සිංහල නිවෙසක කුරානයක් තිබීමත් වරදක්ද?

නිමල් අබේසිංහ

රත්නපුරයේ සිංහල තරුණයකු මිතුරු මුස්ලිම් තරුණයන් දෙදෙනකු සමග මැයි මස 19 වැනිදා සවස රත්නපුර අංගම්මන කන්දට නගිනුයේ වෙසක් සිරියෙන් බබලන රත්නපුර නගරයේ ඡායාරූප ගැනීමටය.

මේ ගැන ආරංචිය ලද ගම්වැසියෝ තරුණයන් තිදෙනා වටකරගෙන පිටත යා නොදී රැකවල් ලා පොලිසියට දැනුම් දෙන්නේ ඔවුන් මහා බරපතළ වරදක් කළවුන් ලෙසිනි. අනතුරුව මේ තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබේ. මෙම සිද්ධිය රට පුරා ප්‍රචාරය වූයේ ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන මෙම ඡායාරූප ලබාගත් බවටය. සැබැවින්ම ඒ අවස්ථාව වනවිට ඔවුන් සතුව ඩ්‍රෝන කැමරාවක් තිබී නැත. ඉන්පසුව ප්‍රචාරය වූයේ ඔවුන් සිංහල තරුණයා සතුව අධිතාක්ෂණික කැමරාවක් තිබුණු බවය. එහෙත් තරුණයා භාවිත කරන කැමරාව රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා එකක් බව ඔහුගේ පියා කියයි.

මෙම සිද්ධියේදී තරුණයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අවශ්‍ය වී ඇත්තේ ප්‍රදේශයේ සිංහල ප්‍රජාවගෙන් එක්තරා දේශපාලන පක්ෂයක අනුගාමිකයන්ට බව එහි කළ සංචාරයේදී අපට තොරතුරු ලැබිණ. මෙහිදී ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් පෙරමුණ ගෙන තිබේ. වෙනකක් තබා ඒ හිමියන් රත්නපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමගද මේ සිද්ධිය මුල් කරගෙන ආරාවුලත් ඇති කරගෙන ඇත. එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉවසීමෙන් කටයුතු කිරීම හේතුවෙන් ආරාවුල දුරදිග ගොස් නැති බවද හෙළිවේ.

අප්‍රේල් 21දා සිද්ධියෙන් පසුව ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගේ නිවෙස් පරීක්ෂා කිරීමට පොලිසිය පැමිණෙද්දී අත්අඩංගුවට ගත් එක් තරුණයකුගේ නිවසේ තිබූ ඩ්‍රෝන කැමරාවක් පොලිසියට භාරදී ඇත. එය පොලිසිය විසින් කළ සොයා ගැනීමක් නොවන අතර ස්වේච්ඡාවෙන් භාර දුන්නක් ලෙස සැලකිය යුතුය. මෙම සිද්ධියේදී තවත් පුදුමාකාර සිද්ධියක්ද සිදුව ඇත.

ඒ සිංහල තරුණයාගේ නිවසේ තිබී සිංහල බසට පරිවර්තනය කළ කුරාන් ග්‍රන්ථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමය. ඉස්ලාම් ආගමික ග්‍රන්ථයක් සන්තකයේ තබා ගැනීම ත්‍රස්තවාදී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් වන්නේද යන සැකය මෙහිදී පැන නගී. ඒ අතරේ අපට 1971 කැරැල්ල සහ 1988, 89 සිහිපත් වේ. නවසිය හැත්තෑ එකේදී ගම්පෙරළිය නවකතා පොත සන්තකයේ තබා ගත්තෝද පොලිස් අත්අඩංගුවට පත්වූහ. 88, 89දී රාවය සහ යුක්තිය පුවත්පත් ළඟ තබා ගැනීම අත්අඩංගුවට පත්වීමට තරම් භයානක හේතුවක් බව සමාජයේ ප්‍රචාරයක් විය. එනිසා එවැනි පොත්පත් තිබූ නිවෙස්වල වැඩිහිටියෝ එක්කො ඒවා වළ දැමූහ. නැතිනම් ගිනිබත් කළහ. ඉදින් කුරාණයක් තිබුණේය යන්නත් අපරාධයක් ලෙසට ගැනෙන්නේ නම් අප ආපසු ගමන් කරන්නට සූදානම් වන්නේ නැවතත් යටකී භීෂණ යුගයන් කරාද යන්න ප්‍රශ්නකාරීය.

අංගම්මන කන්දේ සිට රත්නපුර නගරයේ ඡායාරූප ගැනීමට ගිය තිදෙනා වන්නේ අනුෂ්ක දිල්හාර කළුපහන, එම්.එෆ්.එම්. පවුලාන්, එම්.එන්.එම්. නහ්රාන් යන තරුණයන් තිදෙනාය. ඔවුන් තිදෙනාම රත්නපුර ගොඩිගමුවේ පදිංචි අය සේ ම අසල්වැසි මිතුරෝ වෙති. අනුෂ්ක දිල්හාරගේ පියා මිනින්දෝරු වෘත්තිකයෙකි. ඔහු ප්‍රදේශයේ ජනතාව අතර හොඳ හිත දිනාගත් අයකු ද වේ.

“මගේ පුතා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා. ඔහුගේ විනෝදාංශ තමයි ඡායාරූපගැනීම සහ පොත්පත් කියවීම. ඔහු විවිධ පොත්පත් කියෙව්වා. ඒ පොත් අතර කුරාණයක් තිබුණා. පොලිසිය කුරාණය දැක්ක ගමන් ඒකත් ඒ අයගෙ භාරයට ගත්තා. මම අහන්නේ ඒ වගෙ පොත් කවුරුහරි තියාගන්න බැරි තහනම් නීති විරෝධී භාණ්ඩද කියන එකයි.

මෙම තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම සඳහා දැඩි උනන්දුවක් වුවමනාවක් තිබී ඇත්තේ වෙනත් ප්‍රදේශවල ජනතාවටය. ගමෙහි අසල්වැසි සිංහලයන්ට එවැනි වුවමනාවක් තිබී නැත.

එනිසා පොලිසිය ඔවුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමට ගිය විට ඔවුහුද මේ අයගේ ගෙවල් අසලට පැමිණීමෙන් නොනැවතී නිවෙස් පවා පරීක්ෂා කිරීමට උත්සාහ කළත් නිවැසියන්ගේ විරෝධය නිසා එය අසාර්ථක වී ඇත.

තමන්ට කිසිසේත් අයිති නැති කාර්යයක් කරන්නට තරම් මේ අය පෙරමුණ ගත්තේ ඇයි? එය සැබැවින්ම ඔවුන්ගේ වුවමනාවක්ද නැතිනම් වෙනත් බාහිර පුද්ගලයන්ගේ වුවමනාව මත සිදුවූවක්ද? පරීක්ෂාව සඳහා නොපැමිණියද බෞද්ධ භික්ෂූන් කිහිප නමක්ද මේ පිරිස සමග පැමිණි බවද අනුෂ්ක දිල්හාර කළුපහනගේ පියා කියයි. අනුෂ්ක දිල්හාර කළුපහන සතුව කුරාණයක් තිබුණේ ඔහු මුස්ලිම් තරුණියක විවාහ කරගැනීමට සිටින බැවින්ය යන කතාබහක්ද ඔවුනට එරෙහිව සිටින පිරිස අතර මතයක් පවතී. එය මිතුරු වේශයෙන් එන්නක් නොව සතුරු වේශයකින් එන්නකි. හර්ෂණ කළුපහනට මුස්ලිම් තරුණියක සමග ඇත්තටම විවාහ විය නොහැකිද? එය වූ පමණින් ඔහු ත්‍රස්තවාදියකු ලෙස ලේබල් ගැසිය යුතුද? මේ හොඳ පනින්නේ සිංහල ස්වෝත්තම වාදයේ අවිඥානික සිතුම් පැතුම්ය. එවන් සමාජයක් පවතිද්දී සහජීවනයත් සංහිඳියාවත් ගැන කවර කතාද?

කෙසේ වුවත් මෙම තරුණයන් වරදක් කර ඇත්නම් එයට දඬුවම් ලැබෙනු ඇත. එසේ නොවී කල්වේලා ඇතිවම ඔවුන් වරදකරුවන් බවට තීන්දු කර කටයුතු කිරීමෙන් පෙනෙන්නේ අප තවමත් වෙසෙන්නේ දඩයම් යුගයේ බවය.