දරුවන් ස්වර්ගයට කැඳවාගෙන යන දෙමව්පියෝ

මහින්ද අබේසිංහ

www.scmp.com වෙබ් අඩවියේ  This week in Asia  වෙබ් පිටුවට ඒමි චු  (Amy Chew) විසින් ලියන ලද  “From Sri Lanka to Indonesia” more mothers are becoming suicide bombers – and killing their children too”  ලිපියේ පරිවර්තනයකි.

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ඝාතනවල ලෙයින් පෙඟී ගිය ශ්‍රී ලංකාවට ඇඳිරි වැටෙද්දී පොලිසිය ඉහළ පංතියේ නිවාස පිහිටි පෙදෙසක නිවසක දොරට තට්ටු කළහ. ඒ මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනකුගේ නිවසය.

දොර ඇරියේ බෝම්බකරුවකු වූ ඉල්හම් ඊබ්‍රහිම්ගේ ගැබිනි බිරිඳ ෆාතිමා ඊබ්‍රහිම්ය. පොලිසිය දුටු ඇය ගෙතුළට දිවගොස් කළ පිපිරවීමකින් කුස තුළ හුන් දරුවා හා පිළිවෙළින් වයස අවුරුදු පහක්, හතරක් හා මාස නමයක් වූ අනෙක් දරුවන් ද සමග මිය ගියාය. මෙම පිපිරීමෙන් පොලිස් නිලධාරීහු තිදෙනෙක් ද මියගියහ.

මාර්තු මාසයේ සිදුවූ මීට සමාන සිදුවීමකදී ඉන්දුනීසියාවේ ත්‍රස්ත විරෝධී පොලිසිය ඉස්ලාම් රාජ්‍යයට (IS) පක්ෂපාතී බෝම්බ සාදන්නෙකු ලෙස සැකකොට අබු හම්සා නම් පුද්ගලයකු අත්අඩංගුවට ගත්හ. ඔහුට බෝම්බ සෑදීමට උපකාර කළ ඔහුගේ බිරිඳ සොලිමා අත්අඩංගුවට ගැනීමට ඔවුන් ගිය අවස්ථාවේ දී ඇය පුපුරවා ගැනීමක් සිදුකිරීමෙන් සිය දෙහැවිරිදි දරුවා ද සමග මරණයට පත්වූවාය.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දුනීසියාව දක්වා, මාරාන්තික වූ නව ප්‍රවණතාවක් ඉස්මතුවෙමින් පවතී. ඉස්ලාම් රාජ්‍ය ( IS) මතවාදයෙන් අන්තගාමී (radical) වූ කාන්තාවෝ ප්‍රාණ පරිත්‍යාග වීරත්වය වෙනුවෙන් තම දරුවන් ද සමග දිවි තොරකර ගනිති. කළු වැන්දඹුවන් ලෙස හැඳින්වුණු රුසියාවේ චෙචන් ඉස්ලාම්වරුන්ගේ කාලයේ පටන්ම ජිහාඞ්වාද ඉතිහාසයේ මරාගෙන මැරෙන කාන්තාවන් දක්නට ලැබුණද දරුවන් මරණයට පත්කරන අන්තගාමී වූ ගැහැනුන් භයානක වූ නව මානයක් ත්‍රස්තවාදයට එකතුකර ඇත.

අල්-ඛයිඩා සංවිධානයේ මෙවැනි දෙයක් නොතිබුණු බව පවසන අග්නිදිග ආසියානු අල්-ඛයිඩා සංවිධානයේ සාමාජිකයකුව සිටි සොෆ්යන් ට්සයුරි තවදුරටත් පවසන්නේ ඉස්ලාම් දහමෙහි කාන්තාවනට ජිහාද් වන්නේ ගෙදරදොර බලාගෙන, දරුවන්ට අධ්‍යාපනය දෙමින් රැකබලා ගැනීම මිස ආයුධ අතට ගැනීම නොවන බවයි.

අල්-ඛයිඩා සමග සබඳතා පවත්වන මැලේසියාවේ ජෙමා ඉස්ලාමියා (JI) සංවිධානයේ හිටපු නායක හා කලෙක අග්නිදිග ආසියාවේ වඩාත්ම අවශ්‍යව සිටි ජිහාඞ්වරයා සේ සැලකුණු නසීර් අබ්බාස් පවසන්නේ මෙම කාන්තාවන්ගේ දරුවන් ආරක්ෂා කරගැනීම පිළිබඳ මාතෘ හැඟීම, ස්වර්ගයට පිවිසෙන පහසු මග පිළිබඳ හැඟීමෙන් යටපත් කර ඇති බවයි. පසුව තම අන්තවාදී අදහස් වෙනස් කරගත් ඔහු අද අන්තගාමිත්වයෙන් පුද්ගලයන් මුදවා ගැනීමට (deradicalization) හා දරුණු අන්තවාදයට එරෙහිව ගන්නා පියවරවලට සහයදෙමින් සිටී.

“ඔවුන් විශ්වාස කරනවා දරුවන් ආරක්ෂා කිරීම යනු ඔවුන්ගේ මරණයෙන් පසු දරුවන් මිථ්‍යා දෘෂ්ටිකයන් බවට පත්වීමෙන් වැළැක්වීම කියල. ඔවුන්ගේ විකෘති ඇදහීමට අනුව, ඔවුන් තදින්ම විශ්වාස කරනවා දරුවනුත් දෙමව්පියන් සමගම මැරුණොත් නැත්නම් දෙමව්පියන් වගේම මරාගෙන මැරෙන බෝම්බ පුපුරව ගත්තොත් ඒ වගේම ස්වර්ගයට යයි කියල.” නසීර් අබ්බාස් තවදුරටත් කියා සිටී.

මෙම නව ප්‍රවණතාවෙහි සුවිශේෂී අවස්ථාවක් වූයේ 2018 සුරබයා ප්‍රදේශයේදී එකම පවුලේ සාමාජිකයින් හයදෙනෙකු පල්ලි තුනකදී බෝම්බ පුපුරුවා ගැනීමයි. නසීර් හා ඉන්දුනීසියන් පොලිසිය සඳහන් කරන පරිදි මීට සම්බන්ධ වූයේ පියා, මව හා වයස අවුරුදු 9 – 18 අතර වූ දරුවන් හතරදෙනාය. පියා වූ ධනවත් ව්‍යාපාරික ඩිටා ඔප්රියාටෝ තම බිරිඳගේ හා දියණියන් දෙදෙනාගේ ශරීරවල බැඳි බෝම්බ ඔවුහු පල්ලියකදී පුපුරවා ගත්හ. පුතුන් දෙදෙනාට බෝම්බ ඇටවූ මෝටර් සයිකලයක් ලබාදුන් අතර ඔවුහු එය තවත් පල්ලියකදී පුපුරවා ගත්හ.

ඩිටා තම පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථය වෙනත් පල්ලියක් වෙත පැදවීය. විනාඩි දහයක කාලයක් තුළ මුළු පවුලම මළවුන් අතරට ගොස් තිබිණ. ඩිටාගේ බාල පුත් දහසය හැවිරිදි ෆිර්මන් හලීම් ප්‍රහාරයට පැය දෙකකට පෙර මුස්ලිම් දේවස්ථානයක අළුයම දේව මෙහෙයේදී පාලනය කරගත නොහැකි ලෙස හඬනු දක්නට ලැබී තිබේ. ඉන්දුනීසියාවේ පුද්ගලයින් අන්තවාදයෙන් මුදවාගැනීමේ ප්‍රථම පෞද්ගලික සංවිධානය වන ජාත්‍යන්තර සාමය ගොඩනැගීමේ ආයතනයේ (IIPB) පර්යේෂකයෙකු වන රිස්කා නුරුල් පවසන පරිදි, පියා බෝම්බ පිපිරීමට පෙර දින රාත්‍රියේ මරණයට සූදානම් වන ලෙස දරුවන්ට පවසන ලදැයි විශ්වාස කෙරේ.

විවාහ වන යුවළක් අන්තවාදයට නැඹුරුවීම දරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති බව පැහැදිලි වේ.

මව්පිය දෙපළම තමන්ගේ පව් මෙම ජීවිත කාලය තුළදීම සමාකිරීම සඳහා ජිහාද් කළ යුතුය යන විශ්වාසයට පැමිණියහොත් දරුවන්ගේ ජීවිත දැඩි අනතුරකට ලක්වන බව JI නායකයාව සිටි නසීර් පවසයි. තම දරුවන් ද තමන් සමගම ස්වර්ගය වෙත කැඳවාගෙන යාහැකි බව දෙමව්පියන්ගේ විශ්වාසය වන බව ඔහු තවදුරටත් පවසයි.
පිරිමින්ට වඩා කාන්තාවන් වඩාත් අන්තගාමී හා යුදකාමී වීමේ හැකියාවක් පවතිනබව හිංසාකාරී අන්තවාදයට විරුද්ධව වැඩකරන පර්යේෂකයෝ පවසති. ජාත්‍යන්තර සාමය ගොඩනැගීමේ ආයතනයේ (IIPB) රිස්කා පවසන ආකාරයට ලැබෙන ප්‍රතිඵල හා ප්‍රතිවිපාක පිළිබඳ වඩාත් තර්කානුකූලව සිතීමට පෙළඹෙන පිරිමින්ට වඩා තම හදවතට අනුව තීරණ ගන්නා, පරිත්‍යාග කිරීමට වඩාත් කැමති කාන්තාවන් බෙහෙවින්ම භයානකය.

තම ස්වාමියා වූ අබු හම්සා අත්අඩංගුවට පත්වීමෙන් පසු නිවසේදීම බෝම්බයක් පුපුරවා ගැනීමෙන් දිවි නසාගත් සොලිමා එවැන්නියකි. ප්‍රශ්න කිරීමේදී අබු හම්සා පරීක්ෂකයන්ට කියා සිටියේ තම බිරිඳ තමාට වඩා අන්තගාමී බවයි. මෙම යුවළ අන්තගාමී බවට පත්වී ඇත්තේ ඉන්දුනීසියාව තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට අනෙක් අය පෙළඹවීම නිසා මර්ණීය දණ්ඩනය නියමව සිටින, ඉන්දුනීසියාවේ ප්‍රමුඛතම IS න්‍යායාචාර්යවරයා වන අමාන් අබ්දුර් රහමන්ගේ දේශනාවලට අන්තර්ජාලය ඔස්සේ සවන්දීමෙනි.

මෙම කාන්තාවන් බොහෝදෙනෙක් අන්තගාමී බවට පත්කර ඇතැයි විශ්වාස කරන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින් විසින්ය. ඒ, ස්වාමිපුරුෂයින්ට කරන ගරුකිරීමක් ලෙස ඔවුන්ගේ ඉගැන්වීම්වලට කාන්තාවන් අවනත වන නිසාය.

“ශ්‍රී ලංකාවේ කාන්තාව සියදිවි නසා ගැනීම පිළිබඳව මා පුදුම නොවන්නේ ඇය ත්‍රස්තවාදී කණ්ඩායමේ පරිසරයේ ජීවත් වූ නිසයි.” මෙලෙස පවසන්නේ ඉන්දුනීසියාවේ නහ්දල්තුල් උලමා ඉස්ලාමීය විශ්වවිද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ඇනී රුෆයිදාය.

“ත්‍රස්තවාදීන්ගේ භාර්යාවන් පිළිබඳව පෙර කරන ලද පර්යේෂණවලට අනුව ඔවුන්ගෙන් බහුතරයක් ස්වාමිපුරුෂයන්ට කීකරු වන අතර ස්වාමිපුරුෂයන්ගේ අන්තවාදී මතවාදවලට විරුද්ධවන සුළු පිරිසට ද තම සැමියාගෙන් වෙන්වීම වැනි ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවේ. අන්තවාදී කණ්ඩායම් බිරිඳගෙන් පූර්ණ කීකරුබව අපේක්ෂා කරයි.” ඇය තවදුරටත් පවසයි.

හිටපු JI නායක නසීර්ට අනුව තවත් බියකරු තත්ත්වයක් වන්නේ අන්තවාදයට නැඹුරු වූ ඉන්දුනීසියානු කාන්තාවන් දෑවැද්ද ලෙස අනාගත සැමියන්ගෙන් මරාගෙන මැරෙන බෝම්බ සවිකරන ඇඳුම් කට්ටලයක් ඉල්ලා සිටීමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව විවාහයෙන් පසුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්හී නියැළීමයි. මෙවන් කාන්තාවන් කිහිපදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත විරෝධී සංවිධානයක නිලධාරියෙකු This Week in Asia වෙත පවසා සිටියේ එවැනි ඉල්ලීමක් කළ කාන්තාවක් මධ්‍යම ජාවාහි ක්ලාටන් වලදී පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් බවයි.
නසීර්ට අනුව මෙම තර්ජනයට මුහුණදීමට ලිහිල් මෙන්ම දැඩි පිළිවෙත්ද අනුගමනය කිරීමට සිදුවේ. ත්‍රස්තවාදී සංවිධාන ජාලාවල සමාජ විරෝධී ඉගැන්වීම් හෙළිදරව් කරන අතරම අන්තවාදයෙන් මුදවා ගැනීමේ වැඩසටහන් හා සමගාමීව හිංසාකාරී අන්තවාදයට විරුද්ධ වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් ත්‍රස්ත සංවිධාන ජාලා බිඳ දැමීමට මෙන්ම ප්‍රහාර එල්ල කිරීමට පෙර ඔවුන්ගේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමටද හැකිවන බව ඔහුගේ අදහසයි.

ඉන්දුනීසියාව ජාතික ප්‍රතිත්‍රස්ත ඒජන්සිය (BNPT) හරහා රැඳවියන් අන්තවාදයෙන් මුදවාගැනීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඇත. ආගමික නායකයින් හා මනෝ විද්‍යාඥයන් විසින් කරන ප්‍රති අදහස් දැක්වීම් තුළින් ඉස්ලාම් ආගම පිළිබඳව ඔවුන්ගේ අදහස් පුනරුත්ථාපනය කර, නැවත සමාජගත කළ පසු ජීවත්වීමට උපකාරී වන කුසලතාවලින් ඔවුන් සන්නද්ධ කිරීම මෙමගින් අරමුණු කෙරේ. විශ්වවිද්‍යාලවල පවතින හිංසාකාරී අන්තවාදය නැති කිරීම කෙරෙහි ද ජාතික ප්‍රතිත්‍රස්ත ඒජන්සියෙහි (BNPT) අවධානය යොමුවී ඇත.
විශ්ලේෂකයන් පවසන්නේ ප්‍රහාරකයින්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ඇති නිසා, ත්‍රස්ත ව්‍යාපාරවල නායකයින්ව සිට ඉන් ඉවත්වූ අය අන්තවාදී අදහස්වලට ගොදුරුවූවන් මුදවාගැනීමේ වැඩසටහන් සඳහා විශ්වවිද්‍යාල හා පොලිසිය සමග සහයෝගයෙන් වැඩකිරීමට යොදාගත යුතු බවයි.

හිටපු JI සාමාජික හා මරණීය දණ්ඩනයට ලක් කරන ලද බාලි බෝම්බකරුවන්ගේ දෙදෙනාගේ බාල සොයුරු අලි ෆවුසි “සාම කවය” නමින් පිහිටුවාගෙන ඇති රාජ්‍ය නොවන සංවිධානය තුළින් හිංසාකාරී අන්තවාදයට විරුද්ධව වැඩ කිරීමෙහි හා අන්තවාදී අදහස්වලට ගොදුරුවූවන් ඉන් ගලවාගැනීමෙහි යෙදී සිටියි.

මෙම වැඩසටහන්වල හා පුද්ගලයින් අන්තවාදයට නැඹුරුවීම වැළැක්වීමේ අනෙකුත් සමාජීය ක්‍රියාකාරකම්වල මූලික ඉලක්කයක් වියයුත්තේ කාන්තාව බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෑතකදී පිහිටුවනු ලැබූ ගැටුම් පිළිබඳ ප්‍රතිපත්ති විශ්ලේෂණ ආයතනයේ (IPAC) වාර්තාවකින් කියා සිටින්නේ වැඩිවෙමින් පවතින කාන්තා සටන්කාමීන් ප්‍රමාණය දෙස බැලීමේදී ඉන්දුනීසියාවේ ත්‍රස්ත විරෝධී පොලිස් ඒකකයට බඳවා ගන්නා කාන්තාවන් සංඛ්‍යාව ද වැඩි කළයුතු බවයි. එම වාර්තාවට අනුව පොලීසියේ සිටින කාන්තාවන්ගේ ප්‍රතිශතය 8% තරම් අඩු මට්ටමක පවතී.

IS සංවිධානයට පක්ෂපාතී කාන්තා රැඳවියන් සඳහා හොඳින් සැලසුම් කෙරුණු වැඩසටහන් අවශ්‍ය වේ. දැනට එවනි කාන්තාවන් 15 සිරභාරයේ සිටින අතර ඔවුන්ගෙන් සමහරෙක් හිංසාකාරී ක්‍රියාවලට සම්බන්ධ වී ඇත. ගැටුම් පිළිබඳ ප්‍රතිපත්ති විශ්ලේෂණ ආයතනයට (IPAC අනුව පුනරුත්ථාපනය ඉලක්ක කරගත් වැඩසටහන් සැලසුම් කිරීම සඳහා ඔවුන්ගේ පසුබිම හා මේ සඳහා ඔවුන් පෙළඹුණු කරුණු අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය.

IS  සංවිධානය කාන්තාවන් සටන්කාමීන් ලෙස බඳවාගන්නට ඇත්තේ අකැමැත්තෙන් වුවත්, දැන් ඔවුන් යුධ මෙහෙයුම් සඳහා සහභාගිවීමට උනන්දු කරන බව සඳහන් කරන එම වාර්තාව තවදුරටත් දක්වන්නේ ඉන්දුනීසියානු ත්‍රස්තවාදීන්ගේ දක්ෂතාව පහසුවෙන් බැහැර කළ හැකි වුවද, IS මතවාදයට අනුගත වන තාක් ඔවුන් බරපතළ තර්ජනයක් වන බවයි.