ආරක්ෂාවේ නාමයෙන් අද ෆුර්කාව හෙට?

හසනාහ් සේගු ඉසදීන්

මගේ අල්ලපු ගෙදර සිටින ‘මායා’ දෙමළ ක්‍රිස්තියානි පවුලක සාමාජිකාවක් වන අතර සෑම ඉරිදා දිනයකම ශාන්ත අන්තෝනි දේවස්ථානයට යාම ඇගේ සිරිතකි (පාස්කු ඉරිදා, තමාගේ මල්ලී දීර්ඝ කාලයකට පසු නිවසට පැමිණ සිටි බැවින් නොගියාය). මායාට එකම එක පුතෙක් සිටින අතර දිනපතා මායාගේ නිවසට පැමිණ ඔහුව පාසලට තම ස්කූටරයෙන් රැගෙන යන්නේ මායාගේ මිතුරියයි. නිවාඩු දිනවලදී ද මද වේලාවකට හෝ මිතුරියන් දෙදෙනා එකිනෙකා හමුවීම ඔවුහු පුරුද්දක් කර ගෙන සිටියහ. එම මිතුරිය ඇතැම්විට කළුපාට සහ තවත් විටෙක විවිධ වර්ණවලින් යුත් ‘හබායා’ නමැති දිගු වස්ත්‍රයකින් සැරසී පැමිණේ. මුස්ලිම් කාන්තාවක වන ඇය පසුගිය පාස්කු ඉරිදා දින සිට මායාගේ නිවසට නොපැමිණියාය. ඒ ගැන විමසීමේදී මායාගේ පිළිතුර වූයේ ර්‍ණඅනේ ! හරිම පව්, පසුගිය ඉරිදා සිට ඇය නිවසින් එළියටවත් ආවේ නැහැ. මම තමයි ගිහින් බලල ආවේ. හොඳටම බයවෙලයි ඉන්නේ. ඇයට හබායා අඳින්නේ නැතුව එළියට ඇවිත් පුරුදු නැහැ. ඇඳුම් නැතුව යනවා වගේ හැඟීමක් දැනෙනවාලූ. හබායා ඇඳ ආවොත් ප්‍රශ්නයක් වෙයි කියලා බයට ගෙදරටම වෙලා ඉන්නවා. මට හරිම දුකයි.” මා ද සල්වාර් කමිස ඇඳ ඔලූව වසා සිටින මුස්ලිම් කෙනෙක් වශයෙන් එකී බයක් සහිත හැඟීම මාහට හොඳින් වටහා ගත හැකි විය.
මහ විශාල ව්‍යසනය සිදුවී දින තුනකින් මාහට වැළඳුණු දැඩි උදරාබාධයකට බෙහෙත් ගැනීම පිණිස මට රෝහල වෙත යාමට සිදුවිය. මාගේ වාහනයේ අමතක නොකර නම සහ දුරකථන අංකය අලවා තිබුණි. සාමාන්‍යයෙන් මුස්ලිම් අනන්‍යතාව සමගින් පිරී ඉතිරී පවතින රෝහලේ මා දන්නා තරමින් මා හැර මුස්ලිම් අනන්‍යතාව සහිත කිසිම කෙනෙක් මා දුටුවේ නැහැ. එහි පැමිණ සිටි සියල්ලන්ගේම බැල්ම මා වෙත යොමු වී තිබෙනු මට වැටහුණි. මාගේ හිස ආවරණය කර තිබූ සළුව කොපමණ දුරකට බිය උපදවන බව එක් පැත්තකින් හැඟී ගිය නමුත් තවත් පැත්තකින් එහි ප්‍රතිඵලයක් වශයෙන් මාහට යම් අනතුරක් සිදුවේද යනුවෙන් බියක් ද මා තුළ නොතිබුණාම නොවේ. රෝහලේ වැසිකිළියට ගොස් මද වේලාවක් ගත කළෙමි. මා තුළ තිබූ නොසන්සුන්තාව සමනය කර සාමාන්‍ය තත්ත්වයට මා පැමිණිය යුතුව තිබුණි. එදින නිවස බලා මා පැමිණියේ දැඩි භීතියකිනි. මායාගේ මිතුරිය පමණක් නොව මා ද, මා දන්නා හිස ආවරණය කරන, හබායා අඳින, ෆුර්කාව (මුහුණ ආවරණය) අඳින කාන්තාවන් තවමත් සිටින්නේ තම තමන්ගේ නිවාසවලයි. ඇතැම්හු විශාල බියකින් ගමන් බිමන් යති. විවිධ සිද්ධීන්වලට මුහුණදී ශාරීරික පහරදීම්වලින් තොරව ආපසු නිවස කරා ඔවුහු පැමිණ සිටිති.

මුස්ලිම් කාන්තාවන් වන අපට මෙය විවිධ ආකාරයේ දුකට පත්කරවන ක්‍රියාවන් ලෙස පවතින බව අපි අතර කතාබස් කළෙමු. රටේ කවදා හෝ කවර ස්ථානයක ත්‍රස්තවාදය මා හා මාගේ දරුවන් බිළි ගනීද යන බියක් සියලුදෙනා සිතන ආකාරයටම අප තුළද නැතුවා නොවේ. සහජීවනය කෙරෙහි විශ්වාසය තබා විවිධත්වය සමරමින් ජීවත් වන, ත්‍රස්තවාදයට එරෙහි සියලු මුස්ලිම් ජනතාව තුළ හටගන්නා දැඩි කෝපය හා අසරණභාවය සහ ඊටත් වැඩියෙන් මුස්ලිම් කෙනෙකු ලෙස මෙකී වාතාවරණය තුළ ජීවත් වීමේ භීතියක් අප තුළ ද පවතී. මේ සියලුදේටත් වඩා මුස්ලිම් අනන්‍යතාව සමගින් මුස්ලිම් කාන්තාවන් වශයෙන් ජීවත් වීම අප තුළ නිර්මාණය කර ඇත්තේ ඉමහත් ත්‍රාසයක් හා භීතියකි.

සිත් වේදනාවට පත් කර ඇති පාස්කු ඉරිදා සහ ඉන් අනතුරුව සිදුවන සිදුවීම් මැද්දේ අප නැවත වතාවක් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය සහ ජාතික ආරක්ෂාව පිළබඳව සිලු දෙනා ලිපි ලියමින් හා කතාබහ කරමින් සිටින තත්ත්වයක් තුළ මුස්ලිම් කාන්තාවන් අඳින මුහුණු ආවරණය තහනම් කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ හඬක් නැගුණි. අද වන විට එය තහනම් කර තිබේ. අහිමිවීම් පිළිබඳ සෑම පුවතක්ම සිත්වේදනාවක් ගෙන දෙන නමුත් එකී වේදනාවන් බෙදා හදා ගැනීමට බොහෝ අය සිටිනු ඇතැයි යන විශ්වාසයකින් මෙම ලිපිය, දේශපාලනීකරණය වෙමින් තිබෙන මාගේ ඇඳුම් පිළිබඳ තේරීම හා මාගේ සහ මා වැනි සහෝදරියන් තුළ පවතින බියේ ප්‍රතිඵලයක් වශයෙන් ෆුර්කාව පිළිබඳව පමණක් මෙසේ ලියමි.

මම අනෙක් අයව පීඩනයට ලක් නොකළ යුතුය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය යුතුය යන්න ප්‍රතිපත්තියක් සහිතව ජීවත් වන මුස්ලිම් කාන්තාවක් වෙමි. සාමකාමී ලෙස ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ආගමක් සහ සංස්කෘතියක් හා එහි අනන්‍යතාවන් අනෙකාට හිරිහැරයක් නොවන පරිදි පිළිපැදීමට හෝ අනුගමනය කිරීමට සෑම කෙනෙකුටම අයිතියක් තිබෙන බව මම දැඩිව විශ්වාස කරමි.

කාන්තාවන්ගේ ශරීරය හා ඇඳුම් කවදත් පවතින්නේ බොහෝ විට දේශපාලනමය කරුණු මතයි. රජය හා සමාජය, ආගමික සංවිධාන, පවුල් කවදත් කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් තීරණ ගන්නා අය ලෙස හා පාලනය කරන අයවලුන් ලෙස සිටිති. එහිදී මුස්ලිම් හා මුස්ලිම් නොවන කාන්තාවන් යන භේදයක් නොපවතී. පාසලට අනිවාර්යයෙන් සාරි ඇඳිය යුතුය, හබායා ඇඳිය යුතුයි (මුස්ලිම් පාසල්), හබාය ඇඳිය නොයුතුය (මුස්ලිම් නොවන පාසල්), කෝවිලට යාමේ සිට රජයේ කාර්යාලවලට යාම දක්වා කාන්තාවන්ගේ ඇඳුම් දේශපාලනීකරණය වී පවතී.

කොතෙක් දුරට තම ශරීරය ආවරණය කරන්නේද ඒ තරමට මුස්ලිම් කාන්තාවන් තාඩන පීඩනවලට ලක් කරනු ලැබීමෙන් ඔබ්බට ගොස් සිතා ගත නොහැකි තරමට ජාතියකට වෛර කිරීම මුල්බැස තිබේ. මෙහිදී වටහා ගත යුතු මූලිකම කරුණ වන්නේ කාන්තාවක් කොතෙක් දුරට තම ශරීරය විවෘත වන ආකාරයට ඇඳුම් ඇඳීම හෝ තම ශරීරය ආවරණය කර ඇඳුම් ඇඳීම යන කරුණට සහ එම කාන්තාව කොතෙකුත් දුරට හිංසනවලින් තුරන් වී සිටීමට හෝ හිංසනවලට එරෙහිව ක්‍රියා කිරීමට වැට බැඳිය නොහැක යන්නයි.
දැන් ෆුර්කා දේශපාලනයට එමු. ෆුර්කාව හා ත්‍රස්තවාදය අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ෆුර්කාව යනු හිසේ ඉඳන් පාදයේ පතුළ දක්වා ආවරණය කෙරෙන එක්තරා වස්ත්‍රයකි. මුහුණ වැසීම යනු නිකාබ් නමැති මුහුණු ආවරණයකි. ශ්‍රී ලංකාවේ පවතින ගැටලුව වන්නේ නිකාබ් නමැති මුහුණ වැසීමයි. නමුත් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ෆුර්කාව යන නමින් ගැටලුව මතුවී තිබෙන නිසා මා විසින් මෙම ලිපියේ භාවිත කරනු ලබන්නේ මුහුණ ආවරණය කරන එකී ෆුර්කාව යන නමයි. මුහුණ ආවරණය කිරීම යනු සම්පූර්ණයෙන් මුහුණ වැසීම හෝ දෑස් පමණක් නිරීක්ෂණය වන පරිදි ඇතැම් මුස්ලිම් කාන්තාවන් අඳින ඇඳුමකි. විශේෂයෙන් මුස්ලිම් අය ඇතුළු ලාංකිකයින් බොහෝ දෙනාට ලංකාව තුළ මෙය පැළඳිය යුත්තේ මක්නිසාද යන පැනයක් හා කේන්තියක් මතු වේ. මෙය තම සංස්කෘතියක් නොවන අතර එය අරාබි සංස්කෘතියක් බව ඇතැම් මුස්ලිම් අය කේන්තියකින් පිළිතුරු දෙනු මම අසා ඇත්තෙමි. අපගේ සංස්කෘතිය කුමක්ද?

ගිනි අව්වේ කරපටිය ඇතුළු දිග කලිසම්, සපත්තු, පාවහන් ආදී අපගේ දේශගුණයට කිසිසේත්ම නොගැළපෙන යටත් විජිත චින්තනය යටතේ වූ බටහිර සංස්කෘතියට අයත් ඇඳුම් පැළඳුම් අප විසින් තවමත් කරපින්නා ගනිමින් සිටීමට හේතුව කුමක්ද යන්න පැනය හෝ, “මෙහෙන්දි” නමැති දෑත් අලංකරණය සඳහා යොදා ගනිමින් ගී ගයමින් නටමින් උතුරු ඉන්දීය සංස්කෘතිය හා සමානව සිදු කෙරෙන විවාහ මංගල්‍ය සිට දෙවිවරුන්ට කෙරෙන පූජාවන් ඇතුළු බොහෝ ඉන්දියානු සංස්කෘතික බලපෑමෙන් ගමේ පාරම්පරික කෝවිල් සියල්ල ආගමන කෝවිල් ලෙස පරිවර්තනය වෙමින් තිබෙන සංස්කෘතිය හෝ සෑම බෝ ගහක් යට අනිවාර්යයෙන් බුදුරජාණන් වැඩ සිටිය යුතුයි, මුල් කාලවලදී පෝය දිනවල පමණක් පන්සල් යන බෞද්ධ බැතිමතුන් වර්තමානයේ විටින් විට පන්සල් යන සංස්කෘතියක් ඇතිවී තිබීම පිළිබඳව හෝ පසුගිය වකවානුවේ කිතුනුවන් අතර මේ තරම් බෙදීම් සහ මෙපමණ සංඛ්‍යාවක් ක්‍රිස්තියානි දේවස්ථාන නොතිබූ බවට හෝ බර්ගර් ජාතික කාන්තාවන්ගේ සංස්කෘතියේ දක්නට නොමැති සාරි ඇඳ එකී ජාතිය නියෝජනය කරන කාන්තාවන් රාජකාරියට පැමිණිය යුතු යැයි බල කිරීමේ සංස්කෘතිය හෝ මේ දේශයේ පුරවැසියන් එදා පටන් අනුගමනය කළ සංස්කෘතීන් සියල්ල වළපල්ලට දමා කොස් කැඩීමට පවා අයිතියක් නොමැති අය බවට පත්කළ සංස්කෘතිය දෙස නොබලා අප දැන් කතා කරන්නේ කුමන සංස්කෘතිය පිළිබඳවද යන පැනය මාහට මේ මොහොතේ ඇසීමට සිදුවී තිබේ.
බටහිර සහ දකුණු හා උතුරු ඉන්දීය සංස්කෘතීන් ඉවක් බවත් නොමැතිව පිළිපදින අප මැදපෙරදිග සංස්කෘතිය පිළිපදින්නේ මන්ද යන්න ආවේගශීලීව අසන්නේ මක්නිසාද යන්න පිළිබඳව මාහට වැටහීමක් නැත. අනෙකාට හිරිහැරයක් නොවන පරිදි පුද්ගලයෙක් පිළිපැදිය යුතු සහ පිළිපැදිය නොයුතු සංස්කෘතිය කුමක්ද යන්න තීරණය ඔහු හෝ ඇය සතු වන අතර එහි උසස් හෝ පහත් සංස්කෘතිය කියා එකක් නොමැති බව මාගේ හැඟීමයි.

ත්‍රස්තවාදය හා ඍජුවම සම්බන්ධ අය ම්ලේච්ඡයන් වන අතර ඒ සියලු දෙනා මෙම ඝාතනයන් සිදු කර ඇත්තේ සිය අනන්‍යතාවන් පැහැදිලි වන ආකාරයටයි. මෙකී මනුස්ස ලේ උරා බීපු ඝාතකයින්ගෙන් සමහරෙක් මනා ලෙස සකසා ගත් යටිරැවුල සමගින්ද, තවත් සමහරෙක් යටිරැවුල නොමැතිව පිළිවෙළට සකස් කරන ලද උඩුරැවුල සමගින්ද, නවීන පන්නයේ ටී ෂර්ට්, ඩෙනිම්, දිගු කලිසම්, බේස්බෝල් තොප්පි, ක්‍රීඩා සපත්තු පැළඳ නවීන පන්නයෙන් සැරසී පැමිණ සිටියහ. ත්‍රස්වාදීන් හා සම්බන්ධ යැයි ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ පවුලේ සාමාජිකාවන් ලෙස හඳුනා ගෙන ප්‍රසිද්ධියට පත්කළ කිසිම ඡායාරූපයක එකඳු කාන්තාවක් හෝ මුහුණු ආවරණය කර තිබීම දැකගත නොහැකි විය. මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ හිටි හැටියේම ෆුර්කාව තහනම් කළ යුතු යැයි ඉල්ලා සිටීමට හේතුවූයේ කුමක්ද? ෆුර්කාව තහනම් කරන ලද්දේ මන්ද? යන්නයි. මේ ගැන මදක් විස්තරාත්මකව බලමු.
ලාංකික මුස්ලිම් කාන්තාව හිස ආවරණය කිරීම (සාරි පොටෙන් මුහුණ ආවරණය කිරීම) දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන්නකි. පසු කාලීනව හබායා ඇඳුම් (උරහිසේ සිට දෙපා දක්වා දිගු වස්ත්‍රය) භාවිතයට ගැනුණි. විවෘත ආර්ථිකය හා ගෘහ සේවිකාවන් ලෙස ගොස් ආපසු පැමිණි කාන්තාවන් මාර්ගයෙන් මෙම හබායා ඇඳුම භාවිතයට ආ බව බොහෝ දෙනෙක් පවසති. ඩුබායි රටේ ශිෂ්ටාචාර දියුණුවීමත් සමග විවිධ වර්ණවලින් තිබූ හබායා ඇඳුම් ශීඝ්‍රයෙන් කළුපාට හබායා බවට පත්වීමට පටන් ගැනුණි. (ඉන් පසු එකම කළු හබායා ඇඳීමෙන් ආර්ථික අපහසුතාවයෙන් නිදහස්වීම ඇතුළු බොහෝ සාධාරණීකරණයන් කාන්තාවන් සතුව පැවතියද කාලයාගේ ඇවෑමෙන් රත්‍රන්වල අගයට වඩා වැඩි මිලකට මෙම කළුපාට හබායා අලෙවි වීමට පටන් ගැනීම වෙනමම කථාවකි). නමුත් හිටි හැටියේ ආගමේ පුනරුදය නාමයෙන් විවිධ තරාතිරමේ ඉස්ලාම් වියතුන් මුහුණු ආවරණය කිරීම අනිවාර්ය කරුණක් ලෙසත් මුහුණ ආවරණය නොකරන කාන්තාවන් මහා පාපයක් කරන බවත් දේශනා කිරීම හේතුවෙන් (බොහෝ තැන්වල) මෙය බලකිරීමක් ලෙසත්, ඇතැම් ස්ථානවල සංස්කෘතියක් ලෙසත් තවත් සමහර ස්ථානවල ආගම කෙරෙහි වූ ළැදියාව ලෙසත්, සමහර තැන්වල තම අභිමතය ලෙසත් (එය සංවරව ජීවත් වන ඇතැම් මුස්ලිම් ගම්මානවල කාන්තාවන්ට එහා මෙහා යාමේ වැඩි නිදහසක් ලබා දීම හේතුවෙන්), කාන්තාවන් මෙම ෆුර්කාව (පොදුවේ ෆුර්කාව ලෙස හැඳින්වන නමුත් එහි සැබෑ නම නිකාබයයි) නමැති මුහුණු ආවරණය පැළඳීමට පටන් ගත්හ. ඉතා සීමිත පිරිසක් වන කාන්තාවන් පැළඳීමට හුරු වී සිටි මෙම ෆුර්කාවට බලයක් සහ ස්ථාවරත්වයක් ලබා දී එය පෝෂණය කරන ලද්දේ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයයි. මුස්ලිම් කාන්තා ඇඳුම් ගැන විවිධ අන්දමේ පන්ති පැවැත්වූ මෙම වියතුන්ගේ සංගමය විසින් ෆුර්කාව පළඳීම අනිවාර්ය යැයි ආගමානුකූල තීරණය ද ලබා දෙන ලදී.

ෆුර්කාව අද හෝ හෙට ඕනෑම තැනක තර්ජනයක් වන ඇඳුමක් විය නොහැකි යැයි කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිකුරාදා (2016.03.11) දේශනය පැවැත්වූ එකී වියතුන්ගේ සංගමයේ සභාපති විසින්ම අද තත්ත්වය උඩු යටිකුරු වෙද්දී ඇවිළුණු ගින්දරට පැට්‍රෝල් දමා පෝෂණය කළ එම ෆුර්කාවම රජය විසින් තහනමට ලක් කිරීමට පෙර ඉන් වැළකී සිටින ලෙස පැවසීමෙන් අනතුරුව රජය හා එක්ව කිසිම විරුද්ධත්වයක් නොපා ෆුර්කාව සම්පූර්ණයෙන් තහනම් කරන ලදී. (හදිසි නීති තත්ත්වය තුළ තාවකාලික තහනම යනු කුමක්ද යන්න පිළිබඳව යුධ ඉතිහාසයක් ඇති ජනතාව හොඳින් දැන සිටී. ඒ අතරතුර එකී වියතුන්ගේ සංගමයේම තවත් වියතෙක් කියා සිටියේ දින හතරකට පෙර ෆුර්කාව නොපැළඳීමේ තීරණයකට තමන් පැමිණි බවත් අපගේ කාන්තාවන් ඇඳුම් ඇඳිය යුතු ආකාරය ජනාධිපතිවරයා අපට කියා දීමට උවමනාවක් නැති බවත්ය) මුස්ලිම් කාන්තාවන් ආගමානුකූලව පැළඳිය යුතු ඇඳුම සහ එහි වර්ණය පිළිබඳව තීරණය කිරීමේ අයිතිය ඉස්ලාම් වියතුන්ගේ සංගමයට ලබා දුන්නේ කවුද? ආගමික වශයෙන් අනිවාර්ය ඇදහිල්ලක් ලෙස අපව විශ්වාස කිරීමට සලස්වා ආගමානුකූලව මට තිබෙන අයිතියක් වන ෆුර්කාව පැළඳීම වියතුන්ගේ සංගමය තහනමට ලක් කරන්නේ කෙසේද?
මුස්ලිම් අයගේ නියෝජිතයන් ලෙස කියා ගන්නා සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ දෙබිඩි රඟපෑම හා ව්‍යාජභාවය බොහෝ අවස්ථාවන්වල අපට දැක ගත හැකි වී තිබේ. (අතුරු සිද්ධියක්: ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතුය සහ විවාහ වීමේ වයස් සීමාව ඉහළ දැමිය යුතු යැයි අගතියට පත් දැරියන් හා කාන්තාවන් ඉල්ලා සිටි අවස්ථාවේදී වයස අවුරුදු 12 දැරියන්ට ද විවාහ විය හැකි යැයි අධිකරණ අමාත්‍යාංශයට වාර්තා සැපයූ මේ වියතුන්ගේ සංගමය ත්‍රස්තවාදය මතුවූ පමණින් හිටි හැටියේ තමන් රටේ පොදු නීතියට සහය දක්වන බව පුනපුනා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් අවධාරණය කරති)

සැබෑ ලෙසම ආරක්ෂාව වෙනුවෙන් ෆුර්කාව තහනම් කළේද? අද වෙද්දී අවාසනාවකට මෙන් ලෝකයේ විවිධ ස්ථානවල දහස් ගණනින් ත්‍රස්තවාදී ක්‍රියා සිදු වී ඇති අතර එමගින් ජීවිත ගණනාවක් අහිමි වී තිබේ. නමුත් ඒ අතුරින් යේමනයේ පිරිමි පුද්ගලයෙකු ෆුර්කාව පැළඳගෙන ආයුධ ළඟ තබා ගැනීමේ එක් සිද්ධියක් හැරුණු කොට අනෙක් සෑම අවස්ථාවකම පිරිමි පුද්ගලයින් විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ එළිපිටය. ලංකා ඉතිහාසය තුළද මරාගෙන මැරෙන කාන්තා කොටි ත්‍රස්තවාදීන් විසින් ද ෆුර්කාව නමැති මුහුණු ආවරණය භාවිත නොකරන ලදී. මේ මොහොතේ අපගේ රටේ ත්‍රස්තවාදයක් තිබෙන බව පවසා පිළිගත් සාක්ෂි කිසිවක් නොමැතිව වහාම ෆුර්කාව තහනම් කළ යුත්තේ මන්ද යන පැනයට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණකි.

පොදු ස්ථානවල මුහුණු ආවරණය කිරීම තහනම් කර ඇති රටවල් අතුරින් ප්‍රංශයද එක් රටකි. 2016 වසරේ ප්‍රංශ රටේ මුහුදු වෙරළේ දිය නෑම සඳහා මුස්ලිම් කාන්තාවන් ෆුර්කිති නමැති මුහුණ හැර සම්පූර්ණ ශරීරයම ආවරණය කරන ඇඳුම භාවිතා කළ මොහොතේ එසේ ෆුර්කිනි ඇඳ මුහුදේ දිය නෑම ප්‍රංශ රජය විසින් තහනම් කරන ලද අවස්ථාවේ ප්‍රංශ ජාතික කාන්තාවෝ සහ අනෙකුත් කාන්තාවෝ එක්ව ඇඳුම් පිළිබඳ තහනමට එරෙහිව මුස්ලිම් කාන්තාවන්ට සහය පළ කරමින් ෆුර්කිනි ඇඳ උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ කාන්තාවන්ගේ ශරීරය හා කාන්තා ඇඳුම් දේශපාලනීකරණය නොකරන ලෙසයි. මෙහි තිබෙන කරුණ වන්නේ නිශ්චිත ජාතියකට විරුද්ධවීම හා ඔවුන්ට ඊර්ෂ්‍යා කිරීම පියවරෙන් පියවර ක්‍රියාත්මක කරනු ලැබීමයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දිහා බලමු. පසුගිය දශක තුනක් තිස්සේ ජාති, ආගම්, භාෂා හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අපි ක්‍රෑර යුද්ධයකට සහ එහි විපාකය අත්වින්දෙමු. එම අවස්ථාවේ බෝම්බ පිපිරීම් ගණනාවකට සහ හන්දියක් හන්දියක් පාසා සෝදිසි මුර කපොලු පසු කර පැමිණ ඇත්තෙමු. ත්‍රස්තවාදය තුරන් කිරීමට රජය දැඩි වෙහෙසක් දැරූ අවධියේදී පවා කිසිම දිනක මුහුණු ආවරණය තහනම් කිරීමට රජය විසින් කටයුතු නොකරන ලදී. මුස්ලිම් කාන්තාවන් වන අපි කළුපාට හබායා සහ මුහුණු ආවරණය පැළඳ සිටි අතර එවකට යම්කිසි කෙනෙක් ත්‍රස්තවාදී කටයුතු සඳහා ෆුර්කාව පැළඳිය හැකි යැයි අනුමාන කර ෆුර්කාව තහනම් කිරීමට හැකියාව තිබූ නමුත් රජය විසින් එසේ නොකරන ලදී.
ෆුර්කාව පැළඳ සිටි නමුත් ශ්‍රී ලංකාවේ හැඳුනුම් පත, විදේශ ගමන් බලපත්‍ර හා රියැදුරු බලපත්‍ර යනාදී කරුණුවල සෑම අවස්ථාවකම හා සෝදිසි මුර පොළවල්වල මුස්ලිම් කාන්තාවන් තමන්ගේ අනන්‍යතාව නිසි පරිදි අනාවරණය කිරීමට කටයුතු කර ඇත. තම අනන්‍යතාව තහවුරු කිරීමේදී කිසිම තැනක මුස්ලිම් කාන්තාවන් ඊට පටහැනිව කටයුතු කර නොමැත. ලෝකයේ ඕනෑම රටක ෆුර්කාව පළඳින මුස්ලිම් කාන්තාවන් කටයුතු කරන්නේ මෙලෙසයි. කරුණු එසේ තිබියදී අපගේ රටේ ආරක්ෂක හේතු ලෙස ඉදිරිපත් කරනු ලබන සියළුම හේතු හමුවේ මුහුණු ආවරණය කරමින් හෝ අනන්‍යතාව තහවුරු නොකරන ලද කිසිම ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොකරන ලද තත්ත්වයක් තුළ ෆුර්කාව තහනම් කළ යුත්තේ මන්ද?
මෙකී තහනමට හේතු වශයෙන් ඉදිපත් කරනු ලබන කරුණු අතරින් එක් හේතුවක් පමණක් බලවත් යැයි පෙනේ. “මොකක්ද මේ ෆුර්කාව” එය දකින කොටම එන්නේ කේන්තියකි. මොවුන් ඇයි මේ ෆුර්කාව අඳින්නේ? එකී ඇඳුම සම්බන්ධයෙන් අප තුළ තිබෙන අකමැත්ත. දීර්ඝ කාලයක් තිස්සේ ටිකෙන් ටික වර්ධනය වූ විරෝධය අවස්ථාව එනතුරු බලා සිට පුපුරුවා ගොස් ඇත. දැන් ඇතිවී තිබෙන වාතාවරණය තුළ ආරක්ෂක හේතුවෙන් ඔබ්බට ගොස් “භීතිය” හෝ “අපහසුතාව” ලෙස කිව හැකිය. මේ අපහසුතාව අප තුළ කවදත් තිබූ එකක් බව අප පිළිගත යුතුය. ඊට හොඳම සාක්ෂියක් ලෙස වියතුන්ගේ සංගමයේ ඉල්ලීම් ලිපිය (2019.04.28) සඳහන් කළ හැකිය. කාන්තාවන් කළුපාට ඇඳුම් පැළඳීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම සහ කළුපාට හැර වෙනත් පාටවලින් යුත් ඇඳුම් පැළඳීම යනුවෙන් එහි සඳහන් වී තිබේ. හබායා තහනම් නොකර කළුපාට තහනම් කිරීමේ හේතුව කුමක්ද? කළුපාට හා ත්‍රස්තවාදය අතර තිබෙන සම්බන්ධතාව කුමක්ද? එම නිසා ආරක්ෂාව හේතුවක් නොවන අතර එකී ඇඳුම සහ වර්ණය කෙරෙහි තිබෙන වෛරය බව ඉතා පැහැදිලිය.

ෆුර්කාව පළඳින සියලු දෙනාම ත්‍රස්තවාදීන් යැයි පැවසිය හැක්කේ කෙසේද? හබායා පැළඳ සිටි කාන්තාවන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග සබඳකම් පැවැත්වූ බව සත්‍යයකි. ශ්‍රී ලංකාවේ මිලියනයකටත් අධික මුස්ලිම් කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් එකී කළු ඇඳුම අඳින්නේ නම් එය එක්තරා ඇඳුමක් පමණක් හැර ත්‍රස්තවාදීන්ගේ නිල ඇඳුම නොවන බව අප වටහා ගත යුතුය. ආරක්ෂාව යන නාමයෙන් අද ෆුර්කාව හෙට? රටේ වාතාවරණය ගැන සිතා අප සියල්ල සතුව වගකීමක් තිබේ. රටේ ආරක්ෂාව ඉතාමත්ම වැදගත් වන අතර මේ අවස්ථාවේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශ වෙත අප සම්පූර්ණ සහය දැක්විය යුතුය. හැකි පමණින් අපගේ අනන්‍යතාවන් ප්‍රදර්ශනය කරන්නේ කෙසේද නැතහොත් පොදු ස්ථානවල මෙවන් අර්බුදකාරී තත්ත්වයක කටයුතු කළ හැක්කේ කෙසේද පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මේ දක්වා මුස්ලිම් කාන්තාවන් ඊට පූර්ණ සහයෝගය දක්වා තිබේ. ෆුර්කාව අහිමි කර ගත යුතු නම් එය සෑම කාන්තාවකගේම තීරණයක් විය යුතු විනා රජය නීති පනවා එය තහනම් නොකළ යුතුය. තවද, ෆුර්කාව තහනම් කර ඇති ලෝකයේ අනෙකුත් රටවල්වල ත්‍රස්තවාදය තවමත් නිමාවට පත්වී නොමැති බව මතක තබා ගනිමින් ත්‍රස්තවාදයට එරෙහිව දැඩිව සහ ස්ථීර ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජය උනන්දුවක් දැක්විය යුතුයි. අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන තුවාලවලට ප්‍රතිකාර නොකර බාහිර තුවාල වලට පමණක් ප්‍රතිකාර කිරීමේ රජයේ විහිළු සහගත ක්‍රියාවට තිත තැබිය යුතුය.
දේවස්ථානවල ඝාතනයට ලක්වූ සියලු දෙනා වෙනුවෙන් මුස්ලිම් කාන්තාවන් වන අපිත් හඬා වැළපෙන්නෙමු. ත්‍රස්තයන් සමග ඝාතනයට ලක්වූ සිඟිත්තන් වෙනුවෙන් කඳුළු සලන්නෙමු. ත්‍රස්තයන් හා ඊට ආධාර අනුබල දුන් අයට ශාප කරන්නෙමු. වෛර කරන්නෙමු. සෑම ආරංචියකට පසු කම්පාවට පත්වන්නෙමු. එසේ නමුත් මුස්ලිම් කාන්තාවක් යන අනන්‍යතාව හේතුවෙන් සෑම දිනකම පාහේ පිටතට පැමිණීමට නොහැකිව බියෙන් කාලය ගත කරන්නෙමු. අපව වටහා ගෙන සිටින ජාති ආගම් භේද නොතකා සෙනෙහස කරුණාව පාන මිතුරු මිතුරියන් නිසා අපි තවමත් ජීවතුන් අතර සිටින්නෙමු. ත්‍රස්තවාදය හේතුවෙන් තවදුරටත් අපිද පීඩාවට ලක්වෙමින් සිටින්නෙමු. ඔබ අපව තවදුරටත් දුකට පත්කිරීමට තීරණය කරන්නේ ඇයි?

මෑතකදී සමන්තුරේ දී සිදු කරන ලද වැටලීම හා සයින්දුමරුදු හි ත්‍රස්තවාදීන් ඝාතනය කරනු ලැබීමත් සම්පූර්ණයෙන් මුස්ලිම් ගම්මානවල සිදුවූ ක්‍රියාදාමයකි. ඊට අවශ්‍ය ඔත්තු සපයා ජයග්‍රාහීව එම මෙහෙයුම දියත් කිරීම සඳහා ආරක්ෂක අංශවලට සහය දැක්වූයේ එම ගමේම ජීවත් වන මුස්ලිම් ජනතාවයි. මුස්ලිම් ජනතාවත් ශ්‍රී ලාංකිකයින් වශයෙන් ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට මෙය සුළු උදාහරණයක් පමණි. (සියලුම මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නොවන බව පුනපුනා මතක් කර දිය යුතු අවාසනාවන්ත තත්ත්වයකට අපි පත්වී සිටින්නෙමු.)

ෆුර්කාව යනු මුස්ලිම් ස්ත්‍රීන් සතුව තිබෙන පළිහයි. කලින් විවිධ ආකාරයට සමාජයේ තමාට හිමි ස්ථානය වෙනුවෙන් සටන් කරන මේ කාන්තාවන් නොසලකා හැරීමට සහ නිවෙස්වලට කොටු කර හැරීමට ලක්විය හැකිය. මේ කාන්තාවන්ට තම නිවෙස්වලින් පිටතට යාම සඳහා අනුමැතිය ලැබෙනුයේ ෆුර්කාව පැළඳීම නිසාය. ෆුර්කාව තහනම් කිරීමෙන් මේ කාන්තාවන් පාසල්වලට ගොස් අධ්‍යාපනය හැදෑරීම, බාහිර පන්තිවලට යාම, විශ්වවිද්‍යාලවලට යාම හා සමාජ මෙහෙවරවල යෙදීම නිමාවට පත්වනු ඇත. මෙය අනාගතයේ අපගේ සමාජයේ හරිඅඩක් වූ කාන්තාවන්ගේ සංවර්ධනය පමණක් නොව සමස්ත සමාජයටම නිසැකවම බලපෑමක් එල්ල කරනු ඇත.
පාස්කු බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව රූපවාහිනි වැඩසටහනකට සහභාගි වූ ඉස්ලාම් වියතකුගෙන් ෆුර්කාව අවශ්‍ය දැයි අසන ලද ප්‍රශ්නයකට ඔහුගේ පිළිතුර වූයේ “කාන්තාවන්ගේ ස්ථානය නිවසයි. ඔවුන් නිවෙස් තුළට වී සිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. ෆුර්කාව පිළිබඳ ගැටලුව මතුවන්නේ ඔවුන් නිවසින් පිටතට පැමිණෙන විටයි” යන්නයි. මුස්ලිම් සමාජයේ නියෝජිතයින් යැයි කියා ගන්නා ආගමික නායකයින්ගේ මුවින් මෙවන් පිළිතුරක් පිටවෙන්නේ නම් ෆුර්කාව තහනම් කිරීම මගින් පෙර සිටම විවිධ බාධා කිරීම්වලට මුහුණ දී සිටින මුස්ලිම් කාන්තාවන්තේ තත්ත්වය තව තවත් බරපතළ වනු ඇතැයි අප වටහා ගත යුතුයි. මේ කාන්තාවන් ගෙන යන අරගලයට අප සහය නොදුන්නද අපගේ පහසුව තකා එය විවේචනය කරමින් තත්ත්වය තව තවත් බැරෑරුම් නොකර සිටීමට අපට හැකිද? ෆුර්කාව අඳින කාන්තාවන් සිටින්නේ ඉතා සුළු පිරිසකි. ප්‍රමාණාත්මකව සුළු පිරිසක් වන බැවින් ඔවුන්ගේ තේරීම නොසලකා හැරීමට හැකිද? කරුණාකර කරදරයකට පත්ව ඇති කාන්තාවන් ත්‍රස්තවාදයට මුවාවී තවතවත් හිංසනයට ලක් නොකර සිටීමට උත්සාහ කරමුද?

ආරක්ෂක හේතුවක් ලෙස කරුණු දැක්වීමට කිසිම හේතුවක් නොමැති මෙම ෆුර්කා තහනම දේශපාලනමය කරුණක් බවත් එහි බලපෑම අපගේ මුස්ලිම් කාන්තාවන්ට බවත් අප අවබෝධ කර ගත යුතු නොවේද?

අනන්‍යතාව තහවුරු නොවන ආකාරයට මුහුණු ආවරණය කිරීම තහනම් කොට තිබීම ෆුර්කාව තහනම් කොට තිබීමක් යැයි අර්ථ දක්වා ඊට එරෙහි වූ පිරිස තමන් ලද ජයග්‍රහණයක් ලෙස එය සමරති. නමුත් අවාසනාවකට මෙන් විවිධ ජාතීන් ජීවත් වන රටක අර්බුදකාරී වාතාවරණයක නිසි අවබෝධයක් නොමැති කමින් හා ජාතිය කෙරෙහි වූ වෛරය හේතුවෙන් කන් ඇතුළු මුහුණ ආවරණය කිරීම තහනම් කොට ඇති බව අවබෝධ නොකර ගෙන පොදු ස්ථානවල හිජාබය මගින් (හිස පමණක් ආවරණය කිරීම) හිස ආවරණය නොකළ යුතුයි, සළුවෙන් හෝ ආවරණය නොකළ යුතුයි, එසේ වහගෙන ඇතුල්විය නොහැකි යැයි, රෝහල් ඇතුළු විවිධ ස්ථානවල නොයෙකුත් අකටයුතුකම් හා අඩන්තේට්ටම් මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව දියත් කොට තිබේ. (මටත් එසේ සිදු වූ නමුත් නීතිඥ වෘතියට හිමි වරප්‍රසාදය හා දේශපාලනය නිසා මාහට එය වලකා ගත හැකි විය. අනෙක් කාන්තාවන්?) වැදගත් කරුණ වන්නේ අනන්‍යතාව පෙන්වන ලෙස ඉල්ලා සිටීමේ බලය ලබා දී ඇත්තේ කාටද? අර්බුදකාරී මෙවන් තත්ත්වයක් තුළ මුහුණු ආවරණය නොකර හිස ආවරණය කරන කාන්තාවන් පවා සමාජය තුළ සිටින සියලු දෙනා වගකිව යුතු අය ලෙස පත්වී මුස්ලිම් කාන්තාවන්ගේ සළුව ගලවන ලෙස අණ කරන විට අපට කළ හැක්කේ කුමක්ද?