අයාලේ ගිය විකිරණ ආරක්ෂාව

නිමල් අබේසිංහ

න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යය (Nuclear, Radio Active Material)  ස්වාභාවික පරිසරයේ පවතින ද්‍රව්‍යයන්ය. තෝරියම්(Thorium), යුරේනියම් (Uranium), පොටෑසියම් (Potacium)  එවැනි විකිරණශීලී ද්‍රව්‍ය වේ. මෙයට අමතරව කෘත්‍රීමවද මේ ද්‍රව්‍ය සැකසිය හැකිය. මේවා කර්මාන්ත, වෛද්‍ය, අධ්‍යාපන හා පර්යේෂණ කාර්යන්හිදී යොදා ගැනෙයි. එහෙත් ඒවා පාවිච්චි කළයුත්තේ ප්‍රවේශමෙන් හා ආරක්ෂාකාරීවය. මේවා මහජන යහපත මෙන්ම මහජන විනාශයටද යොදාගත හැකිය. සිහිබුද්ධියෙන් යුත් මොළයක් ඇති අයකු ඒවා විනාශකාරී දෙයකට පාවිච්චි නොකරතත්, අයි.එස්.අයි.එස්. වැනි අන්තවාදී සංවිධාන විසින් මේවා යොදාගෙන විනාශයන් කිරීමේ ඉඩකඩ තිබේ. සරල උදාහරණයක් ලෙසින් කොබොල්ට්-60 (Cobolt-60) විකිරණශීලී ද්‍රව්‍ය පිළිකා ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. ඒ ඉතා සුළු මාත්‍රාවකිනි. එවැනි ප්‍රතිකාරයක් ලැබූ පිළිකා රෝගීන්ට ඇතිවන සංකූලතා අපි දැක ඇත්තෙමු. සුළු මාත්‍රාවකට ප්‍රතික්‍රියා වශයෙන් හිසකෙස් වැටීම, සම කළුපැහැ ගැන්වීම වැනි දේ සිදුවේ නම්, මේවා විශාල වශයෙන් පරිසරයට මුදාහැරියොත් සිදුවිය හැකි විනාශය අතිභයංකර විය හැකි බව අමුතුවෙන් සිතිය යුතු නොවේ.

එබැවින් මේවා රටක් තුළ භාවිත කළහැක්කේ නීත්‍යනුකූලව බලයලත් මෙන්ම අවසරලත් පිරිසකට පමණි. ඒවා අධ්‍යාපන, කර්මාන්ත, වෛද්‍ය පර්යේෂණ, කෘෂිකාර්මික, පුරාවිද්‍යා වැනි ක්ෂේත්‍රයයන් විය හැකිය. න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් නීතිරීති රෙගුලාසි මෙන්ම ප්‍රඥප්තීන්ද වේ. මේ වෙනුවෙන් පිහිටුවා ගත් ආයතනය වන්නේ ජාත්‍යන්තර පරමාණුබල ඒජන්සියය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන මෙය ඔස්ටි්‍රයාවේ වියානාහි පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාව තුළ විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය කටයුතු නියාමනය, පාලනය සහ අධ්‍යයනය වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනය වනුයේ පරමාණුක බලශක්ති නියාමන සභාවය. මෙයට අමතරව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයද ස්ථාපිත කර ඇති අතර එමගින් සිදුවන්නේ විකිරණ හා විකිරණශීලී ද්‍රව්‍ය රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමය. ඇමරිකන් විද්‍යාඥයන්ගේ ෆෙඩරේෂණය විසින් සිය වෙබ් අඩවිය වන  https://www.org/donate න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත කර ඇත. එහිදී ඔවුන් අනාගතයේදී ලෝකයේ විකිරණ ත්‍රස්ත ප්‍රහාර සිදුවිය හැකි බවට උපකල්පනය කරන අතර ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක්ද සකස් කර ඇත.(Global Threat reduction intitative efforts prevent radioloical terrorism) විකිරණ ත්‍රස්තවාදයෙන් ගෝලීය තර්ජනය වළක්වා ගැනීමේ මූලික ප්‍රයත්නය.

මේ ත්‍රස්ත ක්‍රියා රසායනික, ජීව, විකිරණශීලී (Chemical, Biological, Radiological, Nuclear) ප්‍රහාරයන් සිදුවිය හැකි බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. මේ අනුව ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වැනි විකිරණශීලී ද්‍රව්‍ය භාවිත කරන එහෙත් ඒ වෙනුවෙන් නිසි ආරක්ෂණ ක්‍රම යොදාගෙන නැති රටවල විකිරණශීලී ද්‍රව්‍ය මනා ආරක්ෂාවකින් යුතුව ගබඩා කිරීම සහ ප්‍රවාහනය, පරිහරණය සම්බන්ධයෙන් ගත යුතු ආරක්ෂණ ක්‍රමවේද සකස් කර ගැනීමට සහයෝගය දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අනුව 2012 වසරේදී ශ්‍රී ලංකා රජය සමග ඇමරිකාව ගිවිසුමකට එළැඹ ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව තුළ විකිරණශීලී ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන සහ පරිහරණය කරන ස්ථාන මෙන්ම ප්‍රවාහනයේදී ආරක්ෂාව සැපයීම යන කරුණු කෙරෙහි අවධානය යොමුකර ඒවාට ආරක්ෂක උපකරණ සවිකිරීමට අවශ්‍ය ආධාර සැපයීමට ඇමරිකාව ක්‍රියාත්මක වී තිබේ.
මෙම උපකරණ සවිකිරීම සඳහා කැඳවූ ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ ශ්‍රී ලාංකික සමාගමක් වන සර්ටිස් ලංකා සමාගමටය. එම සමාගමේ නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ මුස්තාප් හෆීල් නමැත්තෙකි. පසුව මෙය සර්ටිස් ලංකා සමාගමෙන් බැහැරව හෆිල් විසින් පිහිටුවා ගන්නා ලද ඵලයිඞ් නමැති සමාගම සතු කරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එවකට පරමාණු බලශක්ති අධිකාරියේ එච්.එල්. නිහාල් රංජිත් නමැති නිලධාරියා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් සහභාගි වන අතර ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවය කළ අතුල දව්ලගලද සහභාගි වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන භූමිකාවන් තුන වනුයේ එච්.එල්. නිහාල් රංජිත්, මුස්තාෆ් හෆීල් සහ සහකාර පොලිස් අධිකාරි අතුල දව්ලගලය. මෙහිදී අතුල දව්ලගල ව්‍යාපෘතියට සම්බන්ධ කරගනුයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂක අංශ නියෝජිතයකුද අනිවාර්යයෙන් සම්බන්ධ කරගත යුතු බවට ඇමරිකන් රජයේ කොන්දේසියක්ව තිබීම හේතුවෙනි. එමෙන්ම මෙහිදී තවත් වැදගත් ප්‍රශ්නයක් මෙන්ම සැකයක්ද මතුවේ. ඒ සර්ටිස් ලංකා සමාගමට දී තිබූ එම ටෙන්ඩරය හෆීල්ගේ එලයිඞ් සමාගමට ලැබුණේ කෙසේද යන්නය. එය ඍජුවම ඇමරිකා රජය වෙතින් ලබාගත්තේද? නැතිනම් සර්ටිස් ලංකා සමාගමෙන් අතුරු කොන්ත්‍රාත්තුවක් ලබාගත්තේද යන්නය. කෙසේ වුවත් මෙය බරපතළ සැකසහිත ගනුදෙනුවකි.

කලින් පරමාණු බලශක්ති අධිකාරිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවත් මේ වනවිට මෙම ව්‍යාපෘතියට අදාළව මෙහෙයවීම් කාර්යයන් සිදුවනුයේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවෙනි. එහි වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ එවකට පරමාණු බලශක්ති අධිකාරිය වෙනුවෙන් මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක වූ අනිල් රංජිත්ය.
මෙම ව්‍යාපෘතියට අදාළව තාක්ෂණික ආරක්ෂාව සපයා ඇති ආයතන ගණන 12කි. ඒ බැව් සඳහන් වන්නේ 29.05. 2019 දාතමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ටී.එස්.එස්. ශාන්තගේ අත්සනින් යුතුව, නිකුත් කර ඇති ලිපියකය. ලිපියේ සඳහන් පරිදි මෙම ව්‍යාපෘතිය යටතේ භෞතික ආරක්ෂාව ලබාදී ඇත්තේ මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල, යාපනය තෙලිප්පලෙයි මූලික රෝහල බියගම ගැමා මධ්‍යස්ථානය, බියගම ඇන්සල් ලංකා ආයතනය, කොළඹ 07 මානව පටක බැංකුව, පේරාදෙණිය භෝග පර්යේෂණ ආයතනය, කොළඹ 05 ආසිරි රෝහල, කටුනායක එයාර් ලංකා ආයතනය යන ස්ථානයන්ටය.

මෙයින් බියගම ඇන්සල් ලංකා ආයතනය මෙම ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක උපකරණ සවිකරගෙන නැති බව කියැවේ. ඒවා සවිකරගෙන ඇත්තේ ඇන්සල් ලංකා ආයතනයේ පෞද්ගලික වියදමින් බවද කියැවේ. අධ්‍යක්ෂ ටී.එච්.එස්. ශාන්තගේ ලිපිය අනුව ආයතන 12ක ආරක්ෂිත උපකරණ පද්ධති සවිකර ඇති බව සඳහන් වුවද එම ලිපියේ ඇමුණුමක සඳහන් වන්නේ විකිරණශීලී ද්‍රව්‍යයන් භාවිත කෙරෙන තවත් ස්ථාන කීපයක ආරක්ෂිත පද්ධති සවිකර නැති බවය. එම ස්ථාන ගණනින් 15කි. ඒවා මෙසේය. මහරගම, මහනුවර, ගාල්ල, බදුල්ල, අනුරාධපුර, යාපනය යන රෝහල් හයකි. එයට අමතරව පරමාණුක බලශක්ති අධිකාරියේ කොළඹ ස්ථාන දෙකක්ද, ගන්නෝරුව භෝග පර්යේෂණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, මිනිස් පටක බැංකුව කොළඹ, ඇන්සල් ලංකා ආයතනය, බියගම, සෙලින්කෝ රෝහල හා ආසිරි රෝහලය.
මෙම ස්ථානයන්හි භාවිත කෙරෙන විකිරණ ප්‍රභවයන් සභාවේ වර්ගීකරණය අනුව පළමු ගණයේ ඒවා එනම් බරපතළම ඒවාය. සෙලින්කෝ හෙල්ත් කෙයාර් රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් දෙවන ගණයේ විකිරණයන් තිබේ.

මෙම ලැයිස්තුව අනුවද බරපතළ ගැටලු පැන නගී. එනම් මෙම ස්ථානයන් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කළේ කෙසේද යන්නය. ආරක්ෂිත උපකරණ පද්ධති සවිකිරීම බලපත්‍රයක් ලැබීමට තිබිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියකි. දෙවැන්න මෙම ලැයිස්තුවේ සඳහන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය සතු කොබල්ට්-60 ප්‍රභවයන්, තැන්පත් කර ඇති ගබඩාවය. මේ වනවිට එවැනි ගබඩාවක්, එකී ස්ථානයේ පවත්වාගෙන නොයයි. 2014 වසර අග භාගය වනවිට මෙය වසා දමා ඇත. එයින් පෙනෙන කරුණ නම් මෙම තොරතුරු 2019 මැයිවලදී ඉදිරිපත් කළත්, ඒවා යාවත්කාලීන වී නැති බවය. නැතිනම් තොරතුරු ඉල්ලූ තැනැත්තාට නොමඟ යවන සුලු තොරතුරු ලබාදීමය. මෙය විෂය භාර ඇමතිවරයාට ලබා දුන්නේ නම් අනිවාර්යයෙන්ම ඒ තොරතුරු ඉදිරිපත් කිරීමේදී නගන ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව අසරණ වනු නියතය.

ඊළඟට පැන නගින බරපතළම ගැටලුව වනුයේ මෙය සවිකළ ආරක්ෂක පද්ධති පිළිබඳව කිසිම ලිඛිත තොරතුරක් නොවීමය. සවිකළ පද්ධතිවල ගුණාත්මක බව ඒවායේ ප්‍රමාණය, මූල්‍යමය වටිනාකම මෙන්ම නිසි රාජ්‍ය විගණනයක් සිදුව නොතිබීමය. අවම වශයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්තික නියාමන සභාවේ වාර්ෂික වාර්තාවල පවා මේවා ඇතුළත් කර නැත. එනිසා මේ ගැන සොයා බැලීමට විශේෂයෙන්ම විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට වගකීමක් තිබේ. ඒ ඔහු ගණන් භාර නිලධාරියා වීමය.

මෙම ව්‍යාපෘතියට රාජ්‍ය ආරක්ෂක අංශ සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ඇමරිකාව යෝජනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සම්බන්ධ වනුයේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායය. බියගම ගැමා මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය බියගමට නුදුරු ගෝනහේන කඳවුරට සම්බන්ධ කරන්නේ එහෙයිනි. එහෙත් එය අද දක්වා ක්‍රියාවිරහිතව පවතී. ඒ ගැන සොයා බලන්නේත් නැත. අනෙක් අතට මෙම ව්‍යාපෘතිය මගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීමේ දී ඇති ක්‍රමවේදයන් පිළිබඳව විශේෂ පුහුණුවක්ද ලබාදෙන අතර අමතරව අවශ්‍ය උපකරණද ලබාදී තිබේ.

එය පුද්ගල විකිරණාමිතික උපකරණය ලෙස හැඳින්වේ. ඉන් හැඟෙන්නේ මෙම ස්ථානයන්හි ආරක්ෂාවේ යෙදෙන සෙබළුන් ආයුධ සන්නද්ධව සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මේ අනුව විකිරණශීලී ප්‍රභවයත් ස්ථාපිත ස්ථානයන්හි ඒවා සම්බන්ධ දැනුම සහ පුහුණුවලත් සන්නද්ධ සෙබළුන් සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවය.
එනිසා එම වගකීම පැවරෙනුයේ පොලිස් විශේෂ කාර්ය බලකායටය. දැනට තිබෙන තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් මෙහි ස්ථානගත ආරක්ෂාවක් ලබා නොදේ. පැය හතරකට වරක් ස්ථානයට පැමිණ සංචාරක සටහන් පොත්හි සටහන් තබා යෑම පමණක් සිදුවේ. එය නම් පුදුම විහිළුවකි. බියගම ගැමා මධ්‍යස්ථානයේ ඇති විකිරණ ප්‍රභවයන් සොරා ගැනීමට කිසිවකුට යා නොහැකිය. ඒවා ආසන්නයට යන පුද්ගලයකු ක්ෂණිකව මියයෑම ස්වභාවයයි. ඇතැම් අයගෙන් ප්‍රති තර්ක නැගේ. මෙයට දියහැකි හොඳම පිළිතුරක් තිබේ. ඒ අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරය රටේ නායකයකුට පැවසූ විට කළා යැයි කියන ප්‍රකාශයයි. ඒ රට ගිහින් ඇවිත් බලමු යන්නය. මෙහිදී නැවතත් සිහිපත් කළයුතු වන්නේ විකිරණශීලී ප්‍රභව පැහැර ගන්නට පැමිණෙන තැනැත්තා සලකා බලන්නේ තම ජීවිතය ගැන නොව, එමගින් කළ හැකි විනාශය ගැන පමණක් බවය.

විකිරණ ප්‍රභවයන් ගැන කතා කරද්දී නියාමන සභාව වැඩි වශයෙන් සලකනුයේ 1 සහ 2 ගණයේ විකිරණ ප්‍රභවයන් ගැන අධ්‍යක්ෂ ශාන්තගේ කලින් සඳහන් කළ ලිපිය අනුව වැටහේ. අනෙක් ගණයන්හි එනම් 3, 4, 5 ගණයේ විකිරණ ප්‍රභවයන් ආරක්ෂා කළ යුතු බවට ඔවුන් සලකන බවක් නොපෙනේ. ඉන් හැඟෙන්නේ මේවායින් විනාශයක් සිදුකළ නොහැකි බවද? ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පිහිටුවා වසර තුනකුත් ගෙවී තිබියදී ඔවුන් පනතින් තමන්ට පැවරී ඇති වගකීම් හරිහැටි ඉටුකර නැති බව හොඳින්ම පැහැදිලිය. ඒ නියාමනයට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය නොකිරීමය. ඒවා සම්පාදනය කර ඇති බව ඔවුන්ගේ වාර්ෂික වාර්තාවල සඳහන් වුවත් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන නැති බැවින් නමට පමණක් සඳහන් කළ හැකි අප්‍රාණික ඒවාය.
මේවා දිනෙන් දින කල් දමන්නේ ඇයි? ප්‍රධානම කාරණය වන්නේ එවිට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය පරිදි ක්‍රියා කිරීමට ඉන් අවස්ථාව උදාවීමය. මේ සඳහා ඇති හොඳම උදාහරණය. මහරගම අපේක්ෂා රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහලට සපයනු ලබන කොබල්ට්-60 වර්ගය විකිරණ (සභාවේ වර්ගීකරණය අනුව අංක 1 ගණයේ) කැලණිය නුංගමුගොඩ කන්ටේනර් අංගණයක රඳවා තැබීමය. එසේ නම් මෙම ස්ථානයට ඒවා රඳවා තැබීමේ බලපත්‍රයක් නිකුත් කර තිබිය යුතුය. බලපත්‍රයක් නිකුත් කිරීමට නම් අනිවාර්යයෙන්ම ආරක්ෂක පද්ධති සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ සන්නද්ධ ආරක්ෂාව තිබිය යුතුය. සර්ටිස් ලංකා ආයතනය සතු යැයි සැලකෙන මෙම ස්ථානයට එවැනි බලපත්‍රයක් නිකුත් කර නැත. ඊළඟ ප්‍රශ්නය වන්නේ මේවා කැලණියට ප්‍රවාහනයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාගැනීමය. මෙහිදී විකිරණශීලී ප්‍රභව තැන්පත් කරන ස්ථානයට බලපත්‍ර තිබේද? විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා තිබේද? අවම වශයෙන් මුර සංචාරයක්වත් සිදුවේද යන්න සහතික කරගැනීම ඔවුන්ට පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමකි. මේවාට සරල පිළිතුරු ලබාදීමෙන් පමණක් බලධාරීන්ට ගැලවිය නොහැකිය.

පරමාණුක බලශක්ති නියාමන සභාව කොළේ වසා ගහන තවත් ඩබල් ගේමක් හෙළිදරව් කිරීමට අපට හැකිය. එයද එළියට එන්නේ අධ්‍යක්ෂ ශාන්තගේ ලිපියෙන්ය.
ශ්‍රී ලංකාව තුළ විකිරණශීලී ප්‍රභවයන් වෛද්‍ය ප්‍රතිකාර, කර්මාන්ත අවශ්‍යතා, පර්යේෂණ අධ්‍යාපන කාර්යයන් සඳහා භාවිත කෙරෙයි. සියලු විකිරණශීලී ප්‍රභවයන් රජය සහ පෞද්ගලික අංශ විසින් භාවිත කරන අතර එම ආයතන 1969 අංක 19 දරන පරමාණු බලශක්ති අධිකාරි පනතේ විධිවිධාන යටතේ පරමාණු බලශක්ති අධිකාරිය විසින් බලපත්‍ර ලබාදී තිබේ.

මෙමගින් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන අධිකාරිය තවමත් විකිරණ ප්‍රභවයන් ආශ්‍රිත නියාමනයන් කරනුයේ 1969 අංක 19 දරන පරමාණු බලශක්ති අධිකාරිය පිහිටවූ පනතේ ප්‍රතිපාදනවලින් බවය. නියාමන රෙගුලාසි සැකසීම ප්‍රමාද කිරීම සඳහා නිදහසට කරුණක් ලෙස අධ්‍යක්ෂ ජනරාල් නිහාල් රංජිත් දක්වන්නේ නව පනතේ 90 වගන්තියේ (ඒ) උප වගන්තියය. එම වගන්තිය අනුව ඔහුට පැරණි පනතේ නියෝග ක්‍රියාත්මක කළ හැකිය. ඔහු රෙගුලාසි සම්පාදනය ප්‍රමාද කරනුයේ එයට මුවාවෙමිනි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතී වසර හතරකුත් ගෙවී ඇත.

අවසාන වශයෙන් කිවයුත්තේ නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පරදුවට තබන්නේ රටේ සමස්ත ප්‍රජාවගේම ජීවත්වීමේ අයිතියය. එයට වගකිවයුතු තවත් පාර්ශ්වයන්ද සිටී. සමස්තයක් ලෙස ගතහොත් එය ආණ්ඩුකරවන ඉහළම ඇත්තාගේ සිට මුළු පාර්ලිමේන්තුවත්, මෙයට වගකිව යුතුය. අප්‍රේල් 21 සිද්ධිය වැනි දේවල් සිදුවී තිබෙද්දීත් ඔවුන්ගේ ඇස් පියවී තිබීම කාගේ දෝෂයක්ද?

 

විනාශයන් සිදුවිය හැකියි
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය
එස්.ආර්.ඩී. සොයිසා

රෝහල්වල ගැමා කිරණ පාවිච්චි කරන්නේ පිළිකා ප්‍රතිකාර සඳහායි. මේවා නිරෝගී මිනිස් සිරුරට ඇතුළු වුණොත් ශෛල විනාශ වෙනවා. එහෙත් එය එක්වරම දැනෙන්නේ නෑ. කාලයක් ගිය පසුයි රෝග ලක්ෂණ දැනෙන්නේ. මෙවැනි තැන්වල සේවය කරන අයවත් මාසෙකට වතාවක් පරීක්ෂාවකට ලක් කරනවා. ඒ අයගේ සිරුරුවලට බලපෑම් ඇතිවෙලාද කියල බලන්න. එසේ ඇතුළුවෙලා තිබෙනවා නම් ඒ අයට දැනුම් දෙනවා. බියගම ගැමා මධ්‍යස්ථානයේ සහ ඇන්සල් ලංකා ආයතනය භාවිත කරන්නේ කොබොල්ට් -60 වාගේ බරපතළ විකිරණ ප්‍රභවයන්. ඒවාගේ තැනකට ලේසියෙන් කෙනෙකුට යන්න නොහැකි වුවත් කිසියම් විනාශයක් සිද්ධ කළොත් පරිසරයටත් ජනතාවටත් සිදුව හානිය ඉතාම බරපතළ විය හැකිය.

අනතුරු සංඥා හදන්න තව මාස හයක් යනවා
පරමාණ බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්
එම්.එල්. අනිල් රංජිත්

 

විකිරණශීලී ප්‍රභව භාවිත කරන පෞද්ගලික ආයතන පිළිබඳව බුද්ධි වාර්තාවක් ගන්නවද?

බුද්ධි වාර්තා අවශ්‍ය වන්නේ නැහැ. අවිශ්වාසයක් තිබෙනවා නම් විතරයි එහෙම ඕනෙ වෙන්නෙ.

ඇන්සල් ලංකා ආයතනයේ හදිසි අනතුරු සංඥා පද්ධතියක් නැති නිසා බලපත්‍රයක් දුන්නෙ කොහොමද?

ඇන්සල් ලංකා ආයතනයේ එලාම් සංඥා කුලුන අනුමත කර නෑ. මේ සියලු ඒවාට සම්බන්ධ සංඥා කුලුනු සම්බන්ධ කරන්නෙ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරෙයි. ඒකට තව මාස හයක්වත් යයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග එම්.ඕ.යූ. එකක් අත්සන් කරන්න ඕනේ. ඒක තවම අත්සන් කරල නෑ.

බලපත්‍රයක් ලබාදීමේදී නියමිත ආරක්ෂක උපකරණ සවිකර තිබෙන බවට තහවුරු කරගන්නවාද?

ඒක ඉන්ස්පෙක්ෂන්වලදි බලනව.

කැලණියෙ විකිරණශීලී ප්‍රභව රඳවා තබන ගබඩාවක් තිබෙනවාද?

කැලණියෙ ගබඩාවක් නෑ.

ඇමරිකා රජයත් සමග ඇති කරගත් ගිවිසුම අනුව ලංකාවේ විකිරණශීලී ප්‍රභවයන් භාවිත කරන, ගබඩා කරන ස්ථානයන් සඳහා සවි කළ ආරක්ෂිත උපකරණ ලැයිස්තුවක් තිබේද?
උපකරණ ලේඛනයක් නෑ. ඒක කළේ ඇමරිකා එක්සත් ජනපද රජයෙන්. අපි කළේ උදව් කරන එක. මෙය අවුරුදු 03ක් සඳහා ලබා දුන් ව්‍යාපෘතියක්. මේක මේන්ටේන් කරන්නෙ ඇමරිකාව. කාලය අවුරුදු 3ක්. අපි තව අවුරුදු 3කට කාලය දීර්ඝ කරන්න කියල ඉල්ලල තිබෙනව.

විකිරණශීලී ප්‍රභව භාවිත කරන ස්ථානවල හා ගබඩා කරන තැන්වල ආරක්ෂාවේ සිටින අයට පුද්ගල විකිරණ මිථික (P.R.D) ලබාදී තිබේද?

සන්නද්ධ ආරක්ෂකයන්ට (S.T.F) එකේ අයට 24ක් දීල තිබෙනවා.

නියාමන සභාව පත් කළ පසු එහි ප්‍රධාන වගකීමක් වන්නේ විකිරණශීලී ප්‍රභවයන්, භාවිතාව ප්‍රවාහනය සහ ගබඩා කිරීම පිළිබඳ රෙගුලාසි සෑදීමයි සභාව පිහිටුවා වසර හතරක් ගෙවී තිබියදීත් ඒවා සැකසීමට ඔබ අසමත් වූයේ ඇයි?

පැරණි පනතේ රෙගුලාසි තිබෙනවා. ඒවා ප්‍රමාණවත්. යේප්ටිවලට මේවා ප්‍රමාණවත්. සෙකියුරිටිවලට අදාළ රෙගුලාසි හදල ඇමතිවරයාට යවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විකිරණශීලී ප්‍රභවයන් ආරක්ෂා කරගැනීම අන් අය අතට පත්වීම වැළැක්වීම සඳහා ගතයුතු ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් ඔබලා ප්‍රමාණවත් වැඩ කොටසක් කර නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවේ විකිරණශීලී ප්‍රභවයන් අනාරක්ෂිතයි කියා අපි යෝජනා කළොත්?

නැහැ. අපි ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුව කටයුතු කර තිබෙනවා.