මර උගුලකට පාර කැපීම

මුස්ලිම් ඇමතිවරු සිය ධුර වලින් ඉල්ලා අස් වුයේ රහෙි සදාකල් පැවතිය යුතු සාමය හා සංහිඳියාව වෙනුවෙන් බව මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් කියා තිබුණි. හකීම්, කබීර් හෂීම් වැනි ඇමතිවරු අමාත්‍ය ධුර වලින් ඉවත් වන තීරණය ගෙන තිබෙන්නේ අගමැතිවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව බවද හෙළි විය. අතුරලියේ රතන හිමි උපවාසයට හිඳ ගන්නේ පාස්කු ප්‍රහාරකයන් සමග සබඳතා පැවැත්වූ බවට සැකයට බඳුන් වී සිටි රිෂාඞ්, හිස්බුල්ලා, සාලි යන තිදෙනා තනතුරු වලින් ඉවත් කිරීම අරමුණු කරගෙනය. හකීම්, කබීර් වැනි අමාත්‍යවරුන්ට මේ සිද්ධි සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොනැගිණි. එහෙත් චෝදනා ඇති නැති සියල්ලෝ එකට ඉල්ලා අස් වූහ. මෙය නම් පුදුම සහගත තත්ත්වයකි.

මෙම ඉවත් වීම පසුබිමෙහි ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ මහත් වූ කම්පාවක් නොවන බව පෙනේ. අගමැති, රිෂාඞ් බදියුදීන්වත්, ජනපති සාලි හා හිස්බුල්ලාත් ඉවත් කළේ නම් එය මුස්ලිම් ආගමික එක්තරා කොටසකගේ උදහසට හේතුවන්නකි. ඉන් අගමැති හා ජනපති යන දෙපළටම පාඩුවක් විය හැකිව තිබුණි. රටේ දිගුකල් පවත්නා සංහිඳියාව වෙනුවෙන් ප්‍රශ්නයට අදාළ නැති පුද්ගලයනුත් ඉල්ලා අස්වීම සුහද ගණුදෙනුවක් පරිදි සිදු කිරීමෙන් අගමැති, ජනපති දෙපළටම ජාම බේරා ගත හැකිය. දැන් මුස්ලිම් ජනයා තුළ රිෂාඞ්, හිස්බුල්ලා හා සාලි අරභයා අගමැති හා ජනපති කෙරෙහි විශේෂ විරෝධයක් පැන නගින්නට විදිහක් නැත. අගමැති බේරා ගැනීමේ ක්‍රියාවලියට හකීම් හා කබීර් දායක වී ඇතැයි කිව හැකිය. ජනපතිටද මේ වෙනුවෙන් ලොකු මුස්ලිම් ජන විරෝධයක් එල්ල නොවේ. ඒ අතින් මේ සැලසුම නරක නැත. එහෙත් දැන් තවත් ප්‍රශ්නයක් මතු වෙයි. එය නම් සිංහල මහ ජාතිය හා ගනුදෙනුවේදී මුස්ලිම් නායකයන් ඒකරාශී වී මුහුණ දිය යුතු බව ඔවුන් මෙතැන් සිට කල්පනා කරන බව පෙනී යාමය. ඒ සමගම ඔවුහු සිංහල සමාජයටද ඒ කල්ලිවාදී සංඥාව දෙති. එනම් මෙතැන් සිට ගනුදෙනුව වියුක්ත එකක් නොවේ යන්නය. හකීම්, කබීර්, මුජිබර්, යන දේශපාලනඥයන් අවංකව මෙම ප්‍රශ්නය දෙස බැලුවා නම් මීට වඩා ප්‍රශස්ත තීරණයක් ගත යුතුව තිබුණි. නැග එමින් පවතින මුස්ලිම් අන්තවාදය මේ සියලු දෙනාට අනතුරුදායක විය හැකි තත්ත්වයකි. එය අති ධාවනකාරී ප්‍රභාකරන් දෙමළ සමාජයේ සියලුම සම්ප්‍රදායික දේශපාලන නායකයන් මැඩ පැවැත්වීමටත් වඩා බරපතළ තත්ත්වයක් උද්ගත කරන්නක් විය හැකිය. 1976 වඩුක්කොඩෙයි සමුළුවේදී අමිර්තලිංගම්, චෙල්වනායගම් වැනි දෙමළ සමාජයේ සාම්ප්‍රදායික නායකයෝ සිංහල මහ ජාතියට එරෙහිව බලවත් තීන්දුවක් ගත්හ. එල්ටීටීඊය වැනි සන්නද්ධ කණ්ඩායමක් ඇති වීම එහි කේන්ද්‍රීය ප්‍රතිඵලයකි. පසු කලෙක එල්ටීටීඊ සමාජිකයෝ තමන් ඇති දැඩි කළ මුල් නායකයන් අවසන් කර දැමුහ. දෙමළ සම්ප්‍රදායික නායකයන් වඩුක්කොඩෙයි බරපතළ තීරණය දක්වා ඒමට සිංහල සමාජයේ අසාධාරණකම් බලපෑවේය. එහෙත් මුස්ලිම් නායකයන් වන හකීම් හා කබීර් වැනි අය අනන්‍ය වූයේ මෙරට ධනේශ්වර පන්තියටය. ඔවුන්ට සිය පැවැත්ම වෙනුවෙන් ප්‍රබල පක්ෂයක් තිබුණි. ඔවුහු මහ ජාතියේ පක්ෂයක ප්‍රධාන කොටස්කරුවෝය. එවැනි පසුබිමක් තුළ ඔවුන් මූලධර්මවාදී ප්‍රවණතාවකට පාරිශුද්ධත්වයක් ලබාදෙන ආකාරයේ බෙදීමකට මුස්ලිම් ජනයාට මානසිකව අනුබල දීම නොකළ යුතුව තිබුණි. මුස්ලිම් අන්තවාදයෙ අනුප්‍රාණය ලද උමතු ක්‍රියාවක් නිසා මතුවුණු පශ්චාත් අවකල් තත්ත්වයකට වැරදි අර්ථකතනයක් ලැබෙන අයුරින් පෙනී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් හකීම්ට හෝ කබීර්ට තිබිය නොහැකිය. ඔවුන් කළ යුතුව තිබුණේ වරද වරදක් ලෙස දැකීමය. ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය ලෙස දැකීමය.

මෙම නායකයෝ සිංහල දේශපාලකයන් පරිදිම මෙතෙක් කල් තම ජනයා ගැන සුවිශේෂි වගකීමකින් ක්‍රියා නොකළහ. ඔවුන් සිංහල නායකයන් පරිදිම තම ජනයා වෙනුවෙන් පෙනී සිටින බව පමණක් ප්‍රදර්ශනය කළහ. එම දේශපාලනයෙන් මුස්ලිම් ජනයාට සුගතියක් අත් නොවුණි. එහෙත් ජාතීන් අතර විනාශකාරී බෙදීමකට ඔවුන්ගේ එම සාමාන්‍ය අවස්ථාවාදී පැවැත්ම හේතු නොවුණේය. එහෙත් මෙම සිද්ධියේදී රිෂාඞ්, හිස්බුල්ලා වැනි නායකයන් සමග අතාර්කික ලෙස සමාන්තර වන්නට යාම තුළ ඔවුහු තවමත් ඉදිරියේ වළක් කපා ගන්නවා සේම ජාතීන් අතර මරු වැළක්ද ඇද්දෝය. එසේ කොට ඔවුන් මද කලක් ඇවෑමෙන් යළිත් තනතුරු භාර ගනිති. එහෙත් මෙම බෙදීමට පක්ෂ වීම තුළින් ජාතීන් අතරට මර උගුලක් නිර්මාණය කරදීමේ විපාකය වසර කීයකින් අපට ගෙවා අවසන් කර ගත හැකිද? ලංකාව ගිනි නිවෙනවාට වඩා වේගයෙන් ගිනි ඇවිලෙන රටකි. මෙවැනි අදූරදර්ශි තීරණවල කෙළවර බරපතල විය හැකිය. අගමැති පවා දුර දකිනවා නම් මෙවැනි තීරණයකට ඉඩ නොදෙන්නට තිබුණි. කාටත් මේ ගැන වැටහෙනු ඇත්තේ තම තමන්ගේ සුරුට්ටු ඇතුල් පැත්තට පත්තු වන්නට පටන් ගත් දවසටය. එවිට අද නුනුවණ යළි ළංකර ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.