රනිල් අභියෝගය

උපාලි කොළඹගේ

කතානායක කරු ජයසූරිය මහතාද මැල්කම් රංජිත් කාදිනල්තුමා අනුව යමින් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළේය. වෙඩි නොවදින රථ ලබා දෙනුයේ දැඩි ලෙස ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්වූ සුවිශේෂී පුද්ගලයන්ටය. කෙසේ වුවත් මේ දෙදෙනාටම ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් ආණ්ඩුව විසින් සපයා දී තිබේ. වෙඩි නොවදින රථ ප්‍රතික්ෂේප කිරීම ප්‍රදර්ශනාත්මකව සිත්ඇදගන්නා සුලු වුවද එහි ඊට එහා යමක් ඇතැයි නොපෙනේ.

කෙසේ වුවත් වෙඩි නොවදින රථය යන්න මෙරට සුපිරි ප්‍රභූ තන්ත්‍රයේ සාමාන්‍ය මෙවලමක් බවට පත්වීමට දැන් ආසන්නය. එය අනාගතයේදී පළාත් සභා මන්ත්‍රී දක්වා ව්‍යාප්තව ගියද පුදුම විය යුතු නැත. ඒ අපේ රටේ හැටිය. මහ නා හිමිවරුද නොබෝ කාලයේදීම ඉල්ලා සිටිනු ඇත. කාදිනල්තුමා වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ අවධියේ ‘මුහුණු පොත’ හරහා කිසිවකු යෝජනා කර සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙණ නොවදින වාහනයක් ලබාදිය යුතු බවය.
උපහාසය, අපහාසය හා නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් එම සටහන මගින් වික්‍රමසිංහ මහතා කෙරේ ජනතාව තුළ පවත්නා වෛර සහගත සිතිවිලි පිළිබඳව මනා ලෙස පිළිබිඹු වේ. රනිල් වික්‍රමසිංහ මහතාට රට තුළ මෙන්ම එජාප අභ්‍යන්තරයේද දැඩි විරෝධයක් තිබෙන බව පිළිගත යුතු සත්‍යයකි. විරෝධයේ තරමටම රනිල් වැරදිද යන්න වෙනම කතාවකි. රනිල් වැරදියි, හැබැයි ඔය කියන තරමට නොවේ යන්න ද සමාජය තුළ විශේෂයෙන් එජාප සාමාජිකයන් අතරේ පවතින කතාවකි.

කෙසේ වුවත් ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පවා නිල – නොනිල ආකාරයට ප්‍රකාශයට පත්වී ඇති මේ අවස්ථාවේ එජාපයට රනිල් පිළිබඳව අභ්‍යන්තරයේ මතුවී ඇති ප්‍රහේළිකාව විසඳාගත යුතුව තිබේ. එජාපය ජනාධිපති ඡන්දයට පෙර මුහුණ දී සිටින බරපතළම අභියෝගය එයයි. ඊට විසඳුම් නොසොයා එම පක්ෂයට එක් අඩියක්වත් පෙරට තැබිය නොහැක. ප්‍රශ්නයෙන් පැන යෑමටද නොහැක.
රනිල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු මෙන්ම දේශපාලනයේ දේශීය හා ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳ මනා දැනුමැති පරිණත නායකයකු බවද සැබෑය.
එහෙත් ඔහුට මෙරට සාමාන්‍ය ජනයාගේ හෘදය ස්පන්දනය හඳුනා ගැනීමට හෝ එය වින්දනය කිරීමේ නොහැකියාවක් ඇතිය යන්න මගේ අදහසයි. එමෙන්ම මහජන සබඳතා පැත්තෙන් ඔහු ඍණ චරිතයකි.

මෙරට ජනයාගේ හෘදය ස්පන්දනය හඳුනා ගැනීමද විවාදාපන්නය. හෘදය ස්පන්දනය හඳුනා ගැනීම යන්නෙහි පුළුල් තේරුම ජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමය. රනිල් වික්‍රමසිංහ මහතාට ඒ නොහැකියාව නම් උපරිමයට තිබේ.

එමෙන්ම ජනතා සිතුම් පැතුම් තේරුම් ගත් පමණින් නායකයන් කළයුත්තේ ඊට අනුගතව සිය හැසිරීම් රටාව වෙනස් කිරීමද? හැබෑ ජනතා නායකත්වය යනු එයද? නැත්නම් ජනතාව නිවැරදිව තේරුම් ගෙන ඔවුන් වඩා යහපත් දිසාවකට යොමු කිරීමද?

අපේ රටේ නම් බොහෝවිට සිදුවනුයේ ජනතාවගේ ග්‍රාම්‍ය සිතුම් පැතුම්වලට පවා අනුගතව බලය ලබාගැනීමය. බලය ලබාගත් පසු කිසිවක් නොකර සිටීමේ පිළිවෙතක් අනුගමනය කිරීමය. පොදු දේපළ වෙන්දේසියේ දමා පරම්පරා ගණනකට හම්බ කිරීමද වර්තමානයේ ශ්‍රී ලාංකීය දේශපාලනඥයාගේ පොදු ලක්ෂණයක් වී තිබේ.
ජාතිය, ආගම යන අති සංවේදී මෙන්ම කල්පිනූ සමාජ අංග මගින් ජනතාව මෝහනයට පත් කර ඔවුන්ගේ සැබෑ අභිලාෂයන් යටපත් කර තමන් වෙත ආකර්ෂණය කරගැනීමද ශ්‍රී ලාංකීය දේශපාලන කෛරාටිකඥයන්ගේ පොදු ලක්ෂණයකි.

ශ්‍රී ලාංකික සමාජය අවරගණයේ ජාති හා ආගම්වාදී සමාජයක් බවට පත්ව ඇත්තේද මේ නිසාය. කිසිදු සාධාරණ සමාජයකට අදාළ ප්‍රතිපත්ති මාලාවකට මේ සමාජය තුළ රෝපණයවීමට ඇති ඉඩකඩද ඉතා හීනය.

එමෙන්ම රණවිරු සංකල්පයද සමාජය ආපස්සට ගෙනයෑමේ උමතු සංකල්පයක් බවට පත්ව තිබේ. ජනවාර්ගික ගැටලුවක් විසඳාලීමේ ප්‍රාථමිකම ක්‍රියාන්විතය යුද වැදීමය. සාකච්ඡා මගින් එකඟත්වයකට එළැඹිය නොහැකි අවස්ථාවලදී යුද වැදීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ශ්‍රී ලංකාවේද සිදුවූයේ එයයි. එහිදී හමුදා භටයන් දිවි පරදුවට තබා නිර්භීතව සටන් කළබවද සත්‍යයකි.

එහෙත් දැන් සිදුවන්නේ දේශපාලනඥයන් විසින් රණවිරු සංකල්පය හිස මත තබාගෙන උමතු දේශපාලන රංගනයන්හී නිරතවීමය. අපේ රට තුළ රණවිරු සංකල්පය ජාති හා ආගම්වාදයේ නිවුන් දරුවකු බවට පත්කරගෙන ඇත්තේ මේ බලකාමී නිර්ලජ්ජිත දේශපාලන හපුටන් විසිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික දේශපාලන පොදු ලක්ෂණවලින් තරමක් වෙනස්ය. එය ඔහු හිතා මතා කරන්නක්ද සාමාන්‍ය ජනතා සිතුම් පැතුම් වෙත අනුගතවීමේ නොහැකියාවද යන්න පැහැදිලි නැත. එහෙත් මා නම් දකිනුයේ එය ඔහුගේ ධනාත්මක ලක්ෂණයක් ලෙසය. අපට දැන් සිතිය යුතුව ඇත්තේ නායකයන් එකිනෙකා සංසන්දනය කිරීම මිස ජනාධිපතිවරණය මුවවිට තබාගෙන අලුත් නායකත්වයක් තැනීම නොවේ. එය ප්‍රායෝගික නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනතා මතයට පොලු තැබුවේ 2015 ජනවාරි 08 වැනිදා සිට මාස කිහිපයකට පසුවය. එදා මෙදා තුර සිව් වසරක් ගතවීත් සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකි නායකයකු තෝරා ගැනීමට අපි අසමත් වීමු. පෙනෙන තෙක් මානයක හෝ එවැනි අලුත් චරිතයක් නිර්මාණය වෙමින් පවත්නේ නැත.

සත්‍යය නම් පරණ වයින් බඳුන්වලට අලුත් වයින් දමා අලුත් වයින් ලෙස සමාජ ගත කිරීම මිස ඉන් එහා කිසිදු අලුත් දෙයක් ලබන ජනාධිපතිවරණයේදීද සිදුවීමේ ඉඩක් නැත. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ සාධකය පිළිබඳව නිශ්චිත නිගමනයකට එළැඹිය හැක්කේද ඉහත කී සියලු කරුණු විමර්ශනයට ලක්කිරීමෙනි. රනිල් ආකර්ෂණීය නායකයෙක් නොවන බවද සත්‍යයකි. ඔහු සාම්ප්‍රදායික දේශපාලනයෙන් තරමක් දුරට වෙනස් පුද්ගලයකු බවද සැබෑවකි.
එජාපයට රනිල් උණු නිසා බොන්නත් බැරි කැඳ නිසා අහක දාන්නත් බැරි පුද්ගලයකුය යන්නද සත්‍යයකි.