දූෂණයෙන් තොර ක්‍රීඩාවක් පතන දූෂිතයෝ

ඒ. වික්‍රමසූරිය

මෙරට ක්‍රීඩාව ආරක්ෂා කරගැනීම සඳහා දෙවිවරු පහළ වී ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේ වැඩි සද්ද බද්දයක් නැතිව දේව විමානවල වාසය කළ මේ දෙවිවරුන්ගේ ආසන රත්වන්නට පටන් ගෙන පශ්චාත් භාග බාබ-කිව් වනවිට මේ අයට ක්‍රීඩාව පිළිබඳ කනගාටු සිතෙන්නට පටන් ගෙනය. ඒ නිසාම මේ අයගේ ප්‍රාදුර්භූත වීම පිළිබඳ හරි හරියට අසන්නට ලැබේ. මාධ්‍ය සංදර්ශනකාරයන් වන මොවුන් දෙවිවරු සේ පෙනී සිටින යක්කු බව පිළිගන්නට අපට නම් වියතක දුරක් වුවමනා නොවේ. මේ අයගේ ඉතිහාස, පැටිකිරිය මනාව දන්නා අපට මේ අය පුස්සන් බව ඇස් මානයෙන් බලා වුව දුටුවනම කිව හැකිය. සෙස්සන්ට එය නොතේරීම හරි පුදුමයක්ය.

හේමසිරි ප්‍රනාන්දුගේ දීර්ඝකාලීන ඔලිම්පික් ගමන කෙළවර වූයේ තමා වෙනුවට තම සහයෝගයෙන් ඉදිරිපත් කළ ගමන් සගයාට සිය පුටුව භාරදෙමිනි. ඒ අනුව සුරේෂ් සුබ්‍රමනියම් මෙරට ඔලිම්පික් කමිටුවේ සභාපති විය. හේමසිරි මහතා නොවන්නට සුබ්‍රමනියම්ට දිනන්නට නොහැකි බව දන්නෝ දනිති.
සුබ්‍රමනියම් මහතා ඔලිම්පික් කමිටුවට තේරී පත්වූයේ 2018 පෙබරවාරි 23 වැනිදාය. ඔහගේ ප්‍රතිවාදියා වූයේ රොහාන් ප්‍රනාන්දු මහතාය. ඔහු රුවල් ඔරු සංගමයේ සභාපතිවරයාය. රොහාන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටියද ඔහු ගැන ප්‍රසිද්ධ වන්නේද ඔලිම්පික් කමිටුවට ආ නිසාය. එහි මූල්‍ය කමිටුව භාර ප්‍රධානියා ලෙසද කටයුතු කළ නිසාය. ඔහු ඒ තැනට ගෙනාවේද ඔහු මහා කෙරුමකු බව රටට කීවේද හේමසිරිමය. හේමසිරි මහතාගෙන් පසුව ඒ තැන ගන්නට හිටි ඔහුගේ විශ්වාසම ගෝලයා වූයේ රොහාන්ය. එහෙත් රොහාන් කුමක් හෝ හේතුවක් මත වෙනම තරග කොට දිනිය හැකිය යන විශ්වාසයෙන් විරුද්ධ පැත්ත තෝරා ගත්තේ හේමසිරි මහතා සමග විරසකයකට නොව වත්මන් මෙන්ම එකලද ඔලිම්පික් ලේකම් ධුරය දැරූ මැක්සි ද සිල්වා මහතා සමග තිබූ විරසකයක් නිසාය. කෙසේ වෙතත් රොහාන් පාර්ශ්වය අන්ත පරාජය වූයේ කයිවාරු හැර වැඩ නැති නිකමුන් බව පසක් කරමිනි.

එතැන් සිට පොඩි පොඩි කසු කුසු තිබුණද රොහාන්ලා කළේ කල්මැරීමය. දැන් නැවත ඔවුන්ගේ නම් කරළියට පැමිණ ඇත. ඒ අමුතු ශුද්ධවන්තයන් ලෙසිනි.
රොහාන්ගේ ප්‍රධානත්වයෙන් නැවත ඒකරාශි වන පැරණි නඩය අමුතු පොටක් පාදාගෙන ඇත්තේය. ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ නිරීක්ෂණ කිරීම සඳහා ‘ජාතික ක්‍රීඩා සංගම් එකමුතුව’ නමින් නව සංවිධානයක් ආරම්භ කරමිනි. එය සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සංවිධානයකි. ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක්ද නොබෝදා පැවැත්වුණි. කතාව අනුව කුමක් කීවද මෙයද තවත් එක්තරා ආකාරයක ඔලිම්පික් කමිටුවකි. ගියවර ඔලිම්පික් නිලවරණයට ඉල්ලා පරාජය වූ පිරිස මෙලෙස එකමුතු වී තවත් සංගමයක් සංවිධානයක් ලෙස අටවාගෙන ඇත. මෙහි ලේකම් ප්‍රීති විරාජ් පෙරේරාය. එහි උප සභාපතිවරු වන්නේ එච්.යූ. සිල්වා සහ ඩයන් ගෝමස්ය. නිශාන්ත පියසේන එහි උප ලේකම්ය. ඔහු හේමසිරි මහතාගේ පිහිටෙන් මීට පෙර ඔලිම්පික් කමිටුවේද දැරුවේ මේ තනතුරමය. එච්.යූ. සිල්වා හිටපු ලේකම් කෙනෙකි. ඩයන් ගෝමස් හිටපු උප සභාපති කෙනෙකි. එසේ නම් මේ අයගේ ළාමක ආශාව පැහැදිලිය. තවදුරටත් ඔවුන් කරන්නේ අලුත් සංවිධානයක් අටවා ගෙන පැරණි තත්ත්වයන් නාමිකව භුක්ති විඳීමය. මේ නම් ලෙඩකි. බලය නැති තැන ඇතිවී ඇති අසාමාන්‍ය ලෙඩකි. මොවුන්ගේ මේ සංවිධානයේ අරමුණ ජාතික ඔලිම්පික් කමිටුව අධීක්ෂණය කිරීමය. එහි දූෂණ, අක්‍රමිකතා සෙවීමය. එහි සභාපති රොහාන්ය. රොහාන් පැත්තකින් තබමු. ඔහු සමග එකතු වී සිටින අනෙක් අයට රෙදි ඇඳගෙන තව අයගේ දූෂණ, අක්‍රමිකතා සෙවිය හැකිද? ඔවුන් අද සිටින අයට වඩා දූෂිතයෝය. තක්කඩියෝය. එච්.යූ. සිල්වා ඔලිම්පික් කමිටුවේ ලේකම් ලෙස ගැසූ ගැහිලි සංගක්කාරටවත් හිතාගත නොහැකිය. ඩයන් ගෝමස්ගේ බොක්සිං කෙරුවාව මොහොමඞ් අලී වුව පුදුම කරවන තරම්ය. නිශාන්ත කලක් ඔලිම්පික් ගියේ සංගමයක්ද නැතිවය. ඒ හේමසිරිගේ පිහිටෙනි. ඔලිම්පික් කමිටුවෙන් ඇති තරම් කොල්ල කෑ එච්.යූ.ලා අද ඔලිම්පික් කමිටුවේ දූෂණ වංචා සොයනවා යැයි කීම දෙකොණින් සිනා මවන කරුණුය. බොක්සිං ක්‍රීඩකයන් අනාථ කළ ඩයන් ඔලිම්පික් දූෂණ සෙවීම මංජු වන්නිආරච්චිට වැටෙන්නට ගැහැව්වා පන්නයේ වැඩක්මය. රොහාන් වුව ඔලිම්පික් කමිටුවේ මූල්‍ය කමිටුවේ ප්‍රධානියාය. ඔහු ක්‍රියා කරනුයේ ජනාධිපති සිරිසේන මෙන් මුකුත් නොදන්නා තොත්ත බබා ගාණටය.
මේ අය සමස්තයක් ලෙස ගත්කල කම්බ හොරුය. එහෙත් ඔවුන් පිහිටුවාගෙන අටවා ගත් සංගමයේ සටන් පාඨය ‘දූෂණයෙන් තොර ක්‍රීඩාවක්’ යන්නය. දූෂණයෙන් තොර ක්‍රීඩාවක් හදන්නට නම් මුලින්ම කළයුත්තේ දූෂණයෙන් තොර මිනිස්සු ඒකරාශි වීම වුවත් මේ එකතුවී ඇත්තේ දූෂණයෙන් කප් ගැසූ අයය.

දැන් තවත් කරුණක් සලකා බැලීම වටී. මේ අය කියන පරිදි ඔලිම්පික් කමිටුව ක්‍රියා කරනුයේ නීති විරෝධීවය. මෙරට නීතිය මායිම් නොකරය. එය එසේ නම් ඒ ගැන සොයා බැලිය යුත්තේ ක්‍රියා කළයුත්තේ මේ පිරිසද? ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයද?

ඔලිම්පික් කමිටුවේ දූෂණ – අක්‍රමිකතා සොයන්නට මොවුන් කවුද? මේ අයට බලය දුන්නේ කවුද? එලෙස බලයක් ඔවුන්ට ලැබෙන්නේ කෙසේද? මේ නම් විකාර කතාය. කවුරු හෝ සංගමයක් හෝ සංවිධානයක් අටවා ගෙන අපි අහවල් සංගමයේ දූෂණ අක්‍රමිකතා සොයනවා යැයි කියන්නට මේ අය පොලිසියද?
ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශය කළ යුතු වැඩ කරන්නට මේ අය කවුද? එසේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයක් කුමටද? එයට පාර්ලිමේන්තුව හරහා ක්‍රීඩාව ගැන සොයා බලන්නට තීන්දු ගන්නට බලය පැවරුවේ මන්ද?

ඔලිම්පික් කමිටුව සුද්ධ කිරීමේ වුවමනාවක් අපට නැත. එහෙත් එය වැරදි නම් එයට විරුද්ධව ක්‍රියා කළ යුත්තේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන් විනා එයට තරග වැද පරාජය වූ පිලද? මේ එදා බලය ලබාගැනීමට නොහැකිවීම මත නටන පිස්සුය. එහෙත් ඒ පිස්සු අනුමත කරන්නට ක්‍රීඩා ඇමතිට පිස්සුද? මෙය හරියට පොලිසියේ අඩුපාඩු සොයන්නට තවත් පිරිසක් අපිට බලය තිබෙනවා යැයි අටවා ගත් සංගමයක් වැනිය. එහෙම හිතු මනාපයට සංවිධාන පිහිටුවා අනෙක් අය අධීක්ෂණය කළ හැකිද? මේ රටේ නීතියක් නැද්ද? ජාතික ඔලිම්පික් කමිටුව මෙරට නීතියට ගරු නොකරනවා යැයි කියන රොහාන්ලා කරන්නේද ඊටත් එහා නීති විරෝධී වැඩක් නොවේද?

ඔලිම්පික් කමිටුවේ වැරදි ඇත්නම් ඒ බව ක්‍රීඩා ඇමති දැනුවත් කිරීම වෙනම වැඩකි. එහෙත් මෙහි තේරුම තමන් ඔලිම්පික් කමිටුවටත් උඩින් සිටින නිරීක්ෂණ දෙවියන් බවද?
මහින්ද රාජපක්ෂ ජනපතිකමෙන් පහ කළද ඔහුගේ ගෝලයන් අදටත් ඔහු අමතනුයේ ජනපති ලෙසය. එය ප්‍රසිද්ධියේම කියති. වහල් මානසිකත්වයන්ට එලෙස කිවහැකි වුවත් මහින්ද හිටපු ජනපති බව පුංචි ළමයෙක් වුවත් දනිති. මෙහි සිදුවන්නේද එයමය. රොහාන් ගියවර ඔලිම්පික් නිලවරණයෙන් පැරදුණද ඔහු කළේ නැවත සංවිධානයක් අටවාගෙන එහි සභාපතිවෙමින් ඔහු සමග තරග කළ අය සෙසු තනතුරු බෙදාගනිමින් ව්‍යාජ ඔලිම්පික් සංගමයක් නිර්මාණය කිරීමය. තම සංගමය ව්‍යාජ නිසා කළ කිසිවක් නැති නිසා එහි කාර්යභාරය ඔලිම්පික් කමිටුවේ දූෂණ-අක්‍රමිකතා සෙවීම බවට පත්කරගෙන ඇත. මේවා මෙලෙස වන්නට ඉඩ හැරියහොත් ඕනෑම තක්කඩියකුට අනෙක් හැම සංගමයටම විරුද්ධ ව්‍යාජ සංගමයක් අටවාගෙන එහි අරමුණ මව්-සංගමයේ දූෂණ සෙවීම යැයි කිව හැකිය. මාධ්‍ය සාකච්ඡා පැවැත්විය හැකිය. ඕනෑනම් තරගයක් සංවිධාන කළ හැකිය. මුදල් ටිකක් හොයාගත හැකිය. ඒ අනුව තම පිරිසටත් එක් රැස්වී සංගමයක් ලෙස ක්‍රියා කළ හැක. මේ තත්ත්වය ක්‍රීඩා ඇමති වටහා නොගන්නේ ඇයි?

මෙයින් හෑල්ලුවන්නේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයය. හෙට විපක්ෂයට තවත් ගොඩනැගිල්ලක ක්‍රීඩා ඇමති කෙනකු සහ ක්‍රීඩා අමාත්‍යාංශයක් කියා බෝඞ් ලෑල්ලක් එල්ලාගෙන එහි අරමුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ අක්‍රමිකතා සෙවීම යැයි කිව හැකිය. ජනාධිපති ක්‍රීඩා නියෝජ්‍ය ඇමති කෙනකු පත් නොකළද මම පත් කරනවා නියෝජ්‍ය ඇමති කෙනකු ඒ මනූෂ කියා මෝඩ රංගන ඉදිරිපත් කරන ඇමතිට මේවා නොතේරීමත් අරුමයක් නොවේ. හෙට ඔහු ඔහුගේ බිරිඳව ක්‍රීඩා රාජ්‍ය ඇමතිනි කරගනු ඇත. මේ ළාමක කම් රට පුරාම ව්‍යාප්තය. ඇත්ත එයය.

ඒ කෙසේ වෙතත් ඔලිම්පික් කමිටුවේ සිටියදී තිබූ තැන අද ඉන් පිටවූ කල අහිමිවීමත් සමග ඇතිවන ලෙඩ රෝග මෙලෙස සමාජය හමුවේ ප්‍රදර්ශය කිරීම වැරදිය. එච්.යූ. ඔලිම්පික් කමිටුව තුළ හිඳිමින් කළ විනාශයේ තරම අනුව ඔහු අද එහි දූෂණ ගැන සිතීමත් විගඩමකි. බොක්සිං ක්‍රීඩකයන් ඇති පදම් තහනම් උත්තේජකවලට ගොදුරු වූයේ ඩයන්ගේ පාලනය යටතේය. ඔහු ඒ ගැන නොදැනුවත් කීම විකාරයකි. එහෙව් ඔහු අද ඔලිම්පික් කමිටුවේ අයගේ මුත්‍රා පරීක්ෂා කිරීම විහිළුවක් නොවේද?

හේමසිරි ළඟ හේමසිරිට අවැසි සියල්ල කරමින් නමක් හදා ගත් නිශාන්ත පියසේන හිතුවේ හේමසිරි පවතින්නෙත් තමන් නිසා කියාය. අවසානයේ ඔහුට කළ හැකි කෙන්ගෙඩියක් නැති බව ගියවර නිලවරණයෙන් තහවුරු විය. එහෙව් විනාශකාරයන් පිරිසක් හිතුමතේට සංගම් හෝ සංවිධාන පිහිටුවාගෙන අපි පොලිස්කාරයන් අපි දූෂණ වංචා හෙළිකරනවා. නැති කරනවා යැයි කීම විගඩමකි.

රටේ නීතිය අනුව මෙරට ක්‍රීඩා ගැන සොයා බලන්නට ක්‍රීඩා ඇමති කෙනෙක් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයක් පිහිටුවා ඇත. ඒ සඳහා උපරිම බලය ඔවුන්ට පාර්ලිමේන්තුවෙන්ම පවරා ඇත. එහෙව් කලෙක ඔලිම්පික් කමිටුව ගැන සෙවීමත් ඔවුන් සතුම කාර්යයක් නොවේද?

ක්‍රීඩා නිලවරණවලට තරග වැද පරාජය වන හැම පිලක්ම මින් ඉදිරියට මෙවැනි ඒවා අටවා ගතහොත් විකාරයක් නොවේද? අනෙක් අතට මේ පිරිස ඔලිම්පික් කමිටුවේ දූෂණ අක්‍රමිකතා සොයන්නේ තම සංගම් තුළ ඉහළම සාධාරණය ඉටු කරද? මේ අයගේ සංගම්වල ඇති සංවර්ධනය දියුණුව කුමක්ද? අනෙක් අයගේ ඇඟේ පොල්කෙන්ද හොයන්නට පෙර තමන්ගේ ඇහේ ඇති පොල් පරාල ගැන අවධානය යොමු කරන්නැයි අපි ඉල්ලමු. මෙවැනි විකාරකාරයන්ට ඉඩදී විකාරයක් නොවන්නැයි ක්‍රීඩා ඇමතිගෙන්ද ඉල්ලමු.