැන් සිටින අගමැති සාර්ථකද? නැත්නම් ඒ පක්ෂයේම වෙනත් කෙනෙක් ඉන්නවාද, නැත්නම් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම එනවාද, එහෙමත් නැත්නම් ඒ කිසිවකට අයත් නොවන වෙනත් කිසිවෙකු එනවාද. මගේ තර්කය ඒ කවුරු ආවත් හැම විෂයක් සම්බන්ධවම ප්‍රතිපත්තියක් ජනතාවට ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් තිබිය යුතුයි. ඒක ක්‍රියාත්මක කිරීම සදහා දැනුවත්භාවය වෘත්තිකභාවය සහ පළපුරුද්දක් තියන කණ්ඩායමක් ඉන්න ඕනෑ. එහෙම නැත්නම් මේ රටට ඉදිරියට යන්න බෑ. මොකද මේ සිදුවීම් පැත්තකින් තැබුවත් රටක් විධියට ලෝකයත් එක්ක බරපතළ තරගයකයි අපි ඉන්නේ. එහෙම දැක්මක් ආණ්ඩුවකට තිබිය යුතුයි. එහෙම යන දැක්මක් ආණ්ඩුවකට ක්‍රියාත්මක කරන්න පිරිසක් ඉන්න ඕනෑ. ඒ පිරිස තෝරා ගන්න පාර්ලිමේන්තු මැතිවරණයකදී මනාප ඡන්ද දෙන ජනතාවගේ වගකීමයි. නැත්නම් මේ මඩ ගොහොරුවේම යාවි.