බෝම්බ තෝසේ වලින් දෙපිරිසටම පහර දිය හැකිය

ටී. නඩරාසා

රට නැවත බෞද්ධ සිංහල මහා ජාතිකවාදය වෙතට ගමන් කරමින් ඇත. 1956 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන නුවර බලා පාගමනක් ආරම්භ කළ අතර එයින් පසු මතුවූ ප්‍රතිවිරෝධය මත සිදු වූයේ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමයි. එම ස්වභාවය නැවත වතාවක් ශක්තිමත් ලෙස මතුවෙමින් පවතින්නේ රතන හිමියන්ගේ වැඩපිළිවෙළ ඔස්සේය. එමගින් ලංකාවේ සුළු ජාතීන් විශාල ලෙස ප්‍රතික්ෂේප වන තත්ත්වයක් ආරම්භවෙමින් පවතී. එසේම මෙම අන්තවාදී, ජාතිකවාදී පිළිවෙතට දකුණේ මාධ්‍ය විශාල ලෙස අනුග්‍රහ දක්වමින් සිටී. දකුණු ලංකාවේ සිංහල ජාතිකයකු කිසියම් විනාශකාරී ක්‍රියාවක් සිදු කළ විට එය එක් පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ක්‍රියාවක් බවත්, ඒ සඳහා ඔහු තනිව වගකිව යුතු බවත් මතුකරන නමුදු දෙමළ හෝ මුස්ලිම් පුද්ගලයෙකු එවැනිම ක්‍රියාවක් සිදු කළ විට ඒ සඳහා දමිළ හෝ මුස්ලිම් සමස්ත සමාජයම වගකිව යුතු බව මතුකර දක්වයි. අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයට පසු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය සහ අසාද් සාලි සහ හිස්බුල්ලාට එරෙහිව නගන ලද චෝදනා මේ හරහා විමසා බැලිය හැකිය. ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකුට ආණ්ඩුකාර ධුර පිරි නැමීම ජාතික ප්‍රවාහය තුළට ජාතික ජනවර්ගයක් ලෙස එකතුවීමට මුස්ලිම් ප්‍රජාවට ලැබුණු හොඳ අවස්ථාවක් වූ අතර එහෙත් දැන් එය මඟහැරී ගොස් ඇත. ත්‍රස්තවාදය පෝෂණය කිරීම, ලංකාව අරාබියක් කිරීමට උත්සහ කිරීම යන චෝදනා මත සැලසුම් සහගත පිරිසක් එල්ල කරන ලද පටු චෝදනා නිසා ඔවුන්ට ඉල්ලා අස්වන්නට සිදුවන තැනට කටයුතු සිදුවීම හා රජය ඒ පිළිබඳ මුණිවත රකින පිළිවෙතක් අනුගමය කිරීම ඉතාම දරුණු සහ වැරදි ක්‍රියාවකි. ඒ හරහා නැවත වතාවක් සිදුවන්නේ සිංහල බෞද්ධ නායකයන් ගන්නා ඕනෑම තීරණයක් හරිද වැරදිද යන්න පසකින් තබා ඔවුන්ට ඒවා තහවුරු කර ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට නිල හිමිකමක් හිමිවීමය.

තනතුරු උදුරා ගැනීම ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රමය බවට පත්ව ඇත. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී විපක්ෂනායකව සිටි අප්පාපිල්ලේ අමිර්තලිංගම් සම්බන්ධයෙන්ද සිදුකරන ලද්දේ මේ ආකාරයටම තනතුරෙන් පහකර දැමීමයි. මෙවර සිදුවූයේ එහි දිගුවකි. මේ ආකාරයට අතීත සිදුවීම් සහ වර්තමාන සිදුවීම් හරහා නැවත නැවත තහවුරු කරමින් සිටින්නේ මහ ජාතිය හෙවත් සිංහල ජාතියට යටත්ව, කොටින්ම ඔවුන්ට උවමනා ලෙස සියල්ල සිදුවිය යුතු බවයි.

තවදුරටත් රජයේ පාර්ශ්වය පවසන්නේ අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු නොලැබුණු බවයි. පෙර දැනුම් දුන් කාරණා යටපත් කිරීමට ත්‍රිවිධ හමුදාව ඇතුලුව ජනාධිපතිවරයා නිරන්තරව පවසන්නේ රටේ ආරක්ෂාව 99% මේ වන විට තහවුරු කර ඇති බවයි. නමුත් මිනුවන්ගොඩ සහ කුලියාපිටියේ සිදුවීම් වාර්තා වූයේ ඔවුන් කියන පරිදි ආරක්ෂාව 99% තහවුරු වී ඇති පසුබිමක බව අමතක කළ යුතු නැත. ඒ අනුව තහවුරු වන්නේ තහවුරු කළ ආරක්ෂාව යටතේ ජාතිවාදීන් ක්‍රියාත්මක වන බවයි.
මේ වන විට ප්‍රහාර පිළිබඳව විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති අතර ඒ ගැන ජනතාවට විශ්වාසයක් තැබිය නොහැක්කේ මෙතෙක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව ක්‍රියාත්මක වූ තේරීම් කාරක සභා වැරදිකරුවන්ට දඬුවම් දෙනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති හෙයිනි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු දෙමළ ජනාතාව නැවත හමුදා උගුලට හසුව ඇත. දෙමළ ජනතාව කොන් කිරීමේ පාලනයක් පෙරට ගැනීමට මේ වන විට සිංහල පාලකයන්ට අවස්ථාව උදා වී ඇත. දෙමළ සිසුවියක් දිවා ආහාරය සඳහා රැගෙන ගිය කෑම පාර්සලය පිළිබඳව පාසලේදී හමුදාවෙන් විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ කෑම පාර්සලයේ ”බෝම්බ තෝසේ” ඇති බවයි. බෝම්බ තෝසේ යනු ”උන්ඩුත් තෝසේ” යන දෙමළ නාමයේ සිංහල පරිවර්තනයයි. ඒ අනුව දැරියගේ කෑම පාර්සලය හමුදාව භාරයට ගෙන ඇති අතර ඇයට එය නැවත ලබා දී නැත. මේ නිසා ඒ දැරියට සිදුව ඇත්තේ පාසල නිමාවන තෙක් කුසගින්නේ සිටින්නටය.

එසේම මෙම ප්‍රහාරය දෙමළ ජාතික සන්ධානයට විශාල සහනයක් බවට පත්ව ඇත. දෙමළ ජාතික සන්ධානයට එල්ල වූ ප්‍රතිවිරෝධය සහ අවධානය මේ වනවිට වෙනතකට යොමුව ඇත. දේශපාලන විසඳුම් නැවත පදිංචි කිරීම්, යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ මේ සියල්ලම යටපත් වී ඇත. ගම්පෙරළිය, තල් අරමුදල, යන ඒවා පෙන්වා ඡන්ද ලබා ගැනීමේ ක්‍රියාවලියක් මේ වනවිට අරම්භ වී ඇත. අගමැතිවරයා උතුර සංවර්ධනයට විශාල මුදලක් වියදම් කරමින් සිටී. එහෙත් දෙමළ ජනතාව ඒ ආකාරයට පහසුවෙන් රැවටිය නොහැකි වනු ඇත. දෙමළ ජනතාව යුධ ගැටුම් වලින් ඝෘජුවම පීඩා වින්දේය. ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් දකුණු ලංකාවේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වලට වඩා හාත්පසින් වෙනස්ය. දකුණු ලංකාවේ ගසන ඡන්ද ගුණ්ඩු දෙමළ ජනතාවට ගැලපෙන්නේ නැත. සල්ලි බෙදන අගමැතිවරයා එය අවබෝධ කරගත යුතුය.