අනාගතයට හිමි ජාතිවාදී අස්වැන්නද?

අතුල පීරිස්

බුද්ධ චරිතයට අනුව සිදුහත් කුමාරයා ගිහි ජීවිතය කළකිරී නික්ම යන්නේ සතර පෙරනිමිති දැකීම නිසාය. සිදුහත් කුමරාගේ ගිහි ජීවිතයයෙන් නික්ම යාම යනු සාමාන්‍ය පුරවැසියකු තම ගිහිගෙය හැරදා යාම හා සමාන නොවන්නකි. ඔහු හැරගියෙ සාමාන්‍ය ගිහි ජීවිතයක් නොව තමන්ගේ රාජ්‍යයේ සක්විති රජකමයි. අනාගත රාජ්‍ය පාලකයා වන්නේ ඔහුය. ඔහු හැර ගියේ එම දේශපාලන ක්‍රියාමාර්ගයයි. ඔහුට එසේ හැර යන්නට සිදුවූයේ සක්විති රජකම තුළින් තම රටවැසියන්ට විමුක්තිය ලබාදීමට නොහැකි බැව් ඔහුට අවබෝධ වූ නිසාය. ඒ සඳහා ඔහු තෝරා ගන්නා ලද්දේ වෙනස්ම වූ මාර්ගයකි.

එම මාර්ගය තෝරා ගැනීමේදී යම් යම් ශාස්තෘවරුන් විවිධ අන්තවාදී අදහස්වල සිටින බව ඔහුට දකින්නට ලැබුණි. එනම් එකල දඹදිව යම් යම් ආගම්වල අන්තවාදී කොටස් තිබුණු බව ඉතාමත් පැහැදිලිය. සිදුහත් කුමරු පවා එම අන්තවාදී ක්‍රම අත්හදා බැලූ බවට බුද්ධ චරිතය තුළ සාක්ෂි ඇත. එනම් කාමසුඛල්ලිඛානුයෝගය, අත්තකිලමතානුයෝගය වැනි අන්තවාදී අදහස් එකල ප්‍රචලිතව පැවතුණි. එහෙත් එම කිසිදු ක්‍රමයකින් තමන් අපේක්ෂා කරන විමුක්තිය ලබාගැනීමට නොහැකි බැව් සිදුහත් කුමරු අවබෝධ කර ගත්හ. තමන්ගේ දේශපාලනය තුළින් රටවැසියා හෝ තමන්ට විමුක්තිය ලබා ගැනීමට නොහැකි බැව් අවබෝධ කරගත් සිදුහත් කුමරු බුදුබව ලබාගැනීම තුළින් එම විමුක්ති මාර්ගය අභ්‍යාස කළහ. එහෙත් වත්මන් ඇතැම් සංඝයා වහන්සේලා දෙස බලන විට පෙනීයන්නේ එදා සිදුහත් කුමරු විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන චින්තනය තම සිවුරට මුවාවී අභ්‍යාස කිරීමට උත්සාහ දැරීමයි. වත්මන් සංඝයා වහන්සේලා යනු බුදුරදුන්ගේ අනුගාමිකයෝය. එදා බුදුන් පිටු දැකි දේ වත්මනේ සිදුකිරීමට උත්සාහ ගැනීම තුළ පෙන්නුම් කරන්නේ ඔවුන් බුදුන්ගේ වදන ප්‍රතික්ෂේප කිරීම නොවේද? සියල්ලන්ටම වර්ණයෙන් යුත් සිවුරක් ලබාදී ආහාර වැළදීම සඳහා එකම හැඩයකින් යුත් භාජනයක් ලබාදී බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන ලද්දේ සමානාත්මතාව සහ සරල සහ අල්පේච්ඡ ජීවිතය නොවේද? එම සමානාත්මතාව වර්තමානයේ දැකීමට හැකිවේද?

අන් ජාතීන්ට සමානාත්මතාව දැක්වීම කෙසේ වෙතත් සංඝ සමාජය තුළම නිකාය භේදයන් ඇති කොට ගෙන කුලෙභ්දය මනා සේ බෙදාහරින මධ්‍යස්ථානය බවට සංඝ සමාජය පත්වී නොමැතිද? එය හොඳම නිදසුන ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා පවත්වන ලද උත්සවයේ ආසන පැනවීමයි.

භික්ෂු සමාජය යළිත් කුපිතවීමට පටන් ගන්නා ලද්දේ සහරාන්ගේ මිනිස් බෝම්බයත් සමඟය. එහිදී තුවාලය සිදු වූ කතෝලික ජනතාව සුව කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසද්දී භික්ෂු සමාජය ප්‍රමුඛ ඇතැම් බෞද්ධ සිංහල ජනතාව ක්‍රියා කරන ලද්දේ තුවාලය පෑරීමටය. මෙහි කෙළවර කුමක්දැයි කාටවත් නොතේරේ. බදුර්දීන්, හිස්බුල්ලා, අසාද් සාලිගේ අන්තවාදයක් ඇත්නම් එයට පිළිතුරු ලබාදිය යුත්තේ අන්තවාදයෙන් නොවන බව කාදිනල්තුමා පැහැදිලිව පැවසූහ. අන්තවාදයට දඬුවම් ලබාදිය යුත්තේ නීතිය මඟින්ය. එසේ නීතියෙන් ඔවුන්ට දඬුවම් ලබා නොදෙන විට ජනතාව එරෙහි වියයුත්තේ එම නීති ක්‍රියාත්මක කරනු ලබන දේශපාලනඥයින්ට, නිලධාරීන්ට සහ ආයතනවලටය. එසේ නොමැතිව චූදිත අන්තවාදීන්ට විරුද්ධව භික්ෂු සමාජය සහ ජනතාව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තමන්ගේ ආධිපත්‍යයට ලබාගත් විට රටක අධිකරණ පද්ධතියට හා නීතියට සිදුවන්නේ කුමක්ද?

රතන හිමිගේ මාරාන්තික උපවාසයේ අරමුණ කුමක්ද? එක් අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනකු එම ධුරවලින් ඉවත් කිරීමය. ඔවුන් ත්‍රස්තවාදයට උදවු වී ඇත්නම් ඔවුන් දූෂණයට හවුල් වී ඇත්නම් එම තනතුරු වලින් ඉවත් කිරීම සැබැවින්ම කළ යුතු දෙයකි. එසේ ඉවත් නොවන්නේ නම් බලපෑම් කිරීමට සිවිල් ජනතාවට අයිතියක් ඇත. එහිදී ක්‍රියාවට නැංවිය යුත්තේ කැළෑ නීතිය නොව, රටේ ක්‍රියාත්මක වන නීතියයි. රතන හිමි දූෂණයට, මිනීමැරුම්වලට එරෙහිව උපවාස කරන්නේ නම් එය යහපත් ක්‍රියාවකි. ඇත්තෙන්ම රටේ සිවිල් ජනතාව ඝාතනය කර ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් විසින් පමණක්ද? මෙම රට තුළ සිදුවුණු සහ සිදුවන දූෂණ අපරාධ කෙතෙක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කරන ලද අයවලුන් අදටත් නිදැල්ලේ සිටින බව ජනතාවගේ මතයයි. එය රතන හිමි ඇතුළු හෙළ උරුමයේ හිටපු උදවිය හොඳින් දන්නා කරුණක් නොවේද ?

මෙම උපවාස ස්වාමීන් වහන්සේලා සැබැවින්ම රටට ආදරය කරන්නේ නම්, ඒ වෙනුවෙන් ද මාරාන්තික උපවාස කරන්නේ නම් එය කෙතරම් අගේද? බුද්ධ දර්ශනයේ සමානාත්මතාව එයයි. ත්‍රස්තවාදීන්ට ආගමක් නොමැත. තුවක්කුවෙන් පිටවන උණ්ඩයට ජාති භේදයක් නොමැත. මුස්ලිම් අන්තවාදීන්ට තුවක්කුවෙන් පිටවන උණ්ඩෙයත්, දෙමළ අන්තවාදීගේ තුවක්කුවෙන් පිටවන උණ්ඩෙයත්, සිංහල අන්තවාදී තුවක්කුවෙන් පිටවන උණ්ඩෙයත් නිසා මියයන්නේ මිනිස් ජාතියයි. ඒ සියල්ල වෙනුවෙන්ම මාරාන්තික උපවාසකරුවෝ පෙනී සිටිය යුත්තෝය.

එසේ නොමැති වුවහොත් එම මාරාන්තික උපවාසයද අන්තවාදී විය හැකිය. ගිහි පුද්ගලයකුගේ උපවාසයට වඩා සිවුරක් හැඳගත් තැනැත්තකුගේ උපවාසය අතිභයානකය. ඒ තුළ ජාති ආගම් භේද ඉස්මතු විය හැකිය. එහි හානිය මුළු රටටමය. මන්දයත් ජාතීන් අතර විශාල බෙදීමකට එය රුකුළක් විය හැකි නිසාය. සමහර සංඝයා වහන්සේලා ඇතුළු යම් යම් අන්තවාදීන් විසින් කරන ලද්දේ එම බෙදීමය. බදුර්දීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි තනි පුද්ගලයින් නොවන බව සියල්ලන්ම වටහාගත යුතුය. ඔවුන් නියෝජනය කරන්නේ එක්තරා ජන වර්ගයකි. එම නිසා එම වර්ගයට වෛරය ගමන් කිරීම තුළ, මුළු රට පුරාම නැවත වර්ගවාදය සඳහා අවශ්‍ය පසුබිම සකස් විය හැකිය. මේ නිසා බුදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලනයට සංඝයා වහන්සේලා ඇතුළු නොවී සිටිමින් ගැටලුව විසඳීම දේශපාලනඥයින්ටම භාර දෙන්නේ නම්, මෙම ජාතිවාදී ගිනි දලු නැවත ඇතිවීමේ මාර්ග අවහිර කරගත හැකිය. භික්ෂූන් වහන්සේලා ප්‍රචණ්ඩත්වයට උදව් වන ක්‍රියාවල නිරතවීම තුළ බැතිමතුන් ද ප්‍රචණ්ඩත්වයට යොමුවීම වැළැක්විය නොහැකි වනු ඇත.
භික්ෂුවගේ අරමුණ විය යුත්තේ ”බහුජන හිතාය – බහුජන සුඛාය” වෙනුවෙන් පෙනී සිටීමය. මෙහිදී බහුජන යනු බෞද්ධ බැතිමතුන් පමණක් නොවන බව උන්වහන්සේලා අවබෝධ කරගත යුතුය. ඒ මන්දයත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය බොහෝ විට දේශනා කර ඇත්තේ බෞද්ධයින්ට පමණක් නොවන නිසාය. එදා ශාක්‍ය වංශිකයින් ජලය වෙනුවෙන් යුද්ධයක් කිරීමට සූදානම් වූ විට බුදුන් විමසන ලද්දේ වටින්නේ ජලය ද මිනිස් ජීවිතය යන්නය. එම නිසා ඒ යුද්ධය නැවතුණි. එහිදී බුදුන් වහන්සේ ඒ වෙනුවෙන් මාරාන්තික උපවාස කරන්නට පෙළඹුණේ නැත. අංගුලිමාලද මිනී මරන විට බුදුන් වහන්සේ මැද මාවතකින් පිළිතුරු සෙවීය. ඒවා පරාජය කරන ලද්දේ ධර්ම කරුණු අවබෝධ කරදෙමින්ය.

එහෙත් අද සියලුම දේ පරාජයට පත් කිරීම සඳහා ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට පටන් ගෙන ඇත. මෙහි කෙළවර යතිවරුන්ට නොපෙනීම රටේ සැබැවින්ම අභාග්‍යයකි. මෙහි වගකීම ජනාධිපතිතුමා භාර ගත යුතුය. ඒ මන්දයත් පරාජිත වූ දේශපාලනඥයින්ට සහ ජාතිවාදීන්ට නෙළුම් මල් සේ මතුවීමට අවස්ථාව ලබාදීම පිළිබඳවය. නැත්නම් මොවුන් බොහෝ දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද එහාට මෙහාට පැන පැන සිටි චරිතය. 1983 ජාතිවාදී කලකෝලාහල ඇතිවූවේ මෙවැනිම දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා නිසාය. මේ හේතුව නිසා සිදුවූයේ සාමාන්‍ය දෙමළ ජනතාවත් තමන්ගේ ආරක්ෂාව පතා අන්තවාදී කොටස් සමඟ අත්වැල් බැඳ ගැනීමය. වර්තමානයේ එම සිදුවීම ම සිංහල බෞද්ධ රැල්ලක් සේ සමස්ත මුස්ලිම් ප්‍රජාවටම එල්ලවෙමින් පවතී. අදාළ මූල්‍ය පර්යේෂණ මඟින් නොසොයා එක් එක් පුද්ගලයින්ගේ සැකය මත ගොඩනඟා ගත් මතවාද ඔස්සේ විවිධ අදහස් ප්‍රකාශ කිරීම අතිභයානකය. ඔවුන්ගේ මූලික අරමුණ තමන්ගේ ආගමවත්, ජාතියවත් නොව අනාගතයේදී තමන්ගේ ඡන්ද පදනම පුළුල් කර ගෙන බලය ලබාගැනීමේ පටු අරමුණයි. මේ ආකාරයට රට ජාතිය ආගම වෙනුවෙන් කැප වූ පුද්ගලයින් පසුගිය අවුරුදු 70 තුළ මෙම භූමියේ සිටියේ නම් අද මෙම රට කොපමණ ඉදිරියට ගොස් තිබිය යුතුද? දැන් රට, ජාතිය, ආගම විනාශ මුඛයට ගෙනගියේ බදුර්දීන්ලා නම් ඔවුන්ගේ අස්වීම සමඟ රට තුළ මහත් වෙනසක් සිදුවිය යුතුවේ. බදුර්දීන්ගේ පමණක් නොව සියලුම මුස්ලිම් ඇමතිවරු තම තමන්ගේ තනතුරුවලින් ඉවත් වී සිටිති. ඔවුන් ඉවත් වූයේ සිංහල බෞද්ධ නායකයින්ට අභියෝගයක් ද කරමිනි. එනම් මසක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අදාළ පරීක්ෂණ සිදු කොට වැරදිකරුවන්ට දඬුවම් දී මෙම ගැටලුව නිරාකරණය කරන ලෙස පවසමින්ය. දැන් ඥානසාර හිමියන්ටත් රතන හිමියන්ටත් මෙම පිරිස ත්‍රස්තවාදීන්ට වක්‍රව හෝ ඍජුව සහයෝගය දැක්වූ බවට තමන් සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කළ හැකිය. දැන් සියලු මුස්ලිම් ඇමතිවරුන්ට තමන් සතුව පැවති බලතල නොමැත. මුස්ලිම් අමාත්‍යවරු මීට පෙර එම තීරණය ගත්තේ නම්, පඳුරක් පඳුරක් ගාණේ සෝඩා බෝතලේ සේ වීරයින් පහළවන්නේ නැත. උපවාස මඟින් රටක ජාතීන් අතර අසමඟිය ඇති කිරීම අති භයංකර තත්ත්වයකි. ඉදිරියේදී මෙය තවදුරටත් අවියක් ලෙස භාවිත කරනු ඇත. කෙසේ නමුත් සිංහල බෞද්ධයින්ගේ ආවේගශීලී බව උත්පාදනය කිරීම උදෙසා යතිවරුන් කටයුතු කිරීම කනගාටුදායකය.

බෞද්ධයින්ගේ උතුම් වූ මල්කඩක් බඳු වූ දළඳා වහන්සේ ඉදිරිපිට ආවේගශීලී සිංහල බෞද්ධයින්ගේ හැසිරීම රූපවාහිනී තිර මඟින් මුළු ලොවටම දැකගැනීමට ලැබුණි. එය වීරකමක් සේ කවුරු හෝ සිතෙන්නේ නම් වැරදිය. එය බෞද්ධ දර්ශනයට පටහැනි වූ ක්‍රියාවකි. දැන් උපවාසකරුවන්ගේ සහ උද්ඝෝෂකයන්ගේ අභිමතාර්ථ ඉටුවූ බව තැනිත් තැන පත්තු වූ රතිඤ්ඤා හඬින් පෙන්නුම් කැරිණි. ඔවුහු ජය පැන් බිව්වෝය. අත්පුඩි ගැසුවෝය. පිරිත් කීවෝය. දෙවියන්ට පින් දුන්නෝය. රට තුළ කේතුමතී නුවර පහළ වූවා සේ ජනතාවට දැනුණි.

එසේ නම් හෙට දවසේදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ලංකාවෙන්ම අතුගෑවී යනු ඇතැයි ජනතාව සිතනවා වන්නට ඇත. නැවත වරක් රතන හිමි පාර්ලිමේන්තු යනු ඇත. වස විස නැති ගොවිතැන නැවත සවිබල ගන්වා ජනයා සුඛිත මුදිත වනු ඇත. ග්ලයිෆොසේට් නැවත තහනම් වනු ඇත. වකුගඩු පිළිකා රෝගීන් මෙරටින් තුරන් වනු ඇත. මේ සියලුම දේ කිරීමට නොහැකි වූවේ බදුර්දීන්, අසාද්සාලි සහ හිස්බුල්ලා නිසාදැයි දැන් අපට සැකයක් උපදී. රටේ පිනට පහළ වූ මෙවන් යතිවරුන් හැමදාම අපේ රටේ පහළ විය යුතුය.
මුස්ලිම් අන්තවාදයත්, සිංහල බෞද්ධ අන්තවාදයත් මෙරට වැපිරූ ජාතිවාදී විනාශකාරී බීජවල අඳුරු අස්වැන්න අනාගත දරුවන් නෙළා ගනු ඇත. එම දරුවන් අනාගතයේදී සාප කරන්නේ අදූරදර්ශී දේශපාලනඥයින්ට සහ බෞද්ධ දර්ශනයට පිටුපා තමන්ගේ ආත්මාර්ථකාමී පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටි යතිවරුන්ට සහ ඔවුන්ගේ අතවැසියන්ටය.