එජාපය පුම්බන්න මිලියන 353ක් බලෙන් කපා ගනිති

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි/රසික ගුණවර්ධන

අලුතින් පවුල් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාර හිමිකම් පත්‍ර බෙදාදීමට රට පුරා සංවිධානය කරන උත්සව සඳහා දැරීමට නියමිත සමස්ත වියදම රුපියල් මිලියන 300ක් බවත්, එම මුදල සමෘද්ධි ආරක්ෂණ අරමුදලෙන් ලබාගෙන පසුව නව සමෘද්ධිලාභීන්ගෙන්, එක් අයකුගෙන් රුපියල් 300 බැගින් අයකර ගැනීමට නියමිත බවත් රාවයට වාර්තා වේ.

ඊට අමතරව එම උත්සවයට ප්‍රචාරණය ලබාදීම වෙනුවෙන් සමෘද්ධි බැංකු 1074ම ඉදිරිපිට ඉදිකරන ලෙස සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් විසින් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව දන්වා ඇති දැවැන්ත ප්‍රචාරක පුවරු සඳහා රුපියල් මිලියන 53කට වැඩි මුදලක් සමෘද්ධි බැංකුවලින් වියදම් කිරීමට සිදුවන බවද දැනගන්නට තිබේ.
අඩි 5 × 10 ප්‍රමාණයෙන් කල්පවතින ලෙස රාමු සහිතව, ඒවා රඳවන යකඩ Box bar (0-1″ x (0-1″) සහ විෂ්කම්භය 11/4 වන GI බට කොන්ක්‍රීට් දමා පොළොවට සවිකරන ආකාරය දැක්වෙන දළ සැලැස්මක්ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා යොමු කළ ලිපියට අමුණා ඇත. ජනාධිපති සහ අගමැතිගේ ඡායාරූපද දයා ගමගේ අමාත්‍යවරයාගේ විශාල රුවක්ද සහිතව ඉදිකරන පුවරුවේ ආදර්ශකයක්ද ඒ සමගම එවා තිබේ.

2019.05.30 වැනි දින සිට 2019.06.15 දින දක්වා අදාළ උත්සව දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වේදිකා 25ක් සඳහා රුපියල් ලක්ෂ 1060, ටී ෂර්ට් 125,000 සඳහා රුපියල් ලක්ෂ 605, පෝස්ටර් සඳහා රුපියල් ලක්ෂ 24, මාධ්‍ය ප්‍රචාරණය සඳහා රුපියල් ලක්ෂ 382 සහ ආවරණ කුටි සඳහා රුපියල් ලක්ෂ 63ද, ගමන් වියදම් සහ සංග්‍රහ වියදම් ලෙස රුපියල් ලක්ෂ 2673ක් ද වියදම් කර ඇති බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ රාවයට පැවසීය.

ඔහු පවසන පරිදි 2015-2017 අතර කාලසීමාව තුළ සමෘද්ධි ලබාදීම සඳහා සමීක්ෂණයක්ද, පුවත්පත් දැන්වීම්ද පළකර ඇති අතර රුපියල් මිලියන 80ක් වැයකර සමෘද්ධිලාභීන් දහතුන් ලක්ෂ අනූදහසකගේ පොරොත්තු ලේඛනයක්ද සකසා තිබේ. එම ලේඛනය අමාත්‍ය දයා ගමගේ විසින් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් වෙත යවා එම ලේඛනවල සිටින එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස්වල නාමලේඛනය වෙනම ගෙන්වා ගෙන ඇත.

එසේම පසුගියදා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසුවේ එජාප පාක්ෂිකයන්ට පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාර ලැබී නොමැති බවත්, ඒ හේතුවෙන් මෙවර එජාප පාක්ෂිකයන්ට සමෘද්ධි සහනාධාර ලබාදෙන බවත්ය.

මීට පෙර මහින්ද රාජපක්ෂ සමයේදීද සමෘද්ධිලාභීන්ට නිවාස පිළිසකර කර ගැනීම සඳහා රුපියල් 10,000 ආධාරයක් ලබාදී ඔවුන්ගේ අරමුදල්වලින් රුපියල් 2500 බැගින් අය කරගත් බවත් චාමර මද්දුම කළුගේ මහතා ප්‍රකාශ කළේය. ■