ඡන්ද ප‍්‍රචාරක ව්‍යාපාරයක් වූ ආණ්ඩුවේ සමෘද්ධි මගඩිය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප‍්‍රධානතම අරමුණ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප‍්‍රජාව කේන්ද්‍ර කර ගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීම තුළින්, දිළිඳුබව තුරන්කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම යැයි හැඳින්වුවද සැබෑවටම ඉන් සිදුවූයේ විවිධ දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන ව්‍යාපාරයන් වෙනුවෙන් සංදර්ශන පැවැත්වීමට එය භාවිත කිරීම බව පැහැදිලිය. දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන්ම ක‍්‍රියාත්මක වන ව්‍යාපාර අතර සමෘද්ධි ව්‍යාපාරය ද ප‍්‍රමුඛය. මීට පෙර පැවති ආණ්ඩු කළාක් මෙන්ම යහපාලන ආණ්ඩුව ද දැන් කරමින් සිටින්නේ දිළිදුන්ට සමෘද්ධි සහනාධාර ලබාදීමේ මුවාවෙන් තම මැතිවරණ ව්‍යාපෘති වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුව සතු විශාල වත්කම් හිතුමනාපයේ වැය කිරීමය.
පවුල් ලක්ෂ 06කට සමෘද්ධි සහනාධාර හිමිකම් පත‍්‍ර බෙදාදීම වෙනුවෙන් වූ ජාතික උත්සවය පවත්වනු ලැබුවේ මැයි 30 වන දින අම්පාර නගර සභා ක‍්‍රීඩාංගණයේදීය. ”අලූතෙන් සිතමු දිරියෙන් නැගිටිමු” තේමාව යටතේ දිළිඳුකමේ හෙට දවසේ අභියෝග නිසැකවම හඳුනාගෙන එය ජය ගැනීම එහි අරමුණ බව සඳහන් කර තිබුණි. එම ජාතික උත්සවයට සමගාමීව දිස්ත‍්‍රික් මට්ටමින් හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද උත්සව ගණනාවක් ද පැවැත්වෙමින් තිබේ. දිගින් දිගටම මේවා හරහා පැහැදිලි වන්නේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් යැයි පවසමින් සමෘද්ධි ලබාදීම හුදෙක් දේශපාලන සංදර්ශනයක් බවත් එය වරින් වර පැමිණි ආණ්ඩු විසින් තම මැතිවරණ අරමුණු වෙනුවෙන් භාවිත කරන බවත්ය.

මුදල් අවභාවිත කිරීම්
මෙවර අලූතෙන් පවුල් ලක්ෂ 06කට සමෘද්ධි ප‍්‍රදානය වෙනුවෙන් දිවයින පුරා උත්සව පැවැත්වීමට වැය කරන මුළු මුදල රුපියල් මිලියන 300ක් බව වාර්තාවේ. මැතිවරණ ඉලක්ක කරමින් සිදුකරමින් සිටින මෙම සංදර්ශන සඳහා මුදල් පියවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ ද දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකුවල මුදල් සංචිතයන්ගෙනි. මේ වන විට අදාළ උත්සව පවත්වාගෙන ගියත් ඒවා වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබූ මුදල් පියවාගත නොහැකිව විෂයභාර අමාත්‍යවරයා මෙන්ම අදාළ පරිපාලන නිලධාරීන්ද දැඩි අර්බුදයකට පත් ව සිටිති. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර විසින් සියලූ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල වෙත 2019.05.29 සහ 2019.06.04 දිනැති ලිපි වලින් දන්වා යවා තිබුණේ මෙම උත්සව වෙනුවෙන් එම ලිපියේ දන්වා ඇති කාර්යයන් සදහා මුළු ඇස්තමේන්තු වටිනාකම් පදනම් කරගෙන තමන් විසින් සැලසිනේ ආයතනය සහ ජාතික තරුණ සේවා සභාව වෙත ඇණවුම් පිරිනමා ඇති බවය. ”මෙම කාර්යයන් කෙටි කාලසීමාවක් තුළ ඉටු කිරීමට සිදුව ඇති බැවින් ඒ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්තුමියගේ උපදෙස් සහ ගරු අමාත්‍යතුමන් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ලබාගෙන ඇති එකඟතාව අනුව රාජ්‍ය ආයතනයන් වන සැලසිනේ ආයතනය සහ ජාතික තරුණ සේවා සභාව මගින් මෙම කටයුතු ඉටුකර ගැනීමට අවසර ලැබී ඇත.” යනුවෙන් ද එම ලිපියේ සඳහන් කර තිබේ. එම ආයතන සඳහා ගෙවීම් එක් එක් දිස්ත‍්‍රික් සමෘද්ධි කාර්යාල විසින් සිදු කළයුතු බව ද එම ලිපියෙන් අවධාරණය කර තිබේ.
ඒ අනුව සැලසිනේ ආයතනය වෙත වේදිකා, වේදිකා සැරසිලි, ආවරණ, පුටු ඇතුළු අනෙකුත් උත්සව භාණ්ඩ සැපයීම වෙනුවෙන් සියලූ බදු ඇතුළත්ව රු. 4,983,373.20ක් මුදලක් ද, අලූතින් හිතමු දිරියෙන් නැගිටිමු පත‍්‍රිකා මුද්‍රණය සහ අනෙකුත් මාධ්‍ය ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් රු. 1,391,930.46 මුදලක් ද, ටී ෂර්ට් සැපයීම වෙනුවෙන් බදු ඇතුළත්ව රු. 2,837,193.75ක මුදලක් ද චෙක්පත් මගින් ගෙවිය යුතු බවත් ඊට අමතරව ජාතික තරුණ සේවා සභාවෙන් ලබාගත් සේවය වෙනුවෙන් රු.150,000.00 බැගින් වූ චෙක්පත් ගෙවිය යුතු බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා තිබේ. එම මුදල් එක් එක් දිස්ත‍්‍රික් සමෘද්ධි කාර්යාල විසින් ගෙවිය යුතු බැවින් ඒ සඳහා අදාළ දිස්ත‍්‍රික්කවල තිබෙන සමෘද්ධි බැංකු හරහා ගෙන්වා ගැනීම අරමුණ වී තිබුණි. ඒ අනුව එක් සමෘද්ධි බැංකුවකින් රුපියල් ලක්ෂ දෙක බැගින් ප‍්‍රධාන ගිණුමට බැර කිරීමට ඉල්ලීම් ලැබී තිබුණි. එම ඉල්ලීම බැංකු කළමනාකාරීත්වය ප‍්‍රතික්ෂේප කිරීම නිසා මේ වෙනුවෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා හා අමාත්‍යවරයා සමෘද්ධි බැංකුවල කළමනාකරුවන්ට දැන් බලපෑම් කරන තැනකට පත්ව තිබෙන බව වාර්තාවේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම ලිපි නිකුත් කරමින් මෙම මුදල් දිස්ත‍්‍රික් ලේකම් සතු ගිණුමට බැර කරන ලෙස ඉල්ලීම් කරමින් සිටී. එහෙත් මේ වන විට සමෘද්ධි කළමනාකරුවන් සිටින්නේ අදාළ මුදල් බැර නොකිරීමේ තීරණයකය. මුදල් පියවා ගත නොහැකිවීමේ වියරුව තව නොබෝ දිනකින් ගැටුමක් දක්වා වර්ධනයවීමේ ඉඩකඩ තිබේ. ඒ හේතුවෙන් සේවක ස්ථාන මාරු කිරීම් ආදී සියල්ල සිදුවීමටද ඉඩ තිබේ. ”ගමේ සමෘද්ධි බැංකුව නියෝජනය කරන ප‍්‍රජාව විසින් එක් ගමකට සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. එම සභාපතිවරු සමෘද්ධි බැංකුවේ කළමනාකරු ප‍්‍රමුඛව මාසයකට වරක් රැුස්වීමක් පවත්වනු ලබනවා. සමෘද්ධි බැංකුවේ සියලූ වියදම් සම්බන්ධව අනුමැතීන් ගනු ලබන්නේ එහිදීයි. මෙයත් එවැනි කරුණක්. පාලක මණ්ඩලයට මෙය ඉදිරිපත් කළාම ඒකෙදී ප‍්‍රකාශයට පත්වුණේ මේ වියදම් නිශ්ඵලයි, ඊට වඩා ඵලදායී දෙයක් වෙනුවෙන් එම මුදල් යෙදවිය යුතු බවයි. හැම බැංකුවක්ම ඒ විධියේ තීරණයකට ඇවිත් ඉන්නවා.” ඒ සමෘද්ධි බැංකු කළමනාකරුවෙකු අපට පැවසූවකි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශයේ අධ්‍යක්ෂගේ අත්සනින් යුතු අනුමැතිය මෙවැනි කටයුතුවලදී ලැබිය යුතු වුවත් ඒ සඳහා එම අධ්‍යක්ෂවරයා ද අත්සන් කර අනුමැතිය ලබාදී නොතිබුණි. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එය කමිටුවට ඉදිරිපත් කර තිබෙන්නේ එසේ තිබියදීය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අංශයට අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජුනි 11 වන දින ද උපදෙස් ලබා දී තිබුණේ එක් එක් සමෘද්ධි කළමනාකරුවන් විසින් එක් එක් දිස්ත‍්‍රික්කයේ වගකීම බාරගෙන ඒ දිස්ත‍්‍රික්යේ පිහිටි සමෘද්ධි බැංකුවලට වෙන වෙනම කතා කර අදාළ මුදල් කඩිනමින් බැරකර ගැනීමට කටයුතු කරන ලෙසය. එහෙත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට එලෙස සමෘද්ධි බැංකුවලින් මුදල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් නොමැති වුවත් දෙපාර්තමේන්තුවේ මුදල් පරිහරණය කිරීමට අමාත්‍යවරයා එලෙස උත්සාහ කරනුයේ ඔහුට පළපුරුද්දෙන්ම වෙළෙඳාම පිළිබඳ තිබෙන මනෝභාවය හේතුවෙන් විය හැකිය. එහෙත් දෙපාර්තමේන්තුවේ ඉතා සුළු මුදලක් වුවද වියදම් කළ හැකිවන්නේ පාලක මණ්ඩල අනුමැතියක සහිතව මිස එසේ නොමැතිව අමාත්‍යවරයාගේ හෝ අධ්‍යක්ෂ ජනාරාල්වරයාගේ හිතුමනාපයට නොවේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ මැයි 30 වන දින උත්සවය වෙනුවෙන් ටී ෂර්ට් 125,000ක ඇණවුම සැලසිනේ ආයතනයට ලබා දී තිබුණේ මැයි 29 වනදා බවත් ඊට කිසිදු ටෙන්ඩර් පටිපාටියක් ද නොතිබුණු බවය. මැයි 30 වනදා උත්සවය වෙනුවෙන් ටී ෂර්ට් 125,000ක් ද රැුගෙන ගොස් ඇත. එම ටී ෂර්ට් සකස් කරන ලද ඇඟලූම් කර්මාන්ත ආයතනයක නාමයක් හෝ ඒවායේ සඳහන් නොවන අතර එම ටී ෂර්ට් වෙනුවෙන් දරන ලද මුදල ද හැකි ඉක්මනින් අදාළ පාර්ශ්වයට ගෙවීමට ඇමතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සාහ කිරීම නිසා එම ඇණවුම පිළිබද ද සැකයක් පවතින බවද එම නිලධාරියා කීය.

මැතිවරණ ප‍්‍රචාර
ඊට අමතරව එම උත්සවයට ප‍්‍රචාරණය ලබාදීම වෙනුවෙන් මෙරට සමෘද්ධි බැංකු 1074ම ඉදිරිපිට දැවැන්ත ප‍්‍රචාරක පුවරු ඉදිකරන ලෙස සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් විසින් දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව දන්වා තිබුණේ 2019.05.27 දිනැති ලිපියකිනි. ඒ ආකාරයේ එක් පුවරුවක් ඉදිකිරීම සදහා රු. 50,000කපමණ මුදලක් වැයවෙනු ඇතැයි සමෘද්ධි බැංකු කළමනාකරුවකු අප සමග පැවසුවේය. අඩි 5 × 10 ප‍්‍රමාණයෙන් කල්පවතින ලෙස රාමු සහිතව, ඒවා රඳවන යකඩ Box bar (0-1)″ x (0-1″) සහ විෂ්කම්භය 11/4 වන GI බට කොන්ක‍්‍රීට් දමා පොළොවට සවිකරන ආකාරය දැක්වෙන දළ සැලැස්මක්ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා යොමු කළ ලිපියට අමුණා එවා තිබුණි. ජනාධිපති සහ අගමැතිගේ කුඩා ඡුායාරූප දෙකක් සහ දයා ගමගේ අමාත්‍යවරයාගේ විශාල රුවක්ද සහිතව ඉදිකළ යුතුව තිබූ එ පුවරුවේ ආදර්ශකයක්ද ඒ සමගම අමුණා එවා තිබුණි. සමෘද්ධි බැංකු කළමනාකරුවන් එම පුවරු ඉදිකිරීමට ද විරෝධය දක්වා තිබුණෙන් අවසානයේ කෙසේ හෝ මේ වන විට එය තාවකාලිකව නතර වී තිබේ. දිළිඳු අයට සමෘද්ධි සහනාධාර ප‍්‍රදානය කිරීමේ මුවාවෙන් ඔවුන් වෙනුවෙන්ම වෙන් කර තිබෙන මුදල් අවභාවිත කරමින් තම මැතිවරණ ව්‍යාපාරයන් සිදුකිරීම මේවායේ අරමුණු බව ඉතා හොඳින් පැහැදිලිය.

ප‍්‍රතිලාභ කාටද?
සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල යනු සමෘද්ධිලාභීන්ගේ සහනාධාරයෙන් සෑම මසකම රුපියල් සියයක් බැගින් බැර වන අරමුදලකි. ලක්ෂ 14කට ආසන්න සමෘද්ධි සහනාධාරලාභීන්ගෙන් සෑම මාසයකම එම අරමුදලට කෝටි 14කට ආසන්න මුදලක් බැරවේ. ඒ අනුව සෑම මසකම එම ගිණුමට බැර වන මුදල රුපියල් මිලියන 140කට ආසන්නය. එම අරමුදල පිහිටුවා තිබෙන්නේ සමෘද්ධිලාභීන්ගේ මරණයක් අවස්ථාවක රු. 10,000ක මුදලක් ලබාදීම, විවාහ අවස්ථා, දරු උපත්, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යාධාර ආදී අවස්ථාවල මුදල් ලබාදීම ආදි ප‍්‍රතිලාභ ලබාදීම වෙනුවෙනි. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවේ පාලන සමයේ 2013, 2014, 2015 යන වසර තුනක දී තනි පුද්ගල මියයෑම් වෙනුවෙන් ලබා දිය යුතු වූ රු. 10,000ක මුදල 4000කට ආසන්න පිරිසකට ලබා දී තිබුණේ නැත. වෘත්තීය සමිති විසින් ඒ පිළිබඳ දිගින් දිගටම ඉල්ලීම් කරද්දී පසුව පැමිණෙන යහපාලන ආණ්ඩුවෙන් පත්වූ එස්.බී දිසානායක අමාත්‍යවරයා ද සිදුකර තිබුණේ එම ගෙවීම් සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ගෙවීම් අත්හිටුවීමට කටයුතු කිරීමය. සමෘද්ධිලාභීන් සාමාජිකත්වය දරන අරමුදලෙහි ප‍්‍රතිලාභ එම සාමාජිකයන්ට ලබාදීම වෙනුවට පෙර තිබූ ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද කටයුතු කර තිබුණේ එම හිමිකම් ද අහිමි කිරීමටය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් ගණනාවක මෙලෙස විශාල මුදල් සම්භාරයක් තිබෙන බව මේ සියලූ දේශපාලනඥයෝ හොඳින් දනිති. දිළිඳු පුද්ගලයන්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ඒවා නිසි කළමනාකරණයකින් යෙදවීම වෙනුවට එම දේශපාලනඥයන් උත්සාහ කරනුයේ තම තමන්ගේ පාලන කාලයන් තුළ ඒවා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කිරීමට උත්සාහ දැරීමය. මීට පෙර තිබූ ආණ්ඩු මෙන්ම එම ආණ්ඩුවල වංචා ¥ෂණ පිළිබඳ මතුරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ද සිදුකරමින් සිටින්නේ එයමය.
ලංකාවේ සමෘද්ධි සහනාධාර ලබන පවුල් අතුරින් නිවෙස්වල වැසිකිළි නොමැති පවුල් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් යොදවා වැසිකිළි ලබාදීමේ අරමුණින් 2017දී සංගණනයක් සිදුකර තිබුණි. එම සංගණනයෙන් අනාවරණය වී තිබුණේ සමෘද්ධි සහනාධාර ලබන දිළිදු පවුල් 68100කගේ නිවෙස්වල වැසිකිළි නොමැති බවය. සමාජ ආරක්ෂණ අරමුදලින් මිලියන 300ක් වියදම් කර උත්සව පැවැත්වීමට කටයුතු කරමින් සිටින දේශපාලනඥයන් සහ පරිපාලන නිලධාරීන් දිළිඳු පවුල් වෙනුවෙන් පිහිටවූ අරමුදලින් එම දිළිඳු පවුල් වෙනුවෙන් වැසිකිළියක් හෝ ලබා දීමට කටයුතු කරන්නේ නැත. දුප්පතුන් වෙනුවෙන් වෙන් කෙරෙන අරමුදල ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ලබාදීම වෙනුවට සිදුවනුයේ පාලකයන් විසින් හිතුමනාපයේ තම දේශපාලන වුවමනා වෙනුවෙන් බාල් නැටීමට ඒවා වැය කරමින් සිටීමය. 2018.09.07 විගණන වාර්තාවේ නිගමනයන්වලින් පෙන්වා දෙන්නේ ද සමෘද්ධිලාභීන් සතු අරමුදල් ඔවුන්ගේ සුභසාධනයට යොදවා නැති බවය.

යූඑන්පී සමෘද්ධි
ඊට අමතරව සමෘද්ධි සහනාධාර බෙදාදීමේ ඇතැම් උත්සව අවස්ථාවලදී මහජන විරෝධයන් මතුව තිබුණි. දැනට සමෘද්ධි සහනාධාර බෙදීම සදහා සංගණනයෙන් තෝරාගත් ලේඛනයේ අනුපිළිවෙළ නොසලකා ප‍්‍රාදේශීය එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ හිතවතුන් තෝරාගෙන තිබීම එම විරෝධයන්ට හේතුවී තිබුණි. 2015-2017 අතර කාලසීමාව තුළ ග‍්‍රාම නිලධාරීවරයා, ආර්ථික සංවර්ධන නිලධාරීවරයා, සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා, සමෘද්ධි ප‍්‍රජා මූල සංවිධානයේ සභාපතිවරයා යන අයගෙන් යුත් කමිටුවකින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක‍්‍රලේඛ උපදෙස් පරිදි අදාළ වසම් මට්ටමින් සමෘද්ධි ලබාදීම සඳහා සමීක්ෂණයක් ද පුවත්පත් දැන්වීම් ද පළකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 80ක් වැය කර තිබූ බවද වාර්තා විය. එලෙස ප‍්‍රමුඛතා ලේඛන සකසා තිබුණත් ඇතැම් ප‍්‍රදේශවල සිදුව තිබෙන්නේ එම අනුපිළිවෙල නොතකා එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා විසින් තෝරාගනු ලැබූ ලේඛනයක් ද සලකා බලමින් මෙම ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමය. එසේම පසුගියදා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබුණේ එජාප පාක්ෂිකයන්ට පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාර නොලැබුණු බවත් ඒ හේතුවෙන් මෙවර එජාප පාක්ෂිකයන්ට සමෘද්ධි සහනාධාර ලබාදෙන බවත්ය. අනුපිළිවෙලෙහි ඉහළ සිටියද එක්සත් ජාතික පාක්ෂිකයකු නොවේ නම් එම පුද්ගලයාට සමෘද්ධිය නොලැබී යාම නිසා ඊට විශාල විරෝධයක් එල්ලවී තිබේ.
”දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වියදම් කරමින් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමෘද්ධිය ලබා දෙමින් නැති ප‍්‍රශ්නයක් ඇති කර තිබෙනවා. මිලියන 300ක මුදල පියවා ගන්න විධියක් නැතිව දැන් සමෘද්ධි සේවකයන් වෙත බලපෑම් එල්ල කරමින් ඉන්නවා. නව සමෘද්ධිලාභීන්ට ආර්ථිකය ශක්තිමත් කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවට මැතිවරණ ඉලක්ක කරමින් සමෘද්ධි සහනාධාරය ලොසින්ජරයක් ලෙස පෙන්වා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට දෝෂාරෝපණයට ලක්කරමින් ඉන්නවා. ජනතාවත් අපේ ආණ්ඩුවකින් සමෘද්ධි ලැබුණාය යන රැුවටිලිසහගත මානසිකත්වයකින් ඉන්නවාට වඩා තමන්ට හිමි ප‍්‍රතිලාභ වංචාසහගත ලෙස අහිමි කිරීමට විරුද්ධව කටයුතු කළ යුතුයි. කලින් ආණ්ඩු වගේම යහපාලන ආණ්ඩුවත් කරමින් ඉන්නේ එකම දේයි.” සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ රාවයට පැවසුවේය.
ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අප දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්ත ද ඔහු පැවසුවේ ඔහුට දුරකථනය ඔස්සේ පිළිතුරු ලබා දිය නොහැකි බවය.

දිවි නොතකන දිවි නැගුම
සමෘද්ධි සංවර්ධන අධිකාරිය පිහිටවනු ලබන්නේ දිවි නැගුම පනත හරහා සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය අහෝසි කරමිනි. ඒ අනුව ඒවායේ සේවකයන් ද දෙපාර්තමේන්තුවට අන්තර්ග‍්‍රහණය කරනු ලැබුවත් එම දිවි නැගුම පනතේ නීතිරීති නිසි ලෙස සකසා නොතිබීමෙන් තවමත් එම සමෘද්ධි සේවකයන්ට හරියාකාර ස්ථිර පත්වීමක් ද නොමැත. පසුගිය වසර අවසානයේ නීති විරෝධී ආණ්ඩු පෙරළිය වූ අවස්ථාවේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පත්වීමේ ලිපියක් ලබාදී සමෘද්ධි සේවකයන් හාරදාහකට නව පත්වීම් ලබා දුන් බවට එය ප‍්‍රචාරය කරනු ලැබුවත් සිදුව තිබුණේ දිවි නැගුම පනතින් පත්වීම් නොමැතිව සිටි පිරිසකට පත්වීමේ ලිපියක් ලබාදීමය. එයද පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අත්හිටවනු ලැබීය. එබැවින් එම ගැටලූවට ද තවම පිළියම් නැත. මේ වියවුල නිසා එමෙන්ම එම සේවකයන්ගෙන් ඇතැමෙක් විශ‍්‍රාම ගොස් සහ මියගොස් ද අසාධ්‍ය රෝගී තත්ත්වයන්හි ද සිටියත් ඔවුන්ට විශ‍්‍රාම වැටුප් හෝ මරණ පාරිතෝෂික ලැබෙන්නේ ද නැත. එම අසාධාරණයන්ට එරෙහිව සේවකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුද නොසලකා හරිමින් එම සේවකයන්ට සාධාරණය ඉටු කිරීම පසෙක ලා තිබේ. රාජපක්ෂලා දිවි නැගුම පනත ගෙන එන්නේ සේවකයන්ගේ සුභසාධනය පිළිබඳ සිතා හෝ සේවාදායකයන් වන අඩු ආදායම්ලාභීන් පිළිබඳ සිතා හෝ නොවේ. සමෘද්ධි බැංකුවල අරමුදල් තම ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම අරමුණු කරගෙනය, දීර්ඝකාලීනව මෙම අරමුදල් භාවිත කිරීම ඔවුන්ගේ අරමුණ විය. එම ක‍්‍රියාපටිපාටීන්ට දොස් නගමින් පසුව පැමිණි යහපාලන ආණ්ඩුව ද කරමින් සිටින්නේ එයමය.
2018දී සමෘද්ධි සහනාධාරය ලබාදීමට එවකට විෂය භාර අමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පාක්ෂික පී. හැරිසන් මහතා විසින් ද උත්සව දෙකක් සංවිධානය කරනු ලැබීය. ඒ පොළොන්නරුවේ සහ මාතලේය. ඒ අවස්ථාවේ ද එක් උත්සවයකට ලක්ෂ හැටඅටක් ද, අනෙකට ලක්ෂ හතළිහකට ආසන්න ප‍්‍රමාණයක් ද වැය කර තිබුණි. මීට පෙර බලය හෙබවූ රාජපක්ෂ ආණ්ඩුව ද සෑම මැතිවරණයක් ආශ‍්‍රිතවම මෙවැනි විශාල වියදම් සිදුකරනු ලැබීය. සමෘද්ධි ව්‍යාපාරය දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් ලෙස සමාජගත කර තිබුණද පැවති සෑම ආණ්ඩුවක් මෙන්ම මෙම ආණ්ඩුවද එය ක‍්‍රියාත්මක කළේ සහ කරනුයේ දේශපාලනික ව්‍යාපෘති වෙනුවෙන් බව පැහැදිලිය.