මාතෘත්වයේ නාමයෙන් දොස්තර සාෆි උල තැබීම

රසික ගුණවර්ධන

“සිංහල ජාතියේ අනාගතය වැනසූ වහබ්වාදී පාපතරයා එල්ලා මරනු” කුරුණෑගල නගරයේ මේ බැනරය ඇත්තේ මවුවරුන් වඳ සැත්කම් වලට භාජනය කළා යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිගේ සේයාරුවක්ද සහිතවය.

අප්‍රේල් විසි එක්වැනිදා රටේ ඇති වූ සිදුවීම් මාලාවෙන් පසු රට පුරා විවිධ දේශපාලනික වාසුලි ඇතිවෙමින් පවතී. ඒ වාසුලි වලට හසුවූ මිනිස්සු නිනව්වක් නැතිව ඒ වාසුලි සමඟ කැරැකැවෙමින් නොදැනම දේශපාලන ඉත්තන් බවට පත්ව සිටිති. මවුවරුන් වඳ කළා යැයි පැතිරෙන වඳ සැත්කම් කතාවද එවැනිම දේශපාලනික වාසුලියක ප්‍රථිපලක් බව අප සොයාගත් තොරතුරු මගින් තහවුරු වෙයි.

ආරම්භය

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ”දිවයින” පුවත්පතේ මුල් පුවත ලෙස පලවූයේ ”තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා” යන ශීර්ෂ පාඨය යටතේ වෛද්‍යවරයෙකු විසින් ”සිංහල බෞද්ධ මවුවරුන් වඳ සැත්කම් වලට ලක් කර ඇති බවට වන ලිපියකි. එම ලිපියේ චෝදනා එල්ල කර තිබූ වෛද්‍යවරයා පිළිබඳව විස්තරයක් සඳහන්ව තිබුණේ නැත.

ඉන්පසු එම පුවත පලවූ බ්‍රහස්පතින්දා සවස රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන සිය ෆේස්බුක් ගිණුමේ මේ සිදුවීම පිළිබඳව සඳහන් කරමින් එම පුවත්පත විසින් වාර්තා කළ ආකාරයේ සැත්කම් 8000 වඩා සිදු කළ වෛද්‍යවරයකු සිටින බව සඳහන් කර මේ වඳ සැත්කම් සිදු කළේ වෛද්‍ය සාෆි බව හැඟවෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කර ඔහුගේ ඡායාරූපයක්ද සමඟ සටහනක් යොදා තිබුණි. එහෙත් ඒ වන විට එම තොරතුරු කිසිඳු අයුරකින් තහවුරු කරනු ලද තොරතුරු නොවූවා සේම ඒ වන විට වෛද්‍ය සාෆි පොලිස් අත් අඩංගුවට හෝ පත්ව තිබුණේ නැත. කෙසේ වෙතත් චන්න ජයසුමන විසින් සිකුරාදා උදෑසන වන විට අදාළ ලිපිය සිය ෆේස්බුක් ගිණුමෙන් ඉවත්කරගෙන ඇත.
”එදා රෑ වෙද්දි අපට ඒක තර්ජනාත්මක විදිහට තිබුනෙ. මුං ඉන්නෙ කොහෙද, මූව හොයාගෙන යන්ඩ ඕනෙ කියල ඒකට මිනිස්සු කමෙන්ට් කරන්ඩ පටන් ගත්ත. අපේ බබාලගෙ පොටෝස් අරගෙන දාල මරනව, මූව දැකපු තැන මරන්ඩ, මූගෙ ළමයිව නැතිකර දාන්ඩ, ගේ හොයාගෙන ගිහිල්ල ගිණි තියන්ඩ ඕනෙ. වගේ පෝස්ට් ටිකක් ඔය සිද්ධියෙන් පස්සෙ ෆේස්බුස් එකේ දාල තිබුන. ඒව දැක්කහම අපි බය උනා. මොකද වඳ කරනව කියන්නෙ ගොඩක් සංවේදී දෙයක්. ජාතියක් තව ජාතියක් වඳ කරනව කියන්නෙ භයානක දෙයක්. සාමාන්‍ය මනුස්සයෙකුට ඒවගේ දෙයක් ගියහම ඒ ගොල්ලො ඒ විදිහට හැසිරෙන එක වැරදිත් නැහැ. හැබැයි ඉගෙන ගත්ත කට්ටිය දැනගන්ඩ ඕනෙ මේක ගැන හරියට හොයලා කියන්න. මොකද මේක අපේ තුන් හිතකවත් නොතිබ්බ්බ දෙයක්. අපි ඊට පස්සෙ 24 වෙනිද සිකුරාදා මේ සිදුවීම ගැන පොලිසියට පැමිණිල්ලක් දාන්ඩ අවශ්‍යකරන ප්‍රින්ට් අවුට් අරගෙන ලෑස්තිවෙලා හිටියෙ. සිකුරාද හවස මගෙ මහත්තය පල්ලියට එහෙම ගිහිල්ල ඇවිල්ල අපි පොලීසියට යන්ඩ ලෑස්ති වෙනකොට පොලීසියෙ සිවිල් කට්ටියක් අපේ ගෙදරට ආව. ඊට පස්සෙ මහත්තය අපි පැමිණිල්ල දාන්ඩ ලෑස්තිකරගෙන හිටපු ෆයිල් එක එයාලට පෙන්නුව. එයාලත් ඒක බලලා අපිට තර්ජනයක් තියනව කියල කීව. ඊට පස්සෙ එයාල පැමිණිල්ල දාන්ඩ කියල එක්කගෙන ගියා. අපේ වාහනේක මෙයයි එයාගෙ යාලුවෙකුයි, තව වාහනේක අපේ මල්ලිල දෙන්නෙකුයි ගියා. මඟදි අපරාධ විමර්ශන අංශයේ ජීප් එකකින් පාර හරස් කරල මහත්තයව එයාලගෙ වාහනේට දාගෙන තියනව. අන්තිමට අපට පැමිණිල්ල දාන්ඩ උනෙත් නෑ.” වෛද්‍ය සාෆිගේ බිරිඳ විද්‍ය එම්. එන්. එෆ්. ඉමාරා අප සමඟ එසේ කීවාය.

”ඊට පස්සෙ රෑ නවය හමාරට විතර එයාව ගෙදර ගෙනල්ල රෑ දොළහ විතර වෙනකන් ගේ චෙක් කරා. අපේ පාස්පෝට් වගේ ලිපිගොනු, ටැබ් ලැප්ටොප්, අපි පොලියක් ගන්නෙ නැති නිසා මගෙ පඩිය එන්නෙ කරන්ට් එකවුන්ට් එකකට ඒකෙ චෙක් පොත වගේ ඒව අරගෙන ගියා.

”අපි අපට තර්ජන තියනව කියල දාන්ඩ ගිය පැමිණිල්ල දාන්ඩ උනෙත් නෑ. මගෙයි අපේ ළමයින්ගෙයි ආරක්ෂාව ගැන දැන් බයයි. ළමයි දෙන්නෙක් ගමේ ඇරිය. අනිත් කෙනා මගෙත් එක්ක ඉන්නව. එයාලව ඉස්කෝලෙවත් යවන්ඩ විදිහක් නෑ.” ඈ පවසයි. ඇය සහ ඇගේ දරුවාට මේ වන විට එල්ල වී ඇති තර්ජන නිසා ඔවුන් ජීවත්වූ නිවසේ තවදුරටත් සිටීමට නොහැකි තත්වයක් උදා වී ඔවුන් දැන් සිටින්නේ වෙනත් ස්ථානයකය.

වෛද්‍ය සාෆිට එරෙහිව පොලිස් පරීක්ෂණ සිදු වන්නේ අයථා වත්කම් ඉපයීම යටතේය. ඔහුට මවුවරුන් වඳ කළ බවට චෝදනා එල්ල වන්නේ මහාචාර්ය චන්න ජයසුමනගේ ප්‍රකාශය හරහාය. එහෙත් වෛද්‍යවරයාට පොලීසියෙන් එවැනි චෝදනාවල් එල්ල වී නැත. ”ඉස්සල්ලම මැයි හයවෙනිද අපේ ලැබ් එකට පොලීසියෙන් ආව. ඊට කලින් දවසක අපේ ගෙදරට ගිහිල්ල තිබ්බ. එදා අපි ගෙදර හිටියෙ නෑ. අපි අල්ලපු ගෙදර රෙන්ට් එකට දීල තිබුණ. එයාලත් එක්ක කතා කරල ගිහිල්ල තිබුණ. හයවෙනිද ලැබ් එකට ඇවිල්ල පොලිස් බල්ලො එහෙම දාල චෙක් කරල හස්බන්ඞ්ගෙන් පැය තුනක් තුන හමාරක් විතර ප්‍රකාශ සටහන් කරගත්ත. වත්කම් සම්බන්ධව තමයි ඇහුවෙ කියල කීව. ඊට පස්සෙ පොලීසියෙන් ආවෙ 24 සිකුරාදා.” ඒ අනුව වෛද්‍යවරයා අත් අඩංගුවට පත්වන්නේ වත්කම් සම්බන්ධ පරීක්ෂණයකටය.

වගකීම

මෙම සිදුවේමේදී සියලූම චෝදනා එල්ල වනු ලබන්නේ වෛද්‍ය සාෆි ඉලක්ක කරගනිමින්ය. මෙවැනි සිදුවීමක් සැබෑලෙසම සිදුව ඇතැයි සිතා විවෘත ලෙස සිතා බැලුවහොත් වෛද්‍ය සාෆිට පමනක් චෝදනා එල්ල වීම නිවැරදි නොවේ. මක්නිසාදයත් සාෆි පමණක් තනිවම ප්‍රසූතකාමරයේ දරුවන් ප්‍රසූත කරවන්නේ නැත. ඊට අවමය හයදෙනෙකුවත් සහභාගී වෙති. එසේම එවැනි අවස්ථාවකදී එක් වෛද්‍යවරයෙකුට පමණක් තනිවම අනෙක් අයට රහසින් මෙවැනි වඳ සැත්කමක් සිදු කළ නොහැකි බව බව අත්දැකීම් ඇති වෛද්‍යවරුන්ගේ අදහසයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ ජේ්‍යෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කළ වෛද්‍ය ගාමිණී විමලරත්න මහතා මේ පිළිබඳව තැබූ සටහනක් මුහුණු පොත ඔස්සේ සැරිසරන අතර එයින් උපුටාගත් කොටසක් මෙසේය.
”මා කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසව වේද අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි. හරිහැටි ගණන් බලා නොතිබුණත් මා සිසේරියන් සැත්කම් 4000කට වඩා කර ඇත්තෙක්මි. සිසේරියන් සැත්කමකදී ශල්‍යකර්මය සිදුකරන වෛද්‍යවරයාගේ සහායට තවත් වෛද්‍යවරයෙක් සහ මනා පුහුණුවකින් යුත් හෙදියක් සහභාගීවේ. ශල්‍යකර්මයේ සියළුම පියවරයන් පිළිබඳව ඔවුන් මනාලෙස දැනුම්වත් ය. ඔවුනගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමක්වත් ඒවා කැපීමක්වත් කළ නොහැක. මන්දයත් එම ක්‍රියාවන් හට අවශ්‍ය උපකරණ, නූල් යනාදිය සැපයිය යුත්තේ සහායක හෙදිය විසින් බැවිනි. පැලෝපීය නාල යනු ඉතා කුඩා අන්වීක්ෂීය ඉන්ද්‍රියයන් නොවේ.

ඒවා උපකරණයක් ඇසුරෙන් Clamp කළහොත් මනාව අවට සිටින්නන්ට දර්ශනය වේ. නමුත් අනිත් අයගේ ඇස් වසා එකදෙයක් කළ හැකි බව කිවයුතුයි. එනම් තම ඇගිලි තුඩුවලින් නාල මිරිකා තැලීමකට ලක්කළ හැකියි. මෙයින් නාල වලට කිසියම්වූ හානියක් ඇතිකළ හැකියි. එහෙත් ප්‍රායෝගිකව එම නාල නැවත යථා තත්වයට පත්වීමේ හැකියාව වැඩියි. කරුණු මෙසේ හෙයින් මේ 4000 වද කිරීමේ කතාව යථාර්ථයක් නොවන බව මගේ හැගීමයි. කලකට පෙර ශල්‍යකර්ම වලදී වකුගඩු ඉවත්කරන බවට පලවූ කතාව සිහිපත් කරමි.

මෙහි පලවූ තවත් අදහසක් ගැන අවධානය යොමුකරමි. එනම් නිසරු කාන්තාවන් හට කරන පරීක්ෂණ හෝ ශල්‍යකර්මවල දී නාලවලට හානිකිරීමට ඇති හැකියාව ගැනයි. පරීක්ෂණ (HSG වැනි) වලදී නාල අතනොගැසෙන බැවින් එවැනි යමක් කළ නොහැකියි. නාල සම්බන්ධ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් VOG වරයෙකුගේ මූලිකත්වයෙන් මිස SHO කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුනොවේ. අවසාන වශයෙන් මෙසේ කිවයුතුය. මෙ කියන වෛද්‍යවරයා එවැනි දෙයක් කළානම් සහායකයින්ගේ උපකාරයෙන් තොරව එවැන්නක් කළ නොහැක. මා ඉතා හොදින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිළධාරින් කුරුණෑගල රෝහලේ නොමැත.”
ඔහුගේ ප්‍රකාශයට අනුව වෛද්‍ය සාෆි මෙවැනි දෙයක් සිදු කළා නම් ඔහුට තනිවම මෙය සිදු කළ නොහැකිය. තත්වය පැහැදිලිය. මීට වෛද්‍ය සාෆි පමණක් පටලවා ඇත්තේ සැලැස්මක ප්‍රතිඵලයක් හෝ සැලැස්මක උවමනාවක් විය නොහැකිද?.

එසේම සෑම දරු උපතක් සඳහාම උපදේශකයෙකු සිටී. ඔහු අදාල ප්‍රසූත කිරීම අධීක්ෂණය කරන අතර මෙවැනි වඳ සැත්කමක් සිදුව ඇත්නම් ඔහුද මේ සඳහා වගකිව යුතුය.
එසේම කුරුණෑගල ශීක්ෂණ රෝහල විසින් මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන කදන්ගමුවගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත්කර ඇත. එහෙත් සාෆි වෛද්‍යවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා අතර යම් ආකාරයක මත ගැටුමක් තිබූ බව චෝදනා එල්ල වී ඇති බව වෛද්‍යවරයාගේ බිරිඳ පවසයි. “2014 අවුරුද්දෙ මට දඹදෙනියට මාරුවීමක් ඇවිල්ල තිබ්බ. අපි අවුරුදු හතරෙන් මාරුවෙන්ඩ ඕනෙ. හැබැයි ඒ වෙලාවෙ මට වැඩිය සීනිය(ර්) කට්ටිය අවුරුදු හය, හත ට්‍රාන්සර් නොවී හිටිය. එතකොට චන්දන මාව යවන්ඩ ෆුල් ට්‍රයි කරා. එතකොට මගේ හස්බන්ඞ් එයත් එක්ක තර්ක කරා. එයා ඇහුව ඇයි එක එක අයට එක එක හැඳිවලින් බෙදන්නෙ ඔක්කොටම එකම හැන්දෙන් බෙදන්ඩ කියල. කොහොම හරි මට ට්‍රාන්සර් එක යන්ඩ උනා. ඒත් ඒ වෙලාවෙ හස්බන්ඞ් එයාට තදින් කතා කරලා තිබුණා. මේ සිද්දිය වෙද්දි එයා ට්‍රාන්සර් ගිහිල්ල ආයෙ කුරුණෑගලට ඇවිල්ල සතියයි.” එසේම ඇය පවසන පරිදි ඒ හේතුවෙන් ඇය එම පරීක්ෂණය අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් ලෙස සලකන්නේ නැත.

පැමිණිලි

පසුගියදා මාධ්‍ය ඔස්සේ සාෆි වෛද්‍යවරයාට දරුවන් මාරුකිරීමේ චෝදනාවක් එල්ල වී ඇති බවත් ඒ ගැන රෝහල් පරිපාලනයෙන් පරීක්ෂණයක් සිදු කර ඔහු වරදකරු වූ බවටත් වන ලිපියක් පළවිය. එහෙත් එවැනි සිදුවීමක් සම්බන්ධව තමන් හෝ තම ස්වාමියා දැන නොසිටි බව ඉමාරා පවසයි.

”ඒ ගැන මම දැනගත්තෙ මාධ්‍යවලින්. හස්බන්ඞ්ට තිබ්බ චෝදනාව 2019 අප්‍රේල් දනමවෙනිද ඉපදිච්ච ළමයෙක්ගෙ VHD එකක් මාරුකරා කියල. ඒකට එයාල ලියුමක් දාල තියනව 2019 මැයි 13. ඒ ලියුම මම දැක්කෙත් මාධ්‍යවලින්. විනය පරීක්ෂණයක් තියනව නම් අදාළ DMO ට දැනුම් දීල තියෙන්ඩ ඕනෙ. මෙයා වැඩකරපු වාට්ටුව පනස් අට. ළමයි හම්බවෙලා ඒ වාට්ටුවට යන්නෙ. එහෙම සිද්ධියක් උනා නම් සිද්ධිය වෙන්ඩ ඕනෙ එතන. මහත්තයටත් කතා කරන්ඩ බැරිහින්ද මම ඒ වාට්ටුවේ ලොකු සිස්ටර්ට කතාකරලා ඇහුව මෙහෙම සිද්ධියක් උනාද කියල. එහෙම දෙයක් උනා නම් එයාට මතක තියනවනෙ මොකද ළඟ කාලෙනෙ. ”එහෙම එකක්නම් උනේ නෑ ඩොක්ටර් මට හිතාගන්ඩ බෑ මොකක්ද උනේ” කියල එයා කීව.

”2018 සීසර් එක කරපු සිද්ධියෙදි ඒ නර්ස්ගෙ කලින් කපල තිබුන. කලින් කපල තිබුණහම ඇඩිෂන්ස් කියල ඇලෙනව. එතකොට සීසර් එකක් නෙවේ කොයි ඔපරේෂන් එක කරත් ඈත් කරකර කරන්ඩ ඕනෙ ඒක අමාරුයි. පරිස්සමින් කරන්ඩ ඕනෙ. හස්බන්ඞ් සාමාන්‍යයෙන් යුනිට් එකේ වෙන දේවල් මට කියනව. ඔය නර්ස්ගෙ ඔපරේෂන් එක කරද්දි ඇඩිෂන් එහෙම ගොඩක් තිබුන කොහොම හරි කරා, ඒ වෙලාවෙ බඳිනකොට මුත්‍ර වාහිනියත් එක්ක බැඳිල. එතකොට යූරීන් එක පැය තුන හතරක් යද්දි අඩු වෙනව. ඒක අපිට තේරෙනව. එතකොට යූරීන් අඩුවෙද්දි මෙයා ටක්ගාල තියටර් එකට දැනුම් දීල තියටර් එකට ගත්ත, සර්ට දැනුම් දුන්නට පස්සෙ සර් ආව, සර්ත් එක්ක එකතුවෙලා තමයි ඊට පස්සෙ සර්ජරි එක කරේ. සර්ගෙ අතින් තමයිලු යුරීට් එක කැපුනෙ. හැබැයි දැන් වෙලා තියෙන්නෙ ඩොක්ටර් සාෆිගෙ අතින් යුරීට් එක කැපුනෙ කියනව. කන්සල්ටන් අතින් කැපුන එකට දැන් මෙයාට වගකියන්ඩ වෙලා. ඊට පස්සෙ මෙයාව ICU දාල තිබුන.  ICU එකේදි මෙයා දෙතුන්පාරක් බලන්ඩත් ගිහිල්ල තියනව. කොහොමත් ICU ඉද්දි යුනිට් එකෙන් බලන්ඩත් ඕනෙ. මෙයා ICU එකට දෙතුන්පාරක් ගිහින් බලපු එක නර්ස් වරදවා හිතාගෙන.” වෛද්‍ය සාෆිට රෝහලේ හෙදියක විසින් සිදුකර ඇති පැමිණිල්ල පිළිබඳව වෛද්‍ය සාෆිගේ බිරිඳ වෛද්‍ය ඉමාරා කීවාය. එම සැත්කම 2018 වසරේ සිදු කළ එකක් වන අතර පැමිණිලි කරන්නේ මේ කතාබහ කරලියට පැමිණියායින් පසුවය.

එසේම සාෆි වෛද්‍යවරයා විසින් සිදු කළ දරු ප්‍රසූත කිරීම් කළ මවුවරුන් සියසකට අධික පිරිසක් ලිපිය ලියන මොහොත වන විට වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කර ඇත. එහිදී තවමත් ඒ කිසිවෙකුවත් වඳ සැත්කමට ලක්කර ඇති බවට අනාවරණය වී නැත. මාධ්‍ය හරහා මේ සිදුවීමට ලැබෙන ඉහළ ප්‍රසිද්ධිය නිසා සාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කළ බොහෝ දෙනෙක් බියවී පැමිණ පැමිණිලි සිදුකරති. මාධ්‍ය විසින් එය මහා බිල්ලෙකු කර මවාපානු ලබයි.

වෛද්‍යවරයාගේ කල්කිරියාව

”ඩොක්ටර් සාෆි එක්ක මම අවුරුදු දහයක්, දෙදාස් හයේ ඉඳන් වැඩ කරල තියනව. මට කියන්ඩ පුලුවන් එයා වගකීමෙන්, කැපවීමෙන් වැඩකරන වෛද්‍යවරයෙක්. මම තමයි ඒකාලෙ මාතෘ ළමා අංශයේ උපදේශක වෛද්‍යවරයා විදිහට කටයුතු කරේ. ඩොක්ටගෙන් සිසේරියන් කරපු ගොඩක් අය මම ගාවට ඇවිල්ල තියනව. හැබැයි එක්කෙනෙක්වත් ඔපරේෂන් එකෙන් පස්සෙ ළමයි නෑ කියල හරි වෙන මොනව හරි සංකූලතා තියනව කියල හරි ඇවිල්ල නෑ. සමාන්‍යයෙන් සිසේරියන් සැත්කමකින් පසු ද්විතීයික මදසරුභාවය ඇතිවෙන එක ස්වාභාවික දෙයක්. ඔපරේෂන් අටදාහක් විතර කරාට පස්සෙ පනහක් විතර එහෙම වෙන්ඩ පුලුවන්. හැබැයි දෙදාහක් විතර එහෙම උනොත් ප්‍රශ්නයක්. ඒ වගේම ඔපරේෂන් අටදාහකට පස්සෙ ගර්භාෂය ඉවත්කරන්න උනේ එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ නම් ඒක පුදුමයක්. මොකද ඔපරේෂන් අටදාහක් කරහම සාමාන්‍යයෙන් ගර්භාෂය ඉවත් කරන්ඩ අවස්ථා පනහක්වත් එනව.

අනිත් එක ඔය කියන වඳ සැත්කම කරාට පස්සෙ ගොඩක් ලේ යනව. ඒක නිසා ඒක තනියම හොරෙන් කරන්ඩ බෑ. ඔය ඔපරේෂන් එක දිහා තව තුන්දෙනෙක්ම බලාගෙන ඉන්නව එතකොට කොහොමද ඔහොම දෙයක් හොරෙන් කරන්නෙ.? මම එයත් එක්ක වැඩකරපු ඩොක්ටර්ස්ලට කතා කර බැලුව එයාල හැම කෙනෙක්ම කීවෙ මේක බොරු කතාවක් එහෙම දෙයක් උනෙ නෑ කියල. අනිත් එක ඩොක්ටර් සාෆි එක්ක GMOA තරහයි. මොකද එයා කවදාවත් වැඩ වර්ජන වලට සභභාගි උනේ නෑ. මට සහතික කරල කියන්ඩ පුලුවන් ඔය කියන විදිහෙ වඳ සැත්කම් වෙලා නෑ කියල” ඔහු කුරුණෑගල රෝහලේ මාතෘ හා ළමා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු දැන් එම රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු නොකරන අතර, ඔහු මේ වන විට විශ්‍රාමිකය. එහෙත් උද්ගත වී ඇති වාතාවරණය තුළ ඔහු සිය අනන්‍යතාවය හෙලි කිරීමට කැමති වූයේ නැත.
කුරුණෑගල නගරයේ ජීවත්වන එම්. එස්. රනීස් මාතලේ නගරයේ ව්‍යාපාර කටයුතු වල නිරත වන්නෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකුද වෙයි. ඔහු වෛද්‍ය සාෆි පිළිබඳව තමා දන්නා තොරතුරු අප හා පැවසීය.

සාෆි ළඟට එන හැම කෙනෙකුටම එයා ජාතිය බලන්නෙ නැතුව උදව් කරා. වෙන අය ළඟට මිනිස්සු යන්නෙ රස්සා ඉල්ලගනනෙ, හැබැයි මෙයා ළඟට කට්ටිය එන්නෙ සල්ලි ඉල්ලගෙන. මෙයා එන හැම කෙනෙකුටම උදව් කරා. මොකද මෙයා කරේ ඉඩම් බිස්නස්. මෙයා කවුරුහරි කට්ටියක් එක්ක ඉඩම් අරගෙන වැඩි මුදලට විකුණනව. මෙයා කරේම සමාජ සේවා වැඩ. ඩොක්ටව දන්න කෙනෙක් විදිහට මට කියන්ඩ පුලුවන් ඩොක්ටර් සාෆි කිසිමදාක මේ වගේ වැඩක් කරන කෙනෙක් නෙවේ. මට විශ්වාසයි ඒක. මේක පිටිපස්සෙ තියෙන්නෙ දේශපාලන ගේමක්.”

සුලමුල

කුරුණෑගල සිංහළ වෙළඳ සංගමය යන නමින් සිංහල ව්‍යාපාරිකයන් විසින් පිහිටුවාගත් සංවිධානයක් ඇති අතර මෙම සංගමය කුරුණෑගල ඉඩම් හා ව්‍යාපාර සිංහලයන්ට පමණක් ලබා ගැනීමට බොහෝ කාලයක පටන් ක්‍රියා කර ඇත. එසේම මොවුන්ට කුරුණෑගල නගරාධිපතිවරයා සමඟද සමීප සබඳතා ඇත. එහි ප්‍රථිපලයක් ලෙස පසුගිය දිනක කුරුණෑගල නගර සීමාව තුළ හරක් මස් කඩ තහනම් වීම සිදුවේ. එසේම දැනගන්නට ලැබෙන තොරතුරු වලට අනුව නගරාධිපතිවරයා සහ මෙම සංගමය විසින් සාකච්ඡා කර මින් ඉදිරියට කුරුණෑගල නගරසභාවට අයත් කිසිඳු කඩ කාමරයක් මුස්ලිම් ජාතිකයන්ට ලබා නොදීමට එකඟතාවයකට පත්ව ඇත.

කුරුණෑගල නගර මධ්‍යයේ තිබූ රියෝ නම් ගිමන්හලේ ඉඩම විකිණීම සඳහා 2015 වර්ශයේ එහි හිමිකරු වූ බෘනෝ නම් පුද්ගලයා කටයුතු කරයි. එවිට කුරුණෑගල සිංහල වෙළඳ සංගමය සහ මෙම වෛද්‍යවරයා ඇතුලු තවත් පුද්ගලයන් තිදෙනෙකු විසින් මෙම ඉඩම මිළදී ගැනීමට උත්සහ කරන අතර ඇති අතර අවසානයේ සාෆි වෛද්‍යවරයා ඇතුලු පිරිස විසින් එම ඉඩම මිළදී ගනු ලබයි. ඒ රුපියල් කෝටි එකොළහකටය. ඉඩම මිළදී ගත් පිරිස වූයේ වෛද්‍ය සාෆි, එම්. සාජිත්, එම්.රවුස්දීන්, අයි. රහුමාන් යන සිව්දෙනාය. කෙසේ වෙතත් ඉඩම මිළදී ගැනීමෙන් පසුව දිගින් දිගටම විවිධ පුද්ගලයන් හරහා තර්ජනය කරමින් මෙම ඉඩම සිංහල වෙළඳ සංගමය වෙත මිළදී ගැනීමට එම සංගමය විසින් උත්සහ දරා ඇත. කෙසේ වෙතත් වෛද්‍යවරයා ඇතුලු පිරිස මෙම ඉඩමේ ඇති වටිනාකම සලකා එය සිංහල වෙළඳ සංගමයට විකිණීමට කටයුතු කර නැත.
කෙසේ හෝ මෙම ආරවුල් වල ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරයා වත්කම් ඉපයීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇත. ඉන් පසුව සිංහළ වෙළඳ සංගමය විසින් මෙම මවුවරුන් වඳකිරීමේ කතාව ගොතා ප්‍රසිද්ධ කර ඇත. ඒ බව සනාත වන්නේ මොහුගෙන් පෙර සිදුවන සියලු ප්‍රශ්න කිරීම් සහ පරීක්ෂණ සියල්ලම පාහේ වත්කම් ඉපයීම සම්බඳව වීම හරහාය. මවුවරුන් වඳ කිරීමේ කතාව එන්නේ පසුවය.

මාධ්‍ය සහ නාට්‍ය

කුරුණෑගල රෝහලට පැමිණිලි සිදුකිරීමට පැමිණෙන මවුවරුන් වීඩියෝ කිරීමට එහි මාධ්‍යවේදීන් පිරිසක් එහිම රඳවා තබා ගැනීමට රෝහල් අධිකාරිය ක්‍රියාකර ඇත. එසේම මෙම සිදුවීම මතුවූ විගසම රෝහලේ පාලන අධිකාරිය විසින් මාධ්‍ය හමුවක් පවත්වන අතර, ඒ ඔහුගේ හිතුමනාපයටය. ඔහු මාධ්‍යහමුවක් පැවැත්වීමට ප්‍රථමව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබා ගත යුතුව තිබුණි. එහෙත් ඔහු එවැන්නක් සිදුකර නොමැති බව දැනගන්නට ඇත. එසේම ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ සාමාජිකයෙකුද වේ. මේවා මනාව සැලසුම් කළ නාට්‍ය බව පැහැදිලිය. එසේම මේ මොහොතේ මේ කාරණය සත්‍ය බව දිවුරා කියන අතුරලියේ රතන හිමියන්ට සේම ජනතාවටද ඡන්දය අත ළඟ බව පැහැදිලිය. ”මෙම වෛද්‍යවරයා වඳ සැත්කම් සිදු කළ බව සීයට අනූ නවයක්ම පැහැදිලි” බව රතන හිමියෝ පවසති. එහෙත් එවැන්නක් උන්වහන්සේ පවසන්නේ කෙසේ දැයි තහවුරු වන කරුණක් නැත.

(ඇතිවී ඇති වාතාවරණය මත තොරතුරු ලබා දුන් පුද්ගලයන් හෙලිකිරීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඔවුන්ගේ නම් සහ ඡායාරූප පලකල නොහැකිය. මෙහි ඇතැම් පුද්ගලයන්ගේ නම් සඳහන් වන අතර ඒ ඔවුන්ගේ කැමැත්ත මතය.)

ශ්‍රි ලංකා නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අතුල කළුආරච්චි.

සංගමයක් විදිහට අපි සෞඛ්‍ය අමාත්‍යංශයට සාමාජිකයන් දෙන්නෙක් නම් කරල තියනව. එයාල මේ වෙද්දි කුරුණෑගල ගිහිල්ල පරීක්ෂණයට ආරම්භ කරල තියනව. මේ සිදුවීමේ ඇත්ත නැත්ත හොයන එක තමයි අපේ බලාපොරොත්තුව.

 

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර.

අපි මේ වෙද්දි කරන්නෙ මේ සම්බන්ධව තොරතුරු රැස්කිරීමේ මූලික කටයුතු. ඒ තොරතුරු ලබාගෙන අපි ඉදිරියේදී විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරනවාද කියන තැනට යනව. ඒ වගේම මේ වෙද්දි රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු මේ වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි දෙකක් ඉදිරිපත් කරල තියනව. මේ සිද්ද වෙන්ඩ පුලුවන්ද බැරිද කියන එක පිළිබඳව අපි දැන් නිගමනයන් ලබා දෙන්නෙ නෑ.

කුරුණෑගල සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක.

අපේ සංගමය සහ මෙම වෛද්‍යවරයා අතර කිසිඳු ආරවුලක් පැවතියේ නෑ. අප අතර ආරවුලක් හෝ ගැටුමක් ඇති බවට වන තොරතුරු අප ප්‍රතික්ශේප කරනව. එම වෛද්‍යවරයාව සාමාන්‍ය විදිහට අපි හඳුනනවා. අපේ සංගමයෙන් කිසිඳු පත්‍රිකා බෙදා හැරීමක් සිදුකර නැහැ.