තුම්මෝදර හිත් තවමත් බියෙන්

නිමල් අබේසිංහ

“අපට ආරංචි වුණා අපේ ගමටත් ගහන්න එනවා කියල. අපේ ගම සිංහල අයගෙ ගම්වලින් වටවෙලා තිබෙන්නේ. ඒ වගේම අපේ ගමෙත් සිංහල අය ඉන්නවා. තනිකරම මුස්ලිම් ගමක් කියා කියන්නත් බැහැ. කොහොමහරි ගහන්න එනවා කියන ආරංචිය එනකොට ගමේ සිංහල අය අපට කීවා ඔයගොල්ලන්ට ගහන්න අපි ඉඩදෙන්නේ නෑ කියලා. ඒ අය එහෙම කීවත් අපි බයෙන් හිටියේ.” තුම්මෝදර මහ පල්ලියේ සභාපති ශිරාජිඩීන් මැයි 13 සිදුවීම කියන්නට පටන් ගත්තේ එසේය.

ශිරාජිඩීන්ලාගේ සිත්හි තිබූ බිය තහවුරු කරමින් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් පැමිණි තුන්හාර සීයක පිරිසක් පැමිණ පල්ලියට ගල්මුල්වලින් පහරදී යන්නේ පොලිසිය මෙන්ම යුද හමුදාවද බලා සිටියදීය. තුන්හාර සීයක් පැමිණියද පල්ලියට පහරදීමට පැමිණ ඇත්තේ පනහක හැටක පිරිසකි. ඔවුන්ද හෙල්මට් පැළඳ සිටි බැවින් ශිරාජිඩීන්ලාට ඒ කවුදැයි හරිහැටි හඳුනා ගන්නටද නොහැකි වී ඇත.

තිබෙන තොරතුරු අනුව නාත්තණ්ඩිය පැත්තේ සිට පැමිණි ප්‍රහාරකයන් පලවා හරින්නට තුම්මෝදරට පිවිසෙන පාලම අසල සිටි හමුදා සහ පොලිස් නිලධාරීන්ට අවස්ථාවක් තිබුණද ඔවුන් එසේ කරන්නට අසමත් වී ඇත. එය පැමිණි පිරිසේ ප්‍රමාණය වැඩිවීම නිසා පාලනය කරගත නොහැකි වූ නිසාද නැතිනම් නොසලකා හැරීම නිසා සිදුවූවක්ද යන්න අනාවරණය කරගත යුත්තේ ඒ ගැන පරීක්ෂණ පවත්වන්නවුන්ය.

තුම්මෝදර මුස්ලිම් දේවස්ථානයට පහර දුන් පිරිස යුද හමුදාවේ පැමිණීමත් සමග පලා ගියද වෙනත් මගකින් පැමිණ තුම්මෝදර කුඩා පල්ලියටත් ඒ අවට නිවෙස්වලටත් පහර දී බරපතළ හානි සිදුකර තිබේ.

එම පහරදීම නිසා එගමෙහි නිවෙස් දෙකක් මුළුමනින්ම පාහේ විනාශ වී තිබේ. ඉන් එක් නිවෙසක් බිමට සමතලා කර ඇති අතර අප එහි යද්දී සියල්ල ඉවත් කර නිවෙස් තිබූ ලකුණක්ද නැති හිස් ඉඩම් බවට පත් කර ඇත.

ඒ නිවසේ විසූ පාසල් සිසුවකු වන මොහොමඞ් හස්නි තමන් අත්විඳි බිහිසුණු මොහොත ගැන කීවේ මෙලෙසය.
මම නාත්තණ්ඩිය ජනාධිපති විදුහලේ වාණිජ අංශයෙන් උසස් පෙළ ඉගෙන ගන්නවා. මේක සිංහල පාසලක්. දහතුන්වැනිදා සවස පල්ලියට ගහනව කියල ආරංචියක් ආවා. අපි ගෙදරට වෙලා හිටිය. ටික වේලාවකින් අල්ලපු ගෙවල්වල ගේට්ටුවලට ගහනව ඇහුණා. ඊට පස්සේ අපේ ගේට්ටුවත් කඩාගෙන අපේ ගෙදරට කට්ටියක් කඩාගෙන පැන්නා. මම ඇඳ යටට රිංගුවා. අම්මල එහෙම බාත්රූම් එකට ගිහින් හැංගිලා ඉඳල තිබෙනවා.”

එසේ පැමිණි පිරිස නිවෙස් අල්මාරි කඩා එතුළ තිබූ රත්රන් බඩු හා මුදල්ද පැහැර ගත්හ. මොහොමඞ් සැඟවී සිටි ඇඳෙහි මෙට්ටය උඩට නිවැසියන්ගේ ඇඳුම් කීපයක් දමා ගිනි තැබූ බැවින් වෙන දෙයක් වෙතැයි සිතූ මොහොමඞ් ඇඳ යටින් එළියට එන්නේ ගින්දරෙන් පිළිස්සීගෙනය.
ගින්දර ඇවිළෙද්දී මම ඇඳ යටින් එළියට ආව. එතකොටත් මාව පිච්චිලා. බය නිසාම රෝහලට ගියෙත් නෑ. කලබල නැතිවෙලා ගියහම ගමේ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් බෙහෙත් ගත්තා. ඔහුගේ මුහුණේත් අත්වලත් පවතින පිළිස්සුම් කැළැල් තවමත් සුව වී නැති තරම්ය.
අදටත් මොහොමඞ් පාසල් නොයයි. සියලු ඇඳුම් පැළඳුම් මෙන්ම පොත්පත්ද විනාශවීම එයට එක් හේතුවකි. අනෙක් අතින් පාසලට ගොස් සිංහල මිතුරු මිතුරියන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න තවත් හේතුවකි.

පන්තියේ ළමයි කීපදෙනකුයි, එක් ගුරුවරයකුයි මාව බලන්න ආවා. ඒ අය කීවේ ඉස්කෝලේ එන්න කියලයි. නිල ඇඳුම් නැති නිසා ඒව මහන්න දීල තියෙන්නෙ. ඒවත් අරගෙන තව ටික දවසකින් ඉස්කෝලේ යනවා. ඔහුගේ වදන් හැසිරවීම තුළද ඇත්තේ විචිකිච්ඡාවකි. එමෙන්ම තැතිගැන්මකි.
මෙවන් ව්‍යසනයකදී පාසලක විදුහල්පති සහ ගුරුවරුන් ක්‍රියාකළ යුත්තේ කෙලෙසද? සිය ශිෂ්‍ය ප්‍රජාව මෙහෙයවිය යුත්තේ කොයිබටද? ඒවා ගැන අබමල් රේණුවක් තරමටවත් මේ අය සිතා නැති බවනම් සහතිකය. එසේ සිතුවේනම් සහජීවනය පිළිබඳ අපූරු පාඩමක් පාසලට පමණක් නොව රටටම කියා දෙන්නට මෙය අවස්ථාවක් කරගැනීමට හොඳටම ඉඩකඩ තිබුණි. අවාසනාව වන්නේ රටේ බොහොමයක් ගුරුවරුන් තවමත් සිටිනුයේ එළාර දුටුගැමුණු යුද්ධයේ වීමය.

තුම්මෝදර මැල්ලකැලේ ආර්.ජී. සුජීවනී චන්දිමා මෙම ගැටුමේදී සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටින්නීය. ඒ නිකරවැටියේ රේස් මල්ලිකා මෙන් මුගුරක් ගෙන මුස්ලිම් නිවෙස්වලට පහරදීමෙන් නම් නොවේ.

ඇය මුස්ලිම් ගැහැනු පිරිමි 14 දෙනකු සිය නිවසේ රඳවාගෙන ආරක්ෂාව ලබාදීමෙනි. එපමණකින්ද නොනැවතුණු ඇය ඇගේ අසල්වැසි මුස්ලිම් නිවසට ප්‍රහාරකයන් පහරදීමට පැමිණියද එයද උපක්‍රමයකින් වළකා ගෙන ඇත.

මට පුළුවන් තරමින් මගේ යුතුකම ඉටු කළා. කාගෙන්වත් ලාභ ප්‍රයෝජන ලබාගෙන නම් නොවෙයි. හැමදාම ඇයි හොඳයි කියාගෙන ඉන්න අල්ලපු ගෙදර අයට ගහනකල් ඇස් පියාගෙන ඉන්න බැහැනෙ. මේක කළා කියලත් සමහරු දොස් කියනවා. සමහර අය නම් මට ස්තුති කළා.” සුජීවා කියන්නීය. තුන් හාරසීයක සෙනඟක් අභිමුව සුජීවා නිර්භීතව මුසල්මානුවන් කුඩා දරුවන්ද ඇතුළුව දාහතර දෙනකු ආරක්ෂා කිරීමම කාලයේ හැටියට වීරකමක් නොවන්නේද?

“නෝම්බි ඇරලා රටඉඳි ඇටයක් අතට ගත්තා විතරයි. වෙඩි සද්දයක් ඇහුණා. සුජීවා නංගි දුවගෙන ඇවිත් අපිවයි අල්ලපු ගෙවල් දෙකේ අයවයි අඬගහගෙන එයාලගෙ ගෙදරට අරන් ගියා. අපි දාහතර දෙනෙක් එක කාමරයක එළිවෙනකල් හිටියා. එයා නොහිටින්න අපිටත් ගුටිකන්න තමයි සිද්ධ වෙන්නෙ.”
මැල්ලකැලේ ගමේ ඇවිදින විට අපට දැකගන්නට හැකිවූයේ යමක් කමක් ඇති උදවියගේ නිවෙස්වලට වැඩිපුර හානි සිදුවී ඇති බවය. මොහොමඞ් නස්නිගේ නිවෙස සහ ඔහුගේ සීයාගේ නිවස එබඳු ඒවාය. කොල්ලකරුවන් ඒ නිවෙස්වල තිබූ රත්රන් බඩු මෙන්ම මුදල් ද පැහැරගෙන ගොසිනි. කොතරම් හොඳ මිනිසුන් අතරේද නරක උදවියද සිටිති. හෙට්ටිපොළ සුනන්දගම විහාරස්ථානයේදී එබඳු නොමිනිසුන් කිහිපදෙනකුට මුහුණ දෙන්න සිදුවූ බව මෙහිදීද සිහිපත් වේ. එහිදී අපව නොරිස්සුවෝ සිංහල තරුණයන්ය.
මැල්ලකැලේදී අපට හරස් වූයේ මුස්ලිම් තරුණයෙකි. ඒ සුජීවනීගේ නිවෙස කොහේදැයි ඇසූ විටය.

“මොකටද එයා හම්බවෙන්නේ. එයා කතා කරන්නෙ හරියට අපි ඔක්කොම බේරගත්තා වගේනෙ. එහෙමනම් එයාට ඔක්කොම බේරගන්න තිබුණනෙ. එයා කොහොමද පත්තරවලට එක එක දේවල් කියන්නෙ, අපෙන් අහන්නෙ නැතිව.” ඒ තරුණයා අප ඉදිරියේ කියාගෙන ගියේය.
“ඔබේ ප්‍රකාශය ගැන තව ටිකක් කල්පනා කරන්න. එයා එක්කෙනෙක් හරි බේරගන්න එක ගැන ඔබ ඇයට ස්තුති කරන්න ඕනෙ නේද?” පෙරළා අපි පැවසීමු. මුසප්පුව ගිය මුහුණෙන් යුතුව ඔහු අපෙන් ඉවතට ගියේය.

අපට යළි සිහිපත් වූයේ තුම්මෝදර මහ පල්ලියේ සභාපතිවරයා පැවසූ කතාවකි.
“හාමුදුරුවො එහෙම ආරක්ෂක කමිටු පිහිටුවන්න කතා කළා. මම කීවා ඒක තව ටිකක් කල්දාමු කියල. මොකද කාගෙන් හරි කේන්තියෙන් වචනයක් පිටවුණොත් ඒක හරි නෑනේ.” මේ කතාව ඔස්සේ සභාපතිවරයා ඇඟවූයේ මෙවැනි තරුණයන් ගැනද?