රාවයේ සුදත් නික්ම යයි

සුදත්ගේ නික්ම යෑම ගැන අපට බලන්නට සිදු වූයේ උපෙක්ෂාසහගතවය. ඒ ඔහු දැඩි සේ ගිලන්ව නොසිටියත් දැඩි ලෙස ගිලන් විය හැකි පූර්ව ලක්ෂණ පහළ කරමින් සිටි නිසාය. සැබවින්ම එසේ වූවා නම් ඔහුටත් ඔහු වෙනුවෙන් කැප වූවන්ටත් රාවයේ අපටත් එය මහත් වේදනා පරවශ තත්ත්වයක් ජනිත කරන්නකි. එබැවින් සුදත්ගේ නික්ම යෑම දෙස මැදහත් සිතින් බලන්නට අපට සිදුවිය.

සුදත් මෙනේරිපිටිය වසර 10ක් පුරා රාවයේ සෝදුපත් බැලුවේය. ඔහු ඉතා සීරුවට වැඩ කළ මහත් වූ වෘත්තීය ශික්ෂණයකින් හෙබි සුහදශීලී සහෘදයකු වූයේය. ඒ සුහදත්වය රාවයේ සහෝදර සිත් වල දිගු කලක් නිධන්ගතව පවතිනු ඇත.

සුදත් මෙනේරිපිටිය ජනමාධ්‍යයට සම්බන්ධ වන්නේ 1964වසරේදීය. ඒ මව්බිම පුවත්පතේ ලේඛකයකු වශයෙනි. 196 දී ඔහු ඇත්ත පුවත්පතට සම්බන්ධ විය. ඇත්තේ වසර ගණනාවක් සේවය කළ සුදත් එහිදී එච්. ජී. එස්. රත්නවීර, බී.ඒ. සිරිවර්ධන, කරුණාසේන ජයලත්, සිරිලාල් කොඩිකාර වැනි පත්තර ලෝකයේ පතාකයන් රැසක් ඇසුරු කළේය. ඔහු අපට කියා ඇති පරිදි විටෙක ඒ ප්‍රවීණයන් ඔහුගේ ගුරුවරු වූහ. තවත් විටෙක මිතුරෝ වූහ. බී. ඒ. සිරිවර්ධන ඇත්තට ලියූ විශිෂ්ට කතුවැකි වල අති සමීප සාක්‍ෂ්‍යයකරුවකු වූ සුදත් යුනුස්, ජයලත් කොඩිකාර ආදී විශිෂ්ටයන්ගේ නිර්මාණ රුව ගුණ සමග තදනුබද්ධව සිටියේය. ඒවා විටින් විට රාවය කාර්යාලයේදී අප සමග කියන ඔහු ඉකුත් වූ එකී රසවත් හා ඥාන විමංසාත්මක යුගයට එබී බැලුවේ මහත් අභිරුචියෙනි.

සුදත් මෙනේරිපිටිය පත්තරකාරයකු විතරක් නොවේ. හෙතෙම සාහිත්‍යකරුවකුද වූයේය. 1966 දී ඉත්තක පිපි මල් නවකතාව ලියූ ඔහු පසුව කටු යහන හා බිඳුණු කැඩපත යන නවකතාද්වය ලීවේය. 1977වන විට සුදත් ‘දිනමිණ’ පුවත්පතට සම්බන්ධව සිටියත් 77 ආණ්ඩු පෙරළියත් සමග සුදත් ඇතුළු කිහිප දෙනෙක් එළියට වීසි වූහ. ඒ සමඟම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සුදත්ට ‘දිනකර’ කර්තෘත්වය භාර දුන්නාය. ඒ ඔහු එම දේශපාලන පක්ෂයේ හිතෛෂිවන්තයකු වූ නිසා නොවේ. පක්ෂයක පුවත් පතක් වුවත් පුවත්පත් ආචාරධර්ම රකිමින් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සුදත් දැක්වූ කළමනාකරණ කුසලතාව හේතුකොට ගෙනය.

ඊටත් පසු කලෙක සුදත් ‘කඩදාසි ඔටුණු’ යනුවෙන් ජනමාධ්‍ය දිවියේ අත්දැකීම් අළලා කෘතියක් සම්පාදනය කළේය. ‘වනාහි’ යනුවෙන් තීරු ලිපි කෘතියක්ද ලීවේය. සුදත් රාවයට සම්බන්ධ වූයේ 2009දීය. රාවයේදී සුදත්ගේ ලිවීම්හි තවත් පැත්තක් කළ එළි වූයේය. ඒ හෙතෙම පොත් පත් ගැන කෙටි විචාර ලිපි ලිවීමට පටන් ගැනීමත් සමගය. ඔහුගේ ඇතැම් ලීව්ම් ආන්දෝලනාත්මක විය. සුදත් රාවයේ ඇතැම් ජනප්‍රිය ලේඛකයන්ගේ ලිවීම් සමහර විටෙක නිර්දය ලෙස විවේචනයට ලක් කළේය. තරුණ ලේඛකයන්ට ලිවීම් ගැන උපදෙස් දුන්නේය. ඔහු ඒ දේවල් කළේ මහත් ඉවසීමකින් කළ යුතු රැකියාවක් වන සෝදුපත් කියවන අතරය.

සුදත් උපන්නේ ඇහැළියගොඩ බෝපැත්තේදීය. පාසලේදී ඔහු සංගීතය විෂයට ප්‍රිය කළේය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට පෙර හෙතෙම හේවුඞ් ආයතනයට බැඳී කෙටි කලක් සංගීතය හදාලේය. වයලීන වාදනය පිළිබඳ අමරදේවයන්ගෙන් ගුරුහරුකම් ගත්තේය. එහෙත් ඔහුගේ ජනමාධ්‍ය භූමිකාව වඩා ඉස්සර වූයේය. වයලීනය අතහැරෙන්නට එය හේතුවක් වන්නට ඇත. සුදත් ඕනෑම රාගයක් නිවැරදිව හඳුනා ගන්නට වයස අවුරුදු 80දීත් දැන සිටියේය. මේ සියල්ල අතර ඔහු පදිංචි කැස්බෑව ප්‍රදේශයේ වැඩිහිටි සමිතියේ සභාපතිත්වය දරමින් මාසික පුවත්පතක් ප්‍රකාශයට පත් කළේය.

සුදත්ගේ අසනීප බව උග්‍ර වූයේ මෙම වසරේ මාර්තුවේ සිටය. අසීරුවෙන් ගෙදර සිටි දවසක ඔහු බලන්නට ගිය විට සුදත් ඉල්ලුවේ රාවය සගයන්ට වචන දෙක තුනක් කතාකර ඒමට අවස්ථාවක් හදාදෙන ලෙසය. එය මැයි 16 වනදා එලෙසින්ම ඉටු විය. එදින ඔහු වෙනුවෙන් කුඩා සමුගැනීම් උත්සවයක් සංවිධානය කෙරිණි. ඔහු නික්ම ගියේ හරියටම ඊට සති දෙකකට පසුවය. ඉතිං සුදත් මෙනේරිපිටිය සුහද මිතුරාණනි. අපි ඔබට සුබ රාත්‍රියක් පතමු.

රාවයේ මිතුරන්