සිංහල – මුස්ලිම් දෙපිරිසම අපරිණතය

විපුල අබේසිංහ

යුද්ධයෙන් පසුව සිංහල සමාජය තුළ මුස්ලිම් විරෝධය උග්‍ර වී ඇත. මෙයට හේතු කීපයකි. යුද ජයග්‍රහණයෙන් ලද උද්දාමය එක් හේතුවකි. සිංහල සමාජය, එසේත් නැතිනම් සිංහල බෞද්ධ සමාජය සිතන්නේ මෙය ඔවුන්ගේ පමණක් රට වන බවයි. දෙමළ සහ මුස්ලිම් ජනතාව එසේ නැතිනම් සිංහල ක්‍රිස්තියානි පිරිස් ගැනද සලකන්නේ ඉදිරිපස කාමරයේ කුලියට සිටින පිරිසක් ලෙසයි. එසේත් නැතිනම් සතුරන් පිරිසක් ලෙසයි. එක් සතුරෙකුට පහර දී බිම දමා ඇත. අනතුරුව සිංහල දබර ඇඟිල්ල මුස්ලිම් ජනතාවට එල්ල වේ. මේ නිවස අපගේය. ඔබට එහි කැමති කලක් ජීවත් විය හැකිය. එහෙත් කොන්දේසි සහිතයි. මක්නිසාද? මේ නිවස අපගේ පමණක් වන බැවිනි.

ප්‍රමාණයෙන් සුළුතරයක් වූ මුස්ලිම් ජාතිකයින් ව්‍යාපාර අංශයේ වැඩි කොටසක් හිමි කරගෙන සිටීමද මුස්ලිම් ජාතිකයින්ට එරෙහි සිංහලයන්ගේ වෛරයට තවත් හේතුවකි. බොහෝ විට මෙම වෛරී සහගත ආකල්ප පතුරවනු ලබන්නේ සිංහල වෙළෙඳ ප්‍රජාවයි. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ වෙළෙඳාම සිංහලයන් අතට ගැනීමයි.
මුස්ලිම් ප්‍රජාව සිංහල ප්‍රජාවෙන් ඈත්වීමට හේතුවන අනෙක් කාරණය වන්නේ මුස්ලිම් ප්‍රජාව විසින් පවත්වාගෙන යනු ලබන දැඩි ආගමික සංස්කෘතියයි. මීට අවුරුදු විසි පහකට තිහකට පෙර මෙවැනි දැඩි සංස්කෘතිකාංග මුස්ලිම් සමාජයේ නොවූ අතර එකල මීට වඩා සිංහල මුස්ලිම් සබඳතා දැඩි විය.

දීර්ඝකාලීන යුද්ධය විසින් ද සිංහලයාගේ සිතුම් පැතුම් හා ආකල්ප බොහෝ සෙයින් වෙනස් කරලීය. සුළු ජන කොටස් සම්බන්ධයෙන් වූ ඔවුනගේ සුහදශීලී ආකල්ප ශීඝ්‍රයෙන් වෙනස් විය. යුද්ධය යනු තමන් විනාශ කිරීමට බලවත් ජාතීන් විසින් ඇති කරන ලද්දක් බවත් එහි දේශීය නියෝජිතයා දෙමළ ජාතිය බව සිංහලයාගේ සිතට කාවැද්දීය. මෙවැනි ආකල්ප ඇති කිරීමට ජාතිවාදී කොටස් සංඝ සමාජය සමඟ අත්වැල් බැඳ ගත්තෝය. ලෝකෝත්තර සුවය වෙනුවෙන් දෙසූ ධර්මය සිංහල බෞද්ධයා රැක ගැනීම දක්වා පටු විය. නිවුණු පහන් සිත් ඇති යතිවරයන් වෙනුවට කළහකාරී භික්ෂූන් ජනප්‍රිය විය. සිංහල ප්‍රජාවගේ චින්තනය හැඩගස්වනු ලබන ප්‍රබලම සාධකය වන්නේ බෞද්ධ භික්ෂුවයි. දැන් ඔවුන් පොහොසත් වී ඇත්තේ සිංහල බෞද්ධ අන්තවාදී මතවලිනි. යුද ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු වී ඇත්තේ ලාංකික මුස්ලිම් ප්‍රජාව වෙතයි.
මුස්ලිම් ජනයා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් සිදුවූ හානි ගැන නිල සංඛ්‍යා ලේඛන අප සතු නොවූවත් වීඩියෝ දර්ශනවලින් එහි තරම පෙන්වයි. එම ප්‍රහාරයන් මිනිත්තුවකින් දෙකකින් එල්ල කොට පළා යා හැකි ඒවා නොවේ. එහෙත් ප්‍රහාරකයින් කිසිදු උපද්‍රවයකින් තොරව ආපසු ගොස් ඇත. පොලිසිය විසින් මෙම ගැටුම් වැළැක්වීමට බලය යෙදුවේ නම් ප්‍රහාරකයාටද බරපතළ හානි සිදුවිය යුතුය. එහෙත් එවැනි අවස්ථා වාර්තා වන්නේ නැත. දැනට අවුරුදු කීපයක සිට මුස්ලිම් ජනයාට එරෙහිව මෙවැනි ප්‍රහාර එල්ල වීම සිදුවන අතර ඒ හැම අවස්ථාවකදීම කියවුණේ ආරක්ෂක අංශ කිසිවක් නොකර බලා සිටි බවයි. මෙම තත්ත්වය ඉතා බරපතළ ඛේදවාචකයකි. මෙවැනි අවස්ථාවන්හිදී ගැටුම වැළැක්වීමට ආරක්ෂක අංශ ක්‍රියා කරන්නේ නැත්නම් පහර කන්නා ආරක්ෂා කරන්නේ කවුරුන් විසින්ද? මෙවැනි කනගාටුදායක තත්ත්වයන් උදාවන්නේ ඇයි? මෙම තත්ත්වයන් අප විසින් තේරුම් ගන්නේ කෙලෙසද?

ආරක්ෂක අංශ යනු රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂකයායි. කුමන ජන වර්ගයකට අයත් වුවද කුමන ආගමක් ඇදහුව ද ඔවුන් ඒ සියලුදෙනා ආරක්ෂා කළ යුතුය. ගැටලුව වන්නේ ලංකාවේ දී එය එසේ සිදු නොවීමයි. ඔවුන් බොහෝ විට සිංහලයාගේ පැත්තේ සිට ගනු ලබයි. තමන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂකයින් බව ඔවුන්ට අවබෝධ වන්නේ නැත. එසේ වන්නේ ඔවුන්ගේ මනසද සිංහල බෞද්ධ වාර්ගික අදහස්වලින් පිරී ඇති බැවිනි. සියලු ආරක්ෂක අංශ සමන්විත වන්නේ සිංහලයන්ගෙනි. අනෙකුත් සුළු ජාතික නියෝජනය නොගිණිය හැකි තරම්ය. ඒ නිසාම සිංහල බෞද්ධ අන්තවාදී අදහස් ආරක්ෂක අංශ තුළ ප්‍රබලව ඉස්මතු වේ. මෙය කනගාටුදායක තත්ත්වයක් මෙන්ම බරපතළ ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමට හේතු විය හැකිය. රටේ සිටින සුළු ජන කොටස් තුළ ආරක්ෂක අංශ ගැන ඇති විශ්වාසය පළුදුවීම එතරම් හොඳ කාරණයක් නොවේ. තමන්ගේ මව් රටේදී ආරක්ෂා සහිතව ජීවත්වීමට නොහැකි තැන දී ප්‍රථමයෙන්ම ඔවුන් කරන්නේ ආරක්ෂා සහිතව ජීවත්වීමට හැකි රටකට යාමයි. රටේ සම්පත් එසේ වෙනත් රටකට ගලායාම කුමන රටක් සම්බන්ධයෙන් වුවද හොඳ දෙයක් වන්නේ නැත. වඩා අසරණ වන්නේ එසේ යාමට නොහැකි ජනයායි. වඩා ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වනුයේ ද මෙම කොටස් තුළයි. මෙම ජන කොටස් තුළ ඇතිවන දැඩි අසහනකාරී තත්ත්වයන් අන්තවාදී අදහස් පැළවීමට සරු පසක් තනාදෙයි

මෙම තත්ත්වය වහා වෙනස් විය යුතුය. ආරක්ෂක අංශ තුළ ඇති මෙම වර්ගවාදී අදහස් තුරන් කළ යුතුය. ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතුය. පුරවැසියන්ට ආරක්ෂාව සැලසීමේදී, තමන් ජාති, කුල, ආගම් සියල්ලටම ඉහළින් සිටින උසස් පුද්ගලයෙකු බවද, ඒ නිසාම රටේ සිටින සියලු පුරවැසියන්ට කිසිම භේදයකින් තොරව ආරක්ෂාව සැලසීම තමන්ගේ පරම යුතුකම බවද ඔවුන්ට පහදා දිය යුතුය.

කබලෙන් ළිපට වැටුණු මුස්ලිම් ජනයා

කලක පටන් ලංකාවේ මුස්ලිම් ජනයා ජීවත් වන්නේ දැඩි අසහනකාරී තත්ත්වයකිනි. ඔවුන් සිටින්නේ කුමන හෝ අවස්ථාවක සිංහලයා වෙතින් පහරකෑමට සිදුවේ යැයි බියෙනි. එවැනි මොහොතක ඔවුන් බේරා ගැනීමට කිසිවෙකු නොමැති බව ඔවුහු හොඳාකාරවම දනිති. ඊට අමතරව ඔවුන්ට විරුද්ධව ප්‍රචාරය කරනු ලබන දැවැන්ත අසත්‍ය ප්‍රචාරක මාලාවකි. මෙයින් වඩා ප්‍රබලම කතාව වන්නේ, විවිධාකාරයෙන් සිංහලයන් වඳ කිරීමට මුස්ලිම් ජනයා ගන්නා විවධ උත්සාහයන් පිළිබඳ කතාය. අනෙක් ප්‍රබන්ධය වන්නේ මුස්ලිම් ජනගහන වර්ධනය ගැන පතුරවා ඇති වැරදි ආකල්පයයි. මෙම කතාව සත්‍යයෙන් තොර බව රාවයේ පළවූ වගුවක් ඇසුරෙන් එක්තරා මහාචාර්යවරයෙකුට මාගේ සහෝදරයකු විසින් පහදා දීමට උත්සාහ ගනු ලැබූ අවස්ථාවේ දී එම මහාචාර්යවරයා පවසා ඇත්තේ මෙම දත්ත නිවැරදි නොවන බවත්, මුස්ලිම් ජාතිකයින් තම දරුවන් ලියාපදිංචි නොකොට සඟවා තබා ගන්නා බවත්ය. මේ අපේ රටේ ඉහළම උගතෙකුගේ දැනුමේ වපසරියයි. මෙම කතාවෙන් පෙන්නුම් කරනු ලබන්නේ සමාජයේ සිටින නූගත් කොටස් පමණක් නොව, උගත් පිරිසෙන් වැඩි කොටසක් ද මෙම ප්‍රබන්ධ විශ්වාස කරන බවයි. මිනිසෙකු වඳ භාවයට පත්කිරීමට ලොව තවමත් ඖෂධ නිර්මාණය වී නොමැති බව කොතෙක් කිව්වද ඔවුහු එය විශ්වාස නොකරති. විද්‍යාව වෙනුවට මිථ්‍යාව බදා ගත් කල සිදුවන හානිය පෙන්වීමට ඇති හොඳම උදාහරණය ලංකාවයි. කෙසේ වූවත් අවසානයේ සිදුවන්නේ මේ ප්‍රබන්ධයන් සත්‍යයක් ලෙස සිතන සිංහල සමාජයෙන් මුස්ලිම් සමාජය වෙත දැඩි පීඩනයක් එල්ලවීමය. අනිත් අතින් මෙවැනි අභූත චෝදනා වලින් සිදුවන්නේ මුස්ලිම් සමාජය දැඩි ලැජ්ජාසහගත තත්ත්වයකට පත්වීමයි

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන්නේ මෙවැනි සමාජයක් මතටය. එයින් සිදුවූයේ සියල්ල තව තවත් අවුල් වීමයි. මුස්ලිම් සමාජය වෙත එල්ල වී තිබූ වෛරය සිය දහස් ගුණයකින් වැඩි වී ඇත. ඔවුන්ට සිංහල සමාජයෙන් එල්ල වන පීඩනයද ඒ අනුව දැඩි වනු ඇත. ඊට අමතරව අලුත් ගැටලුවලටද මුහුණදීමට සිදුවනු ඇත. 88 කැරැල්ල සමයේ සිංහල සමාජය මුහුණ දුන් තත්ත්වයට සමාන තත්ත්වයකට ඔවුන්ට මින් ඉදිරියට මුහුණදීමට සිදුවනු ඇත. අත්අඩංගුවට පත්වීම, පැහැර ගැනීම්වලට ලක්වීම, අතුරුදහන් වීම, නිතර සිදුවන සාමාන්‍ය දේවල් බවට පත්වීමට ඉඩ ඇත. සිංහල වර්ගවාදී අන්තවාදි කොටස්වලින් සිදුවන පීඩනය ඉතා දැඩිවනු ඇත. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. සිංහල, මුස්ලිම් සබඳතා නොපෙනෙන ඈතකට ඇද දමනු ඇත. මා මිත්‍ර මව්ලවිවරයකු මා සමඟ පැවසූවේ අයි.එස්.අයි.එස්. සංවිධානය ක්‍රියාත්මක වන රටවල මුස්ලිම් ජනයා ඉතා දුක්ඛිත තත්ත්වයන්ට පත් වී ඇති බවයි.

සංස්කෘතිය ආනයනය කිරීම

අප තරුණ අවධියේ මුස්ලිම් කතුන් බුර්කා, නිකාබ් හෝ ඊට සමාන ඇඳුම් ඇන්දේ නැත. තමන් ඇඳ සිටි සාරි පොටෙන් හිස වසා ගත්තා පමණි. අඩුම තරමින් අබායා හෝ ඇන්දේ නැත. මේ සියල්ල ඔවුන් අනුගමනය කරන්නට පටන් ගන්නේ මෑත කාලයේදීය. වෙනත් මුස්ලිම් රටවල කාන්තාවන් මෙවැනි දැඩි සංස්කෘතිකාංග වලින් නිදහස් වීමට උත්සාහ ගනිද්දී ලාංකික මුස්ලිම් සමාජය එවැනි දෑ බදා වැළඳ ගැනීම ඉතා කනගාටුදායක තත්ත්වයකි. මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ මුස්ලිම් සමාජය මෙහෙයවන නායකත්වයේ ඇති අපරිණත බවයි. මෙවැනි විලාසිතා අනුගමනය කිරීමෙන් සිදුවූයේ සිංහල සමාජය මුස්ලිම් ඇසුරෙන් දුරස්වීමයි. සිදුවූ අනෙක් දෙය නම් ඔවුන් ඔවුන්ගේ සමාජය තුළම ගිලීයාමයි. ඔවුන්ට අවට පරිසරය අමතක විය. සම්බන්ධතා ගිලිහී යනවා ඔවුන්ට දැනුණේ නැත. මැදපෙරදිග රැකියාවන් කිරීමේ දී දුටු මුස්ලිම් සංස්කෘතිය අමු අමුවේ ආනයනය කෙරිණි.
විවිධ මුස්ලිම් රටවලින් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට විශාල වශයෙන් මූල්‍ය ප්‍රදානයන් ලැබෙන අතර එම මුදල් ලබා ගැනීම සඳහාම විවිධ සංවිධාන මුස්ලිම් සමාජය තුළ බිහිවී ඇත. සියල්ල අවසානයේ මුදල් ලබා ගත් සංවිධානය මුදල් ලබා දුන් රටේ වහලෙකු බවට පත්වන අතර ඔවුන්ගේ සියලු අන්තවාදී මත ලංකාව තුළ ප්‍රචාරය කරන්නා බවට පත් වේ. මුදල් ලබා ගැනීමේ දැඩි ආශාව නිසාම ආධාර දෙන රටවල් විසින් ගෙන ආ දැඩි ආගමික මූලධර්ම ප්‍රචාරය කිරීම සිදුවේ. ආගමික මූලධර්මවාදය වෙතට වඩ වඩා නැඹුරු වෙත්ම සිංහල මුස්ලිම් සබඳතාද තව තවත් දුරස් විය. සිංහල සහ මුස්ලිම් අන්තවාදීන් දෙකොට්ඨාසයම ප්‍රයෝජනයට ගන්නේ මෙම හිඩැසයි.

ලෝකය පුරාම එක් ජාතියක් අනෙක් ජාතීන්ගේ පිළිකුලට භාජනය වී ඇත්නම් ඒ මුස්ලිම් ජාතියයි. එසේ වී ඇත්තේ ඇයි? මාගේ අදහස නම් ඊට හේතුව ඔවුන්ගේ ඇති දැඩි ආගමික ජීවන රටාව බවයි. ආගමික ජීවිතය සහ ලෞකික ජීවිතය වෙන්කොට ගැනීමට ඔවුන්ට තවම හැකිවී නැත. කුමන ආගමක් අදහන පුද්ගලයෙකුට වුවද ආගම සහ ලෞකික ජීවිතය බෙදා වෙන් කරන බෙදුම් රේඛාවක් ඇත. ඉස්ලාම් භක්තිකයන්ට එසේ ඇත්තේ නැත. ඔවුන් උත්සාහ කරන්නේ සිය ආගමික ඉගැන්වීම් අනුව තම ජීවිතය සම්පූර්ණයෙන්ම හැඩ ගස්වා ගැනීමටයි. ඔවුන්ගේ ලෞකික ජීවිතය අර්බුදයට පත්වන තැන මෙතනයි. එයින් ඔවුන්ට ලැබී ඇති ප්‍රතිඵලය නම් අන්ත පසුගාමිත්වයයි. ලංකාව තුළ බැලුවද පසුගාමීම සමාජ ස්ථරය වන්නේ මුස්ලිම් සමාජයයි. මෙය මුස්ලිම් ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්විය යුතු කරුණකි.

මුස්ලිම් කඩ වර්ජනය කිරීම

මීට පෙරද මුස්ලිම් කඩ වර්ජනය කිරීමේ ව්‍යපාර ආරම්භ කළ නමුත් සිංහලයාටත් හොරාම එය අතුරුදහන් විය. මෙවර එය පෙරට වඩා ශක්තිමත්ව ඉදිරියට ඇදෙයි. මෙය සාර්ථක ව්‍යයාමයක්ද? මාගේ පිළිතුර නම් එසේ විය නොහැකි බවයි. මෙවැනි ව්‍යපාරයක් සාර්ථක වීමට නම් එයට ශක්තිමත් පදනමක් තිබිය යුතුය. ලංකාවේ වෙළෙඳපොළ තුළ මුස්ලිම් ජාතිකයින්ගේ දායකත්වය 90% කටත් වඩා වැඩිය. එවැනි තත්ත්වයක් තුළ ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීම ගැන විශ්වාසයක් තැබිය නොහැකිය. වැඩි බලපෑමක් සිදු කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස මට පෙනෙන්නේ රෙදිපිළි ක්ෂේත්‍රයයි. හමීඩියා නෝ ලිමිට් වැනි ආයතනවලට දැඩි බලපෑමක් ඇතිවිය හැකිය. එවැනි ආයතන සඳහා විකල්ප සිංහලයන් සතුවීම එයට හේතුවයි. බලපෑමක් එල්ල වේ යැයි අනුමාන කළ හැකි අනෙක් ක්ෂේත්‍රය වන්නේ මස් මාංශ වෙළෙඳාමටයි. එයටද විකල්ප සිංහලයන්ට ඇත.

රට පුරා ඇති මුස්ලිම් ජාතිකයින්ට අයත් විවිධ ව්‍යාපාර තුළ සේවය කරන සේවකයන් බහුතරයක් සිංහල ජාතිකයන්ය. ඊට අමතරව අලෙවිය පිණිස විවිධ භාණ්ඩ සැපයීමේ ව්‍යාපාර තුළින් ද රට පුරා විශාල පිරිසක් ජීවිකාව ගෙනයයි. මෙයින් ද බහුතරයක් සිංහලයන්ය. සිංහලයන්ගේ, මුස්ලිම් කඩ වර්ජන ව්‍යාපාරය සාර්ථක වුවහොත් එයින් විපතට පත්වන වැඩි පිරිස ද සිංහලයන්ම වනු ඇත. සිංහලයාගේ වුවද දෙමළාගේ වුවද මුසල්මානුවාගේ වුවද ව්‍යාපාර කඩා වැටීමෙන් වන්නේ රටේ ආර්ථිකය කඩා වැටීමයි. මෙයින් පෙනෙන්නේ මෙම ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ ඇති ඔලමොට්ටල ස්වභාවයයි.

මුස්ලිම් ප්‍රජාවට එල්ල වී ඇති නින්දාසහගත පීඩනය ඔවුන් කෙලෙස දරාගනු ඇත් ද? එය කෙලෙස පුපුරා යනු ඇත් ද? සිංහල අන්තවාදීන් විසින් කෙබඳු අනාගතයක් ලංකාවට උරුම කර දෙනු ලබයිද? සිංහල, දෙමළ. මුස්ලිම් මේ ජන ත්‍රිත්වයම එකට එකතුවීමකින් තොරව ශ්‍රී ලංකාවට ගොඩ යා නොහැකි බව මෙරටේ පුරවැසියන්ට තේරුම් කර දිය හැකි නායකයෙක් බිහිවන්නේ කවදාද?