විකිරණ – න්‍යෂ්ටික ගබඩා අනාරක්ෂිතයි ආරක්ෂාව අනතුරේ

නිමල් අබේසිංහ

විකිරණ හා න්‍යෂ්ටික ගෝලීය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තරයම අවධානය යොමුකර තිබියදීත්, ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන විකිරණ හා න්‍යෂ්ටික ගබඩාවලට ආයුධ සන්නද්ධ ආරක්ෂාව තවම ලබාදී නැත.

මෙරට ප්‍රධානතම විකිරණ හා න්‍යෂ්ටික ගබඩා දෙක ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය (Sri Lanka Atomic Energy Board) සතුවන අතර එය බියගම හා ඔරුගොඩවත්ත ප්‍රදේශවල පිහිටා තිබේ. අප්‍රේල් 21දා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවවත් මේ පිළිබඳව අවධානය යොමුකර නොතිබීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක කවුන්සිලයට වුව මේ පිළිබඳව නිසි අවබෝධයක් නැති බවය.

පරමාණු බලශක්ති මණ්ඩලය සතු බියගම ගබඩාවේ හදිසි අනතුරු සංඥා පද්ධති දෙකක් සවිකර ඇති අතර, එකක් බියගම පොලිස් ස්ථානයට සම්බන්ධ කර තිබේ. අනෙක් පද්ධතිය සම්බන්ධ කර ඇත්තේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේය. මින් ගෝනහේන කඳවුරට සම්බන්ධ අනතුරු සංඥා පද්ධතිය 2014ට පෙර සිට අද දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබෙන බව මණ්ඩලයේ සභාපති දීපාල් සුමන්ත්‍රි ගුණරත්න රාවය කළ විමසුමකදී පැවසීය. එයට අමතරව මෙම ගබඩාවට හෝ ඔරුගොඩවත්ත ගබඩාවට සන්නද්ධ ආරක්ෂකයන්ද යොදවා නැති බව ඔහු සනාථ කළේය.

මෙරට තුළ පවතින විකිරණ හා න්‍යෂ්ටික ගබඩා සඳහා තාක්ෂණික ආරක්ෂණ උපකරණ සවිකිරීම සඳහා වූ ගිවිසුමක් 2012 ජනවාරි 30 දින ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කර තිබේ.

ඒ අනුව ගෘහස්ත ආරක්ෂාව සඳහා ජීවමිතික ප්‍රවේශ පාලන උපකරණ,  (Biometric access Control devices) , ද්වාර සීනු (Door alarms), චලන සංවේදක  (Motion Sensors), කැමරා, ඩුරෙස් බටන්ස් (Duress Buttions), විකිරණ සංවේදක (Radiation Sensors) විද්‍යුත් බාධාවන් දක්වන මුද්‍රා  (Electronic tamper indicating Seals) දුරස්ත පාලක පද්ධත (Remote mointoring Systemes) යන ආරක්ෂක උපකරණ සවිකිරීම සඳහා ඇමරිකන් රජයේ ආධාර ලැබී තිබේ. මෙම ආධාර ඍජුවම ශ්‍රී ලංකා රජයට ලබා නොදී ඇමරිකාව විසින්ම ටෙන්ඩර් කැඳවා උපකරණ සවිකිරීම ලබාදී ඇත්තේ සර්ටිස් නම් සමාගමකටය. අනතුරුව මේවා පවත්වාගෙන යාම සර්ටිස් සමාගමේ නියෝජිතයකු ලෙස කටයුතු කළ කෆීල් නමැත්තා විසින් එලයිඞ් නමැති සමාගමක් පිහිටුවා එයට ලබාගෙන ඇත.

කෙසේ වුවත් ලැබෙන තොරතුරු අනුව මෙම සවි කළ උපකරණ හෝ ඒවායේ වටිනාකම් ලැයිස්තු ගතකිරීමක් හෝ සිදුව නැත. මෙම ව්‍යාපෘතිය සිදුවෙන අවධිය වන විට පැවතියේ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරිය නම් ආයතනයය. එවකට මේ ව්‍යාපෘතිය භාරව ක්‍රියාකර ඇත්තේ අනිල් රංජිත් නම් නිලධාරියෙකි.

2014 වසරේදී පරමාණු බලශක්ති අධිකාරිය පරමාණු බලශක්ති මණ්ඩලය හා නියාමන සභාව වශයෙන් ආයතන දෙකකට වෙන්කර ඇති අතර සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්ව ඇත්තේ අනිල් රංජිත්ය. එලෙසම තවදුරටත් මෙම ස්ථාන නියාමනය කිරීම සිදුවන්නේ පරමාණු බලශක්ති සභාව මගින්ය.
ඇමරිකන් ආධාර යටතේ ආරක්ෂක උපකරණ සවිකිරීම වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 440ක් පමණ ලැබී ඇතැයි දැනගන්නට ඇතත් නිශ්චිතව එම මුදල තවමත් තහවුරු වී නැත. පහසුකම් ලබාදී ඇති ආයතන ගණන 12කි.

විකිරණ සහ න්‍යෂ්ටික ප්‍රහාරයක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි උපකල්පනය කරන වාතාවරණයක් පවතිද්දී මෙකී උපකරණ සවිකිරීමේ පවතින දුබලතාවන් අදටත් හඳුනා ගැනීම සඳහා කිසිදු විමර්ශනයක් සිදුව නැත. අවම වශයෙන් ව්‍යාපෘතියට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මෙම ස්ථානයට නොයෙදීමත්, ගැටලුවක් බව මේ පිළිබඳව තතු දත් අය කියති. එසේම මෙම ව්‍යාපෘතියට අදාළව ආරක්ෂාව සැපයිය යුතු පොලිස් විශේෂ කාර්ය බලකාය එවැනි ආරක්ෂාවක් ලබානොදීමද ගැටලුවක් බවද මේ අය කියති.

රට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව සිටින මොහොතක මෙම විකිරණ හා න්‍යෂ්ටික ද්‍රව්‍ය ආනයනය කිරීමට හා සන්නද්ධ ආරක්ෂාවක් රහිතව ගබඩා කිරීමට ඉඩදීමට නියාමන සභාව කටයුතු කිරීමත් සැකසහිත බව ඔවුහු තවදුරටත් කියති. එසේම මේ දක්වාම විකිරණ සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය ගබඩා කරගෙන සිටින හඳුනා නොගත් ස්ථානද තිබෙන බව හෙළිවේ. මෙයට ආසන්නතම උදාහරණය, කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාන 10ක තිබූ මෙම ද්‍රව්‍ය උපකුලපතිවරයා මැදිහත් වී පරමාණු බලශක්ති බල මණ්ඩලයට භාරදීමය. ඒ වනතුරුද විශ්වවිද්‍යාලයේ එවැන්නක් ඇති බව වගකිවයුත්තන් දැන සිට නැත.

මේ අතර විකිරණ ප්‍රභව ආනයනය කර, සභාවේ ලියාපදිංචි නොකළ ස්ථානයක් වන කැලණියේ නුංගමුගොඩ, පිලමවුන්ට් ස්ටේට්හි කන්ටේනර් අංගණයක තබන බවද හෙළිවේ. අවසන්වරට එවැනි සිද්ධියක් වූ ජනවාරි මාසයේදී මෙලෙස තබා තිබූ විකිරණ ප්‍රභව බහාලුම් තුනෙන් දෙකක් මහරගම රෝහලටත්, අනෙක මහනුවරටත් යවා ඇත.
විදුලිබල හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායකගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වහාම අවශ්‍ය පියවර ගන්නා බවය. (මේ පිළිබඳ සවිස්තරාත්මක විශේෂාංග ලිපියක් ලබන සතියේ පළවේ. ■