ඔබටත් ඇසෙනවද? ඔබටත් හැඟෙනවද?

වින්ද්‍යා ගමගේ

“ඇයට ඇසෙන දේ ඔබටත් ඇසෙනවාද?
ඇයට හැඟෙන දේ ඔබටත් හැඟෙනවාද?”

සිය කාර්යාලයේ දිගු දවසක් ගතකර නිවසට යෑමට සැරසෙන ඇයගේ ශ්‍රවණ ආධාරකය නාන කාමරය තුළ වැටේ. තෙත්වීම නිසා එය තවදුරටත් ක්‍රියා නොකරයි. එතැන් සිට සිදුවන සියල්ල හිටි අඩියේම අනතුරුදායක වේ.

“Waves Interrupted”  (බාධා වූ තරංග) නම් සිය ප්‍රථම කෙටි චිත්‍රපටය හරහා දෙස් විදෙස් සිනමා උළෙලවල් කිහිපයකම ඇගැයීමට ලක්වූ ඩිමොන් ජෝන් සමග ඔහුගේ කලා කෘතියේ නිර්මාණාත්මක හා තාක්ෂණික කරුණු වටා කළ සංවාදයක් පහතින් දක්වමු.

සිද්ධි තුනේ අනුප්‍රාණය

මේ කතාව ලියන්න මට මුලින්ම අදහස එන්නෙ රත්මලාන අඳ ගොළු – බිහිරි පාසලෙන් ඇසෙන, නොපෙනෙන අය ඉගෙන ගන්නේ කොහොමදැයි මට පාසල් යන කාලයේ සිටම කුතුහලයක් තිබුණා. පසුකාලෙක බිහිරි විද්‍යාලයට ගිය වෙලාවක එතන 10 වසර පන්තියක් කරගෙන යනවා. සර් බෝඞ් එකේ ලියනවා. ළමයි කිසිම සද්දයක් නැතිව ලියා ගන්නවා. ඉතිරි ඉගැන්වීම සංඥා භාෂාවෙන් සිද්ධ වෙනවා. මා ඒ දිහා බලා හිටියා. සම්පූර්ණයෙන්ම නොඇසෙන වගේම අර්ධ වශයෙන් කන් ඇසෙන ළමයි එතන ඉගෙන ගත්ත බව සර් කිව්වා. පස්සෙ මම මගේ පුරුදු ජීවිතයට වැටුණා. ඒත් ඒ අත්දැකීම කවදාවත් අමතක වුණේ නැහැ.

වැඩට යන කාලෙ මම පිළිවෙළට ඇඳගෙන යන දවසට බස්හෝල්ට්වල මුණ ගැසෙන ගැහැනු ළමයින්ගෙ වැඩි වෙනසක් නැහැ. ඒත් රැවුල, කොණ්ඩෙ වවලා ඉන්න කාලෙට ඒ අය ටිකක් බයෙන් වගේ තමා මා දිහා බලන්නෙ. ළඟින් ඈත් වෙනවා. ඒක ගොඩක්ම උනේ රෑ කාලෙට.

මගේ අම්මා, නංගි පරක්කු වෙලා ගෙදර එන දවසට ඒ අය පාරෙදි වුණු සිද්ධි ගැන කතා කරනවා. මිනිස්සු ළඟින් යද්දි බය හිතිච්ච හැටි කියනවා. මාලෙ කඩයිද කියලා බයවෙනවා.

මේ අත්දැකීම් ටික තමයි චිත්‍රපටියට පදනම වුණේ. සාමාන්‍ය මතය විශේෂයෙන් රෑ පානේ ගැහැනු පාරෙ යන්න බයයි කියන එකයි. ඇයි එහෙම වෙන්නෙ? මේ දේවල් අද ඊයෙ වුණු දේවල් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන් රැගෙන ආපු බය තමයි මේ තියෙන්නේ. අපේ ආච්චි බයවුණා. අම්මටත් ඒ බය තියනවා. දැන් නංගිටත් ඒ හැඟීම දැනෙනවා. අපි ඒක සාමාන්‍ය දෙයක් කියා සිතුවත් ඔවුන්ට එයින් විශාල බලපෑමක් තිබෙනවා. ඒක කාන්තාවන් අතර තියන පොදු බයක්.

පිටපතට පෙර

ස්වාධීන චිත්‍රපටකරුවෙක් විදිහට වැඩ කරද්දි ‘බජට්’ එක ගැන හිතන්න වෙනවා. අපි මුලින්ම නිර්මාණයක් කරද්දී මුදල් යොදවන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. අපිම සල්ලි දැම්මොත් තමයි අපට ඕන විදිහට චිත්‍රපටය කරගන්න පුළුවන්. අතේ පොඩි ගාණක් තිබුණු නිසා ‘තනි චරිතයක්’ වටා ගෙතුණු කතාවක් කළේ. ඒක මුදල් අතින් පහසු වුණත් එක් චරිතයක් සමග කෙටි චිත්‍රපටයක් කිරීම අමාරු දෙයක්. කතාබහක් නැති නම් චරිතය අදහස් ප්‍රකාශ කරන්නෙ කොහොමද? එහෙම හිතද්දි ඇය බාහිරයත් එක්ක ගැටෙනවට වඩා ඇගේ අභ්‍යන්තර ප්‍රකාශයක් කළොත් හොඳයි කියා හිතුණා. ඒක සාමාන්‍ය විදිහට නොකර වෙනත් විදිහට කරන්න ඕනකම තිබුණු නිසා නිහඬ චිත්‍රපට බලලා ඒවයින් අදහසක් ගත්තා. කෙටි චිත්‍රපටවල කුඩා පරිමාණය නිසා පර්යේෂණාත්මක, දෙයක් කරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. ‘සයිලන්ඞ් ෆිල්ම්’වල දෘෂ්‍යමය භාවිතය වැඩියි. මේ චිත්‍රපටයෙ අර්ධ වශයෙන් කන් ඇසෙන තරුණියකගෙ චරිතයක් තිබෙන්නෙ. ඇගේ සිතුවිලි ශබ්දය fායදාගෙන ප්‍රකාශ කරන්නෙ කොහොමදැයි නිතරම හිතුවා. ඒ ගැන තොරතුරු හොයලා බැලුවා. ලෝකයේ මේ වනවිට කරලා තියෙන ශ්‍රවණ පර්යේෂණවලදී විවිධ ශ්‍රවණ පරාසයන්වල අනුකරණයන් (Simulations) අන්තර්ජාලය හරහා අසන්න ලැබුණා. එතනදි තේරුම් ගියා ශබ්දය අඩුවීම (Sound drop) පමණක් නොවේ. ශබ්ද ප්‍රායෝගත් (Sound Effects) අවශ්‍ය බව ප්‍රේක්ෂකාගාරය සමග චරිතයට වැඩි ගනුදෙනුවක් කළ හැකි වන ලෙස බිය, දුක, සතුට ප්‍රකාශ කළ යුතු බව හැඟුණා. තනිවම ඉන්න කෙනකුගේ හිතේ බය ප්‍රකාශ කරන්නෙ කොහොමද? අපි ටිකක් කලබල වුණාම ඇඟ වෙව්ලනවා, හෘදය ස්පන්දනය වැඩිවෙනවා, පසුබිම් සංගීතය නැතිව චිත්‍රපටයේ රිද්මය විදිහට හෘදය ස්පන්දනය යොදා ගමු කියලා හිතුවා. ඒ තුළින් චරිතයේ පීඩනය හා කලබල ස්වභාවය තීව්‍ර කර පෙන්වන්න, අනවශ්‍ය ලෙස නාටකීය බවක් නොගෙන යථාර්ථය පෙන්වන්න හැකි වෙතැයි සිතුණා. මේ හැම දෙයක් ගැනම හිතුවට පස්සෙ තමයි පිටපත ලියන්න පටන් ගත්තේ.

ඔළුවෙන් බලා කොළයේ ලිවීම

ෆිල්ම් එකේ සැකිල්ල හදාගෙන, අදහස හරිහැටි හිතට අරගෙන පිටපත ලිව්වා. එහෙම වුණාම පිටපතේ තියන විදිහටම දේවල් කරන්න වැඩි හැකියාවක් ලැබෙනවා. අඩුම ගණනේ 85%වත් කොළයෙන් චිත්‍රපටයට දාගන්න හැකිවෙනවා. ඒ වගේම චිත්‍රපටය රූපගත කරන විදිහ, යොදා ගන්නා රාමු, වර්ණ ගැන මුලින්ම හිතලයි ඒක කොළේට ගත්තේ. ඒ නිසා ෆිල්ම් එක තව තවත් දෘෂ්‍යමය වශයෙන් සිත්කලු (Visually appealing) වෙනවා. තිර රචනය කියන්නෙ වචන. ඒක රූප මාධ්‍යයට ගේන්න කලින් මනසින් පරිකල්පනය කිරීම මට ගොඩක් උදව් වුණා. දෙතුන් පාරක් ෆිල්ම් එක මනසින් බලලා නැවත නැවත පිටපත නිවැරදි කළා. එහෙම තමයි චිත්‍රපටියේ රූපමය වියමන (Look and feel) ගැන අදහසක් එන්නේ. එතැනින් පිටපත් රචකයා විදියට මගේ වැඬේ ඉවරයි. ඊට පස්සෙ මම පිටපත දිහා බලන්නේ අධ්‍යක්ෂවරයා ලෙසයි.

තාක්ෂණික පිටපත හා දර්ශන තල

අධ්‍යක්ෂවරයා ලෙස පිටපත දෙස බලද්දී ප්‍රායෝගිකව කරන්න අමාරු දේවල් කීපයක් එහි තිබුණා. තනි චරිතයක් එක්ක විතරක් චිත්‍රපටය කිරීම අමාරු බව හැඟුණා. පාරේ ඇවිදගෙන යන මිනිස්සු වගේ චරිත එකතු කරන්න. සිද්ධ වුණා. මගේ යාළුවෙක් තමයි ‘රේඛීය නිෂ්පාදකවරයා’ වුණේ. ඔහු සමග කතා කරලා ෆිල්ම් එකට වාර්තාමය ස්වරූපයක් දෙන්න තීරණය කළා. ඒ නිසා ඇත්තටම පාරෙ තොටේ යන අයව නළු නිළියන් විදිහට තෝර ගත්තා. ඒක එතරම් පහසු වුණේ නැහැ. අපි දර්ශන තලය විදිහට තෝර ගත්තෙ පිටකොටුවෙ රාත්‍රී කාලය. අපේ රූගත කිරීම් තිබුණේ ඉරිදා රාත්‍රියේ. ඒ බොහෝ දෙනා සෙනසුරාදා රෑට ගෙදර යන අය. කොහොමහරි බොහොම අමාරුවෙන් ඉරිදා රෑ ඉන්න කිහිපදෙනෙක් හොයා ගත්තා.

මම පොඩි කාලේ ඉඳලම වීදි ලාම්පු එළියේ පාටට හරි ප්‍රියයි. වීදි ලාම්පුවලින් එන රන්පාට එළිය හරි ලස්සනයි. ඒ එළිය යට පිටකොටුවෙ පාරවල් හිස්වෙලා තියෙන මහ රෑ කාලෙට මම ඒ පාරවල් දිගේ ඇවිදලා තියෙනවා. බොහෝ දෙනෙක්ට ඒ අවස්ථාව විඳගන්න ලැබිලා නැහැ. රෑ 10න් විතර පස්සෙ කවුරුත් ඒ පැතිවල ගැවසෙන්නෙ නැහැ. ඒ පාළු බව කැමරාවට හසුකර ගන්න ඕනේ කියලා මට ඉස්සර ඉඳන්ම කැමැත්තක් තිබුණා. ඒක හරි සුන්දර අවකාශයක්.

‘නිල්’ කාර්යාලය, ‘රන්’ මහපාර.

මට අනුව ‘නිල්’ කියන්නේ තනි බව, හිස්කම, කියාගත නොහැකි පාළුව වගේ හැඟීමක් දනවන වර්ණයක්. එය සංකේතවත් කරමින් තරුණියගේ කාර්යාලයට නිල් පැහැය යොදා ගන්න හිතුවා. නිල්පාට චරිතයේ මනෝභාවයට හොඳින් ගැළපුණා. ඇයට මුල සිටම කන් ඇසීමේ ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා ඇයගේ මුළු ජීවිතයම හුදෙකලාවෙන් පිරී තිබුණා. සැබෑ කාර්යාලයක් යැයි සැඟවීමට ඇත්තටම ඔෆිස් එකත් යොදා ගත්තා. ඒත් මට රූපගත කරන්න ලැබුණු ඔෆීස් එකේ වැඩිපුර තිබුණෙ සුදු කළු පසුබිමක්. ඒ නිසා කාර්යාලයේ තැන තැන නිල්පැහැ ද්‍රව්‍ය තැබුවා.

අනෙක් අතින් රතු, තැඹිලි කියන්නේ අනතුරු අඟවන වර්ණයන්. තැඹිලි පාටින් ‘දැවීම’ අඟවනවා. පාර දිගට තිබුණු විදුලි පහන්වලින් නිකුත් වුණේ තැඹිලි. රන් පැහැ ආලෝකයක්. එයින් පාරට බැස්සට පසුව ඇගේ හිතේ ඇතිවුණු භයංකර ස්වරූපය සංකේතවත් කළා.

කාර්යාලයේ ඇතුළත හොඳ ආලෝකයක් තිබුණා. පාරට ආවම ඇගේ ශක්තිය දුර්වල බව පෙන්වන්න එන්න එන්න ආලෝකය අඩු කළා. නැවත හොඳ එළියක් දකින්න ලැබෙන්නේ අවසානයේ ඇය නිවසට සේන්දු වූ විටයි. පාරේ අනාරක්ෂාවත්, නිවසේ ආරක්ෂාවත් දර්ශනයෙන් දර්ශනයට කෙමෙන් කෙමෙන් ආලෝකය අඩු කිරීමෙන් සංකේතාත්මකව පෙන්වීමට හැකිවුණා.

‘සන්සුන් කාර්යාලය’, ‘කලබල මහපාර’

රූගත කිරීම්වලට මිල අධික, මෙහෙයවීමට වැඩි දෙනෙක් අවශ්‍ය වන අධි තාක්ෂණික කැමරා ගන්න පහසුකමක් තිබුණේ නැහැ. උපරිමයෙන් ගන්න හැකියාව තිබුණෙ සෝනි A752 කැමරාවයි. මඳ එළිය හසුකර ගන්න හොඳම කැමරාව එයයි. වීදි ලාම්පු ආලෝකය හැරුණු විට බාහිර ආලෝකය විදියට එක LED පැනල් එකක් විතරයි ගත්තේ. අනෙක් සියල්ලට ඒ තැන්වල තිබූ ස්වභාවික ආලෝකය භාවිත කළා. සෝනි A 752 කැමරාව හරිම හුරුබුහුටියි. කුඩායි. බර නැහැ. ඕනෑම තැනකට රැගෙන යන්න හැකියි. චරිතයක් එක්කම ගමන් කරන්න අවශ්‍ය වෙලා තිබුණු විට අතේ රැගෙන  (Hand Held) යමින් රූගත කරන්න හැකිවුණා. කාර්යාලය ඇතුළත ඇය ගෙවන ආරක්ෂාකාරී වටපිටාව හැකිතාක් ස්ථායීව(Stable,/Static) තැබුවා. ඒ හැම දර්ශනයක්ම තෙවන පාර්ශ්වයකට දිස්වන (3rd Person View) අයුරින් රූගත කළා. එතැනදී ප්‍රේක්ෂකයා චරිතය සමග මහ මග ගමන් කරන ස්වභාවයක් දෙන්න මා උත්සාහ කළා. කාර්යාලයෙන් පිටතට පැමිණි විගසම අනාරක්ෂිත බව දනවන්න රූප රාමුවක් වෙනස් කළා. පිටත දර්ශන සඳහා ඇයගේ දෘෂ්ටියෙන් (POV), මධ්‍යම හා සමීප දර්ශන වැඩි වශයෙන් යොදා ගත්තා. ඒ වගේම කාර්යාලයෙන් පිටත දර්ශන ස්ථායී නැහැ. කාර්යාලයෙන් මහපාරට මාරුවීම (Transit) දැනෙන්නයි එවැනි තාක්ෂණික උපක්‍රමයක් යොදා ගත්තේ.

ඇඟට පතට නොදැනී ‘ඩිරෙක්’ කිරීම

අධ්‍යක්ෂවරයා විදිහට මට තිබුණේ ඉතා සීමිත මුදලක් සහ කාලසීමාවක්. මගේ චිත්‍රපටයට බොහෝ දෙනෙක් ඉතා කැපවීමෙන් උදව්වක් හැටියට සම්බන්ධ වුණා. එය සම්පූර්ණ නිෂ්පාදන කටයුතු සාර්ථකව කරගෙන යාමට විශාල සහයෝගයක් වුණා. මට කාලයක් තිස්සේ සහය අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කර තිබෙනවා. ඒ නිසා කාල කළමනාකරණය කොතරම් වැදගත්දැයි මා දන්නවා. එසේ කිරීමෙන් නිර්මාණයට යන වියදම පාලනය කරගත හැකිවෙනවා. දෙවන දවසකට යන්න කණ්ඩායමේ අයට නිදහස් දින තිබුණේ නැහැ. නව දිනකට උපකරණ ගැනීමත් අපහසු වුණා. අනෙක පිටකොටුවේ වාහන අඩුවෙන්න ඉරිදා රැසක් එනකල්ම ඉන්න වෙනවා. එහෙම වුණොත් දෙවැනි දිනය ලෙස රූගත කරන්න වෙන්නෙ අනෙක් සතියේ. ඒ හැමදේම හිතා බලලා අපි මේ චිත්‍රපටය එක් දිනකින් රූගත කරන්න සැලසුම් කළා.

රිද්මය රකින අඛණ්ඩතා සංස්කරණය

පසු නිෂ්පාදනය අපි හිතුවට වඩා අමාරු කාර්යයක් වුණා. නිර්මාණයට යම් කාල වේගයක් (Tempo) එකක් තිබිය යුතු බව මා කලින්ම සැලසුම් කළා. චිත්‍රපටයේ වේගය කෙමෙන් වැඩිවන ආකාරයට සංස්කරණය කළා. වේගය වැඩිවී උපරිම වේගයකට පත්විය යුතු බව මා තීරණය කළා. වේගය වැඩිවී උපරිම වේගයකට පත්විය යුතු බව මා තීරණය කළා. ප්‍රේක්ෂකයා මේ ශ්‍රවණාබාධිත තරුණිය සමග මහ මග ගමන් කළා නම් ඔහුට දැනෙන කරදරකාරී ස්වභාවය, බිය, පීඩනය තීව්‍ර වන ආකාරයට සංස්කරණය කළා. අප ළඟ දැනටමත් රූගත කළ දර්ශන තිබුණත් තාල වේගය (Tempo) ගැනීම තරමක අභියෝගයක් වුණා. එය 2-3 වරක් සංස්කරණය කළා. එසේ කරමින් චිත්‍රපටයට අවශ්‍ය දර්ශන කාලය තබා ගත්තා.

දෙස් විදෙස් ඇගැයීම්

“Waves Interrupted’ ” දෙස් විදෙස් චිත්‍රපට උළෙල කිහිපයකීම ඇගැයීමට ලක්වුණා. අන්තර්ජාතික චිත්‍රපට උළෙල දැනට අවුරුදු 23ක් පමණ අඛණ්ඩව පැවතෙන්නක්. එහි තරගකාරී (Competitive) අංශයට මගේ කෙටි චිත්‍රපටය තේරී පත්වුණා. සුවිශේෂී අත්දැකීමක් වුණා. බූසාන්වලදී ලෝකයේ නන් දෙසින් පැමිණි චිත්‍රපටකරුවන් මට මුණ ගැසුණා. ඔවුන්ගේ සංජානනයන්, තේමාවන් හා ශානරයන් බොහෝ වෙනස්. අප තව අත්හදා බැලිය යුතු අපට හසු නොවූ කතා තේමා විශාල ප්‍රමාණයක් තිබෙන බව හැඟුණා.

මේ කෙටි චිත්‍රපටය බලපු අවුරුදු 22-30 වයස් කාණ්ඩයේ ඉන්න ඇමරිකානු ගැහැනු ළමුන් දෙදෙනෙක් රෑ පානේ අනාරක්ෂිත තත්ත්වය ඔවුන්ගේ රටෙත් තිබෙන බව මට කීවා. මේක තමයි ඇත්ත තත්ත්වය කියා කීවා. ඔවුන් රැකියාව නිමවී නිවෙස් බලා යනවිට නිතර මෙවැනි අත්දැකීම් ඇතිවන බව කීවා. වයස්ගත ඇමරිකානු කාන්තාවන් මුණ ගැසුණා. ඇය කොරියාවේ සංචාරයකට පැමිණි අතර ෆිල්ම් එකක් බලලා තිබුණා. “දැන් මම මේක බලලා මගේ හෝටලයට යන අතරතුරත් මට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න පුළුවන්” යැයි ඇය කීවා.