උපවාසයේ දේශපාලන අරමුණ කුමක්ද?

දිනී ජයසේකර  / වින්ද්‍යා ගමගේ

ඇමති රිෂාඞ් බදුර්දීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන තිදෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමි ගෙන ගිය උපවාසය කාගේ වුවමනාවක්ද? සැබැවින්ම එය ජනතාව පැත්තෙන්, ජනතාව වෙනුවෙන් කළ දෙයක්ද? මේ ඒ පිළිබඳ කළ සංවාදයකි.

මොනතරම් ලැජ්ජාවට කරුණක්ද?

වික්‍රමබාහු කරුණාරත්න

නව වාමාංශික පෙරමුණ

මේ සිදුවීමෙන් හෙළිවන්නේ ආණ්ඩුවේ ප්‍රබල භාවයයි. රතන හිමි ෆැසිස්ට්වාදී කණ්ඩායම්වල හා ජනාධිපතිවරයාගේ සහයෝගය තුළයි මේ කොළොප්පම් සහගත කටයුත්ත කළේ. ඒ ගැන දැඩි ලෙස ක්‍රියා නොකර ඒ අය සුරතල් කරන්නට යෑමෙන් මේ ප්‍රශ්නය ඇතිවුණා. මිනිසකුට හෝ හිමිනමකට කොතැනකට හෝ ගොස් මා මැරෙනවා යැයි කියන්නට අයිතියක් මේ රටේ නැහැ. මැරෙන්න උපවාස කරනවා නම් වහාම ඔවුන්ව අත්අඩංගුවට ගෙන රෝහලකට ඇතුළත් කළ යුතුයි. එසේ නොකර මේ බලවේගය යොදාගෙන මුස්ලිම් ජනතාව මර්දනය කරන්නට හැදුවා. මේ නිසා මුස්ලිම් ජනතාවම එකා මෙන් නැගී ඇවිත් තිබෙනවා. ඒ තත්ත්වය නිවැරදි කරන්න කටයුතු නොකළොත් රනිල් වික්‍රමසිංහ මහතාට විශාල කලබැගෑනියකට මුහුණ දෙන්න සිදුවේවි. මේ රටේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හා 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවා ක්‍රියාත්මක කරවීමට අගමැතිවරයාට බලය තිබෙනවා. ඒත් බලයක් නැති පුස්නාම්බෙකුට බය වී, ඔහුට අවශ්‍ය දේවල් කරන්නට දීලා තිබෙනවා. එජාපයේ ලේකම්වරයා පවා ඉල්ලා අස්වී තිබෙනවා. එය මොනතරම් ලැජ්ජාවට කරුණක්ද? තමන් සිටින තැන රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි.

එජාපය වත් තමන්ට නැතිනම් දේශපාලනයේ තමන්ට ඇති තත්ත්වය කුමක්දැයි රනිල් වික්‍රමසිංහ කල්පනා කළ යුතුයි. ඉදිරියේදී මේ තත්ත්වය පාලනය නොකළහොත් විශාල වශයෙන් ෆැසිස්ට්වාදී කොළොප්පම් ඇතිවේවි. ජාතිවාදීන් තව තවත් කලබල කරන්නට පටන් ගනීවි. එනිසා මෙය මේ රටේ ඇති කළ හැකි අර්බුදයක් බව වටහා ගත යුතුයි.
මුස්ලිම් දේශපාලනඥයන්ට තිබෙන චෝදනා පිළිබඳව වහාම ක්‍රියාත්මක වී ඒ දේවල් ආරක්ෂක අංශ විසින් සොයා බලා වැරදි ඇතිනම් දඬුවම් කළ යුතුයි. ජනාධිපති වගේම අගමැතිටත් ඒ සඳහා බලය පැවරී තිබෙනවා. එහෙත් මෙහිදී සිදුවූයේ මුස්ලිම් මැති ඇමතිවරුන්ට ඉවත්වීමට ඉඩ සලසා පසුව චෝදනා ගැන සොයා බලන තැනට යාමයි.

රට අසාමාන්‍ය තත්ත්වයක පවතින්නේ

ඩිව් ගුණසේකර
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය

අප්‍රේල් 21 දින සිදු වූ සිද්දිය ඉතාමත් සංවේදී සිද්දියක් කීවොත් නිවැරදියි. තවද මෙය ආරක්ෂක අංශයන්ට විමර්ෂණය කරමින් විසදන්න ඉඩ දීල ඉන්න තිබුන ගැටළුවක්. නමුත් විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් වීම තුළින් එයට ප්‍රතිචාරයක් වශයෙන් ආණ්ඩුව තේරිම්කාරක සභාවක් පිහිටවූවා. මම හිතන විදියට ඒ උත්සහයන් තුනම තේරුමක් තැති ක්‍රියාවන් කියලා. එසේ නොකර චෝදනා එල්ල වන අදාළ මැති ඇමතිවරුන්ව විමර්ෂණයට ලක් කරලා ඔවුන්ගේ ක්‍රියාකළාපයන් සම්බන්දව නීතිමය කටයුතු කළානම් මූලික වශයෙන් මෙවැනි ගැටලු ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. එසේ නොකිරිම හේතුවෙන් රතන හාමුදුරුවො උපවාසයක් ආරම්භ කළා. එහිදී ඔහු නම් කළ පුද්ගලයන් තුන්දෙනා තනතුරු වලින් ඉවත් කළ යුතුයි කියන කාරණය පෙරදැරි කළා. එසේ පැවසීමට එක් හේතුවක් වන්නේ ඔවුන් තුන්දෙනා සම්බන්දව වූ විමර්ෂණයක් සිදු නොවනවා කියන මතයක් රට තුල ගොඩ නැගුන නිසා. එම මතය නිර්මාණය කිරීම සදහා නොයෙකුත් මාධ්‍යය දායකත්වයක් ද ලැබුණා. එම නිසා එයින් මහජනතාව තුළ කුතුහලයක් ඇති වුණා. එහිදී මම හිතන ආකාරයට රතන හාමුදුරුවෝ මැදිහත් වෙලා හෝ මෙය විසදීම සම්බන්දව මට විචාරයක් නැහැ. එයින් සිදු වීමට තිබු මහා බරපතළ විරෝදය යම් තාක් දුරකට සමනයා වුනා කියලා මම හිතනවා.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට සිදු කිරීමට නියමිතව තිබුනේ අදාළ පුද්ගලයන් තනතුරුවලින් ඉවත් කරලා ඒ සම්බන්දව විමර්ෂණයක් කරන්න. හේතුව මෙය ඉතා සංවේදී ගැටළුවක් නිසා. මෙවැනි කාරණා රට තුල ඉදිරියට ගමන් කිරීමෙන් ජාතිවාදයක් සහ අන්තවාදයක් ඇති වීමට ඉඩ ප්‍රස්ථාව වැඩියි කියන දේ ආණ්ඩුව අවබෝද කරගත යුතුයි. අපට නැවත කලු ජූලියක් අවශ්‍යය නැහැ. නමුත් නම් කළ පුද්ගලයන් තුන්දෙනා ඉල්ලා අස්විම සම්බන්දව ගැටළුවක් නොමැති වූවත් ඔවුන් සමග අනෙකුත් මුස්ලිම් මැති ඇමතිවරුන් ඉල්ලා අස්විම සම්බන්දව ගැටළුවක් පවතිනවා. එයින් ඔවුන් සිංහල ජනතාවට වැරදි මතයක් ඇති කරගැනීම සදහා ඉඩ ප්‍රස්තාව සැලසුවා. ඔවුන් කල්පනා කරන්න ඇති අපි සියල්ල එකට සිටිය යුතුයි කියලා. නමුත් මේ ප්‍රශ්නය ඉතා සංවේදී නිසා ඔවුන් තේරුම් ගත යුතුයි රට සාමාන්‍යය තත්වයක නෙවේ අසාමාන්‍යය තත්වයක පවතින බව.

 

උමතු අන්තවාදය වැරදියි මුස්ලිම් ප්‍රජාවට එරෙහි ජාතිවාදයත් වැරදියි

ටිල්වින් සිල්වා
ජනතා විමුක්ති පෙරමුණ

අප්‍රේල් 21 ප්‍රහාරයට ප්‍රධාන වගකිවයුත්තන් වන්නේ ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිදානයයි. එය ඉස්ලාම් ආගමික අන්තවාදී , උමතු කණ්ඩායමක් විසින් නිර්මාණය කරගත්තක්. එහෙත් අපි දන්නවා එම සංවිධානය සේම රටේ ජාතික ආණ්ඩුවත් ඒ හා සමාන ලෙසටම අප්‍රේල් 21 සිදුවීමට වගකිව යුතුයි කියලා. එයට ප්‍රධානම හේතුවක් වන්නේ අප්‍රේල් 21 දින ප්‍රහාරමාලාවක් සිදුවන බව කල්තියා දැනගෙන සිටීමත් ඊට අවශ්‍යය ක්‍රියාමාර්ග නොගැනීමත් නිසයි. ඉන්දියාව විසින් අප්‍රේල් මස 04 වන දින ප්‍රහාරයක් සිදුවන බවට තොරතුරු ලංකාවේ බුද්ධි අංශ වෙත ලබා දීලා තියෙනවා. ඒසේ බාරදී තිබියදීත් එම ප්‍රහාර වැළැක්වීම සදහා පියවර ගත්තෙ නැහැ. එසේ පියවර නොගැනිම සම්බන්දයෙන් පළමුව ජනාධිපතිවරයා දෙවනුව රටේ අගමැති සහ තෙවනුව ඇමති මණ්ඩලය මේ සියල්ලට වගකිව යුතු වනවා. නමුත් මන්ත්‍රීවරු 225ටම චෝදනාව එල්ල කිරීම අවිද්‍යාත්මක සදාරණ නොවන කතාවක් බව කිව යුතුයි. එයට හේතුව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු හය දෙනා ආණ්ඩුවෙ ආරක්ෂාව යටතේ සිටින්නෙ නැහැ සහ ආණ්ඩුවෙන් ලබාදෙන පුද්ගලික අවියවත් අරගෙන පාවිච්චි කරන්නෙ නැහැ. මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සිටින මන්ත්‍රීවරු හය දෙනාට බුද්ධි තොරතුරු සහ ආරක්ෂක අංශ තොරතුරු ලබා දෙන්නේ නැහැ. එහිදී 225ම මේ සම්බන්දව දැනුවත්ව සිටියා කියන කාරනාව වැරදියි. ප්‍රධාන වශයෙන් ප්‍රභූ වරුන් ලෙස සලකන මැති ඇමතිවරු කණ්ඩායමට මේ තොරතුරු ආරක්ෂක අංශ විසින් ලබා දී තිබෙනවා. නමුත් ඇත්තටම මේවට මැදිහත් වීමේදී දේශපාලන නායකත්වයක් අවශ්‍යය වනවා. එහිදී දේශපාලන නායකත්වය ලබාදිය යුතු වන්නේ ජනාධිපතිවරයා සහ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයි.

මේ වන විට අපි දන්නවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා මණ්ඩලයක් යොදවලා තියෙනවා. එහිදී සාක්ෂි දෙන රජයේ ආරක්ෂක සේවයට අදාල නිළදාරීන්ගේ සාක්ෂි මත පදනම් වීමේදී ඉතා පැහැදිලිවම ඔවුන්ගේ සාක්ෂි අනුව ඔවුන් මෙම ප්‍රහාර පිළිබදව ජනාධිපති දැනුවත් කරල තියෙනවා කියන කාරනය පැහැදිලියි. සහ ආණ්ඩුවත් දැනුවත් කරල තියෙනවා. නමුත් එසේ පැවතියදී ඔවුන් ඒ සම්බන්දව තීරණ නොගත් නිසා ආණ්ඩුව මේ සිදුවීම් මාලාවට පැහැදිවම වගතිව යුතුයි. එසේම තනි තනි පුද්ගලයන් අත වරද නොපටවා ආණ්ඩුව මෙම වගකීම පොදුවේ බාරගත යුතුයි. ඊලග කාරනාව අප්‍රේල් 21 දින සිද්දිය සිදු වූ පසුත් ආණ්ඩුව වගකීම් විරහිතව හැසිරුනා. මේ හේතුවෙන් අද වන විට රට අරාජිකත්වයකට ලගා වෙමින් සිටිනවා. එයට එක් හේතුවක් රටේ ආණ්ඩුව පිල් දෙකකට බෙදිම. ජනාධිපතිවරයා එක පැත්තක සිටීමත් අගමැතිවරයා තවත් පැත්තක සිටීම නිසා රටේ නිසි පාලනයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහිදී දැවැන්ත ජාතිවාදී රැල්ලක් ඇතිවෙමින් තියෙනවා. මෙය වැළැක්වීමට ආණ්ඩුව උත්සහ කලෙත් නැහැ ඉදිරියෙදි කරයි කියල බලපොරොත්තු වෙන්නත් බැහැ.

පවතින තත්වයන් හමුවේ මුස්ලිම් ඇමතිවරුන්ට නානාප්‍රකාර චෝදනා එල්ල වුනා. නමුත් මේ දක්වාම ආණ්ඩුව එම චෝදනා සොයා බලා ඒවාට අවශ්‍යය විමර්ෂණ සිදු කිරීමටවත් ඒවා විභාග කරීම සදහාවත් උත්සහයක් ගත්තෙ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි රතන හාමුදුරුවොන්ගේ උපවාසය දැක්විය හැක්කේ. එය වෙන් කර කතාකළ නොහැකියි. මොකද එය මේ සමස්ත ක්‍රියාවලියේම එක් පුරුකක්. ආණ්ඩුවේ දුර්වලතාවයන් නිසා තමයි මෙවැනි චරිත ඉස්මතු වෙමින් සිටින්නේ. එහිදී ආණ්ඩුව තමන්ගේ වගකිම නිසියාකාරව සිදු කළානම් මේ එල්ලවන චෝදනා සම්බන්දව පරීක්ෂණ පවත්වා ඔවුන් වැරදිද නිවැරදිද යන්න ආණ්ඩුව ඉක්මනින් කටයුතු කළානම් ජාතිවාදී රැල්ලක් ඇති වීමට ඉඩකඩ සැලසෙන්නේ නැති බව කිව යුතුයි. අවසානයට මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වන තුරු ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්තෙ නැහැ. එහිදී මූලිකවම ආණ්ඩුව තමන්ගේ වගකීම් පැහැරහැරීමකට ලක් කරල තියෙනවා. අනෙක් කාරනාව මේ සිද්දිය සිදු වීමෙන් පසු මෙහි සුලමුල සොයා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පුද්ගලයන්ට අවශ්‍යය නිතිමය කටයුතු කිරීමත් ඔවුන්ට උදවුකළ පුද්ගලයන් සිටිනම් ඔවුන්ටත් අවශ්‍යය නිතිමය ක්‍රියාමාර්ග සිදු කරනවා වෙනුවට මෙම සිද්දිය පාවිච්චි කරමින් මේ රටේ සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් තමන්ගේ ඊලග මැතිවරණ ව්‍යාපාරයට මෙම අප්‍රේල් 21 දින සිද්දිය ජාතිවාදී ආකාරයකින් පාවිච්චි කරන්න උත්සහයක සිටින බව මම කියනවා. විශේෂයෙන් පසුගිය මැතිවරණයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ වටා සිටින කණ්ඩායම් මේ ජාතිවාදය අවුස්සා තමන්ගේ ඊළග මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරන්න කටයුතු කරනවා කියන එක අපට ඉතා පැහැදිලියි. සහ ඔහුට උදව් කරන ජනමාධ්‍යයත් ජාතිවාදය පතුරන්න උත්සහයක නිරත වනවා. ඒ නිසා මේ සිද්දිය සිද්ද වෙලා මාසයක් ඉක්මවා තිබියදීත් ජාතිවාදය ඇවිස්සෙන එක අඩුවෙලා නැහැ.

සමාජය තුල සමස්ථ මුස්ලිම් විරෝදතාවක් ඇතිවෙමින් පවතිනවා. නමුත් අපි හිතනවා සමස්ථ මුස්ලිම් ජනයා මෙම ප්‍රහාර මාලාවන්ට වගකිව යුතු වන්නේ නැහැ. නිශ්චිත ලෙසම ජාතික තවුහිද් ජමාන් (NTJ) වැනි සංවිදාන ඇතුළු අන්තවාදී සංවිධාන මෙයට වගකිව යුත්තො වන්නේ. තවද ජාතික තවුහිද් ජමාන් සංවිධාන වැනි සංවිධාන වලට නිදහසේ ඉන්න ඉඩ හැරපු මුස්ලිම් නායකයොත් මේවාට වගකිව යුත්තො වනවා. එහිදී සමස්ථ මුස්ලිම් ප්‍රජාවට විරෝධයක් එල්ල නොවිය යුතුයි. ජාතික තවුහිද් ජමාත් සංවිදානයේ ආගමික ඒ උමතු අන්තවාදය වැරදියි වගේම සමස්ථ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව නිර්මාණය කරන ජාතිවාදයත් වැරදියි.