බූරුවන්ට කෙවිටෙන් තලමු

දිනක් වඳුරකු උළු වහලයක් මත රඟනු නරඹමින් අත්පොළොසන් දෙමින් ප‍්‍රීති වූ ගෙහිමියෙක් දුටු බූරුවෙක් ඊට පසුදින උළු වහලයට නැග නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට වූ අතර එයින් කුපිත වූ නිවැසියා කෙවිටක් ගෙන ඌට තලා බිමට බැස්සුවේය. එයින් ලත් වේදනාවෙන් හා ලැජ්ජාවෙන් පරපීඩිත වූ බූරුවා තම ගෙහිමියා අමතා මෙසේ ඇසීය. ”ඊයේ වඳුරකු වහලයේ නටනවා දැක ප‍්‍රීති වූ උඹ අද එම රැුඟුම මා කරන විට තැලූවේ ඇයි?”
යුරෝපානු ජනප‍්‍රවාදයකින් කතාව ඇරඹුවේ කාගේ බහට හෝ කා සනසන්නට හෝ කළද අතුරලියේ රතන හිමිගේ උපවාසය දුටු කල මතක් වනුයේ එම ජනප‍්‍රවාදයම බැවිනි.
මේ දිනවල රතන හාමුදුරුවෝ මාධ්‍ය සොරා ගනිමින් සිටිති. තමාද රජුන් තනන්නකු බව ඔප්පු කරන්නට උන්වහන්සේට තදින් ඕනෑකර තිබේ. සිරිසේන ජනාධිපති කරන්නට තමා ප‍්‍රධාන කොටස්කරුවකු වූ බව රතන හිමි අදහන දෙයකි. එලෙස අදහන බොහෝ අය සිටිති. ඒ සැමට දැන් සිරිසේනව වහ කදුරුය. දැන් ඒ සැමට අලූත් කෙනකු ඕනෑකර තිබේ. පිරිසක් කරු කරට ගත් අතර, රතන හාමුදුරුවෝ කරට ගන්නේ කාවදැයි දෙගිඩියාවෙන් උපවාස කරමින් අපහාස විඳිති. රතන හාමුදුරුවෝ චම්පික රණවකගේ සහරාන් කෙනකු වී ඇතැයි අපි ගියවර ලියූ විට රතන හාමුදුරුවෝ එය දැක උරණ වූහ. තමා චම්පික සමග කිසිදු ඇයි හොඳයියක් නැති බව රතන හිමියන්ගේ මතයය. රතන හිමියන්ම එසේ කියන්නේ නම් අප තවදුරටත් ඒ ගැන කුමක් කියමුද? එහෙත් අපි මෙසේ කියමු. චම්පික නම ඉවත් කළද රතන හිමි කාගේ හෝ සහරාන් කෙනකු වූ බව නම් අපට නොරහසකි. ඒ රහස රතන හිමි වැඩිකල් නොගොස්ම හෙළි කරනු ඇත. එතෙක් ඒ ගැන නිහඬ වෙමු. එහෙත් රතන හිමිගේ උපවාසය දේශපාලනිකව බලපෑ අයුරු නම් කතා කළ යුතුමය. රතන හිමිට අනුව එම උපවාසය මෙරට දේශපාලනය, සමාජය උඩු යටිකුරු කර ඇත. රතන හිමි මාධ්‍යයට දෙන කතාවලින්ද එය පැහැදිලිය. සැබැවින්ම එය එසේමද?

උපවාසය පිළුණු විය
රතන හිමිගේ මාරාන්තික උපවාසයේ මූලික පරමාර්ථය වූයේ රිෂාඞ් බදියුදීන් ඉවත් කිරීමය. එහෙත් ජනාධිපති සිරිසේන අසාද් සාලි සහ හිස්බුල්ලාට ආණ්ඩුකාර ධුරවලින් ඉවත් වන්නැයි කීමත් සමග ඔවුහු ඉවත්වීමෙන් පසු රතන හාමුදුරුවෝ උපවාසය අත්හළහ. එයින්ම උපවාසයේ මුඛ්‍ය අදහස රතන හිමි අමතක කළේ ඇයි? එනම් උපවාසයෙන් කළහැකි දෙයක් නැති බව වැටහුණු නිසාද? නැතිනම් මුස්ලිම් ඇමතිවරු මන්ත‍්‍රීවරු සියල්ලම ඉවත් වන බව කල් තබා සැලවූ නිසාද? කෙසේ වෙතත් රතන හිමි උපවාසයෙන් කුල්මත් වූ තරම් උපවාසය තුළ ඇගයූ තරම් උපවාසය අත්හළ සැණින් නොවීය. රතන හිමි රෝහල් ගතකර රෝහලේ පිටුපස දොරෙන් ආරාමයට යන තෙක් හා හූවක් නැත. කිසිදු පිළිගැනීමක් නැත. මේ රට ජාතිය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කළ භික්ෂුවකි. එහෙත් ජාතියට වගක් නැත. කොටින්ම මුස්ලිම් මන්ත‍්‍රීවරු එකාවන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමත් සමග රතන හාමුදුරුවන්ගේ උපවාසය කුණු බක්කියට ඇද වැටුණේය. පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් මන්ත‍්‍රීවරු ඒකරාශීවීම හරහා සුළු ජාතියක හයිය පෙන්නුවේ මහ ජාතියේ රතන හිමිලා කරන මේ සිල්ලර වැඩ නිසාය. ඒ එකතුව උපවාසයට වඩා සවි ශක්තිමත්ය. එයින් උපවාසය නිකම්ම නිකම් පිළුණු වෑංජනයක් විය. මේ බව රතන හාමුදුරුවෝ තරම් දන්නා කෙනෙක් වීද?

අනාගතය
රතන හිමිගේ දේශපාලන අනාගතය අවසන් වන ලකුණු පැමිණ තිබේ. දැනට එජාපයෙන් මන්ත‍්‍රීකමක් ගෙන විජ්ජාපාන රතන හාමුදුරුවන්ට නැවත පාර්ලිමේන්තු ඒමේ ඉඩක් එජාපයෙන් නම් හිමි නොවන බව පැහැදිලිය. කාට වුව රතන හිමි පාර්ලිමේන්තු ගෙන යෑමේ වුවමනාවක් ඇතැයිද නොපෙනේ. එහෙත් සිරිසේන මෙන්ම රතන හිමිද පාර්ලිමේන්තු ඒම අත්හරින්නට සූදානම් නැත. ඊට අවැසි හැම ගැටයක්ම ගසමින් සිටිති. රතන හිමිට දැන් ඇති එකම විකල්පය මහින්දය. එසේ නම් මේ උපවාසය මහින්දලාගේ කොන්ත‍්‍රාත් එකක් විය හැකිය. වීරවංශ, රතන වැනි සහරාන්ලා මහින්දට අවැසිය.
ඒ අනුව රතන හිමිට ඕනෑ වූයේ බදියුදීන් ඉවත් කරන තැනට රනිල් තල්ලූ කොට එජාපය තුළ මුස්ලිම් විරෝධයක් ඇති කරන්නටය. කුමන ප‍්‍රශ්නයකදී වුව කලබල නොවන රනිල් මෙතනදීත් කලබල නොවුණි. රනිල්, සිරිසේන මෙන් බදියුදීන්ට ඉල්ලා අස්වෙන්නැයි නොකීය. එහෙත් ඒ වෙනුවට මුස්ලිම් මන්ත‍්‍රීවරු සියලූදෙනාම ඇමතිකම්වලින් ඉවත් විය. එය නම් නොකිව්වාට රනිල්ගේම ගේමක්ය. එය අපූරුවට වැඩ කළේය. රතන හිමිගේ උපවාසය හැල්ලූ වී ගියේය. ඉන්පසු මහ නායක හිමිවරු ඒකරාශීව මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට නැවත ඇමතිකම් භාරගන්න යැයි ඉල්ලන තැනට වැඬේ පත්තු වූහ. ඒ අනුව බලන කල රතන හිමිට රෝහලේ පිටුපස දොරන් පැන යනවා හැර විකල්පයක් නොවීය. තමාගේ ගැටයට තමන්ම හිරවී ඇත. දැන් එය ගලවන්නට තව කෙනකුගේ පිහිට පතන්නට වුවමනා වී ඇතත් කවුරුවත් එයට අත ගසන්නට මැලිය. ඒ රතන හාමුදුරුවෝ වගා කරන දේ බොහෝ අය දන්නා නිසාය. රතන හාමුදුරුවන්ට වුවමනා වූයේ රනිල්ව බිත්තියට හේත්තු කිරීම වුවත් රනිල් රතන හිමිට එහා දේශපාලන ධර්මය දන්නා බව පිළිගත යුතුය.

පොලිස්පති
පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඉදිරිපිටට ආ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර වීරයෙක් වී ඇත. පසුගිය කාලයේ පොලිස්පති ලෙස නරක හැසිරීම් පෙන්නූ පූජිත දැන් සුදනකු වී ඇත. පොලිස් පොඞ්ඩන්ට පහර දුන්, පොලිසියටම භාවනා කරන්නැයි අණ කළ නුවර පෙරහැරේ නට නටා ගිය පොලිස්පති හොඳ ගායකයෙක්ද විය. ඔහු පොලිස්පතිට අදාළ රාජකාරි හැර අනෙක් සියල්ලම කළේය. එහෙව් විකාර වූ පූජිත පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට පැමිණීමත් සමග වීරයකු වී ඇත. ලංකාව වැනි රටක වීරයකු දුෂ්ටයකු වන්නටත්, දුෂ්ටයකු වීරයකු වන්නටත් ගතවන්නේ කෙටි කාලයකි. කෙසේ වෙතත් පොලිස්පති එහිදී අපූරු කතාවක් කීවේය. එනම් තමා පොලිස්පතිකමෙන් ඉවත් වන්නේ නම් තානාපතිකමක් ලබාදීමට ජනපති පොරොන්දු වූ බවය. ජනපති පොලිස්පතිට පොරොන්දු වූ තානාපතිකම ඕස්ටේ‍්‍රලියාවේද?

ජනපති විරෝධය
කෙසේ වෙතත් ජනපති මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තදින් විරුද්ධය. විරුද්ධ අන් කිසිවකට වඩා පාස්කු ප‍්‍රහාරය ගැන තමා කිසිත් නොදැන සිටියා යැයි කීවද දැන් දැන් එය එසේ නොවන බව කාරක සභාව හරහා ඔප්පු වන නිසාය. පාර්ලිමේන්තු කාරක සභාවට මුලදීම බුද්ධි අංශ නිලධාරීන් කැඳවා ප‍්‍රශ්න කිරීමත් සමග විපක්ෂය මෙන්ම ජනපතිද කේන්ති ගත්තේ ඔවුන් මහජනයාට ප‍්‍රසිද්ධ කිරීම නිසාය. බුද්ධි අංශ නිලධාරීන් මහජනයාට ප‍්‍රසිද්ධ කොට ලෝකයා හමුවේම නිරාවරණය කිරීම හරි මෙන්ම වැරදි යැයිද දෙපිළ බෙදී වාද කරති. එයට පක්ෂව මෙන්ම විපක්ෂවද තර්ක මතුවේ. ඒ තර්ක දේශපාලනික මෙන්ම ඒවා විවෘත කිරීමද දේශපාලන න්‍යාය පත‍්‍රවලම අන්තර්ගත දෑය. කොහොම වුවත් බුද්ධි අංශ නිලධාරීන් මෙලෙස පාර්ලිමේන්තුවට ගෙනවිත් සැමට පෙනෙන්නට ප‍්‍රශ්න කිරීම ගැන උරණ වූ ජනපති වේදිකාවක කීවේ අපූරු කතාවකි. එනම් මේ විදිහට බුද්ධි අංශ නිලධාරීන් ගෙනල්ලා ප‍්‍රශ්න කරන ලෝකේ කිසිම රටක් ඇතැයි තමන් නොසිතන බවය. එයට එකතු කළ යුතු දෙයක් නම් ඉහත කතාව සේ ම ජනපති සිරිසේන පන්නයේ ජනාධිපති කෙනෙක්ද ලොව කිසිම රටක තවත් නොමැති බවය.

ඒ ඇයි?
සිරිසේන පන්නයේ නායකයකු ලොව කිසිම තැනක නැති බවත් එවැන්නකු පහළ නොවන බවත් ස්ථිරයටම කිව හැකිය. ඔහු කියන දේ ඔහුද නොදන්නා ගානය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යවා පොහොට්ටුවේ පිහිට පතන ජනපති සිරිසේන කෙසේ හෝ එහි සහය ලබාගැනීමට අඛණ්ඩ සාකච්ඡුාද පවත්වමින් සිටී. එහෙත් එලෙස ක‍්‍රියා කරන අතර අනෙක් අතට කියනුයේ තමා තරග නොකරන බවත්, එජාපයේ තරුණ නායකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ජනාධිපතිවරණයේදී ඔහුට සහය වන බවය. මේ තරුණ තේරීම සජිත් බව අමුතුවෙන් කිවයුතු නැත. සජිත් ජනාධිපති නම් අගමැති සිරිසේනද? දැන් දැන් ජනපති නොව මින්මතු වටිනුයේ අගමැති බව සිරිසේනත් වටහාගෙන ඇති අයුරුද? මීට පෙර හොර අගමැති ලෙස මහින්ද පත් කොට නා ගත් සිරිසේන ඉන්පසුව කීවේ රනිල්ට හැර ඕනෑම කෙනකුට අගමැතිකම දෙන බවය. එහෙත් අවසානයේ රනිල්ටම අගමැතිකම දෙන්නට සිද්ධ විය. අනෙක් පක්ෂවල අපේක්ෂකයන් තේරීමට සිරිසේනට බලයක් නැති බව ඔහු පිළිගන්නේ කවදාද යන්න ප‍්‍රශ්නයකි.
කොහොම වුණත් පැටලිලි සහගත අවුල් ජාලයක් වී ඇති මෙරට දේශපාලනයේ ඉදිරි මාස කිහිපය තුළ භයානකම රංගනයක් ඉදිරිපත් කරනුයේ වෙන කවුරුවත් නොව ජනපති සිරිසේනය. හැම අතින්ම දිනෙන් දින අසරණ චරිතය බවට පත්වන්නේ ඔහුය. ඔහු වටා සිටින පිරිස වුව පොහොට්ටුව ශක්තිමත්ව ඉදිරියට ආ කල සිරිසේනට පයින් ගසා මාරුවනු නියතය. මේ නිසාම දැනට වඩා කිහිප ගුණයකින්ම ප‍්‍රචණ්ඩ විකෘති සිරිසේන කෙනකු ඉදිරියේදී දැකගත හැකිය. සාමාන්‍ය වහරට අනුව කියන්නේ නම් මේ මනුස්සයා ඉදිරියේදී මොන පිස්සුවක් නටනු ඇත්දැයි හිතාගනු නොහැකි වනු ඇත. මන්ද? අපිව සතුටු කරන්නට උළු වහලවල් උඩ නගින්නේම බූරුවන් නම් අපි කුමක් කරමුද? කෙවිටක් ගෙන තලනු හැර. මන්ද? මෙවැනි පන්නයේ අයෙකු ලොවෙත් නැත.