කුණුවීම හා අවසානය

වික්ටර් අයිවන්

ජනාධිපතිවරයා තම ධුර කාලයේ ආරම්භය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසන්නට ගෙන තිබුණු තීරණය අත්හැරීම නිසා දැන් ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත බව පැහැදිලිය.
ජනාධිපතිවරණයක් මුවවිට තිබුණද රට තිබෙන්නේ පුපුරන්නට ආසන්න ගිනි කන්දක් උඩය. ගිනි කන්දේ පිපිරීම සමහරවිට ජනාධිපතිවරණයට පෙර සේ ම තවත් සමහරවිට ඒ දෙක එකටද සිදුවිය හැකිය.

මේ වනවිට රට තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක නොව, පූර්ණ අරාජික තත්ත්වයකට ආසන්න තත්ත්වයකය. මුස්ලිම් විරෝධී උද්ඝෝෂණ හේතු කොටගෙන ආණ්ඩුකාරයන් දෙදෙනකු ඉල්ලා අස්වනවාට අතිරේකව ආණ්ඩු පක්ෂයේ තනතුරු දරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන්ද එම තනතුරුවලින් ඉවත් වී තිබේ. මුස්ලිම් විරෝධී ආතතිය බිඳ වැටෙන්නට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා වන සංවිධානාත්මක වැඩසටහනක් කිසියම් පිරිසක් විසින් පවත්වාගෙන යමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ සඳහා දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය ගංගොඩවිල සෝම හිමියන්ගේ අභාවයෙන් පසු දේවල් සිදුවූ ආකාරයට සමානය. රටේ සමස්ත සමාජය තුළට ඉතා බලවත් ක්‍රිස්තියානි විරෝධී ආතතියක් ඇති කිරීමට හේතුවූ එම කූට වැඩසටහන ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් ඇති අය සිටී නම් මාගේ ‘පන්සලේ විප්ලවය’ යන කෘතිය හෝ එහි ඉංග්‍රීසි පරිවර්තනය කියවන ලෙස මම ඉල්ලා සිටිමි. එක සමාන පච වැඩසටහනක් එක අවස්ථාවකදී හැර අවස්ථා දෙකකදී සාර්ථක ලෙස ක්‍රියාවට නැගීමට පුළුවන්කමක් නැත. ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම අපවත්වීමක් නොව ඝාතනයක්ය කියන අදහස පදනම් කරගත් පළමු වැඩසටහන එම වැඩසටහනේ නිර්මාතෘවරුන්ට සාර්ථක ප්‍රතිඵල ලබාදීමට හේතුවිය. හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලා නවදෙනකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකිවිය. එහෙත් එම භික්ෂු දේශපාලන ව්‍යාපාරයට බොරුව මත පදනම් වී ඇති කරගත් බලය ආරක්ෂා කරගැනීමට හෝ වර්ධනය කරගැනීමට හැකිවූයේ නැත. එම වැඩසටහන ලංකාවේ සංඝ සමාජයටද හානියක් මිස යහපතක් කිරීමට හේතුවූයේ නැත.
ඒ සමාන දෙවැනි අත්හදා බැලීම කරන අයට රට දවා පිළිස්සීමට හේතුවන ලොකු ගින්නක් ඇති කිරීමට හැකිවනු ඇතත්, ඒ ගින්නෙන් කිසියම් ප්‍රමාණයකට රට සමග ඒ රංගනයට සම්බන්ධ සියලුදෙනාද දැවී යනු මිස පළමු වැඩසටහනෙන් මෙන් ඔවුන්ට කිසිදු දේශපාලන වාසියක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.

රට අස්ථාවර කිරීම

පාස්කු ඉරිදා සිදුවූ මුස්ලිම් ත්‍රස්තවාදී පහරදීමෙන් ඇතිවූ අර්බුදය රටේ පැවති අර්බුදය තවත් විශාල ප්‍රමාණයකින් උග්‍ර කිරීමට හේතුවිය. එය රටට සිදුවූ ලොකු පොදු විපතක් විය. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවකදී සිදුවිය යුතුව තිබුණේ රටේ සියලු නායකයන් තමන් අතර තිබෙන භේද මොහොතකට අමතක කර රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ මේ සියලු දේශපාලන නායකයන් තමන්ට ලබාගත හැකි පටු දේශපාලන වාසි සලකා රටේ ඇතිව තිබූ අස්ථාවරභාවය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකිරීමය. ජනමාධ්‍යවල හැසිරීමද දේශපාලන නායකයන්ගේ හැසිරීමට දෙවැනි නොවීය.

1983 කළු ජූලියේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පෙන්නුම් කළ හැසිරීමද වර්තමාන නායකයන් පෙන්නුම් කර තිබෙන හැසිරීමට සමාන විය. ඔහු 83දී ඇතිවූ ගින්න දුර දිග යන්නට ඉඩ හැර බලා සිටියේය. ඔහු කතා කළේ දින පහකට පසුව වුවත් විපතට පත්ව සිටි දෙමළ ජනතාවට තමන්ගේ කනගාටුව පවා පළ නොකළේය. අවුලන ලද එම ගින්නෙන් ජනාධිපති ජයවර්ධන මරණයට පත්වූයේ නැතත්, ඔහු වඩාත්ම ප්‍රිය කළ සමීපයන් මරා දමන ලද්දේ ඔහුට පෙනෙන ලෙසය. එය මරා දැමීමකට වඩා වේදනාකාරී නොමරා මැරීමක් ලෙස සැලකිය හැකිය. ජේ.ආර්. ජයවර්ධන කළේ පටු දේශපාලන වාසි සලකා ලක් මාතාවට දරුණු ලෙස තුවාල කිරීමය. වර්තමාන නායකයන් සියලුදෙනාම ක්‍රියාකරමින් තිබෙනුයේ අබල දුබල තත්ත්වයක සිටින ලක් මාතාව වදහිංසාවන්ට ලක් කරමින් ඇය මරා දැමීමට උත්සාහ කිරීමය. එම නොහොබිනා ක්‍රියාව වෙනුවෙන් ඒ සියලු නායකයන්ට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.

සමාජය තිබෙන්නේ ගල් ගැසුණු තැනක නොව, වේගයෙන් වෙනස්වෙමින් තිබෙන තැනකය. සිදුවන දුෂ්ට දේවල ඇත්ත යථාර්ථය ඉක්මනින් තේරුම් ගැනීමට ඔවුන් සමත් වනු ඇති අතර ඒ සමග පරණ කොල්ලකාරී දුෂ්ට ක්‍රමය අවසන් කිරීමද ඔවුන් අතින් සිදුවනු ඇත.

ඉතිහාසයේ ගමන් මග

ලංකාවේ නූතන ඉතිහාසය ගමන් කරමින් තිබෙන්නේ සර්පිලාකාර ගමනකය. දැන් එය එක් අඳුරු යුගයක් අවසන් කරන ඓතිහාසික සංධිස්ථානයකට පැමිණ තිබෙන්නේය. ලංකාවේ ජනතාව මීට පෙර ක්‍රියා කළ ආකාරයකට බලයේ සිටින එක් පක්ෂයක් පරාජය කොට තවත් පක්ෂයක් බලයට පත් කරන තැනකට යනවා වෙනුවට පරණ දුෂ්ට ක්‍රමයට සම්බන්ධ සියලු කොල්ලකාරී නායකයන් පරාජය කරන තැනට යෑමට වැඩි ඉඩක් තිබෙන්නේය.

යහපාලන ආණ්ඩුව එම ඓතිහාසික ගමනේ අවසානයට පෙර ලංකාව බිහි කළ ඉතාමත් අවාසනාවන්ත විකාරරූපී භාවයෙන් කෙළ පැමිණි, මෝඩම ආණ්ඩුව ලෙස සැලකිය හැකිය. රාජපක්ෂ පාලනයෙන් පසුව ආණ්ඩු බලය හිමිකර ගැනීමට පුළුවන්කම තිබුණු ප්‍රතිපක්ෂයේ නායකයාට තරග කොට ජයගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය නැතිකම නිසා රාජපක්ෂ ආණ්ඩුව ඇතුළතින්ම තෝරා ගත් පුද්ගලයකු පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට ගෙනාවේය. එසේ තෝරාගත් පුද්ගලයා හා එජාප නායකයා අතර විධිමත් ලෙස කරුණු සාකච්ඡා කොට ඇති කරගත් එකඟත්වයක් නොවීය. තමන් කරළියට ගෙනා පුද්ගලයා බලයට එන්නේ ඔහුගේ බලයකින් නොව තම පක්ෂයේ බලයෙන් වන නිසා දේශපාලන රූකඩයක් ලෙස තමන් කියන හැම දෙයක්ම කරනු ඇතැයි එජාප නායකයාගේ කල්පනාව වන්නට ඇත. එහෙත් දේවල් සිදුවූයේ ඔහු කර තිබූ ගණන් බැලීමට අනුකුලව නොව, ඊට වෙනස් ලෙසය. ඒ නිසා දෙදෙනා අතර ඇතිවූ බලඅරගලය කෙළවර වූයේ ගොඩනගා ගනු ලැබූ යහපාලන ආණ්ඩුව නෝන්ජල් විකට ආණ්ඩුවක් බවට පත්කරමිනි.
තමන් බලයට ගෙනා පුද්ගලයා ජනාධිපති තනතුරේ තබාගෙන ඔහු නාමාමාත්‍රික ජනාධිපතිවරයකු බවට පත් කොට එම තනතුරට හිමිව තිබූ සකලවිධ බලය තමන් වෙත හිමිකර ගනිමින් ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට ගැනීම අගමැති රනිල් වික්‍රමසිංහගේ අභිලාෂය වූ අතර ඒ සඳහා කරන සියලු වෙනස්කම් කරන්නට සිදුවූයේ සටකපට ආකාරයකටය. ඔහු වඩා වැදගත් කොට සැලකුවේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන නොව තමාගේ බලය තහවුරු කරගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ ගැනය. ඒ මගින් ඔහු රටේ තිබෙන අර්බුදය පල්වන්නට ඉඩ හැර එය උග්‍ර කිරීමට ඉඩ දුන්නේය. ඉතාමත් සටකපට ආකාරයකින් 19 වැනි සංශෝධනයෙන් විධායක බලය තමන් වෙත හිමිකර ගැනීමට ඔහු සමත් වුවද ඒ මගින් සමස්ත ආණ්ඩු ක්‍රමයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අවුල් ජාලයක් බවට පත් කළේය. ඒ මගින් රට මහා අර්බුදයක තිබුණ රට විධිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති හා විධිමත් ආණ්ඩු ක්‍රමයක් නැති වඩා අර්බුදයට ගිය රටක් බවට පත් කළේය. ඒ නිසා රටට හිමිවූ අවුල්සහගත ආණ්ඩුක්‍රමයේ තිබෙන අවලස්සන ලක්ෂණ අතර තිබෙන අවලස්සනම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ නාමමාත්‍රික ජනාධිපතිවරයා ඡන්දබල මණ්ඩලයක් වැනි සරල ක්‍රමයකින් පත්කර ගන්නා කෙනකු නොවී මුළු රටම එක ඡන්ද කොට්ඨාස ක්‍රමයක් ලෙස සලකා පවත්වන ඡන්දයකින් තෝරා පත් කර ගත්තකු වීමය. නාමමාත්‍රික විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රට අතිවිශාල වියදමක් දැරිය යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග තිබුණු ගැටුමේදී ජනාධිපතිවරයා මුලින් උත්සාහ කළේ අගමැතිවරයා තනතුරෙන් පහකොට එජාප අනියම් ලෙස පාලනය කරන තැනකට ගැනීමය. ඒ සඳහා ජනාධිපතිවරයා මහ බැංකු කොල්ලය හේතුවක් කරගනිමින් අගමැතිවරයාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියද, බැංකු කොල්ලය නිසා මුළුමනින් ගෞරවය අහිමි කරගෙන සිටි අගමැතිවරයා තනතුර අත්හැරියේ නැත. 19 වැනි සංශෝධනය නිසා තනතුර අහිමි කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාටද නොතිබුණි.

අගමැතිවරයා ඉවත් කිරීමේ වැඩසටහන අසාර්ථකවීමෙන් පසු ජනාධිපතිවරයා කළේ තමන්ගේ පරම සතුරා ලෙස සැලකූ මහින්ද රාජපක්ෂ කඳවුරට එකතුවීමය. මහින්ද රාජපක්ෂ අගමැති කොට පොහොට්ටුව පක්ෂයේ තාවකාලික ආණ්ඩුවක් ඇති කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දරන ලද ව්‍යවස්ථා විරෝධී වැඩසටහන ව්‍යර්ථ වූයේ ජනාධිපතිවරයාගේ එම ක්‍රියාදාමය ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය ප්‍රකාශ කිරීම නිසාය.

පොහොට්ටුව පක්ෂය ජනාධිපතිවරයා සමග ඇති කරගෙන තිබුණු ජන්මාන්තර වෛරය අමතක කොට ජනාධිපතිවරයා සමග උපාය මාර්ගික සන්ධානයකට ගියද එම පක්ෂය ජනාධිපතිවරයා එම ව්‍යාපාරයේ පිළිගත් නායකයකු බවට පත්කර ගත්තේ නැත. පොහොට්ටුව පක්ෂය පරණ එදිරිවාදිකම් අතහැර තමන්ට එම පක්ෂයේ පිළිගත් නායකයකුගේ තත්ත්වය ලබා නොදෙන බව ජනාධිපතිවරයා තේරුම් ගත් විට තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කරන තනි අලියකු බවට පත්වීමට ජනාධිපතිවරයාට සිදුවිය. අනෙකුත් දේශපාලන නායකයන්ගේ ක්‍රියාකාරීත්වය පමණක් නොව තනි අලියාගේ භූමිකාවද රටේ පවතින අස්ථාවරභාවය වර්ධනය කිරීමට හේතුවී තිබේ.

ප්‍රතිසංස්කරණ මගහැරීම

ජනාධිපතිවරණය දක්වාම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට රටේ තිබෙන අස්ථාවරභාවය පවත්වාගෙන යෑම රටේ සියලු ප්‍රධාන නායකයන්ගේ අභිලාෂය වී තිබෙන බව පෙනේ. ඒ මගින් රටට සිදුවිය හැකි දේ ඉතාමත් බිහිසුණු හා අවාසනාවන්ත විය හැකිය. රට දැන් තිබෙන්නේ මහා ආර්ථික සුනාමියක පය පාමුලය. රටේ පවතින හා පවත්වාගෙන යන අස්ථාවරභාවය ඒ තත්ත්වය උග්‍ර කිරීමට සේ ම ඉක්මන් කිරීමටද හේතුවිය හැකිය. එම තත්ත්වය පාලනයේ පූර්ණ බිඳ වැටීමක් හා පූර්ණ අරාජක තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එම තත්ත්වය ජනාධිපතිවරණය කෙරෙහිද බලපෑ හැකිය. ජනාධිපතිවරණය ගැන කතා කරන්නට පෙර ලංකාවේ දේශපාලන නායකයන් දිගින් දිගට මගහැර යන ලංකාවේ පැවැත්මට අදාළ මූලික ප්‍රශ්නයක් ගැන කෙටියෙන් හෝ මේ අවස්ථාවේදී සලකා බැලීම වැදගත්ය.

අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට ලංකාවේ සමාජ ක්‍රමය හා රාජ්‍ය තිබුණේ විකෘති වූ හා අබල දුබල වූ තත්ත්වයකය. ඒවාහි යහපැවැත්ම සඳහා ඒවා ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නැතිවම බැරි කොන්දේසියක් බවට පත්ව තිබුණත්, එම ඓතිහාසික අවශ්‍යතාව සම්පූර්ණ කිරීමක් අභ්‍යන්තර යුද්ධය ජයගත් රාජපක්ෂ ආණ්ඩුව අතින් සිදු නොවීය. ලංකාව ප්‍රභාකරන් කෙනකු සිටියදී තිබූ අර්බුදයට වැඩි ලොකු අර්බුදයකට ලංකාව ගියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රාජපක්ෂ ආණ්ඩුව පරාජය වූයේද ඒ නිසාය.

එම අර්බුදයේම ප්‍රතිඵලයක් ලෙස බලයට පත්වූ යහපාලන ආණ්ඩුවද සමාජ ක්‍රමයේ හා රාජ්‍යයේ ඇතිව තිබුණු විකෘතීන් හා පරිහානිය ජයගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට නොගියේය. ඒ වෙනුවට අගමැති රනිල් වික්‍රමසිංහ වැදගත් කොට සැලකුවේ සමාජ ක්‍රමයේ හා රාජ්‍යයේ පැවති එම තත්ත්වය මුළුමනින් නොසලකා විධායක බලය තමන් වෙත ලබාගැනීමේ වැඩසටහන ප්‍රමුඛ දේ බවට පත්කර ගත්තේය. ඒ මගින් සමාජ ක්‍රමයේ හා ආණ්ඩුක්‍රමයේ ඇතිව තිබූ මහා පරිහානිය වළකා ගැනීමට අවශ්‍ය කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මුළුමනින් නොසලකා හැරියේය. එම තත්ත්වය රටේ තිබුණ අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ අතර පාස්කු සිකුරාදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඒ වරදට ඉතිහාසය දෙන ලද දඬුවමක් ලෙස සැලකිය හැකිය.

නායකයන්ගේ අඥානභාවය

පාස්කු ඉරිදා සිදුවූ පහරදීම් තුළින් රාජ්‍යයේ හා සමාජ ක්‍රමයේ ඇතිව තිබූ කුණුවීමේ තරම මේ සියලු නායකයන් තේරුම් ගැනීම සඳහා ඉතිහාසය විසින් ලබාදෙන ලද තවත් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. අන්තවාදී මුස්ලිම් සංවිධානයක් ඇතිවී තිබෙන බව හොඳින් තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු එම අන්තවාදී සංවිධානය ආරම්භ කළ කාලයේ සිටම මුස්ලිම් සමාජය වෙතින්ම රජයේ බලධාරීන් වෙත ලැබී තිබුණු බව හොඳින් පෙනී යයි. එහෙත් එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීය. අඩුම වශයෙන් වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අල්ලා ගැනීමෙන් පසුව හෝ ආරක්ෂක අංශ එම සංවිධානය පසුපස ලුහුබඳින තැනකට ගියේ නැත. කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඔළුවට වෙඩි තැබීමේ බිහිසුණු සිද්ධියවත් මර නින්දක නිදා සිටි ආරක්ෂක බලධාරීන්ගේ ඇස් ඇරවීමට හේතුවූයේ නැත.
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් තොරතුරු ලැබෙන්නේ ඉන්පසුවය. පාස්කු ඉරිදා කතෝලික දේවස්ථානවලට පහරදීමක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව හා එම සංවිධානයට සම්බන්ධ අයගේ සියලු විස්තර එම වාර්තාවේ සඳහන්ව තිබියදී එම වාර්තාව බැරෑරුම් ලෙස සලකා ක්‍රියාකරන තත්ත්වයකට පවා යන්න ආරක්ෂක බලධාරීන් අසමත් විය.
දැනට අනාවරණය වෙමින් තිබෙන තොරතුරු අනුව රටේ ආරක්ෂාවට අදාළව වැදගත් හා ප්‍රධානම ආයතන ක්‍රමය ලෙස සැලකිය හැකි ආරක්ෂක මණ්ඩලය හෝ ආරක්ෂක කවුන්සිලය තිබෙන්නේ කෝළම් මඩුවක තත්ත්වයකය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව වෙනස් කිරීමට දරන ලද අසාර්ථක උත්සාහයෙන් පසුව විධිමත් ලෙස එකම ආරක්ෂක මණ්ඩල රැස්වීමක්වත් පවත්වා නැත. පහරදීම සිදුවී තිබුණේ ජනාධිපතිවරයා ලංකාවේ නොසිටි වැඩ බලන ආරක්ෂක ඇමතිවරයකු පත්කර නොසිටි අවස්ථාවකදීය. පහරදීම් ඇතිවීමෙන් පසු අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවීමට අගමැතිවරයා උත්සාහ දරා ඇතත් අගමැතිවරයාගේ එම කැඳවීම භාර ගැනීමට ආරක්ෂක ප්‍රධානීන් කැමති වී නැත.
ආරක්ෂක විෂයේදී ලංකා රාජ්‍යය කුණුවී තිබෙන තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. එය ආරක්ෂක අංශවලට පමණක් සීමාවූ දෙයක් නොව රාජ්‍යයේ අන් හැම තැනකම දක්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන පිරිහීම හා බිඳ වැටීම අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව උතුරේ දෙමළ සමාජයේ පවත්නා අවුල්සහගත තත්ත්වයන්ගෙන්ද පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව සිංහල හා මුස්ලිම් සමාජය ුතුළ දක්නට තිබෙන අවුල්සහගත තත්ත්වය ආශ්‍රයෙන්ද තේරුම් ගත හැකිය.
ඇත්ත වශයෙන් ලංකාව ඥානාන්විත රටක් නම් පාස්කු පහරදීමෙන් පසුව සිදුවිය යුත්තේ සියලු නායකයන් පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් සමාජ ක්‍රමයේ හා රාජ්‍යයේ ඇතිවී තිබෙන අතිවිශාල පරිහානිය ගැන සාධාරණව කරුණු සොයා බලන තැනකට යමින් සමාජය හා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමය. රට මැතිවරණවලට යායුතුව තිබුණේ ඉන් පසුවය.

රටේ දේශපාලන නායකයන්ට සමාජ ක්‍රමයේ රාජ්‍යයේ ඇතිවී තිබෙන පරිහානියේ තරම නොපෙනෙන්නේද? එම තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමකින් තොරව ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගත හැක්කේ කෙසේද? සමාජය හා රාජ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණයකට ලක් කරන වැඩසටහනකට ලංකාවේ දේශපාලන නායකයන් කැමති නැත්තේ රටේ දේවල් සිදුවී තිබෙන ආකාරය සොයා බලන තැනකට යන ප්‍රතිපත්තියක් ඔවුන්ගේ යහපතට හේතු නොවන බව ඔවුන් දන්නා නිසා නේද? ජනාධිපතිවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ සිට මන්ත්‍රීවරුන් දක්වා වන රාජ්‍යයේ සුක්කානම හසුරුවන සියලුදෙනා රඟපාමින් තිබෙන්නේ යහපත් භූමිකාවක් නොව, කොල්ලකාරී භූමිකාවකි. ඒ මගින් මහා පරිමාණයෙන් අයථා ලෙස ධනය උපයා ගැනීමට ලැබී තිබෙන අයිතිය අහිමි වනවා දකින්නට ඔවුන් කැමති නැත. ඔවුන් ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට අත නොගසන්නේ ඒ නිසාය. ඒ සියලුදෙනාට වැදගත් වී ඇත්තේ තමන්ගේ පැවැත්ම මිස රටේ පැවැත්ම නොවේ.

ජනාධිපතිවරණය

ජනාධිපතිවරයා දෙවැනි ධුර කාලය සඳහා තරග කරනු ඇත්ද නැද්ද යන්න අපැහැදිලිය. තරග නොකර සිටියද ජනාධිපතිවරයා දේශපාලන දාම් ඇදීම අත්නොහරිනු ඇත. සමහරවිට ජනාධිපති එජාපයේ කෙනකු හෝ ඥානසාර හිමි තමන්ගේ අපේක්ෂකයා බවට පත් කරගත හැකිය.
අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට තරග කරන බව කීවද ගෝඨාභය රාජපක්ෂට ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ප්‍රශ්නය සම්පූර්ණ කරගැනීමට හැකිවේද යන ප්‍රශ්නය තිබෙන්නේ සැකසහිත තත්ත්වයකය. එසේ වුවහොත් පොහොට්ටුවටද අලුත් අපේක්ෂකයකු සොයා ගැනීමට සිදුවේ. ගෝඨාභය තරම් ශක්තිමත් අපේක්ෂකයකු සොයා ගැනීම පහසු නැති අතර සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයේදී පොහොට්ටුව පක්ෂය තුළද මතභේද ඇතිවීම නොවැළැක්විය හැකිය.
එජාපයටද අපේක්ෂකයකු සොයා ගැනීමේදී පුපුරණසුලු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවනු නොවැළැක්විය හැකිය. කෝටිපති ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරාට එජාපයේ අපේක්ෂකයා ලෙස තරග කරන්නට සූදානම් වන ලෙස රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙන බව අසන්නට ලැබෙතත්, එම තෝරා ගැනීම එජාපයේ සතුටට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.

ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ ලොකු පූර්ව සූදානමකට ගොස් තිබුණද, රටේ අර්බුදය ඔවුන්ට තිබෙන පිළිගැනීම තවදුරටත් දුර්වල කර තිබෙන තත්ත්වය තුළ ඔවුන් තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරයිද යන්න පැහැදිලි නැත.

නාගානන්ද කොඩිතුවක්කු හා රොහාන් පල්ලෙවත්ත යන දෙදෙනා තවත් ජනාධිපතිවරණය සඳහා තරග කරන බව කල් තියා ප්‍රකාශ කර තිබුණු දෙදනකු ලෙස සැලකිය හැකිය. නාගානන්ද තරග කරන්නේ නම් ඔහුට තමන්ගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්හරින්නට සිදුවනු ඇත.

ජනාධිපතිවරණයට කවුරුන් තරග කළත්, ඔවුන්ට පිහිනන්නට වන්නේ පැහැදිලි හා නිසංසල ජලයක නොව, අපැහැදිලි හා චංචල ජලයකය. ජයග්‍රාහකයාට සියයට 50 සීමාව තරණය කළ හැකිද යන්නද ප්‍රශ්නයකි. කෙනකු ඒ සීමාව තරණය කොට ජයගත්තද ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයකු වන නිසා ජයග්‍රාහකයාට කළ හැකි බලවත් කිසිවක් නැත. අඩුම වශයෙන් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක්පවා පැවැත්වීමේ හැකියාව නැත. එම තත්ත්වය තුළ ජයග්‍රාහකයා ඉක්මනින් දේශපාලන කවටයකු බවට පත්වනු නොවැළැක්විය හැකිය.

ජනතාවට අවශ්‍ය නම් ඡන්දය පාවිච්චි කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඉවත්ව මෙම ජනාධිපතිවරණයේ සියලු තරගකරුවන් පරාජය කරමින් සමස්ත ක්‍රමයේ ව්‍යුහමය විපර්යාසයක් සඳහා මහජන ව්‍යවස්ථා සම්පාදනයක් ඉල්ලා සිටින ජනාධිපතිවරණයක් බවටද පත් කරගත හැකිය. ඒ මගින් ව්‍යුහමය වෙනසක් වෙනුවෙන් ඡන්දය කටුගා ඡන්දය ප්‍රකාශ කරන ඡන්දයක් බවට පත් කරගත හැකිය. සමහරවිට එවැනි වැඩසටහනක් මහජන උද්යෝගයට හේතුවන හා විපර්යාසයන් සඳහා ලොකු දොරටුවක් විවෘත කරගන්නා වැඩසටහනක් බවටද පත් කරගත හැකිය.