අන්තවාදයට එරෙහිව, මියන්මාරයේ පිපෙන සුදු රෝස

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

“හිරිහැරයට පත්වුණු මුස්ලිම් සහෝදරයන් හමුවෙන්න යන්න එක් බෞද්ධ භික්ෂුවක් මට යෝජනා කළා. අපි මැයි 16 වැනිදා එහි යන අතරතුර සුදු රෝස මල් ටිකක් මිලදී ගෙන ගිහින් යාඥා අවසන් කර එළියට එන මුස්ලිම් බැතිමතුන්ට පිළිගැන්වුවා. පසුව අපි මෙය ‘සුදු රෝස ව්‍යාපාරය’ (White Rose Campaign)

ලෙස නම් කළා.” ඒ මියන්මාරයේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් යාඥා මෙහෙයන් අවසානයේ පසු ගිය දිනවල අඛණ්ඩව සිදුකළ සුදු රෝස ව්‍යාපාරය මෙහෙයවන්නෙකු වූ සමාජ ක්‍රියාකාරියෙකු වන ස්වේ වින් ය.

2019 මැයි 15 වන දින බෞද්ධ භික්ෂූන් ඇතුළු දෙසීයකට අධික ජාතිකවාදීන් පිරිසක් පිහි, පොලු ආදිය රැගෙන විත් යැන්ගොන්, දකුණු ඩාගෙන්වල ස්ථාන තුනක පැවැත්වෙමින් තිබූ මුස්ලිම් යාඥා බලහත්කාරයෙන් නතර කිරීමට විරෝධය දැක්වීමේ කදිම මගක් ලෙස ඔවුහු මෙම රෝස මල් උද්ඝෝෂණය ව්‍යාප්ත කර තිබුණි. තරුණ සමාජ ක්‍රියාකාරීන්, බෞද්ධ භික්ෂූන් මෙන්ම මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නිරතවූවන් මීට සහාය දැක්වීමට සහභාගි වී තිබුණි. යැන්ගොන් ප්‍රාදේශීය ආණ්ඩුව විසින් දකුණු ඩාගොන් හි ගොඩනැගිලි තුනක් මුස්ලිම් බැතිමතුන්ට රැස්වී යාඥා පැවැත්වීම සදහා තාවකාලිකව ලබා දී තිබුණ ද මැයි 14 සහ 15 දිනයන්හි එම ස්ථානවලට සන්නද්ධව කඩා වැදුණු බෞද්ධ අන්තවාදී කණ්ඩායම් එම යාඥා නතර කිරීමට නියෝග දී තිබුණි. ස්වේ වින් පැවසුවේ ඉන් සිත් තැවුලට පත් බෞද්ධයන් ඇතුළු තරුණ කණ්ඩායම් එක්ව ඊට විරෝධය දැක්වීමටත් මුස්ලිම් ජාතිකයන් වෙත තම ගෞරවය පුද කිරීමටත් ප්‍රචණ්ඩත්වය වෙනුවට මෙවන් ක්‍රමයක් සංවිධානය කළ බවයි. එමෙන්ම වෙනත් ආගමිකයන් පීඩාවට පත් කිරීමට බෞද්ධ නාමය යොදා ගැනීමට තමන් දැඩිව විරුද්ධ බවත් මෙම තරුණ පිරිස පවසති.

“මේ වන විට මියන්මාරයේ විවිධ නගරවල මෙම සුදු රෝස මල් උද්ඝෝෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. එය මහජන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වුණා. ඒ නිසා සියල්ලෝම එයින් සංතෝෂයට පත්වුණා. මෙය මියන්මාරයේ ඉස්ලාමීය ප්‍රජාව වෙනුවෙන් ධනාත්මක ලෙස සිදුවුණු පළමු ව්‍යාපාරයයි. මෙයට කිසිදු විරෝධී හෝ අපහාසාත්මක ආකාරයේ ප්‍රතිචාර කිසිවක් අන්තර්ජාලය හරහාවත් එල්ල වී තියනවා මම දැක්කේ නැහැ. මෙය ඉතාම විශිෂ්ට දෙයක් ලෙස මට හැඟෙනවා.” මියන්මාරයේ ආගමික අන්තර් සහයෝගීතාව වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාකාරිනියක වන සා චි ඕ අප සමග පැවසුවාය.

යාඥා අවසන් කර පල්ලියෙන් පිටතට එන මුස්ලිම් බැතිමතුන්ට සුදු රෝස මල් පිළිගැන්වීමට සහභාගි වී තිබූ බෞද්ධ භික්ෂූන් අතරින් මැන්ඩලායි හි ආරාමයක බෞද්ධ භික්ෂුවක් වන යූ සෙයින්ටිටා පැවසූයේ මෙවැන්නකි. “මම මේ සුදු රෝස මල් ව්‍යාපාරයට සහාය ලබා දුන්නේ පසුගිය දිනක මුස්ලිම් ප්‍රජාවට සිදුවූ හිරිහැරය නිසා ඒ අයට මගේ මානුෂීයත්වය සහ සහයෝගය පෙන්වීමටයි. සියලු මුස්ලිම් ප්‍රජාවට මෙයින් ගෞරව දැක්වීමට මම කැමතියි. විවිධ ආගම් අදහන අයට හිරිහැර නොකරන ලෙස මෙයින් අපි ඉල්ලා සිටියා. ඒ විතරක් නෙමෙයි, මෙම ප්‍රහාරය සිදු කළ ජාතිවාදීන්ට වගේම අනෙකුත් සියලු වැසියන්ටත් මේ හරහා යහපත් පණිවුඩයක් ලබා දෙන බව සිතනවා.”

රාමසාන් කාලය පුරා විවිධ නගරවල මුස්ලිම් බැතිමතුන් වෙනුවෙන් රෝස මල් පිළිගැන්වීමේ සැලසුමෙහි ප්‍රධානියකු ලෙස කටයුතු කරන මා සූ චිට් පැවසුවේ, යැන්ගොන්හි මුස්ලිම් ප්‍රජාව සිදුකරමින් සිටි යාඥා මෙහෙයන් බලහත්කාරයෙන් නතර කිරීමට එරෙහිවත්, මුස්ලිම් මිතුරන්ට තම ආදර කරුණාව දැක්වීමටත් ඔවුන් මේ ව්‍යාපාරය ඉතා සතුටින් සිදුකරමින් සිටින බවය. මැන්ඩලායිහි ලේඛකයෙකු වන නි ෆු ලේයි යැන්ගොන් නගරය වෙත කෙටි වේලාවකට ගොඩවැදුණු බව කීවේය. “මම ඉතාම කැමැත්තෙන් මේ සදහා සහභාගි වෙන්න යැන්ගොන් වලට ආවා. මම ආගමික නිදහස විශ්වාස කරනවා. ඒ වගේම මම මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා.”

මේ අතර රෝහින්යා සහ අනෙකුත් සුළුතර මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව ජාතිවාදය අවුලමින් කටයුතු කරමින් සිටින ‘බුරුමයේ බින්ලාඩන්’ ලෙසද හැඳින්වෙන මියන්මාරයේ අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන 969 සංවිධානයේ නායක අශ්වින් විරාතු අත්අඩංගුවට ගැනීමට එරට උසාවිය විසින් මීට සතියකට පමණ පෙර වරෙන්තු නිකුත් කර තිබුණි. විරාතු භික්ෂුවගේ ආරාමය මැන්ඩලායි හි පිහිටා ඇති නමුත් මේ වන විට ඔහු සිටින ස්ථානය නිශ්චිත නොමැති බැවින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තාවේ. මියන්මාරයේ විරාතු භික්ෂුව මෙරට බොදුබල සංවිධානයේ මහ ලේකම් වන ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමග සමීපව කටයුතු කළ අයෙකි. ඥානසාර හිමි මියන්මාරය වෙත ගොස් විරාතු භික්ෂුව සමග සාකච්ඡා පවත්වමින් කටයුතු කර තිබේ. ඥානසාර හිමි හිරගතව සිටින අතරතුර ද ඔහුගේ කටයුතු අගය කරමින් ද ඥානසාර හිමි ශ්‍රී ලංකාවේ වීරයා බවත් මියන්මාරය ද ඥානසාර හිමි බලාපොරොත්තුවන බවත් විරාතු භික්ෂුව විසින් ලිපියක් මගින් දන්වා තිබූ බව ද වාර්තා වූයේය.

කෙසේ වෙතත් ආගමික අන්තවාදයට මගපෙන්වන හා ඒවා මෙහෙයවන ආගමික නායකයන් ජාලයක් ලෙස කටයුතු කරමින් සිටියදී එවැනි අන්තවාදී ක්‍රියාවලට එරෙහිව යහපත් මෙන්ම සාමකාමී ප්‍රතිචාර දක්වමින් කටයුතු කරන පිරිස් ද සිටිති. මියන්මාරයේ බෞද්ධ අන්තවාදයට එරෙහිව උඩුගම් බලා පිහිනන එවන් මිනිසුන්ගෙන් මෙරට වැසියන්ට ද ගතහැකි ආදර්ශ බොහෝය.