චම්පිකගේ සහරාන් රතන හිමිද?

ටිරන් කුමාර බංගගමආරච්චි

එදා ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා දළදා මාලිගය ඉදිරිපිට ගිනි තබා ගත් භික්ෂුව මෙදා, දළදා මාලිගය ඉදිරිපිට උපවාස කළ රතන හිමිට වඩා උතුම් බව කිව යුතුය. ඒ අන් හේතුවක් නිසා නොව, ඒ භික්ෂුව අන් අයට හානියක් නොකොට තමන්ම ප්‍රශ්නයේ කෙළවර දුටු බැවිනි. එහෙත් රතන හිමි කළේ තමන් ගිනි තබා ගනු වෙනුවට මුස්ලිම් ජාතියටම ගිනි තැබීමය. මේ ගින්න නිවීම ලේසි නොවනු ඇත.

ලංකාව සතු භයානකම ආයුධය කුමක්ද යන්න කෙනෙකු ප්‍රශ්න කළහොත් දිය හැකි හොඳම පිළිතුර ‘සිවුර’ යන්නය. මෑත කාලයේ ‘සිවුර’ තරම් මෙරටට වින කටින වෙනත් කොඩිවිනයක් නැති තරම්ය. සිවුර නොවන්නට රතන මෙන්ම ඥානසාර සෙසු නාමධාරී භික්ෂූන්ද නිකම්ම නිකම් හිස් චරිත පමණි. දේශපාලනඥයකු උපවාස කළැයි මිනිස්සු කුලප්පු වේද? මියදෙන්නට ඉඩ හැර බලා සිටිනු නියතය. එහෙත් ඕනෑම තක්කඩියකු සිවුරු ලා ගත් කල ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටෙති. ඒ නිසාම මෙරට සිවුරු ලාභියෝ මහා කෙරුමෝය. බලසම්පන්නයෝය. ඒ නිසාම විනාශකාරයෝය. දැන් කලෙක පටන් එළිදැක්වෙන්නේ එම විනාශකාරයන්ගේ ක්‍රියාය. ජනතාව එයින් හෙම්බත් වනු වෙනුවට ආශ්වාද ලබති. මේ ආශ්වාදය විනාශයක මුල බව නොදන්නා නිසාම රතන භික්ෂුව වෙනුවෙන් කිරිබත් ද කති. කිරිබත් කා සමරන්නට තරම් රතන හිමි කළේ කුමක්ද?

උපවාසයේ අරමුණු

කර්මාන්ත ඇමති රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර මොහොමඞ් ලෙබ්බෙ අලිම් හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන තිදෙනා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලීම රතන භික්ෂුවගේ උපවාසයේ ප්‍රමුඛතාවයය. ඊට දොස්තර සාෆි සහාබ්දීන්ගේ හුටපටයද ඇතුළත් කොටගෙන තිබුණි. ආණ්ඩුකාරවරු දෙදෙනා ඉවත් කළ පසු උපවාසය නතර වූයේ බදුයුදීන් සිටියද කම් නැති ගාණටය.

කෙසේ වෙතත් මෙම උපවාසයද සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් නියෝජිතයෝ සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ. මේ අනුව බලන කල රතන හිමි දිනුම්ය. එසේ නම් කල්පනා කළයුත්තේ රතන හාමුදුරුවෝ ක්‍රීඩා කළේ කා වෙනුවෙන්ද යන්නය. රතන භික්ෂුව දේශපාලනිකව පාඨලී චම්පිකගේ ගෝලයෙකි. මෑත කාලයේ දෙන්නා දෙපැත්ත මෙන් සිටියද දේශපාලනිකව එක පැත්තේය. චම්පිකගේ ගෝලයෝ නියම නූල් සූත්තරකාරයෝය. උග්‍ර ජාතිවාදියෝය. රතන ගත්තද ගම්මන්පිල ගත්තද දෙකම එකය. චම්පික ගත්තද එම බඩුමය. කොටින්ම ගහේ බඩුමය. මේ කල්ලියේ පොදු ලක්ෂණය නම් ගිහියෝ සාදුවරු මෙන්ය. සාදුලා ගිහියෝ මෙන්ය. හෙළ උරුමය උරුම කරගත් විශේෂ අනන්‍යතාව එයය.

කෙසේ වෙතත් රතන හිමිගේ උපවාසයේ සුවදුක් බලන්නට පාඨලී චම්පිකද පැමිණ සිටියේය. ඒ පරණ ගෝල බාලයා නිසා නොව තවමත් දරදිය අදින්නා නිසාය. රතන භික්ෂුව මේ කළේ චම්පිකගේ පිටපතට අනුව රඟපෑමය. මුස්ලිම් ඇමතිවරුන්ට කලින් චම්පික සිය තනතුරුවලින් ඉවත් වනු ඇතැයිද ඉවත්ව මහා සුදනා වනු ඇතැයිද අපගේ උපකල්පනය විය. එහෙත් එයට ඉඩ නොතබා මුස්ලිම් පිරිස ආණ්ඩුවෙන් ඉවත් විය. එහෙත් රතන හිමිගේ සීමාව ඒ වන තෙක් වත් නොවීය. ව්‍යාජ උපවාස ව්‍යාජමය. එහෙත් එයින් වන හානිය විශාලය. උපවාසය ගැන කෙටියෙන් කියන්නේ නම් රතන භික්ෂුව යනු චම්පිකගේ සහරාන්ය. ගම්මන්පිලගේ සහරාන් උපාසක මධුමාධවය. මහින්දට සහරාන්ලා එමට සිටිති. ඒ අතර විමල් පෙරමුණේය.

මුස්ලිම් ප්‍රජාව

බදුයුදීන් යනු මුස්ලිම් ප්‍රජාවගේ ඉහළ ඡන්ද ලබන දේශපාලකයෙකි. සෙසු අයද මුස්ලිම් නියෝජිතයෝය. කොයි පිලේ සිටියද මේ ප්‍රශ්නය අරබයා ඔවුහු එකාවන්ව එකතු වූහ. බදුයුදීන්ට දේශපාලනිකව බැණ වැදුණු අසාද් සාලි මේ ප්‍රශ්නයේදී බදුයුදීන් වෙනුවෙන් උපරිමය කළේය. මුජිබර් රහුමාන් වුව එජාපය වෙනුවට මුස්ලිම් පිල පැත්තේ බව සහතිකය.
21 වැනිදා දැවැන්ත ප්‍රහාරයක් සිදුවුවද මෙරට සිංහල දේශපාලකයන්ට එකාවන්ව වැඩ කළ නොහැකිය. එකට කතා කොට එළියට පැමිණ විවිධ කතා කියති. රනිල් කුමක් කිව්වද මහින්ද පාර්ශ්වයට වැරදිය. අඩුම තරමේ ජනපතිට තමාගේ සියලු පව් කමා කරගෙන මෙම සිද්ධියෙන් පසුව හෝ ආණ්ඩුව සමග ශක්තිමත්ව ගමනක් යාමට ඉඩ තිබුණි. ඕනෑම විපතක් සැපතක් බවට පත්කර ගැනීමට වලිකෑම හැර සිංහල දේශපාලකයන්ට වෙන කිසිම වුවමනාවක් නොමැතිය. රතන හිමි මේ කරන්නේද එහිම දිගුවකි. උපවාසයේ අරමුණම සමස්ත මුස්ලිම් ජනයාට අපහාස කිරීමය. එය අපූරුවට සිදුවෙමින් පවතී.

කලක් දෙමළ ජනයා කොන් කළ සිංහලයා දැන් මුස්ලිම් ජනයා කොන් කිරීම පටන් ගෙන ඇත. යුද්ධ කොට දෙමළ ජනයා පරාද කළ අය දේශපාලනය කිරීමට දෙමළ ඡන්ද යදිති. අද මුස්ලිම් කොන් කරන සාමාන්‍ය මිනිසාගේ ඡන්දයෙන් එන දේශපාලකයන් පසුව බලය ලබාගැනීමට මුස්ලිම් නායකයන් ළඟ පින්සෙණ්ඩු වනු ඇත. බලය ඉදිරියේ දේශපාලකයා ආගමකට, ජාතියකට අයිති නැත. ඔක්කොම එක වල්ලෙ පොල්ය.

මේ දිනවල කුමන කෙළි පැවතියද, ඡන්දවලදී සැවොම දෙමළ, මුස්ලිම් ඡන්ද හිඟනු ඇත. මහින්දලා කෙසේ හෝ බෞද්ධ ඡන්ද මතම යැපෙන්නට දත කනු ඇත. කුමන හේතු මත හෝ තවමත් දෙමළ ජනයාට මුස්ලිම් අයට පුංචි හෝ සහනයක් ඇත්තේ එජාපය තුළය. එය ලොකු රැකවරණයක් නොවූවද සාපේක්ෂව තනිව වසන්නට බැරි ඔවුන්ට එජාපය හොඳ හුස්මක්ය. එජාපය තුළ වුව මේ තත්ත්වය පවතිනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ සිටින තාක්ය. ඉන්පසු සජිත්ලා යටතේ එවැන්නක් බලාපොරොත්තු විය හැකිද? මෙහිදී සජිත් උපමාවට ගත්තේ ඊළඟ එජාප නායකයා ඔහුය යන්නට කියනවාට වඩා කවුරු වුව රනිල්ගෙන් පසු එන කෙනා සජිත් පන්නයේ පතෝල විය හැකි බැවිනි.

ඡන්ද

රැවුල ගිනි ඇවිළෙද්දී සුරුට්ටු පත්තු කරන්නට මේ දේශපාලකයෝ උපන් හපනුන්ය. සහරාන්ලාගේ සිද්ධිය අමතක වන්නට පෙර ඡන්ද පවත්වන්නට සැවොම උත්සාහයකය. ඒ එහි උපරිම වාසිය බෙදා ගන්නටය. එයින්ද ප්‍රමුඛතාව ජනාධිපතිවරණයය. ජනපති සිරිසේන සහරාන්ලා විනාශ කිරීම සියතට ගත්තද? දැන් අගමැති රනිල් වික්‍රමසිංහද ඒ සටන් පාඨයටම බැස ඇත. ප්‍රහාරයේ වගකීම සමස්ත ආණ්ඩුවම භාරගත යුතු නම් එය මැඬලුවහොත් මුලින් උදුරා දැමුවහොත් එහි වගකීමද ආණ්ඩුවටමය. ඒ අනුව සිරිසේනට මෙන්ම රනිල්ට ද සියල්ල අයිතිය. මේ නිසා සැවොම ජනපති සටන තෙක් ඇඟිලි ගනිනුයේ රහසිගත මෙහෙයුම් කන්දරාවන් දියත් කරමින්ය. සැවොම අවසානයේ සැමට බයය. සිරිසේන ඉන්දීය මාධ්‍යයට කියනුයේ සෙසු පක්ෂ තවම ජනපති අපේක්ෂකයා නම් කර නැති නිසා තමාටද හදිසියක් නැති බවය. ඔහු සිතනුයේ මල්පෝච්චියක් මෙන් ඔහුව ඔසවාගෙන ගොස් කුමන හෝ පක්ෂයක් සාලයේ තබා ගනු ඇතැයි යන්නය. එහෙත් එය දැන් අවලංගුය. සිරිසේන කර තබාගෙන යන්නට කවුරුත් කැමති නැත. එජාපය ඒ මෝඩකම කිසිසේත්ම නොකරනු ඇතිය. මහින්ද වුව එය කරතැයි දැන් දැන් සිතිය නොහැකිය. ඒ කෙසේ වුව සිරිසේන තරගයට ඉදිරිපත් වන එකත් මේ වනවිට ස්ථිරය. ඒ සඳහා ඔහු ඔහු පන්නයේම තක්කඩි රැළක් සොයා ගනු නියතය.

ආවොත් කරු

මේ අතර හොඳම තේරීම වන්නට මාන බලන කතානායක කරු ජයසූරියත් මාධ්‍යයට පැමිණ තම අනාගත බලාපොරොත්තු වමාරා ඇත. ඒ අතර ජනපතිකම ගැන බව පෙනේ. ජනතාව ඉල්ලන්නේ නම් තමන් කැමතියි යන දේශපාලන පොදු වාක්‍ය ඔහුද මුමුණමින් සිටී. ඔහුට වඩා පබාට කැමති වූ ජනතාවක් සිටි රටක අද ඔහු නියම තේරීම වී ඇත්තේ පුරවැසි සංවිධාන කිහිපයකටය. එය ඒ අයගේ අයිතියකි. එහෙත් කරු යන්න හදන්නේ රනිල් පෙරළාගෙනය. ප්‍රශ්නය එජාපය නැතිව පොදු අපේක්ෂකයකුට ගමනක් කොහිද යන්නය. ඕනෑම අයකුට දිනන්න නම් එජාප ඡන්ද වුවමනාය. සිරිසේනට අමතක වුවද සිරිසේන දින්නේ එජාප ඡන්දවලිනි. ඒ රනිල්ගේ ආශිර්වාදය මතය. එසේ නම් කරුට වුව එන්නට වන්නේ රනිල්ගේ කැමැත්ත මතය. අනෙක් අතට කරුට කළ හැකි දෙයක් නැත. 19 සමග බලසම්පන්න අගමැතිය. එසේ නම් ජනාධිපතිවරණයට කවුරු පොර කෑවද අවසානයේ මස්කට්ට ඉතිරි වන්නේ අගමැතිටය. මේ අනුව කපටි සෙල්ලම තෝරාගෙන ඇති කපටියෝ දෙන්නා රනිල් සහ මහින්දය. මේ දෙපළ සොයනුයේ තමන්ට අගමැති වන්නට රූකඩ ජනාධිපති කෙනෙක්ය. මොන රූකඩය වුව නටවන නූල් ඇත්තේ මේ දෙපළ අතේය. කාට ජනපති වන්නට වුව මේ දෙපළ වුවමනාය. ඉදිරි දේශපාලනය රැඳෙනුයේ පක්ෂ මත නොව මේ පුද්ගල සාධක දෙක මතය. පක්ෂ යනු මේ පුද්ගල චරිත දෙකමය.

ඒ බව අවබෝධ කර නොගෙන වීරවංශ, ගම්මන්පිල, ගෝඨා ගෙන ඒමත් සිවිල් සංවිධාන කරු ගෙන ඒමත් දෙකම එකය. මන්ත්‍රීකම් නොමැති වුවද සිවිල් පුරවැසි ප්‍රධානීන් කරන්නේද විමල් – ගම්මන්පිල පන්නයේම වැඩය. එනම් කාව හෝ කර තබාගෙන තමන් රැකීමය. සැවොම සහරාන්ලා හදා ගැනීමට උපරිමය කරන අතර සමහරු නොදැනීම සහරාන්ලා වෙති. පුපුරාගෙන නොමැරුණද සහරාන්ලා රට හැම තැනමය. එයට ඇත්තේ අරමුණුවල වෙනස පමණි.